දරුවන් වෙත මව්පියන්ගේ පාට කණ්නාඩි

parents_love

හා…හා ඔය බිත්තරය මල්ලිට තියන්න….දෝනි බිත්තරයට අත තියන විටම අම්මා කෑ ගැහුවේ මහ විනාශයකට ඇය මුල පිරුවා වගෙයි…

ඇයි …? මං කෑවොත් අජීර්ණ වෙයිද…? දෝනි ඇහුවා

මල්ලි සෙල්ලම් කරනවා… ඇඟට හයි හත්තිය එපායැ……අම්මාගේ උත්තරය වුණා.

එතකොට මට ඇඟට හයිය එපා….දෝනි කිව්වා.

එකටෙක කියාගෙන එන්න එපා…අම්මා කිව්වත් දෝනි බත් පිඟාන පැත්තක තියලා ගියෙ කුටු කුටු ගගා කියවන අතරෙමයි.

ඇත්තටම මව්පියන් අතර දරුවන් වෙනුවෙන් එක එක පාට කණ්නාඩි අවශ්‍ය නැහැ. බොහොම මව්පියන් දරුවන් වෙනුවෙන් විවිධ මානයන් ගොඩ නගා ගන්නවා. පවුලේ බාලයා…ඉස් ඉස්සරින්ම දරු හුරතල් දැක්ක එකා… මේ විදිහට විවිධ වටිනාකම් ලබා දුන්නාම ඇත්තටම මොකද වෙන්නේ…

අම්මලාට මං වටින්නේ නැද්ද ….

බොහොම දරුවන් අතර මේ වගේ සිතුවිලි පහල වීම අමුත්තක් නොවෙයි. ස‍හෝදර ප්‍රේමය ගැන සාධාරණ සිතුවිලි දරුවන් අතර නැහැ. පුංචි වුනත් හිත්වල ආත්මාර්ථකාමී සිතුවිලි බොහොම හොඳින් පැලපදියම් වෙනවා. මේ පවුලේ දරුවන් දෙදෙනෙක් හිටියා. ලොකු දුවට අවුරුදු පහකට පමණ බාල මල්ලි වෙනුවෙන් අම්මා උනන්දු වෙනවාට ඇය කැමැත්තක් දැක්වුයේ නැහැ. දවසක් මල්ලිගේ නලලේ පොට්ටුවක් තියලා අම්මා ලොකු දියණියට මෙහෙම කිව්වා

බලන්න මල්ලි පොට්ටුව හොඳට තියාගෙන ඉන්නවා…ඔයාට එහෙම බැහැ…

ටික වේලාවක් ගියාම දියනිය අම්මා වෙතට ආවා…අන්න ඔයාගේ පුතා පොට්ටුව මකාගෙන.

අම්මා ගිහින් බලද්දි පුංචි දරුවගේ නලලේ පරාසයක් සීරිලා ලේ ගලනවා. අම්මා ඉදිරියේ මල්ලි නරකයි කියන්න දියණියට උවමනා වුන හින්දා ඇය පොට්ටුව හුරා දමලා…ඇත්තටම මෙතැන වැරැද්ද තියෙන්නේ ම්විපියන් අත බව අමතක නොකරන්න. එක් දරුවෙක් ඉස්මතු කරද්දි අනිත් දරුවන් අතර මේ විදිහට හිතෙනවා. අම්මාට … තාත්තාට… වටින්නේ මල්ලි එහෙම නැත්නම් අයියා….හෝ අක්කා …නංගි විතරයි. මාව ඇත්තටම වටින්නේ නැද්ද….

ඉතිං මාව ලෝකයට වටින්නේ කොහමද …..?


පවුල තුල දරුවාට වටිනාකමක් තිබෙන විට තමා මුල් කර ගෙන විශාල අභිමානයක් ඔවුන්ගේ හිතේ ඇති වෙනවා.මමමත් වටිනා චරිතයක් බව දරුවා හිතනවා. එම සිතුවිල්ල නිසාම දරුවාගේ හිතේ ඇති වෙන ධනාත්මක සිතුවිලි නිසා ජීවිතයට මුහුණ දීමේ ශක්තිය ඔවුන් තුල ඉබේටම ගොඩ නැගෙනවා. මේ නිසා දරුවාගේ ආත්මාභිමානය වෙනුවෙන් බාල කාලයේ පටන්ම ඔහු පිලිබඳව ලබා දෙන පිලිගැනීම ඉතා වටිනා මෙහෙයක් ඉෂ්ට කරනවා.

දරුවන් අතර විරසක බවක් ඇති වීම


පවුලක දරුවන් වෙනුවෙන් විවිධ වටිනාකම් මව්පියන් විසින් ගොඩ නගන විට ඔවුන් අතර නොහොඳ සිත් ගොඩ නැගෙනවා. අම්මාගේ පුතා…තාත්තාගේ දුව….යන පංගු කිරීම නිසා පුතා සහ දුව අතර හොඳ සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ. මෙම සිතුවිල්ලෙන්ම දිගින් දිගට කටයුතු කරන නිසා දරුවන් අතරත් එතරම් සුහදතාවයක් ඇති වෙන්නේ නැහැ. මේ තත්වයට දරුවා පත් කරන්නේ මව්පියන් විසින්ම බව අමතක කළ යුතු නැහැ.

 සමාජය විසින් දරුවන්ට ලබා දී තිබෙන වටිනාකම් ඇගැයීම


පෙරදිග සමාජය තුල කට ඇති පුතාට වගේම රුව ඇති දුවට වටිනාකම් ලබා දුන්නා. ඒ වගේම පුත්තු ඇත්තු වගේය යන සංකල්පය තදින්ම පවතිනවා.

“සිරිපාදේ වන්දවන්න හිස ඔලියල් බැඳලා….
සිරි මහ බෝ සාමිනෙ මං පිරිමි පුතෙක් පැතුවා…”

ආදි ලෙසින් සාහිත්‍ය තුල පවා පුතුන් වෙනුවෙන් පවතින වටිනාකම ඉහලයි. එහෙත් දුවක වුව, පුතෙකු වුව ඔවුන් මව්පියන්ට දරුවන්ම බව අමතක නොකල යුතුය. පිරිමි දරුවා මෙන්ම ගැහැණු දරුවා නිවසට ආලෝකයකි.

ගැහැණු දරුවාට පෝෂණය මොකටද …


ඇත්තටම මතු පරම්පරාව වෙනුවෙන් දරුවන් බිහි කරන යන්ත්‍රය ගැහැණු දරුවාය. නව යොවුන් කාලයේදි ඇයට අවශ්‍ය පෝෂණය නොලද විට බිහිවෙන දරුවන්ද දුර්වලයන් වන්නේය. මේ නිසා ගැහැණු දරුවාට අවශ්‍ය පෝෂණය ලබා දිම ගැන මව්පියන්ගේ අවධානය ඇත්තෙන්ම යොමු විය යුතුය.එය නොසකලකා සිටිය යුතු නැත. පිරිමි දරුවන්ට මව්කිරි දී අවසානයක් නැතැයි මව්පියන් කියන්නේ ඉතා සෙනෙහස් සිතින්ය. මේ සාධාරණත්වය ගැහැණු දරුවාටද ලබා දිය යුතුය.

නව යොවුන් වියේදි අවශ්‍ය යකඩ පෝෂණය ගැන වඩාත් අවධානය දැක්විය යුතුය.අතීතයේ පටන්ම සිංහල සංස්කෘතියේ ආහාර වෙනුවෙන් සුවිශේෂී වූයේ පවුලේ පිරිමින්ය. මුදුන් බත පමණක් නොව එලවළු , ව්‍යංජන පවා පිරිමි දරුවාට ලබා දුන්නා මිසක ගැහැණු දරුවන් වෙනුවෙන් එතරම් පිලිගැනීමක් තිබුනේ නැත. මේ තත්වය නිසාම පෙරදිග රටවල ගැහැණු දරුවන් නිරක්තය තත්වයට පත් වීමේ අවදානම ඉතා වේගයෙන් ඉහළ නගින්නට විය. එහෙත් මව්පියන් නිතරම තල්පනා කරනු ලැබුවේ ගැහැණු දරුවන් වෙනුවෙන් එතරම් පෝෂණයක් අවශ්‍ය නොවන බවයි.නමුත් දරුවා නම් ලිංග භේදයක් අවශ්‍ය නැත ඔවුන් දරුවන්මය. සෙනෙහස තුල වෙනස් කම් අවශ්‍ය නැත.

අපිටත් දවසක් එන්නේ නැතෑ


අද බොහෝ පවුල්වල වියපත් මව්පියන්ට සැලකීමේදී නැගෙන චෝදනාව වන්නේ අම්මා තාත්තා පුංචි කාලයේ පටන්ම වැඩි සැලකිලි අක්කාට එහෙම නැත්නම් අයියාට…බැරි ගැහෙද්දි අපි…මෙවන් තර්ක විතර්ක තුල වියපත් මව් පියන්ට නොසලකන තැනට හේතු පාඨ ගොඩ නගා ගනිති. ඇත්තටම මෙහිදි ඔවුන් වෙනුවෙන් නිමිති සපයා ඇත්තේ ඔබ නොවේද….? ඔබ එකම හැන්දෙන් දරුවන් සියළු දෙනාටම සංග්‍රහ කලේ නම් අද මෙවන් චෝදනාවන් ඔබ මුල් කර ගෙන ගොඩ නැගෙන්නේ නැත.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here