චූටියා බලන් ඉන්නේ අම්මගේ අතට පැනගන්නේ කවදද කියලා
චූටියා මෙලොව එළිය දකින දිනය එන්න එන්නම ළං වෙනවා. අම්මට ඉවසිල්ලක් නෑ. චූටි පැටියත් ඉවසිල්ලක් නැතිව බලාගන ඉන්නේ එළියට ඇවිත් අම්මගේ මූණ බලන්න වගේම තාත්තගේ අතට පනින්න.
ඒත්…, අම්මාගේ හිතට පුංචි බයක් දැනෙනවලූ. ඇයි ඒ ? අම්මා දන්නවද? ඇත්තටම දරු පැටියෙක් කුස පිළිසිඳ ගන්න මොහොතේ ඉඳලම මෙලොවට බිහිවන මොහොත දක්වා සිදුවෙන හැම සිදුවීමක්ම සොබාදහමේ ආශ්චර්යයක් වගෙයි. ඇත්තටම සොබාදහම එක්ක බැදුණු කිසිම දෙයක අහිතකර බලපෑමක් නෑ.
අම්මට තේරුණාද? චූටියා සොබාදහමේ ආශ්චර්යයක් විදියට මෙච්චර කාලයක් පුරා අම්මාගේ කුස තුළ වැඩුණු තරම්ම ලස්සන අත්දැකීමක් තමයි එයා මේ ලෝකෙට ස්වභාවික විදියට බිහිකරන එකත්.
ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රසූතිය ගැන. දියුණු රටවල්වල පවා දරුවා සැත්කමක් මගින් බිහිකිරීමට සිදු වුවහොත් එය මව්වරුන්ට කණගාටුදායක අවස්ථාවක්. ඔවුන් සාමාන්‍ය ප්‍රසූතිය හඳුන්වන්නේ ධනාත්මක අත්දැකීමක් ලෙසටයි. කාන්තාවකට හිමිවන වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ වටිනා අත්දැකීමක් ලෙස සාමාන්‍ය ප්‍රසූතිය හැඳින්වීම නිවැරදියි. මොකද වේදනාවන් අතරින් වුණත් දරුවා මේ ලෝකෙට බිහිකරාට පස්සේ අම්මා කෙනෙකුට දැනෙන සතුට, සැනසුම, ආදරය වෙන කිසිම දේකින් ලබන්න බෑ. ඉතිං චූටියා ගේන දවසට අම්මත් හිතේ බයක් ඇති කරගන්න ඕනේ නෑ. මව්පදවියේ සොඳුරු අත්දැකීම හරි විදියටම විඳින්න අම්මත් සූදානම් වෙන්න.
”අපෝ .. නෝමල් බබා ගන්න ගියොත් චූටියට විතරක් නෙවෙයි අම්මටත් කරදර වෙන්න පුළුවන්කෙ” කෙනෙක් එහෙම කියන්න බැරි නෑ… ඒත් අම්මා හොඳට හිතට ගන්න, සාමාන්‍ය ප්‍රසූතියකින් දරුවාටවත් අම්මාටවත් හානියක් සිදුවේය යන අදහසක් අපේ සමාජය තුළ පැවතුණත් එහි සත්‍යතාවයක් නැති බව. ප්‍රසූතිකාගාරයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලය මගින් අම්මාට ලොකු සහයෝගයක් ලබා දෙනවා විතරක් නෙවෙයි, ප්‍රසූත වේදනාව අවම කරන්නත් අවශ්‍ය පහසුකම් මේ වන විට රෝහල් සතුව පවතිනවා. ඒ පිළිබඳව වෛද්‍යවරයාගෙන් විමසන්න අම්මට අයිතිවාසිකමකුත් තියෙනවා. ඉතිං සාමාන්‍ය ප්‍රසූතිය ගැන සමාජයේ තියෙන වැරදි මතයන් ගැන හිතමින් පසුතැවිලි වෙන්නවත් බිය වෙන්නවත් කාලය වැය කරන්න චූටියාගේ අම්මා නම් මෝඩ වෙන එකක් නෑ කියලා අපි දන්නවා.
ගැබිනි සමයේ තිස්හත්වන සතිය
ඔන්න, මේ ගතවෙන්නේ ගැබිනි සමයේ 37වන සතිය. දැන් බිළිඳාගේ බර කිලෝ ග්‍රෑම් 2. 850 වගේ වෙනවා. ඒ වගේම හිසේ සිට පාදාන්තය දක්වා උස දළ වශයෙන් සෙන්ටිමීටර් 50ක් පමණ.
දැන් ඔබේ ප්‍රසූතියට දින බොහොම ආසන්නයි. ගැබිනි සමයේ 37 වන සතිය සම්පූර්ණ වන විට මුල්කාලීනව දරුවෙකු බිහිකළ හැකි තත්ත්වයක පවතින නමුත් ඉදිරි සති දෙක ඇතුළද බිළිඳෙකුගේ මොළය සහ පෙනහලූ හොඳින් පරිණත වන නිසා යම් අත්‍යවශ්‍ය තත්ත්වයක් මත මිස දරුවා බිහිකිරීමක් සිදුවන්නේ නැත.
ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා
දැන් නම් අම්මලාට සතුට දෝරෙ ගලන කාලේ. සති 37 යි කියන්නේ, ඇත්තටම කිව්වොත් මුල් කාලීනව දරුවකු බිහි කළ හැකි මට්ටමේ ඔබ ඉන්න නිසා දරුවා මේ වන විට සෞඛ්‍ය සම්පන්නයි. යම් සංකූලතාවයක් ඇති වුවහොත් මුල් කාලීන අවදියේදි දරුවා බිහි කිරීමේ හැකියාව පවතිනවා. සති 37 ක් හා ගැබ් ගෙන සති 42 ත් අතර ඕනෑම අවස්ථාව දරුවෙකු බිහි විය හැකියි.
ඔබ මතක තබාගත යුතු විශේෂ කරුණක් නම් ළදරුවන්ගේ 80% ක් පමණ උපත ලබන්නේ සති 37-42 ත් අතර බවයි. නියමිත දිනට උපත ලබන දරුවන් සිටින්නේ 5% ක් පමණ අඩු ප්‍රතිශතයකි.
ඔබ දරු ප්‍රසූතිය සඳහා සූදානම්
දරු ප්‍රසූතියේ ප්‍රසූති ලකෂණ සති 37 සහ 42 කාලය තුළ ඇතිවිය හැකිය.
ඔබ දරු ප්‍රසූතියේදී පහළ වන ලකෂණ පිළිබඳ දැනුවත්ද? ඒ පිළිබඳව දැනුවත් වීම ඔබට ඉතා අවශ්‍යයයි.
- බබාගේ චලනයන්වල අඩුවක් දැනීම
- යෝනි මාර්ගයේ සිට උකු තරලයක් වැනි දේ පිටවීම හෝ රුධිර වහනය වීම
- යටි බඩ දෙසින් ඇතිවන තද අපහසුව හා කෙණ්ඩා පෙරළීම
- ගර්භාෂය තද කරනවා මෙන් රිද්මයානුකූලව දැනෙන වේදනව
සැබෑවටම ප්‍රසුති ලකෂණ පහළ වූ විට,
- විනාඩි කිහිපයකට වරක් නිරන්තරයෙන් ගර්භාෂයේ සිදු වන හැකිලීම හා දිග හැරීම
- මෙම තත්ත්වය පැමිණි පසු විවේක ගත්තද එහි අඩුවක් නොදැනේ
නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම මේ කාලයේදී කළ යුතු වේ.
අම්මෙක් වෙන්න යන ඔබේ අවධානය යොමු විය යුතු ”සාමාන්‍ය දරු ප්‍රසූතිය”
මෙම ලිපියේ පෙර සඳහන් කළ පරිදිම අපේ ජීවිතවල ඕනෑම අවස්ථාවකදී ස්වභාවිකත්වයට මුල්තැන ලබාදීම තුළින් අපිට ඇති විය හැකි ප්‍රතිවිපාක අවම වනු නිසැකය. සීසර් සැත්කම මෙන් නොව සාමාන්‍ය ප්‍රසූතියේදී මවට/දරුවාට ඇති වන හානිදායක තත්ත්වය වැඩිය, දරාගත නොහැකි තරමේ වේදනාවක් ඇති වේය වැනි සාමාන්‍ය ප්‍රසූතිය පිළිබඳව බොහොමයක් මිත්‍යා මත සාමාජය තුළ පැවතුණද ඒවායේ නිවැරදි බවක් නොමැත. අප සමාජය එල්ඹ ඇති මතය වන්නේ සිසේරියන් සැත්කම හරහා දරුවන් බිහිකිරීම අහිතකර ප්‍රතිඵල ඇති නොවේ යන්න ලෙස වුවද එය තරමක විශාල සැත්කමක් වන අතරම පහසු/ආරකෂාකාරී ක්‍රමයක් ද නොවේ. අහිතකර බලපෑම් වැඩි සැත්කමකි. අත්‍යවශ්‍ය හේතුවක් මත වෛද්‍ය නිර්දේශයට අනුව මිස සිසේරියන් සැත්කම වෛද්‍යවරයාගේ ඉල්ලා සිටීම කාන්තාවක් තමා විසින්ම තමාට සිදුකරගන්නා අයහපතකි.
සාමාන්‍ය ප්‍රසූතියේ ආරම්භය
සාමාන්‍ය ප්‍රසූතිය පළමු, දෙවන සහ තෙවන ලෙස අදියර තුනක් යටතේ සිදුවේ.
පළමු අදියර :
සාමාන්‍ය ප්‍රසූතියේ පළමු අදියර පියවර දෙකකි. එනම්,
- Latent Phase මෙම පියවර පිටතට නොපෙණුන ද අභ්‍යන්තරයේ ක්‍රියාත්මකව පවතී-
- Active Phase (ක්‍රියාකාරී පියවර)
සාමාන්‍ය ප්‍රසූතියේ පළමු අදියරේ පළමු පියවර හෙවත් Latent Phase තත්ත්වයේදී සිදුවන්නේ ප්‍රසූත වේදනාව ක්‍රමාණුකූලව ඇති වෙමින් ගැබ්ගෙල 0 සිට 4cm ප්‍රමාණයක් විවෘත වීමයි. මේ සඳහා පළමු ප්‍රසූති අවස්ථාවේදී සාමාන්‍යයෙන් පැය 16 – 18ක පමණ කාලයක්ද දෙවන ප්‍රසූති අවස්ථාවේ සිටින මවකට නම් පැය 8 – 12ක අතර කාලයක් ද ගත විය හැකිය. මෙවැනි ප්‍රමාණයක් ගැබ්ගෙල විවෘත වීමට ඇතැම් මව්වරුන්ට සතියක පමණ කාලයක් වුවද ගත වන අවස්ථා දැක ගත හැකිය. ප්‍රසූතිය ආරම්භක පියවර වන මෙම අවස්ථාවේදී රෝහලට පැමිණීම අත්‍යවශ්‍ය නොවන අතර වේදනාව සඳහා පැරසිටමෝල් ඖෂධය ලබා ගෙන නිවසේ හොඳින් එහා මෙහා ඇවිද, ස්වසන ව්‍යායාම සිදුකිරීම වැදගත් වේ. එසේම මලපහ පිටකිරීම, වතුර බීම මෙන්ම වේදනාව ඇති වන රිද්මය පිළිබඳවත් බිළිඳාගේ චලනයන් පිළිබඳවත් අවධානය යොමුකිරීම ඉතා වැදගත්ය.
තවද යම් හෙයකින් උල්බ කෝෂයට හානි වී උල්බ තරලය පිටවීම/රුධිර වහනය වැනි තත්ත්වයකදී වහාම රෝහල වෙත පැමිණීමට කල්පනාකාරී වන්න.
සාමාන්‍ය ප්‍රසූතියේ පළමු අදියරේ දෙවන පියවර හෙවත් Active Phase, 4cm – 10cm තෙක් ගැබ්ගෙල විවෘත වීමේ ක්‍රියාවලිය පවතින කාලයයි. සාමාන්‍යයෙන් ගැබ්ගෙල විවෘත වන්නේ සෑම පැයකටම සෙන්ටිමීටර භාගයක් වශයෙනි. එනම් 4cm සිට 10cm දක්වා ගැබ්ගෙල විවෘත වීමට නම් පැය 8 – 12ක කාලයක් පමණ ගතවේ. ඇතැම් විට මීට වඩා වැඩි කාලයක් වුවද ගත විය හැක. මෙසේ රෝහල වෙත පැමිණෙන මව්වරුන් වෛද්‍ය පරීකෂාවට ලක් කරෙන අතරම 4cm වැඩි ප්‍රමාණයක් ගැබ් ගෙල විවෘතව ඇත්නම් සූතිකාගාරය වෙත යොමු කෙරේ. 4cm තෙක් ගැබ්ගෙල විවෘතව නැත්නම් ඒ ප්‍රමාණය දක්වා පැමිණෙන තෙක් මව්වරුන් වාට්ටුවේ රඳවා ගනී. මෙහිදී යෝනි මාර්ගය හරහා ගැබ්ගෙල විවෘත වන ප්‍රමාණය වෛද්‍යවරයෙකු විසින් පැය හතරෙන් හතරට පරීකෂා කරයි.
සූතිකාගාරය තුළදී සාමාන්‍ය ප්‍රසූති අවස්ථාවේ මව්වරුන්ට වඩාත් පහසුව සැලසීමේ අරමුණෙන් මෙන්ම දරු ප්‍රසූතිය ධනාත්මක අත්දැකීමක් බවට පත්කිරීම උදෙසා අද වන විට රෝහල් තුළ සුවිශේෂී පහසුකම් රැසක් ක්‍රියාත්මක කර තිබේ.
- අතීතයේදී දරු ප්‍රසූතිය සඳහා වූ රෝහල් පහසුකම් අවම වූ මව්වරුන් විශාල සංඛ්‍යාවක් එක රෝහලක දරුවන් ප්‍රසූත කරයි. නමුත් අද වන විට සෑම රෝහලකම පාහේ පහසුකම් ඇති අතරම මව්වරුන් අපහසුතාවයට පත්වීමක් දැකිය නොහැකි තරම්ය.
- මීට පෙර ප්‍රසූතිය සඳහා රෝහල් ගත වූ පසු ආහර/ජලය ලබා නොදුන්නද අද වන විට තැඹිලි/වතුර/දොඩම් යුෂ වැනි දේ (පැහැදිලි ද්‍රාවණ) මව්වරුන්ට ලබා දේ.
- ප්‍රසූති අවස්ථාවේදී තම මව/යෙහෙළිය/සහෝදරිය (labor companion) ආසන්නයේ රඳවා ගැනීමට මවට අවස්ථාව ලැබේ. රෝහල් පහසුකම වැඩිදියුණු වෙත්ම ළදරුවාගේ පියාටද ඉදිරියේදී මෙම අවස්ථාව හිමිවේ. මෙවැනි අවස්ථාවක තමාට සමීපතම කාන්තාවක් ආසන්නයේ රඳවා ගැනීම සිතට ධෛර්යයක් ගෙන දෙන්නකි.
- මේ අවස්ථාවේදී බිළිඳා, මව පමණක් නොව ප්‍රසූතිය සිදුවන ආකාරය ද හොඳින් නිරීකෂණය කෙරේ.
- සාමාන්‍යයෙන් ප්‍රසූතියේදී මවක් සිටින්නේ වැරදි ඉරියව්වක වන අතරම ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය ඇඳන් ලබා දෙමින් මව්වරුන්ට වාඩි වී සිටින ඉරියව්වෙන් දරුවා බිහිකිරීම අවස්ථාව උදා කර දේ.
- ප්‍රසූත වේදානාව දැණුන ද අවදානම් මව්වරුන් යටතට ඇතුළත් නොවන මව්වරුන් ඇවිද්ද වීම සිදු කෙරේ. මන්ද එය ප්‍රසූතිය පහසු කරවීමට උදව්වන බැවිනි
- පැය තුනකට වරක්වත් මුත්‍රා පිටකිරීමට මවට අවස්ථාව ලබා දේ. එසේ නැතිනම් කැතීටරයක් දමයි.
- ප්‍රසූති වේදනාව අවම කිරීම සඳහා අවශ්‍ය වේදනා නාශක ලබා දේ. මේ පිළිබඳ ඉදිරි ලිපියකදී සාකච්ඡා කෙරේ.
සාමාන්‍ය ප්‍රසූතියේ දෙවන අදියර :
මවගේ ගැබ්ගෙල සම්පූර්ණයෙන්ම විවෘත වූ පසුව හිස පහළට ඒම සඳහා පැයක පමණ කාලයක් ගත කිරීමට ඉඩ ලබාදෙන අතරම වෛද්‍යවරුන්ගේ උපදෙස් පිළිපැදීම තුළින් ප්‍රසූතිය පහසු කරවන බව සිහිතබාගන්න. මේ දක්වා ගර්භාෂය මගින් සිය කාර්යයන් සිදු කෙරුණු අතරම මවගේ සහයෝගය මෙතැන් සිට අත්‍යවශ්‍ය වේ. එනම් දරුවා බිහිකිරීම තැටමීමයි. ඒ සඳහා නියමිත වේලාව වෛද්‍ය කාර්යමණ්ඩලය මගින් ඔබව දැනුවත් කරනු ඇත. වෛද්‍ය කාර්යමණ්ඩලයේ උපදෙස් පරිදි වේදනාව ඇති අවස්ථාවේදී හුස්ම රඳවා ගනිමින් තැටමීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා සාමාන්‍යයෙන් පැයක පමණ කාලයක් ගතවේ. ඔබට වේදනාවක් දැණුනද ඉතා ඉවසීමෙන් වෛද්‍ය කාර්යමණ්ඩලයේ උපදෙස්වලට ඇහුම්කන් දෙමින් අවශ්‍ය අවස්ථාවේ ඔබට ලැඛෙන උපදෙස් ක්‍රියාත්මක කොට සහය ලබාදීම තුළින් සංකූලතා අවම ප්‍රසූතියක් වෙත ළඟාවීමට ඔබට හැකියි. එසේ නැතිව මව කලබලයට පත්වුවහොත් ඇතැම් විට යෝනි ප්‍රදේශයේ දරුණු ඉරීම්වලට බඳුන් විය හැකිය.
සාමාන්‍ය ප්‍රසූතියේදී ඇතැම් මව්වරුන්ගේ යෝනි මාර්ගයේ ඇති විය හැකි දරුණු ඉරීම් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී එපිස් කැපුමක් යොදයි. මෙසේ එපිස් කැපුම යෙදීම බොහෝවිට සිදු වන්නේ පළමු ප්‍රසූති අවස්ථාවේදීය. ඒත් 20% – 30% ප්‍රතිශතයකිනි. එනම් සෑම මවකටම මෙය අවශ්‍ය වන්නේ නැත.
ප්‍රසූතියෙන් පසු
බිළිඳා මෙලොවට බිහිවීමත් සමගම පිරිසිදු කිරීමකින් තොරව මවගේ පියයුරු මතට ලබාදීමෙන් සමට සම ගැටෙන (Skin to Skin) පරිදි මවට දරුවා තුරුළු කර ගැනීමට අවස්ථා ලබාදේ. ඒ තුළින් මවත් දරුවාත් අතර බැඳීම වර්ධනය වීම, ළදරුවාගේ අනවශ්‍ය හැඩීම නතර වීම, හොඳින් කිරි එරීම, ළදරුවාට අවැසි උණුසුම ලැබීම පමණක් නොව මනා ප්‍රතිශක්තියක් ලැබීම වැනි වාසි හිමිවේ. මෙම අවස්ථාවේදී සිදුවන තවත් වැදගත් දෙයක් වන්නේ පෙකෙණි වැල කැපීම ප්‍රමාද කිරීමයි (Delayed Cord Clamping). මන්ද මේ අවස්ථාවේ මවගෙන් ගමන් කරන රුධිරය හරහා දරුවාට වසරක් පුරා අවශ්‍ය යකඩ ප්‍රමාණය ගමන් කරයි. එබැවින් අද වන විට පෙකෙණි වැල කැපීම විනාඩියේ සිට විනාඩි තුනකින් ප්‍රමාද කරයි. කෙසේ වුවද මේ සියල්ල සිදුකෙරෙන්නේ මවට හෝ ළදරුවාට කිසිදු ගැටලූකාරී තත්ත්වයක් නොපවතින අවස්ථාවක් නම් පමණි.
සාමාන්‍ය ප්‍රසූතියේ තෙවන අදියර :
මෙහිදී වැදැමහ පිටතට පැමිණෙන අවස්ථාවයි. සාමාන්‍යයෙන් මේ සඳහා පැය භාගයක කාලයක් ගත විය හැකිය. මේ අවස්ථාවේදී රුධිර වහනය අවහ කිරීම සඳහා මවට එන්නත් ලබාදීම සිදුකෙරේ. එසේම වැදැමහ පිටතට පැමිණීම පැය භාගයක කාලයක් ඇතුළත සිදු නොවුණහොත් ඒ තත්ත්වය පිළිබඳව පරීකෂා කොට වැදැමහ පිටතට ගැනීම සිදු කරයි.
මේ සියලූ කරුණු ඉතා ධනාත්මකව විසඳී යාම තුළින් සාමාන්‍ය ප්‍රසූතිය මවකට සැබවින්ම ඉතා වටිනා අත්දැකීමක් වනු නිසැකය. එසේම සති දෙකක් ඇතුළත Pelvic Floor ව්‍යායාම ආරම්භ කිරීම මගින් ඇතැම් කාන්තාවන්ට ඇති විය හැකි ගර්භාෂය පහත්වීම වැනි තත්ත්වයන් වළක්වා ගත හැකිය.
සාමාන්‍ය දරු ප්‍රසූතිය වාසි රැසක්ද මවට හිමිකර දෙයි.
- සිසේරියන් සැත්කමෙන් පසුව මෙන් නොව මව ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත් වේ.
- රෝහල් ගතව සිටිය යුතු කාල සීමාව අඩුවේ.
- ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය මානසික සවිමත් බව ඇතිවේ.
- මාතෘ මරණ අවම වේ.
- සාමාන්‍ය දරු ප්‍රසූතියෙන් දරුවා බිහිවන විට ඒ ගමන්මග හරහා දරුවාට හිමිවන හිතකර බැක්ටීරියා මගින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු වේ.
- උපත් මාර්ගය දිගේ පහළට ගමන් කිරීම නිසා පෙනහලූවල වතුර ඉවත් වීමට එය උදව්වක් වේ.
- මව්කිරි දීම පිළිබඳ හොඳ ආරම්භයක් ලබාගත හැකිය.
- ඊළඟ දරු ප්‍රසූතිය පහසු වේ.
- රුධිර වහනය අඩුයි.
එපිස් කැපුම යෙදූ මව්වරුන් විශේෂ අවධානය යොමු කළ යුතු කරුණු
- මෘදු සබන් වර්ගයක් යොදා වතුරෙන් සේදීම
- පිරිසිදු කපු රෙදි කැබැල්ලකින් පිසදා වියළිව තබාගන්න.
- පවුඩර්, ආලේපන, විෂබීජ නාශක දියර යෙදීම නොකළ යුතුය
- සනීපාරකෂක තුවා නිතර මාරු කරමින් පිරිසිදුව සිටීම අවශ්‍යයයි.
සාමාන්‍ය දරු ප්‍රසූතියෙන් පසු වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතු අවස්ථා
- අධික ලෙස රුධිරය වහනය වීම
- යටි බඩෙහි අධික වේදනාව
- හුස්ම ගැනීමේ අපහසුතා
- පපුවේ වේදනාව
- ඇවිදීමට නොහැකි තරම් කෙණ්ඩා වේදනාව
- රතු සූතිකා රුධිරය දින දෙකකට වඩා වැඩි කාලයක් පිටවීම
- විශාල කැට ලෙස රුධිරය පිටවීම
- පිටවන රුධිරය දුගන්දකින් යුක්ත වීම හෝ සැරව සහිත වීම
- පාචනය
- මැහුම් ගැලවීම/පැසවීම/උණ/සැරව ගෙඩි ඇතිවීම
- දිගින් දිගටම නින්ද නොයාම
- දරුවා ගැන උනන්දුව අඩු වීම
- දරුවා ගැන බිය දැනීම
— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–
වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය
මෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.
ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.