අම්මට කොයි මොහොතේ රෝහලට යන්න වෙයිද දන්නෙ නෑ.. කොයි දේටත් පෙර සූදානම වැදගත් කියනවනෙ….
චූටියාත් දැන් ඉන්නේ අම්මා ළඟට එන්නේ කවදද කියලා මග බලාගෙන. අම්මා දන්නවද? චූටියා ලැඛෙන්න නියමිත දිනට සති 7 කට කලින් උනත් දරුවා ලැඛෙන්න පුළුවන්. කුමන හෝ ගැටලූවක් ඇති වුණොත් ඩොකටර් ළඟට යන්න නම් අදිමදි කරන්න එපා.
ඉදිරි සති දෙක තුළදී චූටියාගේ තාත්තා එක්ක අවශ්‍ය වූ වහාම රෝහලට යාමට සූදානම් වෙලා ඉන්න. මේ අම්මාගේ පළමු දරු ප්‍රසූතිය නම් පෙර සූදානම වඩාත් වැදගත්.
පළමු ප්‍රසූතියට සූදානම් වන අම්මලාට ප්‍රසූත වේදනාව දැනීම තරමක් ව්‍යාකූල තත්ත්වයක් විය හැකියි. ගර්භාෂයේ සිදුවන සංකෝචනය සහ එයින් නිකුත් කරන සංඥා පළමු වරට අම්මාට පෙර කී ව්‍යාකූල තත්ත්වයක් මෙන්ම පීඩනයක් විය හැකියි. ගර්භාෂය තුළ නිතර නිතර මෙම සංකෝචනය සිදු වන විට සාපේකෂව එය අම්මට පෙරට වඩා සමීප බවක් දැනෙන්නට පුළුවන. නිරන්තරයෙන් මේ සංකෝචනය ගැන සැලකිලිමත්වීම වැදගත් වන අතර යම් ගැටලූකාරී තත්ත්වයකදී වෙනස් බවක් දැනුණොත් වෛද්‍යවරයාගෙන් හෝ පවුල් සෞඛ්‍ය නිළධාරිනියගෙන් උපදෙස් ලබාගන්න.
අම්මා බය වෙන්න එපා… ඒත් අහල තියෙනවා නේද අවදානම් අවස්ථා ඇති වෙන්න පුළුවන් අම්මලත් ඉන්නවා. ඒ තමයි මීට කලින් නොමේරූ දරුවන් බිහි කළ අම්මලා, නිවුන් දරුවන් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් දරුවන් බිහි වීමට සිටින අම්මලා, ගර්භාෂයේ හෝ ගැබ් ගෙලෙහි යම් අසාමාන්‍යතා තියෙන අම්මලා තමයි ඒ. ඉතිං මේ වගේ තත්ත්වයක් යටතේ දරු ප්‍රසූතිය අවදානම් වෙන්න පුළුවන් නිසා අවශ්‍ය හැම අවස්ථාවකදීම වෛද්‍ය උපදෙස් ලබගත යුතුමයි.
ගැබිනි සමයේ තිස්තුන්වන සතිය
සති තිස්තුනක් පුරා ඔබේ කුස තුළ වැඩුණු බිළිඳාගේ බර කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 900කට වඩා වැඩියි. උස සෙන්ටිමීටර් 43.7 යි. හරියටම කිව්වොත් අන්නාසි ගෙඩියක් තරමයි. දැන් ඔබේ බිළිඳාගේ අස්ථී ඉතාම ශක්තිමත්ව සැකසී තිඛෙන අතරම බිළිඳා තමාට අවශ්‍ය පරිදි ඒ වගේම එයාට පහසු ආකාරයට ගර්භාෂය පරිහරණය කරනවා. අවශ්‍ය ඉඩ සකසා ගන්නවා.
ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා
මේ වෙද්දි අම්මට හරිම වෙහෙසයි. එහෙම නේද? සති 33 වන විට ගැබිනි සමයේ ඇති වන අධික වෙහෙස සාමාන්‍ය තත්ත්වයකි. වර්ධනය වන දරුවාගේ බරද වැඩි වෙමින් පවතින අතර ඔබගේ ශක්ති ප්රමාණයච ඒ හා සමානව වැයවේ.
මේ කාලය තුළ ඇති වන පාදවල ඉදිමුම පිළිඳව පෙර ලිපියකදී දීර්ඝව සාකච්ඡා කෙරුණා ඔබට මතක ඇති. සමහරවිට ඔබට වළලූකර හා පාද නැවත පෙර පැවති තත්ත්වයට නොපැමිණේ යැයි සිතෙන තරමට ඉදිමීම ඇති වන්නට පුළුවන. ඔබ උණුසුම් දේශගුණයක ජීවත් වන්නේ නම් ඉදිමීම වඩාත් දැඩිව තිඛෙන්නට පුළුවන. හැකි සෑම අවස්ථාවකදීම පාද උසකින් තබාගෙන සිටීමට කටයුතු කළ යුතු අතර එය ඉදිමීම අවම කරගැනීමට උදව් වේ.
ඔබේ ඇඟිලි හා මැණික් කටුවේ ඇතිවන වේදනාව, හිරි වැටීම ආදී තත්ත්වයන් ඇති විය හැකි අතර අත් හා මැණික් කටුව තුළ සහාය පටක ඉදිමීම ද සිදු විය හැකිය. ටයිප් රයිටරයක රාජකාරී කරන අයෙකු මෙන් ඔබ නිරන්තරයෙන් අත් ක්‍රියාකාරී කටයුතුවල යොදවන්නේ නම් මෙම තත්ත්වය වැඩිපුර ඇතිවේ. හැකි සෑම විටම අතට හා මැණික් කටුවට විවේකයක් ලබාදීම කළ යුතුය. මේ පිළිබඳව පෙර ලිපි හරහා වැඩි විස්තර සහිතව ඔබව දැනුවත් කරනු ලැබීය.
මේ වන විටත් ගර්භාෂය මගින් මුත්රාශයට පීඩනයක් එකතු වන අතර එනිසා මුත්‍රා පිටවීම වැඩිපුර සිදු කිරීමට ඔබට සිදුවන අවස්ථා ඇත.
ගැබිනි සමයේ 33 වන සතිය වන විට ගර්භණී ඔබගේ බර වැඩි වීම රාත්තල් 26ක් 27ක් පමණ ප්‍රමාණයක් දක්වා වැඩි විය හැකිය. සමහර මව්වරුන්ගේ බර මෙයට වඩා අධිකව වැඩි වන අවස්ථාද දක්නට ලැබේ. දරුවාගේ වර්ධනය සඳහා අමතරව අවශ්‍ය වන ජලය ගර්භාෂය තුළ රඳවා ගැනීම නිසා මෙම බර වැඩි වීම සිදුවේ.
අම්මෙක් වෙන්න යන ඔබේ අවධානය යොමු විය යුතු ”ගැබිනි සමය සහ අපස්මාරය ”
අපස්මාරය හෙවත් එපිලෙප්සි සාමාන්‍යයෙන් සුලබ රෝගී තත්ත්වයකි. මෙම රෝග තත්ත්වය වර්ග කිහිපයකින් දැකිය හැකි අතරම තමාට පවතින්නේ කුමන වර්ගයද යන්න පිළිබඳව සෑම රෝගියෙක්ම දැනුවත්ව සිටීම වැදගත් වේ. එසේම අපසුමාරය හෙවත් එපිලෙප්සි තත්ත්වය පළමුවරට ගැබිනි සමයේ ඇති වන අවස්ථාද කලාතුරකින් දැකිය හැක. නිසි වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර ලබාගනිමින් තත්ත්වය පාලනය කිරීම තුළින් සාර්ථක ඔබේ ගැබිනි සමය ගත කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
ඔබ, අපස්මාර තත්ත්වය පවතින කාන්තාවක් නම් ගැබ් ගැනීමට පෙර ඔබගේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයා මෙන්ම නාරි හා ප්‍රසව වෛද්‍යවරයා හමුවන්නට ඇති. මන්ද මෙවැනි තත්ත්වයේ සිටින කාන්තාවක් තම දරු ප්‍රසූතිය ඉතා සැලසුම් සහගතව සිදුකළ යුතු බැවිනි. මෙවැනි තත්ත්වයේ සිටින කාන්තාවක් දරු පිළිසිඳ ගැනීමකට යොමු විය යුත්තේ රෝගය හොඳින් පාලනය වීමෙන් අනතුරුවය. මන්ද රෝගය හරි හැටි පාලනය නොවුණු කාන්තාවකට නිරත නිතර වලිප්පුව ඇති විය හැකි අතරම කලලය වෙත ගමන් කරන ඔක්සිජන් ප්‍රමාණය අවම වී මවගේත් දරුවාගේත් ජීවිත අවදානමට ලක්විය හැකි බැවිනි. තවද රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා ලබා දෙන සෝඩියම් බැල්ප්රොවේට් වැනි ඖෂධ වර්ග කලලයට හානිකරවීම ද තවත් හේතුවකි. දරු පිළිසිඳ ගැනීම හොඳින් සැලසුම් කළ යුතු වන්නේ මෙම හේතු මතයි. අපස්මාර තත්ත්වයේ සිටින සාමාන්‍ය කාන්තාවකට ලබාදෙන ඖෂධ වර්ග ඇය ගැබි ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී නම් ක්‍රමක්‍රමයෙන් වෙනස් කළ යුතු අතරම ඒ සඳහා මාස හය හතක කාලයක් ගතවේ. එසේම මෙවැනි කාන්තාවන් ෆෝලික් අම්ල විටමිනය මිලිග්‍රෑම් 5ක් ලබාගත යුතුය. මේ තත්ත්ව යටතේ රෝගය හොඳින් පාලනය කළ එනම් අඩුතරමේ ආසන්න අවුරුදු දෙක ඇතුළත වලිප්පු තත්ත්වය ඇති නොවූ කාන්තාවකට දරු පිළිසිඳ ගැනීමක් සඳහා යොමු විය හැකිය. එතෙක් ආරකෂිත උපත් පාලන ක්‍රමයක් (අපස්මාරය පාලනය කිරීමට ලබාදෙන ඖෂධ වර්ග නිසා උපත් පාලන පෙතිවල ක්‍රියාකාරීත්වය අවම විය හැකි බැවින් හදිසි ගැබ්ගැනීම් වළක්වා ගැනීමට අමතර ආරකෂාව (Additional protection) සඳහා කොණ්ඩම භාවිතයට ද උපදෙස් ලබාදේ) භාවිත කිරීමට පූර්ව ගැබිනි සායන හරහා ඔබව දැනුවත් කෙරෙන ඇත.
අපස්මාරය හෙවත් එපිලෙප්සි තත්ත්වය ඇති කාන්තාවකගේ ගර්භණී සමය
ඉහත පරිදි රෝග තත්ත්වය පාලනය කළ කාන්තාවක් ගැබ් ගෙන මුල් අවධියේදීම තම ස්නායු රෝග විශේෂඥවරයා මෙන්ම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා හමුවීම ඉතා වැදගත් වේ. එසේම නොකඩවා සායන සඳහා සහභාගී විය යුතුය. එසේම අධික වමනය තත්ත්වයක් පවතී නම් ඒ සඳහා අවශ්‍ය පිළියම් වෛද්යවරුයාගෙන් ලබාගන්න. මන්ද එවැනි තත්ත්ව යටතේ වලිප්පුව ඇති විය හැකි බැවිනි.
මෙසේ රෝගය හොඳින් පාලනය කළ සමහර කාන්තාවන් ගැබ්ගැනීමෙන් අනතුරුව කලලයට හානි වේ යැයි බියෙන් තමාගේ රෝග තත්ත්වයට ලබාදෙන ඖෂධ නතර කරයි. එය කිසිසේත්ම සුදුසු තත්ත්වයක් නොවන්නේ වරින් වර වලිප්පු තත්ත්වය ඇති වීම මවට මෙන්ම කලලයටද හානිදායක වන බැවිනි. මේ තත්ත්වයේදී ගැබිනි මවකට ලබාදෙන ඖෂධ මගින් කලලට ඇති බලපෑම අවම වන අතරම ඖෂධ දිගටම ලබාගැනීම අනිවාර්ය වේ. එසේම සති 11ත් 14ත් අතර සිදුකෙරෙන දින නිර්ණය කෙරෙන ස්කෑන් පරීකෂණය සඳහා යොමුවිය යුතු අතරම එහිදී මවගේ රෝග තත්ත්වය හෝ ඒ සඳහා ලබාන්නා ඖෂධ හේතුවෙන් කලලයට යම් හානිකර තත්ත්වයක් ඇත්දැයි යන්න ද සොයා බැලේ. එසේම මෙම තත්ත්වයේ සිටින මව්වරුන් සති 28 සිට මාසකට වරක් ස්කෑන් පරීකෂණය සඳහා යොමු කෙරෙන අතරම කලලයේ වර්ධනය පිළිබඳව එහිදී පරීකෂා කරනු ලබයි.
අපස්මාරය ඇති කාන්තාවකට ගැබ් ගැනීමත් සමගම වලිප්පු තත්ත්වය ඇති වීමේ ප්‍රවණතාව වැඩි වන බැවින් කිසිදු විටෙක තනිව නිවසේ රැඳීම නුසුදුසු අතරම වලිප්පු තත්ත්වය ඇතිවන ඕනෑම අවස්ථාවක වහාම රෝහල් වෙත පැමිණිමට සෑමවිටම සූදානම්ව සිටිය යුතුය. කෙසේ වුවද වලිප්පුව තත්ත්වය ඇති නොවන මව්වරුන්ට ගැටලූකාරී තත්ත්වය අවමය. නමුත් විටින් විට වලිප්පුව ඇතිවන මෙන්ම රෝග තත්ත්වය පාලනයට ඖෂධ වර්ග කිහිපයක් ලබාගන්නා මව්වරුන්හට හානි කර තත්ත්වයන් පවතින අවස්ථාවලදී කලලය ඉවත් කිරීමට වුවද සිදුවිය හැකිය.
අනෙක් ඕනෑම අවස්ථාවකදී මෙන්ම ගැබිනි සමයේදී වුවද අපස්මාරය ඇති මවකට වලිප්පුව ඇති විය හැකි අතරම එවන් අවස්ථාවකදී ඇද වැටීම්/පෙරලීම් වැනි දේ නිසා ඇයට සිදුවන හානිය අවම කරගැනීම සඳහා කටයුතු කරමින් තත්ත්වය පහව යනතුරු ඇය එක් පසකට හරවා තබාගත යුතුවේ. එසේම මුව තුළට හැඳි, ඇඟිලි හෝ වෙනත් දේ දැමීමෙන් ද අතට යකඩ කැබලි හෝ වෙනත් දේ අල්වා ගැනීමට ලබාදීමෙන් ද වළකින්න. තත්ත්වය පහව ගිය විගස මවගේ මුව තුළ සෙම සිරවී ඇත්නම් එය මදක් පිසදමා ඉවත් කොට වහාම රෝහල වෙත රැගෙන එන්න.
දරු ප්‍රසූතිය
මෙවැනි මව්වරුන් ප්‍රසූත වේදනාව දැණුනු වහාම රෝහල වෙත පැමිණීමට වගබලාගත යුතුය. මේ තත්ත්වයේදී වුවද මවක් සාමාන්‍ය ප්‍රසූතියට යොමු කෙරෙන අතරම වේදනාව අධික වීම හේතුවෙන් වලිප්පු තත්ත්වය ඇති විය හැකි නිසා ප්‍රසූති වේදනාව අවම කිරීම සඳහා එපිඩියුරල් ක්‍රමය භාවිත කෙනෙරවා. (ප්‍රසූති වේදනාව අවම කරන එපිඩියුරල් ක්‍රමය පිළිබඳව ඉදිරි ලිපියකදී බලාපොරොත්තුවන්න)
අපස්මාර තත්ත්වයේ මවකට දරු ප්‍රසූතියේදී යම්හෙයකින් වලිප්පු තත්ත්වය ඇතිවුවහොත් යන සැකය මත ඇයගේ ප්‍රසූතිය සඳහා ආරකෂිත විශේෂ ඇඳක් භාවිත කරයි. ප්‍රසූති වේදනාව දැණුනු විගස රෝහල වෙත පැමිණිය යුතුවේ.
දරු ප්‍රසූතියෙන් පසු
දරු ප්‍රසූතියෙන් පසුව සිරුරේ සිදුවන හෝමෝන වෙනස මත හෝමෝන වෙනස මත පැය 48ක් ඇතුළත වලිප්පුව ඇති වීමේ ප්‍රවණතාවයක් ඇත.
එසේම මව්කිරි දීම, දරුවාගේ වැඩ කටයුතු හේතුවෙන් කාර්ය බහුල වීම, මහන්සිය වැනි හේතු මතද එසේ සිදුවිය හැකිය. එමනිසා මෙවැනි මවකට නිවැසියන්ගේ පූර්ණ සහයෝගය ලබාදීම ඉතා වැදගත් වේ. රාත්‍රී කාලයේදී මවට හොඳ නින්දක් ලබාගැනීමට ඉඩ සලස්වා මව්කිරි දොවා තබා ළදරුවාට ලබාදීමට හැකි නම් එය මවගේ සෞඛ්‍ය තත්ත්වයට සුදුසු වේ. මෙවැනි සහයෝගයන් හමුවේ මවකට මුහුණ දීමට සිදුවිය හැකි සංකූලතාවයන් අවම කරගත හැකිය.
අපස්මාර තත්ත්වයේ සිටින මවකට විශේෂ උපදෙස් :
- බිළිඳා බේසමේ බහා නෑවීමෙන් වළකින්න.
- ළදරුවාගේ ඇඳුම් මාරු කිරීමේදී බිම තබාගෙන එම කාර්යයන් ඉටුකිරීමට වගබලාගන්න
- මවගේ ඖෂධ නිසි වේලාවට ලබාගන්න (මවට ලබාගන්නා ඖෂධ වර්ග නිසා දරුවාට මව්කිරි ලබාදීම නුසුදුසු නම් වෛද්‍යවරයා ඒ පිළිබඳව මෙන්ම ළදරුවාට දිය යුතු ආදේශයක් පිළිබඳව ද ඔබව දැනුවත් කරනු ඇත)
- නැවත දරු පිළිසිඳ ගැනීමක් වසර දෙකක් දක්වා පමා කරන්න. (ළඟ ළඟ ගැබ් ගැනීම සිදුවුවහොත් රෝග තත්ත්වය උග්‍ර වීමේ ප්‍රවණතාවය ඉහළය)
අපස්මාරය හෙවත් එපිලෙප්සි සුලබ තත්ත්වයක් වන අතරම නිසි වෛද්‍ය උපදෙස් මත රෝගය පාලනය කරමින් සංකූලතාවලින් තොර ගැබිනි සමයක් මෙන්ම නිරෝගී දරු උපතක් ඔබට හිමිවනු ඇත.
— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–
වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය
මෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.
ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.