- Advertisement -

කිරිදත් මෝදු වූ දා සිටම ඇරඹිය හැකි පූර්ව ළමාවිය දන්ත ව්යසනය (Early childhood caries)

-

දස මසක් පුරා තම කුස තුළ වැඩෙන කිරි කැටියා දැක ගන්නට මවක් ලක ලෑස්තිවිය යුතු ආකාරය පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබාදීමේදී මවගේ මුඛ සෞඛ්‍ය පිළිබඳවත් සැළකිලිමත් විය යුතු බවට ගර්භණී සමය පුරා ඔබව දැනුවත් කරන්නට ඇති. එයට හේතුව වන්නේ මවගේ අයහපත් මුඛ සෞඛ්‍ය තත්ත්වය, ළදරුවාගේ මුඛ සෞඛ්‍යය කෙරේ බලපෑම් ඇති කළ හැකි වීමයි. ළදරුවා බිහිවන මොහොත වන විට මවකගේ මුඛ සෞඛ්‍ය උපරිම හොඳ තත්ත්වයේ පැවතිය යුතු යැයි පැවසෙන්නේ එබැවිනි.

සෑම මවක්ම තම ළදරුවාගේ පිරිසිදු බව, පෝෂණය ආදී දේ පිළිබඳව පූර්ණ අවධානය යොමු කළද ඒ හා සමානවම වැදගත් වන ළදරුවන්ගේ මුඛ සෞඛ්‍ය පිළිබඳව යොදවන අවධානය පිළිබඳව අද වන විට පවතින්නේ එතරම් සතුටුදායක තත්ත්වයක් නොවේ. අද වන විට ළමාවියේ දරුවන් වැඩි කොටසක් පූර්ව ළමාවිය දන්ත ව්‍යසනය (ECC) නම් වූ තත්ත්වයට ගොදුරු වීම එයට කදිම නිදසුනයි. ළදරුවෙකුගේ පළමු කිරිදත මෝදු වූ දිනයේ පටන්ම මව්වරුන්ගේ විශේෂ අවධානය යොමු වීම ඉතා වැදගත් බව පැවසූවේ එබැවිනි.

- Advertisement -

ළදරුවෙකුගේ දත් මෝදු වීමේ කාල සීමාව එක් එක් දරුවාගෙන් දරුවාට වෙනස් වේ. එනම් ඇතැම් දරුවන්ගේ මාස හය සම්පූර්ණ වූ පසුව දත් මෝදුවීම ඇරඹුණ ද ශ්‍රී ලංකාවේ ළදරුවන් වැඩි කොටසකගේ දත් මෝදු වීම ඇරඹෙන්නේ මාස නවය සම්පූර්ණ වීමත් සමගයි. එසේම ඇතැම් දරුවන්ගේ වයස අවුරුද්ද සම්පූර්ණ වූ පසුවද දත් මෝදු වීම ආරම්භ විය හැකිය. කුමන වයස් සීමාවේදී දත් මෝදුවීම ඇරඹුණද පළමු කිරි දත මෝදු වූ දිනයේ පටන්ම ඒ සඳහා ආරක‍ෂාව සැපයීම මවකගේ වගකීමයි.

ඔබ දන්නවාද ?

දත් දියවී යාම ඇරඹෙන්නේ සීනි සහිත ආහාර මුඛයේ තැම්පත් වීම නිසා ලැක්ටො බැසිලස් ( lacto bacillus), ස්ටේ‍රප්ටොකොකස් (streptococcus) යන බැක්ටීරියා මගින් ලැක්ටික් ඇසිඩ් නිපදවෙන නිසාය. එසේ නිපදවෙන ලැක්ටික් ඇසිඩ් මගින් දතේ බාහිරයේ ඇති එනමලයේ සිට දත තුළට දියවී යාම දන්ත ව්‍යසනය ලෙස හැඳින්වේ. පළමු දත මෝදු වූ දිනයේ පටන් මාස 71ක් (දළ වශයෙන් අවුරුදු හයක් පමණ) සම්පූර්ණ වන තෙක් දරුවන්ට ඇති වන දත් දිරා යාමේ මෙම තත්ත්වය පූර්ව ළමාවිය දන්ත ව්‍යසනය ලෙස හැඳින්වේ.

පූර්ව ළමාවිය දන්ත ව්‍යසනය (Early childhood caries) දත් මෝදු වූ කාලයේ පටන්ම ආරම්භ විය හැකි වුවද එහි ලක‍ෂණ පිටතට පෙන්නුම් කිරීම දැකගත හැකි වන්නේ මස කිහිපයක් ගතවීමෙන් පසුවය. මේ තත්ත්වය පළමුවෙන්ම බාහිරයට දිස්වන්නේ උඩු ඇන්දේ ඉදිරි පෙළ දත්වල පිට පැත්තේනි. රෝගී තත්ත්වය බරපතල වෙත්ම යටි ඇන්දේ ද දත්වල දැකගත හැකි වේ.

පූර්ව ළමාවිය දන්ත ව්‍යසනය (Early childhood caries) සඳහා මූලිකවම බලපානනේ රාත්‍රී නින්දේදී මව්කිරි/පිටිකිරි ලබාදීමයි. දත් දිරායාම සඳහා සිරුර තුළින් දක්වන ප්‍රතිරෝධයක් කේඨයේ (කේඨයේ අන්තර්ගත භාෂ්මිකතාවය) අන්තර්ගත වුවද අවධිව සිටින විට මෙන් නින්දේදී මුඛය තුළ කේඨය ස්‍රාවය සිදුනොවන නිසා සෑදෙන අම්ල නිෂ්ක්‍රීය කළ නොහැක. එවිට කිරි පානය කොට නින්දට වැටුණ ළදරුවාගේ මුව වියළී යන අතරම කිරිවල අන්තර්ගත වූ සීනි දත් මතුපිට තැම්පත් වී පෙර සඳහන් කළ පරිදිම ලැක්ටික් ඇසිඩ් නිපදවී දත් දිරායාම ආරම්භ වේ.

පූර්ව ළමාවිය දන්ත ව්‍යසනයේ රෝග ලක‍ෂණ

  • දත් බාහිරින් තනි සුදට හුරු ලප ඇති වී ඒවා දුඹුරු පැහැයට හැරේ
  • දුඹුරු පැහැ ලප කැඩී බිඳී යයි
  • දත් කැඩී ගොස් කුහර ඇති වේ

වයස අවුරුදු හය පමණ වන විට දරුවන්ගේ කිරිදත් හැලී ගොස් ස්ථීර දත් පැමිණයද ඒ තාක් දරුවෙකුගේ නිරෝගී දත් දෙපළක් පැවතීම ඉතාම වැදගත් වේ. ආහාර අනුභවයට, සුන්දරත්වය රැකගැනීමට පමණක් නොව වචන නිවැරදිව උච්ඡාරණය කිරීමටත් දරුවාගේ පෞරුෂත්වයටත් නිරෝගී දත් දෙලළක් පැවතීම අත්‍යවශ්‍යය. එබැවින් කිරිදත්වල රැකවරණය පිළිබඳව මව්වරුන් පූර්ණ අවධානය යොමු කිරීම වැදගත් වේ.

පූර්ව ළමාවිය දන්ත ව්‍යසනය (Early childhood caries) තත්ත්වය කල්තියා හඳුනා ගනිමින් වෛද්‍ය උපදෙස් කරා යොමු වීමට නම් මව්වරුන්ට ඒ පිළිබඳව දැනුවත් බවක් තිබිය යුතුමය. සතියකට වරක් ස්වභාවික ආලෝකය හොඳින් ඇති ස්ථානයකට දරුවා රැගෙන මුඛය පරීක‍ෂා කළ යුතු අතරම දත්වල ලප, අඳුරු පැහැවීම් හෝ යම් වෙනසක් දිස්වේ නම් තත්ත්වය කල්තියා හඳුනා සුදුසුකම්ලත් දන්ත වෛද්‍යවරයෙක් හමුවී ඒ අවස්ථාවේ සිටම පාලනය කිරීම සඳහා මව්වරුන් දැනුවත් විය යුතුය.

කල් තබා දන්ත වෛද්‍යවරයෙකු හමුවීම තුළින් දත්වල කුහර ඇති වීමට පෙර තත්ත්වය පාලනය කිරීමට ඔබට අවස්ථාව සැලසේ. ෆ්ලොරයිඩ් අධි සාන්ද්‍රණයක් සහිත ජෙල්, වානිෂ් වැනි ප්‍රතිකාර ක්‍රම මගින් දත් නරක්වීම වළක්වා ගත හැකිය. නමුත් දරුවා වයසින් අඩු නම් එනම් මෙවැනි ප්‍රතිකාර සඳහා දරුවා නියමිත වයස් සීමාවේ නොමැති නම් සුදුසු වයස තෙක් ප්‍රතිකාර පමා කොට නිසි වයසේදී ප්‍රතිකාර ක්‍රම ආරම්භ කළ හැකියි. මන්ද කුඩා දරුවන්ගේ මුඛයේ ආලේපනය කරන ඛෙහෙත් වර්ග කෙළ සමග මිශ්‍ර වූවිට ඒවා පිටතට දැමීමට කුඩා දරුවන්ට අවබෝධයක් නොමැති නිසාය. මෙම ප්‍රතිකාර ක්‍රම එක් එක් දරුවාගේ රෝග තත්ත්වය අනුව වෙනස් වේ.

සෑම දරුවෙකුගේම පළමුව ඇති වන කිරිදත් 20 හැලී යන අතරම ඊට පෙර දත් ගැලවීම අද වන විට සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. ඇතැම් දරුවන්ගේ දත් දිරාපත් වී කැඩී බිදී ගිය පසුව ඇති වන මුවහත් පෘෂ්ඨයන් නිසා සිදුවිය හැකි තුවාල වළක්වා ගැනීමට, කිසිසේත්ම පිරවීමක් රැඳවිය නොහැකි දත් ඇති අවස්ථාවල මෙන්ම නිතර නිතර සැරගෙඩි ඇතිවීම වැනි වූ අවස්ථාවලදී දත් ගැලවීම සිදුකරයි. අතරින් පතර දත් ගැලවීම නිසා හනුවේ කෙළවර ඇති ස්ථීර දත් එනම් හක්කේ කෙළවර මතු වූ ස්ථීර දත් ඉදිරියට පැමිණීම හේතුවෙන් අදාල ස්ථානයට නියමිත ස්ථීර දත් මෝදුවීමට හනුවේ ඇති ඉඩ කඩ ප්‍රමාණය අවම වී නල දත් ඇති විය හැකි බැවින් ඉහත දැක්වූ අවස්ථාවකදී හැර දරුවන්ගේ දත් ගැලවීම සිදු නොකරයි. ඒ නිසාම මව්වරුන් කිසිදු විටෙක දතක් ඉවත් කිරීමට සිදුවන තෙක් සිටීම නුසුදුසු බව තරයේ සිහිතබාගන්න.

පූර්ව ළමාවිය දන්ත ව්‍යසනයෙන් ඔබේ දරුවා රැකගන්නට නම්,

  • නින්දේ පසුවන ළදරුවාට මව්කිරි/පිටිකිරි ලබාදුනහොත් ලබා දෙන සෑම වාරයකදීම තෙත රෙදි කැබැල්ලකින් දත් පිසදමන්න. වයසෙන් වැඩෙත්ම කිරිවාර ගණන අඩු කළ හැකි සේම කිරි ලබාදීමෙන් අනතුරුව සූප්පුව සහිත බෝතලයකින් ජලය ලබාදීමට ඔබට හැකියි.
  • දරුවා වයසින් වැඩෙත්ම රෑ නින්දෙන් මව්කිරි/පිටිකිරි ලබාදීම යම් තාක්දුරට පාලනය කරන්න. (පෙර පාසැල් විය ආසන්න වන විට බොහෝ දරුවන් නින්දෙන් කිරි බීම අත්හැර දමයි)
දරුවන්ගේ දත් පිරිසිදු කිරීම

දරුවාගේ පළමු කිරි දත මෝදු වූ දිනයේ සිටම දත් පිරිසිදු කිරීම අරඹන්න. මුල්ම අවධියේදී වියළි පිරිසිදු ගෝස්/රළු රෙදි කැබැල්ලක් උපයෝගී කරගනිමින් පළමු දත පිරිසිදු කිරීමට මව්වරුන්ට හැකියි. ඇඟිල්ලේ රඳවන බුරුසුව භාවිත කිරීමේ ප්‍රතිඵල විරහිත අතරම දරුවා වයසින් වැඩෙත්ම ඒ සඳහා ළමා දත් බුරුසුවක් භාවිත කරන්න.

දරුවන්ට දන්තාලේප

දරුවන් සඳහා සුදුසු දන්තාලේප වර්ග බටහිර රටවල කොතෙකුත් තිබුණද ශ්‍රී ලංකා වෙළඳ පොළේ දරුවන්ට සුදුසු තත්ත්වයේ දන්තාලේප තිබේද යන්න සැක සහිතය. එබැවින් නිවසේ ඔබ භාවිත කරනු ලබන ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයම දරුවාගේ දත් බුරුසුවේ පළමු කෙඳි පොකුරේ යන්තම් තවරා, දත් මැදීමට ඔබට හැකියි. නමුත් දරුවාට එය ගිලීමට නොදෙන්නට වගබලා ගත යුතුය. මන්ද එසේ වුවහොත් දරුවාගේ ස්ථීර දත් මත ෆ්ලෝරයිඩ් ලප හටගැනීමේ අවදානමක් ඇති විය හැකිය. දරුවා වයසින් මුහුකුරායත්ම දන්තාලේප ප්‍රමාණය ටිකෙන් ටික වැඩිකිරීමට ඔබට හැකියි. පෙර පාසැල් වයසේ දරුවෙකුට ලබා දිය යුත්තේ මුංඇටයක් තරම් වූ ප්‍රමාණයකි.

මව්වරුනි,
  • දන්ත වෛද්‍යවරයෙකු හමුවී මාස හයකට වරක්වත් දරුවන්ගේ දත් පරීක‍ෂා කරවන්න
  • දරුවන්ගේ පැණි රස පාව්ච්චිය අවම කරන්න. (බිස්කට්, කේක්, චොක්ලට්, ටොෆි, චුයින්ගම්, පෙබල්ස්, ස්මාර්ටීස්, මුරුක්කු, බයිට්, පැණි බීම වර්ග, මයිලෝ, ටිපි ටිප්, රස්ක් වර්ග, අයිස්ක්‍රීම්, අයිස් පැකට්)
  • ළදරුවාට පිටි කිරි අත්‍යවශ්‍ය නම් සීනි නොදමා ලබාදෙන්න
  • දවසට දෙවරක් වරකට විනාඩි දහයක් දොළහක් බැගින් දරුවාගේ දත්මැදීම සිදුකරන්න
  • පැණි රස ආහාර ගත් පසු අඩුතරමේ ජලය යොදා මුඛය සේදීමට යොමු කරන්න
  • අනිවාර්යෙන් රාත්‍රී නින්දට පෙර දත් මදින්නට දරුවා පුරුදු කරවන්න
  • උදේ හා සවස තේ වේලාවට බිස්කට්/කේක් වර්ග ලබාදීමෙන් වළකින්න
දන්තශල්‍ය වෛද්‍ය පුබුදු ලියනගේ
බාහිර රෝගී අංශය
දන්තායතනය, කොළඹ

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article