ඔබත් දරුවට දඬුවම් කරන මවක්ද ?

mather_blame_child

හැඳි නොගා හදන හොද්දයි ගුටි නොගහ හදන දරුවයි දෙදෙනාම එතරම් ගුනාත්මක නොවන බව කිව්වත් පමණට වඩා හොද්ද හැදි ගෑ විට එය නරක් වෙන බවත් අමතක කළ යුතු නැහැ. දරුවන් ගැනත් කියන්න වෙන්නෙත්  මේ කරුණමයි. අපි දරුවෙකුට දඬුවමක් ලබා දෙන්නේ ඔහු යහමගට යැවීමටයි. ඒත් සමහර අම්මලා දරුවන්ට දඬුවම් කිරීමේදී පවා කිසිදු සාධාරණත්වයක් නැහැ.

බොහෝ දෙමව්පියන් දරුවන්ට දඩුවම් කරන්නේ තමන්ගේ ආවේග පිට කිරීමේ මාර්ගයක් විදිහටයි. සැමියා බිරිඳ සමග ඇති වෙන නොහොඳ නෝක්කාඩු වලදී අතරමැදියා වෙන්නේ දරුවන් බව බොහෝ දෙනාගේ අදහස් වලින්ම පිටවෙනවා.සේරම තරහ මං පොඩි එකා පිටින් යැව්වා…මේ වගේ ඔබ හිත නිදහස් කර ගැනීමට දරුවා ඉත්තෙක් කර ගැනීම ඉතාම වැරැදි සහගත කටයුත්තක්. දරුවන්ට දඩුවම් ලබා දිය යුත්තේ ඔහු යහමගට යොමු කිරීමට මිසක ඔබේ ආවේග පිට කිරීමට නොවන බව තරයේ මතක තබා ගන්න.

දඬුවම් කිරීමේදී වරදේ ස්වභාවය ගැනත් අවධානය යොමු කරන්න. ඇතැම් අවස්ථාවලදී ඉතාම සුලු වරදට පවා දරුණු අන්දමින් දඬුවම් දෙන අවස්ථා තිබෙනවා. අත්වැරැද්දකින් යමක් බිදුන අවස්ථාවලදී ඒ ගැන අවවාදයක් ලබා දෙනවා මිසක දඬුවම කිසිදු ලෙසකින් ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නැහැ. ඒ වුනත් ප්‍රවේසමෙන් කටයුතු කිරීම ගැන අවවාද ලබා දීම මෙවන් අවස්ථාවකදී ප්‍රයෝජනවත් වෙනවා.

දඬුවම් ලබා දෙන විට එය දරුවාට දරන්නට තරම් හැකියාවක් ඇත්දැයි මදක් හිතන්න. අද දවසේ දෙමව්පියන් දරුවන්ගේ හිත් හඳුනන නිසාම‍ ඒ තරම් දරුණු වද බන්ධන දරුවන්ට ලබා දෙන්නේ නැහැ. අතීතයේදී බොහෝ දෙමව්පියන් දරුවන්ට නැවත ඒ දෙය නොකරන ලෙසට මතක හිටින දඬුවම් ලබා දුන්නා. මේවා ඉතාමත් දරුනුයි. ඇතැම් අවස්ථාවලදී ගස බැඳ තැලීම, දිමි ගොහොටු කඩා දැමීම වැනි අමානුෂික අන්දමේ දඬුවම් ලබා දුන්නා. මේ වද වේදනාවන් ඔවුන් ඉවසා ගෙන හිටියත් ඒවායේ පසු විපාක ඉතාම දරුණුයි. පුංචි හිත්වල අම්මා , තාත්තා ගැන ඇති වෙන්නේ වෛරයක්. මේ වෛරය සමග දරුවන් උස් මහත් වෙනවා. ගට්ටනය පටන් ගන්නේ එතැනදීයි. අපිට පුංචි කාලේ හරකුන්ට වගේ ගැහුවා….ඔවුන් කියනු ඇත. ඒ සියල්ල ආදරේ මුල් කර ගෙන කළ කී දේ බව කිව්වත් දරුවන්ට ඒ ගැන විශ්වාසයක් නැත. ඒ තරමටම ඔවුන්ගේ හිත් පෑරී අවසානය.

බොහෝ දෙමව්පියන් එදා දරුවන් ප්‍රසිද්ධියේ අපහාසයට පත් කිරීමට යොමුව සිටියේ මේ අන්දමින් ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්වුන විට නැවත එම වරදට යොමු නොවනු ඇතැයි සිතාය. එහෙත් එම අදහස නිවරැදි නැත. ප්‍රසිද්ධියේ සම වයස් කණ්ඩායම් ඉදිරියේ අවමානයට පත් වුන විට දරුවාගේ ආත්මාභිමානය මුලුමනින්ම බිද වැටෙනවා. නැවත සමාජය ඉදිරියේ මුහුණ දෙන්නේ කෙසේද යන ගැටළුවට දරුවා පත් වෙනවා. ගෙදර ගින්දර පිටතට දිය යුතු නැතුවා සේ දරුවාගේ වැරැදි නිවරැදි කි ගැනීමට යැයි සිතා ඔවුන් අවමානයට පත් කිරීම එතරම් යෝග්‍ය දෙයක් නොවේ.දරුවාටත් ආත්ම ගරුත්වයක් ඇත. වයසින් කුඩා වුනත්, ඔබේ අණසක යටතේ වැඩුනත් ඔවුන්ටත් යම් අභිමානයක් ඇත. මේ අභිමානය උපන්ගෙයිම බිද දැමිය යුතු නැත.

වරදකට දඬුවම කිරීමෙන් අනතුරුව නැවත නැවත දඬුවම් කිරිමෙන් වලකින්න. ඇතැම් දෙමව්පියන් දඬුවම අවසාන කරන්නේද නැත. කායික ලෙසින් දඬුවම් කොට නැවත නැවත දොස් නගමින් දරුවා දැඩි සේ හෙලා දකකින්නට පටන් ගනිති. මෙය නොකල යුතු කටයුත්තකි. වරදට දඬුවම් කිරීමෙන් පසුව නැවතුම් තිතක් එම අවස්ථාව වෙනුවෙන් තබන්න. විටින් විට දරුවාට පීඩාකාරී ලෙසින් හැසිරීම නොකල යුතුය.

දරුවාට දඩුවමක් ලබා දීමෙන් පසුව නිවසේ සියළු දෙනාම ඒ පිලිබදව එක් පැත්තක් නොගන්න. දඬුවම දුන් තැනැත්තා සමග එක්ව විවේචනය නොකරන්න. නිවසේ සෙසු අය මධ්‍යස්ථව සිටීම ඉතා වැදගත්ය.

අද දරුවන් ඉතාම ආවේගශීලීය. අවවාද ඔවුන් රුස්සන්නේම නැත. පුංචි අවවාදයෙන් පවා සියදිවි හානි කර ගන්නා තැනට දරුවන් පත් වෙන අවදානමක් ඇත. මේ නිසා යම් දඬුවමකින් අනතුරුව ඔවුන් ගැන අවධානයෙන් සිටීම ඉතා වැදගත් වෙනවා. ආව්ගයන්ට වඩා දරුවන් තුළ ගොඩ නැගෙන්නේ ආත්මානුකම්පාව, අසරණබව වැනි තත්වයන්ය.

මේ නිසා දඩුවම් ලබා දීමෙන් පසුව මව්පියන් මේ අන්දමින් දඬුවම් ලබා දෙන්නේ ඔවුන් සුමගට යැවීමට බව පහදා දෙන්න. මව්පියන්ගෙන් දඬුවම් නොලබා නොමගට ගිය තැන එහි වන්දි ගෙවීමට දරුවන්ට සිදු වෙන බව පහදා දෙන්න. බන්ධනාගාරගතව , එසේත් නොමැති නම් යහමග නොගොස් සමාජයේ පිලිගැනීමක් නැති තැනට පත්ව සිටින පුද්ගලයන් ගැන පහදා දෙන්න. දඬුවම යනු වෛරයෙන් හෝ ද්වේෂයෙන් කරන දෙයක් නොව හදා වඩාගෙන යහමග යැවීම පිණිස සද්බාවයෙන් කරන කටයුත්තක් බව දරුවා තේරුම් ගැනීම ඉතා වැදගත්ය.

නිතර දෙවේලේම දඬුවම් ලබා දීමත් නොකල යුත්තකි. අතීතයේදී දෙමව්පියන් කියන්නා‍සේ කොටුවට තිබෙන බිය පවත්වා ගත යුතුය. බිය හැරුනොත් එයින් ඇති වෙන්නේ මුරණ්ඩු ගති පැවැතුම්ය. මට ඕනනම් ගහයි….නැත්තං මරයි….මම බය නැහැ…මේ අන්දමින් කියමින් වැරැද්දේම නිරත වෙන දරුවන් සිටිති. එයින් අදහස් වන්නේ දඬුවම කෙරෙහි තිබෙන බිය ඔවුන්ගේ හිතෙන් පහව ගොස් ඇති බවයි.

දරුවන් එකිනෙකාට වෙනස්ය. ඇතැම් දරුවන් දඬුවමෙන් යහ මගට පමුනුවා ගත හැකි වුනත් තවත් පිරිසක් දඬුවමට වඩා ආදරයෙන් කරුණු කාරනා කියා දී යහපත් ලෙසින් හදා වඩා ගත හැක. එය ඔවුන්ගේ චරිත ස්වභාවය අනුව වෙනස් වේ. මේ නිසා මුලින්ම දරුවාගේ චරිතය තේරුම් ගන්න. එයින් අනතුරුව ඔහුට යහමග කියා දීමට ගැලපෙන භාෂාව හඳුනා ගන්න. එවිට දඬුවම හෝ වෙනත් අන්දමින් යහමග කියා දෙන ක්‍රමවේදයක් අනුව දරුවා සුමගට පත් කර ගැනීම අසීරු කටයුත්තක් නොවනු ඇත. දඬුවම යනු කෝටු පහරම පමණක් නොවන බව සිතන්න.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here