අම්මේ මට කතාන්දරයක් කියලා දෙන්න.

Mother and daughter reading

පුංචි දරුවන් අත්තම්මලාට කිට්ටු වෙලා කථන්දර අහන්න අතීතයේදී දැක්වූයේ පුදුම කැමැත්තක්.අත්තම්මලාත් දරු මුණුපුරන් ලං කරගෙන කථන්දර කියලා දුන්නේ බොහොම කැපවීමෙන්. එය ඔවුන්ගේ ජීවිතයේ එක් රටාවක් වුණා.

නමුත් අද දවසේ අත්තම්මේ…එහෙම නැත්නම් අම්මේ මට කථන්දරයක් කියාගෙන උකුලට එන්නේ නැහැ. එහෙම එන්න තරම් ඔවුන්ට වෙලාවක් ඇත්තේ නැහැ. අම්මලා අත්තම්මලාටත් ගෙදර දොර වැඩයි…රූපවාහිනි වැඩසටහන් සමග තිබෙන සම්බන්ධතාවයයි නිසා දරු මුණුපුරන් සමග විවේකව කාලය ගෙවන්න අවසරයක් නැහැ.

අපි කථාන්දර අසන දරුවන් ගැන ඒ තරම් දුරට සුබවාදීව නොසිතුවට එයින් දරුවට ලැබෙන වාසි බොහොම ඉහලයි.අද පාසල් වයසේ දරුවන් මුල් කර ගෙන නැගෙන ලොකුම චෝදනාව වෙන්නේ මේ ළමයි කිසිම දෙයකට අවධානය දෙන්නේ නැහැ…ඒත් කථන්දර අහන දරුවන් මීට වඩා වෙනස්..කථාවක් කියා ගෙන යද්දී ඔවුන්ගේ හිතට නැගෙන අදහස නිසාම කථාව සමග දරුවන්ගේ අවධානය මොනතරම්ද වග අපට තේරුම් ගත හැකියි.

ඉතිං ඊට පස්සේ…

ඔන්න එකමත් එක රටක කියලා පටන් ගන්න කථන්දරය අවසාන වෙන තෙක්ම දරුවන් කථාවට සම්බන්ධ වෙනවා. කථාව අහන අතරවාරයේම හූ මිටි තියන්නත් ඕන…මේ නිසා කථාව සමග දරුවාගේ අවධානය මුල සිටම බැ‍ඳීමෙන් සිද්ධ වෙනවා. යම් තැනකදී ඉතිං ඊට පස්සේ මොකද වුනේ කියන ප්‍රශ්නය දරුවාගේ හිතට නැගෙන්නේ ඔහුගේ තිබුන අවධනයේ ප්‍රබලතාවය නිසයි.කතාව තව දුරට කියාගෙන යද්දි දරුවාගේ හිතේ මෙහෙම පැනයක් නැගෙනවා.

පුංචි කුමාරි ‍බේරාගන්න රජතුමාට තිබුනා නේද…

දරුවාගේ හිතේ විකල්ප අදහස් ඇති වෙනවා. මේ නිසාම දරුවා නොදැනම යම් යම් තීරණ ගැන අදහස් බාල කාලයේ පටන්ම ගොඩ නැගෙනවා. අද දරුවන්ට කිබෙන ලොකුම ගැටලුව වී තිබෙන්නේ කන බොන දෙය පවා මව්පියන්ගේ තීරණ මත සිද්ධ සමහර සන්ධිස්ථාන ගැන දරුවන්ගේ හිතේ ඇතිවෙන ගැටළු වලට ඔවුන්ම පිලිතුරු සපයා ගන්නවා.

මෙම විකල්ප විසඳුම් සොයන විට දරුවන්ගේ නිර්මානශීලී සිතුවිලිත් ඉබේටම පෝෂණය වෙනවා. නිර්මානශීලිත්වය එක රැයකින් ගොඩ නගන්න බැහැ. එය ජීවිතයෙන්ම පෝෂණය ලබන්න අවශ්‍යයි. කථාන්දරවලට හොඳින් සවන්දෙන දරුවන් තුළ රසභාවයන් ගොඩ නැගෙන නිසාම ඔවුන්ගේ ජීවිතයට නිර්මාශිලිත්වය අමුතුවෙන් එන්නත් කළ යුතු නැහැ.

මමත් ආසයි වීර කුමාරායා වගේ වෙන්න

අතීතයේදී දරුවන්ගේ ජිවිතය වෙනුවෙන් වටිනා ආදර්ශ ලැබුනේ කතාන්දරවලින්. ගැමුණු කුමාරයාගේ දස මහ යෝධයෝ ගැන, විහාරමහා දේවිය වැනි චරිත විතරක් නොවෙයි කීකරු දරුවන්ට ලැබෙන හොඳ විපාක ගැනත් අපූරු ආදර්ශ ලබා දුන්නා. බොරුවට කොටියා ආවා කියලා ගම රවටන ලද දරුවා කොටියාට බිලිවුන හැටි අහන දරුවාගේ හිතේ එහි විපාක ගැන අදහස් ගොඩ නැගෙනවා. මේ දේ නරකයි…මේ දේ හොඳයි යන අවවාද වලට වඩා කතන්දර දරුවාගේ හිතට සමීප වුණා.

එදා මිනිසුන්ගේ ජීවිත සමග සම්බන්ධ වුන කතන්දර කලාව ගැන අද බොහොම වටිනාකම් ගොඩ නැගිලා තිබෙනවා. මෑතකදී සිදුකරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙන්නේ කතාන්දර මගින් දරුවන්ගේ අධ්‍යාපනයට 87 % ත පිටුබලයක් ලැබෙන බවයි. මේ නිසා අද ලෝකය පුරා කතන්දර කලාව ගැන බොහොම ප්‍රශංසාවෙන් කතා කරනවා. ඒත් මොනතරම් හිතකර ප්‍රතිඵල ලැබුනත් කාර්යබහුල ජීවිතය නිසාම කතාන්දර අහන්නත් කියන්නත් අද වෙලාවක් නැහැ.අධ්‍යනයට සම්බන්ධ උදවියගෙන් 13% ක්ම කියා සිටියේ දරුවන්ට කථාන්දර කියා දෙන්න ඔවුන්ට වලාවක් නැති බවයි. නමුත් අධ්‍යනය සිදු කරන ලද පර්යේෂකයන් කියා සිටියේ සතියකට එක් දිනයක්වත් මේ වෙනුවෙන් උපයා ගත්තොත් දරුවන් වෙනුවෙන් ඉතා හිතකර වාතාවරණයක් ගොඩ නැගෙන බවයි.

තම දරුවන් වෙනුවෙන් කතාන්දර කියා නොදෙන මව්පියන් වුනත් කියා සිටියේ ඔවුන්නම් බාල කාලයේදී කතාන්දර අසා රස වින්දනයක් ලබා ගත් බවයි.

එහෙමනම් ඔවුන්ගේ දරුවන්ට කතාන්දර කියා නොදෙන්නේ…

අද විද්‍යුත් නාලිකා ඉතා ප්‍රබලයි. ඒ වගේම විසිතුරුයි.දරුවන් වඩාත් කැමැත්තක් දක්වන්නේ මේ නාලිකාවන් සමග සම්බන්ධ වෙන්නයි. ඔවුන්ට ඒ වෙනුවෙන් පහසුකම් නිවසේම තිබෙනවා.

දරුවන් බලන කියන දේ ගැන පසුවිපරම් කරන්නත් බැහැ.

අද දරුවන් තමන්ට ගැලපෙන දෙය සහ නොගැලපෙන දෙය අතර වෙනස තෝරා ගන්න දන්නෙත් නැහැ. ඒවා තෝරා දෙන්න මව්පියන්ටත් අවස්ථාවක් නැහැ. මේ නිසාම දරුවන් තමාට නොගැලපෙන දෙයට දක්වන නැඹුරුතාවය ඉහලයි. ඒත්…වැඩිහිටියෙක් කියා දෙන කතාන්දරයකදී ඔවුන් ඒ ගැන සීමාවන් පනවා ගන්නවා. වෙන දෙයක් තබා නින්දට යන වේලාවට හිතට බිය ගෙන දෙන කතාන්දරයක්වත් දරුවන්ට කියා දුන්නේ නැහැ. ඒ වෙලාවට හිත නිවෙන කතාවක් කියලා දුන්නේ දරුවා හීනෙන්වත් බය වීම හොඳ නැති නිසයි.එදා දරුවන් හැම දෙයම මව්පියන්ගෙන් ඉගෙන ගත්තා. අද තොරතුරු සන්නිවේදන තාක්ෂනයේදී දරුවන් මව්පියන්ට වඩා ඉදිරියෙන්. මේ නිසා ඔවුන් නොමග යන රටාව මව්පියන්ට තේරුම් ගැනීමත් අසීරුයි.

ඒත්…මනෝ විද්‍යාව නොදැන හිටියත් එදා උදවිය අත්දැකීමෙන් ලබා ගත් පන්නරය මහත් ආශ්චර්යක්. අද දරුවන් නන්නත්තාර වීම ගැන අපි චෝදනා කලාට ඒ පිටුපසින් තිබෙන හේතු ගැන තවමත් දන්නේ නැහැ. මේ වගේ සරල රටාවන් මගින් එදා දරුවන්ගේ හිතේ සියුම් තැන් බොහොම සීරුවට වැඩිහිටියන් තේරුම් ගත්තා. අදටත් අපි  මේ වෙනුවෙන් ප්‍රමාද නැහැ.

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here