අසීමිත ආදරය හමුවේ පැනයා හැක්කේ කාටද?

අසීමිත ආදරය හමුවේ පැනයා හැක්කේ කාටද?

ඇත්තටම අද සමාජය කොයි දෙසට යනවාදැයි සිතා ගන්නටවත් නොහැකිය.පවුල ඇති වටිනාකම දැන් දැන් සමාජයට නොදැනී යනවාත්දැයි මට සිතේ. පහුගිය දවස් කිහිපය තුල මගේම යෙහෙළියන්ගෙ දෙදරාගිය විවාහයන් නිසා  හදවතින්ම මම එයාලා ගැන දුක් වුණා.

“කරන්න දෙයක් නැහැ දික්කසාද වෙනවා”

“එතකොට දරුවා?”

“පුතටත් දැන් එපාවෙලා , තාත්තව දමල යමු කියලා එයාම කියනවා.”

මගේ සිත ඇවිලී ගියේය. තාත්තා එනතුරු වේලාව බලමින් ඉන්න මගෙ පැටවු  ” චාච්චා ආවා “යැයි අයියාවත් පෙරලා ගෙන තාත්තගේ පෙර මගට දිව යන පොඩ්ඩාත් මගේ සිහියට නැගුණේ නිතැතින්මය. තාත්තාගේත් අම්මාගේ සෙනෙහසින් ඔවුන්ගේ ලෝකය පිරී ඇත.

“අනේ තාත්තේ සෙල්ලම් කරමු , අද නම් ඔෆිස් වැඩ ගෙදර බැහැ”

පුතාලට අකමැත්තෙන් හෝ අවනතවන්නට තාත්තාට සිදුවේ. ඉතින් මට සිදුවන්නේ පුතාලා තිදෙනෙක්ම බලා කියා ගන්නටය. ඔවුන් අතර ඇති බැඳීම ශක්තිමත්ය. සත්තකින්ම මම ඒ පිළිබඳ සතුටු වෙමි. විටෙක මා මා පිළිබඳවම ආඩම්බර වෙමි. මන්ද යත් ඔවුන්ගේ ශක්තිමත් බැඳීමට අත්තිවරම මා යෙදු හා යොදන නිසාවෙන්ය. තාත්තාට දරුවන්ගෙන් තොර ලොවක් නැත. ඒ බැඳීමට අඩිතාලම දැමිය යුත්තේ අම්මාය. බොහෝ විට දරුවන් මව වටා පමණක් රොක් වූ පවුල බැඳීම අතිශයෙන්ම දුර්වල යැයි මට සිතේ.

“අනේ මන්දා දැන් ගෙදර එන්නෙත් නැහැ ”

“දරුවා බලන්නවත් ”

“මොන ඉපදුන දා ඉඳලා එයාට දරුවා ගැන ගානක් නැහැ , දුවටත් දැන්  ගානක් නැහැ.”

වරද ඇත්තේ කොතනදැයි මට සිතා ගත නොහැකිය. නමුදු එක් කාරණයක් දනිමි ඒ ඔවුන්ගේ පවුලේ සහබන්ධනය නිසියාකාරව සිදුව නැති බව පමණි. මවක් වු පසු දරුවන්ගේ වැඩ කටයුතු සමග සැමියාගේ ඇතැම් කටයුතු අතපසුවීය හැකිය. සැමියකු වශයෙන් එය අවබෝධ කර ගැනීමද ඉතා වැදගත්ය. එහි විරුද්ධ අතද එසේමය. සාර්ථක පවුල් ජීවිතයක් ගෙන යන්නට නම් අන්නෝන්‍ය අවබෝධය වැදගත්ය. මගේ යෙහෙළියන් දෙදෙනාගේම දරුවන්ට පියා සමග බැඳීමක් නොතිබිණි. ඉතින් ඔවුන්ගේ සැමියන්ට වගකීමක් හෝ දමා යාමට බැරිකමක් නොතිබෙන්නට ඇත.පවුලක් විසිර යන්න නොව විසිර යන්නට හේතූ කාරණාව සොයා එයට පිළියම් කල යුතුය.

බොහෝ විට අද සමාජයේ විවාහ සිදුවන්නේ එකිනෙකා හඳුනා ගෙන ප්‍රේම කිරීමෙන් අනතුරුවය. මේ කාලය තුල හැකි තරම් දෙදෙනා පිළිබඳ අධ්‍යනය කර විවාහ වීමට සුදුසු නම් පමණක් විවාහ වනවා නම් හොඳ යැයි මට සිතේ. නමුදු ආදරය අන්ධය. විවාහය විය යුත්තේ ජිවිතයේ මියෙනතාක්ම එකට හිඳීමටය. එනිසාවෙන් ආදරය අන්ධ නොවී අතපත ගාමින් නොව ඉතාමත් සියුම් ලෙස  විචක්ෂණශීලීව හැදෑරිය යුතු විෂයයක් බව වටහා ගත යුතුය.. දෙදෙනා අතර ඇති නොගැලපීම් මතින් ජීවිත නෞකාව පැදයා නොහැකි නම් විවාහයට පෙරම යාත්‍රාව නතර නොකලහෝත් එහි අතර මග නෞකාවට ගොඩ වන දරුවන්ද අසරණවෙති.

දික්කසාදය යන වචනය අද සාමාන්‍ය වචනයක් පමණි. එහි හොඳ නරක කෙසේ වුවද දරුවන්ට වන බලපෑම නම් සුලු පටු නොවේ. ළමා මනසට මෙය කෙතරම් පීඩාවක්ද? ඔවුන් කෙතරම් එයින් මානසිකව ඇද වැටෙනු ඇද්ද? දෙමාපියන්ගේ වැරදි වලට වගකිව යුත්තෝ විඳ විය යුත්තෝ දරුවන්ද? දෙමාපියන් විරසක වෙන්වූ පවුලක දරුවන් අසරණවේ. මවකට කිසිදා පියෙකුගෙ සෙනෙහසවත් පියෙකුට මවකගෙ සෙනෙහසවත් ලබා දිය නොහැකිය. ඔබ අතින් ඔබේ බිරිඳට දරුවන්ට නැතහොත් ඔබේ සැමියාට දරුවන්ට ඔබේ වගකීම නිසියාකාර සිදුවන්නෙදැයි මොහොතක් නැවතිල්ලේ සිතන්න.

ගල්පර නොමැතිව ගලන ගඟෙහි සුන්දරත්වයක් නැත. ජීවිතයද එසේමය. පවුල තුල නොහොඳ නෝක්කාඩුකම් කොතෙකුත්ඇති වේ. දෙන්නා දෙමහලන්ගෙ ප්‍රශ්න බත ඉදෙන තුරු පමණක් විය යුතුමය. සබඳතාවල වටිනාකම දැනෙන්නෙ සබඳතා සදාකාලිකවම අහිමි වූ පසුවය. සබඳතා වල අඩු ලුහුඩුකම් ඇත්නම්  ජිවිත නැවත පිළිසකර කරගන්නට උත්සහ ගත යුතුය. ඒ සඳහා දෙදෙනා කතාබස් කර ගැටලු නිරාකරණය කරගත හැකිය. එසේත් නැතිනම් පවුල් උපදේශන සේවාවක් ලබා ගත හැකිය පවුල යනු විශ්වයේ සොඳුරුතම තැනය. එය ගිලිහෙන්නට නොදී රැකගතයුතුමය.

විවාහ ජීවිතය යනු වගකීම් සමුදායකි. පෙම්වතිය සමයේ හෝ පෙම්වතා සමයේ සිතුම් පැතුම්ම විවාහයේදී බලාපොරොත්තුවිය නොහැකිය. එහෙත් ගතින් වියපත් වුවද අප සිතින් වියපත් නොවේ. ආදරය අප මියෙනතුරුම අපේ හදවත් වලට ඇවසිමය. තමන්ගෙ බිරිඳ සමග මෙන්ම තමන්ගෙ සැමියා සමගත් දොඩම`ඵ වන්නට පෙම්බස් දොඩන්නට අපට සිත් වුවද බොහෝ විට එම හැඟීම වලට අප අගුලුලා තබයි. බැරි වෙලාවත් මේ අගුලු තම සැමියා හෝ බිරිඳ නොවන කෙනෙකු ඉදිරියේ වාන් දැමූ පසු ඒ සැඩ පහරේම හොඳක් නරකක් නොපෙනී ගමන් කරනු ඇත. ඉඩ දෙන්න ඔබේ හැඟීම වලට නිදහසේ ඔබේ සහකරුවා ඉදිරියේ ගලා යන්නට. අසීමිත ආදරය හමුවේ පැනයා හැක්කේ කාටද?

මා දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණය ඩිප්ලෝමා පාඨමාලාව (ව්‍යපාර වාණිජවේදී උපාධියට සමානය) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යපාර පරිපාලන උපාධිය හදාරා වසර නමයක කාලයක් සහකාර ගණකාධිකාරිණියක් වශයෙන් වෘත්තීමය නියැලුනෙමි. උසස් පෙළ හා උසස් අධ්‍යපනයෙන් පසුව වෘත්තිමය වශයෙනුත් මා ගණුදෙනු කලේ ගිණුම් වල හර බැර අතර වුවද සංසාර පුරුද්දට මා ලද ප්‍රාග්ධනයක් ලෙස යමක් සුන්දරව දැකීමටත් ,සිතීමටත් ඒ සිතුවිලි අකුරු වලට පෙරලන්නටත් හැකියාව මා සතුවිය. කාන්තාවකට මෙලොව දිනිය හැකි ඉහළම කිරුළට උරුමකම් කියන මා පුතුන් දෙදෙනෙකුගේම අම්මාය. විශ්වයේම ඇති සොඳුරුතම ස්ථානය නිවහනය. එහි සාමය සතුට සෞභාග්‍යය රැඳවිය යුත්තේ අම්මාය. එනිසාවෙන්ම මගේ පුංචි පැටවුන්ගේ රැකවරණය වෙනුවෙන් මා වෘත්තියෙන් සමුගත්තෙමි. මුළුගැන්වී තිබූ ලිවීමේ හැකියාවට පන්නරය ලැබුණේ ඉන් පසුවය. අම්මා පුවත් පතෙහි විශේෂාංග ලේඛිකාවක වශයෙන් ලේඛණ කලාවට පිවිසි මා ලේඛණ කලාවෙන් ඉදිරියට යන්නට අපේක්ෂා කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here