Home දෙවන ත්‍රෛමාසිකය ගැබිනි සමයේ විසිහයවන සතිය

ගැබිනි සමයේ විසිහයවන සතිය

Week-26
චූටියට නමකුත් ඕනේ නේද?

මේ දෙවන ත්‍රෛමාසිකයේ අම්මට පුළුවන් චූටියට ලස්සන නමක් ගැන හිතන්න. ඒත් එයා දුවෙක්ද පුතෙක්ද කියලා තාම දන්නෙ නැත්නම් මොකද කරන්නේ. එහෙමත් නැත්නම් අම්මාගෙයි තාත්තාගෙයි හිතේ පුතෙක් ලැබුණොත් අපි මේ නම දාමු, දුවෙක් ලැබුණොත් එයාට මේ නම දාමු කියලා අදහසක් ඇති නේද? ඉතිං දෙන්නා එක්ක ටිකක් ඒ ගැන සාකච්ඡා කරන්න. අමතක කරන්න එපා, ලබන සතියේ විතර චූටියටයි අම්මටයි ඕනේ බඩු මුට්ටු ගන්න යන්නත් තියෙනවා. තාත්තා නම් කලින්ම සූදානම් වෙලා ඉන්නේ බොහොම ආසාවෙන්.

ගැබිනි සමයේ විසිහයවන සතිය

බිළිඳාගේ දෑස් සම්පූර්ණයෙන්ම සැකසී ඇති අතරම ඇසෙහි කළු ඉංගිරියාව තවමත් සුදුමැලි බවන් යුක්තය. ඉදිරි මාස කිහිපය තුළදී වර්ණක සෑදීම සිදු වේ. ඒ වගේම බිළඳාගේ මුඛය සහ තොල් සංවේදී බවින් වැඩි වෙමින් පවතී. ස්නායු පද්ධතිය සංවර්ධනය වීම සිදුවේ. බිළිඳාගේ කන් තුළ ස්නායු ජාලය පෙරට වඩා හොඳින් සංවර්ධනය වී ඇති අතරම සංවේදී බවින්ද වැඩියි. ඒ නිසාම දැන් බිළිඳාට දෙදෙනෙකු අතර සිදුවන කතාබහකට සවන් දීමේ හැකියව ද කටහඬවල වෙනසද වටහා ගත හැකියි. පෙර සතියෙ සඳහන් කළ පරිදිම විවර වූ නාස් කුහර හරහා උල්බ තරලය උරාගනිමින් පිට කිරීම දිගින් දිගටම සිදු කරයි. එය බිළිඳාගේ පෙනහලූ සංවර්ධනයට උපකාරීවේ. එසේම එමගින් හුස්ම ගැනීම සහ පිටකිරීමේ ක්‍රියාවලියද දරුවාට හුරුවන අතරම උපතින් පසු ඒ කාර්යය බිළිඳාට වඩාත් පහසු කරවයි. සිරුරේ මේද තැම්පත් වීම මේ වන විටත් සිදුවෙමින් පවතී. මේ වන විට බිළිඳාගේ බර ග්‍රෑම් 760ක්ද හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර 35.6ක් පමණද වේ. ඔබට ලැඛෙන්නට ඉන්නේ පිරිමි දරුවෙකු නම් වෘෂණ, වෘෂණ කෝෂ කරා ගමන්කිරීම මේ වන විට ඇරඹෙන අතරම ඒ සඳහා මාස දෙක තුනක කාලයක් ගනවේ. මහපට ඇඟිල්ල මුව තුළ හොවා උරන බිළිඳාට දැන් තම දෑත් එක්කිරීමටද හැකියාවක් ඇත. එසේම බිළිඳා පා ඇඟිලි අල්ලමින් ක්‍රිඩාවේ යෙදේ.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

ඔබේ උදරය දකින නෑදෑ හිතවතුන් ඔයාට නම් ලැඛෙන්න ඉන්නේ දුවෙක් වගෙයි කියලා ඔබට කියනවා ඇත. එහෙමත් නැත්නම් පුතෙක් ලැඛෙයි කියනු ඇති. අත්දැකීම් අනුව උදරය ඉහළ වැඩී ඇතිනම් දුවෙක්, උදරය පහතට වැඩී ඇත්නම් පුතෙක් කියලා ඔවුන් හිතන නිසා. ඒ අදහස් බොහෝවිට වෙනස් විය හැකියි.

මේ සතිය වන විට ප්‍රසාරණය වන ඔබේ ගර්භාෂය හා දරුවා ඉතා වේගයෙන් සිරුරේ මේදය තැම්පත් වීමත් නිසා ඉල ඇටවල වේදනාවක් ඔබට දැනෙන්නට පටන් ගනී. ඒ වගේම දරුවාගේ වේගවත් චලනයන් සහ දරුවාගේ හිස මගින් ඉල ඇට ප්‍රදේශයට යම් තෙරපුමක් ලබාදෙන්නේ නම් එයද මේ තත්ත්වයට හේතු විය හැකිය. මේ තත්ත්වය ප්‍රසූතියෙන් පසු මග හැරී යන අතරම ඔබ, ඔබට පහසු ඉරියව්කින් සිටීම යම් තාක් දුරට සහනයක් විය හැකිය.

ඉල ඇටවල ඇති වේදනාවට අමතරව හිසේ වේදනාව ද පළමු ත්‍රෛමාසිකය තුළ මෙන්ම මේ වන විටත් ඔබට පීඩාවක් වී ඇති. ඒ වගේම ඔබ දරා සිටින අමතර බර ප්‍රමාණය හේතුවෙන් මස් පිඬුවල වේදනාවද මේ කාලය තුළ ඔබව අපහසුතාවයට පත් කරයි. හිසේ ඇතිවන වේදනාව යම්තාක් දුරට සමනය කරගැනීමට

  • උණුසුම් හෝ සිසිල් සම්පීඩනයක් භාවිත කරන්න
  • ඔබට ඇති ආතති තත්ත්වය පාලනය කරගන්න
  • හිසේ වේදනවා වැඩි විය හැකි ආහාර පානවලින් ඈත් වන්න
  • ඔබේ වෛද්‍යවරයා හමුවී සුදුසු ඖෂධ ප්‍රතිකාරයක් පිළිබඳව දැනුවත් වන්න

මේ වන විට ඔබේ බර සාමාන්‍යයෙන් රාත්තල් 19ක් දක්වා වැඩි වී තිබිය හැකිය.

අම්මෙක් වෙන්න යන ඔබේඅවධානය යොමු විය යුතු  ”ගැබිනි මවට අත්‍යවශ්‍ය පෝෂ්‍යපදාර්ථ”

ගැබිනි මවකට නිසි පෝෂණය අත්‍යවශ්‍ය බව මීට පෙරත් අපි සඳහන් කළා. විටමින් සහ ඛනිජ ලවණ වැඩි වශයෙන් සිරුරට අවශ්‍ය වන මේ කාලය තුළ ඒවා අවශ්‍ය ප්‍රමාණයට නොලැබී යාම හේතුවෙන් මවගේ මෙන්ම දරුවාගේද පැවැත්මට එය බලපෑ හැකියි. ගැබිනි සමයෙඅ අත්‍යවශ්‍ය පෝෂක පිළිබඳව දැනුවත් වීම වැදගත් වන්නේ එබැවිනි.

ෆෝලික් අම්ලය – ගැබ්ගැනීමට පෙර සිටම ලබාගන්නට උපදෙස් ලබාදෙන මෙම විටමින ලබා නොගැනීම නිසා කලලයේ ස්නායු පද්ධතියේ දෝෂ ඇති විය හැකියි. දරුවා පිළිසිඳ ගැනීමට පෙර සිට  සහ ගැබිනි සමය පුරාත් ලබා ගැනීම අනිවාර්ය වේ. එසේම සිරුරේ රුධිරය නිපදවීමටද ෆෝලික් අම්මලය වැදගත් වන අතරම එමගින් නීරක්තියද වැළකී යනු ඇත.

යකඩ – ගර්භණී සමයේදී මවගේත් දරුවාගේත් රුධිර වර්ධනයට මෙන්ම දරුවාගේ වර්ධනයට යකඩ වැදගත් වන අතරම ගැබිනි සමයේදී සති 12ක් පමණ වන විට යකඩ අවශ්‍යතාවය ඉහළ යයි. සෑම ආහාර වේලකටම යකඩ බහුල ආහාර ඉතා වැදගත් වන අතරම සත්ත්ව ආහාරවල අඩංගු යකඩ ඉතා ඉක්මණින් සිරුරට උරාගනී. ශාකමය ආහාර වල යකඩ අවශෝෂණය ද් ආහාරයට එක්කර ගැනීම තුළින් සිරුරට යකඩ අවශෝෂණය වීම වඩා හොඳින් සිදු වේ. එසේම ප්‍රසූතියෙන් පසුද මාස හයක් පමණ ගත වන තුරු යකඩ පෙති ලබාගත යුතුය.

කැල්සියම් –   ගර්භණී මවගේ කැල්සියම් අවශ්‍යතාවය ද ඉහළය. ඒ අස්ථිවල පැවැත්මට කැල්සියම් අත්‍යවශ්‍ය නිසාය. යම් හෙයකින් ගැබිනි මව ලබාගන්නා කැල්සියම් ප්‍රමාණය අවම වුවහොත් කලලයට අවශ්‍ය කැල්සියම් මවගේ අස්ථීවලින් උරා ගනී. ඒ නිසා කාලයක් ගතවීමේදී මවගේ අස්ථී දුර්වල තත්ත්වයට පත්වීමට ඉඩ ඇත. එසේම කැල්සියම් නිසි පරිදි ලබාගැනීම අධිරුධිර පීඩන අවදානමෙන් ඔබව මුදවයි. කැල්සියම් බහුල ආහාර ඔබේ ආහාර වේලට එක්කරගන්න.

විටමින් C  –  සිරුරට හොඳින් යකඩ අවශෝෂණය කරගැනිමට විටමින් සී අත්‍යවශ්‍ය වන අතරම ඔබේ බිළිඳා තුළ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමටද උපකාරී වේ.

Choline – ගර්භණී මවකගේ පෝෂකාංග අතර ප්‍රධාන ස්ථානයක් හිමි වන මෙමගින් අස්ථී වර්ධනයට මෙන්ම අධි රුධිර පීඩනය අවම කිරීමට සහය ලබාදෙන අතරම කලල මොළය සහ සුෂුම්නාව වර්ධනය වන විට ඇති වන යම් යම් සංකූලතා මැඩපවත්වයි.

ADHA – මොළයේ සහ පෙනීම වර්ධනයට බලපාන අතරම ඉදිරියේදී හෘද රෝග ඇති වීමේ අවධානම අවම කරයි.

අයඩීන් – සිරුරට අත්‍යවශ්‍ය ක‍ෂුද්‍ර පෝෂකයක් වන අතරම තයිරොක්සීන් හෝමෝනය නිපදවීමට දායක වේ. සිරුරේත් මොළයේත් සාමාන්‍ය වර්ධනයට හා ක්‍රියාකාරීත්වයට අයඩීන් වැදගත් වේ. සෑම විටම අයඩීන් සහිත ලුණු භාවිත කරන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


		    
Previous articleගැබිනි සමයේ විසිපස්වන සතිය
Next articleගැබිනි සමයේ විසිහත්වන සතිය
සාරංගි රන්පටබැඳි
අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here