දැන් චූටියා වැඩ කරන්නේ කාලසටහනකට
ඔන්න අම්මට දැන් පුළුවන් හොඳින් විමසිලිමත්ව චූටියා කුස තුළ ඉඳගෙන මොනවද කරන්නේ කියලා බලන්න. මේ වන විට එයාට හුරුපුරුදු වූ නිදා ගැනීමේත් නැඟිටීමේත් කාල චක්‍රයක් තියෙනවා. චූටියාගේ චලනයන් සිදු වන වේලාවන් එය සිදුවන ආකාරය පිළිබඳව අම්මට දැන් දැනෙනවා. චූටියා රාත්‍රි කාලය හෝ දිවා කාලය හෝ වෙන රටාව අම්මා හඳුනාගත යුතු වෙනවා. යම් අවස්ථාවක චූටියාගේ චලනයන්ගේ අඩුවක් දැනුනොත් නිසි වෛද්‍ය උපදසේ වලට යොමු වෙන්න ඕනේ බව අම්මා මතක තියාගන්න..
ගැබිනි සමයේ විසිනවවන සතිය
මේ වන විට සිරුරේ වැඩි කොටසක් හොඳින් වර්ධනය වී ඇති ඔබේ බිළිඳාගේ බර කිලෝ එකකුත් ග්‍රෑම් 153ක් පමණ වෙනවා. ඒ වගේම හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර් 38.6 පමණ ඇති. මේ වන විටත් බිළිඳාගේ පෙනහලූ වගේම මාංශපේශීන් වර්ධනය වෙමින් පවතිනවා. ඒ වගේම සිරුරට සමානුපාතිකව හිස ප්‍රමාණයෙන් විශාල වෙමින් පවතිනවා. බිහිවූ විගස හුස්ම ගැනීම සඳහා පෙනහලූ මේ වන විට සැකසෙමින් පවතී. තවදුරටත් අස්ථී සවිමත් වෙමනි පවතිනවා. ඒ වගේම අකෂි කුහරය තතුළ ඇස චලනය වනවා. ඇටමිදුලූ තුළ රතු රුධිර සෛල නිපදවෙන අතරම සිරුර තුළ මේදය රැස්කරගැනීම මේ වන විටත් සිදු වෙනවා. එමගින් බිළිදාගේ ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා ශක්තිය ලබාදෙනවා.
ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා
පෙර සඳහන් කළ පරිදිම ඔබට යම් යම් අපහසුතා මේ වන විටත් දැනෙනවා ඇති. ඒ අතරින් කෙණ්ඩා පෙරලීම, නිතර නිරත මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය දැනීම, සුව නින්දක් නොලැබීම, නාසයේ තදබදය ඒ අතරින් කිහිපයක්. මේ අපහසුතා යම්තාක් දුරකට හෝ අවම කරගැනීමට ඔබට යම් යම් උපදෙස් පසුගිය ලිපි හරහා අප ලබාදුන්නා.
ගැබිනි මවකට මුහුණ දීමට සිදුවන අපහසුතා අතරින් තවත් එක් දෙයක් වන්නේ මලබද්ධයයි. හොඳින් ජලය පානය කොට, පළතුරු වර්ග, පළා වර්ග ආහාරයට ගැනීම මගින් ඇතැම් මව්වරුන්ට මේ තත්ත්වය වළක්වා ගත හැකි වුවද ඇතැම් මව්වරුන් තදබල ලෙස මේ ගැටලූව හමුවේ පීඩාවට පත්වනවා. මෙහිදී ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් වැදගත් වනවා.
ගැබිනි සමයේ තෙවන ත්‍රෛමාසිකය වන විට සාමාන්‍යයෙන් මවගේ බර රාත්තල් 23ක් පමණ දක්වා ඉහළ යයි. නමුත් පෙර කිහිපවිටක්ම සඳහන් කළ පරිදි ඔබේ බර BMI දර්ෂකයට අනුව නිවැරදි මට්ටමේ පවතී නම් ඒ පිළිබඳව කණස්සල් වීම කිසිසේත්ම අවශ්‍ය නොවේ. ඔබේ බර තත්ත්වය අඩු හෝ වැඩි වී ගැටලූකාරී තත්ත්වයක් උද්ගතව පවති නම් වෛද්‍යවරයා ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන අතරම අවශ්‍ය පිළියම්ද යොදනු ලබයි.
අම්මෙක් වෙන්න යන ඔබ දැන සිටය යුතු ”නොමේරූ දරු උපත”
ගැබිනි සමයේ 37 වන සතියට පෙර ළදරුවා බිහිවීම නොමේරූ දරු උපතක් වශයෙන් හැඳින්වේ. නොමේරූ දරු උපත ස්වභාවිකවම සිදු විය හැකි අතර ඇතැම් විට මවගේ හෝ කලලයේ ඇති යම් යම් සංකූලතාවයන් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත සති 37 පෙර දරුවා බිහිකිරීම සිකළ යුතු වන අවස්ථා ඇත.
ලංකාවේ ඇති පහසුකම් අනුව සති 26ට පෙර බිහිවන දරුවන් ජීවත් කරවීමට ඇති හැකියාව අවම වන අතර එම නිසා සති 26ට පෙර ළදරුවෙකු බිහිවීම ගබ්සාවක් ලෙස හැඳින්වේ. නමුත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම අද වන විට සති 26න් පසු බිහිවන ළදරුවන් වැඩි දෙනෙකු ජීවත් කරවීමට හැකියාව අප සතුය. එසේම වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම මේ සඳහා අවශ්‍ය පහසුකම් තව තවත් සැලසෙන අතරම අද වන විට ඇමරිකාව වැනි දියුණු රටවල සති 22 දී උපත ලබන දරුවන් පවා ජීවත් කරවීමේ පහසුකම් සහිතය. කෙසේ වුවද සති 37 ට පෙර උපදින එනම් නොමේරූ ළදරුවන්ගේ සංකූලතා ඇති වීම ඉහළ වන අතරම සති 30 ට පෙර උපදින ළදරුවන්ගේ දැකිය හැකි සංකූලතාවයන් ඊටත් වඩා වැඩිය.
නොමේරූ ළදරුවන් බිහිවීමට හේතු :
මේ හා සම්බන්ධව නිෂ්චිත හේතුවක් ඉදිරිපත් කළ නොහැකි අතරම පහත සඳහන් හේතු මත මේ තත්ත්වය ඇති වේය යන්න විශ්වාස කෙරේ. එනම්,
- ගැබ් ගෙලෙහි/ගර්භාෂයේ අසාමාන්‍යතා
- ගර්භාෂයට විෂබීජ ඇතුළු වීම (උල්බ කෝෂයට හානිවීම හේතුවෙන්)
- බහුභ්‍රෑණ තත්ත්වයන්
- හදිසි අනතුරු හේතුවෙන්
- මීට පෙර ප්‍රසූති අවස්ථාවන්හිදී නොමේරූ ළදරුවන් බිහිකර තිබීම (මෙවැනි මව්වරුන් අවදානම් මව්වරුන් ලෙස සැළකේ.)
මේ තත්ත්වය ඇති වේයැයි කල් තියා නිගමනයකට ආ නොහැකි වන අතරම පෙර ප්‍රසූති තත්ත්වයකදී නොමේරූ ළදරුවන් බිහිකළ මව්වරුන්ට මේ තත්ත්වය ඇති වීමේ අවධානමක් පවතී. සාමාන්‍ය තත්ත්වයේ සිටන මවකට වුවද මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවිය හැකි වුවත් එය කල්තියා නිගමනය කිරීම අපහසුය.
නොමේරූ ළදරුවන් බිහිවීමේ තත්ත්වය අවම ගැනීමට නම් පෙර ප්‍රසූති අවස්ථාවන්හිදී නොමේරූ ළදරුවන් බිහි කළ මවක් පූර්ව ගර්භණී සායන සඳහා සහභාගී විය යුතු අතරම වෛද්‍යවරයාට සියලූ තොරතුරු සැපයිය යුතුය. එසේම ළදරුවාගේ මරණ පරීකෂණයක් සහ වැදැමහ පරීකෂණ වෙත යොමු කර වාර්තා ලබාගැනීම ඉතා වැදගත් වන්නේ ඊලඟ ප්‍රසූතියේදී ඇති විය හැකි මෙවැනි සංකූලතා අවම කරගැනීමට යම් සහයක් ලැඛෙන බැවිනි.
නොමේරූ ළදරුවන් බිහිවීම වලක්වා ගැනීමට :
- සති 14 සිට දින දහයක් දක්වා ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම
- මුත්‍රා පරීකෂණ වෙත යොමු වීම
- ගැබ්ගෙලට මැස්මක් යෙදීම (cervix cerclage)
– පෙර ප්‍රසූති තත්ත්වයන්හිදී දෙතුන් වරක් නොමේරූ දරුවන් බිහිකළ මව්වරුන්ට
– පළමු ප්‍රසුතියේදී මේ තත්ත්වය ඇති වූයේ නම් ගැබ්ගෙලේ දිග මැන එය අඩුවෙන තත්ත්වයක් ඇති මව්වරුන්ට
- සති 34 දක්වා ප්‍රොජෙස්ටරන් හෝමෝනය ලබාදීම
- පෙර ප්‍රසූති අවස්ථාවලදී ඇති වූ තත්ත්වයන් සළකා බලා සති 16 පෙර ඇස්ප්‍රින් ඖෂධය ලබාදීම. (ඇස්ප්‍රින් භාවිතය පිළිබඳව පෙර ලිපි හරහා දැනුවත් කර ඇත.)
ගැබ්ගෙලට මැස්මක් යෙදීම (cervix cerclage)
ඉහත තත්ත්වයේ අවදානම ඇති මව්වරුන්ට ගැබිනි සමයේ සති 14ත් 20ත් අතර කාලයේදී ගැබ්ගෙලග මැස්මක් යෙදීම සිදු කරයි. ඒ කොන්දෙන් පහළ කොටස නිර්වින්දනය කිරීමෙන් අනතුරුවයි. මෙම ක්‍රියාවේදී දරු ගැබ ගබ්සා වීමට ඇති හැකියාව 1% ප්‍රතිශතයකි. නමුත් ගැබ් ගෙලට මැස්මක් යෙදීම සිදු කළ යුතු අවස්ථාවේ සිදු නොකළහොත් නොමේරූ දරු උපතක අවදානම වැඩි විය හැකිය.
ගැබ්ගෙලට මැස්මක් යෙදීමෙන් අනතුරුව :
- මවට ප්‍රතිජීවක ඖෂධ හා ප්‍රොජෙස්ටරොන් ලබාදේ
- මව්වරුන් අවම වශයෙන් එක් දිනක් හෝ රෝහලේ රඳවා ගනී
- සති 36දී යෙදූ මැස්ම ඉවත් කෙරේ
නොමේරූ දරුවන් බිහිවීමේ අවධානම මත ගැබ්ගෙලට මැස්ම යෙදූ මවකට ප්‍රසූත වේදනා ඇති වුවහොත් හැකි ඉක්මණින් රෝහල වෙත පැමිණීමට වගබලාගත යුතුය. මන්ද ගැබ්ගෙලට මැස්මක් යොදා තිබියදී දරුවා පිටතට පැමිණුනහොත් ප්‍රසූති මාර්ගය දරුණු ලෙස ඉරී යාමට ලක්විය හැකි බැවිනි.
— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–
වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය
මෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.
ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.