Home Blog Page 2

ගැබිනි සමයේ තිස්දෙවන සතිය

32nd week
අම්මා හැම මොහොතකම සතුටින් ඉන්න ඕනේ

අම්මාගේ හිතට පුංචි බයකුත් දැනෙනවා ඇති. චූටියා අම්මගේ පළවෙනි දරුපැටියා නිසා මේ අත්දැකීම අම්මට මීට පෙර ලැබිලා නෑ. දෙවෙනි තුන්වෙනි දරුවා ලැඛෙන්න හිටියත් ඒ අම්මලාටත් මේක අලූත් අත්දැකීමක්ම තමයි. මොකද දෙවෙනි දරුවා කියන්නෙත් අලූත් දරුවෙක් නිසා. නමුත් ඒ අම්මලා චූටියාගේ අම්මට වඩා ප්‍රසූතිය සිද්ධවෙන ආකාරය, රෝහලේදී මොනවද වෙන්නේ කියන අත්දැකීම් ගැන දැනුවත්. මේ මොන දේ වුණත් චූටියා වෙනුවෙන් අම්මා ගොඩක් සතුටෙන් කාලය ගත කරන්න ඕනෙමයි. මොකද චූටියාගේ වර්ධනයට අම්මාගේ මානසික සැහැල්ලූව බලපානවා. කුසේ ඉන්න චූටියා ගැන අම්මාගේ සිතේ ජනිත වන හැඟිම් කෙබදුදැයි වචන වලින් විස්තර කරන්න බැහැ නේද?

ගැබිනි සමයේ තිස්දෙවන සතිය

මේ වෙද්දි ඔබේ බිළිිඳාගේ බර සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 1.700 ක් පමණ වනවා. හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර් 42. 4ක් පමණ. ඔබේ ගර්භාෂයේ වැඩි ඉඩක් අරගෙන බිළිඳා තව තවත් වර්ධනය වෙනවා. ඊළඟ සති කිහිපය ඇතුළතදී බිළිඳාගේ බර තවත් වැඩි වීම සිදු වන අතරම දැන් දරුවාගේ නියපොතු, කොණ්ඩය දිග් වී තිඛෙනවා. සම ඉතා මුදු බවකින් යුක්තයි.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

ගැබිනි සමයේ සති 32 වන විට, ඔබේ ගර්භාෂය නාභියේ සිට අඟල් 5 ක් පමණ වෙනවා. ඔබ නිවුන් දරුවන්ගේ මවක් වීමට සූදානම් අයෙකු වුවත් ගර්භාෂයේ සිට නාභිය දක්වා දුර පෙර  සඳහන් කළ පරිදිම වේ.

ඔබට තව සති 5 ක් පමණයි තියෙන්නේ. යම් ආකාරයකින් නියමිත කාලයට පෙර දරුවාගේ උපත සිදු වුවහොත්, මේ කාලයේදී තරමක් වෙනස් වර්ධනයක් පෙන්නුම් කරන අතර ඉදිරි සතිවලදී එමි වර්ධනය වීමක් පෙන්නුම් කරයි.

මේ කාලය වන විට ඔබ මහත් විඩාවට පත්වේවී. නමුත් ඒ පිළිබඳ බිය විය යුතු නැහැ. නමුත් ශරීරයේ වැය වන ශක්ති ප්‍රමාණය වෙනුවෙන් අමතර ශක්තිජනක ආහාර ලබාගත යුතුයි. අධික වෙහෙස යනු ගර්භනී සමයේ තෙවන ත්‍රෙමාසිකයේ සාමාන්‍ය තත්ත්වයකි.

ගර්භාෂය විශාල වනවාත් සමගම ඉරියව් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. ගර්භනී සමයේ සමහර ඉරියව් සමහර අවස්ථා වලදී ඔබව විඩාවට, වෙහෙසට පත් කිරීමට ඉඩ තිබේ. ඒ කොන්දේ වේදනාව, කකුල් වල වේදනාව, ඉදිමීම වේ.

මේ කාලයේදී ඔබට තවත් සුවිශේෂී තත්ත්වයක්ට මුහුණදීමට සිදුවේ. හෘදයේ ඇතිවන වේගවත් හද ගැස්ම මේ කාලයේදී ඇතිවන තවත් තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ ගර්භනී කාලයේදී හොමෝන වල සිදුවන වෙනස්කම් නිසා රුධිරයේ ඇතිවන වෙනස්කම් ද හේතුවෙනි. යම් ලෙසකින් මෙම තත්ත්වය වේදනාවකට හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයකට පරිවර්තනය වුවහොත් ඔබේ වෛද්‍යවරයා වෙත යොමු වීම අත්‍යවශ්‍ය වේ.

මේ කාලයේදී ඔබ ඔබේ දරු ප්‍රසූතිය සිදු කරන්නේ කුමන ආකාරයෙන්ද යන්න සිතා බැලිය යුතුය. එමෙන්ම ඔබ වේදනාවන් පාලනය කරගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන් පිළිබඳවද දැනුවත් විය යුතුය. මේ ඔබේ තෙවන ත්‍රෙමාසිකයයි. ඔබ දරු ප්‍රසූතිය සිදු කරන්නට කැමති විදිය එසේත් නැත්නම් වඩාත් සුදුසුම ක්‍රමය ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම හෝ ඔබ යොමුවන සායනවලදී හෝ සාකච්ඡා කිරීම මේ කාලයේදී කළ යුතුය. මේ කාලයේදී ඔබගේ බර ද වැඩිවන අතර ඔබට ඇතිවන වේදනාවන්ද වඩා බලවත් වනු ඇත.

මේ කාලයේදී දැනෙන අධික මහන්සිය ගර්භනී කාලයේදී දැනෙන සාමාන්‍ය රෝගී තත්ත්වයක් වන අතර මේ කාලය අවසන් වන තුරු එම තත්ත්වය ඔබ වෙතින් ඉවත් නොවේ. මේ සඳාහා සුදුසුම ප්‍රතිකාර ක්‍රමය නම් ඔබට හැකි සෑම අවස්ථාවකදීම මද විවේකයක් ගැනීමයි. කෙටි නින්දක් හෝ ලබාගැනීම ඔබගේ ශක්තිය රඳවා ගැනීමට මහත් සේ ප්‍රයෝජනවත් වනු ඇත.

එමෙන්ම කොන්දේ ඇතිවන වේදනාව පොදු තත්ත්වයකි. හොමෝන සහ ශාරීරිකව ඇති වන වෙනස්කම් හේතුවෙන් මෙම තත්ත්ව ඇති වේ. මේ සඳහා ද විවේකය සහ වේදනාව මතුවන පිට කොන්දට කොට්ටයක් හෝ ආධාරකයක් තබාගැනීම එය මදක් අඩු කරගැනීමට හේතු වේ.

නිරන්තරයෙන් මුත්‍රා පිටවීමද මේ කාලයේ සාමාන්‍ය ත තත්ත්වයකි. ගර්භාෂය වර්ධනය වීම සිදුවන විට මෙම තත්ත්වද වර්ධනය වේ. මුත්‍රා පිටවීම නිතර සිදු වුවත් අනිවාර්යයෙන්ම හොඳින් වතුර පානය කළ යුතුය. මුත්‍රා පිටවීම අධික යැයි සිතා කිසිවිටක ජල පානය කිරීම අඩු කිරීම නොකළ යුතුය. යම් හෙයකින් ජලය නොමැතිව ශරීරය වියළීම සිදු වුවහොත් එය ඔබව වෙහෙසට පත් කරනු ඇත.

ඔබගේ බර සතියට රාත්තලකින් පමණ වැඩි වේ. බබා කුස තුළ වැඩෙන විට ගර්භාෂයද විශාල වීම සිදු වේ. එබැවින් මේ කාලයේදී ඔබට නිදා ගැනීම අපහසු වනු ඇත. දැන් ඔබේ බර රාත්තල් 25 ක් හෝ 26 ක් පමණ වැඩි වී ඇති අතර එයට වඩා වැඩි මිස අඩුනම් නොවනු ඇත. බිළිඳාගේ උපතට පෙර එය තවත් රාත්තල් 5 කින් හෝ 10 කින් වැඩිවීම බලාපොරොත්තු විය හැකිය.

මේ බර වැඩිවීම ඔබගේ ශරීර ස්කන්ධයට අනුව සිදු විය යුතු බව ඔබ හොඳින් මතක තබාගත යුතුය.

එනම්, සාමාන්‍ය අයෙකුගේ නම් සම්පූර්ණබර වැඩිවීම රාත්තල් 25 ත් 35 ත් අතර විය යුතු අතර අධික බර සහිත අයෙකුගේ නම් බර රාත්තල් 15 ත් 25 ත් අතර විය යුතුය. එමෙන්ම අඩු බර සහිත අයෙක් නම් එය රාත්තල් 28 ත් 40 ත් අතර විය යුතු වේ.

අම්මෙක් වෙන්න යන ඔබ දැන සිටිය යුතු  ” placenta accreta “

මව්කුස තුළ දරුවෙකු පිළිසිඳගත් මොහොතේ පටන් ගර්භාෂයේ අතුළත විශේෂිත ස්ථීරයක් මත ඇලී පවතින වැදැමහ හරහා පෝෂණය හා අවශ්‍ය ඔක්සිජන් ලබාගනී. මෙසේ ගර්භාෂ බිත්තියට ඇලී පවතින වැදැමහ දරු ප්‍රසූතියෙන් පැය භාගයක් ඇතුළතදී ගර්භාෂයෙන් ගැලවී යාම සාමාන්‍යයෙන් සිදුවන තත්ත්වයයි. නමුත් සමහර අවස්ථාවලදී වැදැමහ ගර්භාෂයේ විශේෂිත ස්ථීරයෙන් ඔබ්බට පැතිරී ගර්භාෂයේ පේශීන්වලට ඉතා තදින් ඇලීම නිසා දරු ප්‍රසූතියෙන් පසු වැදැමහ ගැලවී ඉවත් නොවේ. මෙසේ වැදැමහ ගර්භාෂ බිත්තිය වෙත තදින් කා වැදී තිබීම placenta accreta හැඳින්වේ. එසේම වැදැමහ සම්පූර්ණයෙන්ම ගර්භාෂ බිත්තියට ඇලීම placenta increta තත්ත්වය ලෙස හැඳින්වෙන අතරම placenta percreta  තත්ත්වයේදී වැදැමහ ගර්භාෂයට ආසන්නව පිහිටා ඇති අවයව දක්වා අසාමාන්‍ය ලෙස ඇලී තිබේ. මේ හේතුවෙන් ප්‍රසූතියෙන් පසුව අධික ලෙස සිදුව රුධිරවහනය හේතුවෙන් මවගේ ජීවිතය අවදනමකට ලක්විය හැකිය.

Placenta accreta  තත්ත්වය ඇති වීමේ අවදානම පවතින්නේ,
  • ගර්භාෂයේ සිදු කළ වෙනත් සැත්කම් (ෆයිබ්‍රොයිඩ්/මයෝමෙක්ටමි) හේතුවෙන් හටගත් කැලැල් ඇති/ ගබ්සා වීම හේතුවෙන් ERPC සිදුකළ කාන්තාවන්
  • පෙර ප්‍රසූති තත්ත්වයන්හිදී සිසේරියන් සැත්කම හරහා දරුවන් බිහිකළ කාන්තාවන් (සීසේරියන් සැත්කම් දෙකක් හෝ ඊට වැඩි වන විට මවකට මේ තත්ත්වය ඇතිවීමේ අවදානම 40% සිට 60% දක්වා ප්‍රමාණයකින් ඉහළ යයි)
  • වැදැමහ අර්ධ ලෙස හෝ සම්පූර්ණයෙන්ම ගැබ්ගෙලට ආසන්නව පිහිටා ඇති කාන්තාවන්
  • වැඩි දරුවන් සංඛ්‍යාවක් බිහිකළ කාන්තාවන් (placenta accreta තත්ත්වය ඇතිවීමේ අවධානමට බිහිකළ දරුවන් ගණන බලපානු ඇත.)
  • වයස අවුරුදු 35ට වැඩි කාන්තාවන්
  • දුම්පානය කරන කාන්තාවන්
Placenta accreta  තත්ත්වය හඳුනා ගැනීම

අවදානම වැඩි මව්වරුන් හා වැදැමහ පහළින් පිහිටා ඇති මව්වරුන් සඳහා කරනු ලබන විශේෂ ස්කෑන් පරීක‍ෂණයක් මගින් මෙම තත්ත්වය තරමක් දුරට හදුනා ගත හැකිය. සමහර අවස්ථාවලදී නිෂ්චය වශයෙන්ම දැනගත නොහැකි නම් MRI පරීක‍ෂණය මගින් ද තොරතුරු ලබාගත හැකිය. එම පරීක‍ෂණ මවට හෝ කලලයට හානි කර නොවේ. කෙසේ නමුත් මෙය දරුවා බිහිවීමට පෙර 100%ක් නිවැරදිව හඳුනා ගැනීම අපහසුය.

මේ තත්ත්වය ඇතැයි සැකකරන මව්වරුන් හඳුනා ගතහොත් පළමුවෙන්ම විශේෂ ප්‍රතිකාර සඳහා පහසුකම් සහිත රෝහලක් වෙත මාරු කර යැවීම සිදුකෙරෙන්නේ මෙවැනි මවකට අත්‍යවශ්‍ය සියලූ වෛද්‍ය පහසුකම් ලබාදෙමින් ඇය සිටින අවදානම් තත්ත්වයෙන් මුදා ගත යුතු බැවිනි. එසේම මෙලොවට බිහිවන ළදරුවාගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම සඳහා ද පහසුකම් අත්‍යවශ්‍යය. ඒ සඳහා නොමේරු ළදරු ඒකකයේ සහය ඉතා වැදගත් වේ.

බොහෝ අවස්ථාවලදී මෙවැනි මව්වරුන්ට සති 30 සිට රෝහල් ගත කර නිරීක‍ෂණය කරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන අතරම වැදැමහ ගර්භාෂයට අසාමන්‍ය ලෙස ඇලී පවතින නිසා කලලයට අවශ්‍ය පෝෂණය මෙන්ම නිශ්චිත ඔක්සිජන් ප්‍රමාණය සාමාන්‍ය පරිදි නොලැබී යා හැකි බැවින්  කලලයේ වර්ධනය පිළිබඳව ද නිරීක‍ෂණය කෙරේ. මේ තත්ත්වයේ සිටින මවකගේ දරුවා බිහිකිරීම සිදුකරන්නේ සිසේරියන් සැත්කම මගිනි. සති 32- 36ත් අතර කාලයේදී සැත්කම සිදුකෙරෙන අතරම ඒ සඳහා ශල්‍ය වෛද්‍යවරුන්ගේ ද සහය ලබාගනී. එසේම සැත්කමේදී මුත්‍රාශය හා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහයද මෙහිදී වැදගත් වේ.

සාමාන්‍යයෙන් වැදමහ නොකැපෙන සේ සැත්කම සිදු කොට ළදරුවා බිහිකිරීමෙන් අනතුරුව වැදැමහ ගැලවී යයිද යන්න පිළිබඳව අවධානය යොමුකරයි. එසේ සිදුනොවේ නම් ගර්භාෂය සමගම වැදැමහ ඉවත් කරයි. ඇතැම් අවස්ථාවලදී වැදැමහ ගර්භාෂයේ පිටත අවයවවලට මුත්‍රාශය, බඩවැල්වලට තදින් ඇලී ඇත්නම් ළදරුවා පිටතට ගෙන වැදැමහ අවශෝෂණය වී යාමට ඉඩ හරී. අවුරුද්දක් වැනි කාලයක් පුරා මෙය කෙමෙන් අවශෝෂණය විය හැකියි. නමුත් රුධිර වහනයක් හෝ අසාදනයක් ඇති විය හැකි නිසා මෙය සිදුකරනුයේ ඉතාමත් කලාතුරකිනි. අද වන විට වෛද්‍ය විද්‍යාවේ දියුණවත් සමගම ගර්භාෂයෙන් කොටසක් පමණක් බවත් කළ හැකි වුවත් ලංකාවේ එම සැත්කම දැනට සිදුකෙරෙන්නේ නැත.

සැත්කමින් පසු

මෙම තත්ත්වය ඉතා බැරෑරුම් අවස්ථාවක් වන අතරම සැත්කමින් පසුව මවකට දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදු විය හැකිය. ඉන් පසුව රෝහල් වට්ටු වෙත මාරු කෙරෙන අතරම සති දෙකක් වැනි කාලයක් වුවද වාට්ටුව තුළ ගතකිරීමට සිදුවිය හැකිය. තවද සැත්කමින් පසුව මෙසේ දැඩි සත්කාර ඒකකයේ රඳවා ගන්නා මව්වරුන් නිරන්තර පරීක‍ෂාවට ලක්කරයි. මෙවැනි තත්ත්වයක සිටින මවකට රුධිර වහනය/ආසාදන වැනි තත්ත්වයන් ඇති විය හැකි අතරම එවැනි තත්ත්වයන් අවම කරගැනීම සඳහා හැකි ඉක්මණින් යථා තත්ත්වයට පත්වීම අත්‍යවශ්‍යය. එසේම මෙවැනි මව්වරුන්ට රුධිර කැටි ගැසීම, පෙනහලූවල යම් යම් ආබාධ තත්ත්වයන් වැනි සංකූලතා ද ඇති විය හැකි බැවින් සැමවිටම වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් හැකි ඉක්මණින් ක්‍රියාකාරකම් වෙත යොමුවීම ඉතා වැදගත් වේ.

placenta accreta තත්ත්වය සිසේරියන් සැත්කම හේතුවෙන් ඇති වන එක් සංකූලතාවයක් ලෙස හැඳින්විය හැකිය. ඒබැවින් මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් හදිසි තතත්වයක් මත හෝ වෛද්‍ය නිර්දේශයට අනුව හැරුණු කොට සිසේරියන් සැත්කම ලබාදෙන මෙන් වෛද්‍යවරුන් වෙත ඔබ කරන ඉල්ලීම පිළිබඳව තවත් වරක් සිතන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ තිස්එක්වන සතිය

31 st week
දැන් නම් අම්මට ඉවසිල්ලක් නෑ… තව සති කීපයකින් චූටියාව දැකගන්න පුළුවන්…

සාමාන්‍යයෙන් ගැබිනි කාලය සති 40 ක් වුණත් සති 37 ත් 42 ත් අතර කාලයේදීත් බබා ලැඛෙන්න පුළුවන්. අම්මා බලන්නකෝ මේ සටහන.

  • නියමිත කාලයට පෙර (සති 37 සහ සති 38 දින 6 ක කාලය තුළ)
  • නියමිත කාලයේදී (සති 39 සහ සති 40 දින 6 ක කාලය තුළ)
  • නියමිත කාලයට වඩා ප්‍රමාද වී (සති 41 සහ සති 41 දින 6 ක කාලය තුළ)
  • නියමිත කාලයට වඩා බොහෝ ප්‍රමාද වී (සති 42 සහ ඉන් ඔබ්බට)

හැම චූටියම හරියටම නියමිත දවසට අම්මා ළඟට එන්නේ නැහැ. අම්මා දන්නවද අම්මා ගන්න ආහාර, අම්මාගේ මානසික තත්ත්වය, අම්මා කරන වැඩකටයුතු වෙනුවෙන් යොදවන ශ්‍රමය චූටියා මොලොවට බිහිවන දිනය තීරණය වෙන සාධක.

අම්මා මේ වෙද්දි සායනවලට සහභාගී වෙන නිසා මේ පිළිබඳව හොඳින්ම දැනුවත් ඇති. ඒ වගේම චූටියා ලැඛෙන මොහොතේ අම්මාට දැනෙන වේදනවා අවම කරගන්න ස්වභාවික ක්‍රම උපයෝගී කර ගන්නා ආකාරය වගේම සිසේරියන් සැත්කම, යෝනි විවරය සිදු කිරීම ආදී දේ පිළිබඳ  අවබෝධයක් ල සායන හරහා අම්මාගේ හිතේ තියෙන අනවශ්‍ය බය නැති කරගන්න පුළුවන්.

ගැබිනි සමයේ තිස්එක්වන සතිය

දැන් ඔබේ බිළිඳාගේ උස සෙන්ටිමීටර් 41.1 පමණ වන අතරම බර කිලෝ ග්‍රෑම් 1කුත් ග්‍රෑම් 500ක් පමණ වනවා. ඒ කියන්නේ පොල් ගෙඩියක් තරමය. දැන් බිළිඳාට පැත්තෙන් පැත්තට හිස හරවන්න පුළුවන්. සම යට සිරුරේ අවශ්‍ය මේද තැන්පත් වීම මේ කාලයේ සිදු වෙනවා. දැන් ඔබේ කිරි කැටියා ගොඩක් දගලන කාලේ. ඔබට නින්දේදී පවා සමහර විට කිරි කැටියා උඩ පනිමින් කකුල්වලින් ගසන ආකාරය දැනෙනවා ඇති. මේ සියල්ල සතුටින් විද දරා ගන්න ඔබට පුළුවන්. මේ චලනයන්ගෙන් කියන්නේ ඔබේ දරුවා සක්‍රීය සෞඛ්‍ය සම්පන්න දරුවෙක් බවයි.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

ගැබිනි සමයේ 31 වන සතියේදී ඔබේ ගර්භාෂය දළ වශයෙන් මැනීම සිදු කළහොත් එය නාභියට ඉහළින් අඟල් 4.5 ක් වෙනවා. දැන් ඔබට ඔබේ කිරිකැටියා බිහි කිරීමට ඇත්තේ තවත් සති 10 කට අඩු කාලයක්.

මේ කාලයේදී ඔබේ නාභිය පෙර තිබුණාට වඩා වෙනස් තත්ත්වයක් ගනී. එය ගර්භණී බවත් සමග වඩා ඇදීමකට ලක් වී වඩා ඉස්මතු වී පෙනෙන්නට ගනී. සමහර මව්වරුන් මෙය නොපෙන්වා සිටීමට උත්සහ කළද ගර්භණී සමයේ ඇතිවන සාමාන්‍ය සිදුවීමක් විනා සැඟවීමට උත්සහ කළ යුතු තත්ත්වයක් නොවේ. මෙය පවතිනුයේ ගර්භණී කාලය තුළ පමණි. ඔබේ දරුවා ඉපදී මාස කිහිපයකට පසුව නැවත එහි පූර්ව පෙනුම ලැඛෙනවා.

සති කීපයකින් දෝතට ගන්න සිටින ඔබේ බිළිඳා වෙනුවෙන් ඔබේ පියයුරු මව්කිරි දීම සඳහා සූදානම් වන කාලයයි මේ. මේ කාලයේදී එම කාර්යයට සූදානම් වීම සඳහා පියයුරුවල විශාල වෙනස්කම් සිදුවෙනවා. ඔබේ පියයුරු පෙරට වඩා බර වෙනවා. පූර්ණ බවක් ඇති වෙනවා. එමෙන්ම තන පුඩුව අවට (ඇරියෝලාව) පෙරට වඩා තද කලූ පැහැයක් ගන්නවා. කිරි ස්‍රාවය කරන ග්‍රන්ථී ඇති වීමත් සමගම කොලස්ට්‍රම් නිපදවීම ආරම්භ වෙනවා. මේ සමග ඔබේ පියයුරුවල පලූ හෝ ගැටිති ඇති විය හැකියි. මෙම සියලූ වෙනස්කම් මේ කාලයේදී ඇතිවන සාමාන්‍ය වෙනස්කම් වනවා.

දරු උපතින් පසු සමහර මව්වරුන්ට කිරි පිටතට ගලා ඒම සිදු වෙන්න පුළුවන්. පළමු කිරවන කොලස්ට්‍රම් මෙසේ කාන්දු වීමට පටන් ගන්නවා. කොලස්ට්‍රම් වර්ණයෙන් තරමක් වෙනස්වන අතර එය තරමක් කහ පැහැතියි. මෙය ඔබට වේදානත්මක නම් ආවරණයක් යෙදීමට වගබලා ගන්න.

අප පෙර ලිපිවලද සඳහන් කළ පරිදිම මෙම කාලයේදී, දරුවාගේ වර්ධනයත් සමග ගර්භාෂයේ ඇදීම සිදු වන බැවින් මේ හා සමග නිරන්තරයෙන් ඔබේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්වලද යම් යම් වෙනස්වීම් සිදු වෙනවා. එබැවින් යම් යම් අපහසුතා සහ ආම්ලිකතාවයන් ඇති වෙනවා.

පපුවේ දැවිල්ල ඇතිවීමත් ජීර්ණ අපහසුතා ඇති වීමත් නිසා ඔබ අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ගර්භාෂය ක්‍රමයෙන් වර්ධනය වීම නිසා කෑම දිරවීම මදක් පමා වෙනවා. විශාල ප්‍රමාණයෙන් ආහාර ගතහොත් මෙම දිරවීමේ අපහසුතා ඇතිවීමත් පපුවේ දැවිල්ල නැති වීමත් සිදුවනවා. එමෙන්ම සමහර ආහාර වල ස්වභාවයන් මෙයට බලපානවා. දරුවාගේ වර්ධනයත් සමඟ ඔබේ ගර්භාෂයේ ඇති ඉඩ ඇහිරීමක් සිදු වෙනවා.

මෙම අපහසුතාවයන් මග හරවා ගැනීම සඳහා ඔබ දවස පුරා කුඩා ආහාර වේල් කීපයක් ගැනීමත් ජීර්ණයට අපහසු ආහාර වර්ග කෑමට නොගැනීමටත් වගබලා ගන්න.

ඇස්වල පෙනීම බොඳ වීම වැනි අවස්ථාද මෙම ගර්භණී සමය තුළ ඇති විය හැකියි. ඔබේ හෝමෝනවල ඇති වන වෙනස්වීම්, රුධිර සංසරණයේ වෙනස්වීම් මෙයට බලපාන අතර දරු උපතින් පසු මෙය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා.

මේ කාලයේදී ගර්භණී ඔබගේ බර වැඩිවීම දළ වශයෙන් රාත්තල් 24 සිට 25 දක්වා විය යුතුයි. සමහර කාන්තාවන්ගේ බර මීට වඩා වැඩි විය හැකි අතර සමහරුන්ගේ බර මීට වඩා අඩු වීමටද පුළුවන්. දරු ප්‍රසූතියට පෙර අවම වශයෙන් ඔබගේ බර රාත්තල් 5 සිට 10 දක්වා ප්‍රමාණයක් වැඩි විය යුතු වෙනවා.

අම්මෙක් වෙන්න යන ඔබේ අවධානය යොමු විය යුතු ” කුස තුළ බිළිඳාගේ චලන වෙනස්කම් ”  

මවගේ කුස තුළ වර්ධනය වන ළදරුවා නිරෝගී දැයි දැන ගැනීමට හැකි එක ක්‍රමයක් වන්නේ ළදරුවාගේ  චලනයයි. මව්වරුන් මේ ගැන අවධානයෙන් සිටීම අනිවාර්ය වේ. කුස තුළ සිටින ඔබේ ළදරුවාගේ චලන වාර ගණන අඩු වුවහොත්, ඒවගේම චලනය නතර වුවහොත් කළ යුතු දේ පිළිබඳව ඔබ දැනුවත්ද? සැබවින්ම ඒ පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ.

මව් කුස තුළ වැඩෙන ළදරුවාගේ චලනය පිළිබඳව කතා කරන්න පටන් ගන්නේ ගැබිනි සමයේ සති 20 ක් පමණ ගතවනාවත් සමගම වුවද මව් කුස තුළ ළදරුවාගේ චලනය ඇරඹෙන්නේ ඉතාමත් කුඩා කාලයේ සිටයි. මුල්ම ස්කෑන් පරීක‍ෂණයේදී පවා වෛද්‍යවරයෙකුට මෙය හොඳින් දැක ගත හැකියි. මේ චලනයන් ගර්භාෂ බිත්තිය හා උදර බිත්තිය හරහා මවට නොදැනෙන නිසා එම චලන පිළිබඳව දැනීමටක් මවට නොමැත.

පළමු ගැබ් ගැනීමේදී සාමාන්‍යයෙන් කුස තුළ වැඩෙන ළදරුවාගේ චලනයන් මවට දැනීම ඇරඹෙන්නේ ගැබිනි සමයේ සති 18 ත් 22 ත් කාලය තුළයි. දෙවැනි ගැබ් ගැනීමේදී නම් ළදරුවාගේ චලනයන් ගැබිනි සමයේ සති 16ත් 20ත් අතර කාලයේදී දැනීම ආරම්භ වේ. දෙවනි වරට ගැබ්ගත් මවකට ළදරුවාගේ චලනයන් පිළිබඳ ඇත්දැකීමක් ඇති බැවින් චලනයන් අවබෝධ කර ගැනීමට ගතවන කාලය අවම වීම එයට හේතුවයි.

කුස තුළ වැඩෙන සෑම ළදරුවෙක්ගේම චලනයන් එක් ආකාරයක් නොගත්තද කාලයත් සමග කුස තුළ සිටින තම ළදරුවාගේ චලන ස්වභාවයන් හඳුනාගැනීමට මවට හැකියි. නිරෝගී ලදරුවෙකුගේ චලන රටාව ඒ ආකාරයෙන්ම එක දිගට පවතී. නමුත් ඇතැම් අවස්ථාවලදී එනම් මව කාර්ය බහුල වූ දිනයක කුස තුළ සිටින ළදරුවා සුපුරුදු පරිදි චලනය වීම සිදු නොකළහොත් හෝ ළදරුවා වැඩි වෙලාවක් නින්දට වැටීම හේතුවෙන් හෝ චලනය අඩු බවක් ඔබට දැනිය හැකිය. එවිට මූලිකව ඔබ කළ යුතුවන්නේ ඇඳ මත දිගාවී කුස මත අත තබා පැයක් පමණ කාලයක් සුපරික‍ෂාකාරීව බලා සිටීමයි. එවිට ද ළදරුවාගේ චලනයන් ඔබට නොදැනේ නම් හැකි ඉක්මණින් රෝහල වෙත ගොස් වෛද්‍යවරයෙකු හමුවීම අනිවාර්ය වේ. තවද යම් මවක් නිතර නිතර මේ තත්ත්වය අත්දකී නම් නම් පූර්ණ අවධානය යොමුකරමින් වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්ය වේ.

කුස තුළ ළදරුවාගේ චලනයන් මවට නොදැනීමට බලපෑ හැකි වෙනත් හේතු :
  • බොහෝවිට මවගේ කාර්ය බහුල බව හන්දා
  • කලාතුරකින් දරුවා මව් කුස තුළ නිදා සිටින විට
  • කලලය වෙත ගමන් කරන රුධිර ප්‍රමාණය අවම වීම වැනි යම්කිසි රෝග තත්ත්වයක් මත
  • කලාතුරකින් මව් කුස තුළ දරුවා මිය යාම
  • මවගේ අසනීප තත්ත්වයන්

මව්වරුන් සැමවිටම ළදරුවාගේ චලනයන් පිළිබඳ නිසි අවධානයෙන් සිටීම අනිවාර්ය වේ. ළදරුවාගේ චලන වාර සටහන් කිරීම සඳහා සායන මගින් වගුවක් ලබා දුන්නද කිසිදු සංකූලතාවයක් නොමැති සාමාන්‍ය තත්ත්වයේ සිටින මව්වරුන්ගේ මානසික තත්ත්වය පිළිබඳව සළකා එම වගු සෑම මවකටම ලබාදීම මේ වන විට නතර කර ඇති අතර අවදානම් මව්වරුන්ට පමණක් එම වගු ලබාදීම සිදු කෙරේ. අවදානම් තත්ත්ව පවතින මව්වරුන් ඒ පිළිබඳව නිසි අවධානය යොමු කරමින් සැළකිලිමත්ව වගුව සටහන් කිරීම ඉතා වැදගත් වේ.

දරුවාගේ චලනය අඩු වීම මත හෝ දරුවාගේ චලනය සිදු නොවන අවස්ථාවක රෝහලකට මව ඇතුළත් කළ විට දරුවාගේ හෘද ස්පන්දනය පරීක‍ෂණයක් මගින් පරීක‍ෂා කර බැලීම සිදුවන අතරම එම පරීක‍ෂණයේ කිසිදු දෝෂයක් නොමැති නම් දරුවා නිරෝගී බවට යම්තාක් දුරට නිර්ණය වේ. ළදරුවාගේ චලනයන් දැනීම ආරම්භ වූ පසු මවට රෝහලෙන් පිටව යාමට අවස්ථාව සැලසේ. නමුත් මෙම පරීක‍ෂණය මගින් තත්ත්වය අනාවරණය කරගත නොහැකි අවස්ථාවකදී නම් මව ස්කෑන්  පරීක‍ෂණයක් සඳහා යොමු කර ළදරුවාගේ චලනය පිළිබඳව මෙන්ම ළදරුවාගේ වර්ධනය සහ පෙකණිවැල තුළින් සිදුවන රුධිර ගමනාගමනය පිළිබඳවත් පරීක‍ෂා කිරීම සිදුවේ. එසේම මෙම පරීක‍ෂණවල යම් අසාමාන්‍යතාවක් හඳුනාගතහොත් නියමිත දිනට පෙර දරුවා බිහි කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කරනවා.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ තිස්වන සතිය

30th week
අම්මා, මස් මාංශ නොකන එක චූටියාගේ වර්ධනයට බලපායිද ?

මේ වෙද්දී චූටියා හරිම වේගෙන් වර්ධනය වෙනවලු. චූටියා ඉක්මණට අම්මා ළඟට එන්න ඉක්මණටම ලොකු වෙන්න හදනවා මම හිතන්නේ. ඉතිං අම්මා, අම්මාගේ පෝෂණය ගැන හුඟක් හිතන්න ඕනේ නේද? මොකද චූටියාගේ වර්ධනයට අවශ්‍ය හැමදේම එයා ලබාගන්නේ අම්මා ලබාගන්න පෝෂණය හරහා.ඉතිං අම්මා දැන් නම් වැඩිපුර තමන්ගේ ආහාර රටාව ගැන හිතන්නම ඕනේ.

ගැබිනි සමයේ තිස්වන සතිය

සීඝ්‍රයෙන් වැඩෙන බිළිඳාගේ මේ වන විට බර කිලෝ එකකුත් ග්‍රෑම් 319 ක් විතර වෙනවා. ඒ වගේම හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර 39.9 ක් පමණ වෙනවා. දැන් බිළිඳාගේ වර්ධනය තව තවත් වේගවත්. මේ වෙද්දී බිළිඳා වටා උල්බ තරලය පයින්ට් එකහමාරක් පමණ ඇති අතර බිළිඳාගේ වර්ධනයත් සමග අවශ්‍ය ඉඩ සැලසීම සඳහා ඒ ප්‍රමාණය අඩු වී යයි. මේ වන විට බිළිඳාගෙන් උල්බ කෝෂය පිරී පවතිනවා. බිළිඳාගේ අත්පා වල සමට යටින් මේදය තැන්පත් වෙමින් නිසි ලෙස වර්ධනය වෙමින් පවතින අතර, සමෙහි රැකවරණය වෙනුවෙන් හටගන්නා සියුම් රෝම මුළු සිරුර පුරාම දැකගත හැකියි. ඒ වගේම බිළිඳාගේ මොළයේ අංග මෙන්ම පටක නිර්මාණය ද සිදුවෙනවා. ඇට මිදුළුවල වර්ධනය වන රතු රුධිර සෛල හා පටක ඔක්සිජන් ලබාදෙමින් අපද්‍රව්‍ය ඉවත් කරනවා. මේ කාලයේදී බිළිඳාගේ සෛල තුළ යකඩ ගබඩා කිරීමත් ඉතා කුඩා සෛල තුළ කැල්සියම්, පොස්පරස් ගබඩා කිරීමත් සිදුවීම ඇරඹේ.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

ඔබේ ගර්භණී සමයේ තෙවෙනි ත්‍රෛමාසිකයේ තමයි ඔබ මේ ඉන්නේ. ඒ කාලයේදී ගර්භණී තත්ත්වයන් සමග මතුවන විවිධ තත්ත්වයන් දැකගත හැකියි. එනම්, කොන්දේ හා උකුලේ වේදනාව මෙන්ම කකුලේ, වළලුකරෙහි ඉදිමීම දක්නට ලැඛෙනවා.

මේ කාලය තුළ පියයුරුවලින් කිරි පිටවීම සාමාන්‍ය තත්ත්වයකි. දරු ප්‍රසූතියට සතියකට පමණ පෙර කොලස්ට්‍රම් ඔබේ පියයුරුවලින් පිටවීමට පුළුවන. මෙලෙස සිදු වන්නේ ඔබේ කිරි කැටියාගේ බඩ පිරවීමට සැකසෙන මව් කිරි නිෂ්පාදයේ මූලික අවස්ථාව වන අතර මේ සම්බන්ධයෙන් බිය විය යුතු නැත.

මේ කාලයේදී නිදාගැනීමට පහසු ඉරියව්වක් සොයා ගැනීමට ඔබට අපහසුය. පැත්තට, ඇලයට මේ කිසි ආකාරයේ ඉරියව්වකට නිදාගැනීම ඔබට පහසු නොවනු ඇත. එමෙන්ම රාත්‍රියේදී නිරන්තරයෙන් මුත්‍රා පිට කිරීමට සිදුවේ. ඔබ දකින හීන වඩා තීව්‍ර අමතක නොවන ඒවා වේ. ශරීරය සැහැල්ලූ කිරීම හා හුස්ම ගැනීම පහසු කිරීම සඳහා ව්‍යායාම කිරීම මගින් මෙම නින්දේදී ඇතිවෙන අපහසුතාවයන් වළක්වා ගත හැකිවනු ඇත. එමෙන්ම ඉතා සෞම්‍ය සංගීතයට සවන්දීම, හොඳ පොත් කියවීම ඔබගේ මනස සැහැල්ලූ කරගැනීමට උපකාර වේ. මෙවැනි ක්‍රම අනුගමනය කිරීම මගිනුත් ඔබට සුව නින්දක් ලද නොහැකි නම්, දිවා කාලයේ හෝ කෙටි නින්දක් කිහිප විටකදී හෝ ලබාගැනීමට උත්සහ කරන්න.

ගැබිනි සමයේ 30 වන සතිය වන විට ඔබේ පාද හා වළලූකර ඉදිමීම නිසා ගර්භණී වීමට පෙර තිබූ පාද වල ප්‍රමාණයට වඩා ඔබේ පාද විශාල වී පවතී. සමහර විට ඔබ පෙර පැළදි සපත්තුවේ ප්‍රමාණය ද වෙනස් කිරීමට සිදුවනු ඇත. සමහර කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසුව වුවද මෙම පාදවල වෙනස්වීම් සිදුවිය හැක. ගර්භණී අවධියේ සිදුවන හෝමෝනවල වෙනස්වීම් මත සන්ධි ලිහිල් වීම සිදුවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වඩා පුළුල් හා තරමක් දිගු පාද ඇති වීමට ඉඩකඩ පවතී.

සති 30 වන විට ඔබගේ බර රාත්තල් 23-24 පමණ ප්‍රමාණයකට වැඩිවිය හැක. ගර්භණී සමයේ තෙවන ත්‍රෛමාසිකයේදී ඔබේ නාභිය තරමක් විශාල වන අතර ඔබට තරමක් අපහසුතා ඇති වේ. නමුත් මවක වීමට සිහින දකින බැවින් මෙම අපහසුතා පිළිබඳ කණගාටු නොවේ. ඔබ මේ කාලයේදී නිරන්තරයෙන් ඔබේ කිරි කැටියා පිළිබඳ ස්මරණය කරමින් එය විඳිමින් සිටින අතර එය ඔබේ මානසික තත්ත්වය වෙනස් කරන්නට රුකුලක් වේ. නිතරම සතුටින් සිටිමින් දරු ප්‍රසූතිය සඳහා සූදානම් වීම යහපත් දරුවෙකු බිහි කිරීමට රුකුලක් වේ.

අම්මෙක් වෙන්න යන ඔබ නිර්මාංශ නම් ඔබ දත යුතු  ” නිර්මාංශ ගැබිනි මවගේ පෝෂණය ”

තෙවන ත්‍රෛමාසිකයේ ආරම්භයේ සිටින ඔබේ, බිළිඳාගේ වර්ධනය වඩාත් සීග්‍ර ලෙස සිදුවෙන අතරම මේ කාලය තුළදී පෝෂකාංගවල අවශ්‍යතාව වැඩි වශයෙන් දැනෙනවා. ඒ නිසාම මව නිසි පෝෂණයෙන් සපිරි ආහාර ලබාගැනිම ඉතාම වැදගත්. ප්‍රෝටීන, විටමින් සී, ෆෝලික් අම්ල විටමිනය වගේම යකඩ පමණක් නොවේ කැල්සියම් අවශ්‍යතාවයද ඉතා ඉහළයි. සාමාන්‍යයෙන් මේ කාලය වන විට කලලයේ අස්ථී පද්ධතිය තුළ මිලිග්‍රෑම් 250 පමණ ප්‍රමාණයක් තැම්පත් වන බව පැවසෙනවා. අන්න ඒ නිසාම සෞඛ්‍ය සම්පන්න පෝෂණීය ආහාර වේලක් ගැබිනි මවකට අත්‍යවශ්‍යයි. තෙවන ත්‍රෛමාසිකය තුළ මේ පිළිබඳව ඔබ වැඩි වශයෙන් කල්පනාකාරී විය යුතුය. නිර්මාංශ මවක් වන ඔබ, ප්‍රෝටීන්, යකඩ කැල්සියම් අවශ්‍යතාවය සපුරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

නිර්මාංශී මව්වරුන් සඳහා යකඩ ලබාගත හැකි වෙනත් ආහාර ධාන්‍ය වර්ග, තද කොළ පැහැති එළවළු, හො`දින් පිසගත් බිත්තර (ඇතැම් නිර්මාංශ මව්වරුන් බිත්තර ආහාරයට ගන්නා බැවිනි), පරලූ පාන්, නිවිති, මුරුංගා වැනි කොළ වර්ග මෙන්ම ඔබට සායන මගින් ලබා දෙන යකඩ පෙති නිසි ලෙස ලබාගන්න. යකඩ සිරුරට හොඳින් අවශෝෂණය සඳහා විටමින් සී වැදගත් නිසා සෑම ආහාරවේලකටම විටමින් සී අඩංගු දේත් එක් කරගන්න.

මස් හා මාළුවල ඛෙහෙවින් අඩංගු වන විටමින් ඊ12 අඩංගු වුවද නිර්මාංශ මව්වරුන්ගේ ආහාරවේලට විටමින් ඊ12 එක්කර ගැනීම සඳහා වෙනත් මාර්ගයන් අවශ්‍ය වේ. කිරි හා චීස්, හොඳින් පිසගත් බිත්තර, පෝෂක එක් කළ උදෑසන ධාන්‍ය වර්ග, පෝෂක එක් කළ සෝයා බීම, මාමයිට් වැනි යීස්ට් සාරය වැනි දේ මෙන්ම මෙම ආහාරවලට අමතරව විටමින් ඊ12 අතිරේකයක් ලබා ගැනීමද අවශ්‍ය වේ.

නිර්මාංශ ගැබිනි මව්වරුන්ට ප්‍රමාණවත් ලෙස විටමින් D නොලැබී යාමේ අවදානමක් ද ඇති විය හැකිය. ඔබේ ආහාරයට විටමින් D එක්කරගන්න. මස්, මාළු හා බිත්තරවල බහුලව අඩංගු විටමින් D ඔබේ සිරුරට නොලැඛෙන නමුත් සම උදෑසන හිරු එළියට නිරාවරණය කිරීමෙන් ඔබේ සිරුරට විටමින් D නිපදවීමේ හැකියාව තිඛෙනවා. විටමින් D මවට මෙන්ම දරුවාට ද ඉතා වැදගත් වන නිසා, තම ආහාරවේල පිළිබඳ සැලකිල්ලක් නොදක්වන ගැබිනි මව්වරුන් සඳහා විටමින් D අතිරේකයක් ලෙස ලබාගත යුතු බවට වෛද්‍යවරු උපදෙස් දෙනවා. එමෙන්ම නිර්මාංශ මව්වරුන් විටමින් D අඩංගු අමතර ආහාර ලබා ගැනීමේදී ඊට අදාල ලේබලය හොඳින් කියවා එය සත්ත්ව සාර අඩංගු නිෂ්පාදනයක් නොවන බවට තහවුරු කරගැනීමට ද සිහිතබාගන්න.

නිර්මාංශ ගැබිනි මවගේ අහාරවේලට කැල්සියම් එක්කර ගැනීමට කිරි ආහාර ලබා ගැනීම මගින් හැකියාව ලැඛෙනවා.

කැල්සියම් අඩංගු ආහාර :
  • පෝෂක එක්කළ සෝයා, බත් සහ ඕට් පානය
  • කැල්සියම් සෙට් ටොෆු – මෙය කැල්සියම් ෂල්ෆේට්, පෝෂක එක් කළ සෝයා කිරි සහ දොඩම් යුෂ හෝ වෙනත් ඕනෑම එළවළු වර්ගයක් එක් කර සාදාගන්නා කැල්සියම් සපිරි ආහාරයකි
  • තල ඇට සහ තල ඇට අඹරා සදාගන්නා තැවරුමක්
  • මාංෂ භෝග (ධාන්‍ය වර්ග)
  • දුඹුරු පාන් හා සුදු පාන්
  • වියළි පළතුරු
  • තද කොළ පැහැ එළවළු

මෙම ආහාරයන්ට අමතරව ඔබේ වෛද්‍යවරයා ගෙන් හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් උපදෙස් ලබා ගැනීමත් වැදගත් වනවා.

ගර්භණී සමයේ නුසුදුසු ආහාර ලෙස විවිධ චීස් වර්ග දැක්විය හැකිය. ලිස්ටීරියා අඩංගු චීස් වර්ග කිසිවක් ගැබිනි මව්වරුන්ට සුදුසු නොවේ. ලිස්ටීරියා මගින් ගබ්සා වීම් හෝ මළ දරු උපත් ඇති විය හැකි අතර අලුත උපන් දරුවාට ද බරපතල රෝගාබාධ ඇති විය හැකියි. එසේම එළවළු තැවරුම් වර්ගවලද ඇතැම්විට ලිස්ටීරියා අඩංගු වීමට ඉඩ ඇති බැවින් ඒවා ගැනීමට පෙර පරීක‍ෂාකාරීවන්න. එසේම සමහර එළවළු තැවරුම්වල බිත්තර අඩංගු විය හැකි අතර, මේ මගින් ක‍ෂුද්‍රජීවී ආසාධනයක් ඇතිවීමේ අවදානමක් ද පවතී.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ විසිනවවන සතිය

29th week
දැන් චූටියා වැඩ කරන්නේ කාලසටහනකට

ඔන්න අම්මට දැන් පුළුවන් හොඳින් විමසිලිමත්ව චූටියා කුස තුළ ඉඳගෙන මොනවද කරන්නේ කියලා බලන්න. මේ වන විට එයාට හුරුපුරුදු වූ නිදා ගැනීමේත් නැඟිටීමේත් කාල චක්‍රයක් තියෙනවා. චූටියාගේ චලනයන් සිදු වන වේලාවන් එය සිදුවන ආකාරය පිළිබඳව අම්මට දැන් දැනෙනවා. චූටියා රාත්‍රි කාලය හෝ දිවා කාලය හෝ වෙන රටාව අම්මා හඳුනාගත යුතු වෙනවා. යම් අවස්ථාවක චූටියාගේ චලනයන්ගේ අඩුවක් දැනුනොත් නිසි වෛද්‍ය උපදසේ වලට යොමු වෙන්න ඕනේ බව අම්මා මතක තියාගන්න..

ගැබිනි සමයේ විසිනවවන සතිය

මේ වන විට සිරුරේ වැඩි කොටසක් හොඳින් වර්ධනය වී ඇති ඔබේ බිළිඳාගේ බර කිලෝ එකකුත් ග්‍රෑම් 153ක් පමණ වෙනවා. ඒ වගේම හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර් 38.6 පමණ ඇති. මේ වන විටත් බිළිඳාගේ පෙනහලූ වගේම මාංශපේශීන් වර්ධනය වෙමින් පවතිනවා. ඒ වගේම සිරුරට සමානුපාතිකව හිස ප්‍රමාණයෙන් විශාල වෙමින් පවතිනවා. බිහිවූ විගස හුස්ම ගැනීම සඳහා පෙනහලූ මේ වන විට සැකසෙමින් පවතී. තවදුරටත් අස්ථී සවිමත් වෙමනි පවතිනවා. ඒ වගේම අක‍ෂි කුහරය තතුළ ඇස චලනය වනවා. ඇටමිදුලූ තුළ රතු රුධිර සෛල නිපදවෙන අතරම සිරුර තුළ මේදය රැස්කරගැනීම මේ වන විටත් සිදු වෙනවා. එමගින් බිළිදාගේ ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා ශක්තිය ලබාදෙනවා.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

පෙර සඳහන් කළ පරිදිම ඔබට යම් යම් අපහසුතා මේ වන විටත් දැනෙනවා ඇති. ඒ අතරින් කෙණ්ඩා පෙරලීම, නිතර නිරත මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය දැනීම, සුව නින්දක් නොලැබීම, නාසයේ තදබදය ඒ අතරින් කිහිපයක්. මේ අපහසුතා යම්තාක් දුරකට හෝ අවම කරගැනීමට ඔබට යම් යම් උපදෙස් පසුගිය ලිපි හරහා අප ලබාදුන්නා.

ගැබිනි මවකට මුහුණ දීමට සිදුවන අපහසුතා අතරින් තවත් එක් දෙයක් වන්නේ මලබද්ධයයි. හොඳින් ජලය පානය කොට, පළතුරු වර්ග, පළා වර්ග ආහාරයට ගැනීම මගින් ඇතැම් මව්වරුන්ට මේ තත්ත්වය වළක්වා ගත හැකි වුවද ඇතැම් මව්වරුන් තදබල ලෙස මේ ගැටලූව හමුවේ පීඩාවට පත්වනවා. මෙහිදී ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් වැදගත් වනවා.

ගැබිනි සමයේ තෙවන ත්‍රෛමාසිකය වන විට සාමාන්‍යයෙන් මවගේ බර රාත්තල් 23ක් පමණ දක්වා ඉහළ යයි. නමුත් පෙර කිහිපවිටක්ම සඳහන් කළ පරිදි ඔබේ බර BMI දර්ෂකයට අනුව නිවැරදි මට්ටමේ පවතී නම් ඒ පිළිබඳව කණස්සල් වීම කිසිසේත්ම අවශ්‍ය නොවේ. ඔබේ බර තත්ත්වය අඩු හෝ වැඩි වී ගැටලූකාරී තත්ත්වයක් උද්ගතව පවති නම් වෛද්‍යවරයා ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන අතරම අවශ්‍ය පිළියම්ද යොදනු ලබයි.

අම්මෙක් වෙන්න යන ඔබ දැන සිටය යුතු ”නොමේරූ දරු උපත”

ගැබිනි සමයේ 37 වන සතියට පෙර ළදරුවා බිහිවීම නොමේරූ දරු උපතක් වශයෙන් හැඳින්වේ. නොමේරූ දරු උපත ස්වභාවිකවම සිදු විය හැකි අතර ඇතැම් විට මවගේ හෝ කලලයේ ඇති යම් යම් සංකූලතාවයන් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත සති 37 පෙර දරුවා බිහිකිරීම සිකළ යුතු වන අවස්ථා ඇත.

ලංකාවේ ඇති පහසුකම් අනුව සති 26ට පෙර බිහිවන දරුවන් ජීවත් කරවීමට ඇති හැකියාව අවම වන අතර එම නිසා සති 26ට පෙර ළදරුවෙකු බිහිවීම ගබ්සාවක් ලෙස හැඳින්වේ. නමුත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම අද වන විට සති 26න් පසු බිහිවන ළදරුවන් වැඩි දෙනෙකු ජීවත් කරවීමට හැකියාව අප සතුය. එසේම වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම මේ සඳහා අවශ්‍ය පහසුකම් තව තවත් සැලසෙන අතරම අද වන විට ඇමරිකාව වැනි දියුණු රටවල සති 22 දී උපත ලබන දරුවන් පවා ජීවත් කරවීමේ පහසුකම් සහිතය. කෙසේ වුවද සති 37 ට පෙර උපදින එනම් නොමේරූ ළදරුවන්ගේ සංකූලතා ඇති වීම ඉහළ වන අතරම සති 30 ට පෙර උපදින ළදරුවන්ගේ දැකිය හැකි සංකූලතාවයන් ඊටත් වඩා වැඩිය.

නොමේරූ ළදරුවන් බිහිවීමට හේතු :

මේ හා සම්බන්ධව නිෂ්චිත හේතුවක් ඉදිරිපත් කළ නොහැකි අතරම පහත සඳහන් හේතු මත මේ තත්ත්වය ඇති වේය යන්න විශ්වාස කෙරේ. එනම්,

  • ගැබ් ගෙලෙහි/ගර්භාෂයේ අසාමාන්‍යතා
  • ගර්භාෂයට විෂබීජ ඇතුළු වීම (උල්බ කෝෂයට හානිවීම හේතුවෙන්)
  • බහුභ්‍රෑණ තත්ත්වයන්
  • හදිසි අනතුරු හේතුවෙන්
  • මීට පෙර ප්‍රසූති අවස්ථාවන්හිදී නොමේරූ ළදරුවන් බිහිකර තිබීම (මෙවැනි මව්වරුන් අවදානම් මව්වරුන් ලෙස සැළකේ.)

මේ තත්ත්වය ඇති වේයැයි කල් තියා නිගමනයකට ආ නොහැකි වන අතරම පෙර ප්‍රසූති තත්ත්වයකදී නොමේරූ ළදරුවන් බිහිකළ මව්වරුන්ට මේ තත්ත්වය ඇති වීමේ අවධානමක් පවතී. සාමාන්‍ය තත්ත්වයේ සිටන මවකට වුවද මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවිය හැකි වුවත් එය කල්තියා නිගමනය කිරීම අපහසුය.

නොමේරූ ළදරුවන් බිහිවීමේ තත්ත්වය අවම ගැනීමට නම් පෙර ප්‍රසූති අවස්ථාවන්හිදී නොමේරූ ළදරුවන් බිහි කළ මවක් පූර්ව ගර්භණී සායන සඳහා සහභාගී විය යුතු අතරම වෛද්‍යවරයාට සියලූ තොරතුරු සැපයිය යුතුය. එසේම ළදරුවාගේ මරණ පරීක‍ෂණයක් සහ වැදැමහ පරීක‍ෂණ වෙත යොමු කර වාර්තා ලබාගැනීම ඉතා වැදගත් වන්නේ ඊලඟ ප්‍රසූතියේදී ඇති විය හැකි මෙවැනි සංකූලතා අවම කරගැනීමට යම් සහයක් ලැඛෙන බැවිනි.

නොමේරූ ළදරුවන් බිහිවීම වලක්වා ගැනීමට :

  • සති 14 සිට දින දහයක් දක්වා ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම
  • මුත්‍රා පරීක‍ෂණ වෙත යොමු වීම
  • ගැබ්ගෙලට මැස්මක් යෙදීම (cervix cerclage)
    – පෙර ප්‍රසූති තත්ත්වයන්හිදී දෙතුන් වරක් නොමේරූ දරුවන් බිහිකළ මව්වරුන්ට
    – පළමු ප්‍රසුතියේදී මේ තත්ත්වය ඇති වූයේ නම් ගැබ්ගෙලේ දිග මැන එය අඩුවෙන තත්ත්වයක් ඇති මව්වරුන්ට
  • සති 34 දක්වා ප්‍රොජෙස්ටරන් හෝමෝනය ලබාදීම
  • පෙර ප්‍රසූති අවස්ථාවලදී ඇති වූ තත්ත්වයන් සළකා බලා සති 16 පෙර ඇස්ප්‍රින් ඖෂධය ලබාදීම. (ඇස්ප්‍රින් භාවිතය පිළිබඳව පෙර ලිපි හරහා දැනුවත් කර ඇත.)
ගැබ්ගෙලට මැස්මක් යෙදීම (cervix cerclage)

ඉහත තත්ත්වයේ අවදානම ඇති මව්වරුන්ට ගැබිනි සමයේ සති 14ත් 20ත් අතර කාලයේදී ගැබ්ගෙලග මැස්මක් යෙදීම සිදු කරයි. ඒ කොන්දෙන් පහළ කොටස නිර්වින්දනය කිරීමෙන් අනතුරුවයි. මෙම ක්‍රියාවේදී දරු ගැබ ගබ්සා වීමට ඇති හැකියාව 1% ප්‍රතිශතයකි. නමුත් ගැබ් ගෙලට මැස්මක් යෙදීම සිදු කළ යුතු අවස්ථාවේ සිදු නොකළහොත් නොමේරූ දරු උපතක අවදානම වැඩි විය හැකිය.

ගැබ්ගෙලට මැස්මක් යෙදීමෙන් අනතුරුව : 
  • මවට ප්‍රතිජීවක ඖෂධ හා ප්‍රොජෙස්ටරොන් ලබාදේ
  • මව්වරුන් අවම වශයෙන් එක් දිනක් හෝ රෝහලේ රඳවා ගනී
  • සති 36දී යෙදූ මැස්ම ඉවත් කෙරේ

නොමේරූ දරුවන් බිහිවීමේ අවධානම මත ගැබ්ගෙලට මැස්ම යෙදූ මවකට ප්‍රසූත වේදනා ඇති වුවහොත් හැකි ඉක්මණින් රෝහල වෙත පැමිණීමට වගබලාගත යුතුය. මන්ද ගැබ්ගෙලට මැස්මක් යොදා තිබියදී දරුවා පිටතට පැමිණුනහොත් ප්‍රසූති මාර්ගය දරුණු ලෙස ඉරී යාමට ලක්විය හැකි බැවිනි.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ විසිඅටවන සතිය

28th week
ඔන්න දැන් චූටියා ඇසි පිය ගහන්න පටන් අරගෙන

අම්මාගේ චූටියා දැන් එයාගේ ඇස් දෙක ඇරලා. පුංචි ඇහි පිය නටවන්න එයා දැන් දන්නවා. අම්මට ඉවසිල්ලක් නෑ නේද? කාලය ඉක්මණින්ම ගෙවිලා යාවි. චූටියා අම්මාගේ තුරුලට එන දවස ඉක්මණින්ම ළඟා වේ. ඇත්තටම කිව්වොත් අම්මට තව බලාගෙන ඉන්න වෙන්නේ සති කීපයයි. මොකද අම්මගේ දෙවන ත්‍රෛමාසිකයත් අවසන්. චූටියාගේ අවශ්‍යතා වගේම අම්මට අවශ්‍ය දේවල් ටිකෙන් ටික සූදානම් කරගනිද්දී ඒ කාලය ගෙවිලා යනවා අම්මට දැනෙන එකක්වත් නැහැ.

ගැබිනි සමයේ විසිඅටවන සතිය

සීග්‍රයෙන් වර්ධනය වන බිළිඳාගේ පුංචි ඇස් පිය ගසන්නට දැන් හැකියි. පෙනීම මේ වන විට තව තවත් වර්ධනය වී ඇති අතරම මවගේ උදරය හරහා පැමිණෙන ආලෝකය දැකගන්න බිළිඳාට හැකියි. ඒ වගේම කුඩා මොළයේ බිලියන ගණනින් නියුරෝන සැකසෙන අතරම උපතින් පසු බාහිර ලෝකයට හුරුවීම සඳහා අවශ්‍ය මේද එක්රැස්කිරීම මේ වන විටත් සුද්කරයි. බිළිඳාගේ බර දැන් ග්‍රෑම් 1005ක් පමණ වේ. හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර 37.5ක් පමණ වේ.

බිළිඳාට ඉක්කා ඇති වන ආකාරය මවට දැනෙන අතරම ඒ තත්ත්වය අවිධිමත් ප්‍රාචීරයේ සංකෝචනයන් හේතුවෙන් සිදුවේ. ඇතැම් බිළිදුන්ගේ දිනකට කිහිපවිටක්ම ඉක්කා ඇති වීම දැනිය හැකි වුවද ඇතම් බිළිඳුන් එසේ නොවේ. එසේම මේ වන විට බිළිඳා නින්ද සහ අවධි වීම ක්‍රමානුකූල රටාවකට සිදුකරයි. බිළිදාගේ හිස තව දුරටත් වර්ධනය වන අතරම පෙනහලු වාතය සමග හුස්ම ගැනීමට හැකි පරිදි සැකසී ඇත.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

මේ ඔබේ දෙවන ත්‍රෛමාසිකයේ අවසාන සතියයි. මේ වන විට හුස්ම ගැනීමට යම් අපහසුතාවයක් ඔබට දැනෙනු ඇත. එනම් කෙටි හුස්මයි. මේ තත්ත්වය ගර්භාෂය විශාල වීමත් සමගම මහා ප්‍රාචීරය වෙත ඇති වන පීඩනය වැඩි වීමත් සමගම ඔබට ඇති වන තත්ත්වයකි. එය ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි.

මේ වන විට දරුවාගේ චලන වාර පිළිබඳ යම් අවබෝධයක්/ මතකයක් තබාගැනීම ඉතා වැදගත් වේ. මන්ද යම් හෙයකින් ඔබට දරුවාගේ චලන වාර ගණන පිළිඳව සැකයක් මතු වුවහොත් ඒ පිළිබඳ වෛද්‍යවරයාට පැවසීමේදී පෙර චලනයන් පිළිබඳව අවබෝධයක් තිබීම ගැටලලුව නිරාකරණය කරගැනීමට සහය වනු ඇත.

මේ වන විට මවගේ බර වැඩිවීම රාත්තල් 20ත් 21ත් අතර ප්‍රමාණයක් විය හැකියි. මේ තත්ත්වය මත සිරුරේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වීම නිසා ඔබේ කොන්දේ වේදනාව මින් ඉදරියටත් පවතිු ඇත.

ගැබිනි සමයේ  තෙවන ත්‍රෛමාසිකය ගත කරන ඔබට ”මාතෘ සායන හරහා ඉටු වන සේවාව”

ශ්‍රී ලංකාව තුළ ගැබිනි සමයේ තෙවන ත්‍රෛමාසිකය ලෙස ගැනේනේ සති 28 සිට 42 දක්වා කාලයයි. ගැබිනි මවකට රජයේ සායන හා රෝහල් මගින් මෙන්ම පෞද්ගලික අංශයේ රෝහල් හා සායන මගින් ද සේවාවන් රැසක් ඉටුකරයි. සෑම ගැබිනි මවක්ම නියමිත දිනයට සායනය සඳහා සහභාගී වීම අනිවාර්ය වන්නේ මවගේ මෙන්න කුස තුළ වැඩෙන දරුවාගේද යහපත වෙනුවෙන්මය.

එමෙන්ම දරුවාගේ චලනය අඩුවීම හෝ වෙනයම් හදිසි තත්ත්වයක් මතු වුවහොත් වහාම රෝහල වෙත පැමිණීමට මව්වරුන් වගබලාගත යුතුය. මන්ද මේ කාලය තුළදී යම් හේතුවක් මත දරුවාගේ ප්‍රසූතිය සිදුවුවහොත් දරුවා ජීවත් කළ හැකි සම්භාවිතාව 90%ටත් වැඩි බැවිනි.

මෙතැන් පටන් පහත දැක්වෙන කරුණු පිළිබඳව ගැබිනි සමයේ තෙවන ත්‍රෛමාසිකය ගතකරන මව්වරුන්ගේ පූර්ණ අවධානය යොමු කළ යුතුය. එසේම නිවැරදිව සායන සහ පරීක‍ෂණවලට සහභාගී වී අවශ්‍ය ඖෂධ සහ නිසි වෛද්‍ය උපදෙස් කරා යොමුවිය යුතුය.

ගැබිනි සමයේ සති 28වන විට සෑම මවක්ම පහත කරුණු සිදුවී ඇත්දැයි සැලකිලිමත් විය යුතු අතරම එසේ නොමැති නම් වෛද්‍යවරයා සමග ඒ පිළිබඳව සාකච්ඡා කරන්න.

  • ගැබිනි සමයේ සති 28දී රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය හා රුධිර ඝනය පරීක‍ෂා කිරීම
  • පෙර සිදු කළ OGT පරීක‍ෂණය ප්‍රතිඵලය ඍණ වූ මව්වරුන් නැවතත් සති 28දී එම පරීක‍ෂණයට මුහුණ දිය යුතුය.
  • Rh ඍණ මව්වරුන් ඇන්ටි බොඩි පරීක‍ෂණය සඳහා යොමුවිය යුතු අතරම අවශ්‍යතාවය මත ඇන්ටි ඩී (Anty D) ඖෂධය ලබාදීම
  • යම් යම් සංකූලතා පවතින අවදානම් මව්වරුන්ට තෙවන ත්‍රෛමාසිකයේ ආරම්භයේ සිට කලල වර්ධනය හා රුධිර ගමනා ගමනය පිළිබඳව මැන බැලීම සඳහා අවශ්‍ය ස්කෑන් පරීක‍ෂණ ඇරඹීම
  • සෞඛ්‍ය සේවා නිළධාරී කාර්යාලය මගින් මෙතැන් සිට සති 36 දක්වා සති දෙකකට වරක් මව්වරුන් පරීක‍ෂාවට ලක්කෙරෙන අතරම එතැන් සිට සතියකට වරක් (මෙසේ පරීක‍ෂා කිරීම මවගේ තත්ත්වය අනුව වෙනස් වේ) පරීක‍ෂා කිරීම සිදු කෙරේ.

රජයේ සායන හා රෝහල් හරහා ගැබිනි සමය පුරාම අත්‍යවශ්‍ය වෛද්‍ය සේවාවන් නොමිලේම ලබාදෙන අතරම තෙවන ත්‍රෛමාසිකය තුළදී ගැබිනි මවට සැලසෙන තවත් සේවාවන් මෙසේය.

රජයේ රෝහල් මගින් පැවැත්වෙන පූර්ව ප්‍රසව උපදේශන පන්ති හරහා තෙවන ත්‍රෛමාසිය ගත කරන මව්වරුන් පහත කරුණු පිළිබඳව දැනුවත් කරයි. මේ සඳහා මව සහ පියා දෙදෙනාම සහභාගී කරවා ගනී.

  • රෝහල් ගතවීමේදී අවශ්‍ය දේ
  • ළදරු ඇඳුම් පිළිබදව
  • ප්‍රසවයේ ලක‍ෂණ
  • දරුවා ලැඛෙන ක්‍රමය පිළිබඳව
  • මව්කිරි දීම පිළිබඳව
  • දරුවා නෑවිම පිළිබඳව
  • ප්‍රසවයෙන් පසු ඇතිවන පසු ප්‍රසව සංකූලතා පිළිබඳව
  • පවුල් සංවිධාන ක්‍රම පිළිබඳ
  • දරුවා සහ මවගේ පෝෂණය පිළිබඳව
  • පූර්ව ළමා විය සංවර්ධනය පිළිබඳ ඇතුළු ඉතා වැදගත් කරුණු

තෙවන ත්‍රෛමාසිකයේදීද නොමිලේ යකඩ, කැල්සියම්, විටමින් සී සහ පණු ඛෙහෙත් මෙන්ම ගැබිනි මවගේ පෝෂණය උදෙසා ත්‍රිපෝෂ ලබාදීම ද සායනය හරහා සිදු කෙරේ. නමුත් දියවැඩියාව තත්ත්වයෙන් පෙලෙන මව්වරුන් ත්‍රිපෝෂ ආහාරයට ගැනීම කිසිසේත්ම සුදුසු නොවන බව තරයේ සිහිතබාගත යුතුය.

මාතෘ සායන හරහා මවක් සෑම මසකම පරීක‍ෂාවට ලක් කෙරේ. ගැබිනි සමයේ අවසානය ලංවෙන විට මසකට දෙවරක්ද ප්‍රසූතියට දින ආසන්නයේදී සතියට වරක්ද වශයෙන් මව්වරුන් පරීක‍ෂාවට ලක්කෙරේ. එහිදී සෑම සායනයකදීම කලලයේ වර්ධනය මැන බැලීම, මුත්‍රාවල ප්‍රෝටීන්, රුධිර පීඩනය පරීක‍ෂාව සිදුකෙරේ.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ විසිහත්වන සතිය

Week-27
චූටියාට අවශ්‍ය දේවල් ලැයිස්තුවක් හැදුවොත් අම්මට ලේසියි

අම්මා දැන් ටිකෙන් ටික චූටියා ගෙදරට එක්කන් එන්න ලෑස්ති වෙන්න ඕනේ. එයාගේ කාමරේ හිමින් හිමින් ලස්සන කරන්න පටන්ගන්න. චූටියට වගේම අම්මට රෝහලට යද්දි ගෙනියන්න අවශ්‍ය බඩු ලැයිස්තුවක් ඉක්මණටම අම්මගෙ අතට ලැබේවි. ඒ දේවල්වලට කල් තියා සූදානම් වෙන එක බොහොම හොඳයි. අම්මට කොයි මොහොතේ රෝහලට යන්න වෙයිද කියලා අපි දන්නේ නෑනේ. අනික තෙවන ත්‍රෛමාසිකයේ අම්මට අපහසුතා වැඩිපුර දැනෙන්න ගත්තොත් මේ දේවල් හිතේ හැටියට කරගන්න අමාරු වෙයි. කොයිදේටත් පෙරසූදානම බොහොම වටිනවනේ.

ගැබිනි සමයේ විසිහත්වන සතිය

ග්‍රෑම් 875ක බරකින් ද සෙන්ටිමීටර 36.6ක උසකින්ද යුතු බිළිඳා මේ වන විටත් තම කාල සටහනට අනුව මෙන් ක්‍රමාණුකූලව නිදාගැනීම, අවධිවීම සිදුකරයි. නිසි අවධානයෙන් පසුවුවහොත් ඒ පිළිබඳව යම් අවබෝධයක් ලැඛෙන නිසාම බිහිවීමෙන් පසුව දරුවාගේ දින චර්යාව මවට අලූත් නොවනු ඇත. ඒ අතරට ඇඟිලි ඉරීමත් එක් කාර්යයක් වශයෙන් අතුළත් වේ. සීග්‍ර ලෙස වර්ධනය වන මොළයේ පටක සංවර්ධනය වීමත් සමගම මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි වී ඇති අතරම පෙනහලූ තවමත් සංවර්ධනය වෙමින් පවතී. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ද තව තවත් වර්ධනය විය යුතුය. බිළිඳාට ඇති වන ඉක්කාව මේ වන විටත් විටින් විට මවට දැනෙනු ඇති. මේ වන විටත් උල්බ තරලයෙන් සුළු ප්‍රමාණයක් බිළිඳා උරාගන්නා අතරම එය මුත්‍රා ලෙස පිට කිරීම සිදුකරයි. මේ සිදුවීම පැය තුනකට වරක් සිදු වේ.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

දෙවන ත්‍රෛමාසිකයේ අවසාන සීමාවේ සිටින ඔබට පසුගිය ලිපි හරහා සාකච්ඡා කෙරුණු පරිදිම, කොණ්දේ වේදනාව, කෙණ්ඩා පෙරලීම, හුස්ම ගැනීමේ අපහසුතාවය (කෙටි හුස්ම ගැනීම), නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වීම වැනි, සුව පහසු නින්ද ලබාගත නොහැකි වීම, වෙහෙසකාරී බව, දෙපා ඉදිමුම වැනි අපහසුතා පවතී.

නිතර නිතර මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය මින් ඉදිරියටත් එනම් තෙවන ත්‍රෛමාසිකයේදීත් එසේම පවතී. දරුවාගේ සීග්‍ර වර්ධනයත් සමගම ප්‍රසාරණය වන ගර්භාෂය මුත්‍රාශය වෙත ලබාදෙන පීඩනය එන්න එන්නම වැඩි වීම නිසා මේ තත්ත්වය ඇති වේ.

එසේම වේදනාකාරීව ලෙස රාත්‍රියේදී ඔබව පීඩාවට පත්කරන කෙණ්ඩා පෙරලීම යම්තාක් දුරකකට අවම කරගන්නට මේ උපදෙස් ක්‍රියාත්මක කරබලන්න ඔබට හැකියි.

දහවල් කාලයේ වැඩි වේලාවක් සිටගෙන සිටීමෙන් වළකින්න, ඒ වගේම දෙපා කතිර ආකාරයෙන් තබා සිටීමෙන් වළකින්න.

කෙණ්ඩා ප්‍රදේශය ඇදීමට ලක් වෙන පරිදි ව්‍යායාමයක යෙදීම සඳහා සුදුසුකම් සහිත අයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

හදවතේ සිට පාද වෙත හොඳින් රුධිරය ගමන් කිරීමට වැම් ඇලයට දිගා වී සිටින්න.

හැකිතරම් දියර වර්ග සහ ජලය පානය කරන්න.

කෙණ්ඩා පෙරලීමක් සිදු වූ විට හොඳින් පාදය දිගහැර පා ඇඟිලි සිරුර දෙසට නවන්න. කෙණ්ඩා ප්‍රදේශය හොඳින් සම්බාහනය කරන්න.

අධික වේදනාවක් පවතින අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් නුවණට හුරුය.

මේ වන විට සාමාන්‍යයෙන් ගැබිනි මවකගේ බර රාත්තල් 19ක් 20ක් පමණ ප්‍රමාණයකින් වැඩි වී  තිබිය හැකිය. BMI අගය නිවැරදි මට්ටමේ පවතී නම් කිසි විටෙකත් අනෙක් බර තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් විය යුතු නැති අතරම ඕනෑම මවකට බරෙහි යම් ගැටලූවක් පවතී නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් වෛද්‍යවරයා ලබා දෙනු ඇත.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු  ”ගැබිනි මව රෝහල් ගත විය යුතු හදිසි අවස්ථා”

ගැබිනි සමයේ ඇති විය හැකි නොයෙකුත් හදිසි අවස්ථා පිළිබවඳ දැනුවත්ව සිටීම මගින් යම් අනතුරක් සිදුවීමට පෙර එය අවම කර ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසේ. ඔබ තරයේ සිහි තබා ගත යුතු අනෙක් කැරණ නම් පහත දක්වා ඇති සෑම හදිසි අවස්ථවකදීම රෝහල් ගතවන විට ආහාර ගැනිමෙන් තොරව පැමිණිිම, ප්‍රතිකාර සඳහා වැදගත් වන බවයි. පරීක‍ෂණවලින් පසුව ගැටලූවක් නොවේ නම් ඔබට ආහාර ලබාගැනීමට අවසර ලැබේ.

යෝනි මාර්ගයෙන් තරල පිටවීම – දරුවා සිටින්නේ තරලය පිරි කුටීරයකයි. මෙම පටල බිඳී යාමක් සිදුවුවහොත් එම තරලය පිටවීමක් සිදුවිය හැක. එවැනි අවස්ථාවකදී පෙකෙනි වැල වුවත් යෝනි මාර්ගයෙන් එලියට ඒමට හැක. හැකි ඉක්මණින් රෝහල්ගත යුතුය.

යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම – රුධිරය පිටවුවහොත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යය. වැදෑමහ පිහිටා ඇති ස්ථාන අනුව (placenta praevia) රුධිරය පිටවීම ආදිය ද සිදුවිය හැක. වැදමහ ගැලවීම (Abruption) මවටත් බිළිඳාටත් හානිදායක වන අතරම මේ තත්ත්වයන් හඳුනාගෙන, වළක්වාගැනීමට නම් මවක් සූදානමින් රෝහලට පැමිණීම ද වැදගත් වේ. ඒ සඳහා සනීපාරක‍ෂක තුවා ඇඳගෙන ඒම, යට ඇඳුම් ලා පාට ඇඳගෙන ඒමද වැදගත් වේ. රෝහලේ මව්වරුන් ඇතුළත් කරගැනීමේ කාමරයෙන්ම ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටද එය වැදගත් වේ.

දරුවාගේ දැඟලීම – සාමාන්‍යයෙන් දරුවාගේ දැඟලීම පිළිබඳ අතීතයේදී සැලකිලිමත් වූයේ දිනකට 10 වතාවක් දැනිය යුතු ලෙසයි. දරුවාගෙන් දරුවාට චලනයන් වෙනස් වන නිසා මේ පිළිබඳව දැන් අවධානය යොමු කරනුයේ සාමාන්‍යයෙන් දරුවාගේ චලනය දැනෙන වාර ගණනට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් දැනෙන වාර ගණන අඩු බවක් දැනෙන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි. ඇතැම් විට මව යම් කාර්යයක නිතර වී සිටීම නිසා දරුවාගේ චලනයන් පිළිබඳ අවාධනය නොමැතිව යාමෙන් බියට පත් විය හැකිය. එවැනි කාර්යබහුල දිනයක් නම් සියලූ වැඩ නවතා පැයක පමණ කාලයක් පරීක‍ෂාවෙන් හිඳින්න. එවිටද දරුවාගේ චලනයන් ඔබට නොදැනේ නම් වහාම වෛද්‍ය උපදෙස් වෙත යොමු වන්න.

ප්‍රසූත වේදනා දැණුන වහාම – ගර්භාෂය සංකෝචනය වන විට ඇතිවන වේදනාව ප්‍රසූත වේදනාවයි. මෙය සැරෙන් සැරේ යම් කාල පරතරයක් ඇතිව පැමිණේ. මුලදී ඈතින් ඈතද පසුව ළඟ ළඟ ද එක් රටාවකට අනුව සංකෝචනය ඇති වේ. ඒ අතරතුරේ ගැබ්ගෙල විවෘත වී දරුවා පිටතට පැමිණේ. එමෙන්ම කොන්දේ සිට යටි බඩ දක්වා වේදනාවක් ද ශ්ලේෂ්මල සහිත රුධිරය ස්වල්පයක් පිටවීම ද සිදුවිය හැක. මෙවැනි වේදනාවක් දැණුන වහාම රෝහල් ගතවීම වැදගත් වේ.

පලමු දරුවා සීසර් සැත්කමකින් බිහි කළ මව්වරුන් – සීසර් සැත්කම් දෙකක් හෝ වැඩි ගණනකට මුහුණ දුන් මව්වරුන් මෙන්ම සීසර් සැත්කමකින් දරුවා බිහිකිරීමට සැළසුම් කළ මව්වරුන් ද ප්‍රසූත වේදනාව යම්තම් දැණුන විගස රෝහල් ගතවීම අත්‍යවශ්‍යය. මන්ද යම් යම් සංකූලතාවයන් ඇති වීම වළක්වා ගැනීම උදෙසා මෙවැනි මව්වරුන් ප්‍රසූතියේ මුලසිටම නිතර නිතර නිරීක‍ෂණය කළ යුතු බැවිනි.

තද උණක් ඇතිවීම – ඩෙංගු, ඉන්ෆලූවන්සා වැනි තත්ත්ව ගර්භණී මවකට ඇති වුවහොත් සාමාන්‍ය කාන්තාවකට එම රෝග ඇතිවීමට වඩා තත්ත්වය භයානක විය හැක. එම නිසා යම් රෝග තත්ත්වයක් තිබේද යන්න සොයා බැලීමට, රුධිර පරීක‍ෂණ ආදිය කළ යුතුය. නැති නම් පවුලේ වෛද්‍යවරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගන්න.

ස්වසන අපහසුවක් දැනීම – හොඳින් සිටින මවකට එකවර ස්වසන අපහසුවක් දැනෙන්නේ නම් රෝහල් ගතවීම වැදගත් වේ. හෘද වස්තුවේ හටගන්නා රෝග තත්ත්වවලදී මෙසේ පෙන්නුම් කළ හැකි නිසා ඉක්මන් ප්‍රතිකාරවලට යොමු කිරීමට රෝහල්ගත වීම වැදගත් වේ.

රුධිර පීඩනය වැඩි වු විට – අධි රුධිර පීඩනය සහිත කාන්තාවක් ගැබ් ගැනීම සහ ගර්භණිභාවයේ සංකූලතාවයක් ලෙස අධි රුධිර  පීඩනය ඇති වීම යන ලෙස තත්ත්වයන් දෙකක් පවතී. මේ සඳහා මව්වරුන්ට වෛද්‍ය ප්‍රතිකාර දීමෙන් තත්ත්වය පාලනය කරන අතරම පවුලේ වෛද්‍යවරයෙකුගේ රුධිර  පීඩනය මැන බලා ගැනීමටද උපදෙස් දෙනු ලැබේ. එම අවස්ථාවලදී රුධිර පීඩනය වැඩි බව හඳුනාගෙන රෝහල් ගතවීමට උපදෙස් දුන් විට එම අවස්ථාවේදීම රෝහල් ගතවිය යුතුයි. එමෙන්ම රුධිර පීඩනය වැඩි යැයි හඳුනාගත් මවක් නිවසේ සිටින විට තද හිසරදයක්, ඇස් බොඳ වීම, කණාමැදිරි එළියක් සේ දැනේ නම්, වමනය, මුහුණේ ඉදිමීමක් ඇතිවේ නම්, උදරයේ දකුණු පැත්තේ වේදනාවක් දැනේ නම් ඉක්මණින් රෝහල් ගතවිය යුතුයි. ඊට අමතරව  ලක්ෂණවලින් පසුව ගර්භ වලිප්පුව (Fit) ඇති විය හැක. එය වළක්වා ගැනීම සඳහා ඉක්මන් ප්‍රතිකාර කිරීමට රෝහල් ගතවීම වැදගත් වේ.

දියවැඩියාව ඇති ගර්භණී මවකගේ රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි වූ විට – දියවැඩියාව ඇති මවකට ලබා දෙන රුධිර ග්ලූකෝස් මට්ටම පරීක‍ෂා කිරීමේ පරීක‍ෂණ නියමාකාරයෙන් සිදු කිරීම ඉතා වැදගත්ය. ඖෂධ ප්‍රතිකාර, ඉන්සියුලින් ප්‍රතිකාර නිවැරදිව ගත යුතුයි. රුධිර ග්ලූකෝස් මට්ටම පරීක‍ෂා කිරීමට කරන රුධිර පරීක‍ෂා කර ගැනීමෙන් පසු එම වාර්තා ඊළග සායනය එන තෙක් බලා නොසිට වහාම වෛද්‍ය නිලධාරිවරයෙකුට පෙන්වා උපදෙස් ගැනීම වැදගත් වේ. දියවැඩියාව තියෙන අම්මාලාට සිහි නැතිව ගියොත් ආහාර ගෙන පසුව පරීක‍ෂාවන් සිදුකරන්න.

ගර්භණී මවක් වැටීමක් හෝ යම් අනතුරක් සිදු වූ විට ඇයට සිදු වී ඇති තත්ත්වය අනුව රෝහල් ගත වීම තීරණය කළ යුතුය.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ විසිහයවන සතිය

Week-26
චූටියට නමකුත් ඕනේ නේද?

මේ දෙවන ත්‍රෛමාසිකයේ අම්මට පුළුවන් චූටියට ලස්සන නමක් ගැන හිතන්න. ඒත් එයා දුවෙක්ද පුතෙක්ද කියලා තාම දන්නෙ නැත්නම් මොකද කරන්නේ. එහෙමත් නැත්නම් අම්මාගෙයි තාත්තාගෙයි හිතේ පුතෙක් ලැබුණොත් අපි මේ නම දාමු, දුවෙක් ලැබුණොත් එයාට මේ නම දාමු කියලා අදහසක් ඇති නේද? ඉතිං දෙන්නා එක්ක ටිකක් ඒ ගැන සාකච්ඡා කරන්න. අමතක කරන්න එපා, ලබන සතියේ විතර චූටියටයි අම්මටයි ඕනේ බඩු මුට්ටු ගන්න යන්නත් තියෙනවා. තාත්තා නම් කලින්ම සූදානම් වෙලා ඉන්නේ බොහොම ආසාවෙන්.

ගැබිනි සමයේ විසිහයවන සතිය

බිළිඳාගේ දෑස් සම්පූර්ණයෙන්ම සැකසී ඇති අතරම ඇසෙහි කළු ඉංගිරියාව තවමත් සුදුමැලි බවන් යුක්තය. ඉදිරි මාස කිහිපය තුළදී වර්ණක සෑදීම සිදු වේ. ඒ වගේම බිළඳාගේ මුඛය සහ තොල් සංවේදී බවින් වැඩි වෙමින් පවතී. ස්නායු පද්ධතිය සංවර්ධනය වීම සිදුවේ. බිළිඳාගේ කන් තුළ ස්නායු ජාලය පෙරට වඩා හොඳින් සංවර්ධනය වී ඇති අතරම සංවේදී බවින්ද වැඩියි. ඒ නිසාම දැන් බිළිඳාට දෙදෙනෙකු අතර සිදුවන කතාබහකට සවන් දීමේ හැකියව ද කටහඬවල වෙනසද වටහා ගත හැකියි. පෙර සතියෙ සඳහන් කළ පරිදිම විවර වූ නාස් කුහර හරහා උල්බ තරලය උරාගනිමින් පිට කිරීම දිගින් දිගටම සිදු කරයි. එය බිළිඳාගේ පෙනහලූ සංවර්ධනයට උපකාරීවේ. එසේම එමගින් හුස්ම ගැනීම සහ පිටකිරීමේ ක්‍රියාවලියද දරුවාට හුරුවන අතරම උපතින් පසු ඒ කාර්යය බිළිඳාට වඩාත් පහසු කරවයි. සිරුරේ මේද තැම්පත් වීම මේ වන විටත් සිදුවෙමින් පවතී. මේ වන විට බිළිඳාගේ බර ග්‍රෑම් 760ක්ද හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර 35.6ක් පමණද වේ. ඔබට ලැඛෙන්නට ඉන්නේ පිරිමි දරුවෙකු නම් වෘෂණ, වෘෂණ කෝෂ කරා ගමන්කිරීම මේ වන විට ඇරඹෙන අතරම ඒ සඳහා මාස දෙක තුනක කාලයක් ගනවේ. මහපට ඇඟිල්ල මුව තුළ හොවා උරන බිළිඳාට දැන් තම දෑත් එක්කිරීමටද හැකියාවක් ඇත. එසේම බිළිඳා පා ඇඟිලි අල්ලමින් ක්‍රිඩාවේ යෙදේ.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

ඔබේ උදරය දකින නෑදෑ හිතවතුන් ඔයාට නම් ලැඛෙන්න ඉන්නේ දුවෙක් වගෙයි කියලා ඔබට කියනවා ඇත. එහෙමත් නැත්නම් පුතෙක් ලැඛෙයි කියනු ඇති. අත්දැකීම් අනුව උදරය ඉහළ වැඩී ඇතිනම් දුවෙක්, උදරය පහතට වැඩී ඇත්නම් පුතෙක් කියලා ඔවුන් හිතන නිසා. ඒ අදහස් බොහෝවිට වෙනස් විය හැකියි.

මේ සතිය වන විට ප්‍රසාරණය වන ඔබේ ගර්භාෂය හා දරුවා ඉතා වේගයෙන් සිරුරේ මේදය තැම්පත් වීමත් නිසා ඉල ඇටවල වේදනාවක් ඔබට දැනෙන්නට පටන් ගනී. ඒ වගේම දරුවාගේ වේගවත් චලනයන් සහ දරුවාගේ හිස මගින් ඉල ඇට ප්‍රදේශයට යම් තෙරපුමක් ලබාදෙන්නේ නම් එයද මේ තත්ත්වයට හේතු විය හැකිය. මේ තත්ත්වය ප්‍රසූතියෙන් පසු මග හැරී යන අතරම ඔබ, ඔබට පහසු ඉරියව්කින් සිටීම යම් තාක් දුරට සහනයක් විය හැකිය.

ඉල ඇටවල ඇති වේදනාවට අමතරව හිසේ වේදනාව ද පළමු ත්‍රෛමාසිකය තුළ මෙන්ම මේ වන විටත් ඔබට පීඩාවක් වී ඇති. ඒ වගේම ඔබ දරා සිටින අමතර බර ප්‍රමාණය හේතුවෙන් මස් පිඬුවල වේදනාවද මේ කාලය තුළ ඔබව අපහසුතාවයට පත් කරයි. හිසේ ඇතිවන වේදනාව යම්තාක් දුරට සමනය කරගැනීමට

  • උණුසුම් හෝ සිසිල් සම්පීඩනයක් භාවිත කරන්න
  • ඔබට ඇති ආතති තත්ත්වය පාලනය කරගන්න
  • හිසේ වේදනවා වැඩි විය හැකි ආහාර පානවලින් ඈත් වන්න
  • ඔබේ වෛද්‍යවරයා හමුවී සුදුසු ඖෂධ ප්‍රතිකාරයක් පිළිබඳව දැනුවත් වන්න

මේ වන විට ඔබේ බර සාමාන්‍යයෙන් රාත්තල් 19ක් දක්වා වැඩි වී තිබිය හැකිය.

අම්මෙක් වෙන්න යන ඔබේඅවධානය යොමු විය යුතු  ”ගැබිනි මවට අත්‍යවශ්‍ය පෝෂ්‍යපදාර්ථ”

ගැබිනි මවකට නිසි පෝෂණය අත්‍යවශ්‍ය බව මීට පෙරත් අපි සඳහන් කළා. විටමින් සහ ඛනිජ ලවණ වැඩි වශයෙන් සිරුරට අවශ්‍ය වන මේ කාලය තුළ ඒවා අවශ්‍ය ප්‍රමාණයට නොලැබී යාම හේතුවෙන් මවගේ මෙන්ම දරුවාගේද පැවැත්මට එය බලපෑ හැකියි. ගැබිනි සමයෙඅ අත්‍යවශ්‍ය පෝෂක පිළිබඳව දැනුවත් වීම වැදගත් වන්නේ එබැවිනි.

ෆෝලික් අම්ලය – ගැබ්ගැනීමට පෙර සිටම ලබාගන්නට උපදෙස් ලබාදෙන මෙම විටමින ලබා නොගැනීම නිසා කලලයේ ස්නායු පද්ධතියේ දෝෂ ඇති විය හැකියි. දරුවා පිළිසිඳ ගැනීමට පෙර සිට  සහ ගැබිනි සමය පුරාත් ලබා ගැනීම අනිවාර්ය වේ. එසේම සිරුරේ රුධිරය නිපදවීමටද ෆෝලික් අම්මලය වැදගත් වන අතරම එමගින් නීරක්තියද වැළකී යනු ඇත.

යකඩ – ගර්භණී සමයේදී මවගේත් දරුවාගේත් රුධිර වර්ධනයට මෙන්ම දරුවාගේ වර්ධනයට යකඩ වැදගත් වන අතරම ගැබිනි සමයේදී සති 12ක් පමණ වන විට යකඩ අවශ්‍යතාවය ඉහළ යයි. සෑම ආහාර වේලකටම යකඩ බහුල ආහාර ඉතා වැදගත් වන අතරම සත්ත්ව ආහාරවල අඩංගු යකඩ ඉතා ඉක්මණින් සිරුරට උරාගනී. ශාකමය ආහාර වල යකඩ අවශෝෂණය ද් ආහාරයට එක්කර ගැනීම තුළින් සිරුරට යකඩ අවශෝෂණය වීම වඩා හොඳින් සිදු වේ. එසේම ප්‍රසූතියෙන් පසුද මාස හයක් පමණ ගත වන තුරු යකඩ පෙති ලබාගත යුතුය.

කැල්සියම් –   ගර්භණී මවගේ කැල්සියම් අවශ්‍යතාවය ද ඉහළය. ඒ අස්ථිවල පැවැත්මට කැල්සියම් අත්‍යවශ්‍ය නිසාය. යම් හෙයකින් ගැබිනි මව ලබාගන්නා කැල්සියම් ප්‍රමාණය අවම වුවහොත් කලලයට අවශ්‍ය කැල්සියම් මවගේ අස්ථීවලින් උරා ගනී. ඒ නිසා කාලයක් ගතවීමේදී මවගේ අස්ථී දුර්වල තත්ත්වයට පත්වීමට ඉඩ ඇත. එසේම කැල්සියම් නිසි පරිදි ලබාගැනීම අධිරුධිර පීඩන අවදානමෙන් ඔබව මුදවයි. කැල්සියම් බහුල ආහාර ඔබේ ආහාර වේලට එක්කරගන්න.

විටමින් C  –  සිරුරට හොඳින් යකඩ අවශෝෂණය කරගැනිමට විටමින් සී අත්‍යවශ්‍ය වන අතරම ඔබේ බිළිඳා තුළ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමටද උපකාරී වේ.

Choline – ගර්භණී මවකගේ පෝෂකාංග අතර ප්‍රධාන ස්ථානයක් හිමි වන මෙමගින් අස්ථී වර්ධනයට මෙන්ම අධි රුධිර පීඩනය අවම කිරීමට සහය ලබාදෙන අතරම කලල මොළය සහ සුෂුම්නාව වර්ධනය වන විට ඇති වන යම් යම් සංකූලතා මැඩපවත්වයි.

ADHA – මොළයේ සහ පෙනීම වර්ධනයට බලපාන අතරම ඉදිරියේදී හෘද රෝග ඇති වීමේ අවධානම අවම කරයි.

අයඩීන් – සිරුරට අත්‍යවශ්‍ය ක‍ෂුද්‍ර පෝෂකයක් වන අතරම තයිරොක්සීන් හෝමෝනය නිපදවීමට දායක වේ. සිරුරේත් මොළයේත් සාමාන්‍ය වර්ධනයට හා ක්‍රියාකාරීත්වයට අයඩීන් වැදගත් වේ. සෑම විටම අයඩීන් සහිත ලුණු භාවිත කරන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ විසිපස්වන සතිය

Week-25
අම්මට ලැඛෙන ප්‍රසූත නිවාඩු ගැන සොයලා බලන්න. වැඩිපුර කාලයක් චූටියා එක්ක ඉන්න පුළුවන් වුණොත් ඒක දෙන්නටම හොඳයි.

අම්මා දන්නවානේ ප්‍රසූත නිවාඩු ගැන. අම්මා රාජ්‍ය සේවයට සම්බන්ධ අයෙක් නම් පළමු සහ දෙවන දරු උපත් සඳහා වැඩකරන දින 84ක වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලැඛෙනවා. ඒත් මේ අම්මට ලැඛෙන තුන්වන දරුවා නම් නිවාඩු ලැඛෙන්නේ වැඩකරන දින 42ක් විතරයි. හැබැයි මේ දරුවන් තුන්දෙනාටම මාස හය සම්පූර්ණ වන තෙක පැයක කිරි නිවාඩුවක් ලැඛෙනවා.

අම්මා පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා නම් ආයතනයේ ඇති පණතට අනුව හිමිවන නිවාඩු ලැඛෙනවා. ප්‍රසූතිකාධාර ආඥා පනත යටතේ ප්‍රසූතිකාධාර ලබන පෞද්ගලික අංශයේ සේවය කරන මව්වරුන්ට දරුවාට අවුරුද්දක් සම්පූර්ණ වන තෙක් දිනකට පැයක කිරි නිවාඩුවක් ලැඛෙනවා.

ඒ වගේම සමහර අම්මලා වැඩි කාලයක් දරුවන් එක්ක ඉන්න ඕනේ කියලා හිතලා පඩි රහිතව නිවාඩු ගන්න අවස්ථාත් තියෙනවා. ඉතිං අම්මා හෙමිහිට මේ තොරතුරු සොයලා බලලා චූටියා ළඟ වැඩි කාලයක් ඉන්න වෙලාව හදාගන්න.

ගැබිනි සමයේ විසිපස්වන සතිය

විසිපස්වන සතිය වන විට බිළිඳාගේ හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර් 34.6 පමණ වෙනවා. ඒ වගේම ග්‍රෑම් 660ක පමණ බරකින් යුක්තයි. ඒ වගේම බිළිඳු සම මත දක්නට ලැබුණු රැලි සහිත බවට ටිකෙන් ටික අඩුවෙමින් පෘෂ්ටිමත් බවක් බිළිඳාට ලැඛෙමින් පවතිනවා. හිස කෙස් තවදුරටත් වැඩීම සිදුවන අතරම මේ වෙද්දී වර්ණක සැකසී ඇති නිසා ඒවා කලූපැහැයෙන් යුක්තයි. මහපට ඇඟිල්ල ඉරීම මෙන්ම ඈනුම් යැවීමද සිදුකරයි.

බිළිඳාගේ කොඳු ඇට පෙළ මේ වන විට අස්ථි බන්ධන දහසකින් ද සන්ද 150කින්ද මුදු 33කින්ද සමන්විතය. බිළිඳාගේ නාස් කුහර මේ වන විට විවෘතව පවතී. මේ කුඩා නාස් පුඩු මගින් උල්බ තරලය ඇතුළතට ගැනීම මෙන්ම පිටකිරීම සිදුකරනවා. බිළිඳාගේ ගෙල ඍජුව තබාගැනීමට හැකියාවක් නොමැති අතරම ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය වනු ඇත. මේ වන විට සමෙහි පැවති විනිවිද පෙනෙන ස්වභාවය අඩු වී ඇති අතරම රුධිර නාලිකා පිටතට නොපෙනේ. බිළිඳාගේ දෙඅත් ඇඟිලි සළකුණ සමගම මේ වන විට හොඳින් සැකසී තිබේ.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

දිනෙන් දින විශාල වන උදරයත් සමගම ඔබේ සිරුරේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වන නිසා සමබරතාවයේ යම් යම් ගැටලූ ඔබට පෙර කී පරිදිම දරු ප්‍රසූතිය දක්වා තිබිය හැකියි. හැකිතාක් ප්‍රවේසමෙන් තම කටයුතුවල නිරතවීමට වගබලා ගත යුතුයි. ප්‍රසූතිය දක්වාම ගැබිනි මවට පෙර ලිපිවල සඳහන් කරන ලද අපහසුතාවයන් අඩු වැඩි වශයෙන් දැනෙන අතරම යම් යම් දේ සඳහා යම් යම් උපක්‍රම පිළිබඳව අපි ඔබව දැනුවත් කරනු ලැබිවා. මේ සතිය තුළදීත් පෙර සඳහන් තළ ගැබිනි සමයේ සාමාන්‍ය අපහසුතාවලට අමතරව හිසකෙස් ඝණකම් බවින් වැඩිවීම, දිගු හුස්ම ගැනීමේ අපහසුව නිසා කෙටි හුස්ම ගැනීමට සිදු වීම, නින්දෙන් ගෙරවීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය.

එසේම අත් හිරිවැටීම, පොපියන සුලූ බවද ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකිවේ. මේ තත්ත්වය Carpal Tunnel Syndrome (CTS)  ලෙස හැඳින්වේ. මේ පිළිබඳව සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් මෙහිදී ලිපිය අවසානයේදී ඔබට ලැඛෙනු ඇත.

ගැබිනි සමයේ 25 වන සතියේ සිටින මවකගේ සාමාන්‍ය බර වැඩි වීම රාත්තල් 17ක් 18ක් පමණ ප්‍රමාණයක් වේ.

BMI අගයට අනුව ඔබේ බර නිවැරදි අගයේ පවතී නම් ගැටලූවක් නොමැත.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු   ”මැණික් කටුව ආසන්නයේ හිරිවැටීමේ සහලක්ෂණය”

මේ වන විට ඔබේ සිරුරේ වෙනස්කම් රාශියක් සිදු වී හමාරයි. කොන්දේ වේදනාව, විඩාබර බව, දෙපා ඉදිමුම වගේ ඔබ අත්විඳින අපහසුතා අතරට එක් වන තවත් තත්ත්වයකි, අත්ල හිරිවැටීම හෙවත් Carpal Tunnel Syndrome තත්ත්වයයි. බොහෝවිට මහපට ඇඟිල්ල, දබරැඟිල්ල හා මැදගිල්ල යන ස්ථානවලට පමණක් සීමා වන මේ තත්ත්වය ඇතමුන්ගේ එක් අතකට පමණක්ද ඇතැමුන්ගේ අත් දෙකටම ද ඇති විය හැකිය. යමක් අතින් රැගෙන යන විට, පෝල මිරිකන විට වගේම රෙදි මිරිකන විටද අතෙහි අප්‍රාණික බවක් ඇති විය හැකිය. අතේ වේදනාව රාත්‍රී කාලයේදී වැඩි විය හැකි අතරම අත එල්ලා වැටෙන සේ තබාගැනීම මගින් වේදනාව යම් තාක් දුරකට අවම කරගත හැකිවේ.

ගැබිනි මව්වරුන්ට මේ තත්ත්වය ඇති වන්නේ ගැබිනි බවත් සමගම සිරුරේ පවතින ජල මට්ටම වැඩි වීමක් සිදු වන නිසයි. එහිදී මහපට ඇඟිල්ල, දබරැඟිල්ල හා මැදගිල්ල ප්රදේශය හා අත්ලේ මාංශ පේශී කිහිපයකට ස්නායු සැපයුම ලබා දෙන ප්‍රධානතම ස්නායුව වන මධ්‍ය ස්නායුව මැණික් කටුව අසලදී කුඩා අස්ථී විවරයක් තුළින් ගමන් කිරීම නිසා සිරුරේ ඉදිමුම් ස්වභායත් සමගම ස්නායුව තෙරපීමකට ලක්වෙනවා. එමගින් මෙම වේදාකාරී තත්ත්වය හටගන්නා අතරම මේ තත්ත්වයට බලපෑ හැකි තවත් හේතු ලෙස මැණික් කටුව ආශ්‍රිත අස්ථී බිදීමකට ලක්ව තිබීම, දියවැඩියාව, තයිරොයිඩ් හෝර්මෝනය අඩු වීම, අධික තරබාරු බව, ආතරයිටීස් වැනි තත්ත්වයන් දැක්විය හැකිය.

මේ තත්ත්වයේ ලක‍ෂණ

  • අත්ල ආශ්‍රිතව හිරිවැටීම
  • කටු අනිනවාක් බඳු වේදනාව
  • සංවේදී බව අඩුගතිය

මේ තත්ත්වය යම්තාක් දුරට හෝ වළක්වා ගැනීමට නම් මැණික් කටුව ආශ්‍රිත චලනයන් හැකිතාක් අවම කිරීම වඩාත් සුදුසු වන අතරම සරල ව්‍යායාම සඳහා යොමුවීමට ඔබට හැකිියි. මේ තත්ත්වය 100%ක් සුව කිරීමට නොහැකි වන අතරම දරු ප්‍රසූතියෙන් පසු මගහැරීයයි. මැණික් කටුව අවට වෙළුමක් යෙදිම මේ තත්ත්වයේදී සිදුකරයි. නමුත් ඊට පෙර වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. මෙය අධික වේදනාවක් සහිතව ඔබේ එදිනෙදා වැඩ කටයුතු කෙරෙහි බාධා පමුණුවන තත්ත්වයක් වේ නම් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.

අම්මට ලැඛෙන ප්‍රසූත නිවාඩු ගැන සොයලා බලන්න. වැඩිපුර කාලයක් චූටියා එක්ක ඉන්න පුළුවන් වුණොත් ඒක දෙන්නටම හොඳයි.

අම්මා දන්නවානේ ප්‍රසූත නිවාඩු ගැන. අම්මා රාජ්‍ය සේවයට සම්බන්ධ අයෙක් නම් පළමු සහ දෙවන දරු උපත් සඳහා වැඩකරන දින 84ක වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලැඛෙනවා. ඒත් මේ අම්මට ලැඛෙන තුන්වන දරුවා නම් නිවාඩු ලැඛෙන්නේ වැඩකරන දින 42ක් විතරයි. හැබැයි මේ දරුවන් තුන්දෙනාටම මාස හය සම්පූර්ණ වන තෙක පැයක කිරි නිවාඩුවක් ලැඛෙනවා.

අම්මා පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා නම් ආයතනයේ ඇති පණතට අනුව හිමිවන නිවාඩු ලැඛෙනවා. ප්‍රසූතිකාධාර ආඥා පනත යටතේ ප්‍රසූතිකාධාර ලබන පෞද්ගලික අංශයේ සේවය කරන මව්වරුන්ට දරුවාට අවුරුද්දක් සම්පූර්ණ වන තෙක් දිනකට පැයක කිරි නිවාඩුවක් ලැඛෙනවා.

ඒ වගේම සමහර අම්මලා වැඩි කාලයක් දරුවන් එක්ක ඉන්න ඕනේ කියලා හිතලා පඩි රහිතව නිවාඩු ගන්න අවස්ථාත් තියෙනවා. ඉතිං අම්මා හෙමිහිට මේ තොරතුරු සොයලා බලලා චූටියා ළඟ වැඩි කාලයක් ඉන්න වෙලාව හදාගන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ විසිහතරවන සතිය

Week-24
චූටියාගේ කාමරේ

චූටියා එනකන් බලන් ඉන්න අම්මට එයා වෙනුවෙන් අවශ්‍ය දේවල් සූදානම් කරන්න ආසාව ඇති වුණේ කුසට චූටියා අපු දවසේ ඉඳලමයි. ඒත් අම්මාට දැණුනු අපහසුතා එක්ක ඒ දේවල් වෙනුවෙන් වෙන් වෙන්න හැකියාවක් තිබුණේ නෑ. එහෙම නේද? ඒකට කමක් නෑ. අම්මට වෙලාව මදි වෙන්නේ නෑ. චුටියාගේ තාත්තත් එක්කත් කතා කරලා චූටියා ආවම ඉන්න කාමරය තීරණය කරන්න. හොඳට වාතාශ්‍රය වගේම එළිය චූටියට අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒ වටපිටාව තෝරාගන්න කාමරය තුළ තිබිය යුතුමයි. තෝරගනිපු කාමරයේ බිත්ති පාට පාට මල් අලවලා ලස්සනට නිර්මාණශීලී විදියට සරසන්න අම්මටයි තාත්තටයි පුළුවන්.

ගැබිනි සමයේ විසිහතරවන සතිය

ඉතා සීග්‍රයෙන් සවිමත්ව වැඩෙන ඔබේ බිළිඳා මේ වන විට ග්‍රෑම් 600ක් පමණ බරින් යුතුවේ. හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර් 30ක් පමණ වේ. බිළිඳාගේ සිරුර මේ වන විට සිහින් වුවද ඉදිරියේදී සිරුරට පිරුණු බවක් එක්වේ. දිවෙහි රස නහර වර්ධනය වීම තවදුරටත් සිදුවෙමින් පවතී. මොළය ඉතා ඉක්මණින් වර්ධනය වන අතරම මතක තබා ගැනීමේ හැකියාව පවත්වා ගැනීමට මෙන්ම කල්පනාකාරී බව ඇති කිරීමට අවශ්‍ය මොළයේ සෛල මෙන්ම ඇතුළු කන ද මේ වන විට වර්ධනය වී අවසන්.

මේ වන විටත් බිළිඳාට ඇත්තේ විනිවිද පෙනෙන සමක් වුවද ඉදිරියේදී ඉතා ඉක්මණින් ඒ තත්ත්වය වෙනස් වනු ඇත. බිළිඳාගේ හිස කෙස් සුදු පැහැතිය. මන්ද මේ වන විටත් වර්ණක සැකසී නොමැති නිසාය. එක් එක් රෝග තත්ත්වයන්ගෙන් සහ ආසාදනවලින් වැළකීමට අවශ්‍ය සුදු රුධිරාණු නිපද වීම මේ වන විට ආරම්භ වී ඇත.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

බිළිඳාගේ චලනයන් මේ වෙද්දී බොහොම තදින් ඔබට දැනෙනවා ඇති. එය බොහොම සාමාන්‍ය තත්ත්වයක්. ඔබේ හොඳ අවධානයක් මේ කෙරේ යොමු වුවොත් මේ චලනයන්ගේ යම් රටාවක් ඔබට හඳුනාගත හැකියි. එනම් බිළිඳා නිදිබර ගතියෙන් සිටින අවස්ථා නින්දෙන් ඇහැරී ඉතා ප්‍රබෝධයෙන් සිටින අවස්ථාව ඔබට හඳුනා ගත හැකියි. ඔබට සමහර විට පුදුම හිතෙයි, සෑම බිළිදෙක්ම මවගේ කුස තුළ නිදාගන්න බව නම් සත්‍යයක්. මේ අත්දැකීම් මගහැරගන්න නම් එපා. ප්‍රසුතියෙන් පසුව ඔබට ඒ දේවල් දැනෙන්නේ නැති නිසා.

මේ කාලය වන විට යෝනි මාර්ගයෙන් යම් ශ්‍රාවයක් වැඩි වශයෙන් පිටවන්නේ නම් ඒ පිළිබඳව කලබල විය යුතු නැහැ. මේ තත්ත්වය බහුතරයක් කාන්තාවන්ට ඇති විය හැකියි. මේ ගැබිනි සමයේ හෝමෝන වෙනස් වීම මත මෙන්ම සිරුරේ රුධිර පරිමාව ඉහළ යාම නිසා ඇති විය හැකි තත්ත්වයක්. මෙසේ පිටවන ශ්‍රාවය අවර්ණ දුර්ගන්ධයකින් තොර නම් කලබල විය යුතු නැත.

මේ සතිය වන විටත් පසුගිය ලිපි හරහා සාකච්ඡා කෙරුණ පරිදි යම් දේවල් අමතක වී යන තත්ත්වය ඔබට දැනෙනවා ඇති. ඒ වගේම කෙණ්ඩා පෙරලීම, නින්ද නොයෑම, නාසයේ තදබදය, අධික කුසගින්න, විටින් විට මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය ඇතිවිම යන තත්තත්වයන්ද ගැබිනි සමයේ ඉතාම සාමාන්‍ය තත්ත්වයන් වේ.

මේ වන විට ඔබේ බර රාත්තල් 17ක් පමණ වන තෙක් වැඩිවී තිබිය හැකි අතරම BMI  දර්ශකයට අනුව බර පැවතීම ප්‍රමාණවත් වේ.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු  ”ගැබිනි සමයේ ශරීර සුවතාවය සහ ව්‍යායාම”

ගැබිනි සමයේ මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට ව්‍යායාමත් අවශ්‍ය බව ඔබ දන්නවා නේද? බොහොමයක් මව්වරුන් මනා සෞඛ්‍යයක් පවත්වා ගැනීම උදෙසා ව්‍යායමවල ඇති වැදගත්කම දැන සිටියද ගැබ් ගැනීමත් සමගම සිරුරට දැනෙන අපහසුතාවයන් හා අලස බව හේතුවෙන් තම ක්‍රියාශීලී දිවි පෙවෙතෙන් දුරස් වනු ඇත. ගැබිනි මවක් ව්‍යායාමවල නිරත වීමෙන් මානසික සුවයක් මෙන්ම ප්‍රසූතියෙන් පසු සිරුරේ හැඩය ඒ ආකාරයෙන්ම පවත්වාගැනීමට හැකියාව ලැඛෙනවා පමණක් නොව ගැබිනි සමයේ ඇති වන කොන්දේ වේදනාව මෙන්ම සන්ධි වේදනාවන් වළක්වා ගැනීමට හැකියාව ලැබේ. එසේම උදර මාංශපේෂිවල යහ පැවැත්මටද ව්‍යායාම මගින් විශාල සහයෝගයක් හිමිවේ. එසේම දරු ප්‍රසූතිය සඳහා සිරුර හැඩගැසීමටද ව්‍යායාමවල නිරත වීම වැදගත් වේ. නමුත් ඔබ යම් රෝග තත්ත්වයෙන් පෙලේ නම් ව්‍යායාමවල යෙදීම පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගත යුතුවේ.

  • ගැබිනි මවට කළ හැකි සරල ව්‍යායාම ලෙස ඇවිදීම, පිහිනීම සේම සුදුසුකම්ලත් පුහුණුකරුවෙකු යටතේ ඇරොබික් ව්‍යායාමවල වුවද නිරත වීමට ඔබට හැකියි
  • යෝනි මාර්ගය අවට මාංශ පේෂින් හකුළුවා තත්ත්පර 10ක් පමණ ගතවූ පසු නැතව ලිහිල් කිරීම හෙවත් කීගල් ව්‍යායාමය මගින් යෝනි මාර්ගය අවට සවිමත් කරගැනීමට හැකිවන අතරම එය ගැබිනි මවකට ඉතා වැදගත් ව්‍යායාමයකි. මෙය ඕනෑම ඉරියව්වක හිඳ නිරත විය හැකි පහසු මෙන්ම ප්‍රයෝජනවත් ව්‍යායාමයකි. මෙම ව්‍යායාමයේ නිරත වීම ගැබිනි කාලයේ පමණක් නොව ජීවිතයේ ඕනෑම කාලයකදී ප්‍රයෝජනවත් වනු ඇත

ව්‍යායාමයේ පියවර

  • දෑස් පියා උඩු අතට දිගාවන්න
  • මාංශ පේශීන් තද කරන්න
  • තත්ත්පර 10 පමණ හිඳ ඒවා ලිහිල් කරන්න

ගැබිනි මවට කීගල් ව්‍යායාමය වැදගත් වන්නේ

  • ප්‍රසූත වේදනාව දරාගැනීමට
  • ප්‍රසූතියෙන් පසු ඇති වන මානසික ආතතිය දරා ගැනීමට
  • ප්‍රසූතියේදී යොදන කැපුම් ඉක්මණින් සුව වීමට

චූටියාගේ කාමරේ

චූටියා එනකන් බලන් ඉන්න අම්මට එයා වෙනුවෙන් අවශ්‍ය දේවල් සූදානම් කරන්න ආසාව ඇති වුණේ කුසට චූටියා අපු දවසේ ඉඳලමයි. ඒත් අම්මාට දැණුනු අපහසුතා එක්ක ඒ දේවල් වෙනුවෙන් වෙන් වෙන්න හැකියාවක් තිබුණේ නෑ. එහෙම නේද? ඒකට කමක් නෑ. අම්මට වෙලාව මදි වෙන්නේ නෑ. චුටියාගේ තාත්තත් එක්කත් කතා කරලා චූටියා ආවම ඉන්න කාමරය තීරණය කරන්න. හොඳට වාතාශ්‍රය වගේම එළිය චූටියට අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒ වටපිටාව තෝරාගන්න කාමරය තුළ තිබිය යුතුමයි. තෝරගනිපු කාමරයේ බිත්ති පාට පාට මල් අලවලා ලස්සනට නිර්මාණශීලී විදියට සරසන්න අම්මටයි තාත්තටයි පුළුවන්.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ විසිතුන්වන සතිය

Week-23
අම්මට පුළුවන් චූටියාට ලියුමක් ලියන්න… එයා දුවෙක් නම් අම්මෙක් වෙන්න යන දවසට ඒ ලියුම එයාට බොහොම ආදරණීය තෑග්ගක් වේවි….එයා පුතෙක් වුණොත් තාත්තෙක් වෙන්න යන දවසට බිරිඳ ආදරෙන් රැකගනීවි..

ආදරය අපි කාටත් සතුටින් ජීවත් වෙන්න උගන්නනවා. ආදරය නැති තැනක සුන්දරත්වයක් නැහැ. චූටියා එන්නේ ආදරය පිරුණු ලෝකෙකට. ඉතිං එයා කුස තුළ වැඩෙද්දි අම්මට එයා නිසා ලැබුණු අත්දැකීම් කඩදාසියකට ගන්න පුළුවන් නම් ඒකේ වටිනකම කියන්න බැරි තරම්. දරුවෙකු මේ ලෝකෙට බිහිකරන්න යන ගමනේදී මව්පියන් ලබන අත්දැකීම් එයාලා මව්පියන් වෙනතුරුම දන්නෙ නැහැ. අන්න ඒ නිසයි අද දරුවෝ හෙට මව්පියන් වුණාට පස්සේ තමන්ගේ මව්පියන් ගැන ගෙදර ඉන්න කාලෙදි හිතේ ඇතිවුණු තරහ ගැන වගේම මව්පියන් එක්ක ඇති වුණු අඩදබර ගැන පවා පසුතැවෙන්නේ. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. ඒත් අපි චූටියට නම් කියමු මේ හැමදේම ගැන කලින්ම.

ගැබිනි සමයේ විසිතුන්වන සතිය

දැන් බිළිඳාගේ උස සෙන්ටිමීටර් 28.9ක් පමණ වන අතරම බර ග්‍රෑම් 501 පමණ වෙනවා. දැන් එයා අත පය විසිකරන්නේ හරියට නර්තනයකදී වගෙයි. හරිම නොසන්සුන්. ඒ නිසාම බිළිඳාගේ  මේ චලනයන් හොඳින්ම මවට දැනෙනවා. මේ වන විට පෙනහලුවල ඇති රුධිර නාලිකා වර්ධනය වෙමින් හුස්ම ගැනීම සඳහා සූදානම් වීම සිදු වෙනවා. ඒ වගේම බාහිර ලෝකයට සුදුසු පරිදි ඇසීමේ හැකියාව තව තවත් වර්ධනය වෙන අතරම විශාල ශබ්ද දැන් බිළිඳාට හුරුපුරුදුයි. නිවසේ සිටින බල්ලාගේ බුරන හඬ, වාහනයේ නලා හඬ, පොල් ගෙඩියක් බිඳින හඬ මවගේ කුස තුළ වැඩෙන මේ බිළිඳාට හොඳින් ඇසෙනවා.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

මේ වෙද්දි දරුවාගේ චලනයන් වෙනදාටත් වඩා හොඳින් මවට දැනෙනවා. ඔබේ කුස ඒ මේ අතට ගමන් කරන් ආකාරයත් ඔබට දැකගත හැකියි. පුංචි අත්පා දිගු කිරීම නිසා උදරයේ හැඩය වෙනස් වෙන අකාරයත් ඔබ දකීවි. මේ අපූර්වතම අත්දැකීම අත්විඳින්න පුළුවන් අම්මෙක්ටම විතරයි.

මේ වෙද්දී හැකි තරම් විවේකයෙන් කාලය ගත කරන්න අවශ්‍ය වටපිටාව සකසාගන්න. ඔබේ උදරය විශාල වීම වගේම කෙණ්ඩා පෙරලීම, නිතර නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇතිවීම, මානසික ආතතිය, ඔබේ නින්දට බාධා ඇති කරයි. ඒ විතරක් නෙවෙයි ඔබ පළමු වරට මව්පදවිය ලබන කාන්තාවක් නම් දරුවාගේ වැඩකටයුතු ඉටු කිරීම ගැන වගේම හොඳ අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වෙයිද කියන එක ගැනත් හිතේ දෙගිඩියාවක් පවතීවි. ඒ වගේම තවත් දරුවෙක් සිටින මවක් නම් ඒ දරුවාට යම් අඩුපාඩුවක් සිදුවෙයිද තම නංගී හෝ මල්ලී වැඩිමහල් දරුවා කෙසේ පිළිගනීද යන ගැටලූ ඇති විය හැකියි. මෙය සෑම කාන්තාවකටම මේ අවස්ථාව තුළ ඇති වන තත්ත්වයක්. නමුත් මේ පිළිබඳව දුක්වීම කිසිසේත්ම අවශ්‍ය නොවේ. හොඳ සැලසුමක් අනුව සැමියාගේ සහයෝගයෙන් සියලූ කාර්යයන් සාර්ථකව ඉටු කරගැනීමට ඔබට හැකි වනු ඇත. ගැබිනි සමයේ හෝමෝන වෙනස් වීමත් සමගම ඇති වන මේ සිතුවිලිවල දෝලනය දරු ප්‍රසූතියත් සමගම තුරන්ව යන නිසා ඔබ මෙවැනි වූ ගැටලූකාරී මානසිකත්වයට් දිගින් දිගටම පවතින්නේ නැත. සතුටින් ඔබේ ගර්භණී සමය ගත කරන්න.

මේ වෙද්දී මවගේ බර රාත්තල් 15ට වැඩියි. මේ සතිය තුළ ඔබේ බර තවත් වැඩි වෙන අතරම එම වැඩිවීම කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වේ. BMI  දර්ශකයට අනුව ඔබේ බර නියමිත තත්ත්වයේ පවතී නම් ඒ පිළිබඳව කණස්සලූ වීම අවශ්‍ය නොවෙන අතරම බරෙහි යම් වෙනසක් පවතින මව්වරුන්ට මේ වන විටත් ඒ පිළිබඳ අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලැඛෙනු ඇත.

අම්මෙක් වෙන්න යන ඔබට වැදගත්  ” රීසස් සාධකය හෙවත් Rh negative ”

අපේ රුධිරය, වර්ග නැතිනම් ගණ හතරකින් යුක්තය. ඒ A, B , AB  සහ O ලෙසයි. මෙම රුධිර ගණවල  රීසස් නම් සාදකය තිබේ නම් එය Rh  ධන ද රීසස් සාධකය නැති නම් එය Rh ඍණ ද වෙයි. රුධිර පාරවිලයනයේදී නිවැරදි රුධිර ඝනය සහිත රුධිරය ලබානොදීමෙන් ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳව ඔබ මේ වන විටත් දැනුවත් ඇති.

ගර්භණී සමයේ කලලයේ සහ මවගේ රුධිර ගන නොගැලපීම නිසා ඇති විය හැකි සංකූලතා කිහිපයකි. මෙයින් බහුලවම ඇති වන ගැටලූව නම් Rh  ඍණ සංඝටකය නිසා ඇති වන සංකූලාතායි. මීට අමතරව අනෙක් රුධිර ගන නොගැලපීමෙන් ද යම් යම් සංකූලතා ඇති විය හැකිය. මේ නිසා සෑම ගර්භණී මවකගේම රුධිර ගනය සහ Rh සාධකය පිළිබඳව පළමු සායනයේදීම පරීක‍ෂාවට ලක්කෙරෙන්නේ කලලයට ඇති විය හැකි අවධානම් තත්ත්වය නිසයි.

එසේ වීමට හේතුව Rh සංඝටකය ඍන මව්වරුන්ගේ සාමාන්‍යයෙන් Rh  සංඝටකයට විරුද්ධව ප්‍රතිදේහ මවගේ රුධිරයේ නොමැති අතර එවැනි මව්වරුන් මේ තත්ත්වය සඳහා සංවේදීකෘත නොවන (Unsensitized) මව්වරුන් වේ. නමුත් Rh ධන සංඝටකයට මෙවැනි මව්වරුන්ගේ රුධිරයට එක් වුවහොත් ඊට විරුද්ධව ප්‍රතිදේහ ජනක නිපදවයි. එවැනි මව්වරුන් මේ තත්ත්තවයට සංවේදීකෘත (sensitized) මව්වරුන් වේ. මේ තත්ත්වය ඇති විය හැකි අවස්ථා දෙකක් ඇති අතර ඒවා නම්,

  • නොගැලපෙන රුධිර පාරවිලයනයකදී Rh ඍන පුද්ගලයෙකුහට Rh සාධකය ධන රුධිරය ලබාදීමකදී
  • RH සාධකය ඍණ ගැබිනි මවකගේ කලලයේ Rh සාධකය ධන වී එහි රුධිරය මවට ගමන් ගැනීමේදී

ප්‍රසූතියේදී දරුවාගේ හා මවගේ රුධිරය එක්වීම නිසා යම් යම් සංකූලතා ඇති විය හැකි බැවින් එසේ සංවේදීකෘත (sensitized) මව්වරුන් අවධානම් මව්වරුන් ලෙස හඳුන්වයි. එනම් Rh සාධකය ඍන මවකට Rh සාධකය ධන කලලයක් පිළසිඳ ගතහොත් මවගේ රුධිරයේ ඇති ප්‍රතිදේහ වැදැමහ හරහා කලලය වෙත ගමන් කිරීම නිසා කලලයේ රතු රුධිරාණු විනාශ වීමෙන් ඇති වන රක්තහීනතා තත්ත්වය හේතුවෙන් තත්ත්වය දරුණු වී කලලය කුස තුළම මිය යා හැකියි.

වළක්වා ගැනීමේ ක්‍රම

අන්න ඒ නිසාම සෑම ගැබිනි මවක්ම රුධිර ගන පරීක‍ෂාවට යොමු කෙරෙන අතරම එහිදී Rh සාධකය ඍන මව්වරුන් රුධිරයේ ප්‍රතිදේහ ඇත්දැයි සොයා බැලීමට අවශ්‍ය පරීක‍ෂණ කරා යොමු කෙරේ. මෙවැනි මව්වරුන් පළමු මාතෘ සායනයේදී සහ ගැබිනි සමයේ 28 වන සතියේදී අවස්ථා දෙකකදී පරීක‍ෂාවට ලක් කෙරේ. සති 28දීත් ප්‍රතිදේහ නොමැති නම් එවැනි මව්වරුන් මේ තත්ත්වයට සංවේදීකෘත නොවන (Unsensitized) මව්වරුන් ලෙස සැලකේ. ඒ නිසා කලලයට කිසිදු බලපෑමක් නොමැත.

කෙසේ වුවද ගර්භණී සමය තුළ කලලයේ රුධිරය මවගේ රුධිරයට ඇතුළුවීමේ ඉඩකඩ ඇති බැවින් ඒ තත්ත්වය ප්‍රතිදේහ නිපදවීමට බලපෑ හැකියි. ඒ අවස්ථාවේදී සති 28ත් 34ත් කාලය තුළ මව්වරුන්හට ඇන්ටි ඩී (Anty  – D) ඖෂධය වෛද්‍යවරුන් විසින් එන්නත් කරයි. එපමණක් නොව දරු ප්‍රසූතියෙන් පසුව ළදරුවාගේ රුධිර ගනය පරීක‍ෂා කිරීමෙන් අනතුරුව එහි Rh  සාධකය ධන නම් මවට නැවත ඇන්ඩි ඩී (Anty  – D) එන්නත ලබාදීම සිදු කෙරේ.

සංවේදීකෘත මව්වරුන්

ඇතැම් මව්වරුන් මේ තත්ත්වය පිළිබඳව පෙර සිටම දන්නා අය විය හැකි අතරම ඇතැම් මව්වරුන් ගැබ් ගැනීමෙන් අනතුරුව යොමුවන රුධිර පරීක‍ෂණ හරහා දැනුවත් වන අයයි. එසේම මෙවැනි මව්වරුන්ගේ සැමියාගේ තත්ත්වය ද පරීක‍ෂාවට ලක්කෙරේ. සැමියාගේ Rh සාධකය ඍන නම් කිසිදුවිටෙක Rh සාධකය ධන කලලයක් පිළිසිඳ ගත නොහැකි නිසා කලලයට හානියක් සිදු නොවේ. නමුත් Rh සාධකය ධන කලලයක් ඇති වුවහොත් එය ගැටලූකාරී තත්ත්වයකි.

එසේම මවගේ පවතින ප්‍රතිදේහ ප්‍රමාණය කොපමණදැයි පරීක‍ෂා කිරීම සඳහා මව්වරුන් මසකට වරක් විශේෂිත පරීක‍ෂණ වෙත යොමු කරයි. ප්‍රතිදේහ ප්‍රමාණය අවම මට්ටමට පත්වන තෙක් පරීක‍ෂණ සිදු කරයි. එතැන් පටන් කලල මොළය හා සම්බන්ධව සිදුකෙරෙන ඩොප්ලර් පරීක‍ෂණය හරහා රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය 100%ක්  නිවැරදිය දැනගත හැකියි. එය අවම මට්ටමට පත්වන තෙක් ස්කෑන් පරීක‍ෂණ සඳහා මව්වරුන් යොමු කෙරේ.

රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය අවම මට්ටමට වඩා අඩු වූ විට,

  • කලලයට සති 34ට වැඩි නම් දරු ප්‍රසූතිය සිදුකරන අතරම බිහි වූ පසු දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදේ
  • කලලයට සති 34ට අඩු නම් ගර්භාෂය තුළදීම රුධිර පාරවිලයනය සිදුකරයි. (මේ පිළිබඳව වැඩිදුර විස්තර හා දැනුවත් කිරීම් ඉදිරි ලිපියකදී බලාපොරොත්තුවන්න)

මෙසේ බිහිවුණු දරුවන්ගේ රුධිරයට ප්‍රතිදේහ ඇතුළු වී ඇති අතරම ප්‍රසූතියෙන් පසුද යම් යම් බලපෑම් ඇති විය හැකිය. එවන් දරුවන්ට උපතින් පසු කහ පැහැ වීම, රුධිර පාරවිලයනය මෙන්ම ප්ලාස්මාව මාරු කිරීම වැනි තතත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකිය. නිවැරදි ප්‍රතිකාර නොලැබුණහොත් මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් දරුවෙකුට වර්ධනයත් සමගම බුද්ධි වර්ධනය අඩාල වීම (යමක් වටහා ගැනීමේ අපහසුව), ඇවිදීමේ අපහසුව, ශ්‍රව්‍ය ආබාධ වැනි තත්ත්වයන්ට මුහුණ දීමට ද සිදුවිය හැකිය.

මේ තත්ත්වයට අමතරව ඇති විය හැකි වෙනත් රුධිර නොගැලපීම් අවස්ථා

සාමාන්‍යයෙන් බහුලවම දැකගත හැකි තත්ත්වය වන්නේ Rh සංඝටකය හේතුවෙන් ඇති වන ගැටලූ වුවද ප්‍රධාන රුධිර ගන හතරෙහි නොගැලපීම් නිසා ඇති වන සංකූලතාවයන් මෙන්ම කලාතුරකින් ඇති විය හැකි අනෙක් රුධිර ගන අතර නොගැලපීම් නිසා ඇති වන සංකූලතාවයන්ද දැකිය හැකිය.එවැනි තත්ත්වයන් හඳුනා ගැනීමට අවශ්‍ය පරීක‍ෂණ වෙත අවධානම් මව්වරුන් යොමු කෙරේ.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.