Home Blog Page 3

ගැබිනි සමයේ විසිදෙවන සතිය

Week-22
චූටියා ඇහැරුණු වෙලේ ඉඳලම බලාගෙන ඉන්නේ අම්මාගේ කටහඬ ඇහෙනකං

චූටියා එක්ක කතා කරන්න දවසේ වේලාවක් වෙන් කරනගන්න අම්මට පුළුවන්. ඒත් චූටියා නම් හිතෙන හිතෙන වෙලාවට බණ්ඩියට තට්ටු කර කර අම්මට කතාකරාවි. ඒ වෙලාවටත් අම්මාගේ ප්‍රතිචාරය එයාට වැදගත් වෙනවා. දවසේ පුංචි වෙලාවක් වෙන්කරගෙන චූටියා එක්ක කතාකරන්න, සින්දු කියන්න, පුංචි කතාවක් කියන්න වගේම අම්මාගේ දවස එයා එක්ක ගෙවුණු හැටි කියන්න අම්මට පුළුවන්. කුස පිරිමදිමන් චූටියා එක්ක කතා කරද්දි කුසේ වැඩෙන අවධියේ ඉඳලම එයා අම්මා එක්ක ලොකු බැඳීමක් ඇති කරගන්නවා. ඒ වගේම මේ වැඩේට චූටියගේ තාත්තත් සම්බන්ධ කරගන්න පුළුවන්. තාත්තාගේ කටහඬ ඇහෙද්දිත් චූටියට ලොකු සතුටක් දැනේවි. ආදාරය ආරක‍ෂාව වගේම ඔයාලා දැකගන්න නොඉවසිල්ලකුත් එයාගේ හිතට දැනෙයි.

ගැබිනි සමයේ විසිදෙවන සතිය

ඔන්න දැන් නම් කුස තුළ වැඩෙන ඔබේ දරුවාට සිඟිත්තෙකුගේ පෙනුම ලැබිලා. දැන් එයාගේ බර ග්‍රෑම් 430 විතර වෙනවා. ඒ වගේම හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර 27ග8ක් පමණ වෙනවා. බිළිඳාගේ තොල්, ඇහි බැම, ඇහි පිය මේ සතිය වන විට ඉතා හොඳින් වර්ධනය වී ඇති අතරම විදුරු මස් ඇතුළත දන්ත මූලයන් ඇති වීමද මේ වන විටත් සිදුවෙනවා. ඇස් හොඳින් සස් වී තිබුණද මේ වන තුරුත් කළු ඉංගිරියාවේ වර්ණක සැකසී නැත. මේ වන විටත් බිළිඳාගේ සිරුරේ උණුසුම හා රැකවරණය සඳහා උපකාර වන සිනිදු රෝම දැක ගත හැකියි. ඒ වගේම සම මත ඇති රැලි මේදය තැම්පත් වීමත් සමගම ඉවත්ව යනු ඇත. බිළිඳු කුස තුළ අග්න්‍යාෂයේ අත්‍යවශ්‍ය හෝමෝන නිපදවීම සඳහා අවශ්‍ය වටපිටාව ක්‍රම ක්‍රමයෙන් සැකසෙමින් පවතී.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

දැන් අම්මාගේ සිරුර වෙනදාට වඩා ප්‍රසාරණයට ලක්වෙලා කිව්වොත් නිවැරදයි. උදරය, පියයුරු, කළවා වගේම තට්ටම් ප්‍රදේශය මේ අතරින් විශේෂිතයි. ඒ වගේම තමයි මේ කාලය ඇතුළත සිරුර පුරා ගමන්කරන රුධිර ප්‍රමාණය වැඩි නිසා වගේම හෝමෝන නිසාත් ඔබේ සමට දීප්තිමත් බවක් එක්වෙනවා. ඒත් මේ තත්ත්වය හැම ගැබිනි මවක් තුළම දැකගත නොහැකියි.

ඒ විතරක් නෙවෙයි සම ආශ්‍රිත තවත් ගැටලූ මේ කාලය තුළ ඇති විය හැකියි. සම වියළීම, නැතිනම් සමෙහි තෙල් ගතිය අධික වීම වගේම ඇක්නි ඇතිවීමද ඒ ගැටලූ අතරට අයත් වෙනවා. ප්‍රසූතියෙන් පසු මේ තත්ත්වයන් බොහෝදුරට මගහැරී යනවා. ඔබට තෙල් සහිත සමක් ඇත්නම් කුරුළෑ තත්ත්වයන් නිසා ඔබ පීඩාවට පත් වනවා විය හැකියි. මේ සඳහා ඔබට සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගත හැකියි. ඇතැම් ගැබිනි කාන්තාවන් මේ කාලය තුළ සමේ අධික වියළි බව නිසා පීඩාවට පත්ව සිටිනවා. ඒ සඳහා ඔබට සමෙහි තෙතමනය රැකදෙන ආලේපනයක් භාවිත කළ හැකියි. ඔබ යම් ආපේලනයක් තෝරගන්නේ නම් ඒ සඳහා වෛද්‍යවරයාගෙන් අදහස් විමසීම වඩාත් සුදුසු වේ.

කොහොමද අම්මාගේ හිත? සතුටෙන්ද? දුකෙන්ද? වෙනදටත් වඩා වැඩිපුර අමතක වෙනවා නේද? මොනවා හරි සුළු දෙයක් ආහාරයට ගන්න ඔබ මුළුතැන් ගෙට ගියාට ඇයි ඔබ එතැනට ආවේ කියලා ඔබටම මතක නෑ. එහෙම නේද?. මේ තත්ත්වය අපි කලින් ලිපිවලත් සඳහන් කළා ඔබට මතක ඇති. ගැබිනි සමයේ බොහොම සාමාන්‍ය තත්ත්වයක් යැයි කීවොත් නිවැරදියි. මේ ගැන ඔබ බියට පත්වන්නට එපා. ඔබේ ඉදිරිය පිළිබඳව සිතන්න. ජීවිතයේ ලොකු වෙනසක් කරා යන ගමන් මගේ මෙවැනි තත්ත්වයන් සිදුවීම එක් අතකට සිතුවොත් පුදුමයකුත් නොවේ කියා ඔබටම සිතෙනු ඇති. ප්‍රසූතියත් සමගම මේ තත්ත්වය මගහැරී යනු ඇත.

ඔබට හිතාගන්න පුළුවන්ද? මේ වන විට රාත්තල් 15කින් පමණ ඔබේ බර වැඩි වෙලා. අපි කලින් සඳහන් කළ විදියටම මෙසේ බර වැඩි නොවුණු කාන්තාවන් පසුතැවිය යුතු නැත. වෛද්‍යවරයා විසින් යම් සංකූලතාවයක් පවතිනවා නම් හෝ ඔබට ප්‍රතිකාර අවශ්‍ය නම් අනිවාර්යෙන්ම ඔබට දැනුවත් කරන ඇත.

අම්මෙක් වෙන්න යන ඔබට වැදගත්  ”අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් වර්ග”

නවීන විද්‍යාවේ දියුණවත් සමග ගර්භාෂයේ තුළ වෙසෙන කලලය පිළිබඳ වැඩි අවබෝධයක් ලබා ගැනීමට ඇති ක්‍රම අතරින් කලලයට හානි වන බවට කිසිදු වාර්තාවක් නොමැති අල්ට්‍රා සවුන්ඩ් සකෑන් පරීක‍ෂණය ඉතා වැදගත් වේ. මේ හරහා ඔබ දැනුවත් වන්නේ ගැබිනි සමයේ සිදුකෙරෙන අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක‍ෂණය පිළිබඳවයි.

සති 11 – 14ත් අතර සිදු කෙරෙන ස්කෑන් පරීක‍ෂණය

සාමාන්‍යයෙන් ප්‍රසූතිය සිදුවන දිනය නිවැරදි නිර්ණය කිරීම සඳහා සති 11ත් 14ත් අතරදී මෙම ස්කෑන්  පරීක‍ෂණය සුදුකරයි. මේ පිළිබඳව පළමු ත්‍රෛමාසිකයේ දොළොස්වන සතියේදී අපි ඔබව දැනුවත් කරනු ලැබුවා.

ඇනෝමලි ස්කෑන් පරීක‍ෂණය

සාමාන්‍යයෙන් ගැබිනි මව්වරුන් වැඩි කොටසකගේ කලලය සාමාන්‍ය ආකාරයෙන් වර්ධනය වුවද 2%ක් පමණ මව්වරුන්ගේ සහජයෙන් උරුමවන බරපතල අසාමාන්‍යතා පැවතිය හැකිය. සියලුම අවයව සහ සමහර භ්‍රෑණ ව්‍යූහයන් පිළිබද විස්තරාත්මක අවබෝධයක් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක‍ෂණය හරහා ලබාගත හැකි අතරම  එමගින් අසාමාන්‍යතා හඳුනා ගත හැකි ප්‍රතිශතය 80% පමණ වේ. කෙසේ වුවද පරීක‍ෂණ සිදුකරනු ලබන වෛද්‍යවරයාගේ නිසි සුදුසුකම් නිවරුදි පරීක‍ෂණ වාර්තාවක් සඳහා ඛෙහෙවින්ම වැදගත් වේ.

සාමාන්‍යයෙන් ඇනෝමලි ස්කෑන් පරීක‍ෂණය සඳහා යොමුවීමට වඩාත් සුදුසු කාලසීමාව වන්නේ සති 18 -24 ත් අතර කාලසීමාවයි. මෙම ස්කෑන් පරීක‍ෂණය රජයේ සෑම රෝහලකදීම සිදු නොවුණද පහසුකම් සහිත ඇතැම් රෝහල්වල පුහුණුවලත් සුදුසුකම් සහිත වෛද්‍යවරු විසින් සිදු කරයි. මේ ස්කෑන් පරීක‍ෂණය සිදුකිරීම අත්‍යවශ්‍ය මව්වරුන් පහසුකම් සහිත රෝහල් වෙත යොමු කෙරේ. පෞද්ගිලක අංශයේ නම් සෑම රෝහලකම මේ ස්කෑන් පරීක‍ෂණය සඳහා පහසුකම් ඇත.

මෙහිදී කලලයේ පවතින අසාමාන්‍ය තත්ත්ව පිළිබඳ නිරීක‍ෂණය කෙරේ. වෙනත් රටවල උපතින් පසු ජීවත් විය නොහැකි මට්ටමේ අසාමාන්‍යතා පවතින කලලයන් ඉවත් කළද අපේ රටේ නීතියට අනුව කුමන අසාමාන්‍යතා හඳුනා ගත්තද දරු ගැබ ඉවත් කිරීමට අවසර නැත. නමුත් එසේ හඳුනා ගැනීම තුළින් යම් යම් ප්‍රතිකාර ක්‍රම සඳහා යොමුවීමට අවස්ථාව සැලසෙන අතරම ඒ පිළිබඳව පසුව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ. එසේම අසාමාන්‍යත පෙර සිට හඳුනා ගැනීම ප්‍රසූතිය සඳහා ද ප්‍රයෝජනවත් වේ.

කලල වර්ධනය මැනීම සඳහා වූ ස්කෑන් පරීක‍ෂණය

පෙර ලිපි හරහා ඔබව දැනුවත් කළ ආකාරයටම සංකූලතා ඇති මව්වරුන් සති 28, 32 සහ 36 දී මෙම ස්කෑන් පරීක‍ෂණයට යොමු කෙරන අතරම එහිදී කලලයේ වර්ධනය, කලලය වෙත ගමන්කරන රුධිර ප්‍රමාණය හා කලලය වටා ඇති තරල ප්‍රමාණය මැන බැලීම සිදුකරනවා.

වෛද්‍ය උපදෙස් අනුව මෙවැනි මව්වරුන් සති දෙකෙන් දෙකට ස්කෑන් පරීක‍ෂණය සඳහා යොමු කරනු ලබයි.

ඩොප්ලර් ස්කෑන් පරීක‍ෂණය

මෙම ස්කෑන් පරීක‍ණය හරහා මූලිකව සිදු කෙරෙන්නේ කලලය වෙත ගමන් කරන රුධිර ප්‍රමාණය මැන බැලීමයි. බොහෝ විය මෙය කලලයේ වර්ධනය මැන බැලීමට සිදුකරන ස්කෑන් පරීක‍ෂණය හා සමගම සිදු කරයි. කලල වර්ධනයේ ගැටලුකාරී තත්ත්ව ඇති අවස්ථාවලදී රුධිර ගමනාගමනය අවම වන අවස්ථාව හඳුනා ගැනීමට ඩොප්ලර් ස්කෑන් පරීක‍ෂණය උපකාරී වේ. එමගින් ඒ තාක් කලලයට ගර්භාශය තුළ වර්ධනය වීමට ඉඩ සැලැසේ.

මෙහිදි පෙකිණි වැල හරහා සැපයෙන රුධිර සැපයුම, කලල මොළයට ලැඛෙන රුධිර ප්‍රමාණය ද ඇතැම් අවස්ථාවලදී හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද අවබෝධයක් ලබාගත හැකිය. මේ තත්ත්වයේ සිටින මව්වරුන්ට දිනපතා වුවද මෙම ස්කෑන් පරීක‍ෂණයට යොමු වීමට වෛද්‍ය උපදෙස් ලැබිය හැක.

මීට අමතරව ස්කෑන් පරීක‍ෂණ මගින් ළදරුවාට යම් රක්තහීනතා තත්ත්වයක් පවතීද වැදැමහේ පිහිටීම, ගැබ්ගෙලේ දිග ප්‍රමාණය අනුව නියමිත දිනට කලින් ප්‍රසූතිය සිදුවේද නැතිද යන්න, බහුභ්‍රෑණ අසාමාන්‍යතා (Twin to Twin Transfution syndrome) සහ කලලයේ පිහිටීම යන කරුණු පිළිබඳවත් මෙම ස්කෑන් පරීක‍ෂණය මගින් වෛද්‍යවරයාට අවබෝධයක් ලබාගත හැකි වේ.

අද වන විට ගැබිනි සමයේ බොහොමයක් සංකූලතා පිළිබඳව මේ ආකාරයෙන් දැනුවත් විය හැකිව ඇති අතරම දිනෙන් දින මෙවැනි පහසුකම් වඩා හොඳින් දියුණු තත්ත්වයට පත් වී කලල අවධියේ ඇති බොහොමයක් සංකූලතා සඳහා ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පහසුකම් සැලසෙනු ඇත.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ විසි එක්වන සතිය

Week-21
ජීවිතයේ අත්දැකපු අපූර්වතම අත්දැකීමත් එක්ක අම්මාගේ හිත ආදරෙන් පිරිලා

ගිය සතියේ පුංචි සමනල පැටියෙක් අම්මාගේ කුස ඇතුළේ දඟකරනවා දැණුනු මොහොතේ ඉඳලම, අම්මා ඉන්නේ හිතාගන්න බැරි තරම් සතුටකින්. ඇත්තටම සොබාදහම කොයිතරම් නම් අපූරුද? අම්මාගේ කුස ඇතුළේ මොහොතෙන් මොහොත වැඩෙන චූටියා දැන් හරිම හපනෙක් වෙලා. හැමදාම චූටියා එක්ක කතා කරන්න. උදේට කිසිම සද්දයක් නැතිව චූටියා කම්මැලියෙක් වගේ නිදියනවා නම් ගුඩ් මෝනිං කියලා එයාව ඇහැරවන්න. එතකොට එයත් අම්මාගේ බණ්ඩියට පුංචි තට්ටුවක් දාලා එයා කැම්මැලියෙක් නෙවෙයි කියලා අම්මට කියාවි. අපිටම විතරක් උරුම වුණු මේ සුන්දර මාතෘත්වයේ සුන්දරත්වය උපරිමයෙන්ම අත්විඳන්න. ඒ වෙනුවෙන් කැපවෙන්න. අම්මාගේ ආදරය කුස තුළ වැඩෙනා කාලේ ඉඳලම චූටියට දැනෙන්න ඉඩහරින්න.

ගැබිනි සමයේ විසි එක්වන සතිය

දැන් ඔබේ බිළිඳා මව් කුස තුළ ගත කරන කාලයෙන් හරි අඩක් ගෙවා අවසන්. සති 20ක් පුරා කුස තුළ වැඩෙන බිළිඳා දෙපා හකුලා තබා සිටින අතරම සිරුරේ සම්පූර්ණ උස මැනීම අපහසු වේ. එතෙක් නිවැදිව මැනිය හැක්කේ හිසේ සිට තට්ටම දක්වා ඇති උස පමණි. නමුත් මෙතැන් සිට බිළිඳාගේ හිසේ සිට පාදාන්තය දක්වා සම්පූර්ණ උස දැක්විය හැකය. 21 වන සතිය වන විට බිළිඳාගේ සම්පූර්ණ උස සෙන්ටිමීටර් 26.5ක් පමණ වන අතරම බර ග්‍රෑම් 360ක් පමණ වේ. මේ සතිය වන විට ඇස් බැම හා ඇසි පිය දැකගත හැකියි. ඔබේ කුස තුළ වැඩෙන්නේ ගැහැණු දරුවෙකු නම් මේ වන විට ඇයගේ යෝනිය සැකසෙමින් පවතිනවා.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

මේ වෙන විට බොහොමයක් මව්වරුන්ට බිළිඳාගේ චලනයන් දැනෙන්න පටන් අරගෙන. මේ ඔබේ දෙවෙනි දරුවා නම් මීට පෙර සිටම එය අත්දකින්න ඔබට අවස්ථාව ලැබිලා ඇති. සමහරවිට මේ චලනයන් තදින් දැනෙන අවස්ථාත් තිිඛෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී ඔබේ සැමියාටත් ඒ අත්දැකීම ලබා දෙන්න. ඔබේ කුසට අත තැබූ විට ඔහුටත් බිළිඳාගේ චලනයන් දැනේවි. එවැනි දේ තුළින් ඔබ දෙදෙනා අතර බැඳීම තව තවත් වැඩිවන බව වගේම නොදුටු කිරිකැටියා පිළිබඳව වචනයට නැගිය නොහැකි තරමේ ආදරණීය සිතුවිලි සමුදායකින් ඔබේ සිත පිරී යන බවත් ඔබට දැනේවි. මේ ගැබිනි සමයේ මවක විසින් අත්දකින අපූර්වතම අත්දැකීමයි.

ඔබ මෙතෙක් ඔබේ බිළිඳාගේ චලනයන් අත්නොවිඳි මවක් නම් ඒ පිළිබඳව කණගාටු නොවන්න. මන්ද ඇතැම් මව්වරුන්ට බිළිඳාගේ චලනයන් දැනෙන්නට ප්‍රමාද වේ. ඇතැම්විට ඔබ අධිබර තත්ත්වයේ සිටින මවක් නම් හෝ ඔබේ ගර්භාෂයේ ඉදිරියෙන් වැදෑමහ පිහිටා ඇත්නම් බිළිඳාගේ චලනයන් දැනීම ප්‍රමාද විය හැකිවේ. මේ සම්බන්ධව ඔබට ඇති ගැටලු සඳහා වෛද්‍යවරයාගේ සහය ලබගැනීම වඩාත් සුදුසු වේ.

ඒ වගේම මේ කාලය තුළ ගැබිනි සමයේ ඔබට අත්දකින්නට ලැඛෙන සාමාන්‍ය අවස්ථා ලෙස උදරය, පියයුරු සහ තට්ටම් ප්‍රදේශය ආශ්‍රිතව සම ඇදීම නිසාත් හෝමෝන වෙනස් වීම් නිසාත් ඇති වන ස්ටේ‍රච් මාක්ස් සහ මුහුණේ බ්ලැක් හෙඩ්ස් යන තත්ත්වයන් දැක්විය හැකිය. මෙසේ ඇති වන ස්ටේ‍රච් මාර්ක්ස් ප්‍රසූතියෙන් පසු වසරක් දෙකක් පමණ ගත වන විට යම් තරමකින් මැකී යා හැකි වුවත් සම්පූර්ණයෙන් ඉවත්ව නොයයි.

පසුගිය ලිපි හරහා සාකච්ඡා කෙරුණු පරිදිම කොණ්දේ වේදනාව ඔබට ඉදිරි කාලය තුළත් අත්දැකීමට සිදුවන තත්ත්වයකි. මේ තත්ත්වයෙන් යම් සහනයක් ලබා ගැනීමට පහත සඳහන් උපදෙස් ක්‍රියාත්මක කොට බලන්න.

  • උණුසුම් ජලයෙන් ඇඟ සෝදන්න. එහෙමත් නැතිනම් වේදානාව දැනෙන ස්ථාන සිසිල් හෝ උණුසුම් ජලයෙන් තැවීමට ඔබට හැකියි
  • ගැබිනි මව්වරුන් සඳහා සේවාව ලබා දෙන සුදුසුකම් සහිත ස්ථානයකින් සම්බාහනයක් ලබාගන්න
  • සැමවිටම නිවැදි ඉරියව් භාවිත කරන්න
  • යෝගා ව්‍යායාම මගින් පසු පස මාංශ පේශීන් සඳහා අවශ්‍ය ව්‍යායාම ලබාගන්න
  •  නින්දේදී එක පසෙකට හැරී නිදන්න

මේ සතිය වන විට ඔබේ බර සාමාන්‍යයෙන් රාත්තල් 14කින් පමණ වැඩි වී තිබිය හැකිය. පෙර සෑම ලිපියකම සඳහන් කළ පරිදි මෙය සාමාන්‍ය මට්ටමයි. කාන්තාවකගේ කාන්තාවට මේ තත්ත්වය වෙනස් විය හැකිය.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු  ”ගැබිනි මවගේ දෙපා ඉදිමුම”

ගැබිනි සමයේ ඉතා සුලබ තත්ත්වයක් වන පාදවල සහ වළලුකර අවට ඇති වන ඉදිමුම බොහෝ විට සාමාන්‍ය තත්ත්වයකි. ගැබිනි සමයේදී සිරුර තුළ වෙනදාට වඩා වැඩි ජල පරිමාවක් රඳවාගන්නා අතරම රුධිරයේ නියත සංයුතිය පවත්වා ගැනීමට අමතරව ඇති තරල, පටක අතරට මුදා හැරීම නිසා මේ තත්ත්වය ඇති වන බව පැවසේ. එසේම වර්ධනය වන කලලය නිසා ප්‍රසාරණය වන ගර්භාෂය මගින් හෘදය වෙත රුධිරය ප්‍රවාහනය කරනු ලබන අධර මහ ශිරාව මත යෙදෙන තෙරපුම නිසා රුධිරය ගලා යාමේ වේගය අඩුකරන අතරම එහිදී රුධිරයේ අඩංගු අමතර ජලය පටක වෙත යැවීමද මෙයට බලාපාන තත්ත්වයකි. බොහෝවිට මේ තත්ත්වය ඇති වන්නේ ගැබිනි සමයේ සති 24න් පසුවය. නමුත් ඔබට ලැඛෙන්නට ඉන්නේ නිවුන් දරුවන් නම් ඊට පෙර සිටම මේ තත්ත්වය දැකගත  හැකියි. එසේම ප්‍රසූතියට දින ළංවත්ම මේ තත්ත්වය වැඩිපුර දැකගත හැකියි.

මේ තත්ත්වය අවම කර ගැනීමට නම්,

  • එකම ඉරියව්වෙන් වැඩි වේලාවක් සිටගෙන සිටීමෙන් වළකින්න
  • නින්දේදී පාද තරමක් ඉහළින් තබාගෙන වම් ඇලයට නිදාගන්න
  • සම්පීඩන පා ආවරණ පළදින්න
  • හැකි සැමවිටම බිම දිගා වී පාද දිගු කොට තබාගන්න
  • පාදයේ වළලුකර රවුමට කරකවන්න
  • වෛද්‍ය උපදෙස් අනුව දිනපතා ඇවිදීම, පිහිනීම වැනි ක්‍රියාකාරකම්වල නිරතවන්න
  • ඉදිමුණු දෙපා සිසිල් ජලයෙන් සෝදන්න
  • සම මත ඉරි තැලීමක් හෝ කැසීමක් ඇති වුවහොත් තෙතමනය රැකදෙන මෘදු ආලේපනයක් භාවිත කළ හැකිය

ප්‍රසූතියෙන් පසු මෙම පාදවල ඇති වූ ඉදිමුම් තත්ත්වය ඉබේම මගහැරී යයි. නමුත් ළදරුවාගේ වැඩකටයුතුවලදී සිටගෙන සිටීම නිසා ඇතැම් මව්වරුන්ගේ මේ තත්ත්වය මගහැරීයාමට ටික කාලයක් ගත විය හැකිය. ඔබේ අපහසුතාවයන් යම්තාක් දුරකට හෝ අවම කගැනීම සඳහා ඉහත දැක්වූ ක්‍රම අනුගමනය කළ හැකියි. එසේත් නැතිනම් වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගන්න.

මේ හා සම්බන්ධව ඔබේ අවධානය යොමු විය යුතු අනෙක් කරුණ වන්නේ දෙපාවලට අමතරව මුහුණ සහ ඇස් වටා ඉදිමුමක් ඇති නම් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු වීමයි. ඇතැම් විටෙක දෙපා ඉදිමුම හෘදාබාධ තත්ත්වයක ලක‍ෂණයක් විය හැකියි. එසේත් නැතිනම් පෙර ලිපිවල සඳහන් අධිරුධිර පීඩනය, වකුගඩුවල යම් යම් රෝග තත්ත්ව නිසා ඇති විය හැකි තත්ත්වයක් ද විය හැකිය. එමනිසා කකුල ඉදිමීමට අමතරව හිසේ කැක්කුම, වමනය, උදරයේ වේදනාව හෝ ඇස් බොදවී පෙනීම  වැනි ලක‍ෂණ ඇත්නම් ඇත්නම් වහාම වෛද්‍යවරයා වෙත යොමු වන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ විසිවන සතිය

Week-20
ටිකෙන් ටික ඇඟේ හැඩ දැන් වෙනස් වෙලා

කුස ඉදිරියට නෙරලා. අම්මාගේ ඇඟේ හැඩය දැන් ටිකෙන් ටික වෙනස් වේගෙන යනවා. හිතට දුකයිද? නැහැනේ? උත්තරීතර මව්පදවිය ලබන්නට සැරසෙන අම්මට තමන්ගේ කුසේ දවසින් දවස වැඩෙන දරු පැටියා තරම් අම්මාගේ හැඩ රුව වැදගත් නෑ. අනික අම්මා දන්නවා, දරුවා ලැබුණට පස්සේ නිසි උපදෙස් මත කෙරෙන ව්‍යායාම හරහා ඇඟේ හැඩය නැවත ලබාගන්න පුළුවන් වග. මේ දේවල් ගැන හිතන්න අම්මෙක්ගේ හිතේ ඉඩ කොයින්ද? අම්මා ඉන්නේ චූටියා ගැන දාහක් සිතුවිලි හිතේ දරාගෙන. ඒ තමයි අම්මාගේ ආදරේ.

ගැබිනි සමයේ විසිවන සතිය

ඔබේ දරුවාගේ බර මේ වන විට ග්‍රෑම් 300ක් පමණ වෙනවා. ඒ වගේම හිසේ සිට තට්ටම දක්වා උස සෙන්ටිමීටර් 16.4 පමණ ඇති. මේ සතිය වන විට වෙනදාටත් වඩා වැඩියෙන් උරා බීම සිදු කරන දරුවා ආහාර ජීරණය සඳහා සිරුර හොඳින් හුරුකරගන්නවා. ඒ වගේම මලපහ නිපදවීම ඇරඹෙන අතරම ඔහු සිය බැඩවැල් තුළ ඒවා තැම්පත් කරගන්නවා.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

විසි වන සතියේ අවසානයත් සමගම ඔබ ගැබිනි සමයේ හරි අඩක් ගෙවා අවසන්. වෙන ත්‍රෛමාසිකයේ මුල සිටම ඔබට බලපෑ කරකැවිල්ල, මතක නැතිවීම, කෙණ්ඩා පෙරලීම, සුව නින්දක් නොලැබීම වැනි තත්ත්වයන් මේ සතියේ පමණක් නොව ඇතැම් මව්වරුන්ට මින් ඉදිරියටත් පැවතිය හැකි අතරම මේ තත්ත්වයන් ගැබිනි සමයේ ඇති වන සාමාන්‍ය අපහසුතාවයන්ය. හැකි හැමවිටම විවේකීව කාලය ගත කළ හැකිනම් මෙවැනි තත්ත්වයන් යම්තාක් දුරකට මැඩපවත්වා ගත හැකියි.

දෙවන ත්‍රෛමාසිකයේ සිට යූනික අස්ථීයේ සිට ගර්භාෂයේ ඉහළ කොටසට ඇති දුර මැන බලා දරුවාගේ වර්ධනය තීරණය කිරීමට පටන් ගනී. එම දුර මගින් ඔඛෙ ගතකරන්නේ ගැබිනි බව කෙතරම් කාලයක්ද යන්න පිළිබඳව ද අවබෝධයක් ලබාගත හැකිවේ. ඒ ආකාරයට ගත් විට සති විස්සක ගැබිනි මවක් වන ඔබේ යූනික අස්ථීයේ සිට ගර්භාෂයේ ඉහළ කොටසට ඇති දුර සෙන්ටිමීටර් 20ක් අතර ප්‍රමාණයක් වේ. කෙසේ වුවත් අද වන විට බොහොමයක් වෛද්‍යවරුන් ස්කෑන් පරීක‍ෂණය හරහා ද දරුවාගේ වර්ධනය මැන බලයි. එය ඉතා සාර්ථක ක්‍රමයකි. මන්ද යම් හෙයකින් දරුවාගේ වර්ධනය නියමිත සති ගණනට අනුකූලව වැඩි වුවහොත් අල්ට්‍රා සවුන්ඩ් පරීක‍ෂනයක් හරහා එයට හේතු අනාවරණය කරගැනීමටද හැකියාව පවතී.

යූනික අස්ථීයේ සිට ගර්භාෂයේ ඉහළ කොටසට ඇති දුර ප්‍රමාණය වැඩිවීමට සාමාන්‍යයෙන් බලපෑ හැකි හේතු ලෙස

  • ප්‍රසූත දිනය සාවද්‍ය ලෙස නිගමනය කර තිබීම
  • උල්බ තරලය වැඩි වීම
  • ඔබේ උකුළු ප්‍රදේශයට වඩා ඉහළින් දරුවා පිහිටා සිටීම
  • ගැබිනි මවට ඇති වන දියවැඩියාව හේතුවෙන් ප්‍රමාණයෙන් විශාල දරුවෙකු සිටීම
  • නිවුන් දරුවන් හෝ ඊට වැඩි ගණනක් දරා සිටීම
  • ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ඇති වී තිබීම

නමුත් සාමාන්‍ය මට්ටමට වඩා ප්‍රමාණයෙන් විශාල වුවද ඇතැම් දරුවන්ගේ කිසිදු ගැටලූකාරී තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැත. ඇතැම් මව්වරුන්ගේ දරුවන් ප්‍රමාණයෙන් කුඩා විය හැකිය. මේ ආකාර දෙකම ඔබේ දරුවාට යම් ආබාධයක් ඇති විය හැකි බවක් පෙන්නුම් කරයි. ප්‍රමාණයෙන් විශාල වුවද කුඩා වුවද බහුතරයක් දරුවන් නිරෝගී මට්ටමේ පසුවෙයි.

ඔබ ඔබේ සමෙහි වෙනසක් දුටුවාද?

ඔබේ සිරුරේ එක් එක් තැන් අඳුරු පැහැ වන බවක් ඔබ දුටුවාද? පියයුරුවල කලූ පැහැති කොටස තද කලූ පැහැයකට හැරී තිඛෙන ආකාරය ඔබට දැකගත හැකියි. ගර්භණී සමයේ හෝමෝනවල ඇති වෙනසත් සමගම මෙලනින් වර්ණකය නිපදවීම වැඩි වීම මෙයට හේතුවයි. මෙලනින් වර්ණකයේ නිපදීවම ඉහළයාම නිසා මුහුණේ නාසය ආශ්‍රිත පෙදෙසේ, කම්මුල දෙපස, නලල, නිකට මෙන්ම උඩු තොලය ඉහළින් කලූපැහැති ලප ඇති වූ ආකාරය ඔබට දැකගත හැකියි. මේ තත්ත්වයද ගැබිනි සමයේ ඇති විය හැකි ඉතාම සාමාන්‍ය තත්ත්වයකි. යම් තාක් දුරකට මේ තත්ත්වය මගහැරීමට නම් හිරු එළියට ඍජුව නිරාවරණය වීමෙන් වළකින්න.

ඇතැම් මව්වරුන්ට ඇති වන උදරය සංකෝචනය හෙවත් හැකිලීම වැනි ස්වභාවයද මෙම කාලය ඇතුළත සාමාන්‍ය තත්ත්වයකි. මෙය ප්‍රසූතියේදී ඇති වන තත්ත්වයට යම් සමානත්වයක් දක්වන අතරම ගැබිනි සමයේ මැද භාගයේ ඇතැම් මව්වරුන් මුහුණ දෙන සාමාන්‍ය තත්ත්වයමි. එය විටින් විට ඇති වීමටද ඉඩකඩ ඇත. ඒ වගේම බොහොමයක් මව්වරුන්ට මේ තත්ත්වයේදී වේදනාවක් නොදැනෙන අතරම ඔවුන් ඒ පිළිබ`දව එතරම් තැකීමක් නොකරයි. නමුත් වේදනාවක් සමගම දිගින් දිගට මෙවැනි තත්ත්වයක් පවතී නම් වෛද්‍යවරයා වෙත දැනුම් දී අවශ්‍ය උපදෙස් ලබාගැනීම වඩා වැදගත් වේ.

මේ වන විට අම්මාගේ බර සාමාන්‍යයෙන් රාත්තල් 12ත් 13ත් අතර ප්‍රමාණයක් දක්වා වැඩි වී තිබිය හැක. පසුගිය සෑම ලිපියකම සඳහන් වූ පරිදි සෑම කාන්තාවකගේම මේ ප්‍රමාණයට බර වැඩිවීමක් නොවිය හැකිය. එය කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වේ. ඒ නිසාම මේ පිළිබඳව පසුතැවිය යුතු නොවේ. ඔබේ බරෙහි යම් වෙනසක් විය යුතු නම් වෛද්‍යවරයා හෝ සායනය මගින් ඒ පිළිබඳව ඔබට අනිවාර්යෙන්ම දැනුම් දෙනු ඇත.

ඒ වගේම අම්මා සිහි තබාගත යුතු අනෙක් කරුණ වන්නේ සැමවිටම පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් ලබාගැනීමෙන් ඔබේ දරුවා මනා සෞඛ්‍යයෙන් නිරෝගීව කුස තුළ වර්ධනය වන බවයි.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු  ”ගැබිනි සමයේ දියවැඩියාව”

ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාව, වර්තමානයේ ලංකාවේ බහුලව පවතින බැවින් ගර්භණී මවක් ලෙස ආරම්භයේ සිටම ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම මෙන්ම විශේෂ අවධානයෙන් කටයුතු කිරීම වඩා වැදගත් වෙනවා. ගර්භණී වීමට පෙරම මේ පිළිබඳව සිතා කටයුතු කිරීම තුළින් ඇතිවන සංකූලතා අවම කරගත හැකියි. ගැබිනි මවක් දියවැඩියාව තත්ත්වයට මුහුණ දිය හැකි අවස්ථාවන් දෙකකි. එනම් දියවැඩියාව පැවති කාන්තාවක් ගැබ් ගැනීම හෝ ගැබ් ගැනීමෙන් අනතුරුව දියවැඩියා තත්ත්වය ඇති වීමයි.

මේ අතරින් පළමු කාණ්ඩයේ ගැබිනි මව්වරුන් ගැබ් ගැනීමට පෙර ඔබේ තත්ත්වය පිළිබඳ අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්නට ඇති අතරම අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර පිළිබඳවත් දැනුවත්ව සිටිය හැකියි. දියවැඩියාව හරියට පාලනය වන තුරු ගැබ් ගැනීම ප්‍රමාද කරන ලෙස එම සායන හරහා ඔබව දැනුවත් වූ නිසාම මේ වන විට ඔබ ඒ තත්ත්වයේ සිටිය හැකිය. නමුත් යම් විටෙක ගැබ් ගැනීමට පෙර තමාට දියවැඩියා තත්ත්වය ඇතැයි නොදැන සිටි මව්වරුන් ද සිටිය හැකිය. එම නිසා දියවැඩියා තත්ත්වය පිළිබඳ නොදන්නා සෑම මවක්ම සති දොළහට පෙර දියවැඩියාව ඇත්දැයි සොය බැලීමේ පරීක‍ෂණ සඳහා යොමු කෙරේ.

එසේම දියවැඩියාව කාලයක් පැවතීමෙන් ඇස් සහ වකුගඩු වෙත හානිකර බලපෑම් ඇති විය හැකි නිසාම ඒ පිළිබඳව අවශ්‍ය පරීක‍ෂණ සඳහා ද මව්වරුන් යොමු කෙරේ. සති දොලහේදී සිදු කරන ප්‍රසූති දිනය නිර්ණය කිරීමේ ස්කෑන් පරීක‍ෂණය ද භ්‍රෑණ අසාමාන්‍යතා නිර්ණය කෙරෙන ඇනෝමලි ස්කෑන් පරීක‍ෂණය ද මෙවැනි මව්වරුන් සඳහා ඉතා වැදගත් වේ. මේ තත්ත්වයේ සිටින මව්වරුන් සති 16ට පෙර ඇස්ප්‍රින් ඖෂධයද ෆෝලික් අම්ල විටමිනය මිලිග්‍රෑම් වක් ලෙසද ලබාගත යුතුය.

මෙම ලිපිය හරහා වැඩි අවධානය යොමුවන්නේ ගර්භණී සමයේ දියවැඩියාව තත්ත්වය ඇති වන මව්වරුන් පිළිබඳවයි. මේ තත්ත්වය අපේ රට තුළ බහුලව දකින්නට ලැබේ. ඒ නිසාම ගර්භණී කාලය තුළ දෙවරක් දියවැඩියාව සඳහා මව්වරුන් පරීක‍ෂාවට ලක් කෙරේ. ගර්භණී සමයේ දියවැඩියාව තත්ත්වය ඇති වන්නේ 16 පසුව නිසා සති දොලහේදී දියවැඩියාව නැති බවට සනාථ වුවද සති 24- 28 යන කාල සීමාව තුළදීත් මව්වරුන් පරීක‍ෂණ සඳහා යොමු කෙරේ.

ගැබ් ගැනීමෙන් පසුව දියවැඩියාව රෝගයට ගොදුරු වීමේ අවදානම පවතිනේ,

  • ස්ථූලතාවයෙන් පෙළීම
  • මුල සිටම මුත්‍රාවල සිනී පැවතීම
  • තම පරම්පරාවේ ඥාතීන්ට මෙම රෝගය පැවතීම
  • වයස අවුරුදු 35 හෝ ඊට වැඩි මට්ටමේ මව්වරුන්
  • පෙර මළ දරු උපත් සිදු වූ මම්වරුන්
  • පෙර ගර්භණී තත්ත්වයකදී බර කිලෝ ග්‍රෑම් 4 ට වැඩි දරුවෙකු ප්‍රසූත කරන ලද මව්වරුන්
  • අංගවිකල දරුවන් ලැබීමක් සිදුව ඇති මව්වරුන්

ගැබිනි සමයේ දියවැඩියා තත්ත්වය නිසා මවට ඇති විය හැකි සංකූලතා පහත පරිදිය.

  • ගබ්සා වීමට ඇති ඉඩ කඩ වැඩිය
  • බිළිඳාගේ වර්ධනය අධික වීමෙන් දරු ප්‍රසූතියේදී සංකූලතා ඇති වීම
  • මළ දරු උපත් ඇති වීම
  • ගබ්සා වීම
  • අධි රුධිර පීඩනය ඇති වීම
  • දරුවා බිහිකිරීම සඳහා සිසේරියන් සැත්කම වෙත යොමුවීමට සිදුවීම, සාමාන්‍ය ප්‍රසූතියකදී නම් යෝනි මාර්ගයේ තුවාල ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වීම

එසේම කලලයට ඇති විය හැකි තත්ත්වයන් පහත පරිදි වේ.

බිළිඳාගේ වර්ධනය අධික වීම

  • හෘදයේ, මොළයේ සහ අස්ථීවල අසාමාන්‍යතා ඇති වීම
  • බිළිඳා වටා ඇති තරලය පිරී උල්බ කෝෂය නියමිත වේලාවට පෙර කැඩී යාම
  • ස්නායු ආබාධ ඇති දරුවන් බිහිවීම, මලදරු උපත්, නොමේරු ළදරුවන් බිහිවීම
  • ළදරුවාගේ හදවත, කශේරුකාවේ පහළ කොටස වැනි කොටස්වල යම් යම් ආකාරයේ සංකූලතා ඇති විය හැකිය
  • දරු ප්‍රසූතියේදී ඇති විය හැකි අනතුරු හේතුවෙන් ළදරුවාට ෂෝල්ඩර් ඩිෂ්ටොෂියා තත්ත්වය ඇති වීම නිසා ස්නායු ආබාධ ඇති විය හැකි අතරම ඇතැම් විට මරණයට පත්වීම වුවද විය හැකිය

දියවැඩියා තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි අහිතකර බලපෑම් අවම කරගැනීම සඳහා

  • පෙර දියවැඩියාව පැවති/පෙර ගැබ් ගැනීම්වලදී දියවැඩියාව පැවති මව්වරුන් පරීක‍ෂාවට ලක්වීම අනිවාර්ය වේ
  • රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම සඳහා අවධානය යොමු කළ යුතුය
  • ෆෝලික් අම්ල විටමිනය මිලිග්‍රෑම් 5ක් ලබාගැනීම
  • සති 16ට පෙර සිට ඇස්ප්‍රින් ඖෂධය ලබා ගැනීම

දියවැඩියා තත්ත්වය හඳුනා ගැනීම සඳහා ග්ලුකෝස් පානයට දී පැය දෙකකින් රුධිර පරීක‍ෂාවට යොමු කිරීම මෙන්න නිරාහාරව සිට සිදු කරන OGTT (Oral Glucose Tolerance Test) – පරීක‍ෂණය සඳහා ද මව්වරුන් යොමු කෙරේ. එමගින් දියවැඩියාව තිබේද නැතිද යන්න පිළිබඳව සොයා බැලෙනවා.

ගැබිනි මව දියවැඩියා තත්ත්වයෙන් පෙලෙන බව හඳුනාගත් පසු,

මේ කුමන තත්ත්වයේ සිටියද සෑම මවකගේම දියවැඩියා තත්ත්වය කළමනාකරනය කෙරෙන්නේ එකම ආකාරයකටයි.

  • දියවැඩියා තත්ත්වය කෑම පාලනය මගින් පාලනය කිරීම සඳහා රෝහල් හරහා පවත්වනු ලබන සායන මගින් හෝ ඒ සඳහා වෘත්තීමය සුදුසුකම් සහිත හෙදියන් මාර්ගයෙන් හෝ වෛද්‍යවරුන් හරහා හෝ අවශ්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ
  • කෑම පාලනය මගින් පාලනය කළ නොහැකි නම් ඖෂධ හෝ ඉන්සියුලීන් එන්නත් මගින් පාලනය කළ හැකිය. මෙට්ෆොමින් ඖෂධය වෛද්‍ය උපදෙස් මත ලබා ගත හැකි අතරම ඒ මගින් ඉන්සියුලින් අවශ්‍යතාවය අවම කරගත හැකිය
  • ගැබිනි සමයේ 16 වන සතියට පෙර ඔබට දියවැඩියා තත්ත්වය ඇති බව සනාථ වුවහොත් ඇස්ප්‍රින් ඖෂධය ගැනීම ආරම්භ කරන්න
  • දියවැඩියා තත්ත්වයෙන් පෙලෙන මව්වරුන් ෆෝලික් අම්ලය විටමිනය 5mg ලබාගත යුතුය
  • ඔබට ග්ලුකෝමීටරයක් මිලදී ගත හැකි නම් සෑම ආහාර වේලකින්ම පැය දෙකකට පසුව රුධිරගත සීනි ප්‍රමාණය පරීක‍ෂා කොට බැලිය හැකිය. නැතිනම් සති දෙකකට වරක් රෝහල්ගත වී අවශ්‍ය පරීක‍ෂණය සඳහා යොමු වන්න
  • සති 28, 32 සහ 36 යන කාලසීමාවන් තුළදී ස්කෑන් පරීක‍ෂණ සඳහා යොමු වී දරුවාගේ වර්ධනය පිළිබඳව පරීක‍ෂා කරවා ගැනීම ඉතා වැදගත් වේ
  • සති 20 පසු සතියකට වරක්වත් රුධිර පීඩනය මැන බැලීමටද සිහිතබාගත යුතුය

දරු ප්‍රසූතියේදී

දියවැඩියා තත්ත්වයේ සිටින මෙවැනි මව්වරුන් කෑම පාලනය මගින් පමණක් දියවැඩියා තත්ත්වය පාලනය කරන්නේ නම් සති දොලහේ ස්කෑන් පරීක‍ෂණයෙන් ලබා දුන් ප්‍රසූති දිනයේ සිට සතියක් ඇතුළත ප්‍රසූතිය සිදුකළ යුතුය.

එසේම ඖෂධ හෝ ඉන්සියුලින් මගින් දියවැඩියා තත්ත්වය පාලනය කරන මව්වරුන් නම් සති 38 -39 ඇතුළත සංකූලතා පවතින මව්වරුන් සති 37 -38 කාලය ඇතුළතය ප්‍රසූතිය සිදු කළ යුතු වේ. කෙසේ වුවද මේ තත්ත්වය මවකගෙන් මවකට වෙනස් විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් මත සියල්ල තීරණය වේ.

දරු ප්‍රසූතියෙන් පසු,

පළමු කාණ්ඩයට අයත් ගැබිනි සමයේ දියවැඩියාව තත්ත්වයෙන් පෙළුණු මව්වරුන් එනම් ගැබ් ගැනීමට පෙර සිටම දියවැඩියාව පැවති මව්වරුන් සුපුරුදු පරිදි තම සාමාන්‍ය ඖෂධ ලබාගැනීම සම්බන්ධව වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. ගැබ් ගැනීමෙන් පසුව මේ තත්ත්වයට පත් වූ මව්වරුන් දරු ප්‍රසූතියෙන් පසුව ලබාගත් ඖෂධ නතර කළ යුතු අතරම ප්‍රසූතියෙන් සති හයකට පසුව රුධිර පරීක‍ෂාවක් සඳහා යොමු විය යුතුය. එහිදී සාමාන්‍ය තත්ත්වයට පත්ව නැතිනම් කායික වෛද්‍යවරයෙක් වෙත යොමු වී ඖෂධ හා උපදෙස් ලබාගැනීම කළ යුතුය. මීට අමතරව දරු ප්‍රසූතියෙන් පසු දියවැඩියා තත්ත්වය පහව ගිය මව්වරුන් ඊළග ගැබ් ගැනීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගනිමින් සති 16ට පෙර  ඇස්ප්‍රින් ඖෂධය ආරාම්භ කරන්න. අවුරුදු 35 වැඩි ඉහත තත්ත්වයට මුහුණ දුන් මව්වරුන්ට දියවැඩියාව සාමාන්‍ය තත්ත්වයේදීත් ඇති විය හැකි නිසා වසරකට වරක් දියවැඩියා පරීක‍ෂණයක් සඳහා යොමුවන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ දහනවවන සතිය

Week-19
චූටියා හොඳට වැඩෙන්න නම් හොඳ පෝෂණයක් අවශ්‍ය බව අම්මා දන්නවා නේද?

අම්මට පුළුවන් පොඩි සටහනක් හදන්න, අම්මාගේ ආහාර වේල් ඇතුළත් කරලා. ඒ සටහන උදේ සවස පෙනෙන තැනකින් අලවගන්න. එතකොට ඔබට පුළුවන් මගහැරෙන්නෙ නැතිව ඔබේ පෝෂණයට අවශ්‍ය ආහාර වර්ග එක්කරගන්න. ඒ වගේම මේ කාලය තුළ ගැස්ට්‍රයිටීස් වගේම පපුවේ දැවිල්ල වැනි තත්ත්වයන් තියෙනවා නම් අම්මා ලබාගන්න ආහාර ගැන හොඳ සැලකිල්ලක් තියෙන්නම ඕනේ. අවශ්‍ය නම් අම්මට නුසුදුසු ආහාර වර්ගත් මේ සටහනට ඇතූලත් කරගන්න පුළුවන්. ඒ වගේම කොයිතරම් ආස හිතුණත් තමන්ට අගුණ වගේම ක‍ෂණික ආහාර වර්ගවලින් ඈත් වෙන්න පැටියට තියෙන ආදරේ නිසා අම්මට බැරිවෙන්නේ නෑ.

ගැබිනි සමයේ දහනවවන සතිය

දැන් ඔබේ දරුවාගේ හිසේ සිට තට්ටම දක්වා උස සෙන්ටිමීටර් 15.3 ක් පමණ වන අතර බර ග්‍රෑම් 240කට ආසන්නයි. මේ වන විට දරුවාගේ සංවේදක සංවර්ධනය වීම ආරම්භ වෙලා. දරුවාගේ මොළය සුවඳ රසය, පෙනීම සහ ස්පර්ශය යන සංවේදනයන් සඳහා අදාල තැන් හොඳින් සැකසිලා. එසේම අත් පා සිරුරේ ප්‍රමාණයට අනුපාතව වර්ධනයවී තිබේ. මේ වන විටත් වකුගඩු මගින් මුත්‍රා පෙරීම සිදු කෙරේ. හිසකේ සෙමින් සෙමින් වැඩෙන අතරම සමේ ආරක‍ෂාවට vernix caseosa ලෙස හැඳින්වෙන ඉටි වැනි වූ ආවරණය දරුවාගේ සම මත සැකසේ.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

මේ වෙද්දී ඔබේ ගර්භාෂය ඔබේ පෙකණියට යටින් පවතිනවා.  මීට පෙර සිරුරේ පැවතුණු සමබර බව ටිකක් අඩුවෙලා කියලා ඔබට හිතේවි. ඒ ඔබේ උදරය දිනෙන් දින විශාල වීමත් සමගම සිරුරේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය වෙනස් වන නිසයි. මේ තත්ත්වය යටතේ ගමනේ බිමනේදී ඔබ සැලකිලිමත් විය යුතුමයි.

කොන්ඩේ වේදනාව මේ කාලය ඇතුළත ඉතාම සාමාන්‍ය තත්ත්වයක් බව පසුගිය ලිපිවලදී සාකච්ඡා වුණු බව ඔබට මතක ඇති. මේ තත්ත්වය යම්තාක් දුරකට හෝ මගහරවා ගැනීමට නම් ඔබේ ඉරියව්වල නිවැරදි බව ඛෙහෙවින් උපයෝගී වේවි. ඒ වගේම වෛද්‍ය උපදෙස් මත නිවැරදි ව්‍යායාම පිළිබඳ  අවධානය යොමු කිරීමත් මෙහිදී ඉතාම වැදගත් වනු ඇත.

ඔබේ වේදනාවට යම් පහසුවක් සලසාගන්න, මෙන්න මේ උපදෙස් ගැන අවධානය යොමුකරන්න.

හැමවිටම පැතලි පතුල් සහිත පාවහන් තෝරාගන්න

  • අධික බර එසවීමෙන් වළකින්. එවැනි අවස්ථාවකදී යමෙකුගේ සහාය පතන්න
  • දිගු වේලාවක් සිටගෙන සිටීමට සිදු වේ නම් අදාල අය සමග සාකච්ඡා කොට යම් පහසුවක් සලසාගන්න
  • නිදාගැනීමේදී දෙපා අතරට කොට්ටයක් තබාගනිමින් ඉරියව්ව පහසුකරගන්න
  • කොන්ද සම්බාහනය කරන්න

ගැබිනි සමයේ ව්‍යායාමවල යෙදෙනවා නම් ඊට ප්‍රථම ඔබට සුදුසු ව්‍යායාම පිළිබඳව දැනුවත් වීම ඛෙහෙවින් වැදගත් වේ. ව්‍යායාමවල නිරත වීම ගැබිනි සමයේදී ඇති වන අපහසුතා බොහොමයකට විසඳුම් ගෙනෙන අතරම ප්‍රසූතිය සඳහා සිරුර සකසා ගැනීමටද ඔබට මෙමගින් හැකියාව ලැබේ.

පළමු ත්‍රෛමාසිකයේ අවසන් භාගයේ පමණ සිට අත්දැකි හිස කරකැවිල්ල සහ අමතක වීමේ ස්වභාවය ඔබට මේ වනවිටත් යම්තාක් දුරකට පවතිනවා විය හැකියි. ඇතැම් මව්වරුන්ට මේ තත්ත්වය දෙවන ත්‍රෛමාසිකය වන විට මගහැරී ගියද ඇතැමුන්ට ප්‍රසූතිය දක්වාම පැවතිය හැකියි.

ඒ වගේම නාසයේ සිරවුණු ගතිය බහුතරයක් මව්වරුන් මේ කාලය වන විට මග හැරුණද ඇතැම් මව්වරුන්ට දහවල් කාලය තුළදී පමණක් එම අපහසුතාවයට මුහුණ දීමට සිදුවේ. නමුත් මව්වරුන් කිහිප දෙනෙකුට මුළු දවස පුරාම මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවේ. වෛද්‍ය උපදෙස් අනුව නේසල් ඩ්‍රොප් එකක් පාවිච්චි කරන්නට ඔබට හැකියි.

ගැබිනි මවගේ නින්දට බාධා පමුණවන කෙණ්ඩා පෙරලීම මේ කාලය වන විට ඔබට අත්කින්නට සිදුවන අලූත් තත්ත්වයකි. නමුත් මෙය ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි. මෙතැන් සිට ප්‍රසූතිය තෙක්ම ඔබට මෙම අත්දැකීමට මුහුණ දීමට සිදුවනු ඇත. මෙවැනි අවස්ථාවකදී පාදය හො`දින් දිගහැර පාදයේ ඇඟිලි දණහිස දෙසට නවන්නට ඔබේ සැමියාගේ සහාය ලබාගන්න.

මේ වන විට ඔබේ බර රාත්තල් 11 – 12 අතර ප්‍රමාණයකින් වැඩිවී තිබිය හැකියි. එසේ නොමැති වූවද ඒ පිළිබඳව කණගාටුවට පත් විය යුතු නැත. මන්ද එක් එක් කාන්තාවගෙන් කාන්තාවට බර වැඩිවන ආකාරය වෙනස් විය හැකි බැවිනි. වෛද්‍යවරයා හෝ සායනය මගින් ඔබේ බර වැඩිවීම පිළිබඳව අවධානය යොමුකරන අතරම යම් අසාමාන්‍ය තත්ත්වයක් පවතී නම් ඒ පිළිබඳ ඔබව දැනුවත් කරනු ඇති.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු  ”කුස තුළදී බිළිඳාගේ වර්ධනය අඩාල වීම”

හැම අම්මෙක්ගේම පැතුම නිරෝගී දරු පැටියෙක්. ඒත් ඇතැම් මව්වරුන්හට ගර්භණී කාලයේදී නොයෙකුත් සංකූලතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුවීම අතරින් එකක්.

කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුවීමේ අවදානම පවතින්නේ

පෙර ප්‍රසූතියේදී කිලෝ ග්‍රෑම් 2.5 අඩු දරුවෙකු බිහිවූ මව්වරුන්ට

  • දියවැඩියාව හෝ අධි රුධිර පීඩන තත්ත්වයෙන් පෙලෙන මව්වරුන්ට
  • වයස අවුරුදු 18 අඩු හෝ වයස අවුරුදු 40ට වැඩි මව්වරුන්ට
  •  අධි බර තත්ත්වයේ සිටින එනම් BM I අගය 30 වැඩි මව්වරුන්ට
  • සෟජුව හෝ වක්‍රව දුම්පානය කරන මව්වරුන්ට
  • අඩු බර සහිතව බිහිවූ මවක හෝ පියෙකු සිටි මව්වරුන්ට
  • දීර්ඝ කාලීනව යම් රෝග තත්ත්වයන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාගන්නා මව්වරුන්ට

ඉහත දක්වා ඇති අවදානම් තත්ත්වවල සිටින මව්වරුන් වෛද්‍ය උපදෙස් ලබාගනිමින් සති 16 ට පෙර ඇස්ප්‍රින් ඖෂධය ආරම්භ කළ යුතුය. ඊට අමතරව 28, 32, 36 කාලවලදී ස්කෑන් පරීක‍ෂණ මගින් කලලයේ වර්ධනය මැන බැලීම සිදුකෙරේ.

මෙසේ අවදානම් තත්ත්වයේ සිටින මව්වරුන් පමණක් නොව ඕනෑම මවක් මේ තත්ත්වයට පත්වීමට ඉඩ ඇත. ඒ නිසාම සති විසිහතරක් ගත වූ පසු මෙවැනි මව්වරුන් සායනයට සහභාගී වන සෑම අවස්ථාවකදීම ටේප් පටියක් ආධාරයෙන් කුස මැන බලයි. එහි යම් වෙනසක් වේ නම් එවැනි මව්වරුන් ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරේ. එහිදී මවට අවශ්‍ය ස්කෑන් පරීක‍ෂ කරා යොමු කෙරේ.

මේ ආකාරයට කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය බාලවීමට බලපාන අවස්ථා කිහිපයකි.

  • මව හා පියා ප්‍රමාණයෙන් කුඩා වීම
    මෙය කිසිදු අසාමාන්ය තත්ත්වයක් නොවන අතරම මව සහ පියා ප්රමාණයෙන් කුඩා නම් ජානමය වශයෙන් දරුවාද කුඩා විය හැකිය.
  • බිළිඳාගේ අසාමාන්‍යතා
    මවට ඇති වූ ආසාදන හේතුවෙන් හෝ ජාන සම්බන්ධ අඩු පාඩු හෝ කායික දුර්වලතා පිළිබඳව මෙහිදී පරීකෂා කරන අතරම මෙවැනි දරුවන් විශේෂිත පරීකෂණ සඳහා ද යොමු කෙරේ.
  • දින සම්බන්ධව ඇති යම් ගැටලුවක් දැයි සොයා බැලීම
    11ත් 14 ස්කෑනරීෂණය සඳහා යොමු නොවූ මව්වරුන්ට මේ තත්ත්වය ඇති විය හැකියි.
  • වැදෑමහ හරහා කලලයේ වර්ධනයට අවශ්‍ය පෝෂණය හා ඔක්සිජන් ප්‍රමාණය ගමන් කිරීම අඩුවීම

මීට ඉහත ලිපිවල සඳහන් කළ පරිදි වැදමහ ගර්භාෂයට ඇලීමේදී ඇති වන යම් ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් කලලයට අවශ්‍ය පෝෂණය හා ඔක්සිජන් ප්‍රමාණය ගමන්කිරීම අවම වේ. එම නිසා මේ තත්ත්වයට පත්වන දරුවන් ප්‍රමාණයෙන් කුඩා වන අතරම ඇතැම්විට කුස තුළම මියයාමේ අවදානමක් ද පවතී. එබැවින් ප්‍රමාණයෙන් කුඩා දරුවන් සිටින විට මේ තත්ත්වය පවතීද යන්න පිළිබඳව සොයා බැලේ. ස්කෑන් පරීක‍ෂණ හරහා කලලය වෙත ගමන් කරන රුධිර ප්‍රමාණය සොයා බැලීම මගින් මේ තත්ත්වය හඳුනා ගත හැකිය. මෙවැනි තත්ත්වයකදී වෛද්‍යවරුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ලේ ගමනා ගමනය අවම මට්ටමකට පැමිණෙන තෙක් කලලයට කුස තුළ වැඩීමට ඉඩ ලබාදීමයි. නමුත්  කලලය වෙත ගමන් කරන රුධිර ප්‍රමාණය අවම මට්ටමට පැමිණේද යන්න පිළිබඳව සුපරික‍ෂාකාරීව පසුවන අතර එවන් තත්ත්වයකදී වහාම දරුවා බිහිකිරීම සිදුකරයි. එසේ නොමැති නම් සති 37 සම්පූර්ණ වූ පසු දරුවා බිහිකරයි.

මෙම තත්ත්වය ඇති බව හඳුනාගත් පසු නිතර නිතර ස්කෑන් පරීක‍ෂණවලට යොමුවීමට මවකට සිදුවන අතරම දරුවා බිහිවන තෙක් රෝහල් ගතව සිටීමට ද සිදුවිය හැකිය. මේ තත්ත්වයේ සිටින මව්වරුන් සතු ප්‍රධානතම කාර්යය වන්නේ දරුවාගේ චලනයන්හි වෙනසක් ඇති නම් වහාම රෝහල වෙත පැමිණීමයි.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ දහඅටවන සතිය

Week-18
අම්මාගේ කුසේ දඟකරන සමනල පැටියා කවුද?

මේ දහ අට වන සතිය, අම්මා කෙනෙක්ටම විතරක් ලැඛෙන බොහොම සුන්දර ආදරණීය අත්දැකීමක් අම්මට දැනෙන්න පටන් අරගෙන. පුංචි සමනල පැටියෙක් අම්මාගේ කුසේ දඟකරනවද කියලා අම්මට හිතෙන එක පුදුමයක් නෙවෙයි. අම්මට මේ දැනෙන්නේ චූටියා බණ්ඩිය ඇතුළට වෙලා කරන දඟ වැඩ තමයි. වචනයෙන් විස්තර කරන්න බැරි තරම්ම චූටියා ගැන ආදරයකින් අම්මාගේ හිත පිරිලා. මෙන්ම මේ නිසාම තමයි අම්මා තරම් උතුම් නාමයක් මේ ලෝකේ වෙන නෑ කියලා කියන්නේ…

ගැබිනි සමයේ දහඅටවන සතිය

ගැබිනි සමයේ 18 වන සතිය වන විට දරුවාගේ හිසේ සිට තට්ටම දක්වා උස සෙන්ටිමීටර් 14.2 පමණ වන අතරම බර ග්‍රෑම් 190ක් පමණවේ. අත් පා නවමින් දිගහරිමින් ඉතා ක්‍රියාශීලීව මව්කුස තුළ වැඩෙන දරුවාගේ විනිවිද පෙනෙන සම තුළින් රුධිර නාලිකා දැකගත හැකිය. මේ වෙද්දී කන්පෙති හිස දෙපස නියමිත ස්ථානයේ ස්ථාන ගත වී අවසන්. ස්නායු ආරක‍ෂා කිරීමට ඒ වටා මයිලින් ආවරණය සැකසීම මේ සතියේ සිට ආරම්භ වේ. කුස තුළ වැඩෙන්නේ ගැහැණු දරුවෙකු නම් ඇයගේ ගර්භාෂය සහ පැලෝපීය නාල සැකසී ඇති අතර නියමිත ස්ථානවල ස්ථාන ගතව පිහිටයි. පිරිමි දරුවෙකුගේ නම් පුරස්ථී ග්‍රන්ථී හැඩගැසෙන අතරම ලිංගික අවයව සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇතත් ස්කෑන් පරීක‍ෂයේදී හඳුනා ගැනීමට අපහසුය. ඒ අතරම සැකිලි පද්ධතිය තව තවත් ඝන වෙමින් පවතිනවා. බඩවැල් මගින් මෙකෝනියම් හෙවත් කලු පැහැති මල එක්රැස් කිරීම ආරම්භ වන්නේ මේ සතිය ඇතුළතයි.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

මේ 18 වන සතියේ ආරම්භය. ඔබේ දරුවාගේ චලනය පළමුවෙන්ම ඔබට දැනෙන්නට පටන් ගන්නේ මේ සතිය තුළයි. නමුත් ඇතැම් මව්වරුන්ට මෙය තවත් සති කිහිපයක් ප්‍රමාද විය හැකියි. ඒ පිළිබඳව ඔබ කිසිසේත්ම කණගාටුවට පත්විය යුතු නෑ. මොකද එය මවකගෙන් මවකට වෙනස් විය හැකියි. ඒ වගේම මේ ලැඛෙන්න ඉන්නේ ඔබේ දෙවන හෝ තෙවන දරුවා නම් 16 වන සතියේ සිටම දරුවාගේ චලනයන් දැනෙන බව 16වන සතියේ ලිපියේත් සඳහන් වූ බව ඔබට මතක ඇති.

සාමාන්‍යයෙන් දරුවාගේ දැඟලීම පිළිබඳ අතීතයේදී සැලකිලිමත් වූයේ දිනකට 10 වතාවක් දැනිය යුතු ලෙසයි. දරුවාගෙන් දරුවාට චලනයන් වෙනස් වන නිසා මේ පිළිබඳව දැන් අවධානය යොමු කරනුයේ සාමාන්‍යයෙන් දරුවාගේ චලනය දැනෙන වාර ගණනට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් දැනෙන වාර ගණන අඩු බවක් දැනෙන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි. ඇතැම් විට මව යම් කාර්යයක නිතර වී සිටීම නිසා දරුවාගේ චලනයන් පිළිබඳ අවාධනය නොමැතිව යාමෙන් බියට පත් විය හැකිය. එවැනි කාර්ය බහුල දිනයක් නම් සියලු වැඩ නවතා පැයක පමණ කාලයක් පරීක‍ෂාවෙන් හිඳින්න. එවිටද දරුවාගේ චලනයන් ඔබට නොදැනේ නම් වහාම වෛද්‍ය උපදෙස් වෙත යොමු වන්න.

ඔබේ දරුවාගේ චලනයන් සති 22 පසුවීත් නොදැනෙන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත්ය.

ගැබිනි සමයේ බොහොම සාමාන්‍ය තත්ත්වයක් ලෙස ආහාර පාන පිළිබඳ වැඩි රුචියක් ඇති වීම දැක්විය හැකිය. ගැබිනි මවකට සාමාන්‍ය අයෙකුට වඩා වැඩිපුර කුසගිනි ඇති විම බොහොම සාමාන්‍ය තත්ත්වයකි. ඒ පිළිබඳව පසුතැවිලි වීම හෝ ලැජ්ජාවට පත්වීම අනවශ්‍යය. ඔබ සැමවිටම සැලකිලිමත් විය යුත්තේ සුළු ප්‍රමාණයක් ලෙස හෝ ඔබ ලබාගන්නා ආහාර ඉහළ පෝෂණ අගයකින් යුක්ත විය යුතු බවයි.

එක් එක් දේවල් අමතක වී යාම මේ කාලය තුළ ඔබට බහුලව මුහුණ දීමට සිදුවන තත්ත්වයක්. මෙය දෙවන ත්‍රෛමාසිකයේ වගේම තෙවන ත්‍රෛමාසිකයේත් ඔබට අත්දකින්නට සිදුවන තත්ත්වයකි. එසේම ගැබිනි සමයේ ඉතා සාමාන්‍ය තත්ත්වයක් බැවින් මේ පිළිබඳව දුකට කම්පාවට පත් වීම අනවශ්‍යය. තම කාර්යයන්හිදී අවශ්‍ය සියලූ දේ සටහන් කරගනිමින් අමතක වීම නිසා ඔබට මුහුණ දීමට සිදුවන ගැටලූ මගහරවා ගැනීමට ඔබට හැකි වනු ඇත. එසේත් නැතිනම් ජංගම දුරකතනයේ තොරතුරු ඇතුළත් කොට තැබීම මගින්ද ඔබට අවශ්‍ය වේලාවට අවශ්‍ය කාර්යය කරගැනීමට පහසු වනු ඇත.

ක්ලාන්තගතිය මේ කාලය තුළ ඔබට අත්දකින්නට සිදුවන තවත් තත්ත්වයකි. හිඳ සිටින පුටුවෙන් එක්වරම ඔබ නැගී සිටින අවස්ථාවන්හිදී මේ තත්ත්වය බොහෝවිට ඇති විය හැකිය. මේ කාලය වන විට වෙනදා මෙන් නොව සිරුරේ නිපදවෙන රුධිර ප්‍රමාණය දෙගුණයක් වී තිබීම මෙයට හේතු විය හැකිය. එසේම ගැබිනි සමයේ රුධිර පීඩනය අවම වීමද මේ තත්ත්වයට හේතු විය හැකිය. ඒ වගේම කොන්දේ වේදනාව මෙන්ම අපහසුතාවයද මේ සතිය තුළත් ඔබට දැනේවි.

දහඅට වන සතිය වන විට ගැබිනි මවකගේ බර සතියකට රාත්තල බැගින් වැඩි වන ආකාරයක් දැකගත හැකිය. සති 18 පුරා ඔබේ බර වැඩි වීම සාමාන්‍යයෙන් රාත්තල් 10ක් පමණ වේ. නමුත් ඇතැම් මව්වරුන්ගේ මීට වඩා අඩු විය හැකිය. මේ තත්ත්වය පෙර අපි සඳහන් කළ පරිදිම කාන්තාවගෙන් කාන්තාවට වෙනස් බව සිහි තබාගන්න. තවද මේ බර වැඩිවීමට ඇතුළත් වන්නේ දරුවාගේ බර පමණක් නොවේ. වැදෑමහ, උල්බ තරලය, වැඩිවන රුධිර ප්‍රමාණය, ප්‍රසාරණය වන ගර්භාෂය ඇතුළු තවත් දේ ඇතුළත්ය.

ගැබිනි සමයේ නියමිත බර ප්‍රමාණය තීරණය කෙරෙනුයේ ඔබ ගැබ් ගැනීමට පෙර පැවති බර තත්ත්වයට අනුවයි. සාමාන්‍ය බර සහිත කාන්තාවක් ගැබ් ගැනීමෙන් පසුව රත්තල් 25 – 35ත් අතර ප්‍රමාණයකින් බර වැඩිවිය යුතු අතරම ඔබ බර අඩු කාන්තාවක් නම් රත්තල් 28ත් 40ත් අතර ප්‍රමාණයකින් බර වැඩි කරගත යුතුය. එසේම ඔබ අධි බර කාන්තාවක් නම් ඔබේ බර රාත්තල් 15ත් 25ත් අතරප්‍රමාණයක පවත්වා ගැනීමට උනන්දු වන්න. ඔබ නිවුන් දරුවන් හෝ දරුවන් වැඩි සංඛ්‍යාවක් කුසෙහි දරා සිටින මවක් නම් ඔබේ බර මීට වඩා වැඩි විය යුතුවේ. අඩු බර හෝ අධි බර තත්ත්වයේ ගැබිනි මව්වරුන් සැමවිටම තම බර නියමිත තත්ත්වයේ රඳවා ගැනීමට උනන්දු විය යුත්තේ ගැබිනි සමයේ නොයෙකුත් සංකූලතාවයන්ට මුහුන දීමට ඔබට සිදුවිය හැකි නිසාය. අඩු බර ඇතිගැබිනි මව්වරුන් නොමේරූ හෝ සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා ළදරුවන් බිහිකිරීමේ ප්‍රවණතාවය වැඩි විය හැකි අතරම අධි බර ඇති ගැබිනි මව්වරුන්හට දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි තත්ත්වයන්ට ගැබිනි සමයේ මුහුණ දීමට සිදුවිය හැකිය.

යම් යම් ආහාර පාන පිළිබඳව ආසාවන් ඇති වුවත් දකින දකින සියලූ දේ ආහාරයට ගනිමින් ඔබේ දොළදුක සංසිඳවා ගැනීමට උත්සාහ දැරීම ඔබේ ශරීර සෞඛ්‍යයට එතරම් සුදුසු නොවේ. ගැබ් ගැනීමට පෙර තාලයේදීට වඩා ගැබ්ගැනීමෙන් පසුව කාන්තාවකට අවශ්‍ය වන්නේ වෙනදාට වඩා වැඩිපුර කැලරි 300ක් පමණ ප්‍රමාණයක් බව සිහිතබාගන්න. ක‍ෂණික ආහාර, අධික පැණි රස ආහාර වර්ගවලින් ඈත්වී හැකි හැමවිටම පළතුරු හෝ පෝෂ්‍යගුණයෙන් ඉහළ යමක් ආහාරයට ගැනීම වඩා සුදුසුවේ. ගැබිනි සමයේ ඔබේ ඉර පිළිබඳ ගැටලූවක් ඔබට බවතී නම් වෛද්‍යවරයාගෙන් ඒ පිළිබඳව විමසන්න.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු  ”Pre-eclampsia තත්ත්වය”

ගැබිනි මවකට අධි රුධිර පීඩන තත්ත්වය හේතුවෙන් එක් එක් ආකාරයේ සංකූලතාවයන් ඇති විය හැකි බවත් ඒ නිසාම නියමිත වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර ලබාගනිමින් තත්ත්වය පාලනය කරගත යුතු බවත්  පෙර ලිපියකදී සඳහන් කළා. ඒ තත්ත්වය මත මවකගේ වකුගඩුවලට හානි සිදුවීමෙන් අනතුරුව අධි රුධිර පීඩනයට අමතරව මුත්‍රා සමග ප්‍රෝටීන පිටවීම සිදුවිය හැකියි. අවම මට්ටමේ සිට තීව්‍ර මට්ටම දක්වාම සංකූලතාවයන් ඇති කළ හැකි Pre-eclampsia නම් වූ තරමක් භයානක එම තත්ත්වයට ගැබිනි මව්වරුන් සියයකගෙන් පස් දෙනෙකු පමණ මුහුණ දේ. මෙහි දරුණුම තත්ත්වය වන්නේ මොළයට බලපෑම් ඇති කරන Eclampsia හෙවත් ගර්භ වලිප්පුව නම් වූ අවස්ථාවයි.

පෙර ලිපියේ සඳහන් කළ පරිදිම මේ තත්ත්වයන් ඇති වීමට බලපාන නිශ්චිත හේතුවක් මේ වන විටත් සොයාගෙන නැති අතරම වැදැමහ මගින් මවගේ රුධිරයට එක්කරන යම් යම් සංඝටක මවගේ රුධිරවාහිනී වෙත හානි පැමිණ වීම හේතුවෙන් මවගේ වකුගඩුවලට හානි සිදුවී ඇති අතරම මේ තත්ත්වයේ පසුවන මව්වරුන්ගේ  අක්මාව, මොළය මෙන්ම හෘදය වැනි අවයවවලට හානි සිදුවේද යන්න පිළිබඳව සුපරික‍ෂාකාරී වීම වඩාත් වැදගත් වන්නේ මෙම Pre-eclampsia නම් වූ දරුණුතම තත්ත්වය හේතුවෙන් අවයව අක්‍රිය වීම, කලලයේ වර්ධනය අඩාල වීම පමණක් නොව ඇතැම් විට කුස තුළ බිළිඳා මිය යාම, වැදැමහ ගැලවී යාම වැනි තත්ත්වයන් ඇති විය හැකි බැවිනි.

Pre-eclampsia තත්ත්වයට පත් වූ මවක් වෙනුවෙන් වෛද්‍යවරුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ මවගේ ජීවිතයට අවධානමක් නොවන තෙක් ගැබිනි බව රැක ගැනීමයි. මෙහිදී රෝග තත්ත්වය වකුගඩුවලට බලපෑම් කොට ඇති අතරම මවගේ තත්ත්වය කොයි මොහොතේ දරුණු තත්ත්වයට පත්වේද යන්න සැක සහිතය. ඒ නිසාම මෙවැනි මව්වරුන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබිය යුතුය. එහිදී රුධිර පීඩනය මෙන්ම රුධිර පරීක‍ෂාවන්ටද මව්වරුන් යොමු වන අතරම තත්ත්වය දරුණු අතට හැරීමේ අවදානම් අවස්ථා පිළිබඳව නිරීක‍ෂණය කිරීම සිදු කෙරේ.ඒ, Eclampsia හෙවත් ගර්භ වලිප්පුව නම් වූ ඉතාම දරුණු තත්ත්වයට පත්වුවහොත් මවගේ මොළය වෙත සිදුවන රුධිර වහනය හේතුවෙන් මව මිය යාම පවා සිදු විය හැකි නිසාය.

Pre-eclampsia තත්ත්වයේ තීව්‍රතම අවස්ථාවට පත් වූ මව්වරුන්ගේ රෝගය නිසා මොළයට බලපෑම් ඇති කරන අවස්ථාවේදී මවට හිසරදය, ඔක්කාරය, දෘෂ්‍ය ආබාධ වැනි ලක‍ෂණ පෙන්නුම් කරයි. උදරයේ දකුණු පස අධික වේදනාව, ඇස් කහවීම යන ලක‍ෂණ පෙන්නුම් කරනුයේ මෙම තත්ත්වය අක්මාව වෙත බලපෑම් කරන අවස්ථාවන්හිදීය. එසේම රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීමෙන් රුධිරවාහිනි වෙත බලපා ඇති බවද අණාවරණය වේ. ඒ නිසා එවැනි ලක‍ෂණ ඇති වේ නම් වහාම ප්‍රසූතිය සිදු කළ යුතුය.

මෙවැනි රෝග ලක‍ෂණ පෙන්නුම් කරන Pre-eclampsia තත්ත්වයේ දරුණුතම අවස්ථාවේ සිටින මව්වරුන් ඉහත රෝග ලක‍ෂණ සහ අධික රුධිර පීඩනය (160 – 110 වැඩි) සහිතව හෝ රහිතව ගර්භ වලිප්පුව (Eclampsia- තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය ඉහළය. එසේ වුවහොත් මොළයට ඇති වන බලපෑම මත මෙසේ ගර්භ වලිප්පව ඇති වුවහොත් සමහර මව්වරුන්ගේ මොළය තුළට ලේ වහනය වී මිය යා හැකිය. එම නිසා දරුණුතම අවස්ථාවේ සිටින මවගේ ජීවිතයට මුල් තැන ලබාදෙමින් අතරම මේ තත්ත්වය වළක්වා ගැනීමට ප්‍රසූතිය සිදුකිරීම අනිවාර්ය වේ.

මෙහිදී මවගේ අධිරුධිර පීඩනය පාලනය කිරීමට ඖෂධ වර්ග සහ Eclampsia වැලැක්වීමට මැග්සල්ෆේට් එන්නත ලබා දෙනවා. මෙම එන්නත ලබාදීම නිසා වලිප්පු තත්ත්වය ඇති වීමේ ප්‍රවණතාවය 60% පමණ අඩු කළ හැකියි. එසේම එමගින් බිළිඳාගේ මොළයට සිදුවිය හැකි හානියද අවම වන අතරම බිළිඳාගේ නොමේරූ පෙනහලූ මේරීම සඳහා ස්ටීරොයිඩ් ඖෂධය ලබා දේ.

මව්වරුන්හට මැග්සල්ෆේට් එන්නත ලබාදීමෙන් පැය 24ක් ඇතුළත මවගේ අවධානම් තත්ත්වය අවම වූ සැණින් දරුවා බිහිකිරීම සිදුකරයි. දරුවා බිහිකිරීමට සීසර් සැත්කම අත්‍යවශ්‍ය නොවුනද නොමේරු ළදරුවෙකු නිසා ගැබ්ගෙල සූදානම් නැති නම් සීසර් සැත්කම සිදුකරයි. මෙවන් අවස්ථාවන්හිදී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහායද ඉතා වැදගත් වේ. ප්‍රසූතියෙන් පැය 48ක් යනතුරු යම් අවදානමක් පවතින අතරම මව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි. එසේම පැය 24ක් යනතුරු මැග්සල්ෆේට් එන්නත මවට ලබා දේ.

ප්‍රසූතියෙන් සති හයක් පමණ ගත වූ පසු මේ තත්ත්වය මගහැරී යන අතරම මව්වරුන් රුධිර පීඩනය පරීක‍ෂා කොට, අවශ්‍ය වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබාගැනීමට වගබලාගත යුතුය. එසේම මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් මවක් ඇයගේ ඊළඟ ගර්භණී අවස්ථාවේදී ඉතාම සැළකිලිමත් විය යුතුවේ. ඒ මේ තත්ත්වය එවිට ඉතාම දරුණු ලෙස ඇති විය හැකි බැවිනි. නැවත ගැබ්ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් කරා යොමු වීම මෙන්ම පූර්ව ගර්භණී සායන සඳහා සහභාගී වීම ද ඊළඟ ගැබ් ගැනීමේදී සති 16ට පෙර වෛද්‍ය උපදෙස්වලට අනුව ඇස්ප්‍රින් ඖෂධය ලබාගැනීමටද සිහි තබාගන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ දහහත්වන සතිය

Week-17
ඔන්න, දැන් නම් චූටියට හොරෙන් කතා බැහැ…… දැන් එයාට හොඳට ඇහෙනවලු …

මේ වෙද්දී චූටියට හොඳට ඇහෙනවා. කොයිතරම් ඉක්මනට එයා ලොකු වෙලාද? ඉතිං අම්මටයි තාත්තටයි එයා එක්ක කතා කරන්න පුළුවන්. අම්මාගෙයි තාත්තාගෙයි කතාවලට චූටියා දක්වන ප්‍රතිචාරය අම්මට ළඟදිම දැනෙයි. මිහිරි, සෞම්‍ය සංගීතයකට සවන් දෙන්න දැන් ඉඳන් අම්මට පුළුවන් නේද? මොකද චූටියා එළියෙ වෙන හැමදේම හොඳින් අහගෙන ඉන්න පටන් අරගෙන. තරහින් කෑකෝගහන තැන්වල අම්මා නම් ඉන්න එපා. චූටියට බය හිතේවි. දරු පැටියා වෙනුවෙන් ලස්සන ගීත ගයන්න අම්මට පුළුවන්. ලස්සන ගීත අහන්න අම්මට පුළුවන්. චූටියා මේ ලෝකෙට බිහි වුණු දවසටත් එයාට හුරුපුරුදු ඒ මිහිරි සංගීතය ඇහෙද්දි ඇඬිම නතර කරලා හිනාවේවි. ඒ වගේම චූටියා සංනිවේදනය මුලපුරන්නේ මෙතැන් සිට කිව්වොත් නිවැරදියි. අන්න ඒ නිසාම අපි එයාට කතා කරන්න ඕනේ. සින්දු කියන්න ඕනේ. කතා කියලා දෙන්න ඕනේ. කලින් කිව්වා වගේම අම්මාගේ කටහඩ ඇහෙද්දි එයා ළඟදිම අම්මාගේ බණ්ඩියට පුංචි තට්ටුවක් දාලා, එයා හැමදේම අහගෙන ඉන්න බව කියාවි.

ගැබිනි සමයේ දහහත්වන සතිය

හිස සිට තට්ටමේ දක්වා උස සෙන්ටිමීටර් 13ක් පමණ ද බර ග්‍රෑම් 40ක් පමණ ද වන දරුවාගේ සිරුර මේ සතිය වන විට මේදය නිපද වීම ආරම්භ කරලා. එය සිරුරේ බර ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයක්. සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා මෙම මේදය මගින් දිගින් දිගටම විශාල  සහයෝගයක් ලබා දේ. දරුවාගේ කන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකව පවතින අතරම නියමිත ස්ථානයේ ස්ථාගත වී ඇත. මුදු කාටිලේජ තත්ත්වයෙන් පැවති සැකිල්ල මේ වන විට අස්ථී බවට පත්වෙලා. වැදෑමහ මගින් දහස් ගණනින් රතු රුධිර ෙසෙල නිපදවන අතරම දරුවාට අවශ්‍ය පෝෂණය සහ ඔක්සිජන් සපයන ධමනි දෙකකින් සහ එක් ශිරාවකින් සමන්විතව වාටන් ජල්ලි මගින් වටවී ඇති පෙකෙණි වැල සවිමත්ව ඝනව වැඩී තිබේ. දරුවාගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය රැගෙන යන රුධිර නාලිකාත් මේ වන විට දැකගත හැකියි. දරුවාගේ අත් පාවල සන්ධි හොඳින් නැවීමට සහ දිගහැරීමට හැකි වන අතරම මේ වන විට දහදිය නිපදවන ග්‍රන්ථී වර්ධනය ද ඇරඹී හමාරයි. මිනිත්තුවකට 140/150 පමණ වාර ගණනක් හදගැස්ම පවතී. දැන් නම් මහපට ඇඟිල්ල මුව තුළට දමා ඉරීම දරුවාගේ දින චර්යාවේ එක් කොටසක් බවට පත්වෙලා.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

ගැබිනි මව සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට මෙන්ම ජීවන රටාවකට හුරුවෙන්න. ඔබේ දරුවා තවමත් වර්ධනය වෙමින් පවතින නිසා ඔබේ ජීවන රටාව මෙන්ම ආහාර රටාව දරුවාගේ වර්ධනයට ද බලපාන බව සිහිතබාගන්න. මේ වන විට සාමාන්‍යයෙන් ගැබිනි මවකගේ බර රාත්තල් නවයකින් පමණ වැඩි වී ඇති අතරම එය කාන්තාවගෙන් කාන්තාවට අනුව වෙනස් විය හැකිය.

දැන් දැන් එන්න එන්නම අම්මාගේ උදරය විශාල වන නිසා සිරුරේ ගුරුත්වකේන්ද්‍ර ස්ථානය වෙනස් වෙමින් පවතිනවා. සමහර විට ඔබට ඔබේ සිරුර සමබර ගතියෙන් තොර වෙන අවස්ථා ඇති. මේ තත්ත්වයට බය වෙන්න එපා. ගැබිනි සමයේ තවත් සාමාන්‍ය තත්ත්වයක් මේක. වැටෙන්නේ නැතිව හරිම පරිස්සමෙන් ඉන්න.

මේ වන විට දිනෙන් දින විශාල වන ගර්භාෂය මගින් උදරය ආසාන්න අවයව වෙත යම් තෙරපුමක් ඇති කිරීම නිසා වගේම ගර්භණී සමයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසාත් පපුවේ දැවිල්ල, අජීර්ණය වැනි අපහසුතා ඇති විය හැකිය. පපුවේ දැවිල්ල තත්ත්වය දරුවා බිහිවන තෙක් ඔබට ඇතිවන පීඩාකාරී තත්ත්වයකි. මේ තත්ත්වයෙන් සම්පූර්ණයෙන් මිදීමට නොහැකි වුවත් යම්තාක් දුරට මැඩපවත්වා ගැනීමට මේ උපදෙස් ඔබට වැදගත් වනු ඇත.

ඔබේ ආහාර පුරුදු වෙනස් කරන්න.

  • එක්වර විශාල ප්‍රමාණයක් ලබාගැනීමෙන් වැළකී විටින් විට ආහාර කුඩා ප්‍රමාණයෙන් ලබාගන්නට හුරුවන්න
  • ඉතා ඉක්මණින් ආහාර අනුභවය වෙනුවට හොඳින් සපා සෙමින් සෙමින් ආහාර ගැනීමට පුරුදුවෙන්න

එමගින් ආමාශය තුළ ආහාර ජීරණය පහසු කරනු ඇත.

ආහාර ලබාගත් විගස හාන්සි වීමෙන් වළකින්න. ඒ සඳහා පැයක් දෙකක් පමණ ගත වන තුරු සිටින්න.

  • පපුවේ දැවිල්ල වැඩි කරවන ආහාර වර්ග ලබාගැනීමෙන් වළකින්න. කලින් ලිපියේත් ඔබව මේ පිළිබඳව දැනුවත් කරනු ලැබුවා. එනම් අධික ලෙස කුළු බඩු වර්ග මෙන්ම තෙල් යෙදු ආහාර වර්ග, කාඛෙනේට් අඩංගු පාන වර්ග මෙන්ම කැෆේන් අඩංගු ආහාර වර්ග භාවිතයෙන් ඈත්වන්න.
  • ආහාර ගන්නා අතරතුර යම් යම් දේ පානය කිරීමෙන් වළකින්න. ඒ වගේම බට ආධාරයෙන් පානය කිරීම ද නුසුදුසුය.
  • බබල්ගම් හෝ චුයින්ගම් කෑමට ඔබට ප්‍රිය කරයි නම් එය ලබාගත යුත්තේ ආහාර වේලට පසුවයි. කේඨය ආමාශයේ පවතින ආම්ලික ගතිය දුරු කිරීමට සහාය වේ.
  • අම්මා ඇඳුම් තෝරාගනිද්දි බොහොම පහසු ලිහිල් ඇඳුම් තෝරාගන්න. එයද මේ තත්ත්වයෙන් පීඩා විඳින ඔබට පහසුවක් සලසාවී.
  • වෛද්‍ය උපදෙස් මත මේ සඳහා යම් ඖෂධ වර්ගයක් ලබාගන්න. හිතුමතේ ඛෙහෙත් ගැනීම කිසිසේත්ම සුදුසු නොවන බව මතක තබාගන්න.

ගැබිනි සමයේ දෙවන ත්‍රෛමාසිකය තුළ යෝනි ශ්‍රාවයන් වැඩි පුර ශ්‍රවය වන බව අපි කලින් ලිපියේත් සඳහන් කලා. එහි වර්ණය ගද්ධය පිළිබඳව යම් වෙනසක් තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. ඒ වගේම කිරි පැහැති ශ්‍රාවයක් සමගින් කසන ගතියක් ඔබට දැනේ නම් එයද වෛද්‍ය උදදෙස් ලබාගත යුතු අවස්ථාවකි. ඒ එය ආසාදිත තත්ත්වයක් විය හැකි බැවිනි. අවර්ණ ගන්දයකින් තොර යෝනි ශ්‍රාවය පිටවීම මේ කාලය තුළ සාමාන්‍ය තත්ත්වයකි.

අම්මෙක් වෙන්න යන ඔබ සැළකිලිමත් විය යුතු  ”ගැබිනි සමයේ පිරිසිදු බව”

අම්මෙක් වෙන්න යන ඔබ දෙස සමාජය බලන්නේ සුබ ලකුණක් ලෙසයි. සැබවින්ම ප්‍රියමනාපව සුන්දරව සිටීම ඔබව දකින අයගේ සිතටද ප්‍රිය උපදවන සුළුයි. එය එසේ වුවද පිරිසිදු බව අපි කාගෙත් ශරීර සෞඛ්‍ය කෙරේ අත්‍යවශ්‍ය සාධකයක් වන අතරම ගැබිනි මව ඒ පිළිබඳව ඊටත් වඩා වැඩියෙන් සැළකිලිමත් විය යුතුය.

මේ කාලය වන විට සිරුරේ හෝමෝනවල වෙනස්කම් නිසා මවගේ යෝනි මාර්ග හරහා යම් යම් තරලමය ශ්‍රාවයන් පිටවීම, වැඩි වාරගණනක් මුත්‍රා කීරීමට සිදු වීම වැනි දේ හේතුවෙන් ගැබිනි මවගේ පිරිසිදු බව වඩා වැදගත් වේ.  යම් හෙයකින් එසේ පිටවන ශ්‍රාවයන්ගේ වර්ණය හෝ ගන්ධය පිළිබඳව යම් වෙනසක් ඔබට දැනේනම් ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීමට මැලි නොවන්න. ඇතැම් විට වෙනත් ආසාදන තත්ත්වයක් නිසා එසේ විය හැකිය. යෝනි ප්‍රදේශය අවට සැමවිටම පිරිසිදුව සහ වියලිව තබාගන්නට උත්සාහ කිරීම මගින් ඇති විය හැකි දිලීර හෝ බැක්ටරියා ආසාදනයන්ගෙන් වැලකී සිීටීමට ඔබට හැකියි.

යෝනි ප්‍රදේශය අවට පිරිසිදුව සහ වියලිව තබාගැනීම සඳහා ඔබේ යට ඇඳුම් මගින් ද විශාල කාර්යභාරයක් ඉටුකරයි. මේ කාලය තුළ ගැබිනි මවට යට ඇඳුම් තෝරාගැනීමේදී මේ කරුණු ගැනත් සැලකිලිමත්වන්න.

ලංකාවේ පවතින දේශගුණික තත්ත්වයට වඩාත් සුදුසු වන්නේ කොට්න්වලින් නිමවන ලද රෙදි වර්ගයක් තෝරා ගැනීමයි. කපු මගින් සිරුරේ දහදිය සහ ජල වාෂ්ප ඉක්මණින් උරා ගෙන පරිසරයට මුදා හරිනවා. එය සිරුරට පහසුවකි. දිවා කාලයේදී ලා පැහැති සහ නැවුම් පැහැයෙන් යුතු යට ඇඳුම් තෝරාගැනීම වඩාත් උචිතය. එවිට පරිසර උෂ්ණත්වය උරා ගැනීම අවමය. රාත්‍රිය දහවලට වඩා සෞම්‍ය බැවින් තද වර්ණයන් භාවිතය ගැටලුවක් නොවේ.

පෑන්ටි තෝරාගැනීමේදී යෝනි ප්‍රදේශය ආවරණය කොට ඇති පෙදෙස නිමැවූ රෙදි වර්ගය පිළිබඳව අවධානය යොමුකිරීම අනෙක් වැදගත් කරුණයි. එහිදී කපු ස්ථරයට අමතර ආවරණයක් ඇතුළතින් තිබේ දැයි හොදින් බලන්න. එය ඔබගේ යෝනි පෙදෙසෙහි ඇති සියුම් සම ආරක‍ෂා කිරීමටත්, ස්භාවිකව ඇතිවන තෙත් ස්වභාවයත් දහඩියත් ඉක්මනින් උරාගනිමින් පරිසරයට මුදාහැර යෝනි පෙදෙස වියලිව තබා ගැනීමටත් උපකාරී වේ. එසේම යට කලිසම පිරිසිදු කරගැනීමේදී එම පෙදෙස හොඳින් පිරිසිදු කරගැනීමටත්, අවපැහැය ආරම්භවනවාත් සමගම එම යට ඇදුම් ඉවත් කිරීමටත් සැළකිලිමත් වන්න. තවද ගැබිනි සමයේ සාමාන්‍යයෙන් යෝනි ප්‍රදේශයේ තෙත් ස්වභාවය වැඩි නිසා ඒ සඳහා පෑන්ටි ලයිනර් වර්ගයක් භාවිත කිරීමට ඔබට හැකියාව ඇති අතරම එමගින් අනවශ්‍ය තෙතමනය උරාගනිමින් යෝනි සම පෙදෙස වියලිව තබා ගනී. එම පෑන්ටි ලයිනරය වරක් භාවිත කළ පසු ඉවත්කර ගත යුතුය.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ දහසයවන සතිය

Week-16
ඔන්න චූටියා දැන් දැන් ඇඟිලි උරන්නත් පටන් අරගෙනලු

දැන් අම්මාගේ චූටියා හරිම හපනෙක්. අත පය විසි කර කර එයා අම්මාගේ බණ්ඩිය ඇතුළේ හරිම විනෝදෙන් කාලය ගත කරනවා. ඇඟිලි උරන පුරුද්දට නම් අම්මා ළඟිට ආවට පස්සේ දඩුවම් කරන්න වෙයි. සතිනේ සතිය බණ්ඩිය ඇතුළේ චූටියා ඇති දැඩි වෙන හැටි අම්මට හරිම පුදුම ඇති. ඇත්තටම අන්න එකයි අප් මුලින්ම කිව්වේ අම්මාගේ කුස තුළ දරුවෙක් වැඩෙන එක සොබාදහමින් ලැබුණු විශ්මිත දායාදයක් කියලා.

ගැබිනි සමයේ දහසයවන සතිය

ඊළඟ සති කිහිපය ඇතුළත ඔබේ දරුවා දිගින් මෙන්ම බරින් දෙගුණයක් බවට පත්වෙනවා. මේ වන විට හිසේ සිට තට්ටම දක්වා දිග සෙන්ටිමීටර් 11.6 පමණ වන අතරම බර ග්‍රෑම් 100ක් පමණ වේ. දරුවාගේ දෙපා තවත් වර්ධනය වී ඇති වන අතරම හිස පෙරට වඩා ඍජුව පිහිටයි. දැන් නිතර නිතර මහපට ඇඟිල්ල මුව තුළට දමා ගන්නව.

හිස් කබලේ රටා මතුවීම අලුතින්ම ඇරඹෙන තත්ත්වයයි. මේ වන විට හිසකේ ඇති බවක් හඳුනා ගත හැකිය. ඒ වගේම පාදයේ නිය වැඩීමත් ආරම්භ වී අවසන්. සිරුරේ බාහිරින් වගේම අභ්‍යන්තරයේත් බොහෝ වෙනස් වීම් සිදු වෙනවා. බිළිදාගේ සිරුර තවමත් සිහින් වන අතරම එතරම් සවිමත් නැත. විනිවිද පෙනෙන සම තුළන් රුධිර නාලිකා මෙන්ම අස්ථී දැකගත හැකියි. පිටුපස මාංශ පේශීන් සවිමත් වෙමින් පවතී. දෑස් මේ වන විටත් විවෘතව නැති අතරම ඒවා මුහුණේ නිවැරදි ස්ථානය වෙත ගමන් කිරීම දිගටම සිදුවෙමින් පවතිනවා. ඇසි පිය සහ ඇහි බැම සැකසෙමින් පවතිනවා. කන් පෙති නිවැරදි ස්ථානය වෙත පැමිණීම මෙන්ම වරධනය වීද සිදුවෙනවා. මුහුණේ හැඟීම් ප්‍රකාශන පෙර ලිපිවල සඳහන් කළ පරිදිම දැකගත හැකියි.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

ඔන්න අම්මා ටික ටික ලස්සන වෙන්න පටන් අරගෙන. හැමෝම කියනවා නේද සම හරිම පැහැපත් වෙලා, අම්මා සුදු වෙලා ලස්සන වෙලා කියලා. ඉදිරියට වැඩුණු පුංචි කුසත් එක්ක ඇත්තටම අම්මා හිතට ප්‍රිය උපදවන සුන්දර දසුනක්. සමෙහි මේ ආකාරයෙන් ඇති වෙන පැහැපත් බව මේ කාලය තුළ සාමාන්‍යයෙන් මව්වරුන් අතර දැකගත හැකියි. මේ තත්ත්වයට චරුටබ්බජහ ,ටකදඅ, කියලා තමයි කියන්නේ. ශරීරයට පසුගිය කාලය පුරා දැණුනු අපහසුතා එක්ක මේ තත්ත්වය නම් හිතට සතුටක් ගෙන දෙනවා. ඒ වගේම ගර්භණී සමයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා ඔබේ නියපොතු ඉතා සීග්‍රයෙන් වර්ධනය වීම සිදු වෙනවා. ඒ වගේම නියපොතු කැඩෙන සුළුයි. මේ තත්ත්වය ගැබිනි සමයේ බොහොම සාමාන්‍යයි. දරුවා බිහිවීමත් සමගම මේ ගැටලූව නිරකරණය වෙනවා.

ඔබට ලැඛෙන්න ඉන්නේ දෙවන හෝ තෙවන දරුවා නම් මේ වන විට දරුවාගේ චලනයන් ඔබට දැනෙන්නට පටන් ගෙන ඇති.

දැන් දැන් ඔබේ උදරය ඉතා සීග්‍රයෙන් වර්ධනය වෙනවා.  මේ වන විට මව වෙනදාට වඩා 50%කින් වැඩි ප්‍රමණයක් රුධිරය නිපදවනවා. ඇතැම් මව්වරුන්ට මේ වන විට කිසිදු අපහසුතාවයක් නැති වුවත් ඇතැමුන්ට නම් යම් යම් අපහසුතා තවමත් පවතිනවා.ගර්භණී සමය එක් එක් කාන්තාවට වෙනස් ආකාරයටයි බලපාන්නේ. පුලූතරයක් මව්වරුන් බන්නවා මුලූ ගැබිනි සමය පුරාම යම් යම් අපහසුතාවයන් පවතින අය.

පෙර සතියේ සදහන් කළ පරිදිම නාසයේ තෙත ගතිය, තදබද ගතිය මේ වන විටත් පවතිනවා. 30%ක් පමණ ගැබිනි මව්වරුන්ට මේ තත්ත්වයට මුහුණ දීමට සිදු වෙනවා.

යෝනි ප්‍රදේශයේ වැඩිපුර තෙත් ගතියක් ඇතිවීම මේ කාලය තුළ සාමාන්‍ය තත්ත්වයකි. ගැබිනි මවගේ සිරුරේ වැඩි රුධිර ප්‍රවාහයක් පවතින අතරම ඊට්‍රජන් හෝමෝන ප්‍රමණය ඉහළ තත්ත්වයක පවතී. පෙරට වඩා වැඩි වශයෙන් යෝනි ශ්‍රාවය පිටවීමට හේතු වන්නේ මේ තත්ත්වයයි. මෙම ශ්‍රාවය දුර්ගන්ධයක් රහිත අවර්ණ එකකි.

අම්මාගේ බර මේ වෙද්දි සාමාන්‍යයෙන් රාත්තල් 8කින් පමණ වැඩි වෙනවා. නමුත් එක් එක් අම්මාගේ බර වැඩි වීම කලින් ලිපිවල සඳහන් කළ පරිදි වෙනස් විය හැකියි. නියමිත රාත්තල් ප්‍රමාණයක් හැම මවකගේම සමානව වැඩිවීමක් දැකගන්න බැහැ. ඒ නිසා මේ පිළිබඳව කණස්සලූ වීම කිසිසේත්ම සුදුසු නැහැ. ඔබට මේ පිළිබඳව යම් ගැටලූවක් ඇත්නම් වෛද්‍යවරයා මුණගැසෙන දවසට ඒ පිළිබඳව නිරාකරණය කරගන්න.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු  “ගැබිනි සමයේ ඇති වන නීරක්තිය”

නීරක්තිය හෙවත් රක්තහීනතාවය ලෙස හඳුන්වන්නේ රුධිරයේ පවතන හිමෝග්ලොබින් ප්‍රමාණය අවම වීමේ තත්ත්වයයි. අපේ සිරුරේ සියලුම පටකවලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රවාහනය කිරීම හිමොග්ලොබින් මගින් සිදුවෙනවා. ගර්භනී අවධියේදී සිරුරට හිමොග්ලොබීන් නියමිත ප්‍රමාණය පැවතීම බොහෝසෙයින් වැදගත් වේ. මන්ද පෙර කී පරිදිම පෙනහලුවල සිට වැදෑමහ වෙත ඔක්සිජන් ගෙනයාම හිමොග්ලොබින් මගින් සිදුවන අතරම වැදෑමහ අසල දී හිමොග්ලොබින් වෙතින් වෙන් වන ඔක්සිජන් වැදෑමහ හරහා දරුවාගේ රුධිරයේ හිමොග්ලොබින් සමග සම්බන්ධ වී කලලයේ පටක වෙත ඔක්සිජන් ගෙන යාම සිදුකරනවා. නමුත් මව රක්තහීනතාවය තත්ත්වයෙන් පෙලෙයි නම් දිගින් දිගටම කලලයට ලැඛෙන ඔක්සිජන් අඩුවීම නිසා කලලයේ වර්ධනය අඩාල වේ.

සම්පූර්ණ රුධිර පරීක‍ෂාවක් සිදුකිරීමෙන් රුධිරයේ ඇති හිමොග්ලොබින් මට්ටම පරීක‍ෂා කරගත හැකි අතරම එය සාමාන්‍යයෙන් 10.5 g/dක ප්‍රමාණයෙන් වැඩි විය යුතු අතරම රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය 10.5 g/dක වඩා අඩු නම් ඒ තත්ත්වය රක්තහීනතාවය හෙවත් නීරක්තිය ලෙස හඳුන්වයි. Macrocytic හා Macrocytic ලෙස රක්තහීනතාවයේ තත්ත්වයන් දෙකක් දැකගත හැකි වේ. Macrocytic  තත්ත්වයේදී රතු රුධිරාණුවල ප්‍රමාණය අසාමාන්‍ය ලෙස විශාල වන අතර බී 12 විටමිනයේ ඌනතාවය මෙයට ප්‍රධානතම හේතුවයි. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ මත්පැන් භාවිතය ද මෙයට හේතු වෙනවා. ගැබිනි සමයේ සුලබව දකින්නට ලැඛෙන අනෙක් රක්තහීනතා තත්ත්වය වන්නේ රතු රුධිරාණු සෛලවල ප්‍රමාණය අසාමාන්‍ය ලෙස කුඩා වන Microcytic රක්තහීනතාවයයි. ගර්භණී සමයේදී දැකගත හැකි Microcytic රක්තහීනතා තත්ත්වයන් ලෙස යකඩ ඌනතාවය, තැලසීමියාව යන තත්ත්වයන් දැක්විය හැකියි.

ගර්භනී මව්වරුන් අතර දැක ගත හැකි සුලබ රක්තහීනතා තත්ත්වය වන්නේ යකඩ ඌනතාවයයි. එයට මූලිකව බලපාන හේතුව වන්නේ නිසි පෝෂණය නොමැති කමයි. අපේ රටේ බහුතරයක් මස් මාංශ ආහාරයට නොගනී. සිරුරට ඉතා පහසුවෙන් හා ඉක්මණින් උරාගත හැකි වන්නේ මස් මාංශවල අඩංගු යකඩ වන අතරම ශාඛ ආහාරවල ඇති යකඩ උරාගැනීමේ හැකියාව එතරම් වේගවත් නොවේ. ඒ නිසාම සියලු ගැබිනි මව්වරුන් සඳහා සායනවලදී දෙවන ත්‍රෛමාසිකයේ සිට යකඩ පෙති ලබාදීම සිදුකෙරෙනවා.

යකඩ පෙති ලබාගැනීමේදී සලකිලිමත් විය යුතු කරුණු,

රාත්‍රී ආහාර වේලෙන් පැයකට පසු හෝ පෙර ලබාගන්න

  • යකඩ පෙති පානයෙන් පැයක්වත් යනතුරු වෙනත් කිසිවක් ආහාරයට ගැනීමෙන් සහ තේ, කෝපි වැනි පාන වර්ග ලබාගැනීමෙන් වළකින්න
  • යකඩ පෙත්ත සමග විටමින් සී පෙත්ත ලබාගැනීමෙන් සිරුරට හොඳින් යකඩ අවශෝෂණය වන බව සිහිතබාගන්න
  • කැල්සියම් පෙති හෝ වෙනත් විටමින් සමග එකට යකඩ පෙත්ත ලබාගැනීමෙන් වළකින්න
  • සායනයෙන් ලබාදෙන පණු ඛෙහෙත් ලබාගැනීම මග නොහරින්න

යකඩ පෙති ලබාගන්නා විට

  • මලබද්ධය
  • මල කලු පැහැ විම
  • මුව තුළ ලෝහමය රසක් දැනීම
  • ගැස්ට්‍රයිටීස් වැනි තත්ත්වයන් ඇතිවීම සාමාන්‍ය වේ

එසේම යකඩ පෙති ලබාගත්තද ඇතැම් මව්වරුන්ට යකඩ ඌනතාවය පැවතිය හැකි අතරම ප්‍රසූතියට කල් තිබේ නම් වෛද්‍ය පරීක‍ෂණවලට අනුව ලබාදෙන යකඩ පෙති ප්‍රමාණය වැඩි කිරීම හෝ එන්නත් මින් යකඩ ලබාදීම සිදුකරනවා. නමුත් ප්‍රසූතියට දින ආසන්න මවක් නම් රුධිරය ලබාදීම සිදුකෙරෙනවා. මව රක්තහීනතාවය තත්ත්වයෙන් පෙලේනම් කලලයේ වර්ධනය අඩාල වී දරුවා කුඩා විය හැකි අතරම ප්‍රසූතියේදී අධික රුධිරවහනයක් ඇති විය හැකියි.

එසේම තැලසීමියා තත්ත්වයද අප රට තුළ පවතී. තැලසීමියාව තත්ත්වය යනු ජාන විකෘතිතා නිසා ඇති වන රෝග තත්ත්වයකි. සිරුරේ ඔක්සිජන් පරිවහනය සඳහා අවශ්‍ය හිමොග්ලොබින් නිපදවීම හරිහැටි සිදු නොව්. මව හා පියා මගින් මේ තත්ත්වය ගැහැණු පිරිමි භේදයකින් තොරව දරුවන් වෙත ගමන් කරයි. මේ තත්ත්වයේ ප්‍රධාන ලක‍ෂණයක් ලෙස රුධිරයේ හිමොග්ලොබීන් අඩුවීම දැක්විය හැකියි. තැලසීමියා බහුල ප්‍රදේශවල තරුණ තරුණියන් විවාහ වීමට පෙර මේ හා සම්බන්ධ පරීක‍ෂණවලට යොමු වීම වැදගත් වන්නේ මෙය ජානමය වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කළ හැකි තත්ත්වයක් නිසයි.

ජානමය හේතු මත රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණයේ යම් යම් වෙනස්කම් පවතින මව්වරුන්ටද මේ තත්ත්වය රක්තහීනතාවය ඇති විය හැකිය. මෙවැනි මව්වරුන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වන අතරම එහිදී සම්පූර්ණ රුධිර පරීක‍ෂාවේ ප්‍රතිඵලයට අනුව යකඩ පරීක‍ෂාවක් සඳහා යොමු කිරීමෙන් පසු ලැඛෙන ප්‍රතිඵල අනුව මව්වරුන් රක්තවේද විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරේ. එමගින් අවශ්‍ය ඖෂධ මෙන්ම නිවැරදි උපදෙස් ලබාගැනීමට අවස්ථාව සැලසේ.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ පහලොස්වන සතිය

week-15
චූටියා එක්ක කතා කරන කොට, එයාට ඇහෙන්න සින්දු කියන කොට අම්මට පාළුවක් දැනෙන්නෙම නෑ…

ඔව්… කුසේ වැඩෙන චූටියව හිතින් මවාගෙන කුස පිරිමදින ගමන් එයාගෙන් තොරතුරු අහන්න, ලස්සන කවියක් කියලා දෙන්න අම්මට ආසයි නේද? ඒක චූටියටත් බොහොම වටින දෙයක්. එයා අම්මාගේ කටහඩ අහගෙන අත පය විසි කර කර සතුටෙන් බණ්ඩිය ඇතුළට වෙලා ඉදීවී. හැබැයි අම්මාගේ ආදරේ දැනෙද්දි එයාට අම්මා දකින්න තියෙන ආසාව දවසින් දවස වැඩි වේවි. අනේ මම කවදද මගේ අම්මා ළඟට යන්නේ කියලා චූටියටත් හිතෙයිද දන්නේ නෑ.

ගැබිනි සමයේ පහලොස්වන සතිය

මේ වන විට කලලයේ දිග ප්‍රමාණය තට්ටමේ සිට හිස දක්වා සෙන්ටිමීටර 10.1ක් පමණ වේ. බර ග්‍රෑම් 70කි. කලලයේ පෙනහලුවල ප්‍රාථමික වායු කෝෂය වර්ධනය වීම ආරම්භ වී ඇති අතරම ඒ සඳහා සහාය දක්වමින් නාසය හා ඉහළ ශ්වසන කලාපය හරහා උල්බ තරලය ගමන් කරයි. පාද අත්වලට වඩා දිගින් වැඩි වන අතරම සන්ධි සහ අත් පා චලනය කළ හැකිය. දෑස් මේ වන විටත් වැසී තිබුණද ආලෝකය හඳුනා ගැනීමේ හැකියාව සතුය. හදිසියේ මවගේ උදරය වෙත තද ආලෝකයක් පතිත වුවහොත් ක‍ෂණයකින් ඒ එළියෙන් දරුවා තම දෑස් ඉවත් කරගනී. වැදෑමහ මගින් කලලයේ පැවතිය යුතු ජලය ප්‍රමාණය සමබරව පවත්වාගන්නා අතරම අපවිත්‍ර දේ ඉවත් කිරීම සිදු කරයි. අග්න්‍යාසය මගින් ඉන්සියුලින් ශ්‍රාවය වීම මේ වන විට ආරම්භ වී තිබේ. මුහුණේ මාංශ පේශී සවිමත්ව ඇති අතරම හැගීම් ප්‍රකාශ කරයි. බිළිඳු සම ඉතා සියුම් වන අතරම විනිවිද පෙනෙන සුලුය. ඒ හරහා රුධිර නාලිකා දැකගත හැකිය. මේ වන විටත් කන් පෙති නියමිත ස්ථානයේ නැති වුවද හොඳීන් ශ්‍රවණය කිරීමේ හැකියාව සතුය. එසේම ඇස් බැම සැකසීම ආරම්භ වී ඇත.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

දැන් ඔන්න අම්මාගේ උදරය ඉදිරියට නෙරා ඇවිත්. උදරය දිලිසෙනවා. ඔබ ගැබිනියක් බව දකින කාටත් වැටහෙනවා. නමුත් පහළොස්වන සතිය වන විටත් ගැබිනියක් බව පිටතින් දකින අයෙකුට වටහා ගත නොහැකි මව්වරුන්ද සිටිය හැකියි. ඔබටත් එසේ නම් ඒ පිළිබඳ  කිසිදු විටෙක පසුතැවිලි වෙන්න නම් එපා. මොකද ගර්භණී බවද එක් එක් කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වන නිසයි. ඔබ නිවුන් දරුවන් දරා සිටින ගැබිනියක් නම් ඔබේ උදරය මීට පෙර සිටම ඔබේ උදරය පිටතට දිස්වෙනවා.

මේ වන විටත් අම්මාගේ හැගීම් දුක සතුට අතරේ විටින් විට දෝලනය වෙනවා. හැඟීම් විටින් විට මේ ආකාරයට වෙනස් වීම ගැබිනි සමයේ බහුතරයක් මව්වරුන්ට පොදු අත්දැකීමක්. ඒත් කිසිම විටෙක ආතතියට ලක්වෙන්න එපා. වෙලාව අරගෙන ඔබේ මනස නිරවුල්ව තබගන්නට හැමවිටම උත්සාහ කරන්න. චූටියා ලැබුණම කොහොමද ජීවිතේ සැලසුම් කරගන්නේ, කොහොමද එයාව බලාගන්නේ කියලා කල්පනා කරන්න ඔයාට පුළුවන්.

තවමත් ඔබට යම් යම් අපහසුතා දැනෙනවා ඇති. ගැස්ට්‍රයිටීස් තත්ත්වය ඒ අතරින් එකක්. අපි කලින් ලිපි හරහාත් ඒ පිළිබඳව සාකච්ඡා කෙරුණා. ගර්භණී බවත් සමගම සිරුරේ හෝමෝනවල සිදුවන වෙනස්කම් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. කලින් ලිපිවල සඳහන් කළ විදියටම නිසි ආහාර රටාවකට යොමු වෙලා අහිතකර ආහාර පානවලින් ඈත් වෙලා ගැස්ට්‍රයිටීස් තත්ත්වය මගහරවා ගන්න උත්සාහ කරන්න.

ඒ විතරක් නෙවෙයි දැන් දැන් අම්මට නින්ද යන්නෙ නැති ගැටලුව වෙනදටත් වඩා වැඩියෙන් දැනෙනවා ඇති. මේ තත්ත්වය 70%ක් විතර මව්වරුන්ට ඇති වෙනවා. උදරය විශාල වෙන්න වෙන්න සුව පහසු ඉරියව්වකින් නිදාගන්න අම්මට බැරි වෙනවා වගේම කෙණ්ඩා පෙරලීම, සිතට වගේම ගතට දැනෙන අපහසුව වගේම මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය වරින් වර ඇති වීමත් ඔබේ නින්දට බාධාවක්. ගැබිනි සමයේදී සුව නින්දක් ලබාගැනීමට සුදුසු ඉරියව් ගැන වගේම අවශ්‍ය උපදෙස් වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න.

ඒ වගේම සති පහලොවක් වන විට පපු පෙදෙසේ දැවිල්ලක් ඇතිවීම ද ඇතැම් මව්වරුන්ට මුහුණ දීමට සිදුවන තවත් ගැටලූවක්. දෙවන සහ තෙවන කාර්තුවලදී මේ තත්ත්වය දැකගත හැකියි. මේ තත්ත්වයත් ඔබට ගැබිනි සමයේ මුහුණ පාන්නට සිදුවන බොහොම සාමාන්‍ය තත්ත්වයක්. මේ තත්ත්වය මග හරවා ගැනීමට ආම්ලික බවින් තොර ආහාර අනුභවය වඩාත් සුදුසුයි. ඒ වගේම කාබනේට අඩංගු පාන වර්ගයන්ගෙන්ද ඈත්වන්න.

මේ කාලය වන විට ඇති වන තවත් තත්ත්වයක් ලෙස නාසයේ තදබද ගතියද ගැබිනි සමයේ බොහොම සාමාන්‍ය තත්ත්වයකි. හෝමෝන නිෂ්පාදනය වැඩි වීම හේතුවෙන් ශ්ලේෂ්මල පටල ඉදිමීම මෙයට හේතුවයි. ඒ විතරක් නෙවෙයි අධික ලෙස මුවට කේඨය උනන ගතියද මේ කාලයේ ඔබට ඇති විය හැකි තත්ත්වයන් අතරින් එකකි. මේ සතිය වන විට ඔබේ බර රාත්තල් හය හතකින් වැඩි වී තිබිය හැකිය. සමහර මව්වරුන්ගේ බර ඉතා වේගයෙන් වැඩිවන අතරම ඇතැම් මව්වරුන්ගේ ඉතා සෙමින් සිදු වේ.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු ගැබිනි සමයේ “අධි රුධිර පීඩනය”

ගැබිනි සමයේ ඉදිරි කාලයේ ඇති විය හැකි සංකූලතාවයන් පිළිබඳ ඔබව කල් තියා දැනුවත් කිරීම අපේ යුතුකමක්. ඔබ දන්නවා ඇති ගැබිනි මවට ඇති විය හැකි අධි රුධිර පීඩන තත්ත්වය පිළිබඳව. මෙය දෙයාකාරයකින් දැක්විය හැකියි. එනම්,

  • ගැබ් ගැනීමට පෙර හෝ ගැබිනි සමයේ විසිවන සතියට පෙර අධිරුධිර පීඩනය ඇතියි අණාවරණය වූ තත්ත්වය
  • ගර්භණී සමයේ පමණක් ඇති වන රුධිර පීඩන තත්ත්වය

ගැබ් ගැනීමට පෙර රුධිර පීඩනය තිබූ හෝ ගැබිනි සමයේ සති 20 පෙර මවකට අධිරුධිර පීඩනය ඇතැයි අණාවරණය වුවහොත් ඒ තත්ත්වය ඉහත කාණ්ඩ දෙකෙන් පළමු කාණ්ඩයට අයත් වේ. එසේම ගැබිනි සමයේ සති 20ට පසු අධි රුධිර පීඩනය ඇතැයි අනාවරණය වූ මව්වරුන් දෙවන කාණ්ඩයට අයත්ය. මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ මෙහි සඳහන් දෙවන කාණ්ඩය පිළිබඳවයි.

මේ සඳහා නිශ්චිත හේතුවක් අනාවරණය වී නැතත් එයට හේතුව ලෙස විශ්වාස කරන්නේ වැදැමහ මවගේ ගර්භාෂයට ඇලීමේදී ඇතිවන යම් ගැටලුවක් හේතුවෙන් වදැමහ මගින් පිටකරන හානිකර සංඝකට මගින් මවගේ රුධිර වාහිනී වෙත බලපෑම් ඇති කිරීමයි. රුධිර වාහිනී මුළු සිරුර පුරාම පිහිටා ඇති අතරම මේ තත්ත්වය මවකගේ සෑම අවයවයක් වෙතම බලපෑම් ඇති කළ හැකියි. මෙම රෝගී තත්ත්වයේ එක ලක‍ෂණයක් වන්නේ  රුධිර පීඩනය ඉහළ යාමයි. එය මවට හා දරුවාට හානි දායක විය හැකි තත්ත්වයකි.

මේ තත්ත්වයට අවදානම පවතින්නේ,

වයස අවුරුදු 18 අඩු සහ අවුරුදු 40ට වැඩි කාන්තාවන්

  • අධික බර තත්ත්වය ඇති කාන්තාවන්
  • මේ තත්ත්වය පැවති ඥාතීත්වයක් ඇති කාන්තාවන්
  • නිවුන්/බහුභ්‍රෑණ අවස්ථා ඇති කාන්තාවන්
  • ගැබ් ගැනීමට පෙර රුධිර පීඩනය/ දියවැඩියාව/ වකුගඩුවල යම් යම් ආබාධ පැවති කාන්තාවන්
  • පෙර ප්‍රසූතියන්හිදී අධි රුදිර පීඩනය ඇති අම්මලානොමේරු ළදරුවන් බිහිකළ කාන්තාවන්
  • තම සිරුරේ සෛලවලට තම ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ප්‍රතික්‍රියා දැක්වීම (Auto immune)

උදාහරණයක්ලෙස Hle දැක්විය හැකිය

  • සති 11ත් 14ත් අතර සිදු කළ ස්කෑන් පරීක‍ෂණය මගින් ගැබිනි සමයේ 34 වන සතියට පෙර මෙම තත්ත්වය ඇති විය හැකි බවට තීරණය වූ මව්වරුන්
  • ගැබ් ගැනීමට පෙර හෝ පසු දියවැඩියා තත්ත්වය ඇති වූ මව්වරුන්

එසේ අවධානම් තත්ත්වයක් පවතී නම් සති 16 සම්පූර්ණ වීමට පෙර ඇස්ප්‍රින් ඖෂධය ලබා දුනහොත් අධික රුධිර පීඩනය  තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවය අවම කරගැනීිමේ හැකියාව 50%කි.

සාමාන්‍යයෙන් ගර්භණී මවක් මුල් සති 28 ඇතුළත මසකට වරක් ද සති 28 සිට 36 දක්වා සති දෙකකට වරක් ද සති 36 සිට සතියට වරක් ද වශයෙන් සායන සඳහා සහභාගී විය යුතුය. ගර්භණී සමයේ අවසන් සති කිහිපය සතියකට වරක් සායන සඳහා කැඳවීමේ අරමුණ වන්නේ මේ කාලයේ ඇති විය හැකි මෙවැනි සංකූලතාවයන්ට අවස්ථාවක් ඇති ද යන්න පරීක‍ෂා කිරීමටයි. නමුත් අද වන විට සිදු කරනු ලබන ස්කෑන් පරීක‍ෂණ මගින් ගර්භාෂය වෙත ගමන්ගන්නා රුධිර ප්‍රමාණය මැන බැලීමෙන් මෙවැනි සංකූලතා පෙර සිටම හඳුනා ගත හැකිය.

රුධිර පීඩනය මැනීමේදී මවගේ අතට සරිලන මීටරයක් භාවිතය මෙන්ම විවේකීව හිඳ ඒ සඳහා යොමුවීමද ඉතා වැදගත් වේ. යම් හෙයකින් මවකගේ රුධිර පීඩනය 140 – 90 වැඩි අගයක් පවතින අවස්ථාවේදී අධි රුධිර පීඩන තත්ත්වයක් යැයි සැක කෙරෙන අතරම පළමු රුධිර පීඩන පරීක‍ෂාවෙන් පැයකට පමණ පසු නැවත රුධිර පීඩනය මැන බලා ඒ තත්ත්වය තහවුරු කිරීම සිදු කෙරේ. එසේම රුධිර පරීක‍ෂාවන් කරාද මව්වරුන් යොමු කෙරේ. ඒ අවස්ථාවේදීද රුධිර පීඩනය වැඩි අගයක් ගනී නම් සෑම මවක්ම වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය වේ. එනම් වෛද්‍යවරයා නිර්දේශ කරන කාලසීමව ඇතුළත නැවත නැවත රුධිර පීඩනය පරීක‍ෂා කරගත යුතුය. මෙවැනි අවස්ථාවලදී මවක් රෝහල්ගත විය යුතු අවස්ථා පිළිබඳ දැනුවත් කරයි. රුධිර පීඩනය 150 – 100 අතර පවතින මවක් අනිවාර්යෙන්ම රෝහල් ගත විය යුතුය. මෙහිදී මවට හානි දායක වන Pre-eclampsia හෝ Eclampsia තත්ත්වයන් ඇති වේද යන්න පරීක‍ෂා කෙරේ. (Pre-eclampsia සහ Eclampsia තත්ත්වයන් පිළිබඳව ඉදිරි ලිපියකදී ඔබ වෙත කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.)

මෙම අධිරුධිර පීඩන තත්ත්වය පාලනය කිරීම ඉතා වැදගත් වන අතරම ඒ සඳහා ලබා දෙන ඖෂධ කිසිදුවිටෙක මවට හෝ කලලයට හානිකර නොවේ. තම ඖෂධ නියමිත ප්‍රමාණය, නියමිත වේලාවට ලබාගැනීමට මෙවැනි තත්ත්වයක සිටින මව්වරුන් සැළකිලිමත් විය යුතුය. එසේම වෛද්‍යවරයා ලබා දුන් උපදෙස් පරිදි දී ඇති කාලසීමාවන් තුළ රුධිර පීඩනය මැන බැලීමත් මූත්‍රා පරීක‍ෂණ මගින් මුත්‍රා සමග ප්‍රෝටීන පිටවනවාද යන්න පිළිබඳවත් සොයා බැලිය යුතුය. මෙවැනි මව්වරුන් සති 28, 32 සහ 36 යන කාලවලදී ස්තෑන් පරීක‍ෂණ සඳහා යොමු කෙරේ. එසේම මවට හෝ දරුවාට සංකූලතාවයක් ඇති නොවුණත් සති 37 සම්පූර්ණ වූ පසු දරුවා බිහිකිරීමට කටයුතු සිදුකරයි.

ප්‍රසූතියෙන් සති හයකට පමණ පසු මවගේ රුධිර පීඩන තත්ත්වය මගහැරී යන අතරම ඒ කාලය තුළදීත් පරීක‍ෂා කිරීම වැදගත් වේ. යම් මවකට සති හයට පසුවද අධිරුධිර පීඩන තත්ත්වය පවතී නම් කායික වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගන්න. එසේම මෙවැනි මව්වරුන් නැවත ගැබ්ගැනීමටක් සැලසුම් කිරීමට පූර්ව ගර්භණී සායන සඳහා සහභාගී විය යුතු අතරම අධි රුධිර පීඩනය පවතී නම් ගැබ් ගැනීමෙන් පසු සති 16ට පෙර සිට වෛද්‍ය උපදෙස්වලට අනුව ඇස්ප්‍රින් ඖෂධය ලබාගන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ දහහතරවන සතිය

Week-14
දුවෙක්ද? පුතෙක්ද? කවුරු වුණත් මොකද නේද? එයා අපේනේ….

ලැඛෙන්න ඉන්න චූටියා දුවෙක්ද පුතෙක්ද කියලා දැනගන්න ලොකු ආසාවක් අම්මට තියෙනවා. ඒත් වෙලාවකට හිතෙනවා ඒක කල්තියා දැනගන්න ඕනෙ නෑ කියලත්. හැබැයි දැනගත්තා නම් එයාට හරි යන පාටවලින්ම ඇදුම් පැළඳුම් ටික ලෑස්ති කරන්න තිබුණා. ඒ විතරක් නෙවෙයි, චූටියාගේ හුරතල් මූණ හිතෙන් මවාගෙනම එයා ගැන හිතන්න තිබුණා. ඒත් ආයෙමත් වෙලාවකට අම්මට හිතෙනවා දුවෙක්ද පුතෙක්ද කියලා දැනගන්න එයා ලැඛෙනකන්ම ඉන්න. එතකොට ලොකු සතුටක් දැනෙයි. අනේ මන්දා හිත දෙපැත්තටම යනවා. එහෙම නේද අම්මට හිතෙන්නේ…බලන්නකෝ…. චූටියාගේ තාත්තා මොකද කියන්නේ කියලා.

ගැබිනි සමයේ දහහතරවන සතිය

කලලයේ සීග්‍ර වර්ධනයක් සිදු වන මේ කාල සීමාව තුළ තට්ටමේ සිට හිස දක්කවා දිග සෙන්ටිමීටර් 8.7ක් ඒ වගේම බර ග්‍රෑම් 43ක්. මේ වන විට මුහුණේ නොයෙක් ඉරියව් පෙන්නුම් කරන අතරම ඒවා තව තවත් වර්ධනය වීම සිදුවෙනවා. ගෙල ඉතා පැහැදිලි ලෙස පෙනෙන අතරම හිස ඉහළට පහළට චලනය කරන්නට දැන් හැකියාව තියෙනවා. ඒ වගේම සිරුරේ ප්‍රමාණයට සමානුපාතිකව අත් පා දිගින් වැඩෙනවා. මේ කුඩා අත්පා ඉතා නම්‍යශීලී වන අතරම ක්‍රියාශීලී බවින්ද යුක්තයි.

අක්මාව මගින් පිත නිපදවීම මේ සතියේ සිට ආරම්භ වෙන අතරම ප්ලීහාව රතු රුධිර සෛල නිපදවීමට උදව් ලබාදීම මේ සතියේ සිට සිදුවෙනවා. මොළයේ සෛල වැඩෙන අතරම ක්‍රියාත්මක වීම ආරම්භ වෙනවා. මුහුණේ මාංශ පේශීන් හැගීම් ප්‍රකාශ කළ හැකි ආකාරයට සකස් වෙලා. ඇස් කොණින් බලන්න, ඇහි බැම හකුලූවන්න විතරක් නෙවෙයි තවත් හැගීම් ප්‍රකාශ කරන්න හැකියාව මේ වෙද්දී තිඛෙනවා. මේ පුංචි දරුවාගේ සුව පහසුවට වගේම උණුසුම රැකගැනීමටත් අවශ්‍ය මුදු කෙස් සිරුර පුරා දැක ගත හැකියි. ඒ වගේම වකුගඩු හරහා මුත්‍රා පෙරීම සිදුවෙනවා. මේ වෙද්දි පුංචි මාපට ඇඟිල්ල කට ඇතුළට දාගෙන උරන්න වගේම ඇඟිලිවලින් යම් යම් දේ අල්ලාගන්නත් එයාට පුළුවන්.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

දැන් නම් අම්මා බොහොම සාමාන්‍ය විදියට දවස ගෙවනවා ඇති. ඒත් මව්වරුන් සුළු සංඛ්‍යාවකට මේ වෙද්දිත් යම් යම් අපහසුතා පවතින්න පුළුවන්. දැන් උදරය ටිකක් පිටතට පෙනෙන්න අරගෙන. එහෙම නේද? මේ වෙද්දී අම්මාගේ බර සාමාන්‍යයෙන් රාත්තල් හයකින් වගේ වැඩි වෙලා තියෙන්න පුළුවන්. මේ සතිය වෙද්දි ගැබිනි සමයේ බොහොම සාමාන්‍ය වෙනත් අලුත් අපහසුතා ඔබේ ජීවිතයට එකතු වෙනවා. කොන්දේ වේදනාව ඒ අතරින් ප්‍රධාන දෙයක්. 50%ක් පමණම කාන්තාවන්ට මේ තත්ත්වය ඇති විය හැකියි.

ගැබිනි සමයේ ඇති වන ගැස්ට්‍රයිටීස් තත්ත්වය පිළිබඳව අප පළමු කාර්තුවේදීත් සඳහන් කළා. මේ වෙද්දිත් ඔබ ගැස්ට්‍රයිටීස් තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටිනවා විය හැකියි. මෙයද ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයක්. ඔබව පෙර දැනුවත් කළ පරිදිම නිසි ආහාර රටාව සහ ගැස්ට්‍රයිටීස් ඇති නොවන ආකාරයේ ආහාරවලට හුරුවීමෙන් තත්ත්වය මගහරවා ගත හැකයි. ඒ වගේම පෝෂණීය කෙටි ආහාර වේල් ලබාගැනීමත් එය මගහරවා ගැනීමට වැදගත් වෙනවා. ඒ වගේම කාබනේට් අඩංගු පාන වර්ග ලබාගැනීමෙන් වැලදීමටද වග බලාගන්න.

මේ සතිය වන විට ඔබේ පාදවල ඉදිමුණු ස්වභාවයක් දැකගත හැකියි. ඒ තත්ත්වය මගහරවා ගැනීමට කකුල් එල්ලා තබාගැනීමෙන් වලකින්න. නින්දේදී කොට්ටයක් මත හෝ යම් උසකින් පාද තබාගන්න.

උදරයේ මතුපිට කසන සුළු බවක් දැනටමත් ඔබට දැනෙනවා ඇති. ගර්භාෂය ප්‍රසාරණය වීමත් සමගම උදරයේ සම ඇදීමට ලක් වන නිසා මෙසේ කසන ගතියක් දැනෙන්නට පටන් ගන්නා අතරම ඔබට පුළුවන් සමේ තෙතමනය රැකෙන පරිදි සුදුසු ආලේපයක් ගල්වන්න.

අම්මෙක් වෙන්න යද්දී ඇතිවන “ගර්භණී සමයේ කොන්දේ වේදනාව”

ගර්භණී සමයේ පිට කොන්දේ වේදනාව වැඩිපුර වැලදෙන්නේ පෙර ගර්භණී සමයේ දී පිට කොන්දේ වේදනාව වැළදුණු මව්වරුන්ට, ක්‍රියාශීලී එනම් ව්‍යායාමයන්ගෙන් තොරව හිඳීන ගර්භණී මව්වරුන්ට, ගර්භයේ දරුවන් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් සිටින මව්වරුන්ට සහ අධික තරබාරු තත්ත්වයේ සිටින මව්වරුන්ටය.

ගැබිනි සමයේ සිරුර තුළ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා කශේරුකාවට සම්බන්ධ වී ඇති ශ්‍රෝණි අස්ථීවල බන්ධනය ඉහිල් වන අතරම කොන්දේ දෙපස ඇති මාංශ පේශීවලට වැඩි කාර්යයක් පැවරේ. ඒ හේතුවෙන් ඇවිදීමේදී, සිටගෙන සිටීමේදී, බොහෝ වේලාවක් ඉදගෙන සිටින විට වගේම සිරුරේ ගුරුත්ව කේන්ද්‍රය ඉදිරියට ගමන් කිරීම නිසා මාංශපේශීන් වෙත පැවරෙන කාර්යය වැඩි වීමද මෙයට හේතුවක්. ගර්භණී සමයේ තවත් ඉදිරියට බර වැඩි වන අතරම එය ඔබේ මාංශ ෂේශිවලට මෙන්ම සන්ධිවලට ද වේදනාවක් ඇති කරයි. පූර්ව ප්‍රසව සමයේ ඇති වූූ මෙම පිට කොන්දේ වේදනාව දරු ප්‍රසූතියෙන් පසුව පහව යයි.

මීට අමතරව ගැබිනි මව්වරුන්ට පොදුවේ ඇති වන තවත් තත්ත්වයකි, කටී කශේරුකා පෙදෙසේ සහ ඊට පහළින් ඇති වන වේදනාව. මේ වේදනාව ඉනට ඉහළින් වක්‍රාකාරව ඉන පෙදෙසෙන් එහාට විහිදී දෙපා දක්වා විහිදී යයි. වැඩි වේලාවක් සිටගෙන සිටීම, ඉඳගෙන සිටීම, පඩිපෙළ නැගීම, උස අඩු පුටුවක හිඳගැනීම, බරක් එසවීම වැනි  කාර්යයන්වලදී වේදනාව වැඩි විය හැකිය. මේ තත්ත්වයටද ගැබිනි බව නිසා සිරුරේ සිදුවන හෝමෝන වෙනස්කම් හේතුවේ.

එසේම ගැබිනි මව්වරුන් සියයක් අතරින් එක් අයෙකුට පමණ ඇති විය හැකි කොන්දේ වේදනා තත්ත්වයක් ලෙස සයිටිකා තත්ත්වය හැඳින්විය හැකිය. මේ වේදනාව හටගන්නේ සයටික් ස්නායුව ඇදීමට ලක්වීම හේතුවෙනි. තට්ටමේ සිට කලවා දක්වා පිටුපසින් යන අධික වේදනවාක් වන මේ තත්ත්වයේදී කොන්දේ වේදනාවට වඩා ප්‍රබලව දෙපාවල ඇති වන වේදනාව දැනෙයි. ඇතැම්විට මෙය හදිසි තත්ත්වයක් බවට පත්විය හැකි අතරම පාදයේ සංවේදන නොදැනේ නම් පාදවල දුර්වල බවක් දැනේ නම් ඉකිළි ප්‍රදේශයේ ගුදයේ මුත්‍රාශයේ සංවේදනය නොදැනේ නම් ඉබේ මුත්‍රා පහවන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමුවන්න.

ගැබිනි සමයේ කොන්දේ වේදනාව මගහැරීමට නම් නිසි වෛද්‍ය උපදෙස් මත ව්‍යායාම ආරම්භ කිරීම වඩා වැදගත් වේ. ජලය අශ්‍රිතව සිදුකරන ව්‍යායාමය, පිට කොන්දේ වේදනාව අවම කිරීමට සමත් බව සමීක‍ෂණ මගින් හෙලිවී ඇති අතරම පිහිනීම, තවත් කෙනෙකුගේ ආධාරය ඇතිව දිය මත පාවෙමින් සිදු කරන ව්‍යායාම වඩාත් සුදුසු වේ. එමෙන්ම යෝග ව්‍යායාම මෙන්ම පිහිනීම මගින් ද උදර කශේරුකා අවට ඇති පේෂි ශක්තිමත් කරයි.

ගර්භණී කාල සීමාව තුළදී එදිනෙදා ජීවිතයේදී පුරුදු පුහුණු වූ යම් යම් ක්‍රියාකාරකම්වල වෙනසක් සිදුකිරීමට ඔබට සිදු විය හැකිය. ඒ ඔබේ පහසුව සඳහාමය.

ගැබිනි ඔබ පහත උපදෙස් පිළිපදිමින් මේ තත්ත්වය අවම කරගැනීමට උනන්දුවන්න.

නිවැරදි ඉරියව්වෙන් ඉඳගැනීම, හිට ගැනීම

  • උඩු අතට නිදාගැනීමෙන් වළකින්න
  • එක් වරම ඇෙඳන් නැගිටින්න එපා
  • ශරීරයට අධික වෙහෙසකාරී කටයුතුවල යෙදීමෙන් වලකින්න
  • උස් අඩි පාවහන් පැළදීමෙන් වැළකෙන්න
  • සැමවිටම ඍජුව සිටගන්න
  • ඉඳගෙන සිටින විටද පිට ඍජුව තබා ගන්න
  • කකුල් දෙක තබා ගැනීමට කුඩා බංකුවක් ගන්න
  • වැඩි වේලාවක් සිටගෙන සිටීමෙන් වළකින්න
  • සැමවිටම නිවැරදි ඉරියව් පවත්වාගන්න
  • පහළට නැමීමේදී දණහිස් දෙකෙන් පහළට නැමෙන්න
  • එක් එක් පැතිවලට හැරෙද්දී නැවෙද්දී මුළු සිරුරම ඒ කාර්යයට යොමුකරන්න
Symphysis pubis dysfunction (SPD) තත්ත්වය

අපේ සිරුරේ පිහිටි ශ්‍රෝණි අස්ථී සිරුරේ පිටුපසින් කොන්දට සවි වී ඇති අතරම ඉදිරිපසින් එකිනෙක සවිවී පවතී. දරුවෙකු ලැඛෙන විට ඒ සඳහා අවශ්‍ය ඉඩ සැපයීමට ඉදිරිපස අස්ථී ඈත්වීම සිදුවේ. සමහර විට මෙම ඈත්වීම සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි ප්‍රමාණයකින් සිදුවිය හැකි අතරම ඒවා එකිනෙක මත ගැටීමෙන් අධික වේදනාවක් ඇති විය හැකිය. මෙයට හේතුවන්නේ දරුවන් අතර පරතරය අවුරුද්දකට වඩා අඩුවීමයි. එසේම පෙර ගැබිනි තත්ත්වයේදී මේ තත්ත්වය පැවති මවකට ඒ අවස්ථාවේදීට වඩා වැඩි වශයෙන් ඊළඟ ගර්භණී අවස්ථාවේදී මේ තත්ත්වය ඇති විය හැකිය. මෙය ප්‍රසූතියෙන් පසු මගහැරී යන අතරම  භෞත චිතිත්සක ව්‍යායාම මගින් මෙන්ම මේ සඳහාම සැකසී ඇති පටි පැළදීමෙන් පාලනය කර ගැනීමේ හැකියාව පවතී.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ දහතුන්වන සතිය

Week-13
ඇත්ත තමයි… මට හිතෙන්නෙම චූටියා ගැනම විතරයි

නිකමට වගේ අම්මා මෙන්න මෙහෙම තාත්තට කිව්වම දන්නවද තාත්තා මොකක්කද කිව්වේ කියලා…

ඔන්න චූටියා ආවම නම් ඔහොම බෑ… හැමදේම පිළිවෙළට තියෙන්න ඕනේ. මේ කාමරේ එයාට ගැලපෙන විදියට ලස්සන කරන්න ඕනේ. චූටියා ආවට පස්සේ තාත්තට අනිත් කාමරේට යන්න වෙයිද දන්නෙත් නෑ.

තාත්තා එහා කාමරේට ගිහින් කොහොමද? චූටියා රැට නිදියන්නේ නැතිව කරදර කරද්දි අම්මට උදව් කරන්න තාත්තා ළඟම ඉන්න ඕනේ…

ඒ කතාව නම් ඇත්තම ඇත්ත. තමන්ගේ දරුවා ගැන හීන දකින තාත්තාගේ සිතිවිලි මේ වගේ තමයි. අම්මා වගේම හරි හරියට එයාගේ හිතෙත් ආදරේ දලූලනවා. දෙන්නම බලාගෙන ඉන්නේ චූටියා ගෙදරට එනකං. හැබැයි ඉතිං තව ටික දවසක් තියෙනවා. හැම තාත්තෙක්ටම මේ වගේ හිතෙනවා නම් හැම චූටියෙක්ම වගේ හැම අම්මෙක්මත් කොයිතරම් වාසනාවන්තද?

ගැබිනි සමයේ දහතුන්වන සතිය

සීග්‍ර ලෙස වර්ධනය වන කලලයේ හිසේ සිට තට්ටම දක්වා දිග සෙන්ටිමීටර් 7.4 ක් විතර ඇති. බර ග්‍රෑම් 23යි. හිස, සිරුර වගේ හතර ගුණයක ප්‍රමාණයක්. මේ වන විට කලලයේ සිනිදු සම මත මුදු කෙස් ඇතිවෙමින් පවතිනවා. ඒ වගේම පුංචි ඇඟිලි තුඩුවලින් මවගේ ගර්භාෂය ස්පර්ෂ කරනවා. පුංචි මුුව තුළට මහපට ඇඟිල්ල දමාගන්නවා. පපුවේ මාංශ පේශීන් වර්ධනය වීම මේ වන විට ඇරඹී අවසන්. දරුවා දැන් මුව විවර කොට උල්බ තරලය පානය කරන අතරම එය මුත්‍රා ලෙස නැවත පිටවීම චක්‍රයක් ලෙස වරින් වර සිදුවෙනවා. මේ වෙද්දි දරුවාගේ ස්වර තන්ත්‍ර සකස් වී ඇති අතරම තොල් සහ නහය ඉතා ඉක්මණින් සැකසෙනවා. ඔබට ලැඛෙන්න ඉන්නේ දුවක් නම් මේ වන විට ඇයගේ ඩිම්බ කෝෂ තුළ ඩිම්බ මිලියන දෙකකටත් වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ගතයි. කලලයේ සැකිල්ල හොඳින් කැපී පෙනෙන අතරම අග්න්‍යාෂය සහ පිත්තාශය ද සම්පූර්ණයෙන්ම සැකසිලා අවසන්.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

දිනෙන් දින විශාල වන ගර්භාෂය නිසා මේ වෙද්දි ඔබ ගැබිනියක් බව හඳු නාගත හැකියි. බොහොම පහසු ඇඟට හිර නොවුණු සරල විලසිතා කිහිපයක් මේ වෙද්දි ඔබට තෝරගන්න සිදුවෙනවා. ඇඳු ම් තෝරාගනිද්දි උදරයට අපහසුවක් නොවන පරිදි තෝරාගැනීමට වගබලාන්න. එය ඔබට වගේම කුස තුළ වර්ධනය වන ඔබේ දරුවාටත් පහසුවක් සලසාවි.

මේ වෙද්දි පෙර කිව්වා වගේම බහුතරයක් මව්වරුන්ට දැනෙන අපහසුතා ගොඩක් දුරට මගහැරිලා ගිහින්. දැන් ඔබේ සිරුරේ මෙන්න මේ දේවල් සිදුවෙන්න පටන් අරගෙන. දරුවා මෙලොවට බිහිකරන්නට තව කොපමණ කල් තිබුණද ඔබේ පියුරුවල මුල්දින කිහිපයේ දරුවාගේ රැකවරණය උදෙසා අවශ්‍ය ප්‍රතිශක්තිකරණ ප්‍රෝටීන් සපිරි කොලස්ට්‍රම් නිපදවීම මේ වෙද්දි ආරම්භ වෙලා. පියයුරුවල ඇරියෝලාව හෙවත් කලූ පැහැති කොටස තද කලූ පැහැයක් ගෙන ඇති අතරම ඇතැම් විට පියයුරු මතු පිට නිල් පැහැති නහර දැකගත හැකියි. ඒ වගේම සමහර කාන්තාවන්ගේ ඇරියෝලාව වටා කුඩා ගැටිති ඇති වෙනවා. ඒවා බොහොම සාමාන්‍ය තත්ත්වයන්.

මේ කාලය වෙද්දි පපුව පිරෙන්න දිගු හුස්ම ලබාගන්න ඔබට අපහසු ඇති. කෙටි හුස්ම ගැනීම ඔබට අපහසුවක් වුවත් මේ තත්ත්වයට ඔබ විය විය යුතු නැහැ. මොකද ගර්භණී සමයේ මේ තත්ත්වයද බොහොම සාමාන්‍ය තත්තවයක්. 60% – 70% ක් අතර කාන්තාවන් මේ තත්ත්වයට මුහුණ දෙනවා.

ගැබිනි සමයේ  දෙවන ත්‍රෛමාසිකය ගත කරන ඔබට  ”මාතෘ සායන හරහා ඉටු වන සේවාව”

ශ්‍රී ලංකාව තුළ ගැබිනි සමයේ දෙවන ත්‍රෛමාසිකය ලෙස ගැනේනේ සති 13 සිට 27 දක්වා කාලයයි. ගැබිනි මවකට රජයේ සායන හා රෝහල් මගින් මෙන්ම පෞද්ගලික අංශයේ රෝහල් හා සායන මගින් ද සේවාවන් රැසක් ඉටුකරයි. සෑම ගැබිනි මවක්ම සෑම මසකම නියමිත දිනයට සායනය සඳහා සහභාගී වීම අනිවාර්ය වන්නේ මවගේ මෙන්න කුස තුළ වැඩෙන දරුවාගේ ද යහපත වෙනුවෙන්මය.

රජයේ සායන හා රෝහල් හරහා ගැබිනි සමය පුරාම අත්‍යවශ්‍ය වෛද්‍ය සේවාවන් නොමිලේම ලබාදෙන අතරම දෙවන ත්‍රෛමාසිකය තුළදී ගැබිනි මවට සැලසෙන සේවාවන් මෙසේය.

රජයේ රෝහල් මගින් පැවැත්වෙන පූර්ව ගර්භණී උපදේශන පන්ති හරහා දෙවන ත්‍රෛමාසිය ගත කරන මව්වරුන් පහත කරුණු පිළිබඳව දැනුවත් කරයි. මේ සඳහා මව සහ පියා දෙදෙනාම සහභාගී කරවා ගනී.

  • ගැබිනි සමයේ සාමාන්‍ය අපහසුතා
  • ගැබිනි සමයේ අවදානම් අවස්ථා
  • දරුවාගේ චලනය අඩුවීම හෝ චලනය නැතිවීම
  • අධිරුධිර පීඩනය/දියවැඩියාව
  • රුධිර වහනය
  • ස්වසන රෝග
  • මව්කිරී දීම වැදගත් වන්නේ ඇයි?
  • මව්කිරී පමණක් දීම යනු කුමක්ද?
  • ගර්භණී මව කෙරෙහි සැමියාගේ කාර්යභාරය

දෙවන ත්‍රෛමාසිකයේ ආරම්භයත් සමගම නොමිලේ යකඩ, කැල්සියම්, විටමින් සී සහ පණු ඛෙහෙත් මෙන්ම ගැබිනි මවගේ පෝෂණය උදෙසා ත්‍රිපෝෂ ලබාදීම ද සායනය හරහා සිදු කෙරේ.

මාතෘ සායන හරහා මවක් සෑම මසකම පරීක‍ෂාවට ලක් කෙරේ. එහිදී සෑම මසකම කලලයේ වර්ධනය මැන බැලීම, මුත්‍රාවල ප්‍රෝටීන් රුධිර පීඩනය පරීක‍ෂාව සිදුකෙරේ

සති 16 දී පිටගැස්ම එන්නත ලබා දෙයි. මවගේ පළමු ගැබ් ගැනීම නම් එන්නතේ පළමු මාත්‍රාව සති 16දී පමණ ලබා දෙන අතරම ඊට සති 6ක් හෝ 8ක් ඇතුළත දෙවන මාත්‍රාව ලබාදේ. මවගේ දෙවන හෝ තෙවන ගැබ් ගැනීම් නම් එක් මාත්‍රාවක් පමණක් ලබා දීම සිදු වේ.

ඇතැම් රජයේ රෝහල්වල සෑම මවකටම සති 20දී භ්‍රෑණ අසාමාන්‍යතා පරීක‍ෂා කිරීම සඳහා ඇනෝමලි ස්කෑන් පරීක‍ෂණය සිදුකෙරුණද බොහෝ රජයේ රෝහල්වල මෙම ඇනෝමලි ස්කෑන් පරීක‍ෂණය සිදුකෙරෙන්නේ අවධානම් සහිත මව්වරුන්පට පමණි.

රුධිර පරීක‍ෂාවන් සඳහා මව්වරුන් යොමු කෙරේ.

එසේම ගැබිනි මවකට පෞද්ගලික අංශයේ රෝහල් සහ සායන හරහාද සේවාවන් රැසක් ලබා දේ. ඒවා මෙසේය.

ඩවුන්ස් සහ ලක‍ෂණය (ට්‍රයිසෝමි (Trisomy)  21, ට්‍රයිසෝමි (Trisomy) 18 සහ ට්‍රයිසෝමි (Trisomy) 13 යන තත්ත්වයන් ඇති වීමේ යම් ප්‍රවණතාවයක් පවතීද යන්න පිළිබඳව දැන් පරීක‍ෂණ හරහා කල්තියා හඳුනා ගත හැකිය. ඒ සඳහා සිදු කෙරෙන පරීක‍ෂණ මෙසේය.

  • NT ස්කෑන් පරීක‍ෂණය
  • ත්‍රිත්ව පරීක‍ෂණය (Triple Test) යටතේ බීටා  hCG (human chorionic gonadotropin)” papp-a Test සහ estriol (uE3) යන පරීක‍ෂණ සිදුකෙරේ
  • අවධානම වැඩි මව්වරුන් Cell free fetal DNA පරීක‍ෂණය
  • Cell free fetal DNA පරීක‍ෂණය සිදු කර එමගින් ලැඛෙන ප්‍රතිඵලය 150 : 1 ට වැඩි නම් තත්ත්වය තවත් තහවුරු කරගැනීම උදෙසා  Amniocentesis පරීක‍ෂණය සඳහා මව යොමු කෙරේ. එමගින් 100%ක්ම මෙවැනි තත්ත්වයන් ඇති විය හැකිද නොහැකිද යන්න දැනගත හැකි වුවත් ගබ්සාවක් සිදුවීමේ ප්‍රවණතාවය 1% පවතින අතරම ලංකාවේ මෙම පරීක‍ෂණය සිදුකෙරෙනනේ ඉතාම අඩු වශයෙනි. මෙවැනි සංකූලතා කලින් හඳුනා ගත්තද කලලය ඉවත් කිරීමට ලංකාවේ නීතියට අනුව අවසර නොමැති නිසා කිසිදු පියවරක් ගත නොහැකිය

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.