Home Blog

ගැබිනි සමයේ හතලිස් දෙවන සතිය

42 th week
චූටියා ලැඛෙන තිබුණු දින දැන් පහුවෙලා.. මොකද කරන්නේ් ?

තවමත් අම්මට චූටියා ලැඛෙන ලකුණු දැනුණේ නැද්ද? ඒ ගැන බය වෙන්න එපා. අද වෙන කොට අපේ රටේ දක‍ෂ වෛද්‍යකාර්ය මණ්ඩල වගේම බොහොමයක් රෝහල්වලට අවශ්‍ය පහසුකම් තිඛෙනවා. නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රසූතිය පිළිබඳව ඔබේ ඊලඟ පියවර සාකච්ඡා කරන්නට ඇති. මේ සතිය ඇතුළත නම් අනිවාර්යයෙන්ම චූටියා අම්මාගේ තුරුළට එනවාමයි.

ගැබිනි සමයේ හතලිස් දෙවන සතිය

මේ සතිය වන විටත් ඔබේ කිරි කැටියා සිටින්නේ පසුගිය සතියේ සිටි ප්‍රමාණයන්ගෙන්මයි. සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 3ට ආසන්නන බරක්. උසින් සෙන්ටිමීටර් 52ක් විතර ඇති.

අම්මාගේ ජීවිතයට අලූත්ම අත්දැකීමක්

ඔබගේ ප්‍රසූතිය සඳහා නිර්ණය කෙරුණු දිනය පසු වී අවසන්. මේ තත්ත්වයේදී කිසිදු මවක් ඒ පිළිබඳව බියක් දැක්විය යුතු නැහැ. මන්ද දරුවා මෙතෙක් කුස තුළ සිටීම කිසිදු හානිකර තත්ත්වයක් ඇති වන්නේ නැති බැවිනි. එසේම මේ වන විට දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිිබඳව වෛද්‍යවරයා ඔබ සමග සාකච්ඡා කර අවසන් විය යුතුයි. අපේ රටේ සති 41 දක්වා වුවද දියුණු රටවල නම් 42 සතිය තෙක් ප්‍රසූතිය සිදු වන තුරු බලා සිටීම සාමාන්‍ය තත්ත්වයක්.

කෘතිමව ප්‍රසූත වේදනාව ඇති කරමින් දරුවා සාමාන්‍ය පරිදි බිහිකිරීම පිළිබඳව ඔබ පසුගිය ලිපියක් හරහා දැනුවත් වූවා. එනම් ගැබ් ගෙල විවෘතව නොමැති නම් ඒ සඳහා අවශ්‍ය ඖෂධ වර්ග හා ක්‍රම යොදා ගනිමින් ගැබ්ගෙල විවෘත කිරීම මෙහිදි මූලිකව සිදු කෙරේ. සුදුසු පරිදි ප්‍රසූතිය සඳහා මව සූදානම් කිරීම වෛද්‍යවරයා විසින් සිදු කරනු ලබයි. මේ අතරතුරදී ඔබ හොඳින් මතක තබාගත යුතු කරුණක් නම් මෙම සිදුවීම් අතරමැදදී ඔබේ කිරිකැටියාගේ චලනයන්හි සිදුවන වෙනස්වීමක් හෝ ඔබට දැනෙන වෙනසක් හෝ වේ නම් එය ඔබේ වෛද්‍යවරයා වෙත දැන්වීමට කටුයතු කිරීම අත්‍යවශ්‍ය බවයි. එසේම ප්‍රසූතිය පහසු කිරීම සඳහා වෛද්‍යවරුන් ඔබ වෙතින් බලාපොරොත්තු වනු ලබන සහයෝගය උපරිමව ලබාදමෙන් ඔබේ ප්‍රසූතිය වඩාත් පහසු කරගත හැකි බවයි.

අම්මෙක් වෙන්න යන ඔබ දැන සිටිය යුතු ”පසු ප්‍රසව රක්තපාතය”

දරු ප්‍රසූතියෙන් පැය 24ක් ඇතුළත 500 ml  ට වඩා වැඩි ප්‍රමාණයක රුධිර වහනයක් යෝනි මාර්ගය හරහා ඇති වේ නම් එය පසු ප්‍රසව රක්තපාතය ( PPH – Postpartum Hemorrhage) ලෙස හඳුන්වයි. මෙය 2000 ml  වැඩි නම් අධික පසු ප්‍රසව රක්තපාත තත්ත්වයක් ලෙස හඳුන්වයි.

සාමාන්‍යයෙන් කාන්තාවකගේ සිරුරේ 5500ml ක රුධිර ප්‍රමාණයක් පවතින අතර ගැබිනි සමයේදී සාමාන්‍යයෙන් විනාඩියකදී 500ml – 700ml පමණ රුධිර ප්‍රමාණයක් ගර්භාෂය වෙත ගමන් කරයි. ප්‍රසූතියෙන් පසුව ඉහත දැක්වූ පරිදි රුධිර වහනයක් සිදුවුවහොත් විනාඩි 10 -15 වැනි කාලයක් ඇතුළත සම්පූර්ණ රුධිර ප්‍රමාණය සිරුරෙන් ඉවත් විය හැකියි.  මෙසේ ප්‍රසූතිය සිදු වූ වහාම අධික ලෙස රුධිර වහනය හදිසි තත්ත්වයක් වන අතරම හදිසි ප්‍රතිකාර අවශ්‍ය වේ.

පසු ප්‍රසව රක්තපාත තත්ත්වයට බලපාන හේතු :

මේ තත්ත්වයට මූලිකම හේතුව වන්නේ ප්‍රසූතියෙන් පසුව ගර්භාෂය සංකෝචනය නොවීමයි. වැදැමහේ කොටස් ඉවත් නොවීම, යෝනි මාර්ගයේ හා ගැබ්ගෙලේ ඉරීම්, මවට රුධිරය කැටි ගැසීමේ හැකියාව අවම වීම වැනි රෝග තත්ත්ව තිබීම පසු ප්‍රසව රක්තපාත තත්ත්වයට හේතු විය හැකි අනෙක් කරුණු වේ. සාමාන්‍ය ප්‍රසූතියට වඩා සිසේරියන් සැත්කමෙන් පසු මේ තත්ත්වයට පත් වීමේ ප්‍රවණතාවය ඉහළය.

ගර්භාෂය ප්‍රසාරණය වන ප්‍රමාණය වැඩිවෙත්ම සංකෝචනය වීම අවම වන අතරම පසු ප්‍රසව රක්තපාත තත්ත්වය ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත්තේ පහත සඳහන් මව්වරුන්ටය.

  • ස්ථූලතාවයෙන් පෙලෙන මව්වරුන්
  • ළදරුවා ප්‍රමාණයෙන් විශාල මව්වරුන්
  • දරුවන් හතර දෙනෙකුට වැඩි ගණනක ප්‍රසූත කළ මව්වරුන්
  • වැදැමහ පහතින් පිහිටා ඇති මව්වරුන්
  • නිවුන්/ඊට වැඩි දරුවන් ගණනක් පිළිසිඳ සිටින මව්වරුන්
  • ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් සෑදී ඇති මව්වරුන්
  • පෙර ප්‍රසූතියේදී පසු ප්‍රසව රක්තපාත තත්ත්වය ඇති වූ මව්වරුන්
  • රුධිරයේ කැටි ගැසීමේ ස්වභාවය සම්බන්ධ යම් යම් ගැටලූ ඇති මව්වරුන්
පසු ප්‍රසව රක්තපාතය වළක්වාගැනීම :

මේ තත්ත්වය ඇති වීම සහ එහි බලපෑම අවම කරගැනීමට පියවර කිහිපයකි.

  1. රුධිරයේ Hb මට්ටම 10.5 mg/dl තත්ත්වයට වැඩි මට්ටමේ පවත්වා ගැනීම අවශ්‍ය වන්නේ එවිට මේ තත්ත්වයේදී ඔරොත්තු දීමේ හැකියාව වැඩි වන බැවිනි. ඒ සඳහා මව්වරුන්ට පෙර සිටම යකඩ පෙති ලෙස ලබාදේ. එසේම රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය ඉතාම අඩු මව්වරුන්ට ප්‍රසූතියට පෙර රුධිර පාරවිලයනය කිරීම සිදු කෙරේ.
  2. අපේ රටේ බහුතරයක් මව්වරුන්ට ප්‍රසූතිය සිදු වූ වහාම එන්නත ලබා දෙන අතරම ඒ මගින් ගර්භාෂය සංකෝචන (Active Management of Third Stage) වන වේගය වැඩි කරයි. මෙසේ එන්නත ලබාදීම නිසා මෙම තත්ත්වය 60%කින් පමණ අවම කරගත හැකි වේ.
  1. පසු ප්‍රසව රක්තපාත තත්ත්වයට ගොදුරු වේ යැයි සැක සහිත තත්ත්වයක සිටින මව්වරුන්ට ප්‍රසූතිය සිදු වූ විගස අවධානම් මට්ටමේ සිටින මව්වරුන්ට එම එන්නතට අමතරව ගර්භාෂය සංකෝචනය වීමේ වේගය වැඩි කිරීම සඳහා අවශ්‍ය පරිදි පියවරෙන් පියවර ඖෂධ (Prophylactic Management) වර්ග ලබාදීම සිදුකෙරේ. මෛගින් මේ තත්ත්වය දක්වා වර්ධනය වීම වළක්වා ගනී.
  2. තවද මේ තත්ත්වයට අවධානමක් ඇති මව්වරුන්ගේ ප්‍රසූති අවස්ථාවේදී අවශ්‍ය රුධිරය සූදානම් කර තබාගන්නා තරම අවශ්‍ය වූ සැණින් රුධිරය ලබාදීම සිදු කෙරේ.
  3. ප්‍රසූතියෙන් පසුව මව පැය දෙකක් සූතිකාගාරයේ රඳවා ගනිමින් හොඳින් නිරීක‍ෂණය කරයි. එහිදී විනාඩි 15කට වරක් මවගේ හෘද ස්පන්දනය, රුධිර පීඩනය, ගර්භාෂ සංංකෝචනය මෙන්ම රුධිර වහනය ඇතුළු බොහෝ දේ පිිබඳව අවධානය යොමුකරන අතරම මෙහි අරමුණ වන්නේ නිසි අවස්ථාවේ රෝගය හඳුනා ගනිමින් ප්‍රතිකාර ආරම්භ කිරිමයි.
පසු ප්‍රසව රක්තපාත තත්ත්වය ඇති වූ විට :

මෙහිදී මූලිකව වැදගත් වන්නේ රෝග තත්ත්වය නිසි අවස්ථාවේ නිවැරදිව හඳුනා ගැනීමයි. ඉතා හදිසි තත්ත්වයක් වන මෙය එසේ හඳුනා ගත් විගස මවගේ ජීවිතය බේරාගැනීමේ අරමුණෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග වෙත වෛද්‍යවරුන් ඉතා ඉක්මණින් යොමු වේ. මෙහිදී,

  • ප්‍රමාණයෙන් විශාල එන්නත් කටු යොදාගනිමින් රුධිර මෙන්ම සේලයින් වැඩි ප්‍රමාණයක් ලබාදීම සිදු කෙරේ.
  • ක්‍රමාණුකූලව ගර්භාෂය සම්භාහනය කරයි
  • ඇති වන තත්ත්වය අනුව අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම ඉක්මණින් ලබාදේ.
  • පියවරෙන් පියවර ඛෙහෙත් වර්ග දෙන අතරම මේ ප්‍රතිකාර ක්‍රම සියල්ලම සිදුකළද තවදුරටත්

අධික ලෙස රුධිර වහනය සිදු වේ නම් ශල්‍යාගාරය වෙත රැගෙන ගොස් බැලුනයක් වැනි උපකරණයක් යෝනි මාර්ගය තුළින් ගර්භාෂයට ඇතුළු කිරීමෙන් ටැම්පර්නාඩ් යෙදීම සිදුකරයි.

එම ක්‍රමයේදී ප්‍රතිඵලයක් නොමැති නම් ශල්‍යාගාරයේදී සැත්කමකට යොමු කර ගර්භාෂයේ ගැට දැමීම (Compression Sutures සිදුකරයි. තවද ගර්භාෂය වෙත රුධිරය ගෙන එන නහර ගැට ගැසීම ද සිදුකරයි.

ඉහත පියවර සියල්ල අසාර්ථක නම් එනම් රුධිර වහනය නතර කළ නොහැකි වුවහොත් අවසාන පියවර ලෙස ගර්භාෂය ඉවත් කිරීමට සිදුවේ. මේ තත්ත්වය ඇති වීමේ ප්‍රවණතාවය දහසකට එකේ සිට දසදහසකට එකක් දක්වා විය හැකිය. එසේම රුධිර වහනය අධික නම් එසේ පියවන රුධිර ප්‍රමාණය පාරවිලයනය කෙරෙන අතරම රුධිරය පයින්ට් 20/30 ලබාදී මව්වරුන්ගේ ජීවිත බේරාගත් අවස්ථාව බොහෝය.

ඇතැම් මව්වරුන්ට මෙසේ ඉහත දැක්වූ පරිදි පියවරෙන් පියවර එක් එක් ප්‍රතිකාර ක්‍රම කළ නොහැකි තත්ත්වයක සිටී නම් එක්වරම ගර්භාෂය ඉවත් කිරීම සිදුකරයි. මේ සියල්ල මවගේ ජීවිතයට හානි වීම වළක්වා ගැනීමේ අරමුණෙන් සිදුකරයි.

ද්විතියික පසු ප්‍රසව රක්තපාත තත්ත්වය (Secondary Postpartum Hemorrhage)

ප්‍රසූතියෙන් පැය 24 සිට සති හය දක්වා යෝනි මාර්ගයෙන් 500පක ට වඩා වැඩි ප්‍රමාණයක රුධිර වහනයක් සිදු වේ නම් ඒ තත්ත්වය ද්විතියික පසු ප්‍රසව රක්තපාත තත්ත්වය ලෙස හඳුන්වයි. ප්‍රධානව මේ තත්ත්වයට හේතු වන්නේ ගර්භාෂ බිත්තියේ ඇති වන අසාදන තත්ත්වයකි. මෙය විෂබීජ ඇතුළුවීම /වැදමහේ කුඩා කැබලි ඉතිරි වීම වැනි තත්ත්ව මත සිදුවන අසාදනයක් විය හැකිය. ප්‍රසූතියෙන් පසු පළමු සති හයේදී ගර්භාෂය යථා තත්ත්වයට (ගර්භාෂය සාමාන්‍යයෙන් අත මිට මෙලවූ විට ඇති ප්‍රමාණය වේ) පත් වෙන අතර විටින් විට ඇති වන උදර වේදනාව/උදරය තෙරපෙන ස්වභාවය එහිදී සාමාන්‍ය තත්ත්වයකි. මව්කිරි දීමේදී මෙම තත්ත්වය තවත් වැඩි විය හැකිය. විටින් විට රුපියල් දෙකේ කාසියේ ප්‍රමාණයට වඩා කුඩා රුධිර කැට පිටවීමද මෙසේ ගර්භාෂය සංකෝචනය වීමේදී ඇති වීමද සාමාන්‍ය තත්ත්වයකි.

මේ නිසා සෑම මවක්ම මවක් රෝහලෙන් පිටව ගිය පසුවද පළමු සති දෙක ඇතුළත මාසික ඔසප් සිදුවන අවස්ථාවේදී මෙන් තද රතු පැහැ රුධිරය වහනය සිදු වේ නම්, අධික ලෙස උදර වේදනාවක් ඇත්නම්, තද උණ (උණ බැලීම සඳහා සැමවිටම උෂ්ණත්වමානය යොදා ගන්න. අතට දැනෙන රස්නය අනුව සිරුරේ උණ තත්ත්වය පිළිබඳව නිර්ණය කළ නොහැක), වෙව්ලීම සමග අධික උණ, යෝනි මාර්ගයෙන් සැරව පිටවීම හා රුපියල් දෙකේ කාසියට වඩා විශාල ප්‍රමාණයේ රුධිර කැටිති පිටවීම යන තත්ත්වයන්වලදී වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අතරම එහිදී දින හතක් පුරා ප්‍රතිජීවක ඖෂධ ලබා දේ. එසේම ඇතැම් අවස්ථාවලදී ගර්භාෂය සේදීම සිදුකරයි.

එසේම මෙවැනි මව්වරුන් නැවත මාසයකින් රුධිර පරීක‍ෂාවකට යොමු වී පරීක‍ෂා කිරීම අත්‍යවශ්‍ය වේ. වෛද්‍ය උපදෙස් පිළිපදිමින් යකඩ පෙත ලබා ගැනීම ද කළ යුතුය.

මෙම පසු ප්‍රසව රක්තපාත තත්ත්වය සාමාන්‍ය ප්‍රසූතිය සිදුකළ මව්වරුන්ට වඩා සිසේරියන් සැත්කමට බඳුන් වූ මව්වරුන්ට ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළය.

මෙවැනි අවස්ථාවකට මුහුණ දුන් මවක් :

මේ තත්ත්ව යටතේ මවක් පැය 24 – 48 දක්වා ඇතුළත හොඳින් නිරීක‍ෂණය කෙරෙන අතරම ඔවුන් බොහෝවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මෙවැනි මවක් ශාරීරිකව මෙන්ම මානසිකවද දුර්වල  විය හැකි අතරම ඇයට යථා තත්ත්වයට පත්වීමට තම සැමියාගේ මෙන්ම නිවැසිය්ගේද සහයෝගය අවශ්‍ය වේ. එසේම ඇතැම් මව්වරුන්ට උපදේශන සේවාවන්හි සහය ලබා ගැනීමටද සිදුවිය හැකිය.

බොහොමයක් ආසියාතක රටවල මව්වරුන් මිය යාමේ මූලික හේතුව ලෙස පසු ප්‍රසව රක්තපාත තත්ත්වය දැක්විය හැකි වුවත් දියුණු රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද අද වන විට පසු ප්‍රසව රක්තපාතය යනු මාතෘ මරණ සඳහා මූලිකම හේතුවක් නොවීම සතුටට කරුණකි. ඉතාම කලාතුරකින් මිස මෙය ඇතුළත් වන්නේ වළක්වාගත හැකි මාතෘ මරණ හේතු අතරටයි. තත්ත්වය ඉක්මණින් හඳුනා ගැනීම හා අවශ්‍ය ප්‍රතිකාර අවශ්‍ය අවස්ථාවේ ලබාදීම තුළින් මේ තත්ත්වය වළකාවා ගත හැක.  නිසි අවබෝධය තුළන් ලබා දෙන වෛද්‍ය ප්‍රතිකාර මත මවක් මරණයට පත් වීම සිදු නොවන අතරම ඉතාම කලාතුකින් විවිධ හේතු මත මාතෘ මරණ වාර්තා විය හැකිය.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ හතලිස් එක්වන සතිය

41 th week
තවම චූටියා අම්මා ළඟට ආවේ නැද්ද

මේ කාලය වඩා අසීරු කාලයක්. සමහරවිට අම්මට තවම චූටියා ලැබී නැතිවා වෙන්න පුළුවන්. නමුත් කිසිවිටක එය බිය ගැනීමට කරුණක් නොවේ.

ගැබිනි සමයේ හතලිස් එක්වන සතිය

දැන් ඔබේ කිරි කැටියා කිලෝ ග්‍රෑම් 3ට ආසන්න බරකින් යුක්තයි. උසින් සෙන්ටිමීටර් 52ක් විතර ඇති. මේ කාලයේදී ඔබේ වෛද්‍යවරයාගේත් පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේත් පූර්ණ අවධානය ඔබ සම්බන්ධවයි.  බිළිඳා ඊලඟ සතිය තුළ උපත නොලදහොත් ප්‍රසූතිය සිදුකිරීමට කටයුතු යෙදේ.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

ඔබේ ගැබ් ගෙලෙහි ඇති තත්ත්වය අනුව සුදුසුම ක්‍රියා මාර්ගය ගැනීම ඔබේ වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත. ඔබේ ගැබ් ගෙලේ විස්තාරණය වීම ආරම්භ වී නොමැති නම් ඒ සඳහා අවශ්‍ය හෝ ඛෙහෙත් ලබා දෙමින් සුදුසු පරිදි ප්‍රසූතිය සඳහා මව සූදානම් කිරීම වෛද්‍යවරයා විසින් සිදු කරනු ලබයි. මේ අතරතුරදී ඔබ හොඳින් මතක තබාගත යුතු කරුණක් නම් මෙම සිදුවීම් අතරමැදදී ඔබේ කිරිකැටියාගේ චලනයන්හි සිදුවන වෙනස්වීමක් හෝ ඔබට දැනෙන වෙනසක් හෝ වේ නම් එය ඔබේ වෛද්‍යවරයා වෙත දැන්වීමට කටුයතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

අම්මෙක් වෙන්න යන ඔබ දැන සිටිය යුතු ”ප්‍රසූතියේදී ඇති විය හැකි සංකූලතා”

Fetal Distress 

ප්‍රසූතියේදී හෝ ඊට පෙර CTG  පරීක‍ෂණයට අනුව ගත් කළ ළදරුවාගේ හෘද ස්පන්දනය අඩු වීම ඇතුළුව තවත් ලක‍ෂණ නිරීක‍ෂණය කරමින් ළදරුවා සිටින්නේ අවදානම් තත්ත්වයක බව වෛද්‍යවරුන් තීරණය කරන අතරම මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකයි. මේ තත්ත්වය අවදානම් විය හැක්කේ 30%කට පමණ වන අතරම දියුණු රටවල්වල ළදරුවාගේ හිස්කබල මත සමෙන් රුධිරය ලබාගෙන එහි ඇති ඔක්සිජන් ප්‍රමාණය අනුව තත්ත්වය තීරණය කළද අපේ රටේ එවැනි පරීක‍ෂණ සඳහා පහසුකම් නොමැත. එබැවින් කළ යුතු වන්නේ ළදරුවා හැක ඉක්මණින් ප්‍රසූත කිරීමයි. මවගේ ගැබ්ගෙල සම්පූර්ණයෙන් විවෘතව නොපවතින මෙවැනි අවස්ථාවක මව සිසේරියන් සැත්කම වෙත වහාම යොමුකරන අතරම ගැබ්ගෙල විවෘතව පවතී නම් වැකියුම්/ෆෝසෙප් ක්‍රමය මගින් යෝනි මාර්ගය හරහා ප්‍රසූතිය සිදුකරයි. බොහෝ විට මෙම Fetal distress තත්ත්වය මත මව්වරුන් සිසේරියන් සැත්කම වෙත යොමු කිරීමට සිදුවන ප්‍රවණතාවය වැඩිවේ. කුමන අවස්ථාවකදී සිසේරියන් සැත්කමට යොමු වුවත් එයට හේතුව කුමක්ද යන්න වෛද්‍යවරයාගෙන් විමසා දැනගැනීම ඔබේ ඊලඟ ප්‍රසූතිය සඳහා වැදගත් වන බව සිහිතබාගන්න.

පෙකෙණි වැල පිටතට පැමිණීම

මෙසේ පෙකෙණි වැල පිටතට පැමිණීමේ තත්ත්වය ද ඉතාම හදිසි තත්ත්වයකි. මන්ද පෙකෙණි වැල පිටත තිඛෙන තාක් ළදරුවාට හානි වීමේ ප්‍රවණතාවය ඉහළය. බොහෝවිට මෙවැන්නක් සිදුවන්නේ උල්බ කෝෂයට හානි වූ අවස්ථාවන්හිදීයි. උල්බ කෝෂයට හානි වූ අවස්ථාවකදී වහාම රෝහල වෙත පැමිණෙන ලෙස මව්වරුන්ට උපදෙස් ලබාදෙන්නේද මෙය ඒ තත්ත්වයේදී ඇති විය හැකි භායානක අවස්ථාවක් විය හැකි බැවිනි.

මෙම තත්ත්වය ඇති විය හැකි මව්වරුන් ලෙස දියවැඩියා රෝගයෙන් පෙලෙන මව්වරුන්, උල්බ තරලය වැඩි මව්වරුන්, ළදරුවා තට්ටමෙන් පිහිටා ඇති මව්වරුන් මෙන්ම කෘතිමව ප්‍රසූත වේදනාව ඇති කළ මව්වරුන් දැක්විය හැකිය.

මේ තත්ත්වයේදී මවකගේ ගැබ්ගෙල විවෘතව පවතී නම් වැකියුම්/ෆෝසෙප් ක්‍රමයට ප්‍රසූතිය සිදුකරන අතරම ගැබ් ගෙල සම්පූර්ණව විවෘතව නොපවතින මව්වරුන් සිසේරියන් සැත්කම වෙත යොමු කරයි. මෙවැනි අවස්ථාවකදී සිසේරියන් සැත්කම සිදුකරන්නේ සිහි නැති කිරීමෙන් අනතුරුවයි. මන්ද අනෙක් නිර්වින්දන ක්‍රම සඳහා යම් කාලයක් ගත වන අතරම මේ තත්ත්වයේදී ඉතා ඉක්මණින් ළදරුවා පිටතට ගැනීම අවශ්‍ය වන බැවිනි.

ළදරුවාට ඇති විය හැකි සංකූලතා පිළිබඳව මෙන්ම ගේ ජීවිතය සුරක‍ෂිත ද නැතිද යන්න තීරණය වන්නේ පෙකෙණි වැල පිටතට පැමිණි තිබූ කාලයට අනුවයි. මේ තත්ත්වයේදී ඒ පිළිබඳව සැකයක් ඇත්නම් ප්‍රසූතියට පෙර ළදරුවා පරීක‍ෂා කරන අතරම ජීවිතය සුරක‍ෂිත නම් වහාම ප්‍රසූතිය සිදුකරයි.

මෙවැනි මවක් ප්‍රසූතිය සඳහා ශල්‍යාගාරය වෙත ගෙන යාමේදී යෝනි මාර්ගය හරහා අත යවා ළදරුවාගේ හිස ඇතුළු පැත්තට තෙරපාගෙන සිටින අතරම මව මුනින් අතට දණ හිස් නවා තට්ටම ඉහළට සිටින ඉරියව්වේ (Knee chest Position) පැවතිය යුතු වේ. මෙය ඉතා කලාතුරකින් ඇති විය හැකි මෙම තත්ත්වය හදිසි තත්ත්වයක් වන අතරම ප්‍රසූතියේදී මවගේ සිහි නැති කිරීමට සිදුවන ප්‍රවණතාවය වැඩිවේ.

ෂොල්ඩර් ඩිෂ්ටෝෂියා

මෙයද ප්‍රසූති අවස්ථාවේදී ඇති විය හැකි තවත් හදිසි තත්ත්වයකි. ප්‍රසූතියේදී ළදරුවාගේ හිස පිටතට පැමිණිය ද උරහිස්වලින් සිරවී පිටතට පැමිණීම සිදු නොවිය හැකිය. මේ අවස්ථාවේදී විනාඩි පහක් ඇතුළත දරුවා පිටතට ගත නොහැකි වුවහොත් ඇති විය හැකි සංකූලතා වැඩිය. මෙහිදී වෛද්‍යවරුන් ක්‍රම කිහිපයක් යටතේ දරුවා පිටතට ගැනීමට උත්සාහ කරයි. නමුත් කලාතුරකින් එසේ පිටතට ගැනීමට නොහැකි විය හැකිය. මෙවැනි අවස්ථාවකදී ළදරුවාගේ අස්ථී ඉබේ බිඳීම හෝ අස්ථී බිඳ (Collar born – අකු ඇටය) පිටතට ගැනීමට සිදු වේ. මෙවැනි අවස්ථාවකිදී කලාතුරකින් ස්නායු පද්ධතියට හානි වන අවස්ථා  දැක ගත හැකි අතරම අර්බ්ස් පොල්සි තත්ත්වය ඇති වන අවස්ථා ද දැක ගත හැකිය. එය ඇතැම් ළදරුවන්ට තාවකාලිකව ද ඇතැම්විට සදාකාලිකවම ද පැවතිය හැකි සංකූලතා තත්ත්වයකි. මේ තත්ත්වයට කුමන ළදරුවා කුමන අවස්ථාවේදී මුහුණ දෙයි ද යන්න කල්තියා තීරණය කළ නොහැකි වුවත් දියවැඩියාව ඇති මව්වරුන්, ළදරුවා ප්‍රමාණයෙන් විශාල මව්වරුන්, ප්‍රමාණයෙන් කුඩා ළදරුවෙකු වුවද උරහිස් පළල් නම් මෙම තත්ත්වය ඇති වීමේ අවදානම වැඩි බැවින් එවැනි මව්වරුන් වෙත විශේෂ වෛද්‍ය අවධානය යොමු කෙරේ. නමුත් 50%ක්ම මේ තත්ත්වයට ගොදුරු වන්නේ ඉහත දැක්වූ කිසිදු හේතුවක් නොමැති මව්වරුන්ය. සාමාන්‍ය ප්‍රසූතියේදී මෙන්ම සිසේරියන් සැත්කමේදී ද කලාතුරකින් මෙවැනි සංකූලතා ඇති විය හැකිය. එවැනි දරුවන්ට ඇතැම් විට තැලීම්, කැළැල්, අස්ථී බිඳීම්, ස්නායු ආබාධ තත්ත්වයන් මෙන්ම ජීවිතය ද අවදානමට ලක්විය හැකි අවස්ථා ඇත.

Scar Rupture

ඉතාම කලාතුරකින් සිදුවිය හැකි මේ තත්ත්වය පෙර ප්‍රසූතිය සිසේරියන් සැත්කම හරහා සිදු කළ මව්වරුන් දහසකින් එක් අයෙකුට ඊලඟ ප්‍රසූතිය සාමාන්‍ය ක්‍රමයට සිදුකිරීමේදී ඇතිවීමට අවදානමක් පවතී. මෙහිදී සිදුවන්නේ සිසේරියන් සැත්කම සඳහා විවෘත කළ ස්ථානය නැවත විවෘත වීමයි. මේ තත්ත්වය මවට මෙන්ම ළදරුවාට ද හානිකර තත්ත්වයකි. ඒ හේතුවෙන් මෙවැනි මව්වරුන් විටින් විට වෛද්‍යවරුන්ගේ නිරීක‍ෂණයට බඳුන් වේ.

මෙවැනි හේතු මත පළමු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමට යොමු වූ මව්වරුන් දෙවන ප්‍රසූතිය සඳහා සාමාන්‍ය ප්‍රසූතියට යොමු වීමට බියක් දක්වයි. නමුත් මේ මගින් අනතුරක් ඇති වීමේ සම්භාවිතාවය පිළිබඳ අදහසක් දැක්වුවහොත් නිවසේ සිට රෝහලට පැමිණෙන අතරතුර සිදුවන හදිසි අනතුරකින් මිය යාමේ ප්‍රවණතාවය මෙවැනි තත්ත්වයක් හේතුවෙන් මිය යාමේ ප්‍රවණතාවයට වඩා වැඩි බවයි. වසර දහයක් ගතහොත් මෙවැනි තත්ත්වයකින් මවක් මිය ගිය බවට වාර්තා නොමැති තරම්ය. නමුත් සිසේරියන් සැත්කම් දෙක, තුන සිදු කිරීමේදී ඇති වන වෙනත් සංකූලතා වන Plasenta Accreta (මේ පිළිබඳව පෙර ලිපියකදී සවිස්තරාත්මකව සාකච්ඡා කරන ලදී) වැනි තත්ත්ව හේතුවෙන් මව්වරු මිය ගිය බවට වාර්තා ඇත. එබැවින් පළමු ප්‍රසූතියට සිසේරියන් සැත්කම වෙත යොමු වූ මව්වරුන් ඊලඟ ප්‍රසූතිය සඳහා සාමාන්‍ය ක්‍රමයට යොමු වීමට බියක් දැක්විය යුතු නැත.

කිසිදු වෛද්‍ය හේතුවකින් තොරව තම කැමැත්ත පරිදි සිසේරියන් සැත්කම වෙත යොමු වීම නුසුදුසුය. එවැනි මව්වරුන්ට මෙවැනි තත්ත්වයනට මුහුණ දීමට සිදුවන ප්‍රවණතාවය ඉහළය.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ හතලිස්වන සතිය

40 th week
චූටියා ඉක්මණින්ම අම්මා ළඟට ඒවි

දැන් අම්මා කෙනෙකුට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? මේ වන විට තමන්ගේ චූටියාගේ මූණ දකින්න ඇහිපිය නොහෙලා බලා ඉන්න අම්මා ඒ වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. දැන්නම් සියල්ල සූදානම්. අම්මා හිතන්නේ අනේ මගේ පැටියා මගේ අතට එන දවස අදද හෙටද කියලා.

ගැබිනි සමයේ හතලිස්වන සතිය

බිළිඳාගේ බර කිලෝ 5.5ට ආසන්නයි. ඒ වගේම හිදේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර් සෙන්ටිමීටර් 51 විතර වෙනවා. බිළිඳාගේ හිස්කබල මේ වන විටත් හොඳින් සවිමත් වී නැහැත ඒ පිළිබඳව බිය විය යුතු නැහැ. එය එසේ පවතින්නේ ප්‍රසූතියේදී නම්‍යශීලී විය යුතු නිසයි.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

සති 40 ඉක්ම යාමට පෙර වෛද්‍යවරුන් රෝහලට පැමිණිය යුතු කාල සීමාව පිළිබඳව ඔබ දැනුවත් කරනවා. එය සැමවිටම එක් එක්කෙනාට වෙනස් වෙනවා. ගර්භණී බවේ යම් සංකූලතාවයක් ඇති අයෙක් නම් වෛද්‍යවරයා උපදෙස් දෙන්නේ පළමු ප්‍රසූති වේදනා පහළ වෙනකොටම රෝහල් ගත වන ලෙසටයි. සමහර විටදී දරුවා වටා ඇති කෝෂය බිඳී යාමක් සිදු වුවහොත් අනිවාර්යයෙන්ම ඔබ රෝහල වෙත යා යුතු වෙනවා.

ගැබිනි සමයේ සති 40 ඉක්මයත්ම ප්‍රසූති ලක‍ෂණ පහළ වීම පිළිබඳව ඔබ දැනුවත් වීමත් ඔබේ වෛද්‍යවරයා දැනුවත් කිරීමත් අවශ්‍ය වෙනවා. සති 42 පසු වීමෙන් පසු ඔබේ බිළිඳා සාමාන්‍ය ප්‍රසූතියෙන් බිහිවීම ඉතා විරල වන අතර එය යම් සංකූලතාවයන්ට මග පාදනවා. සමහර කාන්තාවන් දරුවන් බිහි කිරීමට සුදුසු කාලය පිළිබඳව නිර්ණය කරමින් වෛද්‍යවරුන්ගේ කැමැත්ත මත දරුවන් බිහි කිරීමට කටයුතු කරනවා. මෙය බොහෝ විට සිසේරියන් සැත්කමක් විය හැකියි. නමුත් සති 38 ට පෙර දරුවන් බිහි කිරීමට බොහෝ වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ නැහැ.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු ”ප්‍රසූතිය සඳහා යොදාගන්න වැකියුම්/අඬු ක්‍රමය හා  සිසේරියන් සැත්කම”

වැකියුම්/අඬු භාවිතයෙන් සිදුවන ප්‍රසූතිය 

මව්වරුන් 10% ත් 15% ත් අතර ප්‍රතිශතයකට ප්‍රසූතිය සඳහා අමතර සහයක් අවශ්‍ය වේ. එවැනි මව්වරුන්ගේ ප්‍රසූතිය වැකියුම්/අඬු භාවිතය මගින් සිදුකෙරෙන අතරම ගැබ්ගෙල සම්පූර්ණයෙන්ම විවෘත වූ පසුද ළදරුවා පිටතට නොපැමිණෙන අවස්ථාවලදී මෙසේ සිදුකරයි. මෙහිදී කුඩා කෝප්පයක් වැනි උපකරණයක් ළදරුවාගේ හිසෙහි නිශ්චිත ස්ථානයකට සවිකර පිටතට ගැනීමට අවශ්‍ය බලය ලබාදීම (වැකියුම්) එක් ක්‍රමයක් වන අතරම හිස දෙපසට යොදන විශේෂිත අඬු මගින් (ෆෝසෙප්) අවශ්‍ය සහය ලබාදීම අනෙක් ක්‍රමයයි. වැකියුම්/අඬු මගින් සිදුකෙරෙන ප්‍රසූතිය නිවැරදි ලෙස සිදුකෙරෙයි නම් මවට/ළදරුවාට හානිකර තත්ත්වයක් ඇති වන්නේ ඉතා කලාතුරකිනි. මේ සඳහා මවගේ කැමැත්ත මෙන්ම ප්‍රසූති අවස්ථාවේදී මවගේ උපරිම සහයෝගය ද අවශ්‍ය වේ. එනම් මව විසින් වෛද්‍ය උපදෙස්වලට අවධානය යොමුකරමින් ළදරුවා පිටතට තල්ලූ කිරීම කළ යුතුවේ. මෙහිදී වේදනාව අවම කිරීමේ ක්‍රම භාවිතය සිදුකෙරේ. දරු ප්‍රසූතියේදී වැකියුම් භාවිත කළ විට ළදරුවාගේ හිසෙහි ගෙඩියක් (Chignon) ඇති වන අතරම ෆෝසෙප් යොදා ගනිමින් සිදුකරන ප්‍රසූතියේදී කන/මුහුණ අවට ප්‍රදේශයේ අඬුවල සලකුණු දක්නට ලැබේ. මේ තත්ත්ව දෙකම ප්‍රසූතියෙන් පැය 48ක් පමණ ගත වන විට මැකී යනු ඇත.

මෙම ප්‍රසූතිය සූතිකාගාරය තුළ හෝ ශල්‍යාගාරය තුළ සිදුකරයි. මේ තත්ත්වයේදීද මුත්‍රා ඉවත් කිරීම සඳහා කැතීටරයක් ඇතුළු කරන අතරම එය බොහෝවිට පැය 12ක පමණ කාලයක් තිබිය හැක. මෙසේ ප්‍රසූතිය සිදුකරනුයේ යෝනි මාර්ගය හරහා දරුවා බිහිකිරීමට හැකියාව පවතනි අවස්ථාවන්හිදී පමණක් වන අතරම යම් ගැටලූවක් ඇති වුවහොත් හැකි ඉක්මණින් සිසේරියන් සැත්කම වෙත මව්වරුන් යොමු කරයි.

අඬු/වැකියුම් භාවිත කර සිදුකරන ප්‍රසූතියේදී ඇති විය හැකි සංකූලතා

  • ළදරුවා පිටතට ගැනීමේදී එපිස් කැපුම යෙදුවද යෝනි මාර්ගය අවට ඉරීයාමට ලක්විය හැකිය.
  • රුධිර වහනය අධික විය හැකිය.
  • කලාතුරකින් ළදරුවාට හානිකර තත්ත්වයන් ඇති විය හැකිය.

අඬු/වැකියුම් භාවිත කර සිදුකරන ප්‍රසූතියෙන් පසු මවක් කළ යුතු/ නොකළ යුතු දේ

pelvic floor ව්‍යායාම ප්‍රසූතියෙන් පසු දින සිටම ආරම්භ කරන්න

  • වේදනාව සඳහා පළමු සති දෙක තුළ ක්‍රමානුකූලව ඖෂධ භාවිතය
  • හොඳින් ජලය පානය කොට, තන්තු සහිත ආහාර/පලා වර්ග ආහාරයට ගනිමින් මලබද්ධ තත්ත්වය වළක්වාගන්න
  • ප්‍රසූතියෙන් පසුව යෝනි විවරය අවට,
    – මෘදු සබන් වර්ගයක් යොදා පිරිසිදු වතුරෙන් සෝදන්න
    – පිරිසිදු කපු රෙදි කැබැල්ලකින් පිසදා වියළිව තබාගත යුතුය.
    – විෂබීජ නාශක දියර හා ආලේපන, පවුඩර් යෙදීමෙන් වළකින්න.
    – තුවාලය ඉක්මණින් සුව වීමට නම් රුධිර පරිවහනය හොඳින් සිදුවිය යුතු නිසා නිතර ඇවිදීම වඩා සුදුසුය.
    – සනීපාරක‍ෂක තුවා නිතර මාරු කරමින් පිරිසිදු බව රැකීමට වගබලාගන්න

අඬු හෝ වැකියුම් උපකරණ මගින් සිදු වූ ප්රසූතියකින් පසු වෛද්යවරයෙකු වෙත යා යුතු අවස්ථා

  • තුවාලය සහිත ස්ථානයේ ඉදිමුම
  • රුධිර වහනය
  • තුවාලය විවෘතව ඇතැයි සිතීම
  • කහ පැහැති සැරව සහිත හෝ දුඟද ශ්රාවයන් පිටවීම
  • නිතර නිතර දැනෙන අධික වේදනාව
  • උණ/මුත්රා දැවිල්ල/නිතර නිතර මුත්රා පිටවීම
  • ප්රසූතියෙන් සති දෙකකට පසුවත් කිවිසීමේදී මුත්රා පිටවීම/ වාතය පිටවීම පාලනය කරගත නොහැකි වීම
සිසේරියන් සැත්කම

සාමාන්‍ය ප්‍රසූතියෙන් දරුවන් බිහි කිරීම සමහර ගර්භණී මව්වරුන්ට නොහැකි වන අවස්ථාවලදී මෙන්ම සාමාන්‍ය ප්‍රසූතිය නුසුදුසු වන අවස්ථාවලදී සිසේරියන් සැත්කම සිදුකර දරුවා මෙලොවට බිහි කරනු ලබයි. ලංකාවේ දරු උපත්වලින් 1/3 ක් පමණ මෙම ශල්‍යකර්මය මගින් සිදු වන අතර මෙම සැත්කම සිදු කිරීමට බලපාන හේතු සාධක කිහිපයක් තිබේ.

එනම්,

1-            කලින් දරු ප්‍රසූති දෙකක්/ඊට වැඩි ගණනක් සීසර් සැත්කමකින් සිදුකර ඇති අවස්ථාවලදී

2-            උපත් මාර්ගය අවහිර වන අයුරින් වැදැමහ පිහිටා ඇති අවස්ථාවල

3-            උපත් මාර්ගය ප්‍රමාණවත් නොවන විට

4-            දරුවා නිවැරදි ආකාරයට උපත් මාර්ගයට යොමු වී නැති අවස්ථාවල

5-            මවට/දරුවාට හානි සිදුවිය හැකි හදිසි අවස්ථාවලදී

සමහර හේතු සාධක ප්‍රසූතිය සිදුවෙමින් පවතින අතරතුරදී හඳුනාගත හැකි අතර ඒ අවස්ථාවේදීම මෙම සැත්කම මගින් දරුවා බිහි කිරීම සිදු කරයි.

එනම්,

1-            ප්‍රසූතිය සාමාන්‍ය ආකාරයෙන් ප්‍රවර්ධනය නොවීම

2-            ප්‍රසූතිය අතරතුර දරුවාගේ හෘද ස්පන්දනය අඩු වීම

3-            ප්‍රසූතිය අතරතුර මවගේ රුධිර පීඩනය අධික ලෙස ඉහළ යාම

4-            ප්‍රසූතියේදී සිදුවන හදිසි සංකූලතා අවස්ථාවලදී

පෙර සඳහන් කළ පරිදිම මෙම සැත්කම සිදු කරන ආකාර 2 ක් තිඛෙනවා.

1 –  සැලසුම් කළ සිසේරියන් සැත්කම

මෙහිදී සැත්කම අවශ්‍ය බව වෛද්‍යවරු කල්තියා හඳුනාගෙන සුදුසු දිනයක සැත්කම සඳහා සැලසුම් කිරීම සිදු වෙනවා. එබැවින් සැත්කමට පෙර නා පිරිසිදු වී සිටීම ඉතාමත් සුදුසුයි. මීට අමතරව ඇතිවන සංකූලතා අවම කරගැනීමට ආමාශයේ අම්ල ගතිය අඩු කරන ඖෂධ වර්ග ලබාදෙනු ඇත.

2 –  හදිසි සිසේරියන් සැත්කම

යම් සංකූලතාවයකට ලක්වීමක් සිදුවුවහොත් මෙම සැත්කම අවශ්‍ය වේ. එවැනි අවස්ථාවක සංකූලතාවයෙන් දරුවාට හෝ මවට සිදුවිය හැකි හානිය අවම කරගැනීමට මෙම සැත්කම හදිසියේම කළ යුතු වේ.

සිසේරියන් සැත්කම සිදු කිරීමේදී ශල්‍යකර්මයට පෙර කොඳු ඇට පෙළට නික්ෂේපණය කරන ඖෂධ මගින් නාභියේ පහළ කොටස නිර්වින්දනය ලක්කිරීම සිදුකරයි. එසේම යම් යම් හේතු මත සම්පූර්ණයෙන්ම සිහි නැති කරන අවස්ථා ද වේ. ශල්‍යකර්මය සිදු කිරීමට පෙර මුත්‍රා ඉවත් කිරීමට බටයක් දමන අතරම යටි බඩ පෙදෙසේ රෝම ඉවත් කර පිරිසිදු කරයි. ඉන් අනතුරුව මවගේ උදරය මතුපිට පිරිසිදු කර ජීවානුහරණය කරන ලද රෙදිවලින් වසා උදරයේ පහළින් සෙන්ටිමීටර 18 (අඟල් 10) ක පමණ කුඩා කැපුමක් යොදන අතරම සමට යටින් ඇති ස්ථරයක් විච්ඡේදනය කරමින් උදර කුහරය තුළට ඇතුළුවී ගර්භාෂයේ පහළ කොටසේ තවත් කැපුමක් යොදා ළදරුවා පිටතට ගනී. ඉන් පසු වැදැමහ ඉවත්කර ගර්භාෂය පිරිසිදු කර පියවරෙන් පියවර මැසීම සිදු කරයි.

බොහෝ අවස්ථාවලදී මෙසේ යොදන මැහුම් දියව යන මැහුම් වන අතරම ඒවා දියව යන බැවින් ඉවත් කිරීමක් අවශ්‍ය නොවේ. නමුත් දිය නොව මැහුම් යොදන අවස්ථාවලදී එසේ යොදන මැහුම් වර්ගයට අනුව ඒවා ඉවත් කළ යුතු දිනයන්ද වෙනස් වේ. එනම් සැත්කමින් දින දෙකකට පසුව සිට දහවන දිනය දක්වා මැහුම් ඉවත් කිරීම සිදුකෙරෙයි. මැහුම් ඉවත් කිරීම වේදනාකාරී නොවන බැවින් ඒ සඳහා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ.

ශල්‍යකර්මයෙන් අනතුරුව රුධිර වහනයක් ඇත්දැයි පරීක‍ෂා කිරීමට අමතරව වේදනා නාශක ඖෂධ ලබාදෙනවා. දෙපාවල හිරි ගතිය පැය 4 ක් පමණ ගත වන විට පහව යන අතර පැය 12 කට පමණ පසු මුත්‍රා පිටවීමට ඇති බටය ඉවත් කිරීම සිදු කරනවා. සිසේරියන් සැත්කම සිදු කළ මව්වරුන් හැකි ඉක්මණින් ඇදෙන් බැස තනිව ඇවිදීම ඇරඹිය යුතුය. වේදනා නාශක ඖෂධ නිසි පරිදි ලබාගැනීමත් දිගටම මව්කිරි දීමට කටයුතු කිරීමත් මෙම කාලයේදී අතිශයින් වැදගත් වේ. සංකූලතාවයක් ඇති නොවුනහොත් දින 3 – 5 ත් අතර කාලයේදී නිවසට යා හැකිය.

සිසේරියන් සැත්කම හා ඇති විය හැකි සංකූලතා :

අද වන විට ඉතා බහුලව සිදුකෙරෙන සැත්කමක් බැවින් සිසේරියන් සැත්කමේ සිදුවිය හැකි ගැටලූකාරී තත්ත්වය අවමය. නමුත් සිසේරියන් සැත්කම යනු ළදරුවෙකු බිහිකිරීම සඳහා වූ පහසු/ඉක්මන්/ආරක‍ෂාකාරී ක්‍රමයක් නොවේ. මෙය තරමක සංකීර්ණ සැත්කමකි. ඉතා කලාතුරකින් යම් යම් සංකූලතා ඇති වීමේ ප්‍රවණතා දැකිය ඇක.

  • නිර්වින්දය/සිහි නැති කිරීමේ ක්‍රම හේතුවෙන් ඇති වන සංකූලතා
  • උදර කුහරය බාහිරට විවෘත වීම නිසා අසාදනයන්ට ලක්වීම(මේ තත්ත්වය මගහරවාා ගැනීමට සැත්කමට පෙර ප්‍රතිජීවක ඖෂධ ලබාදේ)
  • ගර්භාෂය විවෘත කරන නිසා රුධිර වහනය වැඩියි. මේ තත්ත්වය අවම කිරීම සඳහා ළදරුවා බිහි කළ පසු මවට ඖෂධ ලබාදේ.
  • රුධිරය වහනය අධික බැවින් රුධිර පාරවිලයනය කිරීමට සිදුවිය හැක.
  • ඉතාම කලාතුරකින් රුදිර වහනය නතර නොවීම නිසා ගර්භාෂය ඉවත් කිරීමට සිදුවිය හැක.
  • මුත්‍රවාහිනි, මුත්‍රාශය, බඩවැල් වැනි උදර කුහරයේ අනෙක් අවයවවලට හානි සිදු විය හැකි ප්‍රවණතාවයක් ඉතාම කලාතුරකින් දැකිය හැක. (මව්වරුන් දහසකින් එක් මවකට මෙවැනි තත්ත්වයක් ඇති විය හැක)
  • දෙපාවල රුධිර කැටි ඇති වී පෙනහලූ වෙත ගමන් කිරීම වැනි දරුණ සංකූලතා තත්ත්ව ඉතාම කලාතුරකින් ඇති විය හැක.

සිසේරියන් සැත්කම යනු දරුවෙකු බිහිකිරීමට ඇති පහසු, ඉක්මන් මෙන්ම ආරක‍ෂාකාරී ක්‍රමයක් නොවන බව අපි මීට පෙරදීත් සඳහන් කළා. එසේම මෙවැනි දැනුවත් කිරීම් හරහා අප බලාපොරොත්තු වන්නේ මව්වරුන් බියපත් කිරීම නොව, සාමාන්‍ය ප්‍රසූතිය හරහා දරුවා බිහිකිරීමට සුදුසු වටපිටාව උපරිමයෙන් තිඛෙන මව්වරුන් නිකරුණේ සිසේරියන් සැත්කම වෙත යොමු වීමේදී දෙවරක් ඒ පිළිබඳව සිතා බැලීමට යොමුකිරීමයි.

සිසේරියන් සැත්කමට භාජනය වූ ඔබ නිවසේදී කළ යුතු/නොකළ යුතු දේ :

බොහෝ විට සිසේරියන් සැත්කමට භාජනය වූ පසු එක් එක් අයගෙන් විවිධ උපදෙස් ඔබට ලැඛෙනු ඇත. මේ අතුරින් ඉතා නිවැරදි උපදේශයන් ඔබට ළං කරගැනීමට ඔබ දැනුවත් වී සිටීම අනිවාර්ය වේ. සිසේරියන් සැත්කමින් පසු ඔබ සාමාන්‍ය පරිදි ඇවිදීම ඇරමිය යුතු අතර එසේ නොවුණහොත් දෙපාවල රුධිරය කැටි ගැසීම්, තුවාල පැසවීම, තුවාලය සුව වීමට කල්ගත වීම, නිව්මෝනියාව වැළදීම වැනි සංකූලතා රැසකට මුහුණ දීමට ඔබට සිදුවනු ඇත.

එමෙන්ම ඔබගේ තුවාලය පිරිසිදුව තබාගත යුතු බැවින් ස්නානය/ඇඟ සේදීම කළ යුතු අතර ඉන් අනතුරුව වියළි පිරිසිදු රෙදි කැබැල්ලකින් තුවාලය තෙත මාත්තු කළ යුතුය. සති 2 ක් පමණ යන තුරු බර ඉසිලීම් නොකළ යුතුය. අනවශ්‍ය ලෙස පඩිපෙල භාවිතය නුසුදුසු නිසා එය දිනකට දෙවරක් වන ලෙස ඔබේ වැඩකටයුතු කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍ය වේ.

සිසේරියන් සැත්කමට මුහුණ දුන් මවකගේ තුවාල සම්පූර්ණයෙන් සුවවීමට නම් මාස තුනක පමණ කාලයක් ගත වන අතරම සති දෙකකට පසුව සිට එදිනෙදා වැඩකටයුතු බාධාවකින් තොරව සිදුකිරීමට හැකියාව ලැබේ.

තවද සැත්කමෙන් සති හයකට පසුව මවගේ කැමැත්ත මත සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිත කරමින් ලිංගික සබඳතා ආරම්භ කිරීම සුදුසුය. ඒ සඳහා වෛද්‍යවරයාගෙන් හෝ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනයගෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්න. නැවත ගැබ්ගැනීම වසර දෙකකට ප්‍රමාද කිරීම තුළින් ඇතිවිය හැකි සංකූලතාවයන් අවම වේ.

තුවාලය සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු අවස්ථා :
  • තුවාලයේ සම ඈත් වී ඇත්නම්
  • දිගටම රුධිර වහනය/තුවාලයෙන් සැරව ගැලීමක් සිදුවේ නම්
  • තුවාලය වටේ රතු වී ඉදිමී තද වේදනා තතත්ත්වයක් ඇත්නම්
  • උණ ගතියක් ඇත්නම්
  • යෝනි මාර්ගයෙන් දිගින් දිගටම රුධිරය වහනය වේ නම්
  • පපු පෙදෙසේ වේදනාවක් ඇත්නම්

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ තිස්නවවන සතිය

39 th week
අම්මට වගේම තමයි චූටියටත් දැන් අම්මාගේ බණ්ඩියේ හිර වෙලා ඉඳලා ඇති වෙලා

දැන්නම් අම්මාගේ චූටියා එළියට එන්න හොඳටම කාලය ලං වෙලා. අම්මා දින ගැන ගැන බලාගෙන ඉන්නවා.

ගැබිනි සමයේ තිස්නවවන සතිය

දැන් ඔබේ බබා හොඳින් හැරිලා. මෙලොව එළිය දකින්නට බලාගෙන ඉන්නවා. උපතින් පසු උෂ්ණත්වය රඳා පවත්වා ගැනීමට දරුවාගේ සම මතුපිට මේද තට්ටුවක් මේ කාලය වන විට තැන්පත් වී අවසන්.  දැන් බිළිඳාගේ බර කිලෝ 3ට වැඩියි. ඒත් ඔබ කුස තුළ වැඩෙන්නේ පිරිමි දරුවෙකු නම් ගැහැණු දරුවෙකුට වඩා ඔහු බරින් වැඩි විය හැකියි.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

ඔබ, ඕනෑම වේලාවක ඔබේ දරුවා බිහි කිරීමට සූදානම්ව සිටිය යුතුයි. මන්ද මේ කාලය තුළදී ද දරුවා ලැබීමට හැකියාව ඇති බැවිනි. ඔබට ප්‍රසූත ලක‍ෂණ පහළ වේ දැයි හොඳ අවධානයකින් පසු විය යුතු වෙනවා. ඔබට දරුවාගේ චලනයේ යම් වෙනසක් එනම් ඇතිවන වේදනාව වඩා තදින් ලඟ ලඟ ඇති වේ නම් ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා. දරුවා කුස තුල වැඩිපුර චලනය වීම මේ කාලයේ සාමාන්‍ය තත්ත්වයක්. නමුත් එය සිදුවන වාර ගණන සහ සිදුවන කාලය හා එය ආරම්භ වන වේලාව පිළිබඳ ඔබ දැඩි අවධානයකින් පසුවිය යුතු වෙනවා.

මෙම තත්ත්වය ලඟ ලඟ  ඇති වනවානම් එය වඩා තදින් දැනෙනවානම් බොහෝ විට එය දරු ප්‍රසූතිය සඳහා ආරම්භ වන ප්‍රසූති ලක‍ෂණ විය හැකියි.

යෝනිය දෙපසින් ඇතිවන තෙරපීම සහ අපහසුව දරු ප්‍රසූතිය සිදු වීමට ආසන්න බව කියාපාන ලක‍ෂණ වේ. එමෙන්ම ප්‍රසූතිය සඳහා ඔබ සූදානම් කරන බවට සංඥාවකි. ඔබේ දරුවාගේ හිස යෝනිය දෙසට තල්ලූ වන විට නිතැතින්ම ඔබගේ අපහසු තත්ත්වය වර්ධනය වෙනවා. එවිට ඉක්මණින්ම ඔබේ දරුවා ඔබ ලඟට පැමිණෙන බව සිහිපත් කරන්න.

දරු ප්‍රසූතියට දින කිහිපයකට පෙර ඇතිවන පාචනය, අරුචිය සහ වමනය දරු ප්‍රසූතියට පෙර නැතිවන සාමාන්‍ය තත්ත්වයන්ය. දරු ප්‍රසූතියේ පූර්ව ලක‍ෂණ ලෙස යෝනියේ ඇතිවන පළල් වීමද සාමාන්‍ය තත්ත්වයකි. ඔබ හොඳින් නිරීක‍ෂණය කළහොත් යෝනි මාර්ගයේ ඇතිවන විස්තාරණයත් සමග මද වශයෙන් රෝස, රතු හෝ දුඹුරු පැහැයට ලේ පිටවීමක් දකින්න පුළුවන්. එය ගැබ්ගෙල ඇතිවන විස්තාරණය පිළිබඳ සලකුණක්.

ප්‍රසූති ලක‍ෂණ පහළ වීම හඳුනා ගැනීම 

මෙහිදී පහත ලක‍ෂණ හඳුන්වා දෙන්න පුළුවන්

  • යෝනියේ ඇතිවන ලේ වහනය වැඩිවීම
  • දරුවා උදරයේ පහළ දෙසට ලඟා වීම
  • උදරයේ ඇතිවන තෙරපීම හෝ පසු පෙදසින් ඇතිවන වේදනාව
  • දරුවාගේ ආරක‍ෂාව වෙනුවෙන් ගර්භාෂය තුළ දරුවා වටා ඇති තරලය බිදී යාම

සමහර විට මෙම වේදනා පහළ වීමේදී එය දරුවා දැඟලීමේදී ඇතිවන චලනයන්ගෙන් ඇතිවන තෙරපුමක්ද එසේත් නැතිනම් ප්‍රසූතිය සඳහා පහළවන වේදනාවක් දැයි නිශ්චිතවම වෙන් කර හඳුනාගැනීමට අපහසු වෙනවා.

යම් ආකාරයකින් එය වෙන්කර හඳුනාගැනීමට ඔබට යම් දැනුමක් අවශ්‍ය වෙනවා. එනම්,

  • දරුවාගේ චලනයත් සමග ඇතිවන තත්ත්වයන් සෑම විනාඩි කිහිපයකටම වරක් ඇති වුවත් එය ක්‍රමයෙන් වර්ධනය වීමක් සිදු වන්නේ නැහැ.
  • සාමාන්‍යයෙන් මදක් විවේකීව සිටින විට සාමාන්‍ය තත්ත්වයකදී පහව යන අතර දරු ප්‍රසූති ලක‍ෂණයකදී නම් එය පහව යන්නේ නැත
  • දරු ප්‍රසූතියේදී ඇතිවන තෙරපුම වඩා ශක්තිමත් හා වඩා වේදනාකාරී වීම

කෙසේ වෙතත් ඔබට මෙය හඳුනාගැනීමට අපහසුවක් දැනේ නම් ඔබ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි ඇමතීම කළ යුතු වෙනවා. මෙම වේදනා පහළ වූ විට එය ආරම්භ වූ වේලාව, නැවත නැවත ඇති වූ වේලාව සටහන් කර ගැනීමට ඔබට පුළුවන් නම් එය ඔබේ වෛද්‍යවරයාට හෝ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට ඛෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

පවුල් සෞඛ්‍ය නිළධාරි හෝ වෛද්‍යවරයා ඇමතීම

පහත දැක්වෙන ඕනෑම අවස්ථාවකදී ඔබ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම හෝ ඔබේ පවුල් සෞඛ්‍ය නිලධාරි ඇමතීම වඩා සුදුසු වෙනවා.

  • යෝනියෙන් යම් ශ්‍රාවයක් හෝ ලේ වහනය වීම
  • ඉතා තදින් ඇතිවන ප්‍රසව වේදනාව
  • පැයක් අතුළතදී හය වරක් හෝ ඊට වඩා වැඩි වාර ගණනක් වේදනා ඇති වීම

මෙහිදී ඔබ වෛද්‍යවරයා හෝ ඔබේ පවුල් සෞඛ්‍ය නිලධාරි වෙත යොමු වීම වැදගත් වන්නේ ඔවුන් ඔබ පරීක‍ෂා කර දරුවා බිහි වීමට ආසන්නදැයි පරීක‍ෂා කර බලන නිසාය.

හෘද ස්පන්දය මැන බැලීම – දරුවා ඉපදීමේදී ඔබේ දරුවාගේ හෘද ස්පන්දනය පිළිබඳ මැන බැලීම සිදු කරනවා. හෘද ස්පන්දන වේගය දෙස බලා ඔබේ වෛද්‍යවරයා දරු ප්‍රසූතිය සිදුවන ආකාරය සියල්ල සූදානම් කරනු ඇත.

ඔබට ප්‍රසූති ලක‍ෂණ පහළ වූ විට ලේ පහළට ගලා යාම නතර වෙනවා. මෙය සාමාන්‍ය තත්ත්වයක් වන අතර එය දරුවාට බලපෑමක් ඇති කරන්නේ නැහැ. නමුත් සමහර සංකූලතා කලාතුරකින් ඇති වන්න පුළුවන්.

බාහිර කලල අධීක‍ෂණය හෝ අභ්‍යන්තර කලල අධීක‍ෂණය හරහා දරුවාගේ හද ගැස්ම නිරීක‍ෂණය කිරීමට වෛද්‍යවරයාට පුළුවන්. බාහිර කලල අධීක‍ෂණය ඕනෑම අවස්ථාවක සිදු කළ හැකියි. ඔබේ උදරය මත එළිය පටියක් මගින් මෙය නිර්ණය කළ හැකි අතර බබාගේ හෘද ස්පන්දනයේ ඇතිවන වෙනස්කම් මේ මගින් හඳුනාගත හැකි වෙනවා. එය අල්ට්‍රා සවුන්ඩ් එකක් වැනි යැයි පැවසීම නිවැරදියි.

අම්මෙක් වෙන්න යන ඔබ දැන සිටිය යුතු ”කෘතිමව ප්‍රසුත වේදනාව ඇති කිරීමේ ක්‍රම”

සාමාන්‍ය දරු ප්‍රසූතිය මෙන්ම ප්‍රසූත වේදනාව හා එය අවම කිරීමේ ක්‍රම පිළිබඳවත් දැන් ඔබ දැනුවත්. තවද ප්‍රසූතිය සිදුවනවා යැයි නිර්ණය කරන ලද දිනයට ප්‍රසූතිය සිදුකරන මව්වරුන් සිටින්නේ 5%ක පමණ ප්‍රතිශතයකි. එසේම 80%ක පමණ ප්‍රමාණයක් සති 37 -41 අතර කාලයේදී දරුවන් බිහිකරයි. මේ ලිපිය හරහා සාකච්ඡා කෙරෙන්නේ සාමාන්‍ය ආකාරයට ප්‍රසූත වේදනාව ඇති නොවන මව්වරුන්ට ප්‍රසූත වේදනාව ඇති කළ හැකි ක්‍රම පිළිබඳවයි. එනම් Induction Of Labor පිළිබඳවයි. ආසියාතික රටවල සාමාන්‍ය ප්‍රසූතිය සඳහා නියමිත දිනය පසු වීමෙන් අනතුරුව ප්‍රසූත වේදනාව ඇති වේ යැයි බලා සිටින්නේ සාමාන්‍යයෙන් දින හතක් වැනි කාලයකි. ඒ දින හත ඇතුළත ප්‍රසූතිය සාමාන්‍ය පරිදි ප්‍රසූත වේදනාව ඇති නොවුණහොත් කෘතිමව වේදනාව ඇති කරවා ප්‍රසූතිය සිදු කිරිමට වෛද්‍යවරුන් පියවර ගනී. නමුත් මෙය සිදුකරන්නේ අත්‍යවශ්‍ය මව්වරුන් සඳහාම පමණි. සෑම මවකටම මේ තත්ත්වය මුහුණ දීමට සිදුනොවේ.

ප්‍රසූත වේදනාව කෘතිමව ඇති කිරීමට හේතු දෙකකි. එනම්,

  1. ප්‍රසූතිය සඳහා නියමිත දිනය පසුවී දින හතක් (ගැබිනි සමයේ 41 වන සතිය) ගතවුවද ප්‍රසූත වේදනාව ඇති නොවීම.
  2. මවගේ/ළදරුවාගේ යම් යම් සංකූලතා තත්ත්වයන් මත නියමිත දිනයට දරුවා බිහිකිරීමට වෛද්‍යවරයා විසින් තීරණය කිරීම
කෘතිමව ප්‍රසූත වේදනාව ඇති කිරීම සඳහා යොදාගන්නා ක්‍රම

ප්‍රොස්ටොග්ලැන්ඩීන් හෙවත් ග්ලැන්ඩීන් ලෙස භාවිතයේ පවතින ක්‍රමය බහුලව මේ සඳහා යොදාගැනේ. එසේම බැලුනයක් ගැබ්ගෙල තුළට ඇතුළු කොට ප්‍රසාරණය කිරීම ද සින්ටෝ හෙවත් සින්ටො සිනෝන් ලබාදීම අනෙක් ක්‍රමය වේ. එසේම මළදරු උපත්වලදී  Misoprostol යොදා ගැනේ.

ප්‍රොස්ටොග්ලැන්ඩීන් හෙවත් ග්ලැන්ඩීන්

ප්‍රොස්ටොග්ලැන්ඩීන් පෙත්තක් යෝනි මාර්ගය තුළින් ඇතුළු කිරීම මෙහිදී සිදුකරයි. මෙහි මූලික අරමුණ වන්නේ ගැබ්ගෙල වීවෘත කිරීමයි. මෙම ක්‍රමයේ පියවර,

  1. ළදරුවාගේ තත්ත්වය CTG /ස්කෑන් පරීක‍ෂණයක් මගින් නිරීක‍ෂණය කොට (ළදරුවාගේ තත්ත්වය සාමාන්‍ය ප්‍රසූතිය සඳහා සුදුසුද යන්න පරීක‍ෂා කෙරේ.) පහත පියවර ආරම්භ කරයි.
  2. යෝනි මාර්ගය හරහා ප්‍රොස්ටොග්ලැන්ඩීන් පෙත්තක් ඇතුළු කිරීම සිදුකරයි.
  3. ඉන් පැය හයකට පසු නැවත ප්‍රොස්ටොග්ලැන්ඩීන් පෙත්තක් ඇතුළු කිරීම සිදුකරයි.
  4. පැය 12කින් පසු ගැබ්ගෙල විවෘත වී ඇත්දැයි පරීක‍ෂා කරයි. (සාමාන්‍යයෙන් පළමු චක්‍රය සම්පූර්ණ වන විට 60%ක් පමණ ප්‍රමාණයකගේ ගැබ්ගෙල විවෘතව තිබිය හැකියි)
  5. ගැබ්ගෙල විවෘත නොවූ මව්වරුන්ගේ දෙවන චක්‍රය ආරම්භ කරන අතරම පළමු චක්‍රයේ අවසාන පෙත්ත ඇතුළු කළ අවස්ථාවේ සිට පැය 24කින් පසුව නැවත ප්‍රොස්ටොග්ලැන්ඩීන් පෙත්තක් ඇතුළු කිරීම සිදුකරයි.
  6. නැවත පැය හයකින් ප්‍රොස්ටොග්ලැන්ඩීන් පෙත්තක් ඇතුළු කිරීම සිදුකරයි
  7. නැවත පැය 12කට පසුව ගැබ්ගෙල විවෘතව ඇත්දැයි පරීක‍ෂා කිරීම සිදුකරයි. (මේ වන විට දෙවෙනි චක්‍රය හරහා 70%ගේ පමණ ගැබ්ගෙල විවෘත වීම/ප්‍රසූත වේදනාව ඇතිවීම සිදු විය හැකිය.
යෝනි මාර්ගය හරහා බැලුනයක් ඇතුළු කොට ගැබ්ගෙල විවෘත කිරීම

සාමාන්‍ය මුත්‍රා මාර්ගයට ඇතුළු කරනු ලබන කැතීටරයක රඳවා ගැබ්ගෙල වෙත යැවෙන බැලුනයට සේලයින් දියර පුරවා ගැබ්ගෙල විවෘත කිරීම මෙම ක්‍රමයයි. මෙසේ ඇතුළු කෙරෙන බැලුනය පැය 12 – 24 වැනි කාලයක් වුවද ඇතුළත තැබීමේ ගැටලූවක් නොමැති අතරම මෙමගින් මවට/ළදරුවාට හානිකර තත්ත්වයක් ඇති නොකරයි.

ප්‍රොස්ටොග්ලැන්ඩීන් පෙති ඇතුළු කිරීමේ ක්‍රමයට වඩා මෙම ක්‍රමය ආරක‍ෂාකාරී වුවද ප්‍රොස්ටොග්ලැන්ඩීන් පෙති ඇතුළු කිරීමේ ක්‍රමය තරම්ම සාර්ථක නොවේ. කෙසේ වුවද මෙම ක්‍රම දෙකෙහිම අරමුණ වන්නේ ගැබ්ගෙල විවෘත කිරීමයි.

ගැබ්ගෙල විවෘත වූ පසු

සාර්ථක ලෙස ගැබ්ගෙල වීවෘත වූ මව්වරුන්ගේ යෝනි මාර්ගය හරහා උපකරණයක් ඇතුළු කොට උල්බ කෝෂය සිදුරු (ARM) කරයි. මෙය මවට/ළදරුවාට හානිකර නොවන ආරක‍ෂාකාරී ක්‍රමයකි. මේ සඳහා මවගේ උපරිම සහයෝගය අවශ්‍ය වේ.  ඉන්පසුව පැය දෙකක කාලයක් පුරා ප්‍රසූත වේදනාව ඇති වෙනවාදැයි නිරීක‍ෂණය කෙරෙන අතරම ඇතැම් මව්වරුන්ට වේදනාව ඇති වුවත් ඇතැම් මව්වරුන්ට ඇති නොවේ. එසේ වේදනවා ඇති නොවන මව්වරුන්ට ඔක්සිටොසීන් (සින්ටෝසිනෝන්) නමු වූ සිරුරේ නිපදවෙන හෝමෝනය කෘතිමව ලබාදී වේදනාව ඇති කරයි. මේ තත්ත්වයේදී ළදරුවා CTG පරීක‍ෂණ මගින් හොඳින් නිරීක‍ෂණය කරයි. මෙසේ සිදුවන ප්‍රසූතියකදී මවට දැනෙන වේදනාව සාමාන්‍ය පරිදි ඇති වන වේදනාවට වඩා වැඩි වන අතරම මේ සඳහා පැය 12 – 18ක් අතර කාලයක් ගත විය හැකිය. එසේම මවට ප්‍රසූත වේදනාව අවම කිරීම සඳහා ඖෂධ ලබාදීම සිදු කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීක‍ෂණ වාර්තාවලට අනුව කෘතිමව ප්‍රසූත වේදනාව ඇති කිරීමේ ක්‍රම භාවිතය වැඩිම රට ශ්‍රී ලංකාවයි. ඒ ප්‍රසූති දිනය පසුවූ විගස මෙය සිදුකිරීම නිසයි. නමුත් ප්‍රසූත දිනය පසු වූ විගස එය සිදුකිරීම අනවශ්‍යය. දරු ප්‍රසූතිය සඳහා නිර්ණය වූ දිනය පසුවීම ගැටලූකාරී තත්ත්වයක් නොවන අතරම දියුණු රටවල්වල නම් කෘතිමව වේදනාව ඇති කිරීමේ ක්‍රම යොදාගන්නේ සති 42 සම්පූර්ණ වූ පසුවයි. නමුත් අපේ රටේ එම ක්‍රම අරඹන්නේ සති 41 සම්පූර්ණ වූ පසුවයි. කෙසේ වුවද කෘතිමව ප්‍රසූත වේදනාව ඇති කිරීමේ මෙම ක්‍රම මගින් වේදනාව ඇති කළ හැකි වන්නේ 70%ක පිරිසකටයි. ඒ අතරින් සාමාන්‍ය ප්‍රසූතියෙන් දරුවා බිහිකරන්නේ 50% ප්‍රතිශතයකි. ඉතිරි 50% සිසේරියන් සැත්කම වෙත යොමු කෙරේ. එයට හේතු වන්නේ ගැබ්ගෙල විවෘත නොවීම, ළදරුවාගේ යම් යම් ගැටලූකාරී තත්ත්වයන් වැනි ඒවාය. තවද පෙර ප්‍රසූති අවස්ථාවකදී සිසේරියන් සැත්කමට යොමු වූ මවක් මේ සඳහා යොමු කෙරේ නම් ඒ පිළීබඳ සුදුසු ක්‍රමය වෛද්‍යඳවරුන් සාකච්ඡා කොට තීරණය කෙරෙන අතරම එවැනි මවක් විටින් විට හොඳින් නිරීක‍ෂණය කිරීම සිදු කෙරේ.

මෙම ක්‍රම අසාර්ථක වීම බලපෑ හැකි හේතු :

මේ සඳහා අවස්ථාව ඇත්තේ 30 -70% අතර ප්‍රතිශතයකටයි. එසේම මෙම ක්‍රම ක්‍රියාත්මක කරන අවස්ථාවේ ගැබ්ගෙලෙහි පිහිටීම, සති ගණණ (41 එකට ආසන්න වන විට සාර්ථක වීමේ ප්‍රවණතාවය වැඩියි), කීවෙනි ප්‍රසූතිය ද යන කරුණුද සාර්ථක, අසාර්ථක බව සඳහා බලපායි.

කෘතිමව ප්‍රසූත වේදනාව ඇති කිරීමේ මෙවැනි ක්‍රම ඕනෑම මවක් සඳහා යොදාගන්නේ නැත. අවශ්‍යතාවය මත වෛද්‍යවරයාගේ තීරණයට අනුව පමණක් සිදු කෙරෙන අතරම මේ සඳහා මවගේ අවසරය ලබාගැනීම සිදුකෙරේ. එසේම ළදරුවාගේ තත්ත්වය වරින් වර පරීක‍ෂා කිරීම ද අත්‍යවශ්‍ය කරුණකිි. ඒ වගේම මවට ප්‍රසූත වේදනාව ඇති වන විට මව හොඳින් පරීක‍ෂා කිරීමද අත්‍යවශ්‍ය වේ.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ තිස්අටවන සතිය

38 th week
චූටියා එන්න, තව ටික දවසයි…

දැන් නම් චූටියාගේ මූණ බලන්න කාලය ලං වෙනවා හොඳටම. අම්මට ඉවසිල්ලක් නෑ. අම්මට විතරක් නෙවේ. ඒක තාත්තටත් ඒ විදියමයි.

ගැබිනි සමයේ තිස්අටවන සතිය

දැන් ඔබේ කිරි කැටියා හොඳින් වර්ධනය වෙලා. බර රාත්තල් 6.8 ක් විතර වෙලා. උස අඟල් 19.5 ට වැඩියි. දැන් පැටියා ලොකුයි නේද? දැන් කිරි කැටියා ගර්භාෂයෙන් එළියට එන්න සූදානම් වෙලයි ඉන්නේ. සියලු අවයව පරිණත වී කුසෙහි  පිටත ජීවිතය සඳහා බබා සූදානම් වී ඇත.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

ඔබ දැන් සති 38 ක ගැබිනියක්. ඔබේ බබා දැන් ගර්භාෂයෙන් පහලට හැරී ඇති අතර ප්‍රසූත වේදනා ටිකින් ටික දැනීමට පටන් ගනී. මේ වන විට රෝහලට ගෙන යන බෑගය අසුරා ඕනෑම වේලාවක රෝහලට යාමට ඔබ සූදානම් වී සිටිය යුතුය.  බබාගේ චලනයන් නිරන්තරයෙන් ඔබට දැනෙන්නට පටන් ගනී. එය වඩා තීව්‍ර හා වේදනාකාරී වේ.

මේ වන විට ඔබේ දරුවා බිහි කිරීමට සිරුර සූදානම් වී ඇත. ගැබ් ගෙලෙහි වෙනස්කම් ඇති වේ. ඔබ සති 38 දී වෛද්‍යවරයා මුණ ගැසීමට ගිය විට ඔබේ ගැබ්ගෙල පරීක‍ෂා කරනු ඇත. මේ වෙනස්කමක් පවතී නම් වෛද්‍යවරයාට හඳුනාගැනීමට පුළුවන.

තුනී ගැබ්ගෙලක් ඇති අයෙකුගේ යම් දරුවා ලැබීමේදී ගැබ් ගෙල පහසුවෙන් විශාල වීම සිදු වේ. මෙම කාලය වන විට දරුවාගේ හිස ගැබ් ගෙල දෙසට යොමු වී බිහි වීමට අවශ්‍ය වටපිටාව සූදානම් වී නැත.

පාද ඉදිමීම හා වළලූකර ඉදිමීම මේ කාලයේ සාමාන්‍ය රෝග ලක‍ෂණයි.

ශරීරය තුළ සිදුවන පීඩනය, නහරවල පීඩනය නිසා රුධිරය සංසරණයේ සිදුවන වෙනස්කම් ද හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇති වීම ස්වභාවිකය.

නමුත්, මෙම ඉදිමීම සාමාන්‍ය තත්ත්වයට වඩා බරපතල ලෙස වර්ධනය වීමක් ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම අවශ්‍යය. එමෙන්ම, දිගටම පවතින හිසරදය, දර්ශන නොපැහැදිලි වීම, පෙනීමේ වෙනස්කම්, උදරයේ ඉහළින් වේදනාවක් නැති වීම, ඔක්කාරය සමග ඒන අපහසුතා ආදී ලක‍ෂණ පහළ වුවහොත් ඒ සඳහා ප්‍රතිකාර ගැනීමද අවශ්‍ය වේ.

ඔබේ අලූත උපදින්නට සූදානම් වන කිරි කැටියා වෙනුවෙන් ඔබේ පියයුරු වලින් කිරි වෑස්සීම මේ කාලයේදී සිදු විය හැකි අතර උත්තරීතර මව් පදිවය පිළිගන්නට ඔබේ සූදානම එය මනාවට කියාපයි.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු ” ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම ”

මිනිසුන්ට දැනෙන වේදනා අතරින් ප්‍රසූත වේදනාව යනු වැඩි වේදනා තත්ත්වයක් බව සැබෑය. නමුත් ඕනෑම වේදාවක් මෙන්ම ප්‍රසූත වේදනාව ද එක් එක් කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වේ. ඒ ඕනෑම කාන්තාවක් මේ තත්ත්වයට මුහුණ දෙන මානසිකත්වය අනුවයි. උදාහරණයක් ලෙස පෙර ලැබූ අත්දැකීම්/වෙනත් අයෙකුගේ අත්දැකීම් හෝ නොදැනුවත්කම මත අහේතුකව ඇති වන අධික බිය, ප්‍රසූතිය පිළිබඳව ධනාත්මක ආකල්පයක් නොමැති වීම වැනි සිතුවිල්ලෙන් සිටීම නිසා කාන්තාවකට ප්‍රසූත වේදනාව අධික ලෙස දැනීමට ඉඩ ඇත. අන්න ඒ නිසාම වේදනාව යනු මානසික තත්ත්වයට අනුව අඩු/වැඩි වෙන තත්ත්වයකි. ප්‍රසූතිය පිළිබඳව නිවැරදිව දැනුවත් වීම සහ ධනාත්මක සිතුවිලි වේදනාව අවම කරගැනීමට විශාල පිටිවහලක් ලැබේ.

එසේම අද වන විට ප්‍රසූත වේදනාව අවම කිරීම සඳහා අවම මට්ටමේ සිට උපරිම මට්ටම දක්වා වූ ක්‍රම බොහොමයක් හඳුන්වා දී ඇත.

ප්‍රසූත වේදනා අඩු කරන ක්‍රම :

අතීතයේදී මව්වරුන්හට ප්‍රසූත වේදනාව අවම කර ගැනීම සඳහා ඖෂධ රහිත/සහිත ක්‍රම භාවිත නොවුණ අතරම කෙසේ හෝ ඔවුන් ඒ වේදනාව දරා ගනිමින් දරුවා බිහිකිරීම සිදු කළ ද අද වන විට වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගින් ප්‍රසූත වේදනාව අවම කිරීමේ ක්‍රම කිහිපයක් සඳහාම පහසුකම් අප සතුව ඇත. නමුත් ඇතැම් වැඩිහිටි කාන්තාවන්ගේ අදහස වන්නේ කාන්තාවක් ලෙස මවක් වීමේ වේදනාව දරාගත නොහැක්කේ ඇයි ද යන්නයි. ඒ අදහස් ඔවුන් දක්වන්නේ ඔවුන් ප්‍රසූතියේදී ලැබූ අත්දැකීම් සමග වුවද පෙර සඳහන් කර පරිදිම වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගින් අද වන විට ඕනෑම අවස්ථාවකදී වේදනාව අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රම යොදාගනී. දරු ප්‍රසූතිය යනු උපරිම වේදනා සහිත තත්ත්වයක් බැවින් මේ සඳහා ඖෂධ රහිත/සහිත වේදනාව අවම කිරීමේ ක්‍රමයක් ලබාගැනීම මවකගේ අයිතිවාසිකමක් වන අතරම අධික වේදනාව දරා ගත නොහැකි මව්වරුන්ගේ ප්‍රසූති ක්‍රියාවලිය ගැටලූකාරී විය හැකි බැවින් වෛද්‍ය විද්‍යාවට අනුව ද වේදනාව අවම කිරීමේ ක්‍රම භාවිතය අවශ්‍ය බව පැවසේ.

ප්‍රසූතියේදී වේදනාව අවම කරන ක්‍රම කොටස් දෙකකි. එනම්,

  • Non Pharmacological Methods (ඖෂධ භාවිතයකින් තොරව ප්‍රසූත වේදනාව අවම කිරීම)
  • Pharmacological Methods (ඖෂධ භාවිත කර ප්‍රසූත වේදනාව අවම කිරීම)
Non Pharmacological Methods (ඖෂධ භාවිතයකින් තොරව ප්‍රසූත වේදනාව අවම කිරීම)

බොහොමයක් දියුණු රටවල ප්‍රසූත වේදනාව අවම කිරීම සඳහා යොදාගන්නේ මෙම ක්‍රමයයි. එනම් ප්‍රසූත වේදනාව අවම කරගැනීමට ඖෂධ හැර වෙනත් ක්‍රම භාවිතයයි. ඔවුන් ජල තටාකවල දරුවා බිහිකිරීම (Water Birth) සිදු කරයි. ඔවුන් ඒ වටපිටාව සුවඳවත් කොට තමා අසන්නට ප්‍රියකරන සංගීතයක් සමගින් තමා කැමති අයෙකු සමග මේ අවස්ථාව ඛෙදාගනිමින් තම මනස සමබර කරගනිමින් ප්‍රසූති අවස්ථාව ඉතාම ධනාත්මක අත්දැකීමක් බවට මෙන්ම වේදනාව අවම තත්ත්වයට පත්කර ගනී. එසේම ස්වසන ව්‍යායාමවල යෙදීම ද ප්‍රසූත වේදනාව අවම කරගැනීමට යොදාගන්නා තවත් ක්‍රමයකි. තවද සම්බාහය ද මේ අතරට අයත් වේ.

නමුත් ශ්‍රී ලංකාවේ පවතින පහසුකම්වලට අනුව ගත් කළ ස්වසන ව්‍යායාම සහ ප්‍රසූති අවස්ථාවේ තමාගේ මව/සහෝදරිය/යෙහෙළිය (Labor Companion) ළඟ තබාගැනීමට මෙම ක්‍රමය යටතේ මව්වරුන්ට අවස්ථාව සැලසේ.

Pharmacological Methods (ඖෂධ භාවිත කර ප්‍රසූත වේදනාව අවම කිරීම)

මෙහිදී ප්‍රසූත වේදනාව අවම කිරීම සඳහා ඖෂධ වර්ග ලබා දීම සිදු කෙරෙන අතරම එය මව්වරුන් සතු මානුෂීය අයිතිවාසිකමක් ලෙසට සැළකේ. මේ අවස්ථාවේ ඇති වන වේදනාව අවම කිරීමට අවම මට්ටමේ සිට උපරිම මට්ටම දක්වා වූ වේදනා නාශක ලබාදීම සිදුකෙරෙන්නේ එබැවිනි. එනම් අවම මට්ටමේ වේදනා නාශකයක් ලෙස පැරසිටමෝල් පැය හයෙන් හයට ලබා දීමෙන් මෙය ආරම්භ වේ. කුමන වේදනා නාශක ඖෂධය ලබා දුන්නද ඒ සියල්ල ලබාදිය යුත්තේ වේදනාව ඇති වීමට පෙරයි. වේදනාව ඇති වීමෙන් පසුව ඖෂධ ලබාදීම නිෂ්ඵලය. එනම් ඖෂධවල ක්‍රියාකාරීත්වය දුර්වල වන බැවිනි.

ශ්‍රී ලංකාවේ භාවිත වන ප්‍රසූත වේදනාව අවම කරන වේදනා නාෂක ක්‍රම 
  • Gas & Air හෙවත් නයිට්‍රස් ඔක්සයිඩ් (NO2) වායුව
    කාසල් වීදියේ කාන්තා රෝහල සහ ද සොයිසා කාන්තා රෝහල ඇතුළු රජයේ රෝහල් කිහිපයකද පෞද්ගලික අංශයේ රෝහල් කිහිපයක ද මෙම ක්රමය සඳහා පහසුකම් පවතී. මෙහිදී NO2 වායුව මගින් වේදනාව අවම කරවන අතරම මව විසින් එය ඉරීම සිදු කළ යුතුය. පළමුවර වමනය/කරකැවිල්ල වැනි තත්ත්වයන් ඇති විය හැකි අතරම පසුව ඒ තත්ත්වය මගහැරී යයි.
  • පෙතිඩින්
    මෙය ශ්රී ලංකාවේ බහුලම භාවිත වන ප්රසූත වේදනාව අවම කිරීමේ ක්රමයකි. සාමාන්යයෙන් පැය හතරකට වරක් එන්නතක් වශයෙන් ලබා දෙන මෙය ලබා දිය හැකි වාර ගණන සීමිතය. එසේම මවට ලබාදීමෙන් ළදරුවාට ද ගමන් කරන බැවින් ප්රසූතියෙන් පසුව ළදරුවාට ස්වසනය හා සම්බන්ධ යම් යම් ගැටලූ මතුවිය හැකි වුණද ඒ සඳහා අවශ්ය ඖෂධ වර්ග ලබාදීම සිදු කෙරේ. මවට වමනය ඇති විය හැකි අතරම එය වැළැක්වීම සඳහාත් ඖෂධ ලබා දේ.
  • එපිඩියුරල් ක්රමය
    මවගේ පිට කොන්දේ පහළ කොටසට නිර්වින්දන ඖෂධයක් එන්නත් කිරීමෙන් වේදනාව සමනය කර දරුවා බිහි කිරීම මෙහිදී සිදු වේ. ප්රථමයෙන් සියුම් එන්නත් කටුවක් කොඳු ඇට පෙළ අතරින් ඇතුළු කර ඒ හරහා කැතීටරයක් ඇතුළු කර ඉදි කටුව ඉවත් කර කැතීටරය අගට සම්බන්ධ කළ බටයක් තුළින් ඛෙහෙත් වර්ග ඇතුළු කෙරේ. හුස්ම ඉහළ පහළ යාම ගැන අවධානය යොමු කරමින් මෙය සිදු කරන තුරු ඔබ නිශ්චලව සිටිය යුතුය. එලෙස නලය තුළින් ඛෙහෙත් වර්ග ඇතුළු කළ පසු ගර්භාෂයේ සහ ගැබ් ගෙලෙහි සිට මොළයට පණිවුඩ ගෙන යන ස්නායු තාවකාලිකව අඩපණ කරයි. මේ නිසා වේදනාව නොදැනී යයි. එසේම ප්රසූති අවස්ථාවේදී වේදනාව නොමැති බැවින් තැටමීම නිසි ලෙස සිදුනොවීම හේතුවෙන් වැකියුම්/අඬු භාවිත කොට ළදරුවා පිටතට ගැනීමට සිදුවන ප්රවණතාවය ඉහළ යන අතරම සිසේරියන් සැත්කමක් සිදුකිරීමේ ප්රවණතාවයක් නොමැත. වැකියුම්/අඬු භාවිත කොට ප්රසූතිය සිදුකිරීම හේතුවෙන් සියලූ පහසුකම් තිබියදීම මේ ක්රමය ප්රතික්ෂේප කරන්නේ නම් එය අනුවණ ක්රියාවකි.මේ සඳහා පුහුණුව ලත් වෛද්යවරුන්/හෙදියන් සිටිය යුතු අතරම ප්රසූතියෙන් පසුව ළදරුවා මෙන්ම මවද ඉතා හොඳින් නිරීකෂණය කළ යුතුය. මිල අධික වීම, පුහුණ පිරිස් අවම වීම වැනි හේතු මත මෙම ක්රමය හොඳම ක්රමයක් වුවද භාවිතය අවම වේ.මෙම ක්රමය නිසා සංකූලතාවයන් ඇති වීමේ ප්රවණතාවය අවම වන අතරම කොන්දට ලබාදෙන එන්නත හේතුවෙන් පසුකාලීනව කොන්දේ වේදනාවක් හටගනීය යන වැරදි මතයක් අප අතර පවතී. නමුත් මෙම එන්නත හේතුවෙන් එවැනි තත්ත්වයක් හටගත හැක්කේ ඉතාම කලාතුරකින් අතරම එසේ වන්නේ දරු ප්රසූතියෙන් පසු මව්වරුන් ළදරුවා වඩා ගැනීමේදී මෙන්ම අනෙක් වැඩ කටයුතුවලදී නිවැරදි ඉරියව් භාවිත නොකිරීම නිසාය.
  • ස්පයිනල් ක්රමය
    මෙය ඉතා ඉක්මණින් වේදනාව නැති කරන ක්රමයකි. මෙය යොදාගන්නේ සිසේරියන් සැත්කම සඳහායි. මෙම එන්නත ලබාදීමෙන් අනතුරුව කොන්දෙන් පහළ කොටස අප්රාණික වන අතරම එය නැවත යථා තත්ත්වයට පත්වීමට පැය හයක පමණ කාලයක් ගත වේ. එසේම මුත්රාශය පවා අඩපණ වන බැවින් මුත්රා ඉවත් කිරීම සඳහා කැතීටරයක් යෙදම සිදු කෙරේ.
  • එපිස් කැපුම යෙදීමේදී සහ මැහුම් යෙදීමේදී ඒ ප්රදේශය හිරිවැටීම සඳහා ලබා දෙන එන්නත
  • සාමාන්ය දරු ප්රසූතිය/සිසේරියන් සැත්කම හරහා සිදුවන ප්රසූතිය යන අවස්ථා දෙකේදීම අසාත්මිකතාවයන් හෝ ඇස්මා වැනි රෝග තත්ත්ව නොවේ නම් ළදරුවාට අහිතකර නොවන ඖෂධ වර්ග වන පැරසිටමෝල් වැනි ඖෂධ වර්ග ලබාදීම සිදු කෙරේ.

අද වන විට ඕනෑම මවකට දරු ප්රසූතියේදී වේදනා අවම කර ගැනීම සඳහා ඉහත දැක්වූ ක්රම මගින් අවස්ථාව උදා වී ඇති අතරම එය සෑම මවකගේම මානුෂිය අයිතිවාසිකමකි. එසේම අනවශ්ය ශල්යකර්මවලින් තොරව මෙවැනි ක්රම හරහා සාමාන්ය ප්රසූතිය වෙත යොමු වීමෙන් පසුකාලීනව ඇති විය හැකි බොහොමයක් සංකූලතාවයන් වළක්වා ගැනීමේ වාසිය ද මව්වරුන් සතුවේ.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ තිස්හත්වන සතිය

37 th week
චූටියා බලන් ඉන්නේ අම්මගේ අතට පැනගන්නේ කවදද කියලා

චූටියා මෙලොව එළිය දකින දිනය එන්න එන්නම ළං වෙනවා. අම්මට ඉවසිල්ලක් නෑ. චූටි පැටියත් ඉවසිල්ලක් නැතිව බලාගන ඉන්නේ එළියට ඇවිත් අම්මගේ මූණ බලන්න වගේම තාත්තගේ අතට පනින්න.

ඒත්…, අම්මාගේ හිතට පුංචි බයක් දැනෙනවලූ. ඇයි ඒ ? අම්මා දන්නවද? ඇත්තටම දරු පැටියෙක් කුස පිළිසිඳ ගන්න මොහොතේ ඉඳලම මෙලොවට බිහිවන මොහොත දක්වා සිදුවෙන හැම සිදුවීමක්ම සොබාදහමේ ආශ්චර්යයක් වගෙයි. ඇත්තටම සොබාදහම එක්ක බැදුණු කිසිම දෙයක අහිතකර බලපෑමක් නෑ.

අම්මට තේරුණාද? චූටියා සොබාදහමේ ආශ්චර්යයක් විදියට මෙච්චර කාලයක් පුරා අම්මාගේ කුස තුළ වැඩුණු තරම්ම ලස්සන අත්දැකීමක් තමයි එයා මේ ලෝකෙට ස්වභාවික විදියට බිහිකරන එකත්.

ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රසූතිය ගැන. දියුණු රටවල්වල පවා දරුවා සැත්කමක් මගින් බිහිකිරීමට සිදු වුවහොත් එය මව්වරුන්ට කණගාටුදායක අවස්ථාවක්. ඔවුන් සාමාන්‍ය ප්‍රසූතිය හඳුන්වන්නේ ධනාත්මක අත්දැකීමක් ලෙසටයි. කාන්තාවකට හිමිවන වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ වටිනා අත්දැකීමක් ලෙස සාමාන්‍ය ප්‍රසූතිය හැඳින්වීම නිවැරදියි. මොකද වේදනාවන් අතරින් වුණත් දරුවා මේ ලෝකෙට බිහිකරාට පස්සේ අම්මා කෙනෙකුට දැනෙන සතුට, සැනසුම, ආදරය වෙන කිසිම දේකින් ලබන්න බෑ. ඉතිං චූටියා ගේන දවසට අම්මත් හිතේ බයක් ඇති කරගන්න ඕනේ නෑ. මව්පදවියේ සොඳුරු අත්දැකීම හරි විදියටම විඳින්න අම්මත් සූදානම් වෙන්න.

”අපෝ .. නෝමල් බබා ගන්න ගියොත් චූටියට විතරක් නෙවෙයි අම්මටත් කරදර වෙන්න පුළුවන්කෙ” කෙනෙක් එහෙම කියන්න බැරි නෑ… ඒත් අම්මා හොඳට හිතට ගන්න, සාමාන්‍ය ප්‍රසූතියකින් දරුවාටවත් අම්මාටවත් හානියක් සිදුවේය යන අදහසක් අපේ සමාජය තුළ පැවතුණත් එහි සත්‍යතාවයක් නැති බව. ප්‍රසූතිකාගාරයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලය මගින් අම්මාට ලොකු සහයෝගයක් ලබා දෙනවා විතරක් නෙවෙයි, ප්‍රසූත වේදනාව අවම කරන්නත් අවශ්‍ය පහසුකම් මේ වන විට රෝහල් සතුව පවතිනවා. ඒ පිළිබඳව වෛද්‍යවරයාගෙන් විමසන්න අම්මට අයිතිවාසිකමකුත් තියෙනවා. ඉතිං සාමාන්‍ය ප්‍රසූතිය ගැන සමාජයේ තියෙන වැරදි මතයන් ගැන හිතමින් පසුතැවිලි වෙන්නවත් බිය වෙන්නවත් කාලය වැය කරන්න චූටියාගේ අම්මා නම් මෝඩ වෙන එකක් නෑ කියලා අපි දන්නවා.

ගැබිනි සමයේ තිස්හත්වන සතිය

ඔන්න, මේ ගතවෙන්නේ ගැබිනි සමයේ 37වන සතිය. දැන් බිළිඳාගේ බර කිලෝ ග්‍රෑම් 2. 850 වගේ වෙනවා. ඒ වගේම හිසේ සිට පාදාන්තය දක්වා උස දළ වශයෙන් සෙන්ටිමීටර් 50ක් පමණ.

දැන් ඔබේ ප්‍රසූතියට දින බොහොම ආසන්නයි. ගැබිනි සමයේ 37 වන සතිය සම්පූර්ණ වන විට මුල්කාලීනව දරුවෙකු බිහිකළ හැකි තත්ත්වයක පවතින නමුත් ඉදිරි සති දෙක ඇතුළද බිළිඳෙකුගේ මොළය සහ පෙනහලූ හොඳින් පරිණත වන නිසා යම් අත්‍යවශ්‍ය තත්ත්වයක් මත මිස දරුවා බිහිකිරීමක් සිදුවන්නේ නැත.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

දැන් නම් අම්මලාට සතුට දෝරෙ ගලන කාලේ. සති 37 යි කියන්නේ, ඇත්තටම කිව්වොත් මුල් කාලීනව දරුවකු බිහි කළ හැකි මට්ටමේ ඔබ ඉන්න නිසා දරුවා මේ වන විට සෞඛ්‍ය සම්පන්නයි. යම්  සංකූලතාවයක් ඇති වුවහොත් මුල් කාලීන අවදියේදි දරුවා බිහි කිරීමේ හැකියාව පවතිනවා. සති 37 ක් හා ගැබ් ගෙන සති 42 ත් අතර ඕනෑම අවස්ථාව දරුවෙකු බිහි විය හැකියි.

ඔබ මතක තබාගත යුතු විශේෂ කරුණක් නම් ළදරුවන්ගේ 80% ක් පමණ උපත ලබන්නේ සති 37-42 ත් අතර බවයි. නියමිත දිනට උපත ලබන දරුවන් සිටින්නේ 5% ක් පමණ අඩු ප්‍රතිශතයකි.

ඔබ දරු ප්‍රසූතිය සඳහා සූදානම්

දරු ප්‍රසූතියේ ප්‍රසූති ලක‍ෂණ සති 37 සහ 42 කාලය තුළ ඇතිවිය හැකිය.

ඔබ දරු ප්‍රසූතියේදී පහළ වන ලක‍ෂණ පිළිබඳ දැනුවත්ද? ඒ පිළිබඳව දැනුවත් වීම ඔබට ඉතා අවශ්‍යයයි.

  • බබාගේ චලනයන්වල අඩුවක් දැනීම
  • යෝනි මාර්ගයේ සිට උකු තරලයක් වැනි දේ පිටවීම හෝ රුධිර වහනය වීම
  • යටි බඩ දෙසින් ඇතිවන තද අපහසුව හා කෙණ්ඩා පෙරළීම
  • ගර්භාෂය තද කරනවා මෙන් රිද්මයානුකූලව දැනෙන වේදනව
සැබෑවටම ප්‍රසුති ලක‍ෂණ පහළ වූ විට,
  • විනාඩි කිහිපයකට වරක් නිරන්තරයෙන් ගර්භාෂයේ සිදු වන හැකිලීම හා දිග හැරීම
  • මෙම තත්ත්වය පැමිණි පසු විවේක ගත්තද එහි අඩුවක් නොදැනේ

නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම මේ කාලයේදී කළ යුතු වේ.

අම්මෙක් වෙන්න යන ඔබේ අවධානය යොමු විය යුතු ”සාමාන්‍ය දරු ප්‍රසූතිය”

මෙම ලිපියේ පෙර සඳහන් කළ පරිදිම අපේ ජීවිතවල ඕනෑම අවස්ථාවකදී ස්වභාවිකත්වයට මුල්තැන ලබාදීම තුළින් අපිට ඇති විය හැකි ප්‍රතිවිපාක අවම වනු නිසැකය. සීසර් සැත්කම මෙන් නොව සාමාන්‍ය ප්‍රසූතියේදී මවට/දරුවාට ඇති වන හානිදායක තත්ත්වය වැඩිය, දරාගත නොහැකි තරමේ වේදනාවක් ඇති වේය වැනි සාමාන්‍ය ප්‍රසූතිය පිළිබඳව බොහොමයක් මිත්‍යා මත සාමාජය තුළ පැවතුණද ඒවායේ නිවැරදි බවක් නොමැත. අප සමාජය එල්ඹ ඇති මතය වන්නේ සිසේරියන් සැත්කම හරහා දරුවන් බිහිකිරීම අහිතකර ප්‍රතිඵල ඇති නොවේ යන්න ලෙස වුවද එය තරමක විශාල සැත්කමක් වන අතරම පහසු/ආරක‍ෂාකාරී ක්‍රමයක් ද නොවේ. අහිතකර බලපෑම් වැඩි සැත්කමකි. අත්‍යවශ්‍ය හේතුවක් මත වෛද්‍ය නිර්දේශයට අනුව මිස සිසේරියන් සැත්කම වෛද්‍යවරයාගේ ඉල්ලා සිටීම කාන්තාවක් තමා විසින්ම තමාට සිදුකරගන්නා අයහපතකි.

සාමාන්‍ය ප්‍රසූතියේ ආරම්භය

සාමාන්‍ය ප්‍රසූතිය පළමු, දෙවන සහ තෙවන ලෙස අදියර තුනක් යටතේ සිදුවේ.

පළමු අදියර : 
සාමාන්‍ය ප්‍රසූතියේ පළමු අදියර පියවර දෙකකි. එනම්,
  1. Latent Phase මෙම පියවර පිටතට නොපෙණුන ද අභ්‍යන්තරයේ ක්‍රියාත්මකව පවතී-
  2. Active Phase (ක්‍රියාකාරී පියවර)

සාමාන්‍ය ප්‍රසූතියේ පළමු අදියරේ පළමු පියවර හෙවත් Latent Phase තත්ත්වයේදී සිදුවන්නේ ප්‍රසූත වේදනාව ක්‍රමාණුකූලව ඇති වෙමින් ගැබ්ගෙල 0 සිට 4cm ප්‍රමාණයක් විවෘත වීමයි. මේ සඳහා පළමු ප්‍රසූති අවස්ථාවේදී සාමාන්‍යයෙන් පැය 16 – 18ක පමණ කාලයක්ද දෙවන ප්‍රසූති අවස්ථාවේ සිටින මවකට නම් පැය 8 – 12ක අතර කාලයක් ද ගත විය හැකිය. මෙවැනි ප්‍රමාණයක් ගැබ්ගෙල විවෘත වීමට ඇතැම් මව්වරුන්ට සතියක පමණ කාලයක් වුවද ගත වන අවස්ථා දැක ගත හැකිය. ප්‍රසූතිය ආරම්භක පියවර වන මෙම අවස්ථාවේදී රෝහලට පැමිණීම අත්‍යවශ්‍ය නොවන අතර වේදනාව සඳහා පැරසිටමෝල් ඖෂධය ලබා ගෙන නිවසේ හොඳින් එහා මෙහා ඇවිද, ස්වසන ව්‍යායාම සිදුකිරීම වැදගත් වේ. එසේම මලපහ පිටකිරීම, වතුර බීම මෙන්ම වේදනාව ඇති වන රිද්මය පිළිබඳවත් බිළිඳාගේ චලනයන් පිළිබඳවත් අවධානය යොමුකිරීම ඉතා වැදගත්ය.

තවද යම් හෙයකින් උල්බ කෝෂයට හානි වී උල්බ තරලය පිටවීම/රුධිර වහනය වැනි තත්ත්වයකදී වහාම රෝහල වෙත පැමිණීමට කල්පනාකාරී වන්න.

සාමාන්‍ය ප්‍රසූතියේ පළමු අදියරේ දෙවන පියවර හෙවත් Active Phase, 4cm  – 10cm  තෙක් ගැබ්ගෙල විවෘත වීමේ ක්‍රියාවලිය පවතින කාලයයි. සාමාන්‍යයෙන් ගැබ්ගෙල විවෘත වන්නේ සෑම පැයකටම සෙන්ටිමීටර භාගයක් වශයෙනි. එනම් 4cm  සිට 10cm  දක්වා ගැබ්ගෙල විවෘත වීමට නම් පැය 8 – 12ක කාලයක් පමණ ගතවේ. ඇතැම් විට මීට වඩා වැඩි කාලයක් වුවද ගත විය හැක. මෙසේ රෝහල වෙත පැමිණෙන මව්වරුන් වෛද්‍ය පරීක‍ෂාවට ලක් කරෙන අතරම 4cm වැඩි ප්‍රමාණයක් ගැබ් ගෙල විවෘතව ඇත්නම් සූතිකාගාරය වෙත යොමු කෙරේ. 4cm තෙක් ගැබ්ගෙල විවෘතව නැත්නම් ඒ ප්‍රමාණය දක්වා පැමිණෙන තෙක් මව්වරුන් වාට්ටුවේ රඳවා ගනී. මෙහිදී යෝනි මාර්ගය හරහා ගැබ්ගෙල විවෘත වන ප්‍රමාණය වෛද්‍යවරයෙකු විසින් පැය හතරෙන් හතරට පරීක‍ෂා කරයි.

සූතිකාගාරය තුළදී සාමාන්‍ය ප්‍රසූති අවස්ථාවේ මව්වරුන්ට වඩාත් පහසුව සැලසීමේ අරමුණෙන් මෙන්ම දරු ප්‍රසූතිය ධනාත්මක අත්දැකීමක් බවට පත්කිරීම උදෙසා අද වන විට රෝහල් තුළ සුවිශේෂී පහසුකම් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

  1. අතීතයේදී දරු ප්‍රසූතිය සඳහා වූ රෝහල් පහසුකම් අවම වූ මව්වරුන් විශාල සංඛ්‍යාවක් එක රෝහලක දරුවන් ප්‍රසූත කරයි. නමුත් අද වන විට සෑම රෝහලකම පාහේ පහසුකම් ඇති අතරම මව්වරුන් අපහසුතාවයට පත්වීමක් දැකිය නොහැකි තරම්ය.
  2. මීට පෙර ප්‍රසූතිය සඳහා රෝහල් ගත වූ පසු ආහර/ජලය ලබා නොදුන්නද අද වන විට තැඹිලි/වතුර/දොඩම් යුෂ වැනි දේ (පැහැදිලි ද්‍රාවණ) මව්වරුන්ට ලබා දේ.
  3. ප්‍රසූති අවස්ථාවේදී තම මව/යෙහෙළිය/සහෝදරිය (labor companion) ආසන්නයේ රඳවා ගැනීමට මවට අවස්ථාව ලැබේ. රෝහල් පහසුකම වැඩිදියුණු වෙත්ම ළදරුවාගේ පියාටද ඉදිරියේදී මෙම අවස්ථාව හිමිවේ. මෙවැනි අවස්ථාවක තමාට සමීපතම කාන්තාවක් ආසන්නයේ රඳවා ගැනීම සිතට ධෛර්යයක් ගෙන දෙන්නකි.
  4. මේ අවස්ථාවේදී බිළිඳා, මව පමණක් නොව ප්‍රසූතිය සිදුවන ආකාරය ද හොඳින් නිරීක‍ෂණය කෙරේ.
  5. සාමාන්‍යයෙන් ප්‍රසූතියේදී මවක් සිටින්නේ වැරදි ඉරියව්වක වන අතරම ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය ඇඳන් ලබා දෙමින් මව්වරුන්ට වාඩි වී සිටින ඉරියව්වෙන් දරුවා බිහිකිරීම අවස්ථාව උදා කර දේ.
  6. ප්‍රසූත වේදානාව දැණුන ද අවදානම් මව්වරුන් යටතට ඇතුළත් නොවන මව්වරුන් ඇවිද්ද වීම සිදු කෙරේ. මන්ද එය ප්‍රසූතිය පහසු කරවීමට උදව්වන බැවිනි
  7. පැය තුනකට වරක්වත් මුත්‍රා පිටකිරීමට මවට අවස්ථාව ලබා දේ. එසේ නැතිනම් කැතීටරයක් දමයි.
  8. ප්‍රසූති වේදනාව අවම කිරීම සඳහා අවශ්‍ය වේදනා නාශක ලබා දේ. මේ පිළිබඳ ඉදිරි ලිපියකදී සාකච්ඡා කෙරේ.
සාමාන්‍ය ප්‍රසූතියේ දෙවන අදියර :

මවගේ ගැබ්ගෙල සම්පූර්ණයෙන්ම විවෘත වූ පසුව හිස පහළට ඒම සඳහා පැයක පමණ කාලයක් ගත කිරීමට ඉඩ ලබාදෙන අතරම වෛද්‍යවරුන්ගේ උපදෙස් පිළිපැදීම තුළින් ප්‍රසූතිය පහසු කරවන බව සිහිතබාගන්න. මේ දක්වා ගර්භාෂය මගින් සිය කාර්යයන් සිදු කෙරුණු අතරම මවගේ සහයෝගය මෙතැන් සිට අත්‍යවශ්‍ය වේ. එනම් දරුවා බිහිකිරීම තැටමීමයි. ඒ සඳහා නියමිත වේලාව වෛද්‍ය කාර්යමණ්ඩලය මගින් ඔබව දැනුවත් කරනු ඇත. වෛද්‍ය කාර්යමණ්ඩලයේ උපදෙස් පරිදි වේදනාව ඇති අවස්ථාවේදී හුස්ම රඳවා ගනිමින් තැටමීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා සාමාන්‍යයෙන් පැයක පමණ කාලයක් ගතවේ. ඔබට වේදනාවක් දැණුනද ඉතා ඉවසීමෙන් වෛද්‍ය කාර්යමණ්ඩලයේ උපදෙස්වලට ඇහුම්කන් දෙමින් අවශ්‍ය අවස්ථාවේ ඔබට ලැඛෙන උපදෙස් ක්‍රියාත්මක කොට සහය ලබාදීම තුළින් සංකූලතා අවම ප්‍රසූතියක් වෙත ළඟාවීමට ඔබට හැකියි. එසේ නැතිව මව කලබලයට පත්වුවහොත් ඇතැම් විට යෝනි ප්‍රදේශයේ දරුණු ඉරීම්වලට බඳුන් විය හැකිය.

සාමාන්‍ය ප්‍රසූතියේදී ඇතැම් මව්වරුන්ගේ යෝනි මාර්ගයේ ඇති විය හැකි දරුණු ඉරීම් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී එපිස් කැපුමක් යොදයි. මෙසේ එපිස් කැපුම යෙදීම බොහෝවිට සිදු වන්නේ පළමු ප්‍රසූති අවස්ථාවේදීය. ඒත් 20% – 30% ප්‍රතිශතයකිනි. එනම් සෑම මවකටම මෙය අවශ්‍ය වන්නේ නැත.

ප්‍රසූතියෙන් පසු

බිළිඳා මෙලොවට බිහිවීමත් සමගම පිරිසිදු කිරීමකින් තොරව මවගේ පියයුරු මතට ලබාදීමෙන් සමට සම ගැටෙන (Skin to Skin) පරිදි මවට දරුවා තුරුළු කර ගැනීමට අවස්ථා ලබාදේ. ඒ තුළින් මවත් දරුවාත් අතර බැඳීම වර්ධනය වීම, ළදරුවාගේ අනවශ්‍ය හැඩීම නතර වීම, හොඳින් කිරි එරීම, ළදරුවාට අවැසි උණුසුම ලැබීම පමණක් නොව මනා ප්‍රතිශක්තියක් ලැබීම වැනි වාසි හිමිවේ. මෙම අවස්ථාවේදී සිදුවන තවත් වැදගත් දෙයක් වන්නේ පෙකෙණි වැල කැපීම ප්‍රමාද කිරීමයි (Delayed Cord Clamping). මන්ද මේ අවස්ථාවේ මවගෙන් ගමන් කරන රුධිරය හරහා දරුවාට වසරක් පුරා අවශ්‍ය යකඩ ප්‍රමාණය ගමන් කරයි. එබැවින් අද වන විට පෙකෙණි වැල කැපීම විනාඩියේ සිට විනාඩි තුනකින් ප්‍රමාද කරයි. කෙසේ වුවද මේ සියල්ල සිදුකෙරෙන්නේ මවට හෝ ළදරුවාට කිසිදු ගැටලූකාරී තත්ත්වයක් නොපවතින අවස්ථාවක් නම් පමණි.

සාමාන්‍ය ප්‍රසූතියේ තෙවන අදියර : 

මෙහිදී වැදැමහ පිටතට පැමිණෙන අවස්ථාවයි. සාමාන්‍යයෙන් මේ සඳහා පැය භාගයක කාලයක් ගත විය හැකිය. මේ අවස්ථාවේදී රුධිර වහනය අවහ කිරීම සඳහා මවට එන්නත් ලබාදීම සිදුකෙරේ. එසේම වැදැමහ පිටතට පැමිණීම පැය භාගයක කාලයක් ඇතුළත සිදු නොවුණහොත් ඒ තත්ත්වය පිළිබඳව පරීක‍ෂා කොට වැදැමහ පිටතට ගැනීම සිදු කරයි.

මේ සියලූ කරුණු ඉතා ධනාත්මකව විසඳී යාම තුළින් සාමාන්‍ය ප්‍රසූතිය මවකට සැබවින්ම ඉතා වටිනා අත්දැකීමක් වනු නිසැකය. එසේම සති දෙකක් ඇතුළත Pelvic Floor ව්‍යායාම ආරම්භ කිරීම මගින් ඇතැම් කාන්තාවන්ට ඇති විය හැකි ගර්භාෂය පහත්වීම වැනි තත්ත්වයන් වළක්වා ගත හැකිය.

සාමාන්‍ය දරු ප්‍රසූතිය වාසි රැසක්ද මවට හිමිකර දෙයි.

  • සිසේරියන් සැත්කමෙන් පසුව මෙන් නොව මව ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත් වේ.
  • රෝහල් ගතව සිටිය යුතු කාල සීමාව අඩුවේ.
  • ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය මානසික සවිමත් බව ඇතිවේ.
  • මාතෘ මරණ අවම වේ.
  • සාමාන්‍ය දරු ප්‍රසූතියෙන් දරුවා බිහිවන විට ඒ ගමන්මග හරහා දරුවාට හිමිවන හිතකර බැක්ටීරියා මගින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු වේ.
  • උපත් මාර්ගය දිගේ පහළට ගමන් කිරීම නිසා පෙනහලූවල වතුර ඉවත් වීමට එය උදව්වක් වේ.
  • මව්කිරි දීම පිළිබඳ හොඳ ආරම්භයක් ලබාගත හැකිය.
  • ඊළඟ දරු ප්‍රසූතිය පහසු වේ.
  • රුධිර වහනය අඩුයි.
එපිස් කැපුම යෙදූ මව්වරුන් විශේෂ අවධානය යොමු කළ යුතු කරුණු
  • මෘදු සබන් වර්ගයක් යොදා වතුරෙන් සේදීම
  • පිරිසිදු කපු රෙදි කැබැල්ලකින් පිසදා වියළිව තබාගන්න.
  • පවුඩර්, ආලේපන, විෂබීජ නාශක දියර යෙදීම නොකළ යුතුය
  • සනීපාරක‍ෂක තුවා නිතර මාරු කරමින් පිරිසිදුව සිටීම අවශ්‍යයයි.
සාමාන්‍ය දරු ප්‍රසූතියෙන් පසු වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතු අවස්ථා 
  • අධික ලෙස රුධිරය වහනය වීම
  • යටි බඩෙහි අධික වේදනාව
  • හුස්ම ගැනීමේ අපහසුතා
  • පපුවේ වේදනාව
  • ඇවිදීමට නොහැකි තරම් කෙණ්ඩා වේදනාව
  • රතු සූතිකා රුධිරය දින දෙකකට වඩා වැඩි කාලයක් පිටවීම
  • විශාල කැට ලෙස රුධිරය පිටවීම
  • පිටවන රුධිරය දුගන්දකින් යුක්ත වීම හෝ සැරව සහිත වීම
  • පාචනය
  • මැහුම් ගැලවීම/පැසවීම/උණ/සැරව ගෙඩි ඇතිවීම
  • දිගින් දිගටම නින්ද නොයාම
  • දරුවා ගැන උනන්දුව අඩු වීම
  • දරුවා ගැන බිය දැනීම

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ තිස්හයවන සතිය

36th week
අලූතින් එන අමුත්තා නිසා අම්මට වැඩ ඉවරයක් නෑ

අම්මගේ වැඩේ මේ දවස්වල පැටියාගේ රෙදි පිළි සූදානම් කරගැනීම. චූටියා නාවන්නත් බේසම් එහෙම ගෙනල්ලා. අම්මට මේ දවස්වල හරියට වැඩ. චූටියා ගේන්න අම්මයි තාත්තයි ලහි ලහියේ සූදානම් වෙනවා. කාලය ගෙවිලා යනවා කියලවත් අම්මට අමතකයි. ඒ තරමට චූටියා පිළිගන්න සූදානම් වෙනවා.

ගැබිනි සමයේ තිස්හයවන සතිය   

මේ වෙද්දි බිළිඳාගේ බර වැඩිවීම සිදුවන්නේ දිනකට අවුන්සයකින් පමණ. දැන් ඔබේ කුස තුළ වැඩෙන බිළිඳාගේ බර කිලෝ කිලෝ ග්‍රෑම් 2.7 ක් පමණ වන අතරම හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර් 47.6ක් විතර වෙනවා. දැන් බිළඳාගේ හිසකෙස් වර්ධනය වෙලා. අම්මගේ කුස තුළ සිටින මාස 9 ක කාලය තුළ බිළිඳා සුරක‍ෂිතව තබාගන්න, උල්බ තරලය ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

සති 36 වන විට ගර්භාෂය විස්තාරණය වීමෙන් ඉතා විශාල වේ. නමුත් ඔබට නියමිත දිනට තවත් සති 4 ක් පමණ ඇති වබ ඔබ මතක තබාගත යුතුයි. ඊළඟ මාසයේදී ඔබේ උදරය තවත් විශාල වනු ඇත. සැබවින්ම වෙනත් කිසිදු අවස්ථාවක ශරීරයේ මේ සා විශාල පරිවර්තනයක් ඇතිවන අවස්ථාවක් දක්නට නොලැබේ. රාත්තල් 7 ක ඉඩක් දරුවෙකු සඳහා ලබා දීමට තරම් ගර්භාෂය විශාලවීම පුදුමය දනවන්නක්.

මේ කාලය වන විට ගර්භාෂයේ මෙම වෙනසට අනෙකුත් සියලූම අවයව දිගටම සූදානම් වී සිටී.

කොන්දේ වේදනාව කරදරකාරී ගර්භණී රෝග ලක‍ෂණයක් ලෙස හඳුනාගනෙ ඇත. පිහිනීම තරමක් දුරට ඔබේ කොන්දේ වේදනාවට සහනයක් ලබාදෙනු ඇත.

ගර්භණී සමයේ අවසාන කාලයේදී යෝනි ශ්‍රාවය නිකුත් වේ. මෙය සාමාන්‍ය ත්ත්තවයක් වන අතර බිය විය යුතු නැත. මෙය සමහරවිට රතු, රෝස හෝ දුඹුරු පැහැයෙන් යුතු වේ. මෙම තත්ත්වයත් සමග ඔබේ බිළිඳා පහළට ගමන් කරයි. ඒත් සමගම ඔබට වැඩි වශයෙන් අපහසුතා දැනෙන්නට පටන් ගනී. පෙරට වඩා දරුවාගේ චලනයන් වැඩිවේ. ඒ අනුව යෝනිය දෙසට වන පීඩනය වැඩි වන අතර ඒ මගින් අසහනය ඇති විය හැකිය. දැන් ඔබේ බර රාත්තල් 29 ක් 30 ක් පමණ වේ.

අම්මෙක් වෙන්න යන ඔබේ ප්‍රසූතියට දින ළං වෙලත් ” බබා තවම හැරිලා නැද්ද ? ”

ප්‍රසූතිය පහසු කරවමින් 95% ක්ම ළදරුවන්ගේ හිස සති 36 වන විට ක්‍රමයෙන් පහතට හැරීම සිදුවන අතරම 5%ක් පමණ ප්‍රමාණයකගේ එසේ නොවිය හැකිය. ඔවුන් තට්ටමෙන් පිහිටා සිටී. මෙම තත්ත්වය Breech presentation ලෙස හඳුන්වයි. සංකූලතා තත්ත්වයන් නොමැති මවකගේ සති 36 පෙර මෙවැනි තත්ත්වයක් පැවතිම බිය විය යුතු කරුණක් නොවන අතරම එය ගැටලූකාරී තත්ත්වයක් ලෙස හැඳින්වෙන්නේ සති 36ට පසුවයි.

මව්කුස තුළ වැඩෙන ළදරුවෙකුගේ හිස පහළට හැරීම නිසි ලෙස සිදු නොවීමට හේතු :
  • වැදැමහ පහතින් පිහිටා තිබීම
  • ගර්භාෂයේ ඇති යම් යම් අසාමාන්‍යතා
  • ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි හටගෙන තිබීම
  • කලලයේ යම් යම් අසාමාන්‍යතා (කලල මොළෙයේ වතුර පිරීම හේතුවෙන් හිස ප්‍රමාණයෙන් විශාල වීම)

කෙසේ වුවද මේ තත්ත්වය ඉහත තත්ත්වයන් කිසිවක් නොමැතිව වුවද සිදුවිය හැකිය.

මේ සඳහා කළ යුත්තේ මොනවාද ?

සාමාන්‍යයෙන් ළදරුවා හැරී නොමැති බව කල්තියා දැනගත්තේ නම් ප්‍රසූතියේදී සිදුවිය හැකි සංකූලතාවයන් හේතුවෙන් මවක් සාමාන්‍ය ප්‍රසූතියකට යොමු කිරීම යම්තාක් දුරකට ගැටලූකාරී තත්ත්වයකි. ඒ නිසා බාහිරින් මවගේ කුස මත ලබා දෙන තෙරපුමක් ආධාරයෙන් (ECV  ක්‍රියාවලිය) ළදරුවා හැරවීම සිදුකරයි.

ECV (External cephalic version) ක්‍රියාවලිය යනු,

පළමුවරට ගැබ් ගත් කාන්තාවකගේ නම් සති 36ත් 37ත් අතර මෙය සිදුකරන අතරම දෙවන/තෙවන දරුවන් සඳහා ගැබ් ගෙන ඇති කාන්තාවන්ට සති 37ත් 38ත් අතර කාලය තුළ එය සිදුකරනු ලබයි. මේ සඳහා මව රෝහල් ගත විය යුතු දිනයක් සහ වේලාවක් නියම කෙරෙන අතරම මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට පෙර ස්කෑන්/MRI  පරීක‍ෂාවක් මගින් ළදරුවාගේ අසාමාන්‍යතා ඇත්දැයි පරීක‍ෂා කෙරේ. සියලූ පරීක‍ෂණවල ප්‍රතිඵල සාමාන්‍ය තත්ත්වයේ පවතී නම් සහ මවගේ කැමැත්ත මත ECV ක්‍රියාවලිය සිදුකරයි. එනම් බාහිරින් මවගේ කුස මත ලබා දෙන තෙරපුමක් ආධාරයෙන් ළදරුවා නිවැරදි ඉරියව්ව වෙත ගෙන ඒමයි. ස්කෑන් පරීක‍ෂණයක් මගින් නිරීක‍ෂණය කරමින් මේ කාර්යය සිදුකෙරේ. මෙය නිර්වින්දනය කිරීමකින් තොරව සිදුකෙරෙන අතරම මවට යම් අපහසුතාවයක් ගෙන දෙයි. නමුත් මවට හෝ කලලයට අහිතකර ප්‍රතිඵලයක් ඇති වූ බවට වාර්තා වී ඇත්තේ ඉතා කලතුරකිනි. පළමු ප්‍රසුතියේදී සිසේරියන් සැත්කමින් දරුවන් බිහිකළ මවුවරුන්හට සාමාන්‍යයෙන් මෙය සිදු නොකෙරේ. මේ සඳහා සාමාන්‍යයෙන් ගතවන්නේ විනාඩි 10ක් වැනි කාලයක් වුවද ඇතැම් අවස්ථාවලදී ඊට වැඩි කාලයක් ගතවීමට වුවද ඉඩ ඇත. එසේ සිදුකිරීමෙන් අනතුරුව මවකට සාමාන්‍ය ප්‍රසූතියක් වෙත යොමු වීමට අවස්ථාව ලැබේ. ECV ක්‍රියාවලිය සාර්ථක වුවද අසාර්ථක වුවද පසුව මව්වරුන්ට නැවත රෝහලෙන් පිටව යාමට හැකියාව ලැඛෙන්නේ CTG පරීක‍ෂණයට යොමු වී එහි ප්‍රතිඵල සුදුසු තත්ත්වයේ පවතිනවා වම් පමණි. දරුවා හැරවීමෙන් පසුව ද ප්‍රසූතියට පෙර ද ස්කෑන් පරීක‍ෂණයක් මගින් පිහිටීම නැවත පරීක‍ෂා කරයි. මන්ද ඉතා අඩු ප්‍රතිශතයකින් වුවද පිහිටීම නැතව වෙනස් වන අවස්ථා කලාතුරකින් හෝ තිබිය හැකි බැවිනි.

ප්‍රසූතිය

ECV ක්‍රියාවලිය සාර්ථක මව්වරුන්ට සාමාන්‍ය ප්‍රසුතියකට යා හැකි අතර අසාර්ථක/අකමැති මව්වරුන්ගේ සංකූලතාවයන් නොමැති නම් සීසේරියන් සැත්කම සඳහා යොමු කෙරේ. ඇතැම් අවස්ථාවලදී දරුවා තට්ටමෙන් පිහිටා සිටිය ද සාමාන්‍ය ප්‍රසූතිය සඳහා යොමුවීමට කැමැත්තක් දක්වන මව්වරුන් මෙන්ම වෛද්‍ය උපදෙස් මත ඒ සඳහා යොමු වීමට කැමැත්ත ඵල කරන මව්වරුන්ටත් අවශ්‍ය පූර්ණ සහයෝගය වෛද්‍ය කාර්යමණ්ඩලය හරහා ලබාදේ. මෙවැනි මව්වරුන් ප්‍රසූත වේදනාව දැණුනු වහාම රෝහල්ගත වීම අත්‍යවශ්‍ය වේ.

ළදරුවා සිටින්නේ තට්ටමෙන් බව කල්තියා දැන සිටි/ECV ක්‍රියාවලිය සිදුකරන ලද මව්වරුන් ප්‍රසූතියට පෙර ස්කෑන් පරීක‍ෂණයට යොමු කරන අතරම දරුවා සිටින ආකාරය පිළිබඳව නිරීක‍ෂණය කරන බව ඉහතදීත් අප සඳහන් කළා. ECV ක්‍රියාවලිය අසාර්ථක වූ/එය සිදු කිරීමට අකමැති වූ මව්වරුන් සීසේරියන් සැත්කම වෙත යොමු කිරීමට තීරණය කළ ද සැත්කමට පෙර සිදුකරන ස්කෑන් පරීක‍ෂණයට අනුව දරුවා සාමාන්‍ය ප්‍රසූතියට සුදුසු පරිදි සිටී නම් සාමාන්‍ය ප්‍රසූතියට මව යොමු කරයි.

සාමාන්‍යයෙන් තට්ටමෙන් දරුවා බිහිකිරීම සමහර අවස්ථාවලදී යම් යම් සංකූලතාවලට හේතුවිය හැකිය. ඒ නිසා වෛද්‍යවරුන් මෙවැනි මව්වරුන් සිසේරියන් සැත්කම වෙත යොමු කරයි. නමුත් මෙවැනි අවස්ථාවකදී සුදුසුකම් සහිත පළපුරුදු වෛද්‍යවරයෙක් සිටීම සහ වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ඉවසිලිවන්තව මව විසින් ලබාදෙන සහයෝගය ද තුළින් සාර්ථක සාමාන්‍ය ප්‍රසූතියක් සිදුකළ හැකිය.

දරු ප්‍රසූතියෙන් පසු

සාමාන්‍ය/ සිසේරියන් සැත්කම හරහා දරු උපත සිදුවුවද දරුවා හොඳින් පරීක‍ෂා කිරීම සිදුවේ.

ඊලඟ ප්‍රසූතියේදිත් මෙම තත්ත්වය ඇති විය හැකි අතරම එහිදී මේ තොරතුරු වෛද්‍යවරයා වෙත දැනුම් දෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ තිස්පස්වන සතිය

35th week
අම්මාගෙයි චූටියාගෙය් බඩු මුට්ටු ලෑස්තිද ?

ඔන්න, දැන් චූටියා එන්න දින ළං වෙනවා. අම්මා මේ වෙද්දි චූටි චූටි ඇඳුම් පොඩි ලෑස්ති කරගෙන ඉවරත් ඇති. අම්මා දන්නවා නේද? ඒ පුංචි ඇඳුම් පොඩි හොඳින් සෝදලා, මැදලා චූටියාගේ බෑග් එකට පැක් කරගන්න ඕනේ බව. චූටියාගේ අත්තම්ලා, පුංචි අම්මලා මේ දේවල් කරගන්න අම්මට ගොඩක් උදව් වේවි.

ගැබිනි සමයේ තිස්පස්වන සතිය 

ඔබේ බිළිඳා දැන් සෙන්ටිමීටර් 46.2ක් විතර උසයි. බර කිලෝ 2 ග්‍රෑම් 383 විතර වෙනවා. මවගේ කුසට බිළිඳා එල්ලකරන පහරවල් හොඳින් දැනෙනවා. බිළිඳාගේ වකුගඩු සම්පූර්ණයෙම් හැදිලා. ඒ වගේම  අක්මාවට මේ වෙද්දි අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාව තිඛෙනවා. බිළිඳාගේ බොහොමයක්ම අවයව මේ වන විට සැකසී අවසන්.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

ගර්භණී සමයේ සති 35 එළඹෙනවාත් සමගම එක් අවධියක අවසානයක් ලෙස බොහෝ විට සටහන් කරන්න පුළුවන්. තවත් සති 5 ක් පමණයි ඔබට නියමිත දිනට ළඟා වීමට ඇත්තේ. නමුත් හොඳින් මතක තබාගත යුතු කරුණක් නම් තමන්ගේ නියමිත දිනට මෙලොව එළිය දකින දරුවන් සිටිනුයේ 5% ක් පමණක් බවයි. ඇතැම්විට බලාපොරොත්තු වූවාටත් වඩා කලින් සිදු විය හැකිය.  ඇතැම්විට වඩාත් ප්‍රමාද විය හැකිය. ඒ නිසාම ඔබ ගර්භණී අවස්ථාවේ ඉන්නා විට ඕනෑම වේලාවක දරු ප්‍රසූතිය සඳහා සූදානම් වී සිටීම අවශ්‍ය වේ.

ඔබ දැන් රෝහලට ගෙන යන ඇඳුම් බෑගය සූදානම් කර ඕනෑම අවස්ථාවක රෝහලට යන්න සූදානම්ද? ඔබේ බිළිඳාගේ සියලූම මූලික අවශ්‍යතා සකස් කර ගෙන අවසන්ද? තවමත් සූදානම් කරගෙන නැතිනම් එය කිරීමට ඇති අවසාන කාලය මෙයයි.

කැදැල්ලට ඔබගේ පැටියා ගෙන එන්නට සියල්ල සූදානම් වී තිබිය යුතුයි

කිරි කැටියාගේ පැමිණීමට සෑම අතින්ම සූදානම් වීමේදී, තම කිරි කැටියාට මව්කිරි ලබාදීම පිළිබඳව ද සිතන්නට මේ හොඳම කාලයයි. වර්තමානය වන විට පිටිකිරි ලබාදීම ඉතාමත් බහුලව දක්නට ඇතත් වෛද්‍ය නිර්දේශය වන්නේ ඔබේ අලූත උපන් ළඳරුවාට මාස 6 ක් ගත වන තුරු මව්කිරි පමණක්ම ලබාදීම වඩා සුදුසු වන බවයි. එය ඔබේ කිරි කැටියාට ලබාදිය හැකි හොඳම ආහාරයයි. සියලූම පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සමන්විත දරුවා රෝගවලින් ආරක‍ෂා කළ හැකි අනර්ඝම ආහාරය මව්කිරිය. එමෙන්ම, මව්කිරි දීම මගින් මවටද දරුවාටද වාසි රැසක් සැලසේ.

35 වන සතිය වන විට මවගේ බර රාත්තල් 28 ක් 29 ක් පමණ වේ. ක්‍රමයෙන් ශරීරයේ බර වැඩි වීමත් සමග ශාරීරිකව දැනෙන අපහසුතාද වැඩි වේ.

අම්මෙක් වෙන්න යන ඔබ ” රෝහලට යද්දී ගෙන යා යුතු දේ ”

කිරි කැටියාට මෙන්ම ඔබට අවශ්‍ය දේ ද කල්වේලා ඇතිව සූදානම් කරගත යුතුය. මෙසේ අවශ්‍ය බඩු බාහිරාදිය සූදානම් කර ගැනීමේදී තමන්ගේ ආර්ථීකයට සරිලන පරිදි අවශ්‍යතාව පරිදි ඒවා සකස් කරගැනීමට මතක තබාගත යුතුය.

මවට අවශ්‍ය දේවල් :
  • ඛෙඩ් ජැකට්          –              04
  • චීත්ත                  –              04
  • දත් බුරුසුවක්, දත් ඛෙහෙත්, සබන් කැටයක්
  • පිඟානක්, කෝප්පයක්, හැන්දක්
  • ඉනට රෙදි පටි කිහිපයක් (සනීපාරක‍ෂක තුවා ඉනෙහි රඳවා ගැනීමට)
  • මධ්‍යම ප්‍රමාණයේ ෂොපින් බෑග් 2 (කිලිටි රෙදි සඳහා)
  • රබර් සෙරෙප්පු ජෝඩුවක්
  • කොණ්ඩය බැඳීමට පටියක්
  • කුඩා උණු වතුර බෝතලයක්
  • වතුර බෝතලයක්
  • සීනි/තේ කොළ/කිරිපිටි දැමු කුඩා බඳුන්
  • මවගේ උප්පැන්න සහතිකය
  • මවගේ ජාතික හැඳුනුම්පත
දරුවාට අවශ්‍ය දේවල් :
  • බේබි ෂීට්                                –              08
  • නැප්කින්                                –              12
  • දරුවා එතීමට රෙදි                     –              03
  • 36 X 36 ප්‍රමාණයේ කපු රෙදි      –              03
  • රබර් ෂීට්                                –              01
  • ළදරු තුවා                              –              01
  • ළදරු පනාවක්
  • ළදරු තොප්පි                           –              01
  • ළදරු මේස් ජෝඩු                       –              01

පෙර සඳහන් කළ මෙම බඩු ලැයිස්තුව අනුව සූතිකාගාරය තුළට ගෙන යා යුතු දේවල් වෙනම බෑගයකට දමා එහි මවගේ නම ලියා වෙනමම සූදානම් කරගත යුතුය.

සූතිකාගාරය තුළට ගෙන යා යුතු ද්‍රව්‍ය :
  • ඛෙඩ් ජැකට්          –             02
  • චීත්ත                  –             02
  • දරුවාට ඇඳුම්         –             02
  • නැප්කින්             –             02
  • ඉනට පටි             –             02
  • උණුසුම ආරක‍ෂා වන පරිදි දරුවා ඔතා තැබීමට රෙද්දක්
  • ළදරු තොප්පිය
  • ළදරු මේස්
  • ෂොපින් බෑග්         –             02
  • සනීපාරක‍ෂක තුවා ජැකට් –       01
අවශ්‍ය ද්‍රව්‍ය පිළියෙල කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු :

මව විසින් පිළියෙල කරගත් හෝ සාප්පුවෙන් මිලදී ගත් ඇඳුම් රෝහලට ගෙන යාමට පෙර හොඳින් සෝදා තද අව්වේ වේලා හොඳින් මැද ගැනීම කළ යුතුය. එමෙන්ම සුුදුසු පරිදි ඇදුම් වර්ග කර වෙන වෙනම අසුරා ගැනීම සුදුසු වේ

උදාහරණ ලෙස : රෝහලට ගෙන යන ඇදුම්, සූතිකාගාරයට ගෙන යන ඇදූම් ආදී ලෙස වේ.

ඒ මගින් ඔබ නැතත් ඕනෑම කෙනෙකුට අවශ්‍ය දේ ඔබ වෙත ගෙනවිත් දීමට හැකිවනු ඇත. සෑම කාන්තාවක්ම තම නිවස වෙන කවරදාටත් වඩා පිරිසිදු කර මනාව සංවිධානාත්මකව සකස් කිරීම සිදු කරනවා. මුළු නිවසම නැවත සකස් කිරීමක් සිදු වෙනවා කිව්වොත් නිවැරදියි. හරියට අලූත් ව්‍යාපෘතියක් දියත් කරනවා වගේ.

සති 35 දී, ඔබ ඉන්නේ ඔබේ බිළිඳා ලැඛෙන්න නියමිත දිනට හරියටම මාසයකට ඈතින්. ඔබේ සහකරු දැනුවත් කිරීම අවශ්‍ය වෙනවා ඔබේ දරු ප්‍රසූතිය සිදුවන රෝහල පිළිබඳව. එමෙන්ම ඔබට ලබා දී ඇති දිනයේදී දරුවා ලැබීමට පැය 24 කට පෙර රෝහලට පිටත්ව යාමට මතක තබාගත යුතු වෙනවා.

රෝහලට යාම පිළිබඳ පෙර සූදානමක් ලෙස ඔබ දෙපලට රෝහලට යාමට හොඳම කාලය මෙයයි. ඒ තුළින් ප්‍රසූතිකාගාරය ඇත්තේ කොහිද? වාට්ටු ඇත්තේ කොහිද? පළමුව යා යුත්තේ කොතැනටද යන ආදී දේ පිළිබඳ පෙර සූදානම් වීමක් ඇති කර ගැනීමය හැකියාවක් ලැඛෙනවා.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ තිස්හතරවන සතිය

34th week
පුංචි පුංචි ඉඟි බිඟි පාලා, චූටියා ඉක්මණින්ම අම්මා ළඟට එන බව කියනවා නේද ?

දැන් දැන් චූටියා ඉන්නේ අම්මා වගේම බොහොම නොඉවසිල්ලෙන්. එයා අම්මා ළඟට එන්න ළඟ බව කියන්න පුංචි පුංචි සංඥා අම්මට දනවනවා ඇති. අම්මා කොහොමත් ඕනෙම වෙලාවක චූටියා පිළිගන්න සූදානමින් නේද ඉන්නේ. අම්මාගේ සායනයෙන් ලබාදුන්න කාඩ් පතේ පිටපතක් හැමවෙලේම අත්බෑගයේ රඳවාගන්න. මොකද කාර්යාලයේදී එහෙමත් නැත්නම් වෙනත් තැනකදී ප්‍රසූත වේදනාව දැණුණොත් හෝ වෙනයම් හේතුවක් නිසා රෝහල්ගත වෙන්න වුණොත් අම්මට ඉක්මණින්ම රෝහලකට යන්න ඒක ලොකු පහසුවක් වේවි. චූටියගේ බෑග් එක තාත්තට හරි අත්තම්මට හරි ගේන්න පුළුවන්නේ. නේද?

ගැබිනි සමයේ තිස්හතරවන සතිය

ඔන්න දැන් ඔබේ බිළිඳා කිලෝ ග්‍රෑම් දෙකයි ග්‍රෑම් එකසිය හතලිස් හතක් විතර බරයි. ඒ වගේම බිළිඳාගේ හිසේ සිට පාදාන්ත දක්වා උස සෙන්ටිමීටර් 46ක් විතර. බිළිඳාගේ හම මල් පෙත්තක් වගේ සිනිඳුයි. මේ කාලය වන විට බිළිඳාගේ ස්නායු පද්ධතිය සහ පෙනහලූවල ක්‍රියාකාරීත්වය හොඳි න් සිදුවෙනවා. නියමිත දිනට පෙර ප්‍රසූතියක් සිදු වුවහොත් ඔබ සතුටු වේවී. සති 34 ත් 33 අතර කිසිදු සෞඛ්‍ය ගැටලූවකින් තොර බිළිඳුන් බිහි වීමට ඉඩ තිඛෙනවා. සුළු වශයෙන් හෝ ගැටලූ සහගත තත්ත්වයක් ඇති වුවහොත් රෝහලේ තව දින කිහිපයක් ප්‍රතිකාර සඳහා නතර වීමට ඔබට සිදුවිය හැකියි.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

බබාට වයස සති 34 ක් කියන්නේ ඔබ තවත් ඒ පැටියාව දකින්න ලං වෙලා. එය කෙසේවත් තවදුරටත් දීර්ඝ කාලයක් නෙවෙයි. අඩුම වශයෙන් කිරි කැටියා ඉපදුණොත් එය තව සති 3 ක් එහෙම නැතිව නියමිත දිනට නොලැබී පසුවුනොත් හරියටම සති 6 ක්. හැබැයි ඔබ කුස තුළ ඉන්නේ නිවුන් දරුවන් හෝ දරුවන් ඊට වැඩි ප්‍රමාණයක් නම් ඔබ මේ වන විට අනිවාර්යයෙන්ම සූදානම් වී සිටිය යුතුයි. නිවුන් දරුවන් බිහිවීමේදී 50% ක ප්‍රතිශතයක් තියෙන්නේ සති 37 පෙර දරුවන් බිහිවීමටයි. අවසන් සති කිහිපයට ඔබ ලඟා වනවාත් සමගම ඔබගේ කිරි කැටියා බිහිවීම පිළිබඳව ඔබට බොහෝ දේ සොයා ගනු ඇත. සමහරවිට දරු ප්‍රසූතියේදී ඇතිවන වේදනාව පවා ඔබ සිතනු ඇත. සමහරවිට කිරිකැටියා මෙලොව එළිය දැකීමට තව දින ගණන් පැය ගණන් ගතවීම පිළිබඳව ඔබ දුක්වෙනවා ඇත.

ඔබගේ ගර්භනී කාලයේ ත්‍රෛමාසිකයේ අවසන් කාලය තුළ දරු ප්‍රසූතිය සිදුවන ආකාරය, ප්‍රසූතියේදී ඇතිවන වේදනාව අඩු කරගැනීමට කළ යුතු දේ රෝහලේදී කුමන ආකාරයෙන් හැසිරිය යුතුද ආදී දේ පිළිබඳව මෙම කාලයේදී ඔබ විසින්ම ඉගෙන ගැනීමට උත්සහ කරයි. සැබවින්ම මේ පිළිබඳව දැනුවත් වීම ඔබගේ අනවශ්‍ය බිය පහකර ගැනීමට හේතු වේ.

එමෙන්ම, ඔබ මානසික ආතතිය අවම කර ගනිමින් සම්පූර්ණයෙන්ම සැහැල්ලූ වීම ඔබට හොඳ අත්දැකීමක් වේවී.

සායනවලදී ඔබට කියා දෙන ලද පුහුණු කරන ලද හුස්ම ගැනීමේ ක්‍රම, සැහැල්ලූ වීමේ ක්‍රම පුහුණු කිරීම ඔබගේ දරු ප්‍රසූතිය පහසු කරයි.

පෙරට වඩා දැන් කිරි කැටියා දඟලයි. කුස තුළ එහාට මෙහාට චලනය වෙයි. මේ චලනය තුළින් ගර්භාෂයේ ඇතිවන සංකෝචනය සමහරවිට ඔබ නොසන්සුන් කරවීමට පුළුවන්. කිරිකැටියා ගර්භාෂය තුළ දිවීමට පටන් ගෙන ඇත. චූටියා ඒ තුළ එහාට මෙහාට දුවයි. චූටියාගේ අතපය චලනයත් සමඟ නෙරා ඒමක් ඔබට දැනේවි. ඔබගේ ස්පර්ශය ඔහුට දැනේවි. ඔබේ ඉල ඇට පෙදෙසට චූටියා තල්ලූ වී දෙන පහරවල් සමහරවිට ඔබට ඉතා වේදනාකාරී වේවී.

මේ වන විට කුස තුළ සිටින චූටියා කරන හරඹයන් අකුණු ගැසීමක් වගෙයි. මෙය ප්‍රසූතියට සති කිහිපයක සිට ආරම්භ වේ. සමහර අවස්ථාවලදී මෙය ප්‍රසූතියට පැය කිහිපයකට පෙර ආරම්භ වන අවස්ථාද දක්නට ලැබේ. මෙම තත්ත්වය එක් අතකට ගර්භණී බවත් සමග ඇතිවන නොයෙකුත් ලක‍ෂණ හමුවේ තවත් අවස්ථාවක් ලෙස ඇතිවන පීඩනය අධීක වීම මත නිරන්තරයෙන් මුත්‍රා පහ කිරීමට යාමට අවශ්‍ය විය හැකියි. යෝනිය පෙදෙස් ඇතිවන අධික පීඩන තත්ත්වය මත ගමන් කිරීමේ අපහසුතා ඇති වීමටද පුළුවන.

ඔබ දැන් නියමිත දිනට සමීප වෙමින් සිටී. කෙටි අනතුරු ඇඟවීම් හෝ සංඥාවන් පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතුයි. ඔබේ ගර්භාෂය මත ඇතිවන අධික බර, හොමෝනවල වෙනස්වීම, මාංශ පේෂීවල වෙනස්වීම් ඔබට අමතර ආතතියක් ඇති කරවන්නක් විය හැකියි.

ගර්භණී සමයේදී කාන්තාවන් හතර දෙනෙකු ගතහොත් එයින් කීප දෙනෙක්ම පිටකොන්දේ වේදනාව නිසා පීඩා විදී. මෙම පීඩාවන් අවම කර ගැනීමටත් නිවැරදි ඉරියව්වලින් සිටීමට දැනුවත් විය යුතුයි.

තෙහෙට්ටුව ගර්භණී සමයේ ඇතිවන තවත් රෝග ලක‍ෂණයක්. තෙහෙට්ටුව නිසා ඔබගේ ශරීරයේ සියලූ අමතර ශක්තිය වැයවනු ඇත.

දැන් දැන් පෙර තිබූ ගර්භණී රෝග ලක‍ෂණ පහව ගියද නව ආකාරයක රෝග ලක‍ෂණ මතු වීමට ඉඩ ඇත. උකුල් පෙදෙසේ ඇතිවන තෙරපීම සාමාන්‍යයෙන් දරුවා හැරීමෙන් පසු ඇති වීම ස්වභාවිකය. ඇවිදීම ඉතා අපහසු විය හැක. නමුත් දුකක් නොදැනේ. කිරි කැටියා එළියට ඒමට ආසන්නයෙන් සිටී.

මේ වන විට ඔබේ බර බර රාත්තල් 27 සහ 28 අතර විය හැකියි. නිවුන් දරුවන් පිළිසිඳ ඇති මවකගේ නම් බර රාත්තල් 30 කට වඩා වැඩි විය හැකිය.

අම්මෙක් වෙන්න යන ඔබ අවබෝධයෙන් බැලිය යුතු තත්ත්වයකි, ” මළ දරු උපත් ”

දරුවෙකු පිළිබඳව සිහින දකින සෑම මවකගේ මෙන්ම පියෙකුගේද එකම පැතුම වන්නේ නිදුක් නිරෝගී දරු සම්පතකි. නමුත් ගැබිනි සමයේ ඇතැම් අවස්ථාවන්වලදී නොසිතූ විරූ තත්ත්වයන්ට මුහුණ දීමට ඇයට සිදු විය හැකියි. මළ දරු උපත් යනු එවැනි තත්ත්වයකි. ජීවිතය දුක සතුට අතර දෝලනය වෙමින් ගෙවී යයි. සෑම දෙයකම අනිත්‍යභාවය අසා දැන සිටියත් මෙවැනි තත්ත්වයදී එය අවබෝධ කරගැනීමේ හැකියාව අවමය. මව් කුස තුළ වැඩෙමින් සිටි බිළිඳා අහිමි වුවහොත් එය මවට, පියාට පමණක් නොව පවුලේ අනෙක් පිරිස් වෙතද දරාගත නොහැකි දුක්බර ආරංචියකි. එසේ වුවද කාන්තාවන් යනු ධෛර්ය සම්පන්න, සවිමත් පිරිසකි. සොබාදහම විසින් මව්පදවිය කාන්තාවට උරුම කර දී ඇත්තේද ඒ නිසාම විය යුතුය. එබැවින් වැදගත් වන්නේ මෙවැනි තත්ත්වයකදී වුවද නොවැටී සිත දිරිමත් කරගනිමින් ඉන් එහාට ඔබ ක්‍රියාත්මක විය යුතු ආකාරය සැලසුම් කරගැනීමයි. මෙය දරාගත නොහැකි වූ වේදනාවක් වුවද අවශ්‍ය දේ අවශ්‍ය වේලාවේ සිදුකිරීම ඉතා වැදගත් වේ.

මල දරු උපතක් යනු කුස තුළ බිළිඳා මිය ගොස්බි, හිවීමේ තත්ත්වයයි. එනම්, සති 28 පසු හෝ ග්‍රෑම් 500ට අඩු දරුවෙකු කුස තුළ මිය යාමයි.  මෙම තත්ත්වය දුලබ තත්ත්වයක් නොවේ. සාමාන්‍යයෙන් මසකට මළ දරු උපත් 3/4ක් වාර්තා වන අතරම එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 1%ක් පමණ ප්‍රතිශතයකි. එනම් මව් පදවියට සැරසෙන කාන්තාවන් 100 අතරින් එක් අයෙකුට මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දීමට සිදුවේ.

බිළිඳාගේ චලනයන් නොදැනී යෑම, කුසේ වර්ධනය අඩුවීම තුළින් බිළිඳා කුස තුළ මිය ගොස් ඇතැයි  සැක කළ හැක. එවැනි අවස්ථාවකදී ඒ පිළිබඳ ස්ථීර නිගමනයකට එළැඹීම සඳහා පළපුරුදු වෛද්‍යවරයෙකු යටතේ ස්කෑන් පරීක‍ෂණයක් වෙත මව යොමු කෙරේ.

කුස තුළ බිළිඳ මියගොස් ඇති බව දැනගත් වහාම

මළ දරු උපතක් පිළිබඳව දැනගත් පසුව ප්‍රථමයෙන්ම වෛද්‍යවරුන් සිදුකරන්නේ මේ පිළිබඳාව මවට, පියාට/ඥාතීන්ට දැනුම් දීමයි. මෙවැනි අවස්ථාවකදී මව/පියා/ඥාතීන් ඉතා ඉවසිලිවන්තව ක්‍රියාකිරීමට වග බලා ගත යුතු වේ. මන්ද ඔබ එවැනි අවස්ථාවක කළබලකාරී ලෙස හැසිරුණහොත් මවගේ ජීවිතයට යම් අවධානම් තත්ත්වයක් වේ නම් ඒ සඳාහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට වෛද්‍ය කාර්යය මණ්ඩලයට අපහසු වී යයි.

මෙහිදී බිළඳාගේ මිය යාම මවගේ රෝග තත්ත්වයක් මත සිදුවූවාද එසේත් නොමැති නම් එසේ මියයාම මවගේ ජීවිතයට අවදානමක් ද යන්න පිළිබඳා ප්‍රථමයෙන් වෛද්‍යවරුන්ගේ අවධානය යොමු වේ. බහුතරයක් මල දරුවන් හේතුවෙන් මවට හානියක් නොවේ. එනම් උල්බ කෝෂයට හානි වී නැති අවස්ථාවකදී ඉක්මණින් බලපෑමක් නොවන අතරම මව රුධිර පරීක‍ෂණ වෙත යොමුකරයි. ඒ වාර්තාවල කිසිදු දෝෂයක් නොමැති නම් මවට නිවසට ගොස් නැවත රෝහලට පැමිණීමට හෝ බියක් දැනේ නම් රෝහලේම රැඳී සිටීමට හෝ අවස්ථාව ලබා දේ. උල්බ කෝෂයට හානි සිදුවී ඇති අවස්ථාවකදී නම් මවට විෂබීජ ඇතුළු වීමේ අවදානමක් පවතින බැවින් වෛද්‍යවරුන් ක්‍රියාත්මක වන ආකාරය වෙනස් වේ.

මෙවැනි තත්ත්වයකදී මව්වරුන් බියට පත්වන්නේ සාමාන්‍යයෙන් පිටත ලෝකයේ අයෙකු මිය ගිය විට ඇති වන තත්ත්වය පිළිබඳව සිතාය. නමුත් උල්බ කෝෂය තුළ සිටින බිළිෙඳෙකු මිය ගිය විට පටක අවශෝෂණය වීම ඇරඹෙන අතරම සිරුර නරක් වීමක් සිදු නොවේ.

ප්‍රසූතිය

මව/පියා/ඥාතීන් මෙන්ම වෛද්‍ය කාර්ය මණ්ඩලය ද වඩා කැමැත්ත දක්වන්නේ හැකි ඉක්මණින් මිය ගිය කලලය ඉවතට ගැනීමටයි. නමුත් මෙහිදී ඉතා කල්පනාකාරී වීම වැදගත් වේ. මෙවැනි මවක් සාමාන්‍ය ප්‍රසූතියට යොමු වීම වැදගත් වේ. මන්ද එමගින් සිසේරියන් සැත්කමකට යොමු වීම නිසා ඉදිරියේදී මුහුණ දීමට සිදුවන නොයෙක් සංකූලතා මගහරවාගැනීමට අවස්ථාව සැලසෙන බැවිනි. සිසේරියන් සැත්කම වෙත යොමු කෙරෙන්නේ මවට යම් හානිදායක තත්ත්වයක් හෝ දැඩි මානසික ආතතියට පත්ව සිටින අවස්ථාවන්හිදී ඉතාම කලාතුරකිනි. එසේ නොවන්නට මවක් සිසේරියන් සැත්කම වෙත යොමුවීම නිෂ්ඵල කාර්යයකි.

කෙසේ වුවද අවම කාලයක් ඇතුළත දරුවා බිහිකිරීමට වෛද්‍යවරු උනන්දු වන්නේ මවගේ මානසිකත්වය මෙන්ම කල්ගත වීමත් සමගම කලලය දියවී අවශොෂ්ණය වීමෙන් මරණ පරීක‍ෂණයක් වෙත යොමු කොට මේ තත්ත්වයට හේතු වූ කරුණු පිළිබඳ දැනුවත් වීම අපහසු වන නිසාත් මිය ගිය කලලය හේතුවෙන් මවට හානිදායක තත්ත්වයක් ඇති වේය යන බියත් නිසාය.කුස තුළ මිය ගිය බිළිඳා සති දෙකක කාලයක් පසුවන තෙක් සිටියහොත් මේ තත්ත්වය ඇති විය හැකිය. මෙවැනි අවස්ථාවකදී මව සාමාන්‍ය ප්‍රසූතියකට යොමුකරන අතරම ප්‍රසූත වේදනාව ඇති කරවීම සඳහා ඖෂධ ලබා දීම සිදු වේ. දරුවා බිහිවන තෙක් මවට රෝහල්ගතව සිටීමට සිදුවේ.

මෙම තත්ත්වයේ සිටින මවකට මානසික ආතතිය වැඩි නිසා වේදනාව අධිකව දැනෙන්නට ඉඩ ඇති අතරම ප්‍රසූතියේදී උපරිම මට්ටමේ වේදනා නාශක ලබාදෙමින් මවට දැනෙන වේදනාව අවම කිරීමට කටයුතු කෙරේ. නිරෝගී දරු උපතකදී නම් ප්‍රබල වේදනා නාශක ලබා නොදෙන්නේ එමගින් බිළිඳාට යම් බලපැමක් වේය යන සැකය මත වුවත් මළ දරුවෙකුගේ ප්‍රසූතියේදී උත්සාහ ගන්නේ මවට දැනෙන වේදනාව හැකි තරම් අවම කරමින් දරුවා බිහිකිරීමයි. එය මෙවැනි මව්වරුන්ගේ අයිතිවාසිකමක් යැයි පැවසීම නිවැරදි වේ. එසේම මෙවැනි මවකගේ ප්‍රසූතියේදී මානසික සුවතාවය වෙනුවෙන් ඇයව බොහෝවිට රඳවා තබන්නේ සාමාන්‍ය මව්වරුන් සහ ළදරුවන්ගෙන් වෙන්කරමිනි.

දරු ප්‍රසූතියෙන් පසුව

බිළිඳා පිටතට ගත් වහාම මේ තත්ත්වයට හේතු වූවා යැයි සැලකිය හැකි සාධක බාහිරව දැකගත හැකි දැයි නිරීක‍ෂණය කෙරෙන අතරම මවගේ කැමත්ත මත බිළිඳු සිරුර මරණ පරීක‍ෂණය වෙත යොමු කෙරේ. එසේම වැදැමහ ද පරීක‍ෂණ සඳහා යොමු කෙරේ. එසේම මවට ඇති වේදනා සඳහා වේදනා නාශක ඇතුළු අවශ්‍ය ඖෂධ වර්ග ලබාදෙන අතර කිරි එරීම නතර කිරීමටත් ඖෂධ ලබාදේ.

මේ තත්ත්වය යටතේ මව/පියාගේ මානසිකත්වය පිළිබඳ සොයා බැලෙන අතරම උපදේශන වැඩසටහන් වෙතද යොමු කෙරෙනවා. ඇතැම් අවස්ථාවලදී ඇතැම් මව්වරුන් මානසික වෛද්‍යවරු වෙත යොමු කිරීමටද සිදු විය හැකිය. මනෝ වෛද්‍යවරයෙකු වෙත යාම ලජ්ජාවට කරුණක්ද නොවේ. බහුතරයකට මානසික වෛද්‍යවරයෙක් වෙත යා යුතු නොවන අතර ඉතා ඉක්මණින් තත්ත්වය නිරවුල් වේ. නමුත් ඇතැම් කාන්තාවන්ට උපදේශන සේවාවක් අත්‍යවශ්‍ය වේ.

(මේ තත්ත්වයේදී සැවොම වටහා ගත යුතු කරුණක් වන්නේ, මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු වී උපදෙස් ලබාගැනීම යනු ඒ අදාල පුද්ගලයා මානසික රෝගියෙකු වීම නොවේ. අප එසේ යොමු විය යුත්තේ අප පත්ව සිටින තත්ත්වයට නිවැරදිම පිළියම ලබාදීමට සුදුසුකම් ඇත්තේ ඔවුන්ට වීමයි. අප අනෙක් රෝගාබාධ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නවා සේම එහිදී සිදුවන්නේද තමා මානසිකව යම් නොසන්සුන් තත්ත්වයකට ඇද වැටුණහොත් ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත්වීමයි.)

මළ දරු උපත් ඇති වීමට හේතු

මළ දරු උපතක් දැනගත් පසුව මව/පියා/ඥාතීන් යන සියල්ලෝම කලබලයට පත්ව  ”ඇයි මෙහෙම වුණේ” යන ගැටලූව වෛද්‍යවරුන් වෙත යොමු කරයි. මෙසේ මල දරු උපත් ඇති වීමට කලලයේ අසාමාන්‍යතා, මවගේ යම් යම් සංකූලතා සහ ජානමය ගැටලූ, වැදැමහේ ඇති ගැටලූ, මවට ඇති වූ අසාදන තත්ත්ව (ඩෙංගු උණ/ උණ), මවගේ රුධිරයේ ඇති ගැටලූ, ගර්භාෂයේ යම් යම් ගැටලූ, ජාන එක්වීම නිසා අහඹු ලෙස ඇති විය හැකි ගැටලූ යන තත්ත්වයන් දැක්වුවද 70%කට පමණ නිෂ්චිත හේතුවක් ඉදිරිපත් කළ නොහැක. එසේ නිෂ්චිත හේතුවක් දැක්විය නොහැකි මව්වරුන්ට මළ දරු උපත් ඇති වීමට හේතු ලෙස වෛද්‍යවරුන් පවසන්නේ වැදැමහ හරහා කලලය වෙත රුධිරය ගමන් කිරීමේ යම් ගැටලූකාරී තත්ත්වයක් නිසා එසේ සිදු වේය යන්න වුවත් ඒ හේතුවද මෙතෙක් 100% සනාථ වූ කරුණක් නොවේ.

මළ දරු උපතකින් පසු මවගේ රුධිර සාම්පල පරීක‍ෂාව, වැදැමහ පරීක‍ෂණ සඳහා යොමු කිරීම, බිළිඳු සිරුර මරණ පරීක‍ෂණයට යොමු කිරීම මගින් මේ තත්ත්වයට හේතුව සොයා බැලීම සිදු කෙරේ. එසේම මෙවැනි මව්වරුන් ප්‍රසූතියෙන් සති 6ත් 12ත් අතර කාලය තුළ නැවත රුධිර පරීක‍ෂාවට යොමුවිය යුතු අතරම මවගේ තත්ත්වය පිළිබඳව ද පරීක‍ෂා කෙරේ. එසේම මේ වන විට බිළිඳාගේ මරණ පරීක‍ෂණ වාර්තාව, වැදැමහ පරීක‍ෂණ වාර්තාව ලැඛෙන බැවින් මේ තත්ත්වය ඇති වීමට ආසන්නතම තත්ත්වය පිළිබඳව යම් අවබෝධයක් ලබාගනිමින් 30% පමණ ප්‍රතිශතයකට මේ සඳහා බලපෑ හේතුව සොයා ගත හැක.

මරණ පරීක‍ෂණය

මෙසේ මිය ගිය බිළිඳෙකුගේ මරණ පරීක‍ෂණය සිදුවන්නේ ඒ සඳහා විශේෂිත පුහුණුව ලත් පිරිස් අතිනි. එහිදි බිළිඳෙකුට ලබාදිය යුතු ගෞරවය රැකගනිමින් සිදු කෙරෙන මෙම පරීක‍ෂණයේ මූලික පියවර වන්නේ බිළිඳා බිහි වූ වහාම බාහිර තත්ත්වය පරීක‍ෂා කිරීම වන අතරම ඉන් අනතුරුව සැත්කමක් මාර්ගයෙන් සිරුර තුළ යම් යම් වෙනස්කම් පවතීද යන්න සොයා බැලේ. ඒසේම සමහර අහ්‍යන්තර ඉන්ද්‍රියයන්ගෙන් පටක පරීක‍ෂණ සඳහා යොමු කෙරේ. සැත්කමින් පසුව බිළිඳු සිරුර පෙර පරිදිම නැවත සකස් කිරීම සිදු කෙරේ. ඇඳුම් ඇන්දවීමෙන් පසුව සැත්කමක කිසිදු ලකුණක් දැක ගත නොහැකි වන සේ සිරුර සකස් කිරීම සිදුවේ.

මෙම පරීක‍ෂණය සඳහා මව්වරුන් වැඩි කමැත්තක් නොදක්වන අතර 30%කටම මෙසේ පරීක‍ෂා කර නිවැරදිම හේතු සොයාගැනීම ඉතා වැදගත් වේ. මන්ද එමගින් ඊලඟ ගැබ් ගැනීමේදී මෙම අවදානම් තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය පිළියම් කල්තියා සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැඛෙන බැවිනි.

අන්න ඒ නිසා ”නැතිවුණු දරුවාව ඇයි කපන්නේ කොටන්නේ” ලෙස මව්වරුන් නගන ගැටලූව හා මරණ පරීක‍ෂණයට අකමැත්ත ප්‍රකාශ කිරීම හ්තුවෙන් ඊලග ප්‍රසූතිය සඳහා වැදගත් විය හැකි කරුණු පිළිබඳ දැනුවත් වීම ඇතැම්විට මග හැරී යා හැක. ඉදිරියේදී මෙවැනි අවධානමකට ලක්වීම වළක්වා ගැනීමේ හැකියාව අවම වන බව වටහා ගත යුතුය.

ප්‍රසූතියෙන් පසු නිවසට පැමිණෙන ඇයට

මෙවැනි තත්ත්වයකදී මව්වරුන් තමාගේ වරදින් මේ තත්ත්වය ඇති වූවා යැයි පසුතැවෙන අතරම ඇතැම් ඥාතීන් ද ඇයට වරද පටවමින් අපහාස කරන අවස්ථාද නැතිවාම නොවේ. මේ තත්ත්වය කාගේ හෝ වරදකින් සිදුවන තත්ත්වයක් නොවන බවත් මව එසේ අපහසුතාවයට/වේදනාවට පත් කිරීම ඇයගේ මානසිකත්වය නුසුදුසු බවත් නිවසේ සාමාජිකයන් වටහා ගත යුතුය. නිවැසියන්ගේ පූර්ණ අවධානය/ ආදරය ඇයට හිමි විය යුතුය. ස්වාමියාද මේ තත්ත්වයට ඇය හා එක්ව මුහුණ දිය යුතුය.

නැවත ගැබ්ගැනීමක් සැලසුම් කිරීමේදී

ඊළඟ දරු පිළිසිඳ ගැනීමක් සඳහා මවක් කායිකවත් මානසිකවත් සුදුසු මට්ටමට පැමිණ තිබිය යුතු වේ.  එසේම ඊලග ගර්භණී බව ආරම්භයට පෙර පූර්ව ගර්භණී සායන වෙත යොමු වී ඔබේ තත්ත්වය පවසා අවශ්‍ය උපදෙස් ලබාන්න. පෙර තත්ත්වයේ සියලූ වෛද්‍ය වාර්තා සමග වෛද්‍යවරයෙකු මුණ ගැසී සාකච්ඡා කළ යුතු වේ. එසේම ෆෝලික් ඇසිඩ් 5mg  ලබා ගත යුතුය. මෙසේ අවශ්‍ය පසුබිම සැකසුණු පසුව මව නැවත ගැබ් ගත් විලස වෛද්‍යවරයා හමුවී අවශ්‍ය සැලසුම සකස් කරගත යුතු අතරම එය නිවැරදිය ක්‍රියාත්මක කිරීම ද වැදගත් වේ. මෙවැනි මව්වරුන් අවදානම් මව්වරුන් කොටසට අයත් වන අතරම වෛද්‍යවරුයාගේ අවධානය 100%ක්ම ඇයට හිමි වේ.

මල දරු උපත් හා සම්බන්ධව ඉහත දැක් වූ ක්‍රියා පිළිවෙළ ද සොයිසා කාන්තා රෝහලේ මේ වන විටත් ක්‍රියාත්මකව පවතී.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ තිස්තුන්වන සතිය

33rd week
අම්මට කොයි මොහොතේ රෝහලට යන්න වෙයිද දන්නෙ නෑ.. කොයි දේටත් පෙර සූදානම වැදගත් කියනවනෙ….

චූටියාත් දැන් ඉන්නේ අම්මා ළඟට එන්නේ කවදද කියලා මග බලාගෙන. අම්මා දන්නවද? චූටියා ලැඛෙන්න නියමිත දිනට සති 7 කට කලින් උනත් දරුවා ලැඛෙන්න පුළුවන්. කුමන හෝ ගැටලූවක් ඇති වුණොත් ඩොකටර් ළඟට යන්න නම් අදිමදි කරන්න එපා.

ඉදිරි සති දෙක තුළදී චූටියාගේ තාත්තා එක්ක අවශ්‍ය වූ වහාම රෝහලට යාමට සූදානම් වෙලා ඉන්න.  මේ අම්මාගේ පළමු දරු ප්‍රසූතිය නම් පෙර සූදානම වඩාත් වැදගත්.

පළමු ප්‍රසූතියට සූදානම් වන අම්මලාට ප්‍රසූත වේදනාව දැනීම තරමක් ව්‍යාකූල තත්ත්වයක් විය හැකියි. ගර්භාෂයේ සිදුවන සංකෝචනය සහ එයින් නිකුත් කරන සංඥා පළමු වරට අම්මාට පෙර කී ව්‍යාකූල තත්ත්වයක් මෙන්ම පීඩනයක් විය හැකියි. ගර්භාෂය තුළ නිතර නිතර මෙම සංකෝචනය සිදු වන විට සාපේක‍ෂව එය අම්මට පෙරට වඩා සමීප බවක් දැනෙන්නට පුළුවන. නිරන්තරයෙන් මේ සංකෝචනය ගැන සැලකිලිමත්වීම වැදගත් වන අතර යම් ගැටලූකාරී තත්ත්වයකදී වෙනස් බවක් දැනුණොත් වෛද්‍යවරයාගෙන් හෝ පවුල් සෞඛ්‍ය නිළධාරිනියගෙන් උපදෙස් ලබාගන්න.

අම්මා බය වෙන්න එපා… ඒත් අහල තියෙනවා නේද අවදානම් අවස්ථා ඇති වෙන්න පුළුවන් අම්මලත් ඉන්නවා. ඒ තමයි මීට කලින් නොමේරූ දරුවන් බිහි කළ අම්මලා, නිවුන් දරුවන් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් දරුවන් බිහි වීමට සිටින අම්මලා, ගර්භාෂයේ හෝ ගැබ් ගෙලෙහි යම් අසාමාන්‍යතා තියෙන අම්මලා තමයි ඒ. ඉතිං මේ වගේ තත්ත්වයක් යටතේ දරු ප්‍රසූතිය අවදානම් වෙන්න පුළුවන් නිසා අවශ්‍ය හැම අවස්ථාවකදීම වෛද්‍ය උපදෙස් ලබගත යුතුමයි.

ගැබිනි සමයේ තිස්තුන්වන සතිය

සති තිස්තුනක් පුරා ඔබේ කුස තුළ වැඩුණු බිළිඳාගේ බර කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 900කට වඩා වැඩියි. උස සෙන්ටිමීටර් 43.7 යි. හරියටම කිව්වොත් අන්නාසි ගෙඩියක් තරමයි. දැන් ඔබේ බිළිඳාගේ අස්ථී ඉතාම ශක්තිමත්ව සැකසී තිඛෙන අතරම බිළිඳා තමාට අවශ්‍ය පරිදි ඒ වගේම එයාට පහසු ආකාරයට ගර්භාෂය පරිහරණය කරනවා. අවශ්‍ය ඉඩ සකසා ගන්නවා.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

මේ වෙද්දි අම්මට හරිම වෙහෙසයි. එහෙම නේද? සති 33 වන විට ගැබිනි සමයේ ඇති වන අධික වෙහෙස සාමාන්‍ය තත්ත්වයකි. වර්ධනය වන දරුවාගේ බරද වැඩි වෙමින් පවතින අතර ඔබගේ ශක්ති ප්‍රමාණයච ඒ හා සමානව වැයවේ.

මේ කාලය තුළ ඇති වන පාදවල ඉදිමුම පිළිඳව පෙර ලිපියකදී දීර්ඝව සාකච්ඡා කෙරුණා ඔබට මතක ඇති. සමහරවිට ඔබට වළලූකර හා පාද නැවත පෙර පැවති තත්ත්වයට නොපැමිණේ යැයි සිතෙන තරමට ඉදිමීම ඇති වන්නට පුළුවන. ඔබ උණුසුම් දේශගුණයක ජීවත් වන්නේ නම් ඉදිමීම වඩාත් දැඩිව තිඛෙන්නට පුළුවන. හැකි සෑම අවස්ථාවකදීම පාද උසකින් තබාගෙන සිටීමට කටයුතු කළ යුතු අතර එය ඉදිමීම අවම කරගැනීමට උදව් වේ.

ඔබේ ඇඟිලි හා මැණික් කටුවේ ඇතිවන වේදනාව, හිරි වැටීම ආදී තත්ත්වයන් ඇති විය හැකි අතර අත් හා මැණික් කටුව තුළ සහාය පටක ඉදිමීම ද සිදු විය හැකිය. ටයිප් රයිටරයක රාජකාරී කරන අයෙකු මෙන් ඔබ නිරන්තරයෙන් අත් ක්‍රියාකාරී කටයුතුවල යොදවන්නේ නම් මෙම තත්ත්වය වැඩිපුර ඇතිවේ. හැකි සෑම විටම අතට හා මැණික් කටුවට විවේකයක් ලබාදීම කළ යුතුය. මේ පිළිබඳව පෙර ලිපි හරහා වැඩි විස්තර සහිතව ඔබව දැනුවත් කරනු ලැබීය.

මේ වන විටත් ගර්භාෂය මගින් මුත්‍රාශයට පීඩනයක් එකතු වන අතර එනිසා මුත්‍රා පිටවීම වැඩිපුර සිදු කිරීමට ඔබට සිදුවන අවස්ථා ඇත.

ගැබිනි සමයේ 33 වන සතිය වන විට ගර්භණී ඔබගේ බර වැඩි වීම රාත්තල් 26ක් 27ක් පමණ ප්‍රමාණයක් දක්වා වැඩි විය හැකිය. සමහර මව්වරුන්ගේ බර මෙයට වඩා අධිකව වැඩි වන අවස්ථාද දක්නට ලැබේ. දරුවාගේ වර්ධනය සඳහා අමතරව අවශ්‍ය වන ජලය ගර්භාෂය තුළ රඳවා ගැනීම නිසා මෙම බර වැඩි වීම සිදුවේ.

අම්මෙක් වෙන්න යන ඔබේ අවධානය යොමු විය යුතු  ”ගැබිනි සමය සහ අපස්මාරය ”

අපස්මාරය හෙවත් එපිලෙප්සි සාමාන්‍යයෙන් සුලබ රෝගී තත්ත්වයකි. මෙම රෝග තත්ත්වය වර්ග කිහිපයකින් දැකිය හැකි අතරම තමාට පවතින්නේ කුමන වර්ගයද යන්න පිළිබඳව සෑම රෝගියෙක්ම දැනුවත්ව සිටීම වැදගත් වේ. එසේම අපසුමාරය හෙවත් එපිලෙප්සි තත්ත්වය පළමුවරට ගැබිනි සමයේ ඇති වන අවස්ථාද කලාතුරකින් දැකිය හැක. නිසි වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර ලබාගනිමින් තත්ත්වය පාලනය කිරීම තුළින් සාර්ථක ඔබේ ගැබිනි සමය ගත කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.

ඔබ, අපස්මාර තත්ත්වය පවතින කාන්තාවක් නම් ගැබ් ගැනීමට පෙර ඔබගේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයා මෙන්ම නාරි හා ප්‍රසව වෛද්‍යවරයා හමුවන්නට ඇති. මන්ද මෙවැනි තත්ත්වයේ සිටින කාන්තාවක් තම දරු ප්‍රසූතිය ඉතා සැලසුම් සහගතව සිදුකළ යුතු බැවිනි. මෙවැනි තත්ත්වයේ සිටින කාන්තාවක් දරු පිළිසිඳ ගැනීමකට යොමු විය යුත්තේ රෝගය හොඳින් පාලනය වීමෙන් අනතුරුවය. මන්ද රෝගය හරි හැටි පාලනය නොවුණු කාන්තාවකට නිරත නිතර වලිප්පුව ඇති විය හැකි අතරම කලලය වෙත ගමන් කරන ඔක්සිජන් ප්‍රමාණය අවම වී මවගේත් දරුවාගේත් ජීවිත අවදානමට ලක්විය හැකි බැවිනි. තවද රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා ලබා දෙන සෝඩියම් බැල්ප්‍රොවේට් වැනි ඖෂධ වර්ග කලලයට හානිකරවීම ද තවත් හේතුවකි. දරු පිළිසිඳ ගැනීම හොඳින් සැලසුම් කළ යුතු වන්නේ මෙම හේතු මතයි. අපස්මාර තත්ත්වයේ සිටින සාමාන්‍ය කාන්තාවකට ලබාදෙන ඖෂධ වර්ග ඇය ගැබි ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී නම් ක්‍රමක්‍රමයෙන් වෙනස් කළ යුතු අතරම ඒ සඳහා මාස හය හතක කාලයක් ගතවේ. එසේම මෙවැනි කාන්තාවන් ෆෝලික් අම්ල විටමිනය මිලිග්‍රෑම් 5ක් ලබාගත යුතුය. මේ තත්ත්ව යටතේ රෝගය හොඳින් පාලනය කළ එනම් අඩුතරමේ ආසන්න අවුරුදු දෙක ඇතුළත වලිප්පු තත්ත්වය ඇති නොවූ කාන්තාවකට දරු පිළිසිඳ ගැනීමක් සඳහා යොමු විය හැකිය. එතෙක් ආරක‍ෂිත උපත් පාලන ක්‍රමයක් (අපස්මාරය පාලනය කිරීමට ලබාදෙන ඖෂධ වර්ග නිසා උපත් පාලන පෙතිවල ක්‍රියාකාරීත්වය අවම විය හැකි බැවින් හදිසි ගැබ්ගැනීම් වළක්වා ගැනීමට අමතර ආරක‍ෂාව (Additional protection) සඳහා කොණ්ඩම භාවිතයට ද උපදෙස් ලබාදේ) භාවිත කිරීමට පූර්ව ගැබිනි සායන හරහා ඔබව දැනුවත් කෙරෙන ඇත.

අපස්මාරය හෙවත් එපිලෙප්සි තත්ත්වය ඇති කාන්තාවකගේ ගර්භණී සමය

ඉහත පරිදි රෝග තත්ත්වය පාලනය කළ කාන්තාවක් ගැබ් ගෙන මුල් අවධියේදීම තම ස්නායු රෝග විශේෂඥවරයා මෙන්ම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා හමුවීම ඉතා වැදගත් වේ. එසේම නොකඩවා සායන සඳහා සහභාගී විය යුතුය. එසේම අධික වමනය තත්ත්වයක් පවතී නම් ඒ සඳහා අවශ්‍ය පිළියම් වෛද්‍යවරුයාගෙන් ලබාගන්න. මන්ද එවැනි තත්ත්ව යටතේ වලිප්පුව ඇති විය හැකි බැවිනි.

මෙසේ රෝගය හොඳින් පාලනය කළ සමහර කාන්තාවන් ගැබ්ගැනීමෙන් අනතුරුව කලලයට හානි වේ යැයි බියෙන් තමාගේ රෝග තත්ත්වයට ලබාදෙන ඖෂධ නතර කරයි. එය කිසිසේත්ම සුදුසු තත්ත්වයක් නොවන්නේ වරින් වර වලිප්පු තත්ත්වය ඇති වීම මවට මෙන්ම කලලයටද හානිදායක වන බැවිනි. මේ තත්ත්වයේදී ගැබිනි මවකට ලබාදෙන ඖෂධ මගින් කලලට ඇති බලපෑම අවම වන අතරම ඖෂධ දිගටම ලබාගැනීම අනිවාර්ය වේ. එසේම සති 11ත් 14ත් අතර සිදුකෙරෙන දින නිර්ණය කෙරෙන ස්කෑන් පරීක‍ෂණය සඳහා යොමුවිය යුතු අතරම එහිදී මවගේ රෝග තත්ත්වය හෝ ඒ සඳහා ලබාන්නා ඖෂධ හේතුවෙන් කලලයට යම් හානිකර තත්ත්වයක් ඇත්දැයි යන්න ද සොයා බැලේ.  එසේම මෙම තත්ත්වයේ සිටින මව්වරුන් සති 28 සිට මාසකට වරක් ස්කෑන් පරීක‍ෂණය සඳහා යොමු කෙරෙන අතරම කලලයේ වර්ධනය පිළිබඳව එහිදී පරීක‍ෂා කරනු ලබයි.

අපස්මාරය ඇති කාන්තාවකට ගැබ් ගැනීමත් සමගම වලිප්පු තත්ත්වය ඇති වීමේ ප්‍රවණතාව වැඩි වන බැවින් කිසිදු විටෙක තනිව නිවසේ රැඳීම නුසුදුසු අතරම වලිප්පු තත්ත්වය ඇතිවන ඕනෑම අවස්ථාවක වහාම රෝහල් වෙත පැමිණිමට සෑමවිටම සූදානම්ව සිටිය යුතුය. කෙසේ වුවද වලිප්පුව තත්ත්වය ඇති නොවන මව්වරුන්ට ගැටලූකාරී තත්ත්වය අවමය. නමුත් විටින් විට වලිප්පුව ඇතිවන මෙන්ම රෝග තත්ත්වය පාලනයට ඖෂධ වර්ග කිහිපයක් ලබාගන්නා මව්වරුන්හට හානි කර තත්ත්වයන් පවතින අවස්ථාවලදී කලලය ඉවත් කිරීමට වුවද සිදුවිය හැකිය.

අනෙක් ඕනෑම අවස්ථාවකදී මෙන්ම ගැබිනි සමයේදී වුවද අපස්මාරය ඇති මවකට වලිප්පුව ඇති විය හැකි අතරම එවන් අවස්ථාවකදී ඇද වැටීම්/පෙරලීම් වැනි දේ නිසා ඇයට සිදුවන හානිය අවම කරගැනීම සඳහා කටයුතු කරමින් තත්ත්වය පහව යනතුරු ඇය එක් පසකට හරවා තබාගත යුතුවේ. එසේම මුව තුළට හැඳි, ඇඟිලි හෝ වෙනත් දේ දැමීමෙන් ද අතට යකඩ කැබලි හෝ වෙනත් දේ අල්වා ගැනීමට ලබාදීමෙන් ද වළකින්න. තත්ත්වය පහව ගිය විගස මවගේ මුව තුළ සෙම සිරවී ඇත්නම් එය මදක් පිසදමා ඉවත් කොට වහාම රෝහල වෙත රැගෙන එන්න.

දරු ප්‍රසූතිය

මෙවැනි මව්වරුන් ප්‍රසූත වේදනාව දැණුනු වහාම රෝහල වෙත පැමිණීමට වගබලාගත යුතුය. මේ තත්ත්වයේදී වුවද මවක් සාමාන්‍ය ප්‍රසූතියට යොමු කෙරෙන අතරම වේදනාව අධික වීම හේතුවෙන් වලිප්පු තත්ත්වය ඇති විය හැකි නිසා ප්‍රසූති වේදනාව අවම කිරීම සඳහා එපිඩියුරල් ක්‍රමය භාවිත කෙනෙරවා. (ප්‍රසූති වේදනාව අවම කරන එපිඩියුරල් ක්‍රමය පිළිබඳව ඉදිරි ලිපියකදී බලාපොරොත්තුවන්න)

අපස්මාර තත්ත්වයේ මවකට දරු ප්‍රසූතියේදී යම්හෙයකින් වලිප්පු තත්ත්වය ඇතිවුවහොත් යන සැකය මත ඇයගේ ප්‍රසූතිය සඳහා ආරක‍ෂිත විශේෂ ඇඳක් භාවිත කරයි. ප්‍රසූති වේදනාව දැණුනු විගස රෝහල වෙත පැමිණිය යුතුවේ.

දරු ප්‍රසූතියෙන් පසු

දරු ප්‍රසූතියෙන් පසුව සිරුරේ සිදුවන හෝමෝන වෙනස මත  හෝමෝන වෙනස මත පැය 48ක් ඇතුළත වලිප්පුව ඇති වීමේ ප්‍රවණතාවයක් ඇත.

එසේම මව්කිරි දීම, දරුවාගේ වැඩ කටයුතු හේතුවෙන් කාර්ය බහුල වීම, මහන්සිය වැනි හේතු මතද එසේ සිදුවිය හැකිය. එමනිසා මෙවැනි මවකට නිවැසියන්ගේ පූර්ණ සහයෝගය ලබාදීම ඉතා වැදගත් වේ. රාත්‍රී කාලයේදී මවට හොඳ නින්දක් ලබාගැනීමට ඉඩ සලස්වා මව්කිරි දොවා තබා ළදරුවාට ලබාදීමට හැකි නම් එය මවගේ සෞඛ්‍ය තත්ත්වයට සුදුසු වේ. මෙවැනි සහයෝගයන් හමුවේ මවකට මුහුණ දීමට සිදුවිය හැකි සංකූලතාවයන් අවම කරගත හැකිය.

අපස්මාර තත්ත්වයේ සිටින මවකට විශේෂ උපදෙස් :
  • බිළිඳා බේසමේ බහා නෑවීමෙන් වළකින්න.
  • ළදරුවාගේ ඇඳුම් මාරු කිරීමේදී බිම තබාගෙන එම කාර්යයන් ඉටුකිරීමට වගබලාගන්න
  • මවගේ ඖෂධ නිසි වේලාවට ලබාගන්න (මවට ලබාගන්නා ඖෂධ වර්ග නිසා දරුවාට මව්කිරි ලබාදීම නුසුදුසු නම් වෛද්‍යවරයා ඒ පිළිබඳව මෙන්ම ළදරුවාට දිය යුතු ආදේශයක් පිළිබඳව ද ඔබව දැනුවත් කරනු ඇත)
  • නැවත දරු පිළිසිඳ ගැනීමක් වසර දෙකක් දක්වා පමා කරන්න. (ළඟ ළඟ ගැබ් ගැනීම සිදුවුවහොත් රෝග තත්ත්වය උග්‍ර වීමේ ප්‍රවණතාවය ඉහළය)

අපස්මාරය හෙවත් එපිලෙප්සි සුලබ තත්ත්වයක් වන අතරම නිසි වෛද්‍ය උපදෙස් මත රෝගය පාලනය කරමින් සංකූලතාවලින් තොර ගැබිනි සමයක් මෙන්ම නිරෝගී දරු උපතක් ඔබට හිමිවනු ඇත.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.