ඔබේ දරුවාට සෙල්ලම් කිරීමට නිදහස දෙන්න

children's are playing

“අලියන්ටයි ළමයිටයි දගලන්නටමයි ඕනෑ” කියලා කියමනක් තියෙනවා. ඇත්තටම දරුවන් හරිම ක්‍රියාශීලියි. පාසලේදීත් නිවසේදීත් හෝ කුමන තැනක වේවා දරුවන් එකතු වුනාම සෙල්ලම් කරනවා. එය දරුවන්ගේ ස්වභාවයයි. දරුවෙක් ක්‍රියාශීලිව කටයුතු කරන විට එය දරුවන්ගේ බුද්ධි වර්ධනයට ප්‍රබල බලපෑමක් සිදු කරනවා. ඇතැම් දරුවන් තරමක් ක්‍රියාශීලි මද ගතියක් දක්වනවා. ඔවුන් හැමවෙලාවේම හුදෙකලා වෙන්නයි උත්සහා කරන්නේ. යාලුවන්ගේ ඇසුර ප්‍රිය කරන් නෑ. නමුත් දරුවන් කුඩා කල සිටම ක්‍රියාශීලි කටයුතු වලට යොමු කිරීම හරිම වැදගත්.

මනෝ විද්වතුන්ගේ අදහස වන්නේ පුද්ගලයා පරිනතියේදී දක්වන බුද්ධියෙන් 50%ක් අවුරුදු 04වන විටත්, තවත් 30%ක් වයස අවුරුදු 7-8 පිරෙන විටත් සම්පුර්ණ කරනු ලබන බවයි. එම නිසා මෙම වයස් සිමාව දරුවෙකු ගෙවන වැදගත් කාල පරිච්ඡේදයකි. මේ කාල පරාසයන් තුලදී විවිධ දේවල් ප්‍රශ්න කරන්න, භාෂාව හසුරුවන්න, හොදින් ඇහුම්කම් දෙන්න දරුවන් ස්‌වභාවයෙන්ම හුරු වෙනවා.

දරුවන්ගේ බුද්ධි වර්ධනයේ හොදම කාලය මේ නිසා ක්‍රීඩාවට විවිධ ක්‍රියාකාරකම් වලට දරුවන් යොමු කිරීම ඉතාමත් වැදගත්. අද වෙනකොට දරුවන් කුඩා කාලයේ සිටම අමතර පන්ති විශාල සංඛ්‍යාවකට සහභාගී වෙනවා. ඒ නිසාම දරුවන්ට තවත් දරුවන් සමග සෙල්ලම් කරන්න තිබෙන කාලය, බාහිර ක්‍රියාකාරකම් වලට යොමු වෙන්න තිබෙන කාලය මග හැරී යන්න පුළුවනි. ඒ වගේම මේ සදහා රුපවාහිනීයද බලපාලා තිබෙනවා. පාසැල අවසන් වී එන දරුවන් හවස් වරුවම ගත කරන්නේ රුපවාහිනීයේ කාටුන් බලමිනි. ඒ නිසා ඔවුන් අමතර ක්‍රියාකාරකම් වලට යොමු වන්නේ නෑ. මෙමගින් දරුවන්ගේ පරිකල්පන ශක්තිය හීන වෙනවා. ඔවුන්ගේ දැනුම එකතැනකට පටු වෙනවා.

රූපවාහිනී කාටුන් මගින් දරුවන්ගේ පරිකල්පන ශක්තිය වැඩි වන්නේ නෑ. ළමයින්ට සුදුසු ළමා නිර්මාණ අද ලංකාවේ බිහි වන්නේ නැති තරම්. එම නිසා දරුවා හැකි තරම් රූපවාහිනීයෙන් ඈත් කර තබන්න. රූපවාහිනීයට දරුවා මිඩංගු කරන කාලය අමතර ක්‍රියාකාරකම් වලට යොමු කරන්න.

කුඩා දරුවන් සෙල්ලම් කිරීමට, ක්‍රීඩා කිරීමට ඉතාමත් කැමතියි. නමුත් දෙමාවුපියන් දරුවන්ගේ මේ ආශාවන් වලට ඉඩ දෙන්නේ නෑ. ඔවුන් පොත් වලට හිර කර තබනවා. ඔබේ දරුවා සෙල්ලම් කරනවානම් එය වලක්වන්න එපා. මන්ද සෙල්ලම් කිරීම, ක්‍රීඩා කිරීම මගින් දරුවන්ගේ බුද්ධි වර්ධනය වන බව අද වන විට පර්යේෂන මගින් සොයා ගෙන තිබෙනවා.

ක්‍රීඩාව සහ බුද්ධි වර්ධනය අතර ඇති සම්බන්ධතාවය ගැන කරන ලද පර්යේෂණ මගින් හෙළි වී ඇත්තේ නව හැකියාවන් ඉස්මතු වීමත්, නව දැනුමක් ඇති වීමත්, මතක ශක්තිය වැඩි දියුණු වීමත්, පරිකල්පනය වැඩි දියුණු වීමටත් ක්‍රීඩාවන් සහ බාහිර ක්‍රියාකාරකම් උදවු වනු ලැබේ.

පර්යේෂකයින් පෙන්වා දෙන්නේ යම් ක්‍රියාවක් දින 30කට වරක් කිරීමෙන් නැවත මතකයට ගැනීමේ හැකියාව 10%කින් වැඩි කරන බවයි. එසේම මෙය දින 30කට 06 වරක් කිරීමෙන් 90%ක් දක්වා වැඩි කර ගත හැකි බවයි.

මේ නිසා අපි දරුවා බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කල යුතුය. අද දරුවන් රෝගී දරුවන් බවට පත් වීමටත් දරුවන් බාහිර ක්‍රියාකාරකම් වලින් ඈත්වීම බලපාලා තිබෙනවා. කෘතීම ආහාර වලට පෙළඹී සිටින දරුවන් ඇග වෙහෙසන්නේ නැතිවිට ස්වාභාවයෙන්ම රෝග වලට ගොදුරු වෙනවා. දෙමාවුපියන් මෙයට වගකිය යුතුයි. ඒ නිසා ඔබේ දරුවා බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කරන්න. එය දරුවාගේ බුද්ධි වර්ධනයට හේතුවනු ලැබේ.

හැමෝම ඇයට කියන්නේ මාලි කියලා. දැනට ඇය කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී පාලී මණ්ඩපයේ ජනමාධ්‍ය විශේෂවේදී උපාධිය හදාරමින් සිටිනවා. මේ ඇගේ අවසාන අවරුද්දයි. අවරුදු හතරක් තිස්සේ නිදහස් ජනමාධ්‍යවේදිනියක් හැටියට විවිධ මාධ්‍ය ආයතනවල වැඩ කරමින් සිටිනවා. මේ වන විට ඇය “Young Media” සඟරාවේද වැඩ කරමින් සිටිනවා. ඇය සැමවිටම කාර්යබහුලයි.හැම මොහොතක්ම කුමන හෝ වැඩක යෙදී සිටිනවා.කාලය පිළිබඳව ගොඩාක් සැලකිලිමත් වෙනවා.නිතරම ඇය පුස්තකාලය පරිශීලනය කරනවා.මොකද වීධ්‍යාර්තයෙක් හැටියට දැනුම නිතරම අලුත් කර ගැනීම් වටිනා බව ඇය විශ්වාස කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here