Home තුන්වන ත්‍රෛමාසිකය ගැබිනි සමයේ විසිඅටවන සතිය

ගැබිනි සමයේ විසිඅටවන සතිය

28th week
ඔන්න දැන් චූටියා ඇසි පිය ගහන්න පටන් අරගෙන

අම්මාගේ චූටියා දැන් එයාගේ ඇස් දෙක ඇරලා. පුංචි ඇහි පිය නටවන්න එයා දැන් දන්නවා. අම්මට ඉවසිල්ලක් නෑ නේද? කාලය ඉක්මණින්ම ගෙවිලා යාවි. චූටියා අම්මාගේ තුරුලට එන දවස ඉක්මණින්ම ළඟා වේ. ඇත්තටම කිව්වොත් අම්මට තව බලාගෙන ඉන්න වෙන්නේ සති කීපයයි. මොකද අම්මගේ දෙවන ත්‍රෛමාසිකයත් අවසන්. චූටියාගේ අවශ්‍යතා වගේම අම්මට අවශ්‍ය දේවල් ටිකෙන් ටික සූදානම් කරගනිද්දී ඒ කාලය ගෙවිලා යනවා අම්මට දැනෙන එකක්වත් නැහැ.

ගැබිනි සමයේ විසිඅටවන සතිය

සීග්‍රයෙන් වර්ධනය වන බිළිඳාගේ පුංචි ඇස් පිය ගසන්නට දැන් හැකියි. පෙනීම මේ වන විට තව තවත් වර්ධනය වී ඇති අතරම මවගේ උදරය හරහා පැමිණෙන ආලෝකය දැකගන්න බිළිඳාට හැකියි. ඒ වගේම කුඩා මොළයේ බිලියන ගණනින් නියුරෝන සැකසෙන අතරම උපතින් පසු බාහිර ලෝකයට හුරුවීම සඳහා අවශ්‍ය මේද එක්රැස්කිරීම මේ වන විටත් සුද්කරයි. බිළිඳාගේ බර දැන් ග්‍රෑම් 1005ක් පමණ වේ. හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර 37.5ක් පමණ වේ.

බිළිඳාට ඉක්කා ඇති වන ආකාරය මවට දැනෙන අතරම ඒ තත්ත්වය අවිධිමත් ප්‍රාචීරයේ සංකෝචනයන් හේතුවෙන් සිදුවේ. ඇතැම් බිළිදුන්ගේ දිනකට කිහිපවිටක්ම ඉක්කා ඇති වීම දැනිය හැකි වුවද ඇතම් බිළිඳුන් එසේ නොවේ. එසේම මේ වන විට බිළිඳා නින්ද සහ අවධි වීම ක්‍රමානුකූල රටාවකට සිදුකරයි. බිළිදාගේ හිස තව දුරටත් වර්ධනය වන අතරම පෙනහලු වාතය සමග හුස්ම ගැනීමට හැකි පරිදි සැකසී ඇත.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

මේ ඔබේ දෙවන ත්‍රෛමාසිකයේ අවසාන සතියයි. මේ වන විට හුස්ම ගැනීමට යම් අපහසුතාවයක් ඔබට දැනෙනු ඇත. එනම් කෙටි හුස්මයි. මේ තත්ත්වය ගර්භාෂය විශාල වීමත් සමගම මහා ප්‍රාචීරය වෙත ඇති වන පීඩනය වැඩි වීමත් සමගම ඔබට ඇති වන තත්ත්වයකි. එය ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි.

මේ වන විට දරුවාගේ චලන වාර පිළිබඳ යම් අවබෝධයක්/ මතකයක් තබාගැනීම ඉතා වැදගත් වේ. මන්ද යම් හෙයකින් ඔබට දරුවාගේ චලන වාර ගණන පිළිඳව සැකයක් මතු වුවහොත් ඒ පිළිබඳ වෛද්‍යවරයාට පැවසීමේදී පෙර චලනයන් පිළිබඳව අවබෝධයක් තිබීම ගැටලලුව නිරාකරණය කරගැනීමට සහය වනු ඇත.

මේ වන විට මවගේ බර වැඩිවීම රාත්තල් 20ත් 21ත් අතර ප්‍රමාණයක් විය හැකියි. මේ තත්ත්වය මත සිරුරේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වීම නිසා ඔබේ කොන්දේ වේදනාව මින් ඉදරියටත් පවතිු ඇත.

ගැබිනි සමයේ  තෙවන ත්‍රෛමාසිකය ගත කරන ඔබට ”මාතෘ සායන හරහා ඉටු වන සේවාව”

ශ්‍රී ලංකාව තුළ ගැබිනි සමයේ තෙවන ත්‍රෛමාසිකය ලෙස ගැනේනේ සති 28 සිට 42 දක්වා කාලයයි. ගැබිනි මවකට රජයේ සායන හා රෝහල් මගින් මෙන්ම පෞද්ගලික අංශයේ රෝහල් හා සායන මගින් ද සේවාවන් රැසක් ඉටුකරයි. සෑම ගැබිනි මවක්ම නියමිත දිනයට සායනය සඳහා සහභාගී වීම අනිවාර්ය වන්නේ මවගේ මෙන්න කුස තුළ වැඩෙන දරුවාගේද යහපත වෙනුවෙන්මය.

එමෙන්ම දරුවාගේ චලනය අඩුවීම හෝ වෙනයම් හදිසි තත්ත්වයක් මතු වුවහොත් වහාම රෝහල වෙත පැමිණීමට මව්වරුන් වගබලාගත යුතුය. මන්ද මේ කාලය තුළදී යම් හේතුවක් මත දරුවාගේ ප්‍රසූතිය සිදුවුවහොත් දරුවා ජීවත් කළ හැකි සම්භාවිතාව 90%ටත් වැඩි බැවිනි.

මෙතැන් පටන් පහත දැක්වෙන කරුණු පිළිබඳව ගැබිනි සමයේ තෙවන ත්‍රෛමාසිකය ගතකරන මව්වරුන්ගේ පූර්ණ අවධානය යොමු කළ යුතුය. එසේම නිවැරදිව සායන සහ පරීක‍ෂණවලට සහභාගී වී අවශ්‍ය ඖෂධ සහ නිසි වෛද්‍ය උපදෙස් කරා යොමුවිය යුතුය.

ගැබිනි සමයේ සති 28වන විට සෑම මවක්ම පහත කරුණු සිදුවී ඇත්දැයි සැලකිලිමත් විය යුතු අතරම එසේ නොමැති නම් වෛද්‍යවරයා සමග ඒ පිළිබඳව සාකච්ඡා කරන්න.

  • ගැබිනි සමයේ සති 28දී රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය හා රුධිර ඝනය පරීක‍ෂා කිරීම
  • පෙර සිදු කළ OGT පරීක‍ෂණය ප්‍රතිඵලය ඍණ වූ මව්වරුන් නැවතත් සති 28දී එම පරීක‍ෂණයට මුහුණ දිය යුතුය.
  • Rh ඍණ මව්වරුන් ඇන්ටි බොඩි පරීක‍ෂණය සඳහා යොමුවිය යුතු අතරම අවශ්‍යතාවය මත ඇන්ටි ඩී (Anty D) ඖෂධය ලබාදීම
  • යම් යම් සංකූලතා පවතින අවදානම් මව්වරුන්ට තෙවන ත්‍රෛමාසිකයේ ආරම්භයේ සිට කලල වර්ධනය හා රුධිර ගමනා ගමනය පිළිබඳව මැන බැලීම සඳහා අවශ්‍ය ස්කෑන් පරීක‍ෂණ ඇරඹීම
  • සෞඛ්‍ය සේවා නිළධාරී කාර්යාලය මගින් මෙතැන් සිට සති 36 දක්වා සති දෙකකට වරක් මව්වරුන් පරීක‍ෂාවට ලක්කෙරෙන අතරම එතැන් සිට සතියකට වරක් (මෙසේ පරීක‍ෂා කිරීම මවගේ තත්ත්වය අනුව වෙනස් වේ) පරීක‍ෂා කිරීම සිදු කෙරේ.

රජයේ සායන හා රෝහල් හරහා ගැබිනි සමය පුරාම අත්‍යවශ්‍ය වෛද්‍ය සේවාවන් නොමිලේම ලබාදෙන අතරම තෙවන ත්‍රෛමාසිකය තුළදී ගැබිනි මවට සැලසෙන තවත් සේවාවන් මෙසේය.

රජයේ රෝහල් මගින් පැවැත්වෙන පූර්ව ප්‍රසව උපදේශන පන්ති හරහා තෙවන ත්‍රෛමාසිය ගත කරන මව්වරුන් පහත කරුණු පිළිබඳව දැනුවත් කරයි. මේ සඳහා මව සහ පියා දෙදෙනාම සහභාගී කරවා ගනී.

  • රෝහල් ගතවීමේදී අවශ්‍ය දේ
  • ළදරු ඇඳුම් පිළිබදව
  • ප්‍රසවයේ ලක‍ෂණ
  • දරුවා ලැඛෙන ක්‍රමය පිළිබඳව
  • මව්කිරි දීම පිළිබඳව
  • දරුවා නෑවිම පිළිබඳව
  • ප්‍රසවයෙන් පසු ඇතිවන පසු ප්‍රසව සංකූලතා පිළිබඳව
  • පවුල් සංවිධාන ක්‍රම පිළිබඳ
  • දරුවා සහ මවගේ පෝෂණය පිළිබඳව
  • පූර්ව ළමා විය සංවර්ධනය පිළිබඳ ඇතුළු ඉතා වැදගත් කරුණු

තෙවන ත්‍රෛමාසිකයේදීද නොමිලේ යකඩ, කැල්සියම්, විටමින් සී සහ පණු ඛෙහෙත් මෙන්ම ගැබිනි මවගේ පෝෂණය උදෙසා ත්‍රිපෝෂ ලබාදීම ද සායනය හරහා සිදු කෙරේ. නමුත් දියවැඩියාව තත්ත්වයෙන් පෙලෙන මව්වරුන් ත්‍රිපෝෂ ආහාරයට ගැනීම කිසිසේත්ම සුදුසු නොවන බව තරයේ සිහිතබාගත යුතුය.

මාතෘ සායන හරහා මවක් සෑම මසකම පරීක‍ෂාවට ලක් කෙරේ. ගැබිනි සමයේ අවසානය ලංවෙන විට මසකට දෙවරක්ද ප්‍රසූතියට දින ආසන්නයේදී සතියට වරක්ද වශයෙන් මව්වරුන් පරීක‍ෂාවට ලක්කෙරේ. එහිදී සෑම සායනයකදීම කලලයේ වර්ධනය මැන බැලීම, මුත්‍රාවල ප්‍රෝටීන්, රුධිර පීඩනය පරීක‍ෂාව සිදුකෙරේ.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


		    
Previous articleගැබිනි සමයේ විසිහත්වන සතිය
Next articleගැබිනි සමයේ විසිනවවන සතිය
සාරංගි රන්පටබැඳි
අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here