Home Blog Page 4

ගැබිනි සමයේ දොලොස්වන සතිය

week-12

අපි ෂොපින් යමුකෝචූටියටත් එක්ක මගේ ඇදුම්වල ඉඩ මදියි

ඔන්න දැන් නම් අම්මට තිබුණු අපහසුතා ටිකෙන් ටික මගහැරිලා ගිහින්. චූටියා නිසා අම්මට තියෙන ඇදුම් අදින්න අමාරුයිලූ. ඒ විතරක් නෙවෙයි. අම්මාගේ ඇදුම් නිසා චූටියට අපහසුවක් වෙනන දෙන්නත් බෑනේ. ඒක නිසා අදම ගිහින් සුවපහසු ඇදුම් කීපයක් ගන්නයි අම්මාගේ නම් සූදානම. ඒක හොද අදහසක්. මේ කාලේ අම්මාගේ ඇදුම් අගට හිර වුණාම අම්මට වගේම චූටියටත් අපහසුයි. උදරය තද නොවොන විදියට ගැබිනි මව්වරුන්ටම සැකසුණු විලාසිතා දැන් ඉස්සරට වඩා පහසුවෙන් හොයාගන්න පුළුවන්. එහෙමනම් ෂොපින් ගිහින් එන්නකෝ.

ගැබිනි සමයේ දොලොස්වන සතිය

දොළොස්වන සතිය තුළ කලලයේ හිතාගන්න බැරි විදියේ සංවර්ධනයක් සිදු වෙනවා කිව්වොත් නිවැරදියි. මේ වෙද්දි දරුවාගේ හිසේ සිට තට්ටම දක්වා උස සෙන්ටිමීටර 5.4ක් විතර ඇති. බර ග‍්‍රෑම් 14ක් විතර ඇති. දරුවාගේ ඇගිලි නවන්න දිග අරින්න වගේම පාදේය ඇගිලි ගුලි කරගන්නත් මේ සතිය තුළදී දරුවාට හැකිවෙනවා. ඇස් තද කරගන්නවා. උරා බීමට හැකි වන පරිදි මුඛය සැකසෙනවා. අම්මාට නොදැණුනත් කුස පිරිමදින විට දරුවා ඒ සදහා අත පය ගසමින් ප‍්‍රතිචාර දක්වනවා. පෙකිණිය ඉදිරියට නෙරා ඒම හේතුවෙන් වර්ධනය වී ඇති බඩවැල් උදර කුහරයට ගමන් කිරීම මේ වන විට ආරම්භ වෙනවා. වකුගඩු මගින් මුත‍්‍රාශය වෙත මුත‍්‍රා පෙරීම ආරම්භ කරයි. ස්නායු සෛල වේගයෙන් බෙදීම සිදු වෙනවා. මේ වන විට මානව ස්වරූපය හොදින්ම මුහුණට ලැබී තිබෙනවා. ඇස් දෙපැත්තට වගේම උඩට යටට ගමන් කරනවා. කන් පෙති නියමිත ස්ථානයේ පිහිටා තිබෙනවා.

ඔන්න ඉතිං, අම්මාෙග් ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

මේ ඔබේ ගැබිනි සමයේ පළමු කාර්තුවේ අවසානය සතියයි. අම්මගේ බර රාත්තල් පහ හයකින් වැඩි වී තිබිය හැකි අතරම එය කාන්තාවගෙන් කාන්තාවකට වෙනස් විය හැකිය. මේ වන විට බහුතරයක් මව්වරුන්හට ඇති වූ අපහසුතා සම්පූර්ණයෙන්ම පාහේ සාමාන්‍ය අතට හැරී තිබේ. නමුත් නිතර නිතර මුත‍්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය නම් චූටියා ලැබෙන තුරුම ඔබට දැනේවි. මොකද ගර්භාෂය විශාල වීමත් සමගම මුත‍්‍රාශය මතට යෙදෙන පීඩනය නිසා ඔබට ඒ අපහසුතාවය නම් දිගින් දිගටම පවතීවි. මේ වන විට ගබ්සාවක් සිදු විය හැකි ප‍්‍රවණතාවය අවම වී ඇත.

ගැබිනි සමයේ පළමු කාර්තුව තුළ ඔබේ බර රාත්තල් 5, 6කින් වැඩි විය යුතුය. නමුත් එක් එක් කාන්තාවගෙන් කාන්තාවට තත්ත්වය වෙනස් වේ. ඔන්න දැන් අම්මාගේ සිරුර පිරුණු ස්වභාවයකින් දිස්වේවි. දිනෙන් දින වර්ධනය වන කළලයට අවශ්‍ය ඉඩ සැපයීම සදහා මවගේ ගර්භාෂය ප‍්‍රසාරණය වන අතරම ඒ හේතුවෙන් කුස මතුපිට සම ඇදීමකට ලක් වේ. එවිට කුස මතුපිට සම මත කැසීමක් ඇතිවිය හැකිය.

ගැස්ට‍්‍රයිටීස් තත්ත්වය ඔබට ඇති. විටින් විට සෙමින් සෙමින් ආහාර කුඩා ප‍්‍රමාණයන්ගෙන් ලබාගන්න. එසේම ගැස්ට‍්‍රයිටීස් තත්ත්වය ඇති වීමට බලපෑ හැකි කාබනේට් අඩංගු බීම වර්ග, ඇතැම් කිරි නිෂ්පාදන මෙන්ම කාබෝහයිඞ්රේට් අධික ආහාර වර්ගවලින් වැලකී සිටීම නිසා ඔබට යම් පහසුවක් ඇති විය හැකිය. එසේම බෝතල් මගින් හෝ බට ආධාරයෙන් යම් යම් දේ පානය කිරීමෙන් වැළකීමද මෙහිදී වැදගත් වේ. මන්ද එවිට උදරයට ඇතුළු වන වාත ප‍්‍රමාණය වැඩි වන නිසාය.

ගැබිනි සමයේ ඇති වන සමේ සිදුවන වෙනස් වීම් සාමාන්‍යයෙන් මේ සතියේ සිට දැකගත හැකිය. මවගේ උදරයේ, පියයුරුවල සහ කලවා ප‍්‍රදේශයේ සම මත ස්ටෙ‍්‍රච් මාර්ක් ඇති වීමට පටන් ගනී. ඇතැම් විට මේ සමයේ සිරුරේ සිදුවන හෝමෝනවල වෙනස් වීම් සමගම ගැබිනි මව්වරුන්ගේ සමට දිලිසෙන, සුන්දර පෙනුමක් ලැබේ. ඒ වගේම ඔබට දැනෙනවා ඇති ගැබ් ගැනීමට පෙර ඔබේ සමට වඩා දැන් ඔබේ සම සංවේදී බව. ඒ නිසාම හැමවිටම සම සදහා මෘදු පිරිසිදුකාරක යොදාගන්න.

අම්මෙක් වෙන්න යන ඔබට අනිවාර්යසති 11 – 14 ත් අතර ස්කෑන් පරීක්ෂණය

තාක්‍ෂයේ දියුණුවත් සමගම අද වන විට වෛද්‍ය විද්‍යාවද ඉතා ඉදිරියෙන් සිටී. සාමාන්‍යයෙන් ප‍්‍රසූතිය සිදුවන දිනය මවගේ මාසික ඔසප් චක‍්‍රය සිදු වූ අවසාන දිනයට අනුව සකස් කෙරුණද අද වන විට දින ගණන් බැලීම සිදු කරන්නේ සති 11ත් 14ත් අතර සිදුකරනු ලබන ස්කෑන් පරීක්‍ෂණය හරහායි. එමගින් අක‍්‍රමත් ඔසප් චක‍්‍රයක් පැවති කාන්තාවකට වුවද කිසිදු ගැටලූවකින් තොරව නිවැරදිව ප‍්‍රසූත දිනය ලබාගැනීමේ හැකියාව පවතී. එපමණක් නොව ගර්භණී සමයේ ඉදිරි කාලය තුළ මවට මෙන්ම දරුවාට ඇති විය හැකි සංකූලතාවයන් සොයාගැනීමට ද මෙම ස්කෑන් පරීක්‍ෂණය ඉවහල් වේ. ඒ නිසාම සෑම මවකටම මෙම ස්කෑන් පරීක්‍ෂණයට යොමු වීම අනිවාර්යය.

සති 11 – 14ත් අතර ස්කෑන් පරීක්‍ෂණයෙන් තහවුරු කරගන්නා අනෙක් කරුණු ලෙස කලලයේ ජීවය තහවුරු කරගැනීම, කලලයේ සති ගණන තහවුරු කරගැනීම, වර්ණදේහ අසාමාන්‍යතා හදුනාගැනීම,  බහු කලල අවස්ථා හදුනා ගැනීම, කලලයේ ප‍්‍රධාන ව්‍යුහමය අසාමාන්‍යතා හදුනාගැනීම මෙන්ම ඩවුන්ස් සහ ලක්‍ෂණ හදුනා ගැනීම ද දැක්විය හැකිය.

නොමේරූ දරු උපත්, මළ දරු උපත්, බිළිදා ප‍්‍රමාණයෙන් කුඩා වීම සහ මවට අධිරුධිර පීඩන තත්ත්වය ඇති වීම යන අවස්ථා මෙම ස්කෑන් පරීක්‍ෂණය මගින් හදුනා විශේෂ අවධානයක් යොමු කොට පාලනය කළ හැකි සංකූලතාය. තවද ස්කෑන් පරීක්‍ෂණ හරහා ගැබ් ගෙලේ දිග මැන බලා අවධානම් තත්ත්ව පිළිබදව හැදින අවශ්‍ය ප‍්‍රතිකාර සැලසුම් කළ හැකිය.

කලල මොළයේ, ස්නායු පද්ධතියේ, කොදු ඇට පේළියේ යම් යම් අඩු පාඩු මෙන්ම ජානමය ගැටලූ සහ වර්ණ දේහ සම්බන්ධ ගැටලූ තිබේද යන්න 70%කින් පමණ මෙම ස්කෑන් පරීක්‍ෂණය හරහා දැනුවත් විය හැකිවීම තවත් වැදගත් ප‍්‍රයෝජනයකි.

ඕනෑම මවකට අසාමාන්‍ය දරුවකු ලැබීමේ අවදානමක් පැවතිය හැකි අතරම මෙම ස්කෑන් පරීක්‍ෂණය මගින් එවැනි අසාමාන්‍යතා හදුනා ගත හැකිය. ඇතැම් අවස්ථාවලදී වැඩි තොරතුරු ලබාගැනීමට යෝනි මාර්ගය හරහා ද මෙම ස්කෑන් පරීක්‍ෂණය සිදු කරයි. දරුවන් 700කින් එක් අයෙකු ඩවුන්ස් සහ ලක්‍ෂණ පෙන්නුම් කරන අතරම ඇතැම්විට දරුවන්ගේ අවයවවල අඩුපාඩු තිබිය හැකිය. සෑම ගර්භණී මවකටම සාමාන්‍ය පරිදි විස්තරාත්මක ස්කෑන් පරීක්ෂණයක් නිර්දේශ කරයි.

සති 11- 14ත් අතර සිදුකරන මෙම ස්කෑන් පරීක්‍ෂණය හරහා මවට ඇති වෙනත් සංකූලතාවයන් එනම් ඩිම්බ කෝෂවල ගෙඩි ඇතිවීම වැනි දේ පිළිබඳවද සොයා බැලිය හැකිය.

WhatsApp භාවිතා කරනවද? අපිත් එක්ක chat එකට එකතු වෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ එකොලොස්වන සතිය

week-11

චූටියා ගැන හිතලා අම්මා බෝවෙන ලෙඩ රෝග වලිනුත් පරිස්සම් වෙන්නම ඕනේ……

අම්මා දැන් බොහොම පරිස්සමෙන් ජීවත් වෙනවා. ඒ චූටියට තියෙන ආදරේ නිසාමයි. හැකි තරම් රෝගී පුද්ගලයන්ගෙන් ඈත් වෙලා ඉන්න උත්සාහ කරන්න. දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා ලෙඩක් හැදුණු කෙනෙක් බලන්න යන්නවත් මට බැරිද කියලා නේද අම්මා හිතුවේ. ඔව්… අම්මා ඒ ගැන හිතන්න ඕනේ. මොකද අම්මා ලෙඩ වුණොත් අම්මට විතරක් නෙවෙයි කුස ඇතුළේ හුරතලේට ඇති දැඩි වෙන චූටියාටත් කරදරයි. චූටියට කරදර වෙනවට අම්මා කොහොමත්ම කැමති නෑ නේද?

ගැබිනි සමයේ එකොලොස්වන සතිය

අඟල් එකහමාරට වඩා දිගින් වැඩි ඔබේ දරු පැටියා මේ වන විට බොහෝ දුරට ක්‍රියාශීලීයි. අස්ථි සවිමත් වීම මේ වන විට ඇරඹිලා. මුහුණේ හැඩරුව දැන් දැන් හොඳින් ඉස්මතු වෙලා පෙනෙන්න පටන් අරගෙන. සති එකොළහක් වයසැති ඔබේ දරුවාගේ කන් පෙතිවලට නියමාකර හැඩය මේ සතිය වන විට ලැබිලා. ඒ වගේම හිසේ සිට පාදාන්තය දක්වාම රෝම කූප වර්ධනය වීමත් ඇරඹිලා. දිවෙහි රස නහර මෙන්ම ගඳ සුවඳ දැනෙන සංවේදන හැකියාවත් මේ වන විට යම්තාක් දුරකට දියුණු තත්ත්වයේ පවතිනවා. කුඩා විදුරු මස් ඇතුළතින් දන්ත මූලයන් හටගන්නා අතරම තනපුඩු ද දිනෙන් දින වැඩෙන්නට පටන් අරගෙන. දරුපැටියාගේ සම ටිකෙන් ටික ඝනකම් වෙනවා. හදවතේ ගැස්ම විනාඩියට 120 සිට 160 දක්වා වාර ගණනක්. අත්පා සොලවමින් ඔබේ දරුවා කුස තුළ කරන දඟකම් අම්මාට දැනෙන්න තවත් ටික කාලයක් ගතවෙනවා. මේ කාලය තුළ කළලයේ මහා ප්‍රාචීර පේශිය සැකසෙමින් පවතින නිසා ඉක්කා වැටීම වරන් වර සිදු විය හැකියි. අක්මාව මගින් රතුරුධිරානු නිපදවීම ක්‍රියාත්මක වන අතරම පෙකෙණි වැල මගින් ඉටුවන්නේද සුවිශේෂී කාර්යයභාරයකි. එනම් පෙකෙනි වැලේ එක් ශිරාවකින් දරුවාට අවශ්‍ය පෝෂණය හා ඔක්සිජන් රැගෙන එන අතරම ධමනි දෙකක් මගින් රුධිරය ආපසු ගෙනයෑම සිදුකරනවා.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

දැන් නම් අම්මට බොහෝදුරට සුවයක් දැනෙනවා ඇති. ඒත් යම් යම් අපහසුතා තියෙන අම්මලත් ඇති. දවසින් දවස ප‍්‍රසාරණය වන ගර්භාෂය නිසා ඔන්න දැන්නම් අම්මාගේ උදරය යාන්තමට වගේ ඉදිරියට නෙරා ඇවිත්. ඔබට ලැබෙන්න ඉන්නේ නිවුන් දරුවන් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නම් මේ වන විට ඔබ ගැබිනියක් බව පැහැදිලිව පිටතට පෙන්වනවා. ඒත් උසින් වැඩි කාන්තාවන්ගේ ගර්භණී බව පිටතට පේන්න ටික කලක් ගත වෙනවා. ඇතැම් වැඩිහිටියන් හිතන්නේ ඒක වාසනාවක් විදියට. මොකද ඇතැම් පිරිසි පළමු තුන් මස අවසන් වන තුරු තමාගේ ගැබිනි බව සගවා ගෙන සිටීමට උත්සාහ කරන නිසා.

මේ කාලය තුළ මවගේ හිසකෙස් සහ නියපොතු වේගයෙන් වැඞීම බොහොම සාමාන්‍ය තත්ත්වයක්. ඇතැම් මව්වරුන් මේ තත්ත්වය නිරීක්‍ෂණය කරන්නෙත් නැති තරම්. මේ කාලය තුළ ඇතැම් මව්වරුන්ගේ හිසකෙස්වල දිලිසෙන ගතියක් දැකගත හැකි වුවත් ඇතැමුන්ගේ හිසකෙස් හැසිරවීම ඉතාම අපහසු තත්ත්වයකට පත්විය හැකියි. ප‍්‍රසූතියෙන් පසුව මේ සියල්ල පෙර තිබූ තත්ත්වයටම පත් වෙන බව සිහිතබාගන්න.

මෙතෙක් පැවති ගැස්ට‍්‍රයිටීස් තත්ත්වයට අමතරව මව්වරුන් වැඩි පිරිසක් මුහුණ දෙන අපහසු තත්ත්වයක් ලෙස මලබද්ධය ද දැක්විය හැකියි. ගර්භණී සමයේදී මේ තත්ත්වයන් දෙකම සාමාන්‍යයි. මේ තත්ත්වයන් දෙකෙහිදීම අවශ්‍ය වන්නේ ඔබේ ආහාර රටාව පිළිබදව වැඩි සැලකිල්ලක් දැක්වීමයි. වැඩිපුර තන්තු සහිත ආහාර වර්ග එක්කර ගැනීම වඩා වැදගත්ය. එසේම ක‍්‍රමවත් ව්‍යායම රටාවකට හුරුවීම ද ඉතා වැදගත්ය.

හිසරදය ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයක් බව මීට පෙර ලිපි හරහාද ඔබ දැනුවත් වූවා. එසේම ඔබ ගැබ් ගැනීමට පෙර සිටම මිගේ‍්‍රන් තත්ත්වය තිබූ කාන්තාවක් නම් මේ කාලය වන විට එය වැඩි වශයෙන් ඉස්මතු වීම සිදු විය හැකිය.

බොහෝ මව්වරුන් පසුගිය සති කිහිපය කණස්සලූ ස්වභාවයෙන් ගත කළද මේ වන විට ඒ තත්ත්වයෙන් මිදී සිටියි. ගර්භණී සමය පිළිබදව පොත් පත්, පුවත් පත් හරහා සොයබලන්නට තමා ලබන මේ අත්දැකීම අන්අයත් සමග බෙදාගැනීමට මේ වන විට ඔබ පෙළඹෙනවා ඇති. සැමවිටම සෞඛ්‍ය සම්පන්නව නිදහස් මනසින් කාලය ගත කරන්නට උත්සාහ කරන්න.

සති එකොළහ වන විට ඔබේ බර සාමාන්‍ය කාන්තාවකට වඩා රාත්තල් හතරකින් පමණ වැඩි වී තිබිය හැකිය. එක් එක් අයගේ ස්වරූපය අනුව තත්ත්වය වෙනස් වේ. ඇතැම් කාන්තාවන්ගේ බර අධික ලෙස වැඩෙන අතරම ඇතැමුන්ගේ බර අඩුවීම ද දැකිය හැකිය. වඩා සුදුසුවන්නේ හැකි තාක්දුරට සාමාන්‍ය මට්ටමේ බර පවත්වා ගැනීමට උත්සාහ කිරීමයි. සමහර කාන්තාවන්ගේ මුහුණ මෙන්න පියයුරු ප‍්‍රදේශය බරින් වැඩිවිය හැකි අතරම ඇතැමුන්ගේ තට්ටම් පෙදෙස හෝ කලවා පෙදෙස මහතින් වැඩි වේ. ගර්භණී සමයේ නිසි බර මට්ටම පවත්වා ගැනීම බිහිවන දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය කෙරේද බලපාන හොද සාධකයකි. හැමවිටම සමබල ආහාර වේලක් ලබාගන්නට උනන්දු වන්න. ක්‍ෂණික ආහාර වර්ග, පෙර සැකසුම් ආහාරවර්ගවලින් ඈත්ව හැකි සැමවිටම පිරිසිදු නැවුම් ස්වභාවික ආහාර වෙත මුල් තැන ලබාදෙන්න.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු “මවට මෙන්ම කලලයට හානි කළ හැකි රෝග තත්ත්ව”

ගැබිනි සමයේදී බැක්ටීරියා සහ වෛරස් ආසාදනවලින් හැකිතාක් දුරට ප්‍රවේසම් වීමට නම් මව්වරුන්ගේ දැනුවත් බව වඩාත් වැදගත් වෙනවා. ඒ ඇතැම් ආසාදන තත්ත්වයන් හරහා ගැබිනි මවට මෙන්ම කුස තුළ වැඩෙන දරුවාට නොයෙක් ආකාරයේ සංකූලතාවයන් ඇති කළ හැකි නිසයි. ඔබේ අවධානය වැඩි වශයෙන් යොමු විය යුතු අවස්ථා කිහිපයක් පිළිබඳ ගැබිනි සමයේ පළමු ත්‍රෛමාසිකයේ පසුවන ඔබව දැනුවත් කිරීමටයි මේ සූදානම. ඒ පැපොළ, රුබෙල්ලා, ටොක්සොප්ලාස්මා සහ CMV වෛරස ආසාදනය යන තත්ත්වයන් පිළිබඳවයි.

පැපොළ

ඔබ මීට පෙර පැපොළ රෝගය වැළදුණු කාන්තාවක් නම් මේ වන විටත් රෝගයට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ හැකියාව ඔබේ සිරුර තුළ පවතිනවා. නමුත් ඔබ මීට පෙර පැපොළ රෝග වැළඳී නොමැති කාන්තාවක් නම් ඒ පිළිබඳව දැනුවත් වීම වඩාත් වැදගත් වනු ඇත. එවැනි කාන්තාවන් විවාහයට පෙර හෝ ගැබ් ගැනීමට මාස තුනකට පෙර පැපොළ රෝගය සඳහා ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම වඩාත් සුදුසු වන්නේ ගැබිනි සමයේ රෝගය වැළදීම නිසා මවට මෙන්ම දරුවාටද නොයෙකුත් ආකාරයේ සංකූලතා ඇති විය හැකි බැවිනි.

පැපොළ රෝගියෙකු අසල විනාඩි 15ක පමණ කාලයක් රැඳී සිටීමෙන් රෝගකාරක විෂබීජ ඔබේ සිරුරටද ඇතුළු විය හැකි අතරම මීට පෙර පැපොළ රෝගය ගර්භණී ඔබට වැළදී නැතිනම් ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. ඒ වගේම ඔබට යම් හෙයකින් පැපොළ රෝගය වැළදුණහොත් පැය 24ක් ගතවීමට පෙර ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවන්න. රෝහල වෙත පැමිණිය යුත්තේ හුස්ම ගැනීමේ අපහසුතාවය, අධික හිසරදය, සිහි මූර්ජා වීම, බිබිලි වලින් රුධිරය පිටවීම වැනි තත්ත්වයන් යටතේදීය. මන්ද රෝහලට පැමිණීම මගින් එහි සිටින මව්වරුන් මෙන්ම දරුවන් අතරද රෝගය ව්‍යාප්ත වීමේ හැකියාව පවතින නිසාය. ඔබ ඉහත දැක්වූ විශේෂිත තත්ත්වයක් මත රෝහලට පැමිණි විට වෙන් වූ ස්ථානයක රඳවා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනු ඇත.

ගැබිනි මව්වරුන් හැකිතාක් පැපොළ රෝගයෙන් වැළකී සිටිය යුත්තේ ඔබේ පළමු ත්‍රෛමාසිකය තුළ පැපොළ රෝගය ඇති වුවහොත් ගබ්සා වීමට වුවද ඉඩ ඇති බැවිනි. ගබ්සාවක් සිදු නොවුණද මවට මොළයේ ප්‍රදාහය, නිව්මෙම්නියාව සහ සිරුර පුරා ගෙඩි හටගැනීම වැනි තත්ත්වයන් ඇති වීම මෙන්ම කලලයට ද නොයෙකුත් සංකූලතාවයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය. කලලයට සති 28 සම්පූර්ණ වීමට පෙර මවට පැපොළ රෝගය ඇති වුවහොත් දරුවාට ත්‍ඪී – ත්‍ැඒක ඪ්රසජැකක් ීහබාරදපැ තත්ත්වය ඇති විය හැකිය. එවැනි දරුවෙකු මෙලොවට බිහිවන්නේ ඇස් පෙනීමේ දුර්වලතා, අංග විකල බව, මන්ද බුද්ධික බව, සමේ විශාල ලප කැළැල් ඇතිවීම, පෙණහලු, ඇස් ප්‍රමාණයෙන් කුඩා වීම, පාද කෙටි වීම, අක්මාව හා පෙනහලු ප්‍රදාහය ඇතිවීම, මොළයේ කුටීර විශාල වීම හා මොළයේ පිටත ස්ථරය කුඩාවීම මෙන්ම හෘද වස්තුවේ පේශීවල ආසාධන තත්ත්වයන් ඇති වීම වැනි සංකූලතාවයන්ද සමගින් වන අතරම දරුවාගේ වර්ධනය සිදුවන්නේද ඉතා සෙමිනි. කලලට සති 28 සම්පූර්ණ වූ පසුව මවට පැපොළ රෝගය ඇති වුවහොත් දරුවාට ඇතිවීමේ හැකියාව අවම වේ.

දරු ප්‍රසූතියට සතියකට පෙර මවට පැපොළ රෝගය වැළදුණහොත් දරුවාටත් පැපොල රෝගය වැළදිය හැකි අතරම දරුවා රෝගය සමගම බිහිවීමටද ඉඩකඩ තිබේ. එවිට උපතින් පසු දරුවාට Aciclovir සහ ප්‍රතිදේහ එසේම ප්‍රසූතියෙන් සතියකට මවට පැපොළ රෝගය වැළදුණහොත් දරුවාටද රෝගය ඇති විය හැකිය.

රුබෙල්ලා (ජර්මන් සරම්ප)

Togovirus වර්ගයට අයත් වෛරසයක් මගින් ආසාදනය වන මෙම තත්ත්වයෙන් ආරක්‍ෂා වීමට විවාහයට පෙර හෝ ගැබ් ගැනීමට මාස තුනකට පෙර MMR එන්නත ලබා ගත යුතුයි. මන්ද යම් හෙයකින් ගැබිනි සමයේ පළමු ත්‍රෛමාසිකය ඇතුළත මවකට රුබෙල්ලා තත්ත්වය (ජර්මන් සරම්ප) ඇති වුවහොත් දරුවාගේ මොළය කුඩා වීම හෝ ඉදිමීම, ශ්‍රව්‍ය ආබාධ, මන්ද බුද්ධික බව, ඇස් ආසාමාන්‍ය ලෙස ප්‍රමාණයෙන් කුඩා වීම, ඇසේ සුද ඇති වීම, තයිරොයිඞ් හෝමෝනය අඩු වීම වැනි සංකූලතාවයන් අතරින් එකක් හෝ ඇති වීමේ ප්‍රවණතායට 90% තරම් ඉහළය. එමෙන්ම දරුවාගේ වර්ධනය අඩාල විය හැකිය.

රුබෙල්ලා එන්නත පිළිබඳ පවතින අනිසි බිය නිසා කාන්තාවන් එන්නත ලබාගැනීමෙන් වැළකී සිටින්නට උත්සාහ කරන අතරම එන්නතින් ඇතිවන අතුරු ආබාධ තත්ත්වයන්ට වඩා එන්නත ලබානොගැනීමෙන් මතුවන සංකූලතාවයන් දරුණු විය හැකි බැවින් වෛද්‍යවරුන් කාන්තාවන්ට උපදෙස් ලබාදෙන්නේ විවාහයට පෙර හෝ ගැබ් ගැනීමට ප්‍රථම රුබෙල්ලා එන්නත ලබාගන්නා ලෙසටයි. රුබෙල්ලා එන්නත ගර්භණී මවවරුන්ට ලබා නොදෙන අතරම එන්නත ලබා නොගත් ගැබිනි මව්වරුන්ට එන්නත ලබාදීම සිදු කරන්නේ දරුවා බිහි වී නිවසට යන විටයි.

ටොක්සෝප්ලැස්මෝසිස්

මේ තත්ත්වයද ගර්භණී මවක් ප්‍රවේසම් විය යුතු වන තත්ත්වයකි. මෙය අන්වීක්‍ෂීය පරපෝෂිතයන් විශේෂයක් මගින් අතිවන ආසාදන තත්ත්වයක් වන අතරම ගැබිනි සමයේ මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවීම අවධානම් සහගතය. පළමු ත්‍රෛමාසිකය තුළ කලලයද ආසාදනයට ලක්වීමේ ප්‍රවණතාවය 15%ක් පමණ වේ. එසේම දෙවන ත්‍රෛමාසිකය තුළ 30%ක ප්‍රතිශතයක්ද වන ත්‍රෛමාසිකය තුළ 60%ක ප්‍රතිශතයක්ද වේ. රුධිර පාරවිලයනයකදී හෝ ගර්භණී අවධියේදී මවගෙන් ළදරුවාට සම්ප්‍රේෂණය වුවද මේ තත්ත්වය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ඇති විය නොහැකිය.

ටොක්සෝප්ලැස්මෝසිස් තත්ත්වය ඇති වන්නේ පූසන්ගේ මලපහ, අපිරිසිදු ආහාර, ජලය ශරීරගත වීම සහ හොඳින් නොපිසූ මස් වර්ග ආහාරයට ගැනීම යන කරුණු නිසාය. ආසාදිත මවකට උණ, ඇඟ පතේ අධික වේදනාව හා කුද්දෙටි ඉදිමීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය. මව හරහා කුස තුළ වැඩෙන කලලය ආසාදනය වුවහොත් දරුවාගේ මොළය කුඩා වීම, මොළයේ කුටීර තුළ මස්තිෂ්ක සුෂුම්නා තරලය එක් රැස් වීම, මොළයේ කැල්සියම් තැන්පත් වීම, අපස්මාරය හා අක්ෂි ආබාධවැනි සංකූලතාවයන් ඇති විය හැකිය. මේ තත්ත්වයේන වැළකී සිටීම ඉතා වැදගත් බව සිහි තබාගන්න. සැමවිටම වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම වඩා වැදගත් වේ.

CMV වෛරස ආසාදනය

Cytomegalo වෛරසය Herpes virus වර්ගයට අයත් වෛරසයක් වන අතරම මෙය ආසාදිතයෙකුගේ කෙළ, මුත්‍රා වැනි තරලයන් මාර්ගයෙන් තවත් පුද්ගලයෙකුට ආසාදනය වීම සිදු වේ. මේ තත්ත්වය ද ගැබිනි සමයේ ඇති වීමට නුසුදුසු තත්ත්වයකි. වෛරස ආසාදනයට ලක්ව බිහිවන දරුවන්ගේ තත්ත්වය Congenital CMV ලෙස හඳුන්වයි. මේ තත්ත්වයේ ඇතැම් දරුවන් සංකූලතාවයන් නොපෙන්නුවද බහුතරයක් දරුවන් උපතේ සිටම රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙයි. ඇතැම් දරුවන් සුවදායී තත්ත්වයේ සිටින බවක් පෙනුනද ශ්‍රව්‍යාබාධ තත්ත්වයන් ඇති විය හැකියි. එසේම වසරක් පමණ ගත වන විට තවත් බොහොමයක් සංකූලතා පෙන්නුම් කළ හැකියි. අක්ෂි ආබාධ, මොළයේ කැල්සියම් තැන්පත් වීම, මොළය කුඩා වීම, මන්ද බුද්ධික බව, අක්මාව හා ප්ලීහාව විශාල වීම මෙම වෛරස් ආසාදනයේ ප්‍රතිඵල ලෙස දැක්විය හැකිය.

50% පමණ කාන්තාවන් තුළ ප්‍රතිදේහ ගැබ්ගැනීමට පෙර සිටම සිරුර තුළ පැවතිය හැකියි. නමුත් මේ තත්ත්වය රෝග ලක්‍ෂණ පෙන්නම් කරන්නේ නැත. වාසනාවකට මෙම වෛරසය කලලය වෙත ගමන් කිරීමේ හැකියාව මෙන්ම දරුණු සංකූලතාවයන් ඇතිකිරීමේ හැකියාවද අවම වේ. මවට ගැබ් ගැනීමට මාස හයකට පමණ පෙර නම් මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ දරුවාට මේ තත්ත්වය ඇති වීමේ අවදානම තවත් අඩුය.

WhatsApp භාවිතා කරනවද? අපිත් එක්ක chat එකට එකතු වෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ දහවන සතිය

week-10

එයාට මාව දැන් වෙනදටත් වඩා ලස්සනට පේනවලු

අම්මෙක් වෙන්න යන කාන්තාව ඇත්තටම හරිම සුන්දරයි. හැම කෙනෙක්ම එයාව දකින්න කැමති මුහුණේ පිපුණු සුන්දර හිනහවත් එක්ක. දැන් ඔයත් ඉන්නේ ඒ තත්ත්වයේමයි. ඉතිං ඔයාගෙ සැමියට ඔයාව ලස්සනට පේන එක අරුමයක් නෙවෙයි. ඔය දෙන්නම වෙනුවෙන් ඔයා දරාගෙන ඉන්න අපහසුතා ඇත්තටම එයාට බෙදා හදාගන්න පුළුවන් වුණා නම් විශ්වාසයි, ඒ දේ වැඩි කොටසක් එයා භාරගන්නවා. ඔයා මේ ගෙවන්නේ කාන්තාවකගේ ජීවිතයේ සුන්දරම කාල පරිච්ඡේදය කිව්වොත් හරි.

ගැබිනි සමයේ දහවන සතිය

මේ ඔබේ ගැබිනි සමයේ දහවන සතියේ ආරම්භයයි. දැන් ඔබේ පුංචි පැටියාගේ හිසේ සිට තට්ටම දක්වා සෙන්ටිමීටර 3.1 විතර. ඒ වගේම බර ග‍්‍රෑම් 4ක් පමණ වේ. මේ වන විට බොහොමයක් දුරට කලලය වර්ධනය වී හමාරයි. දැන් කලලයේ ඊලග සංවර්ධන කාලයයි. මින් ඉදිරියට පටක සහ අවයව වර්ධනය සිදු වේ. හිස කොටස කලලයේ සම්පූර්ණ දිගින් හරි අඩක් පමණ වේ. මුහුණේ හැඩහුරුකම් මේ වන විට හදුනා ගත හැකියි. අත්පාවල ඇගිලි මේ වන විට සම්පූර්ණයෙන් ක‍්‍රියාශීලීයි. අත්පා නැවීමට හැකියි. පාද සිරුර ඉදිරියට ගත හැකි පරිදි දිගු වී ඇත. අත්වල මැණික් කටුව ප‍්‍රදේශය හිසේ තැරවෙන තරම් දිගුය. හිසකෙස් වැඩෙමින් වර්ධනය වේ. මේ වන විටත් කලලයේ ඇස් විවෘත වී නොමැත. ස්නායු පද්ධතිය සහ ආහාර ජීරණ පද්ධතිය සංවර්ධනය වෙමින් පවතී. හිස, මොළයේ වර්ධනය සදහා ඉඩ පහසුකම් සපයමින් සිටී. කශේරුකාව හෙවත් කොදු නාරටිය මේ වන විට විනිවිද පෙනෙන සම හරහා දැකගත හැකිය. හදවත සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මකයි. අස්ථි සහ කාටිලේජ මේ වන විට සකස් වෙමින් පවතී. අතෙහි මැණික් කටුව, පාදයේ වළලු කර, දණහිස් සංවර්ධනය වීම සිදු වේ. ඔබට ලැබෙන්න් ගැහැණු දරුවෙකු නම් කලලයේ ඩිම්බ කෝෂ සැකසීම මේ වන විට ඇරඹෙන අතරම පිරිමි දරුවෙකුගේ නම් වෘෂණ කෝෂ මගින් පුරුෂ හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම ආරම්භ කරයි.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

කළලයට සති දහයක් වන විට අම්මාගේ කුසට වටකුරු ස්වරූපයක් හිමිව තිබුණ ද පිටතට පැහැදිලිව පෙනෙන තරම් ඉදිරියට නෙරා නැත. ටිකෙන් ටික අම්මාට දැනෙන අපහසුතා අඩු වේගන යනවා. එහෙම නේද? සති දහය සම්පූර්ණ වෙද්දී  බහුතරයක් මව්වරුන්ට මේ අපහසුතා මගහැරිලා යනවා. නමුත් ඇතම් මව්වරුන්ට ගැබිනි සමයේ දෙවන කාර්තුව තෙක්ම මේ තත්ත්වය පැවතිය හැකියි. නමුත් ගර්භණී සමය පුරාම මේ අපහසුතා පවතින මව්වරුන් ද සුළු වශයෙන් දැකගත හැකියි.

හෘදවාහිනි සහ ස්නායු පද්ධතියේ ඇති වන වෙනස්කම් මත ඇති වන හිස කරකැවිල්ල, කණස්සලු ස්වභාවය, එක් එක් අවස්ථාවලදී ඇති වන නොසැලකිලිමත් ස්වභාවය වැනි ගැටලු නිසා මේ සතිය පුරාත් ඔබ පීඩාවෙන්. කරකැවිල්ල ගතිය ඇති වූ විට හිස වම් පසට ඇලකරන්න. එවිට හදවතට රුධිරය ගමන්කිරීම වැඩි වන නිසා ඔබට යම් සහනයක් ලැබේවි. ක්‍ෂණිකව ඉරියව් වෙනස් කිරීමෙන් කලබලයට පත්වීමෙන් වළකින්න.

ගැස්ට‍්‍රයිටීස් තත්ත්වයද මේ කාලය තුළ සාමාන්‍ය තත්ත්වයක් වන බැවින් ඔබ මේ වන විටත් එයින් යම්තාක් දුරට හෝ වැළකීමට ඔබේ ආහාර රටාවන් මෙන්ම ආහාර වර්ග වෙනස් කළ යුතුය.

ගර්භණී හෝමෝනවල ප‍්‍රමාණය අධික වීම නිසා ගර්භණී සමයේ මේ කාලසීමාව වන විට මවගේ සිරුර තුළ නිපදවෙන තෙල් ප‍්‍රමාණය අධික බැවින් ඇතැම් මව්වරුන්ගේ සම මත බිබිලි, කුරුලෑ ඇති විය හැකිය. නමුත් දරුවා බිහිවීමෙන් පසුව මේ තත්ත්වය ඉවත්ව යයි.

ඒ වගේම ඇතැම් මව්වරුන්ට දහවන සතිය වන විට පෙනීමේ යම් යම් වෙනස්කම් ඇති වන අවස්ථා ද හමුවේ. එයට හේතුව මවගේ සිරුරේ රුධිර ප‍්‍රමාණය දෙගුණ වීම නිසා ඇසේ සුදු ඉගිරියාව ඝනකම් වී වක‍්‍ර වීමයි. එමගින් පෙනීමේ යම් යම් වෙනස්කම් ඇති වන අතරම දරුවා බිහිවූ විගස මේ තත්ත්වය පහව යයි.

අම්මෙක් වෙන්න යන ඔබේ අවධානය යොමු විය යුතු ”ගැබිනි මවගේ මුඛ සෞඛ්‍ය”

ගර්භණී සමයේ මව යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගතහොත් බිහි වන දරුවාට ද නිරායසයෙන්ම යහපත් මුඛ සෞඛ්‍යයක් හිමිවේ. අන්න ඒ නිසා ගැබිනි මව අනිවාර්යෙන්ම දත් පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. එසේම ඔබ හෘදය සම්බන්ධව යම් ආබාධ තත්ත්වයක් පවතින කාන්තාවක් නම් ඒ පිළිබඳව ඔබේ දන්ත වෛද්‍යවරයාටද දැනුම් දෙන්න. ඒ දත්වලට පිළියම් යෙදීමේදී යම් හෙයකින් හෘදය වෙත විෂබීජ යා හැකි බැවින් අවශ්‍ය වන ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට දන්ත වෛද්‍යවරයා ඔබේ තොරතුරු පිළිබඳව දැන සිටිය යුතු නිසයි.

දිනපතා දවසට දෙවරක් වරකට විනාඩි දෙක බැගින් කෑමට පසු දත් මැදින්න.

  • සෑම සුළු හෝ ආහාර වේලකට පසුවම ජලය පානය කිරීම හා කට සෝදන්න.
  • මාස හයකට වරක්වත් දන්ත වෛද්‍යවරයෙකු හමුවන්න.
  • ගර්භණී සමයේ ඔබේ ආහාර පුරුදු වෙනස් වන අතරම ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව අතර මැද දී කෙටි ආහාර වේල් කීපයක් ඔබ ලබාගනී. දත් දිරායාමට ඇති හැකියාව අවම කරගැනීමට ඒ කෙටි කෑම බීමවලින් පසුවද කට සෝදන්න. ජලය පානය කරන්න.
  • ගැබිනි සමයේ ඇති වන වමනය මගින් මුඛය තුළ ආම්ලිකතාව වැඩි වී එනමලය දියවී යාමත් වමනය ඇති වීම නිසා දත් නොමැද සිටීම නිසාත් මුඛ සෞඛය ඛෙහෙවින් පිරිහී යන අතර ඒ පිළිබඳව විශේෂ අවධනයක් යොමුකරන්න.
  • මේ කාලය තුළ ශරීරයේ හෝමෝන සාන්ද්‍රණයේ සිදුවන වෙනස්කම් විදුරුමස් කෙරෙහි ද ඛෙහෙවින් බලපායි. විදුරුමස් ඉදිමීම, දත් මදින විට විදුරුමසින් රුධිර වහනය වැනි තත්ත්වය ඇති විය හැකිය. නමුත් සුපුරුදු පරිදි දිනපතා දවසට දෙවරක් වරකට විනාඩි දෙකක් දත් මදින්න.

ගැබිනි මව්වරුන්ට ඇතැම්විට යම් යම් මුඛ රෝග ඇති වන අවස්ථා ඇති අතරම ඒ සඳහා දන්ත වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගැනීම වඩා වැදගත් වේ. විශේෂයෙන්ම ගැබිනි මව යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමෙන් බිහවන දරුවාටත් යහපත් මුඛ සෞඛ්‍යයක් නිරායාසයෙන්ම හිමිවේ.

WhatsApp භාවිතා කරනවද? අපිත් එක්ක chat එකට එකතු වෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ නමවන සතිය

week-9

දැන් මගේ පැටියට සති නවයයි, අනේ… එයා මිදි ගෙඩියක් තරමයිලු

අම්මෙක්ගේ ජීවිතයට ලැබෙන අත්දැකීම් පුදුම සහගතයි. කුසේ වැඩෙන පුංචි පැටියා මිදි ගෙඩියක් තරමයි කිව්වම අම්මට අදහගන්නවත් බැරිවෙන්න ඇති, නේද? මව් කුසේ දරුවෙකු හැදෙන්නේ බිහි වෙන්නේ මවගේ රුධිරයෙන් පෝෂණය වෙන්නේ ඇත්තෙන්ම සොබා දහමේ ප‍්‍රාතිහාරයක් විදියට තමයි. කුසේ දරුවෙක් දරාගෙන අම්මෙක් අත්දකින මේ අත්දැකීම් සමුදාය කොයිතරම් නම් සුන්දරද? අන්න ඒ නිසාම වෙන්න ඇති මේ ලෝකේ මව්පදවිය තරම් වටිනා දෙයක් නෑ කියලා කියන්නේ.

ගැබිනි සමයේ නමවන සතිය

අද වන විට ඔබේ ගර්භණී කාලය සති අට එනම් මාස දෙක සම්පූර්ණ කොට නව වන සතියට පැමිණ තිබෙනවා. හිසේ සිට තට්ටම දක්වා උස සෙන්ටිමීටර 2.3 විතර. බර ග‍්‍රෑම් දෙකක් විතර ඇති. හරියටම කිව්වොත් කලලය මේ වෙද්දි මිදි ගෙඩියක තරමයි. කලලයට එන්න එන්නම මිනිස් ස්වරූපය ලැබෙන්න පටන් අරගෙන. මේ වන විටත් කළලයේ සම්පූර්ණයෙන් සැකසී ඇති ඇස් හිස තුළම පිහිටා ඇති අතර එකිනෙක ඇලී ඇති ඇස් පියවලින් ඒවා වැසී පවතිනවා. අත් පා තවත් දිගින් වැඩි වන අතරම ඇගිලි සම්පූර්ණයෙන්ම සැකසී අවසන් නැහැ. ඇගිලිවල සංවේදී ස්ථාන මේ වන විටත් සම්පූර්ණයෙන්ම සැකසී අවසන් නැත. ඉදිරි මාසවලදී සිරුරේ කොටස් තව තවත් හොදින් වර්ධනය වීම සිදුවන අතරම අවයව මාංශපේශී සහ ස්නායු ක‍්‍රියා කිරීම ඇරඹේ. දැන් කලලයේ හදවත කුටීරවලට බෙදී අවසන්ය. ඉන්පසුව කපාට සැකසීම ආරම්භ වේ. කන්පෙති, මුඛය, නාසය සහ නාස් පුඩු පැහැදිලිව දැකගත හැකිය. අක්මාව, ප්ලීහාව, පිත්තාශය, සංවර්ධනය වෙමින් පවතින අතරම මුත‍්‍රාශය හා මුත‍්‍ර වාහිනි පද්ධතිය වෙන්ව සැකසේ. ඊට අමතරව කලලයේ හෝමෝන නිපදවීමේ සුවිශාල කර්තව්‍යය ඉටු කිරීම සදහා මේ වන විට වැදෑමහ සම්පූර්ණයෙන්ම සැකසී අවසන්. මේ වන විට ඔබේ දරුවාගේ මූලික සංවර්ධන කටයුතු බොහොමයක් සිදු වී අවසන්. ලිංගික අවයව සැකසී තිබුණ ගැහැණු පිරිමි බව වෙන්කර හදුනා ගැනීමට මේ වන විට අපහසුය.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

දැන් ඔබ කෙමෙන් කෙමෙන් ලගා වෙන්නේ ඔබේ ගැබිනි සමයේ පළමු කාර්තුවේ අවසානය දෙසටයි. තවමත් ඔබ යම් යම් අපහසුතා සමගින් කාලය ගත කරනවා ඇති. සමහරවිට දුක, සතුට යන හැගීම් අතර දෝලනය වෙමින් ඉන්නවා ඇති. මේ සියල්ල සිදුවන්නේ ගැබිනි සමයේ සිරුරේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසයි. ඔබේ සැමියා මේ වන විට ඔබව සම්පූර්ණයෙන්ම වටහා ගෙන ඇති. එසේ නැත්නම් ඔබේ තත්ත්වය පිළිබද ඔහුට පහදා දෙන්න ඔබට පුළුවන්.

දිනෙන් දින කුස තුළ වූ කලලයේ වර්ධනයත් සමග ඔබේ ගර්භාෂය මේ වන විට තරමක් විශාල ගස්ලබු ගෙඩියක් තරම් ඇති. තවත් ඉදිරියට එනම් දරුවා ලැබෙන්න දින ළංවත්ම පැසිපන්දුවක ප‍්‍රමාණය දක්වා ඔබේ ගර්භාෂය වර්ධනය වෙනවා. එමගින් මුත‍්‍රාශය වෙත ඇති වන තෙරපුම වැඩි නිසා නිතර නිතර මුත‍්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය ඔබට දැනෙනවා. මෙය ගර්භණී සමයේ සාමාන්‍ය තත්ත්වයක්.

ගැබිනි මව්වරුන් මුහුණ දෙන මෙම අවධියේ තවත් සාමාන්‍ය තත්ත්වයන් ලෙස නොසුන්සුන් බව සහ හිසරදය දැක්විය හැකියි. ඔබ ගත කරන මේ පළමු කාර්තුවේදී හිසරදය ඇති වීමට හේතුව වන්නේ සිරුරේ හෝමෝන වෙනස්කම් මත ඇති වන තත්ත්වයකි. මානසික ආතතිය, විඩාව, කුසගින්න, විජලනය යන බොහොමයක් දේ මෙම ගර්භණී සමයේ හිසරදය ඇති කිරීමට හේතුවෙයි. ඔබට මේ තත්ත්වය සදහා විශාල වශයෙන් ඖෂධ ලබාගැනීම එතරම්ම සුදුසු නොමැති නිසා යම් යම් උපක‍්‍රම යොදා ගනිමින් මගහැරීම වඩාත් උචිතය. ඔබ සිටින ස්ථානයෙන් මදක් ඈත්වන්න. නිදහස් තැනක සුළු වේලාවක් ගත කරන්න.

සති නමය වන විට ඔබේ බර රාත්තල් දෙක තුනකින් වැඩි වී තිබේ. ගැබිනි සමයේ පළමු කාර්තුව තුළ ඔබේ බර රාත්තල් 5, 6කින් වැඩි විය යුතුය. නමුත් කාන්තාවගෙන් කාන්තාවට තත්ත්වය වෙනස් වේ. ඔන්න දැන් අම්මාගේ සිරුර පිරුණු ස්වභාවයකින් දිස්වේවි. දිනෙන් දින වර්ධනය වන කලලයට අවශ්‍ය ඉඩ සැපයීම සදහා මවගේ ගර්භාෂය ප‍්‍රසාරණය වන අතරම ඒ හේතුවෙන් කුස මතුපිට සම ඇදීමකට ලක් වේ. එවිට සම මත කැසීමක් ඇතිවිය හැකිය.

ගැබිනි මව්වරුන් මේ කාලය වන විට මුහුණ දෙන තවත් අපහසුතානයක් ලෙස ගැස්ට‍්‍රයිටීස් තත්ත්වය දැක්විය හැකිය. එයද සාමාන්‍ය තත්ත්වයකි. මේ සදහා ඔබ විටින් විට සෙමින් සෙමින් ආහාර කුඩා ප‍්‍රමාණයන්ගෙන් ලබාගත යුතුය. එසේම ගැස්ට‍්‍රයිටීස් තත්ත්වය ඇති වීමට බලපෑ හැකි කාබනේට් අඩංගු බීම වර්ග, ඇතැම් කිරි නිෂ්පාදන මෙන්ම කාබෝහයිඞ්රෙට්ස් අධික ආහාර වර්ගවලින් වැලකී සිටීම නිසා ඔබට යම් පහසුවක් ඇති විය හැකිය. එසේම බෝතල් මගින් හෝ බට ආධාරයෙන් යම් යම් දේ පානය කිරීමෙන් වැළකීමද මෙහිදී වැදගත් වේ. මන්ද එවිට උදරයට ඇතුළු වන වාත ප‍්‍රමාණය වැඩි වන නිසාය.

අම්මෙක් වෙන්න යන ඔබට “ගැබිනි සමයේ ඇති වන මුත්‍රා ආසාධන”

ගැබිනි සමයේ ඔබට අනෙක් අයට වඩා පහසුවෙන් විෂ බීජ මාර්ගයෙන් හටගන්නා රෝගාබාධ ඇති වීමේ ප‍්‍රවණතාවය වැඩිය. ඒ අතරින් ගැබිනි මව්වරුන් අතර බහුලව දැකිය හැකි තත්ත්වයක් වන්නේ මුත‍්‍ර ආසාදනයයි. මෙයට මූලිකව බලපාන හේතු සාධකය වන්නේ මේ කාලය තුළ සිරුරේ ඇතිවන හෝමෝන වෙනස්කම්ය. ඊට අමතරව නිසි පමණ ජලය පානය නොකිරීම ද මේ තත්ත්වයට බලපායි. කෑම බීම පිළිබදව ඇති වන අරුචිය මත ඇතැම් මව්වරුන් ජලය පානය කිරීමෙන්ද ඇත් විය හැකිය. නමුත් වඩා සුදුසු වන්නේ උණුකර නිවාගත් ජලය පානය කිරීමයි. වෙනත් පාන වර්ගවලට වඩා සුදුසු වන්නේ එයයි.

ගැබිනි සමයේ ඔබට ඇති වන මුත‍්‍රා ආසාදන තත්ත්වය නිසා විටින් විට යටි බඩ කොරවීම, කොන්ද දෙපස ඇති වන වේදනාව, මුත‍්‍රා පිටකිරීමේදී ඇතිවන දැවිල්ල හා වේදනාව වැනි රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි. එසේම ගර්භණී සමයේ වැඩිපුර මත‍්‍රා පිටිකිරීමේ අවශ්‍යතාවය සාමාන්‍යයෙන් දැනෙන අතරම මුත‍්‍රා ආසාදනයක් පවතින විට ඊටත් වැඩි වාර ගණනක් මුත‍්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය ඔබට දැනේ නම් ඒ පිළිබදව සැලකිලිමත්වන්න.

යටි බඩ හා කොන්ද දෙපස අධික වේදනාව, මුත‍්‍රා පිටකිරීමේදී ඇති වන වේදනවා හා දැවිල්ල,  උණගතිය සමග ඇතිවන සීතල වෙව්ලීම යන ලක්‍ෂණ වකුගඩුවලට විෂබීජ යාමේ ලක්‍ෂණ විය හැකි බැවින් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

මුත‍්‍රා පරීක්‍ෂණය සදහා මුත‍්‍රා සාම්පලයක් ලබාගැනීමේදී ඉතාම වැදගත් වන්නේ මුත‍්‍ර සාම්පලය එකතු කරගන්නා ක‍්‍රමයයි. එසේ නිවැරදි ලෙස මුත‍්‍රා එකතු කිරීමක් සිදු නොවුණ හොත් නිවැරදි වාර්තාවක් නොලැබී යාමෙන් රෝගී තත්ත්වය හරිහැටි හදුනා ගෙන නිසි ප‍්‍රතිකාරය ලබාගැනීමට අපහසු වේ.

සැමවිටම ඖෂධ ආරම්භයට පෙර මුත‍්‍ර පරීක්‍ෂණය සදහා මුත‍්‍රා ලබා දීම ඉතා වැදගත්ය.

පරීක්‍ෂණය සදහා මුත‍්‍රා සාම්පලය ලබාදීමේදි : 

  1. මුත‍්‍රා කරන ප‍්‍රදේශය හොදින් සෝදා වියලාගන්න

2.  මුලින් පිටවන මුත‍්‍රා ඉවත්වන්නට ඉඩ හැර මුත‍්‍රා එකතු කරන බදුනට එක්කරගන්න

සැ. යු. බදුන විවෘත කළ යුත්තේ ඒ අවස්ථාවේදීමය. බදුනේ මුව මෙන්ම පියනද කිසිදු ස්ථානයක නොගෑවෙන පරිදි මුත‍්‍රා සාම්පලය එකතු කරගන්න. එසේ එකතු කරගත් මුත‍්‍රා සාම්පලය පැයක් ඇතුළත රසායනාගාරය වෙත ලබාදීම අනිවාර්යයි.

එසේම මුත‍්‍ර පරීක්‍ෂණයෙන් පසු වෛද්‍යවරයා එම ආසාදන තත්ත්වය හේතුවෙන් නියම කරනු ලබන ප‍්‍රතිජීවක ඖෂධ වර්ගය නියමිත දින ගණන නියමිත කාල වේලාව අනුව ලබාගත යුත්තේ විෂබීජ සම්පූර්ණයෙන් විනාෂ නොවීම නිසා රෝගී තත්ත්වය නැවත නැවත ඇති විය හැකි බැවිනි.

ගැබිනි මවට විෂ බීජ මගින් ඇති විය හැකි මෙම මුත‍්‍ර ආසාදන වැළකීමට නම්

  • පිරිසිදු ජලය මෙන්ම දියර වර්ග වැඩිපුර පාවිච්චි කරන්න
  • අවශ්‍යතාවය දැණුනු විගස මුත‍්‍රා පිටකිරීමට පුරුදුවන්න
  • මලබද්ධ තත්ත්වය වළක්වා ගැනීමට වගබලාගන්න
  • සැමවිටම මුත‍්‍රා කිරීමෙන් අනතුරුව ඒ පෙදෙස හො`දින් පිරිසිදුකර වියලිව තබාගන්න

WhatsApp භාවිතා කරනවද? අපිත් එක්ක chat එකට එකතු වෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ අටවන සතිය

week-8

තාත්තා අද නිවාඩුයිලු. මොකද දන්නවද ? අම්මා එක්ක ක්ලිනික් යන්න…

තාත්තා දැන් ඉන්නේ හරිම ආඩම්බරෙන්. හරියට රටක් රාජ්‍යයක් අයිති වුණා වගේ. ඇත්තටම හිතුවොත් ලෝකයක් අතට ලැබුණා වගේ. නෑ ඊටත් වඩා වටින දෙයක හිමිකාරයෙක් එයා. තමන්ගේ කුසේ දරුපැටියා දරාගෙන ඉන්න අම්මා ගැන තාත්තාගෙ  හිතේ තියෙන්නේ කියන්න බැරි තරම් ආදරයක්, ගෞරවයක්. ඒ වගේම භක්තියක්. කවමකවදාකවත් මුළුතැන් ගෙට නොගිය තාත්තා උදේ පාන්දරට නැගිටලා අම්මාගේ කිරි වීදුරු හදලා ඇද ළගටම ගේන්නේ ඒ ආදරය හින්දානෙ. අම්මාට දැනෙන අපහසුතා ඈතට පාවෙලා යන්න චූටියා ගැන දකින හීන විතරක් නෙවෙයි තාත්තාගේ මේ ආදර සැළකිල්ලත් බොහොම ලොකු රුකුලක්.

ගැබිනි සමයේ අටවන සතිය

දිනෙන් දින සිදුවන සීග‍්‍ර වර්ධනයත් සමග කලලයේ හිසේ සිට තට්ටම දක්වා දිග සෙන්ටිමීටර 1.6ක් විතර. බර ග‍්‍රෑම් 1 විතර. අටවන සතිය වන විට කලලයට අවශ්‍ය පෝෂණය සහ ඔක්සිජන් සපයන මාර්ගය වන පෙකෙණි වැල දැකගත හැකි වන අතරම පිටුපස දිස් වූ වලිගය වැනි කොටස අතුරුදන්ව ගොස් ඇත. මානව හැඩරුව මේ වන විට කලලයට ලැබී තිබේ. අලුතින් සංවර්ධනය වන කාටිලේජ සහ අස්ථි නිසා කලලයේ අත් පා කෙමෙන් කෙමෙන් දිගු වෙන ආකාරය දැකගත හැකිය. එසේම අත්පාවල ඇඟිලි ද දිගින් වැඩිවෙමින් පවතී. තවද උරහිස්, වැලමිටි දණහිස් වර්ධනය වෙමින් පවතින කලලයේ සියුම් චලන දැකගත හැකි වුවද මවට ඒ පිළිබඳ දැනීමක් නොමැත.

මේ සතිය වන විට හදවත කුටීරවලට බෙදීම ආරම්භ වේ. හද ගැස්ම මිනිත්තුවට වාර 150 ක් පමණ වේ. එපමණක් නොවෙයි, මොළයේ ක‍්‍රියාකාරීත්වය ද ආරම්භ වී ඇත. මොළයේ ස්නායු ෙසෙල ශාඛාවලට බෙදෙමින් එකිනෙක සම්බන්ධ වී ප‍්‍රාථමික ස්නායු ෙසෙල සැකසේ. සීග‍්‍රයෙන් වර්ධනය වන කලලයේ ස්වාස නාල ශාඛා උගුරේ සිට සංවර්ධනය වන පෙනහලු දක්වා විහිදී යයි. තවද ඇසි පිය සැකසෙමින් පවතින අතරම එයින් ඇස ආවරණය වී පවතී. නාසයට පහළින් උඩු තොල සැකසීම, දිව මත රස නහර සැකසීම, විදුරු මසට යටින් දත් සෑදීම මේ සතියෙන් ඇරඹේ.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

ගැබිනි සමයේ අට වන සතිය ගතකරන අම්මාගේ ගර්භාෂය ප‍්‍රමාණයෙන් දෙගුණයක් වෙලා. මේ ඔබේ පළමු දරුවා නම් පිටතින් බලන අයෙක්ට ඔබ ගැබිනියක් බව හදුනාගන්න තරම් එය ප‍්‍රමාණවත් නෑ. නමුත් පළමු ගැබ් ගැනීම නිවුන් දරුවන් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නම් උදරය පිටතට නෙරා ඒම වැඩිය. අපහසුතා බොහොමයක් එක්ක දවස් ගෙවුණත් අම්මාගේ හිත දවසින් දවස බලාපොරොත්තුවලින් පිරෙනවා. උදෑසන වමනය, වැඩිපුර මුත‍්‍රා පිටවීම, සුව නින්දක් නොලැබීම ඒ අපහසුතා අතරින් කිහිපයක්.  ඇතැම් ගැබිනි මව්වරුන්ට සති 14ක් සම්පූර්ණ වන තෙක් මේ තත්ත්වය පැවතිය හැකියි. නමුත් ඇතම් කොටසකට තවත් ඉදිරියට මේ අපහසුතා පැවතිය හැකි අතරම මෙවැනි කිසිදු අපහසුතාවයකින් තොරව සිය ගර්භණී සමය ගතකරන මව්වරුන් සුළුතරයක් ද දැකිය හැකිය. කෙසේ වුවද සෑම මවකටම වැඩි වාර ගණනක් මුත‍්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය නම් දරුවා බිහිවන තෙක් පැවතිය හැකිය.

මේ ඔබේ පළමු ගැබ්ගැනීම නම් ගර්භාෂය ටිකෙන් ටික ප‍්‍රසාරණය වන විට ඉඟ දෙපසින් සියුම් වේදනාවක් ඔබට දැනේවි. ඒ වගේම ඉඟ පෙදෙස පළල් වූ අකාරය ඔබට වැටහේවි. වෙනදා ඇදපු ඇදුම්වල එන්න එන්නම හිර ගතියක් දැනේවි. මේ වෙද්දි අම්මාගේ බර රාත්තල් දෙකක් වගේ ප‍්‍රමාණයකින් වැඩි වී තිබිය හැකියි.

ගර්භණී සමයේ සති අට වන විට මවගේ පියයුරුවල යම් වෙනසක් සිදුව ඇති බව වටහා ගත හැකිය. එනම් අඟල් දෙකක පමණ ප‍්‍රමාණයකින් පියයුරු ඉදිරියට නෙරා ඒම සිදු වේ. එසේම තන පුඩුවල සියුම් වේදනාවක් නැත්නම් පුපුරු ගසන ස්වරූපයක් ඇති විය හැකිය. තන පුඩුව සහ ඒ වටා පිහිටා ඇති ඇරියෝලාව මේ කාලය වන විට කලු පැහැයෙන් යුක්තය. මේ සියල්ල සාමාන්‍ය තත්ත්වයන් වන අතරම දරුවා බිහිකිරීමෙන් පසු අවශ්‍ය පෝෂණය සැපයීම සදහා පියයුරු සූදානම් වීම මේ වන විට ආරම්භ වී ඇති බව ඔබට වැටහෙනු ඇති.

ඇතැම් විට මව්වරුන්ට උදරයේ සුළු වේදනවාක් ඇති විය හැකියි. පළමු දරු පිළිසිද ගැනීමේදී විශේෂයෙන් මේ තත්ත්වය ඇති විය හැකි අතරම එය බොහොම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් අධික වේදනාව සමගින් රුධිර වහනයක් පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

කොන්දේ වේදනාව, මව්වරුන් බොහෝ දෙනෙක් මැසිවිලි නගන අනෙක් කාරණයයි. ගර්භාෂය ප‍්‍රමාණයෙන් විශාල වීමත් සමගම කොදු ඇට පෙළ පහළ කොටසට ඇති වෙන තෙරපුම නිසා ඇති වන කොණ්ඬේ වේදනාව ද ගර්භණී සමයේ ඇති වන සාමාන්‍ය තත්ත්වයකි.

අම්මෙක් වෙන්න යන ඔබ ගැබිනි සමයේ නිසි බර පවත්වා ගන්න

ගැබිනි සමයේ මවගේ බර වැඩිවීම අනිවාර්යෙන්ම සිදු විය යුතු වුවත් එය සිදුවිය යුත්තේ ඉතා ක‍්‍රමානුකූල ආකාරයටයි. ගැබිනි මවගේ බර අඩුවීම මෙන්ම වැඩි වීම ද නුසුදුසුය. පළමු සති හතර තුළ ඇතැම් මව්වරුන්ට ඇති වන ආහාර අරුචිය, වමනය වැනි තත්ත්වයන් නිසා බර වැඩි වීමකටත් වඩා බර අඩුවීමක් දැකිය හැකිය. කෙසේ වුවද දරුවාගේ උපත් බර නිසි තත්ත්වයේ පැවතීමට නම් ගැබිනි සමය පුරා මව නිසි බර මට්ටක පැවතීම ඉතා වැදගත්ය.

සමහර ගැබිනි කාන්තාවන්ගේ බර, නියමිත බර ප‍්‍රමාණයට වැඩි නොවීමත් 47% ක පමණ කාන්තාවන් නියමිත බරට වඩා වැඩි ප‍්‍රමාණයකින් බර වැඩිවීමත් සාමාන්‍යයෙන් දක්නට ලැබෙන නිසා මේ පිළිබද දැනුවත් වීම ඉතා වැදගත් වේ. ගැබිනි සමය තුළ ආහාර පාලනය නුසුදුසු වන සේම දෙදෙනකු වෙනුවෙන් යැයි සිතා ආහාර ගනිමින් අනවශ්‍ය ලෙස බර වර්ධනය කරගැනීමත් නොකළ යුතු වන්නේ මේ තත්ත්වයන් දෙකෙන්ම ඔබට හා දරුවාට අහිතරක ප‍්‍රතිඵල ඇතිවිය හැකි බැවිනි.

අද වන විට ස්ථූලතාවය නිතර අසන්නට දකින්නට ලැබෙන තත්ත්වයක්. එසේ වුවද ගැබිනි මවකගේ බර BMI දර්ශකයට අනුව 25 අඩු නම් වඩාත් සුදුසුය. BMI දර්ශකයේ අගය 30 වැඩි මව්වරුන්ට නොයෙකුත් සංකූලතාවයන්ට මුහුණ දීමට සිදු විය හැකිය. එනම් ගබ්සා ඇති වීම, අධි රුධිර පීඩනය, නොමේරූ දරු උපත්, සිසේරියන් සැත්කම් සදහා යොමුවීමේ වැඩි ප‍්‍රවණතාවයක් ඇති වීම යන සංකූලතාවන්ය. අධි බර තත්ත්වයේ සිටින මව්වරුන් දිනකට විනාඩි 30ක්වත් ක‍්‍රියාශීලීව ගත කිරීම එනම් ඇවිදීම වඩාත් සුදුසුය. හැකි සැමවිටම සමබල ආහාර වේලක් ලබාගැනීමට උනන්දු විය යුතුය. ඒ මගින් යම් මට්ටමකට බර අඩු කරගැනීමට උත්සාහ කිරීම වඩාත් උචිතය. අධිබර තත්ත්වයේ මව්වරුන්ගේ කලලයේ වර්ධනය මැන බැලීම සදහා ස්කෑන් පරීක්‍ෂණ වෙත යොමු කෙරේ. BMI දර්ශක අගය 30 වැඩි මව්වරුන් ෆෝලික් ඇසිඞ් විටමිනය මිලිග‍්‍රෑම් 5ක් ලබාගත යුතුය. එමෙන්ම ඇස්ප‍්‍රින් ඖෂධය ලබාගැනීම සම්බන්ධව වෛද්‍ය උපදෙස් ලබාගැනීමද අත්‍යවශ්‍ය වේ. අධිබර මව්වරුන් දරු ප‍්‍රසූතියේදී සිසේරියන් සැත්කම සදහා යොමුවීමට වඩා සුදුසු වන්නේ සාමාන්‍ය දරු ප‍්‍රසූතියට යොමුවීමයි. මන්ද සිසේරියන් සැත්කමට යොමුවීමෙන් ඇති විය හැකි සංකූලතාවයන් වැඩි විය හැකි බැවිනි.

ගැබිනි බවත් සමග ඇතිවන ඔක්කාරය නිසා කෑම රුචිය සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් වීම නිසා වැඩිපුර ආහාර ගැනීම හෝ ආහාර නොගැනීම පිළිබද ඔබ කණස්සල්ලෙන් පසුවනවා විය හැකියි. එසේ නම් ඔබේ සිත සැහැල්ලු  කරගන්න. කණස්සල්ලෙන් පසුවීම සියල්ලටම වඩා ඔබේ ගර්භණීභාවයට අහිතරක වන නිසා එයින් අත්මිදීමට තීරණය කරන්න. හොදින් හුස්මක් ගන්න. මදක් සිතන්න. ඔබ ප‍්‍රිය කරන, ඔබට කෑමට ගත හැකි කෑම වර්ග අතරින් පෝෂණීයම දේ තෝරාගන්න. එසේම නිර්දේශිත කෑම ප‍්‍රමාණය පිළිබද වද වෙමින් එම ප‍්‍රමාණයම ආහාරයට ගැනීමට ඔබට නොහැකි විය හැකියි. එම නිසා ඔබ ලබාගන්නා සුළු ආහාරය වුවද වඩා පෝෂණ ගුණයෙන් යුක්ත ලෙස ලබාගැනීමට උනන්දුවන්න. ෆෝලික් ඇසිඞ්, යකඩ, කැල්සියම්, ප්‍රෝටීන් හා ඔමේගා 3 මේද අම්ල අඩංගු ආහාර වර්ග නිසි පරිදි ලබාගන්න. ඔබ වඩා පහසුවෙන් නැඹුරු වන්නේ ඔබ ප‍්‍රිය කරන කෑම වර්ගය ලබාගැනීමට බව සැකයක් නැත. එහෙත් ඒ අතරට එළවළු, පළතුරු, කෙදි සහිත ආහාර වැනිදේ ද එක්කරගන්න.

ඔබේ ප‍්‍රධාන වේල් තුන ලබාගැනීම මග නොහැරිය යුතු අතර ඔබ අමතර ආහාර වේල් සදහා සැමවිටම කෙටි කෑම වර්ග ලබාගන්න. එය ද පෝෂ්‍යදායී කෙටි ආහාර වර්ගයක් වීම ඉතා වැදගත්ය. ගැබිනි සමය තුළදී ඔබට කුසගිනි දැනෙන්නේ කුමන මොහොතේදැයි පැවසිය නොහැකි නිසා සැමවීටම කෑමට ගත හැකි යමක් ඔබ ළග තබාගැනීම වැදගත්ය.

එදිනෙදා ලබාගන්නා කැලරි ප‍්‍රමාණය ගණන් බැලීම අවශ්‍ය නොවේ. ඔබ සාමාන්‍ය BMI අගය නිසි ලෙස පවත්වා ගැනීමට මෙම අවධියේදී සැළකිලිමත් විය යුතුය. ඔබ එළවළු ආහාරයට ගැනීමට ප‍්‍රිය නොකරන අයෙක් නම් අඩුම තරමේ එළවළු සුප් ලෙස හෝ පිළියෙල කර ලබාගැනීමට උනන්දු වන්න. අනිවාර්යෙන්ම ආහාරයට ගත යුතු එහෙත් ඔබ ප‍්‍රිය නොකරන කෑම වර්ග වෙනස් ආකාරවලින් පිළියෙල කරගනිමින් හෝ ලබාගැනීමට උනන්දුවන්න.

ගැබිනි සමයේදී ආහාර පිළිබදව විවිධ මෙන්ම ආසාමාන්‍ය ආශාවන්ද ඇති වීම ස්වභාවික වුවත් ඔබේ ආශාව ඇතිවී ඇත්තේ පෝෂණයක් රහිත නුසුදුසු කෑම වර්ගයකට නම් අඩු තරමේ ප‍්‍රධාන ආහාර වේල්වලට හෝ බඩගිනි නොවන කාලවලදී ඒවා ලබාගැනීමට ඉවසිලිවන්ත වන්න. දොළදුක් සංසිදවීම නිරන්තරයෙන් කළ යුතු අත්‍යවශ්‍ය කාරණයක් නොවන බව හැදිනගන්න. සැමවිටම වෛද්‍ය උපදෙස් මත ලැබෙන විටමින් වර්ග ලබාගනිමින් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම මවගේත් දරුවාගේත් නිරෝගී දිවියට මනා පිටුබලයකි.

WhatsApp භාවිතා කරනවද? අපිත් එක්ක chat එකට එකතු වෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ සත්වන සතිය

week-7

චූටියා ගැන හිතලා හිතලම අම්මාගේ හිත පිරිලා

චූටි පැටියට දැන් සති හතක්. අපහසුතා කොයිතරම් දැණුනත් එයා ගැන හිතේ ඇදුණු රූපෙත් එක්ක කාලෙ ගත කරන එක හැම අම්මෙක්ටම ලොකු සතුටක්. පැටියගේ තාත්තා කාමරේ බිත්තියේ එල්ලපු පුංචි බබාගේ ලස්සන රූපය අම්මට හැම නිතරම මැවිලා පේනවා නේද? සන්සුන්ව කාරුණිකව ආගම දහමට අනුව ජීවත් වෙන අම්මට ඒ වගේ ලස්සන නිරෝගී දරුවෙක් ලෝකෙට දායාද කරන්න පුළුවන්. අම්මට මතකයි නේද? මේ වන විටත් ඔබ රජයේ සායනයේ හෝ වෛද්‍යවරයෙකු යටතේ ලියාපදිංචි වී නැතිනම් වහාම ඒ සඳහා යොමුවන්න. කළලයට සති අට සම්පූර්ණ වීම ප‍්‍රථම ඒ කාර්යය අවසන් කිරීම ඔබට මෙන්ම බිහිවන දරුවාට ද වැදගත් වේ.

ගැබිනි සමයේ සත්වන සතිය

සත්වන සතිය තුළ ප‍්‍රමාණයෙන් දෙගුණයක් වන කලලයේ තට්ටමේ සිට හිස දක්වා දිග මිලිමීටර් 11ත් 13ත් අතර ප‍්‍රමාණයකි. මේ සතිය තුළ කලලයේ වකුගඩු, දන්ත අංකුර මෙන්ම මොළයේ ෙසෙල හොඳින් වර්ධනය වෙමින් පවතී. මුඛය සැකසෙමින් පවති. ඒ වගේම ඇස් සහ නාසය සැළකිය යුතු ප‍්‍රමාණයකින් වර්ධනය වීම සිදු වේ. උරහිස්, දණ හිස්, අත් පා කෙමෙන් කෙමෙන් වර්ධනය වීම සිදු වේ. අත් පාවල කුඩා ඇඟිලිවල ස්වරූපය මේ වන විට මතු වෙමින් පවතී. ඒ වගේම බහිස‍්‍රාවී පද්ධතිය මෙන්ම අක්මාව සැකසීමට පටන්ගෙන ඇති අතරම ඇට මිදුලු සංවර්ධනය වීම හත් වන සතිය තුළ සම්පූර්ණ වේ. එසේම ඉතා ඉක්මණින්ම රතු රුධිර ෙසෙල නිපදවීම ආරම්භ වීමට නියමිතය. එසේම කලලයේ දක්කට ලැබෙන කුඩා වලිගය බඳු  කොටස කෙමෙන් අඩු වී යන ආකාරය පෙන්නුම් කරයි. මේ වෙද්දී ඉතා සීග‍්‍ර ලෙස වර්ධනය වන කලලය දංගෙඩියකට වඩා සුළු ප‍්‍රමාණයක් විශාලය.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතයත් ටිකෙන් ටික වෙනස් යෙවන්න පටන්ගන්නවා

ඇත්ත නේන්නම්. දැන් අම්මා ක්ලිනික් යන්නත්  ඕනෙ. අලූත් අලූත් දේවල් ජීවිතයට එකතු වෙන්න පටන් අරගෙන. මේ වන විටත් අම්මා වෛද්‍යවරයා ළඟ හෝ පවුල් සෞඛ්‍ය නිළධාරිනිය යටතේ ලියාපදිංචි වෙලා ඇති. තවමත් ඔබ ඒ සඳහා යොමු වූයේ නැති නම් කුමන අපහසුතා තිබුණ ද මේ සතිය ඇතුළත සායනය වෙත යන්න.

සායනයට සහභාගී වන අම්මාට නුපුරුදු ගැටලූ රාශියක් වෛද්‍ය නිළධාරීන් යොමුකරාවි. ඔබ පිළිබඳව සත්‍ය මෙන්ම නිවැරදි තොරතුරු ලබාදීම ඉතා වැදගත් බව සිහිතබාගන්න.

උදෑසන වමනය, ශාරීරික අපහසුතාවය, විඩාපත් බව, වැඩි වශයෙන් මුත‍්‍රා පිටිවීම වැනි නොයෙකුත් අපහසුතා තවමත් ඔබට දැනෙනවා. එහෙම නේද? පෙර ලිපියේ සඳහන් කළ යම් යම් උපක‍්‍රම මගින් අපහසුතා යම්තාක් දුරට සමනය කරගන්න ඔබට හැකිවේවි.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතුතෛරොයිඞ් ග්‍රන්ථියේ ආබාධ ” 

ඔබේ ගෙලේ මැද පහතින් පිහිටා ඇති සමනල හැඩැති කුඩා ග‍්‍රන්ථිය තයිරොයිඞ් ග‍්‍රන්ථීයයි. එය තෛරොක්සීන් හෝමෝනය නිෂ්පාදනයට ඉවහල් වේ. එහි ක‍්‍රියාකාරීත්වය මෙන්ම ව්‍යුහයේද ඇතිවන අසමතුලිතතාවයන් නිසා තයිරොයික්සින් නිපදවීම අධික වීම හෝ අවම වීම මගින් එක් එක් රෝගබාධ තත්ත්වයන් ඇති විය හැකිය.

ගැබිනි සමයේ පළමු ත්‍රෛමාසිකය ඇතුළත වැඩෙන කලලයේ මොළයේ ස්නායු පද්ධතියේ සංවර්ධනය සඳහා අවශ්‍ය තෛරොක්සීන් හෝමෝනය ලබාගන්නේ මව හරහාය. කලලයේ තෛරොක්සීන් නිපදවීම සිදුවන්නේ සති දොලහෙන් පසුවෙයි. ඒ වගේම කලලයට අවශ්‍ය අයඞීන් ලබාගන්නේද මව හරහාය. ඔබ තෛරොයිඞ් ග‍්‍රන්ථියේ ආබාධ ඇති අයෙක් නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ එබැවිනි.

ඇතැම් මව්වරුන්ට අධික ලෙසද ඇතැමුන්ට අවම ලෙසද තෛරොක්සීන් නිපදවීම සිදුවේ. ඇතැමුන්ගේ යම් යම් සංකූලතා මත එය ඉවත් කොට තිබිය හැකිය. ඔබ මේ අතරින් කුමන තත්ත්වයේ සිටියද වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය වේ.

තෛරොයිඞ් ග‍්‍රන්ථියේ තෛරොක්සීන් හෝමෝනය නිපදවීම අඩු මව්වරුන් ගැබ් ගැනීමෙන් පසුවද නොනවත්වා ඖෂධ ලබාගැනීම වැදගත් වේ. වෛද්‍ය උපදෙස් මත ලබාදෙන ඖෂධ මාත‍්‍රාව 25%ක ප‍්‍රමාණයකින් වැඩි කරනු ලබයි. මන්ද කලලයට සති 12 සම්පූර්ණ වන තෙක් මේ අවශ්‍ය තෛරොක්සීන් හෝමෝනය ලබාගන්නේ මව හරහාය.

එසේම තෛරොයිඞ් ග‍්‍රන්ථියේ තෛරොක්සීන් හෝමෝනය නිපදවීම වැඩි මව්වරුන්ද ඖෂධ ලබාගැනීම නොනවත්වා සිදු කළ යුතුය. ඒ, ඖෂධ ලබාගැනීමෙන් ලැබෙන වාසි සහගත තත්ත්වය හානිදායක තත්ත්වයට වඩා බොහෝ වැඩි බැවිනි. එසේම අධික වමනය, විජලන තත්ත්වය මෙන්ම ආසාදනවලට ලක්වීම මෙවැනි මව්වරුන්ට හානිදායක තත්ත්වයන් ඇතිවීමට හේතු විය හැකි බැවින් සැමවිටම එවැනි තත්ත්වයන්ගෙන් වැළකී සිටීමට උත්සාහ කරන්න. එසේම ඇස්ප‍්‍රින් ඖෂධය ලබාගැනීම සම්බන්ධව වෛද්‍ය උපදෙස් ලබාගන්න.

තෛරොයිඞ් ග‍්‍රන්ථියේ ආබාධ ඇති මව්වරුන්ද සති 28, 32 සහ 36 යන කාලසීමාවන්වලදී ස්කෑන් පරීක්‍ෂණයන්ට යොමුකරන අතරම කලලයේ තත්ත්වය එමගින් නිරීක්‍ෂණය කරනු ලැබේ.

WhatsApp භාවිතා කරනවද? අපිත් එක්ක chat එකට එකතු වෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ සය වන සතිය

week-6

චූටියා නිසා අම්මා දැන් හරිම පරිස්සම් 

අදට හරියටම සති හයයි. කිව්වත් වගේම කාලය ගෙවෙන්නේ හරිම හෙමිහිට. එහෙම නේද? මේ චූටියා බණ්ඩිය ඇතුළට වෙලා පාළුවෙන් ඉන්නවා කියලා හිතෙද්දි අම්මාගේ හිතට පුංචි දුකකුත් දැනෙනවා ඇති නේද? අම්මාගේ හිතට වෙලාවකට දුකයි. ඒ වගේම වෙලාවකට හරිම සතුටුයි. ඒ ගැන ඒ තරම්ම හිතන්න එපා, මේ කාලේ සැරින් සැරේ හිත වෙනස් වෙන්න පුළුවන්. ඒත් අම්මා දන්නවනෙ, අම්මා මේ සැරසෙන්නේ ලෝකේ උතුම්ම පදවියට උරුමකම් කියන්න බව. ඒ නිසා ගෙවෙන හැම මොහොතකම සතුටින් ඉන්න උත්සාහ කරන්න.

ගැබිනි සමයේ සය වන සතිය

සය වන සතිය වන විට කලලය සීග‍්‍ර ලෙස වර්ධනය වීමට පටන්ගෙන තිබේ. මුං ඇටයක ප‍්‍රමාණයෙන් යුතු සති හයක කලලය වක් හැඩයකින් යුතය. එනම් ඉංග‍්‍රීසි හෝඩියේ සී අක්‍ෂරයට සමාන හැඩයකි. මේ වන විට මුහුණේ කම්මුල්, හකු මෙන්ම පෙනහලු, වකුගඩු සහ අක්මාව වැනි ඉන්ද්‍රියයන් ද සැකසීම ආරම්භ වී ඇත. ඇස් සහ නාස් කුහර ඇති වෙන ස්ථානවල කලු  පැහැති ලප ලෙස සටහන් වී ඇති අතරම අත් පා යාන්තමට පිටතට නෙරා ඇති ආකාරය දැකගත හැකිය. අස්ථි පද්ධතිය මෙන්ම මොළයේ මාංශ පේශීන් ද මනාව සැකසෙමින් පවතී. කලලයේ හෘද ස්පන්දනය මවගේ හෘද ස්පන්දනය මෙන් දෙගුණයකි. එය සාමාන්‍යයෙන් මිනිත්තුවකට 90 – 160ක් පමණ වාර ගණනකි. වෛද්‍ය උපදෙස් මත  සාමාන්‍ය ස්කෑන් පරීක්‍ෂණයකට යොමුවුවහොත් දරුවාගේ මුහුණ සහ වැදෑමහ මවට දැකගත හැකියි. කලලයේ නිසි සංවර්ධනය උදෙසා අවශ්‍ය පෝෂණය සහ ඔක්සිජන් ලබාදීමට වැදෑමහ සහ පෙකෙණිය සැකසීම මේ වන විට ආරම්භ වී හමාරය.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතයත් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන්ගන්නවා

දැන් සති හයයි. මේ වන විට උදෑසන වමනය, ශාරීරික අපහසුතාවය, විඩාපත් බව, වැඩි වශයෙන් මුත‍්‍රා පිටිවීම, සුව පහසු නින්දක් නොලැබීම වැනි අපහසුතා අම්මට වැඩිපුර දැනෙන්න පටන් අරන්. ඒත් අම්මා මතක තියාගන්න, රාත‍්‍රී නින්ද ඔබට අහිමි වීමට මේ අපහසුතා වගේම දිවා කාලයේ ඔබ ලබාගන්නා නින්දත් බාධාවක් විය හැකි බව.

පුංචි පුංචි අපහසුතා දැණුනත් එදිනෙදා වැඩ කටයුතු එක්ක දවස ගත කරන්න අමතක කරන්නෙපා. සමහර විට ඔබ රැකියාවට යන කාන්තාවක් විය හැකියි. මනසට ආතතියක් නොඑන ආකාරයට ඔබේ වැඩ කටයුතු සැලසුම් කරගන්න. අවශ්‍ය අවස්ථාවලදී කාර්යාලයේ අනෙක් අයගෙන් උදව් ලබාගන්න.

සමහර විට සුළු වශයෙන් රුධිරය පිටවීමක් සිදු විය හැකියි. දරු පිළිසිඳ  ගැනීමකින් පසුව රුධිර වහනයක් සිදුවිය නොහැකි වුවත් ඇතැම්විට එය සාමාන්‍ය තත්ත්වයක් ද විය හැකිය. ඒ නිසාම අඩු හෝ වැඩි මොන යම් ආකාරයේ රුධිර වහනයක් ඇති වුවද ඒ තත්ත්වයට හේතුව සොයා අවශ්‍ය පියවර ගැනීම ඉතා වැදගත් බැවින්  වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය බව මතක තබාගන්න.

අම්මෙක් වෙන්න යද්දි ඇති වෙන සාමාන් අපහසුතා 

අම්මා දැන් හොඳින්ම දන්නවා උදෑසන වමනය, කෑම අරුචිය වගේම අපහසුතා බහුතරයක් අම්මලාට මේ කාලයේදී බොහොම සාමාන්‍ය දේවල් බව. ඒත්  ඕනෙම අම්මෙක්ට හිතෙනවා මේ දේවල් ටිකක් හරි අඩුකරගන්න තිබුණා නම් කියලා. එදිනෙදා ඔබට දැනෙන පුංචි පුංචි අපහසුතාවලට මෙන්න මේ දෙවල්වලින් සහනයක් ලබාගන්න පුළුවන් වෙයිද කියලා බලන්න.

උදේ නැගිටලා ඇදෙන් බහින්න කලින් කෙටි කෑමක් ලබාගන්න ඔබට පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න, එය පෝෂණීය ආහාරයක් වෙනවා නම් තමයි වඩා හොඳ. ඔබේ සැමියා මේ වෙනුවෙන් ඔබට උදව් කරාවි. ඒ වගේම පැය දෙකකට වරක් මේ වගේම පෝෂණීය සැහැල්ලු ආහාරයක් ලබාගන්න එක හොඳයි. මොකද ගැබිනි සමයේ කුසගින්න ගැන නොසළකා හැරියොත් දැණෙන අපහසුතා වැඩිවෙන්න පුළුවන්.

ඉස්සර කාලේ අම්මලා දැන් ඉතිං දෙන්නෙකුට ඇති වෙන්න කන්න  ඕනේ කියලා කිව්වට අනවශ්‍ය විදියට කුස පිරුණොත් ඔබට ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න සිදු වේවි. ඒ නිසා ප‍්‍රධාන ආහාර වේල වුණත් වැඩි ප‍්‍රමාණයන්ගෙන් ලබාගන්න උත්සාහ කරන්න එපා. පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයක් ඔබ ලබාගන්නේ සුළු ප‍්‍රමාණයක් වුණත් ඉන් ලැබෙන ප‍්‍රයෝජනය වඩා ඉහළ බව මතක තබාගන්න.

යම් ආහාරයක සුවඳ, පෙනුම, අසුරා ඇති ආකාරය පිළිබඳව පැහැදීමක් නැත්නම් අපුලක් ඇති වේ නම් කිසිම විටෙක එය ආහාරයට ගන්න එපා. මොකද වමනය ඇතිවෙන්න ඔබේ හිතේ ඇතිවෙන අප‍්‍රියතාවයත් යම් විටෙක හේතුවක් විය හැකියි.

හැකි හැමවිටම පෝෂණයෙන් ඉහළ වගේම නිවසේ පිළියෙල කරගත් ආහාර සඳහා මුල්තැන දෙන්න. අද කාලේ සිද්ධ නොවුණත් අතීතයේදී නම් දරුවෙක් ලැබෙන්න ආවාම අම්මා ළඟට යන පුරුද්දක් සිරිතක් තිබුණා. ඇත්තටම හිතලා බැලුවම ඔබටත් වැටහේවි ඒ මොකද කියලා. අම්මා ළඟට එහෙමත් නැත්නම් ගමට ගියාම අවශ්‍ය ස්වභාවික පෝෂණීය ආහාර ඔබට ලැබෙනවා. ඒ වගේම නිවසේ එදිනෙදා වැඩකටයුතුවලින් සිරුරට ස්වභාවිකම ව්‍යායාමත් ලැබෙනවා. ගැබිනි මවක් සැමවිටම තමාගේ කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය මෙන්ම නිරෝගීබව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුමයි.

පහත සඳහන් මෙන්න මේ කරුණුත් හොදින් මතක තියාගන්න, අධික වමනය වැනි අවස්ථාවන්හිදී වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබාගැනීමේ කිසිදු වරදක් නොමැත. නමුත් හිතුමනාපේ හෝ වෙනත් අයෙකුට ලබාදුන් ඖෂධ ලබාගැනීම කිසිසේත්ම සුදුසු නැත.

මේ තත්ත්වයන් යටතේ සිටින මව්වරුන් වෛද්‍යවරයෙකු හමුවීම අනිවාර්යයි.

  • ආහාරයට ගන්නා සියලුම දේ වමනය කරන මව්වරුන්
  • අප‍්‍රාණිකව ඇඳටම වී සිටීමට සිදුවන මව්වරුන්
  • වමනය සමග රුධිරය පිට වන මව්වරුන්
  • ඇස් කහ පැහැයට හැරී ඇති මව්වරුන්
  • මුත‍්‍රා දැවිල්ල පවතින මව්වරුන්
  • පැය අටක කාලයක් පුරා මුත‍්‍රා පිට නොකළ මව්වරුන්

WhatsApp භාවිතා කරනවද? අපිත් එක්ක chat එකට එකතු වෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ පස්වන සතිය

week-5

කෝ මගේ චූටි පැටියා, කිසිම සද්දයක් නෑනේ

කාලය ගෙවෙන්නේ හරිම හිමින්.. එහෙම නේද අම්මට හිතෙන්නේ. අම්මාගේ චූටියට අදට හරියටම සති පහයි. ඉතිං කොහොමද එයා ඉන්න බව අම්මටවත් තාත්තටවත් අඟවන්නේ. පැටියා දැක ගන්න අම්මෙක්ගේ හිතේ කොයිතරම් නම් ආසාවක් තියෙනවද? ජීවිතයට අලුත් අත්දැකීම් එකතු කරමින් චූටියා දවසින් දවස ලොකු වේවි. ඉක්මණින්ම අම්මාගේ දෝතට එන දවස ළං වේවි. කුස පිරිමදින් බොහොම ආදරණීය සිතුවිලි ගොන්නක ඉඳන් ඔබ හිතින් මවාගෙන ඉන්න දරු පැටියා තාම තල ඇටයක් තරමයි. පුදුමයි නේද? ඇත්තටම එයා තල ඇටයක් තරම් ඇති.

ගැබිනි සමයේ පස්වන සතිය

දැන් ඔබේ කළලයට සති පහයි. ඒ කියන්නේ දෙවන මාසයේ ආරම්භය. මේ කළලය ඉතා සීග‍්‍රයෙන් වැඩෙන්නට පටන් අරගෙන. මේ වන විට තල ඇටයක ප‍්‍රමාණයක්. දිග මිලිමීටර් දෙකක් විතර ඇති. කලලයේ ඇතුළත ෙසෙළ ගොනුව ක‍්‍රමයෙන් බෙදී පිළිවෙළට ඇහිරෙමින් ජීවියෙකුගේ මූලික හැඩය මේ වන විට කළලයට ලැබෙමින් පවතිනවා. පුංචි ඉස්ගෙඩියෙකුගේ හැඩය මේ වන විට කලලයට ලැබිලා තියෙනවා. ස්ථර තුනකින් කලලය සමන්විතයි. ඒ බහිෂ්චර්මය, මධ්‍ය චර්මය සහ අන්තෝචර්මය අවයව සහ පටක සඳහා හේතුවන කොටස්ය. විනිවිද පෙනෙන සම තුළින් කලලයේ සැකසෙමින් පවතින ස්නායු පද්ධතිය වගේම මොළය දැකගත හැකිය. රුධිර සංසරණ පද්ධතිය සැකසීම ආරම්භ වෙලා. හෘදය දැන් ක‍්‍රියාත්මකයි. එසේම හිසකෙස්, නියපොතු, දහඩිය ග‍්‍රන්ථි, දත්, ස්තන ග‍්‍රන්ථි සහ ස්වේද ග‍්‍රන්ථි සැකසීම මේ කාලය තුළ ආරම්භ වෙනවා. ඒ වගේම කළලයේ පෙනහලු, අන්ත‍්‍රය, මුත‍්‍ර වාහිනී පද්ධතිය මෙන්ම තෛරරොයිඞ් ග‍්‍රන්ථි, අක්මාව, අග්න්‍යාශය ක‍්‍රමක‍්‍රමයෙන් වර්ධනය වෙනවා. අලුත් වැදෑමහ සහ පෙකෙණියෙන් කලලයට අවශ්‍ය පෝෂණය හා ඔක්සිජන් නොඅඩුව ලබාදෙනවා.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තව ටිකක් වෙනස් වෙන්න පටන්ගන්නවා

මේ වන විටත් බොහොමයක් අපහසුතා ඔබට ඇති. උදෑසන වමනය, නිතර නිතර මුත‍්‍රා පිටවීම, පියයුරුවල තද ගතිය සහ පියයුරු අග වේදනාව, තෙහෙට්ටුව ඔබේ පැමිණිල අතර වේ. තවත් සති කිහිපයක් ගතවන තුරු මේ තත්ත්වය මේ ආකාරයෙන්ම පැවතිය හැකිය. ඔබේ කුස තවමත් පිටතට නෙරාවිත් නැහැ.

වමනය ඔක්කාරය සඳහා පුංචි පුංචි උපක‍්‍රම ඔබ විසින්ම සොයාගන්න. එසේම වෛද්‍ය උපදෙස් මත ඇවිදීම පිහිනීම වැනි සුදුසු ව්‍යායාමයක නිරත වීමෙන් බර නිසි මට්ටමේ පවත්වා ගැනීමට මෙන්ම අපහසුතා අවම කිරීමටත් මානසික ආතතිය පාලනය කිරීමටත් වඩාත් සුදුසුය.

අම්මෙක් වෙන්න යන ඔබ වෙනුවන් “සෞඛ්‍ය ක්ෂේත්‍රය හරහා ඉටුවන සේවාව”

ශ‍්‍රී ලංකාවේ  ඕනෑම ප‍්‍රදේශයක ජීවත් වන ගැබිනි මවක් සඳහා අවශ්‍ය සේවාවන් උපරිමයෙන් සැපයීමට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය බැඳී සිටින අතරම මාතෘ සායනවලදී මෙන්ම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය නිවසට පැමිණ ගැබිනි මව පරීක්‍ෂා කිරීම සිදු කරයි. එසේම සායන සඳහා සහභාගී විය යුතු දිනය, ස්ථානය සහ වේලාවන් පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනයගෙන් දැනුවත් වීමට ඔබට හැකිය. මෙහිදී පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් අතින් ඉටුවන මෙහෙය ප‍්‍රශංසනීයයි. නිවසට පැමිණෙන ඇයට ඔබගේ උපරිම සහයෝගය ලබාදිය යුතුය. ලොව කිසිදු රටක දැක ගත නොහැකි තරම් ගෞරවනීය සේවාවක් උපරිම කැපවීමෙන් යුතුව අපේ රටේ පවුල් සෞඛ්‍ය සේවා නිළදාරියන් විසින් ලබා දේ.

මසකට වරක් මාතෘ සායනයට සහභාගී වී : 
  • බර මැන සටහන් කරවාගන්න.
  • මුත‍්‍රා පරීක්‍ෂාව සිදුකරගන්න (සීනි සහ ප්‍රෝටීන පරීක්‍ෂාව)
  • රුධිර පීඩනය පරීක්‍ෂා කරගන්න.

දරු ප‍්‍රසූතිය සඳහා සංකූලතාවයන් රහිත මව්වරුන් අදාල ප‍්‍රදේශයේ රජයේ රෝහල වෙත යොමු කෙරෙන අතර සංකූලතා ඇති මව්වරුන් ඇතුළත් විය යුතු රෝහල පිළිබඳව වෛද්‍යවරයා උපදෙස් ලබාදෙයි. ඒ, යම් හදිසි තත්ත්වයක් මත මව සහ දරුවා වෙනත් රෝහලකට මාරු කර යැවීමට වඩා අවශ්‍ය සියලූ පහසුකම් සහිත රෝහලකට ඇතුළත් වීම වඩා පහසු සහ ඉක්මන් බැවිනි.

ඔබ පළමුවෙන්ම වෛද්‍යවරයා හමුවන විට මෙන්ම මේ කරුණු පිළිබඳව සිහි තබාගන්න.

ඔබගේ ඔසප් චක‍්‍රය ක‍්‍රමවත් නම් අවසාන වරට ඔසප් සිදු වූ දිනය සිහි තබාගැනීම වැදගත් වන්නේ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය කළලයට දැනට සති ගණන මෙන්න දරුවා ප‍්‍රසූත කරන දිනය සකස් කිරීම සඳහා ඒ පිළිබඳව විමසන බැවිනි. නමුත් අක‍්‍රමවත් ඔසප් චක‍්‍රයක් තිබූ අයෙක් නම් මේ පිළිබඳ  පසුතැවීම අනවශ්‍යය. මන්ද අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑන් පරීක්‍ෂණය හරහා අවශ්‍ය තොරතුරු සකස් කරගත හැකි බැවිනි.

ඔබට ඇති සියලු ගැටලු සහ ශාරීරික අපහසුතා පිළිබඳ වෛද්‍යවරයා සමග සාකච්ඡ කරන්න. ඔබට අමතක වේ යැයි සිතේ නම් ඒ සියල්ල සටහන් කරගෙන යන්න. එමගින් ඔබට අවශ්‍ය වෘත්තීය උපදෙස් ලබාගැනීමට පහසු වනු ඇත.

ඔබ කුමක් හෝ රෝග තත්ත්වයකින් පෙලෙන්නේ නම් ඒ පිළිබඳ සියලු වෛද්‍ය වාර්තා සහ ලබාගන්නා ඖෂධ සියලු විස්තර පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබාගන්න.

මෙන්ම මේ කරුණු ඔබේ ගර්භණී සමයට තවත් පහසුවක් වේවි. ඉතිං ඔබට පුළුවන් මේ කොටසේ පිටපතක් මුද්‍රණය කරලා ළඟ තියාගන්න. ගර්භණී කාලය පුරා ඔබ කළ යුතු පරීක්‍ෂණ එවිට ඔබට කොහෙත්ම මගඇරෙන එකක් නෑ.

අපි බලමු ගැබිනි සමයේ මුල් මාස තුන පිළිබඳව.     

අපි කලිනුත් කිව්වා වගේ ගර්භණී බව තහවුරු වූ විගස ඒ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියට දැනුම් දීමෙන් අනතුරුව ඇය නිවසට පැමිණ හෝ ඇයගේ සේවා ස්ථානයේදී අදාල පෝරමයේ ඔබේ සියලු තොරතුරු ඇතුළත් කර මාතෘ සායනයේ ඔබව ලියාපදිංචි කරන බවා ඒ හරහා අදාල ප‍්‍රදේශයේ රජයේ රෝහල වෙතත් ඔබව යොමු කෙරෙනවා. ගැබිනි මව්වරුන් සඳහා අවශ්‍ය බොහොමයක් පරීක්‍ෂණ මාතෘ සායන හරහා ද තවත් අත්‍යවශ්‍ය විශේෂිත පරීක්‍ෂණ රෝහල හරහා ද සිදුකෙරෙනවා.

රෝහලේදී නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පූර්ණ නිරීක්‍ෂණයක් සිදු කෙරනවා. එහිදී පහත සඳහන් තත්ත්වයන් පිළිබඳව සොයා බැලෙනවා.

මවගේ පෙර ගර්භණීතාවයේදී ඇති වූ දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග, සංජානනීය ආබාධ තත්ත්වයන්, කලින් ප‍්‍රසූතියේදී බර කිලෝ ග‍්‍රෑම් 2.5 අඩු දරු උපත් සිදුවීම යන කරුණු පිළිබඳව සොයා බැලෙන අතරම එවැනි මව්වරුන්ට වෛද්‍ය උපදෙස් මත ඇස්ප‍්‍රින් ඖෂධය ආරම්භ කිරීමට සිදු වේ. මේ සියල්ල සිදුවන්නේ වෛද්‍යවරයාගේ උපදෙස්වලට අනුවයි.

මසකට වරක් පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය නිවසටම පැමිණ ඔබව පරීක්‍ෂා කරන අතරම ගර්භ පරීක්ෂාවට අමතරව පෝෂණය, ප‍්‍රසුතිය පිළිබඳ ද ඇය ඔබ දැනුවත් කරනු ඇත. එසේම ප‍්‍රාදේශීය සෞඛ්‍ය ආයතන තුළ පූර්ව ප‍්‍රසව සැසි පවත්වනු ලැබේ. මුල් සති දොළහ තුළ පවත්වනු ලබන පළමු සැසියේදී ගර්භණි අවධියේ මුල් කාලයේදී ඇති වන අපහසුතා අවම කර ගැනීමට උපදෙස් ලබාදීම, දරුවා වැඩෙන අයුරු විඞීයෝ දර්ශන අනුසාරයෙන් දැනුවත් කිරීම, ගර්භණී සමයේ අවදානම් තත්ත්වයන්, පෝෂණය  පිළිබඳ, ගර්භණී සමයේ ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග, ගර්භණී සමයේ යහ පැවැත්ම, දන්ත සෞඛ්‍යය, ගර්භණී මව කෙරෙහි සැමියාගේ කාර්ය භාර්ය ආදී මාතෘකා පිළිබඳ ඔබට දැනුම ලබා දෙයි.

ගැබ් ගත් දිනයේ සිට ප‍්‍රසූතිය දක්වාම රෝහල හා මාතෘ සායනය මවකගේ සියලු කටයුතු සඳහා සහයෝගීව ක‍්‍රියාකරයි. පළමු ත්‍රෛමාසිකයේදී මාතෘ සායනය සඳහා මසකට වරක් සහභාගී විය යුතු අතරම සංකූලතාවයන්ගෙන් තොර සාමාන්‍ය තත්ත්වයේ මවක් රෝහල වෙත යොමුකෙරන්නේ සති දොලහේදීය.

පළමු මාතෘ සායනයේදී සිදු කෙරෙන පරීක්ෂණ

  • මවගේ උස සහ බර
  • රුධිර පීඩනය
  • රුධිරයේ යකඩ ප‍්‍රමාණය, රුධිර ඝණය, HIV රුධිර පරීක්‍ෂණය
  • රීසස් සාධකය
  • ග්ලූකෝස් පරීක්‍ෂාව

සෑම ගැබිනි මවකටම රෝහල හරහා සති 12 දී ප‍්‍රසූතියට දින සකස් කෙරෙන ස්කෑන් පරීක්‍ෂණය සිදු කෙරේ. මෙම ස්කෑන් පරීක්‍ෂණය හරහා දරුවා ලැබෙන දිනය නිර්ණය කිරීමට අමතරව දරුවාගේ යම් ආසාමාන්‍යතා වේ නම් ඒ පිළිබඳව ද ඩවවුන්ස් සහ ලක්‍ෂණ පිළිබඳව ද හඳුනා ගැනීමට හැකියාව ලැබේ. එසේම ගැබිනි සමයේ ඉදිරිකාලයේදී මවකට ඇති විය හැකි සංකූලතාවයන් පිළිබඳවත් කල්තියා යම් අදහසක් ලබාගැනීමට මේ ස්කෑන් පරීක්‍ෂණය ඉවහල් වේ. මේ කරුණු අනුව සෑම මවක්ම ඉහත සඳහන් කළ සති 12 ස්කෑන් පරීක්‍ෂණය සඳහා යොමුවීම ඉතාම වැදගත්ය.

WhatsApp භාවිතා කරනවද? අපිත් එක්ක chat එකට එකතු වෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ සිව්වන සතිය

week-4

අලුත් ආරංචිය ලැබුණද?

හාහාපුරා කියලා මව්පියන් වෙන්න දහසකුත් බලාපොරොත්තු හිත ඇතුළේ කැටි කරගෙන බලා ඉන්න යුවළක් අලුත් ආරංචිය ලැබෙනතුරු ඉන්නේ නොඉවසිල්ලෙන්. මේ ලෝකේ හැම අම්මෙක් තාත්තෙක්ම ඒ වගෙයි. අද කරන පරීක්‍ෂණයෙන් සතුටුදායක පිළිතුරක් ඔබට ලැබේවි. ඒ නැතත් තැවෙන්න එපා, මොකද සමහරවිට ඒ සතුටුදායක ආරංචියට තව ටික දවසක් ගතවෙන්නත් පුළුවන්. තාම ගෙවුණේ සති හතරක් විතරයි. දවසින් දවස සතියෙන් සතිය අලුත් අලුත් අත්දැකීම් ගොඩක්. කුස තුළ හොවා ආදරයෙන් පෝෂණය කරන අම්මාගේ චූටියා මිලිමීටර දෙකක් විතර ඇති. අම්මට හිතාගන්නවත් බැහැ නේද?

ගැබිනි සමයේ සිව්වන සතිය

සිව්වන සතියේ සිට කළල කාලය ඇරඹෙන අතරම සියලුම අවයවයන් හා ශරීර කොටස් සැකසෙන්නේ මෙතැන් සිට සති 12ක් දක්වා කාලය තුළයි. මේ කාලය තුළ මිලිමීටර දෙකක් තරම් වූ කළලය එපිබ්ලාස්ට් සහ හයිපෝබ්ලාස්ට් ලෙස ස්ථර දෙකකින් යුක්තයි.

වැදෑමහේ පූර්ව අවධිය මේ අවස්ථාවේ සිට සැකසෙන අතරම එයද ස්ථර දෙකකින් යුක්තය. මවගේ රුධිරය ගලා යාමට උමං මගක් සේ ක‍්‍රියාත්මක වන වැදෑමහ, වැඩෙන කලලයේ ෙසෙල වර්ධනය සඳහා අවශ්‍ය ඔක්සිජන් සහ සියලු පෝෂ්‍ය පදාර්ථ ලබාදෙයි. උල්බ තරලය පිරි කෝෂය (ව්‍යවහාරයේ වෝටර් බෑග් එක) තුළ කලලය දිනෙන් දින වර්ධනය වේ. එමගින් වැදෑමහ ක‍්‍රමානුකූලව වර්ධනය වන තුරු දරුවාගේ රතු රුධිර ෙසෙල නිපදවීම මෙන්ම පෝෂණය ලබාදීම සිදු කරනු ලබන්නේ එම තරලය මගින්ය.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතයත් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන්ගන්නවා

පුංචි පුංචි අපහසුතා අම්මට දැනෙන්න පටන් අරගෙන. එහෙම නේද? වෙනදා කිරි වීදුරුවෙන් දවස පටන් ගනිපු ඔයාට දැන් ඒ දිහා බලන්නවත් හිතෙන්නෙ නැතිව ඇති. ඒත් පියෙක් වෙන්න ආසාවෙන් බලාගෙන ඉන්න ඔයාගේ සැමියා ඇඳ ළඟටම කිරි වීදුරුව අරන් ඇවිත්. එක උගුරක් හරි බොන්න බලන්න. මේ ඔයාගේ සැමියා මුලින්ම හදපු කිරි වීදුරුව වෙන්නත් පුළුවන්. ඒත් බොන්න හිතෙන්නෙම නැත්නම් එයාට ඒ ගැන හිමිහිට කියන්න.

ඒ වගේම මෙන්ම මේ වගේ අපහසුතාවයන් දවසින් දවස ඔයාගේ ජීවිතයට එකතු වේවි.

කෑම අරුචිය – ගැබ් ගැනීමත් සමගම කාන්තාවන් වැඩි පිරිසකට ආහාර වර්ග, ඒවායේ සුවඳ පිළිබඳ අප‍්‍රසන්නතාවයක් ඇති වේ. එමෙන්ම වෙනදා අකමැති වූ කෑම බීම වර්ග කෙරේ ආසාවක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා.

ඔක්කාරය සහ වමනය – ගර්භණී කාන්තාවන් සුළු පිරිසකට වමනය හෝ ඔක්කාරය ඇති නොවන අතරම බහුතරයක් මේ තත්ත්වයට මුහුණපායි. මේ තත්ත්වය ඇති වන්නට ඇතැම් විට සතියක් පමණ ද ඇතැම් විට මාසයක කාලයක් ද ගත විය හැකිය. එසේම මෙය උදෑසනට පමණක් සීමා නොවේ. දවසේ  ඕනෑම අවස්ථාවකදී  ඔක්කාරය ඇති වේ. ඇතැම් කාන්තාවන්ට මාස තුනක් හතරක් යන විට මේ තත්ත්වය පහව යන අතරම ඇතැමුන්ට ගර්භණී කාල සීමාව පුරාම පවතී.

වැඩිපුර මුත‍්‍රා පිටවීම – සිරුරේ හෝමෝනවල සිදුවන වෙනස්කම් මේ තත්ත්වයට හේතුවක් ලෙස දැක්විය හැකියි. ඒ හේතුවෙන් වකුගඩුවල රුධිරය පෙරීම සම්බන්ධව බලපෑම් ඇති කරන නිසා මුත‍්‍රාශය ඉක්මණින් පිරී නිතර නිතර මුත‍්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය ඔබට දැනේ. එමෙන්ම කළලයේ වර්ධනයත් සමගම මුත‍්‍රාශය මත යෙදෙන තෙරපුම වැඩි වෙන නිසා ද මේ තත්ත්වය වැඩි වේ.

පියයුරුවල වෙනස්කම් ඇති වීම – සිරුරේ හෝමෝනවල ක‍්‍රියාකාරීත්වය වැඩිවීම හේතුවෙන් පියයුරු පිම්බුණු ස්වභාවයක් ගනී. එසේම ඇල්ලූ විට වේදනාවක් ඇති වේ. තද බවින් යුක්තය.

අධික මහන්සිය – මේ සඳහා ද හේතු වන්නේ සිරුරේ සිදුවන අධික හෝමෝන වෙනස් වීමයි.

ගැබ් ගැනීමත් සමග සිරුරේ ඇති වූ හෝමෝන වෙනස් වීම හේතුවෙන් සිදුවන මේ වෙනස්කම් සිරුර එම හෝමෝනවලට හුරුවීමත් සමගම පහව යයි.

අම්මෙක් වෙන්න යන ඔබ මේ ගැනත් දැනගන්න

අලුත් ආරංචිය ලැබුණු ගමන් ඒ කියන්නේ ඔබ ගැබිනියක් බව දැනගත් වහාම ඔබේ සැමියා සමග ගොස් පවුල් සෞඛ්‍ය නිළධාරිනිය හමුවී ඇය යටතේ ලියාපදිංචි වීමට අමතක කරන්න නම් එපා. ඇඟට දැනෙන අපහසුතා නිසා අද හෙටම බැරි වුණත් සති අට සම්පුර්ණ වෙන්න කලින් නම් ඔබ ඒ කාර්යය අවසන් කළ යුතුමයි. මොකද ඇතැම් මව්වරුන්ට ඇති විය හැකි යම් යම් සංකූලතා හඳුනා ගැනීම තුළින් ඒවා මැඩපවත්වා ගැනීමට අවශ්‍ය පිළියම් යෙදීම පහසු වෙන්නේ එවිටයි.

ඒ විතරක් නෙවෙයි, මෙන්න මේ කරුණු ගැනත් අම්මාගේ අවධානය යොමු වෙන්න  ඕනේ. මේ ගැන හිතට බයක් ඇති කරගන්න එපා. මවක් වෙන්නට යන ගමනේ ඇති විය හැකි යම් යම් බාධක අවම කරගැනීමට මේ කරුණු පිළිබඳවත් දැනුවත් වීම අත්‍යවශ්‍යයි.

ගර්භාෂය තුළ වගේම පැලෝපීය නාලයේ හෝ ඉන් පිටත දරුවෙකු පිළිසිඳ ගන්නා අවස්ථාත් ගැබිනි මව්වරුන් අතරින් වාර්තා වෙනවා. අන්න ඒ නිසා උදරයේ වේදනාවක් හෝ දුඹුරු පැහැයෙන් රුධිර වහනයක් හෝ තිබෙනවා නම් ඉතා ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ඒ වගේම  ඕනෑම පිළිසිඳ  ගැනීමකට ගබ්සා තත්ත්වයක් ඇති වීමේ 20%ක ප‍්‍රවණතාවයක් පවතිනවා. ඒක  ඕනෙම අම්මෙකුගේ හිතට ලොකු ෙවේදනාවක්. ඒ වගේම දරුවා දැකගන්න ආසාවෙන් බලන් හිටපු තාත්තටත් දරාගන්න අමාරුයි. මේ වගේ අවස්ථාවල අම්මලා වගේම තාත්තලා තීරණය කරනවා ඔවුන් අතින් සිදු වුණු යම් යම් සිදුවීම් නිසා තමයි මේ ගබ්සා වීම සිදු වුණේ කියලා. නමුත් ඇත්තටම හිතලා බැලුවොත් එවැනි තත්ත්වයන් ඇති වෙන්නේ කලලයේ යම් යම් අසාමාන්‍යතා නිසයි. මව්වරුන් පස්දෙනෙකු ගත්තොත් එක් අයෙකුට ගබ්සා වීමක් සිදුවිය හැකියි. නමුත් දිගින් දිගටම තුන්වරක් පමණ මෙසේ ගබ්සා වීම් සිදු වූ කාන්තාවන් වෛද්‍ය උපදෙස් කරා යොමු වීම ඉතාම වැදගත්.

ඒ විතරක් නෙවෙයි, ගර්භණී සමයේ මුල් සති 12 තුළ ඔබ විසින් ලබාගත යුත්තේ ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිටම ලබාගත් ෆෝලික් අම්ලය විටමිනය පමණක් බව මතක තබාගන්න.

ගර්භණී සමයේ පළමු සති 12 තුළ ලබාගත යුත්තේ ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිට ඔබ ලබා ගත් ෆෝලික් අම්ල විටමිනය පමණකි. (නමුත් යම් යම් රෝග තත්ත්ව මත වෛද්‍යවරයා අනුමත කරන වෙනත් ඖෂධ ලබාගැනීමට ඇතැම් මව්වරුන්ට සිදුවේ.) ෆෝලික් අම්ල ඌනතාවය නිසා ස්නායු පද්ධතියේ නිසි සැකැස්මට බාධා ඇති වෙනවා සේම රක්තහීනතාවය වැනි තත්ත්වයක් ඇති වීමද සිදුවිය හැකිය. සාමාන්‍යයෙන් මෙම විටමිනය ලබාදෙන්නේ මිලිග‍්‍රෑම් එකකි. නමුත් ඇතැම් කාන්තාවන්ට වෛද්‍ය උපදෙස් මත පමණක් මිලිග‍්‍රෑම් 5ක් ලබාදීම සිදු කෙරේ.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


	            

ගැබිනි සමයේ පළමු සති තුන

week_1

ලොව උතුම්ම පදවියේ කිරුළ පලදින්නට දැන් ඉතිං ඔබ සැරසෙන්න

විවාපත් යුවළකගේ ඊළඟ පැතුම කිරි කැටියෙකුගේ සිනාහඬ  අසන්නටයි. මවක් වන්නට යන ඔබ ඒ කාර්යය වෙනුවෙන් මානසිකවත් ශාරීරිකවත් සූදානම් විය යුතුය. ඒ සඳහා සුදුසුම වයස් සීමාව වන්නේ අවුරුදු 21ත් 35 ත් කාල සීමාවයි. ඒ කාලසීමාව තුළ මවට මෙන්ම දරුවාටද ඇති විය හැකි සංකූලතාවයන් අවමය. එසේම දරුවාගේ ඉදිරි කටයුතු සඳහා ආර්ථිකමය වශයෙන් ද යම් සූදානමක් මාපියන් සතු විය යුතුය.

දරු පිළිසිඳ ගැනීමකට පෙර සූදානම :

  • විවාහ වූ විගස ඔබ පදිංචි ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය යටතේ ලියාපදිංචි වන්න.
  • නව දිවි සුව සත්කාරක වැඩ සටහනට යොමු වී අවශ්‍ය උපදෙස් සමගින් දැනුවත් වෙන්න.
  • ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිටම ෆෝලික් ඇසිඞ් විටමිනය ලබාගන්න
  • පෝෂ්‍යදායී මෙන්ම නිවැරදි ආහාර රටාවකට හුරුවී ශරීරයේ බර නියමිත අගයේ පවත්වා ගන්න.
  • ශාරීරිකවත් මානසිකවත් සෞඛ්‍ය සම්පන්න වන්න.
  • මත්පැන්, දුම්වැටි භාවිතයෙන් මෙන්ම ඒවා භාවිත කරන පිරිස් අතර ගැවසීමෙන් ද වළකින්න.
  • පූර්ව ගර්භණී උපදේශන සායන සඳහා සහභාගී වී
    • රුබෙල්ලා එන්නත ලබා නොගත් අය එන්නත ලබාගන්න. (විවාහයට පෙර ඔබ රුබෙල්ලා එන්නත ලබා නොගත්තේ නම් ගැබ් ගැනීමට මාස තුනකට පෙර හෝ ලබාගත යුතුය.)
    • ගැබ් ගැනීමට පෙර මුඛ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමුකරන්න
    • හඳුනා නොගත් රෝග හඳුනා උපදෙස් ලබාගන්න. ප‍්‍රතිකාර සඳහා යොමුවන්න. (රූමැටික හෝ සංජානනීය හෘදයාබාධ, දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු ආශ‍්‍රිත රෝගාබාධ, අපස්මාරය වැනි රෝග මෙන්ම අධිබර තත්ත්වය)
    • වෛද්‍ය උපදෙස්වලට අනුව ජානමය සංකූලතා පරීක්‍ෂණයට යොමුවන්න
  • ඔබගේ ආර්ථික තත්ත්වය අනුව මවට හා දරුවාට අවශ්‍ය වියහියදම් පිළිබඳ සටහනක් සකස්කර ඒ සඳහා සූදානම්වන්න.
  • ඔබ ගැබ් ගෙන ඇත්දැයි නිවසේදීම පරීක්‍ෂා කර ගැනීමට සූදානම් වන්න.

දීර්ග කාලීනව යම් යම් රෝගාබාධ පවතින මව්වරුන් විශේෂයෙන්ම මෙම සායන සඳහා සහභාගී වීම ඉතා වැදගත්වේ. මන්ද ඉහත සඳහන් කළ පරිදි මවක වන්නට බලා සිටින ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සම්පූර්ණ නිරීක්‍ෂණයක් මෙහිදී සිදු කෙරෙන අතරම ගැබ් ගැනීමට නුසුදුසු තත්ත්වයේ සිටින මව්වරුන්ට රෝගය පාලනය වන තෙක් ආරක්‍ෂාාරී උපත්පාලන ක‍්‍රම හ`දුන්වා දෙනු ලබයි. ලංකාවේ  ඕනෑම ප‍්‍රදේශයක ජීවත් වන  ඕනෑම මවකට මේ සේවාව ලබාගත හැකිය.

ගැබිනි සමයේ පළමු සති තුන

ඔබ දන්නවාද? මව්කුසේ දරුවෙකු හැදෙන්නේ මෙහෙමයි.

උපත් පාලන ක‍්‍රමවලින් ඈත් වූ තරුණ යුවළක් ලිංගිකව සම්බන්ධ වීමෙන් පළමු මාසය තුළ කාන්තාව ගැබ්ගැනීමේ සම්භාවිතාව 20%කි. එමෙන්ම මාස හයක් ඇතුළත කාන්තාව ගැබ්ගැනීමේ සම්භාවිතාවය 75%ක් පමණ වේ. වසරක් පුරා ගත් කළ එය 80% ක අතර ප‍්‍රමාණයකි.

දරුවෙකු පිළිසිඳ  ගැනීමට නම්,

යම් විශේෂිත ලිංගික ඉරියව්වක් පිළිබඳව තහවුරු වීමක් නොමැති වුවද ගැබ් ගෙල ආසාන්නයටම ශුක‍්‍රාණු තැම්පත් කළ හැකි ඉරියව්ව ලෙස පුරුෂයා කාන්තාව මත සිටින ඉරියව්ව වඩාත් සුදුසු බව කියැවේ. දරු පිළිසිඳ ගැනීමක් සිදුවීමට කාන්තාවගේ හෝමෝන ක‍්‍රියාකාරීත්වය ද නිසි ආකාරයෙන් සිදුවිය යුතුය. එසේම අනෙක් වැදගත් සාධකය වන්නේ සරු කාල සීමාවයි. සරු කාලය තුළ අවම වශයෙන් දවසක් ඇර දවසක්වත් ලිංගිකව එක්වීම සුදුසුය. බොහොමයක් තරුණ තරුණියන්ට ලිංගික අධ්‍යාපනය නොමැතිකම හේතුවෙන් ගැබ් ගැනීම සම්බන්ධව ඇති දැනුම ද අවමය. අන්න ඒ නිසාම ගැබ්ගැනීම සඳඳු හා සුදුසුම කාල පරාසය කුමක්ද යන්න පිළිබඳව දැනුවත් වීම වඩා වැදගත් වේ.

ඔසප් චක‍්‍රය ආරම්භ වීම යනු දරු පිළිසිඳ ගැනීමක් සඳහා ගර්භාෂය අලුතින් සූදානම් වීමයි. ඔසප් රුධිර පිටවන පළමු දිනයේ පටන් අලුත් ඩිම්බයක් මේරීම ආරම්භ වේ. මෙය චක‍්‍රයක් ලෙස සෑම මසකට වරක්ම සිදු වන අතරම කාන්තාවන් වැඩි පිරිසකට ඔසප් වීම ආරම්භ වී  දින 14කින් ඩිම්බ මෝචනය සිදු වේ. දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා උපරිම සරුකාලය ලෙස 12 වන දිනයේ සිට 14 වන දිනය දක්වා කාල සීමාව දැක්විය හැකිය. එසේ පිටවන ඩිම්බයක් පැය 24ක කාලයක් පුරා පැලෝපීය නාලය තුළ පවතී. ස්ත‍්‍රී ප‍්‍රජනන පද්ධතිය තුළ ශූක‍්‍රාණුවකට පැවතිය හැක්කේ පැය 72ක් වුවද ශුක‍්‍රාණුවක හොඳම කාල සීමාව වන්නේ පැය 48කි.

ඩිම්බයක් සහ ඒ වෙත පැමිණෙන ශුක‍්‍රාණුවක් සංසේචනය වීම සිදුවන්නේ පැලෝපීය නාලයේ ඇන්පියොලා නම් ස්ථානයේදීය. එසේ සංසේචනය වී සෑදුණු යුක්තානුව ඒ මොහොතේ සිටම විභේදනය වෙමින් කලලයක් බවට පත්වීමට පටන් ගනී. එම කලලය පෙරලෙමින් ගර්භාෂය වෙත ගමන් කරයි. ඉන් දින හතකට පසුව ගර්භාෂ බිත්තියේ ඇලෙන කලලය හෙවත් මුරුල්ලා අවස්ථාව දිනෙන් දින දරුවෙකු ලෙස වර්ධනය වේ. ඉන්පසු කලලයට පිටතින් කෝරියම හා ඇතුළතින් කලලාවාරික පටලය වර්ධනය වී ඇති අතරම එය කලලාවාරික තරලයෙන් පිරී පවතී. එම කළලය සති 38ක් පුරා කුස තුළ වර්ධනය වේ. මෙම ගැබිනි සමයේ තුන් වන සතිය වන විට නිවසේදී සිදුකරන මුත‍්‍රා පරීක්‍ෂණය හරහා ඔබේ ගර්භණී බව තහවුරු කරගැනීමට අසීරුය.

ඔබ ගැබ් ගත්තේ කවදා සිටද යන්න වෛද්‍යවරුන් මෙන්ම පවුල් සෞඛ්‍ය සේවිකාවන් ද තීරණය කරන්නේ ඔබට අවසාන වරට ඔසප් ආරම්භ වුණු දිනයේ සිට වුවත් ඒ වන විට ඔබ ගැබ්ගෙන නොමැති බව සැබෑවකි. නමුත් ඔබට අවසන් වරට ඔසප් ඇති වීම සිදුවන්නේ දරුවෙකු පිළිසිඳ ගැනීමට සති දෙකකට පෙරයි. බොහෝ කන්තාවන් මේ පිළිබඳව දැනුවත් නැත.

ගර්භණී බව තහවුරු කරගැනීමේ පරීක්ෂණයෙන් නිවැරදිම ප්‍රතිඵල ලබාගන්න නම්,

මාසික ඔසප් චක‍්‍රය නියමිත දිනට සිදු නොවුණි නම් ඔබ කළ යුත්තේ ඉන් සතියකට පසු ගර්භණී බව තහවුරු කරගැනීමේ පරීක්‍ෂණය සිදු කිරීමයි. පරීක්‍ෂණයෙන් ලැබුණු ප්‍රතිඵලය සතුටුදායක එකක් නොවුණහොත් තවත් දින කිහිපයකට පසු නැවත පරීක්‍ෂණයට යොමුවන්න. මන්ද මෙම පරීක්‍ෂණය ඔබ සිදු කළේ අවසන් වරට ඔසප් සිදු වී ඉතා ආසන්නතම දිනයකදී බැවින් ඒ සඳහා යම් කාලයක් ලබා දෙන්නට ඔබට සිදු විය හැකිය. ඉන්පසුව නැවත එම පරීක්‍ෂණය සිදු කරන්න. ඔබ බලාපොරොත්තු වූ පිළිතුර තවමත් ලැබී නැත්නම් වෛද්‍යවරයෙකු හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවගේ සහාය පතන්න. නමුත් නිශ්චිත තීරණයක් ලැබෙන තුරු කිසිවිටෙකත් නුසුදුසු ආහාරපාන ලබා ගැනීමෙන් වැලකී ප‍්‍රවේශමෙන් කාලය ගත කරන්න. මන්ද නිවසේදී ඔබ විසින් සිදු කළ පරීක්‍ෂණයෙන් තහවුරු නොවුණ ද ඔබ දැනටමත් ගැබිනියක විය හැකියි.

ගර්භණී බව තහවුරු කරගැනීම උදෙසා ඔබ යොදාගන්නා පරීක්ෂණ කට්ටලය 

  • කල් ඉකුත්වීමේ දිනය සහ තත්ත්වය නිසි පරිදි පවතිනවාද යන්න සොයාබලන්න
  • එය ගබඩා කර ඇත්තේ සුදුසු තැනක නොවේ නම් එය ඉවත් කරන අලූත්තින් මිලදී ගන්න.
  • මෙම නිෂ්පාදනවල එක් එක් වෙළඳ නාම යටතේ ලබාදෙන උපදෙස් වෙනස් විය හැකි බැවින් උපදෙස් හොඳින් කියවන්න.
  • උදෑසන පරීක්‍ෂණය සිදු කළ හැකි නම් වඩාත් උචිත වන්නේ ඒ අවස්ථාවේදී මුත‍්‍රාවල සාන්ද්‍රණය වැඩි බැවිනි.
  • ප‍්‍රතිඵලය විනාඩියක් දෙකක් ඇතුළත ඔබට ලැබේ.

අම්මෙක් වෙන්න යන ඔබට මේ කරුණු ගොඩක් වැදගත් 

ඔබ අවුරුදු 35ට වැඩි දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන් මාස හයක් පුරා උත්සාහ කළ ද ප‍්‍රතිඵලයක් නොලද කාන්තාවක් නම් ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීම වඩාත් සුදුසුය.

වයස අවුරුදු 30ට අඩු කාන්තාවන්ට වසරක් යන තුරු මේ සඳහා අවස්ථාව ලබා ගත හැකිය. එනම් වසරක් ඇතුළත කාන්තාවක් ගැබ් ගැනීමේ ප‍්‍රතිශතය 80%කි. එසේම කිසිදු සංකූලතාවයන් නොමැති අවුරුදු 35ට අඩු කාන්තාවන් ද වසරක කාලයක් මේ පිළිබඳව බලා සීටීමේ වරදක් නොමැති වුවද අක‍්‍රමවත් ඔසප් චක‍්‍රයක් හෝ වෙනයම් සංකූලතාවයන් ඇති කාන්තාවන් මාස හයක් ඇතුළත පිළිසිඳ ගැනීමක්  සිදු නොවුණහොත් වෛද්‍යවරයෙකු හමුවිය යුතුය.

  • දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන් සිටින ඔබ දියවැඩියා තත්ත්වයෙන්, අධි රුධිර පීඩන තත්ත්වයෙන් පෙලේ නම් දරුවා පිළිසිඳ ගැනීමට පෙර නාරි හා ප‍්‍රසව වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ.
  • තෛරොයිඞ් ග‍්‍රන්ථියේ යම් රෝග තත්ත්වයකින් පෙලෙන දරුවෙකු පතන ඔබ, සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති දැයි සැකහැර දැනගැනීමයි. තවද ඔබ සැත්කමක් මගින් තෛරොයිඞ් ග‍්‍රන්ථිය ඉවත් කළ කාන්තාවක්නම් ගැබ් ගැනීමට පෙර පූර්ව ප‍්‍රසව සායන සඳහා සහභාගී වීමද අනිවාර්ය වේ.
  • ඔබ අධි බර තත්ත්වයේ පසුවන කාන්තාවක් නම් දරු පිළිසිඳ ගැනීම ප‍්‍රමාද වීමට එය හේතුවක් විය හැකි බැවින් ශරීරයේ බර අවම කර ගැනීමට උනන්දුවන්න.

මේ සියලූ කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසුය.

සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ මනා අවාධනයක් යොමු කොට නිසි වෛද්‍ය උපදෙස් ලබාගනිමින් නිරෝගී දරුවෙකු රටට දායාද කරන්නට හෙට දින මවක් වන්නට පෙරුම්පුරන ඔබත් අදිටන් කරගන්න.

WhatsApp භාවිතා කරනවද? අපිත් එක්ක chat එකට එකතු වෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.