Home පළමු ත්‍රෛමාසිකය ගැබිනි සමයේ පළමු සති තුන

ගැබිනි සමයේ පළමු සති තුන

week_1

ලොව උතුම්ම පදවියේ කිරුළ පලදින්නට දැන් ඉතිං ඔබ සැරසෙන්න

විවාපත් යුවළකගේ ඊළඟ පැතුම කිරි කැටියෙකුගේ සිනාහඬ  අසන්නටයි. මවක් වන්නට යන ඔබ ඒ කාර්යය වෙනුවෙන් මානසිකවත් ශාරීරිකවත් සූදානම් විය යුතුය. ඒ සඳහා සුදුසුම වයස් සීමාව වන්නේ අවුරුදු 21ත් 35 ත් කාල සීමාවයි. ඒ කාලසීමාව තුළ මවට මෙන්ම දරුවාටද ඇති විය හැකි සංකූලතාවයන් අවමය. එසේම දරුවාගේ ඉදිරි කටයුතු සඳහා ආර්ථිකමය වශයෙන් ද යම් සූදානමක් මාපියන් සතු විය යුතුය.

දරු පිළිසිඳ ගැනීමකට පෙර සූදානම :

  • විවාහ වූ විගස ඔබ පදිංචි ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය යටතේ ලියාපදිංචි වන්න.
  • නව දිවි සුව සත්කාරක වැඩ සටහනට යොමු වී අවශ්‍ය උපදෙස් සමගින් දැනුවත් වෙන්න.
  • ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිටම ෆෝලික් ඇසිඞ් විටමිනය ලබාගන්න
  • පෝෂ්‍යදායී මෙන්ම නිවැරදි ආහාර රටාවකට හුරුවී ශරීරයේ බර නියමිත අගයේ පවත්වා ගන්න.
  • ශාරීරිකවත් මානසිකවත් සෞඛ්‍ය සම්පන්න වන්න.
  • මත්පැන්, දුම්වැටි භාවිතයෙන් මෙන්ම ඒවා භාවිත කරන පිරිස් අතර ගැවසීමෙන් ද වළකින්න.
  • පූර්ව ගර්භණී උපදේශන සායන සඳහා සහභාගී වී
    • රුබෙල්ලා එන්නත ලබා නොගත් අය එන්නත ලබාගන්න. (විවාහයට පෙර ඔබ රුබෙල්ලා එන්නත ලබා නොගත්තේ නම් ගැබ් ගැනීමට මාස තුනකට පෙර හෝ ලබාගත යුතුය.)
    • ගැබ් ගැනීමට පෙර මුඛ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමුකරන්න
    • හඳුනා නොගත් රෝග හඳුනා උපදෙස් ලබාගන්න. ප‍්‍රතිකාර සඳහා යොමුවන්න. (රූමැටික හෝ සංජානනීය හෘදයාබාධ, දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු ආශ‍්‍රිත රෝගාබාධ, අපස්මාරය වැනි රෝග මෙන්ම අධිබර තත්ත්වය)
    • වෛද්‍ය උපදෙස්වලට අනුව ජානමය සංකූලතා පරීක්‍ෂණයට යොමුවන්න
  • ඔබගේ ආර්ථික තත්ත්වය අනුව මවට හා දරුවාට අවශ්‍ය වියහියදම් පිළිබඳ සටහනක් සකස්කර ඒ සඳහා සූදානම්වන්න.
  • ඔබ ගැබ් ගෙන ඇත්දැයි නිවසේදීම පරීක්‍ෂා කර ගැනීමට සූදානම් වන්න.

දීර්ග කාලීනව යම් යම් රෝගාබාධ පවතින මව්වරුන් විශේෂයෙන්ම මෙම සායන සඳහා සහභාගී වීම ඉතා වැදගත්වේ. මන්ද ඉහත සඳහන් කළ පරිදි මවක වන්නට බලා සිටින ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සම්පූර්ණ නිරීක්‍ෂණයක් මෙහිදී සිදු කෙරෙන අතරම ගැබ් ගැනීමට නුසුදුසු තත්ත්වයේ සිටින මව්වරුන්ට රෝගය පාලනය වන තෙක් ආරක්‍ෂාාරී උපත්පාලන ක‍්‍රම හ`දුන්වා දෙනු ලබයි. ලංකාවේ  ඕනෑම ප‍්‍රදේශයක ජීවත් වන  ඕනෑම මවකට මේ සේවාව ලබාගත හැකිය.

ගැබිනි සමයේ පළමු සති තුන

ඔබ දන්නවාද? මව්කුසේ දරුවෙකු හැදෙන්නේ මෙහෙමයි.

උපත් පාලන ක‍්‍රමවලින් ඈත් වූ තරුණ යුවළක් ලිංගිකව සම්බන්ධ වීමෙන් පළමු මාසය තුළ කාන්තාව ගැබ්ගැනීමේ සම්භාවිතාව 20%කි. එමෙන්ම මාස හයක් ඇතුළත කාන්තාව ගැබ්ගැනීමේ සම්භාවිතාවය 75%ක් පමණ වේ. වසරක් පුරා ගත් කළ එය 80% ක අතර ප‍්‍රමාණයකි.

දරුවෙකු පිළිසිඳ  ගැනීමට නම්,

යම් විශේෂිත ලිංගික ඉරියව්වක් පිළිබඳව තහවුරු වීමක් නොමැති වුවද ගැබ් ගෙල ආසාන්නයටම ශුක‍්‍රාණු තැම්පත් කළ හැකි ඉරියව්ව ලෙස පුරුෂයා කාන්තාව මත සිටින ඉරියව්ව වඩාත් සුදුසු බව කියැවේ. දරු පිළිසිඳ ගැනීමක් සිදුවීමට කාන්තාවගේ හෝමෝන ක‍්‍රියාකාරීත්වය ද නිසි ආකාරයෙන් සිදුවිය යුතුය. එසේම අනෙක් වැදගත් සාධකය වන්නේ සරු කාල සීමාවයි. සරු කාලය තුළ අවම වශයෙන් දවසක් ඇර දවසක්වත් ලිංගිකව එක්වීම සුදුසුය. බොහොමයක් තරුණ තරුණියන්ට ලිංගික අධ්‍යාපනය නොමැතිකම හේතුවෙන් ගැබ් ගැනීම සම්බන්ධව ඇති දැනුම ද අවමය. අන්න ඒ නිසාම ගැබ්ගැනීම සඳඳු හා සුදුසුම කාල පරාසය කුමක්ද යන්න පිළිබඳව දැනුවත් වීම වඩා වැදගත් වේ.

ඔසප් චක‍්‍රය ආරම්භ වීම යනු දරු පිළිසිඳ ගැනීමක් සඳහා ගර්භාෂය අලුතින් සූදානම් වීමයි. ඔසප් රුධිර පිටවන පළමු දිනයේ පටන් අලුත් ඩිම්බයක් මේරීම ආරම්භ වේ. මෙය චක‍්‍රයක් ලෙස සෑම මසකට වරක්ම සිදු වන අතරම කාන්තාවන් වැඩි පිරිසකට ඔසප් වීම ආරම්භ වී  දින 14කින් ඩිම්බ මෝචනය සිදු වේ. දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා උපරිම සරුකාලය ලෙස 12 වන දිනයේ සිට 14 වන දිනය දක්වා කාල සීමාව දැක්විය හැකිය. එසේ පිටවන ඩිම්බයක් පැය 24ක කාලයක් පුරා පැලෝපීය නාලය තුළ පවතී. ස්ත‍්‍රී ප‍්‍රජනන පද්ධතිය තුළ ශූක‍්‍රාණුවකට පැවතිය හැක්කේ පැය 72ක් වුවද ශුක‍්‍රාණුවක හොඳම කාල සීමාව වන්නේ පැය 48කි.

ඩිම්බයක් සහ ඒ වෙත පැමිණෙන ශුක‍්‍රාණුවක් සංසේචනය වීම සිදුවන්නේ පැලෝපීය නාලයේ ඇන්පියොලා නම් ස්ථානයේදීය. එසේ සංසේචනය වී සෑදුණු යුක්තානුව ඒ මොහොතේ සිටම විභේදනය වෙමින් කලලයක් බවට පත්වීමට පටන් ගනී. එම කලලය පෙරලෙමින් ගර්භාෂය වෙත ගමන් කරයි. ඉන් දින හතකට පසුව ගර්භාෂ බිත්තියේ ඇලෙන කලලය හෙවත් මුරුල්ලා අවස්ථාව දිනෙන් දින දරුවෙකු ලෙස වර්ධනය වේ. ඉන්පසු කලලයට පිටතින් කෝරියම හා ඇතුළතින් කලලාවාරික පටලය වර්ධනය වී ඇති අතරම එය කලලාවාරික තරලයෙන් පිරී පවතී. එම කළලය සති 38ක් පුරා කුස තුළ වර්ධනය වේ. මෙම ගැබිනි සමයේ තුන් වන සතිය වන විට නිවසේදී සිදුකරන මුත‍්‍රා පරීක්‍ෂණය හරහා ඔබේ ගර්භණී බව තහවුරු කරගැනීමට අසීරුය.

ඔබ ගැබ් ගත්තේ කවදා සිටද යන්න වෛද්‍යවරුන් මෙන්ම පවුල් සෞඛ්‍ය සේවිකාවන් ද තීරණය කරන්නේ ඔබට අවසාන වරට ඔසප් ආරම්භ වුණු දිනයේ සිට වුවත් ඒ වන විට ඔබ ගැබ්ගෙන නොමැති බව සැබෑවකි. නමුත් ඔබට අවසන් වරට ඔසප් ඇති වීම සිදුවන්නේ දරුවෙකු පිළිසිඳ ගැනීමට සති දෙකකට පෙරයි. බොහෝ කන්තාවන් මේ පිළිබඳව දැනුවත් නැත.

ගර්භණී බව තහවුරු කරගැනීමේ පරීක්ෂණයෙන් නිවැරදිම ප්‍රතිඵල ලබාගන්න නම්,

මාසික ඔසප් චක‍්‍රය නියමිත දිනට සිදු නොවුණි නම් ඔබ කළ යුත්තේ ඉන් සතියකට පසු ගර්භණී බව තහවුරු කරගැනීමේ පරීක්‍ෂණය සිදු කිරීමයි. පරීක්‍ෂණයෙන් ලැබුණු ප්‍රතිඵලය සතුටුදායක එකක් නොවුණහොත් තවත් දින කිහිපයකට පසු නැවත පරීක්‍ෂණයට යොමුවන්න. මන්ද මෙම පරීක්‍ෂණය ඔබ සිදු කළේ අවසන් වරට ඔසප් සිදු වී ඉතා ආසන්නතම දිනයකදී බැවින් ඒ සඳහා යම් කාලයක් ලබා දෙන්නට ඔබට සිදු විය හැකිය. ඉන්පසුව නැවත එම පරීක්‍ෂණය සිදු කරන්න. ඔබ බලාපොරොත්තු වූ පිළිතුර තවමත් ලැබී නැත්නම් වෛද්‍යවරයෙකු හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවගේ සහාය පතන්න. නමුත් නිශ්චිත තීරණයක් ලැබෙන තුරු කිසිවිටෙකත් නුසුදුසු ආහාරපාන ලබා ගැනීමෙන් වැලකී ප‍්‍රවේශමෙන් කාලය ගත කරන්න. මන්ද නිවසේදී ඔබ විසින් සිදු කළ පරීක්‍ෂණයෙන් තහවුරු නොවුණ ද ඔබ දැනටමත් ගැබිනියක විය හැකියි.

ගර්භණී බව තහවුරු කරගැනීම උදෙසා ඔබ යොදාගන්නා පරීක්ෂණ කට්ටලය 

  • කල් ඉකුත්වීමේ දිනය සහ තත්ත්වය නිසි පරිදි පවතිනවාද යන්න සොයාබලන්න
  • එය ගබඩා කර ඇත්තේ සුදුසු තැනක නොවේ නම් එය ඉවත් කරන අලූත්තින් මිලදී ගන්න.
  • මෙම නිෂ්පාදනවල එක් එක් වෙළඳ නාම යටතේ ලබාදෙන උපදෙස් වෙනස් විය හැකි බැවින් උපදෙස් හොඳින් කියවන්න.
  • උදෑසන පරීක්‍ෂණය සිදු කළ හැකි නම් වඩාත් උචිත වන්නේ ඒ අවස්ථාවේදී මුත‍්‍රාවල සාන්ද්‍රණය වැඩි බැවිනි.
  • ප‍්‍රතිඵලය විනාඩියක් දෙකක් ඇතුළත ඔබට ලැබේ.

අම්මෙක් වෙන්න යන ඔබට මේ කරුණු ගොඩක් වැදගත් 

ඔබ අවුරුදු 35ට වැඩි දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන් මාස හයක් පුරා උත්සාහ කළ ද ප‍්‍රතිඵලයක් නොලද කාන්තාවක් නම් ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීම වඩාත් සුදුසුය.

වයස අවුරුදු 30ට අඩු කාන්තාවන්ට වසරක් යන තුරු මේ සඳහා අවස්ථාව ලබා ගත හැකිය. එනම් වසරක් ඇතුළත කාන්තාවක් ගැබ් ගැනීමේ ප‍්‍රතිශතය 80%කි. එසේම කිසිදු සංකූලතාවයන් නොමැති අවුරුදු 35ට අඩු කාන්තාවන් ද වසරක කාලයක් මේ පිළිබඳව බලා සීටීමේ වරදක් නොමැති වුවද අක‍්‍රමවත් ඔසප් චක‍්‍රයක් හෝ වෙනයම් සංකූලතාවයන් ඇති කාන්තාවන් මාස හයක් ඇතුළත පිළිසිඳ ගැනීමක්  සිදු නොවුණහොත් වෛද්‍යවරයෙකු හමුවිය යුතුය.

  • දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන් සිටින ඔබ දියවැඩියා තත්ත්වයෙන්, අධි රුධිර පීඩන තත්ත්වයෙන් පෙලේ නම් දරුවා පිළිසිඳ ගැනීමට පෙර නාරි හා ප‍්‍රසව වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ.
  • තෛරොයිඞ් ග‍්‍රන්ථියේ යම් රෝග තත්ත්වයකින් පෙලෙන දරුවෙකු පතන ඔබ, සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති දැයි සැකහැර දැනගැනීමයි. තවද ඔබ සැත්කමක් මගින් තෛරොයිඞ් ග‍්‍රන්ථිය ඉවත් කළ කාන්තාවක්නම් ගැබ් ගැනීමට පෙර පූර්ව ප‍්‍රසව සායන සඳහා සහභාගී වීමද අනිවාර්ය වේ.
  • ඔබ අධි බර තත්ත්වයේ පසුවන කාන්තාවක් නම් දරු පිළිසිඳ ගැනීම ප‍්‍රමාද වීමට එය හේතුවක් විය හැකි බැවින් ශරීරයේ බර අවම කර ගැනීමට උනන්දුවන්න.

මේ සියලූ කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසුය.

සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ මනා අවාධනයක් යොමු කොට නිසි වෛද්‍ය උපදෙස් ලබාගනිමින් නිරෝගී දරුවෙකු රටට දායාද කරන්නට හෙට දින මවක් වන්නට පෙරුම්පුරන ඔබත් අදිටන් කරගන්න.

WhatsApp භාවිතා කරනවද? අපිත් එක්ක chat එකට එකතු වෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


		    
Previous articleඔයාට ඕනී දුවෙක්ද? පුතෙක්ද?
Next articleගැබිනි සමයේ සිව්වන සතිය
සාරංගි රන්පටබැඳි
අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here