- Advertisement -

මව්කිරෙන් සපිරි – ජාතියක අසිරි – තිරසර සංවර්ධනයකට ”මව්කිරි”’

-

2016 වසරේ සිදු කළ සමීක්‍ෂණ වාර්තාවලට අනුව ලොව රටවල් 121ක් අතරින් දරුවන්ට මව්කිරි ලබාදීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව පළමු තැනට…  ජාත්‍යාන්තර මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ.

සමාජ, ආර්ථික, අධ්‍යාපන වටපිටාව තුළ අතීතයේදී මෙන් නොව අද වන විට කාන්තාවන් ද රැකියාවල නියුක්ත වේ. නමුත් අපේ රට මව්වරුන් සැමවිටම තම දරුවන්හට සිය වගකීම සියයට සියයක්ම නොපිරිහෙලා ඉටු කිරීමට ඇප කැප වීම සතුටට කරුණකි. සැබවින්ම උපන්දා සිටම දරුවන්ගේ පෝෂණය පිළිබඳව සැළකිලිමත් වන මවව්රුන්ට දරු ප‍්‍රසූතියෙන් පසුව මාස හයක් සම්පූර්ණ වන තෙක් දරුවාට මව්කිරි පමණක් ලබා දිය යුතුය යන්න වගේම මව්කිරිවල ඇති පෝෂණ අගය පිළිබඳවත් දැනටමත් දැනුවත්ව සිටිය හැකියි. දැයේ දරුවන්ගේ පෝෂණය ඉහළ මට්ටමකට ගෙන ඒම උදෙසා රැුකියාවල නියුතු වුවද සෑම මවකටම ප‍්‍රසූත නිවාඩු ලබා දී තිබේ.

- Advertisement -

ප‍්‍රසූතියෙන් පසු මවකට හිමි වන නිවාඩු :

රජයේ සේවයේ නියුතු මව්වරුන්ට

  • ඔබගේ පළමු සහ දෙවන දරු උපත් සඳහා වැඩකරන දින 84ක වැටුප් සහිත ප‍්‍රසූත නිවාඩු
  • තෙවන දරු උපත සඳහා වැඩකරන දින 42ක ප‍්‍රසූත නිවාඩු
  • දරුවාට මාස හය සම්පූර්ණ වන තෙක් කිරි නිවාඩු (දිනකට පැයක කාලයක්)

පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු මව්වරුන්ට 

  • ආයතනයේ ඇති පණතට අනුව හිමිවන නිවාඩු
  • ප‍්‍රසූතිකාධාර ආඥා පනත යටතේ ප‍්‍රසූතිකාධාර ලබන පෞද්ගලික අංශයේ සේවය කරන මව්වරුන්ට දරුවාට අවුරුද්දක් සම්පූර්ණ වන තෙක් කිරි නිවාඩු (දිනකට පැයක කාලයක්)

ප‍්‍රසූත නිවාඩු අවසන් වී රැුකියාවට යන මව දරුවාට ආදේශක කිරි පිටි හුරු කළ යුතුද?

නැත. දරුවාට අවශ්‍ය මව්කිරි දොවා ගබඩා කළ හැකියි.

රැකියාවේ නියුතු මව්වරුන්ගේ කිරි නිපදවීම හොඳින් සිදුවීමට නම්

  • මව් කිරි දොවා තැබීම සිදුකළ යුතුයි
  • රැකියා ස්ථානයේදීත් පැය තුනකට වරක්වත් කිරි දෙවිය යුතුයි
  • රාත‍්‍රී කාලයේදී දරුවාට හොඳින් කිරි උරා බීමට සැලැස්විය යුතුයි

කිරි දොවන මව

  • මව්කිරිවල අගය වටහාගන්න
  • පවුලේ අනෙක් අය මේ පිළිබඳව දැනුවත් කර ඔවුන්ගේ සහය ලබාගන්න
  • වෙනදාට වඩා පැය භාගයකට පෙර දවස අරඹන්න
  • කාලය කළමනාකරණය කරගන්න
  • වැඩ කටයුතු සැලසුම් කරන්න
  • මනස නිරවුල්ව තබාගන්න
  • ඉවසීම ප‍්‍රගුණ කරන්න
  • නිදහස්ව තම කාර්යයයේ නියැලෙන්න
  • ඔබට හිමි කිරි පැය අනිවාර්යෙන්ම ලබාගන්න

මව්කිරි දොවද්දී

අතින් කිරි දොවා ගැනීමේදී ඒ සඳහා විනාඩි 20ත් 30ත් අතර කාලයක් වැයවේ. මේ පිළිබඳ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියගෙන් හෝ රෝහලෙන් පිටව යන අවස්ථාවේදී හෙද නිළධාරිනියන්ගෙන් හෝ වෙද්‍යවරයාගෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්න.

  • ප‍්‍රථමයෙන්ම දෑත් හොඳින් පිරිසිදු කරගන්න
  • පියනක් සහිත කට පළල මල නොබැදෙන බඳුනක් තෝරාගන්න
  • බඳුන විනාඩි 10 ක් උතුරන වතුරේ හොඳින් තම්බාගන්න
  • එක කිරි වේලක් සඳහා එක භාජනය බැගින් වෙන් කර ගන්න
  • දරුවා කිරි උරා බිව් පසු දෙවීම සිදු කරයි නම් වඩා පහසු බව සිහි තබාගන්න. නැතිනම් උණුසුම් ජලයෙන් පියයුර තවා කිරි දෙවීම අරඹන්න

pic-1

දෙවූ මව්කිරි ඇසිරීමේදී

මේ සඳහා වීදුරු බදුන් යොදා ගත හැකි නම් වඩා යෝග්‍ය වේ.

දෙවූ මව්කිරි

  • කාමර උෂ්ණත්වයේ පැය හයක් හෝ අටක්
  • ශීතකරණයේ මැද පැය 24ක්
  • අධිශීතකරණය තුළ මාස තුනක කාලයක් අසුරා තබා භාවිතයට ගත හැකියි

ශීතකරණයේ ඇසුරූ කිරි දරුවාට ලබා දීමේදී

  • සිසිලස ඉවත් වන තෙක් කාමර උෂ්ණත්වයේ තබන්න
  • කිරි ඇසිරූ භාජනය මද රස්නය ඇති වතුර බඳුනක බහා සිසිලස ඉවත් කළ හැකිය
  • රත් කිරීමෙන් හෝ උණු කිරීමෙන් වළකින්න (මන්ද මව්කිරෙහි ඇති පෝෂකාංග විනාශ වී යන බැවිනි)
  • කෝප්පයක් හෝ හැන්දක ආධාරයෙන් කිරි අවශ්‍ය ප‍්‍රමාණය දරුවාට ලබාදෙන්න
  • සූප්පුවෙන් භාවිත නොකිරීමට වගබලාගන්න (එය පහසු බැවින් දරුවා මවගෙන් කිරි උරා බීම ප‍්‍රතික්ෂේප කිරිමට ඉඩ ඇත.)
  • කිරි පෙවීමේදී දරුවා මෙන්ම කොප්පයද මදක් ඇල කොට කෝප්පය දරුවාගේ යටි තොලේ තවරන්න එවිට දරුවා කිරි බීමට පටන් ගනී (මේ පිළිබඳව නිවැරදි උපදෙස් රෝහලෙන් හෝ සායනයෙන් ලබාගන්න)

pic-2

ජාතික මව්කිරි දීමේ සතිය වන අගෝස්තු 1 සිට 7 දක්වා මව් කිරෙන් – සපිරි ජාතියක අසිරි – තිරසර සංවර්ධනයකට ”මව්කිරි”  යන තේමාව යටතේ මව්වරුන් දැනුවත් කිරීම වඩා වැදගත් වන්නේ නිරෝගී මතුපරපුරක් ගොඩනැගීමේ වගකීම අපකාගේත් යුතුකමක් බැවිනි.

කාසල් වීදියේ කාන්තා රෝහලේ සෞඛ්‍යය ප්‍රවර්ධන සහ මහජන සෞඛ්‍යය ඒකකයේ බී.එම්.එල්.බස්නායක හෙදි සොයුරිය සමග සකස් කරන ලද ලිපියකි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article