- Advertisement -

මාස 6 සම්පූර්ණ ළදරුවාට අමතර ආහාර ඇරඹිමේදී දැනුවත් විය යුතු කරුණු

-

මාස හය එනම් දවස් 180 සම්පූර්ණ වූ ළදරුවාගේ වර්ධනයට අවශ්ය පෝෂක හා ශක්තිය සැපයීමට මව්කිරි පමණක් ප්රමාණවත් නොවන නිසා එතැන් සිට දරුවාගේ නිසි වර්ධනයට අමතර ආහාර හඳුන්වාදීම අවශ්ය වේ.

ළදරුවාට සුදුසු අමතර ආහාර ගැන දැනුවත් වෙමු

මුලින්ම හඳුන්වාදීමට හැකි ඉතාමත් සුදුසු අමතර ආහාරය වන්නේ බත්ය. එය හොඳින් පොඩි කර අර්ධ ඝන ස්වභාවයෙන් හැන්දක් ආධාරයෙන් දරුවාට ලබාදිය හැකිය. පොඩි කරගත් පියලි හා ඇට වර්ග අර්තාපල් එළවළු හා පළතුරු ක්‍රමයෙන් ළදරුවාට හඳුන්වාදිය යුතුය. මාළු, හාල්මැස්සන්, මස් යන ආහාරවලින් එකක් හෝ කිහිපයක් අමතර ආහාරයේ දිනපතාම අඩංගු විය යුතුය. එහෙත් බිත්තර හඳුන්වා දීම සඳහා එතරම් ඉක්මන් විය යුතු නැත. ළදරුවාට වයස අවුරුද්ද සම්පූර්ණ වන විට සාමාන්‍යයෙන් පවුලේ ආහාර හඳුන්වාදීම කළ යුතුය.

- Advertisement -

අමතර ආහාරයේ පෝෂණ ගුණය වැඩිකර ගතහැකි ක්‍රම ගැන දැනගනිමු

  • සෑම ආහාර වේලකම විවිධ ආහාර අඩංගු කරන්න
  • සත්ව ආහාර පියලි හා ඇට වර්ග හඳුන්වා දෙන්න
  • මාළු/හාල්මැස්සන්/කුකුළු මස් හා අනෙකුත් මස්, සත්ව අක්මා සහ බිත්තර වැනි යකඩ බහුල ආහාර අමතර ආහාරයට එක් කරන්න
  • මීට අමතරව ඇට වර්ග (මුං ඇට, කඩල, සෝයා, කව්පි) සහ පළා වර්ග (තම්පලා, සාරන, ගොටුකොළ) දිනපතා ආහාරයේ අඩංගු කරගන්න
  • පැළවීමට සලසන ලද (මුල් ඇදුණු) පියලි වර්ග අමතර ආහාරය සඳහා යොදා ගන්න
  • පීකුදු, බිත්තර කහ මදය, වට්ටක්කා, කහ බතල, කැරට් සහ තද කොළ පැහැති පළා වර්ග විටමින් ඒ බහුල ආහාර වන අතර ඒවායින් එකක් හෝ කිහිපයක් අමතර ආහාරයට එකතු කරන්න
  • ආහාර පිළියෙල කිරිමේදී පොල්කිරි ස්වල්පයක් හෝ පොල් තෙල්, බටර් හෝ මේද තැවරුම් තේ හැඳි 1-2 ක් පමණ එකතු කිරීමෙන් ආහාරයේ මුදු බව හා රසවත් බව වැඩි කර ගැනීමට හැකිය. එයින් වැඩිපුර කැලරි ප්රමාණයක් අමතර ආහාරයට එකතු වේ
  • ගස්ලබු/අඹ වැනි විටමින් ඒ අඩංගු පළතුරක් ආහාරයෙන් පසු ලබා දෙන්න. ඒ සඳහා දේශීය පළතුරු වර්ග තෝරාගන්න. (පළතුරු ලබා දීමේදී පොඩිකරගත් හෝ පල්පයක් ලෙස සාදාගත් පළතුරු ලබාදිම පළතුරු යුෂ ලබා දීමට වඩා සුදුසුය)
  • යෝගට්, මුදවපු කිරි, සහ ගෙදරදී පිළියෙල කරන ලද ධාන්යමය ආහාර කෙටි ආහාර ලෙස ලබා දිය හැකි අතර මේ සඳහා සීනි හෝ පැණි එකතු කර ගැනීම අවශ්ය නොවේ

අමතර ආහාර ලබා දීමේදී පිළිපැදිය යුතු නිවැරදි උපදෙස්

  • ආරම්භයේ සිටම අර්ධ ඝන ස්වභාවයෙන් යුත් ආහාර හඳුන්වා දෙන්න
  • අමතර ආහාරයට නිවැරදි වූ ඝනත්වය සහ රසයක් ලබාදීම සඳහා මව්කිරි ස්වල්පයක් එකතු කරන්න
  • ආහාර කැවීම සඳහා දරුවාට බඩගිනි වනතෙක් සිටින්න
  • විවිධ වර්ගයේ ආහාර දරුවාට ලබා දෙන්න
  • නිදිමත වීමට පෙර දරුවාට ආහාර කවන්න
  • අසනීප වූ විටදී දරුවාට ලබා දෙන ආහාර ප්‍රමාණය අඩු නොකරන්න. ඉක්මන් සුවය සඳහා වැඩිපුර ආහාර අවශ්‍ය වේ
  • ආහාර පිළියෙල කිරීමට හොඳින් සෝදා ගත් උපකරණ භාවිත කරන්න
  • ආහාර පිළියෙල කිරීමට ප්‍රථම හා දරුවාට කැවීමට පෙර අත් සබන් යොදා හොඳින් සෝදාගන්න
  • විවිධ වර්ගවලට අයත් ආහාර අමතර ආහාරය පිළියෙල කරගැනීම සඳහා යොදාගන්න
  • විවිධ වර්ගවලට අයත් ආහාර වර්ග යොදා අමතර ආහාරය පිළියෙල කරගන්න
  • මාස 8-9 වන විට තනිව ආහාර ගැනීමට දරුවා පුරුදු කරවන්න

බොහෝමයක් ස්වභාවික ආහාරවල ප්‍රමාණවත් ලෙස සීනි හා ලූණු අඅන්තර්ගත වේ. සීනි හා ලූණු රසයට දිව හුරුවීම එය භාවිතයත් සමග සිදුවන්නකි. එමනිසා අමතර ආහාර සඳහා සීනි හා ලුණු හඳුන්වා දිම හැකිතාක් ප්‍රමාද කිරීම හෝ එකතු නොකිරීම යෝග්‍ය වේ. (14 වැනි සටහන)

අමතර ආහාරය සඳහා ලුණු සහ සීනි එකතු නොකිරිමට හේතු

  • ආහාරයට ලුණු එකතු කිරීමෙන් දරුවා වයසින් වැඩෙත්ම ලුණු සහිත ආහාරවලට දක්වන කැමැත්ත වැඩි වන නිසා
  • ආහාරය සඳහා එකතු කරන ලුණු ප්‍රමාණය දරුවාගේ ශරීරයෙන් බැහැර වීම අතපසු වෙයි
  • අධික සීනි සහිත ආහාරවලට පුරුදු වීම නිසා දරුවා පෝෂ්‍යදායි ආහාර ප්‍රතික්ෂේප කරයි
  • සීනි අධික ආහාර ගැනීම නිසා දත් දිරා යයි
  • සීනි අධික ආහාර නිතර පරිභෝජනය නිසා තාරබරුව ඇති වේ
ආහාර අසාත්මිකතාවයන් වළක්වා ගනිමු

ජීවිතයේ මුල් මාස කිහිපය තුළදී ළදරුවන් ආහාර ආශ්‍රිත ආසාත්මිකතාවයන්ට ලක්වීම හේතුවෙන් ද ඇදුම හා සෙම් රෝග වැනි නොයෙකුත් රෝග ඇති විය හැක. සහජ ආසාත්මික රෝග ඇති පවුල්වල ළදරුවන්ට ආසාත්මිකතාවය පිළිබඳ අනතුරු අතිශයින් වැඩිය. මෙවැනි අවදානම් තත්ත්වයේ සිටින ළදරුවන්ට ආසාත්මිජනක ආහාර දීමෙන් හැකිතාක් දුරට වැළකී සිටිය යුතුය. එළකිරි ඇතැම් ළමා කිරිපිටි වර්ග/ඇට වර්ග බිත්තර සුදු මදය හා සමහර මාළු වර්ග මෙවැනි දරුවන්ට හඳුන්වාදීම ප්‍රමාද කිරීම සුදුසු වේ.

අමතර ආහාර දීමේදී ඇතිවන ගැටලූ

  • අමතර ආහාරය පෝෂණ ගුණයෙන් සම්පූර්ණ නොවීම
  • පාචනය වැනි රෝග ඇති කරන විෂබීජයන් ආහාර සමග ශරීරගත වීම

වැඩිපුර ජලය එකතු කිරීම මගින් ආහාරයේ දියාරු ස්වභාවය වැඩි වන අතරම අමතර ආහාරයේ අඩංගු ශක්තිය හා පෝෂක ප්‍රමාණය අඩු වීමට ද හේතු වේ. මෙලෙස ජලය එකතු කිරීම වෙනුවට දොවාගත් මව්කිරි ස්වල්පයක් අමතර ආහාරයට එකතු කිරීම නිසා දරුවාට ආහාර කැවීමට මෙන්ම ගිලීමට ද පහසු වේ. මෙවැනි ආහාරයක් පෝෂණ ගුණයෙන් ඉහළ අතර රසවත් බවින් ද වැඩිය. ළදරුවාගේ ආමාශය කුඩාය. එම නිසා ළදරුවාට එක්වරකට ගත හැක්කේ කුඩා ආහාර ප්‍රමාණයකි. ළදරුවාට ප්‍රමාණවත් පෝෂණයක් ලබා දීම සඳහා දෙනු ලබන ආහාරය ශක්ති ජනක විය යුතු අතර පෝෂ්‍යදායි විය යුතුය.

අමතර ආහාරය සඳහා පැළවීමට සලසන ලද පියලි වර්ග යොදා ගැනීම

  • පියලි වර්ග පැළවීමට සැලසීම මගින් එහි අන්තර්ගත පෝෂක ශරීරයට අවශෝෂණය වීම පහසු වෙයි

පියලි වර්ග පැලවීමට සලස්වා භාවිතයට ගන්නා ආකාරය

  • නොකැඩුණු සම්පූර්ණ පියලි (මුං ඇට/කව්පි/උළුඳු) මේ සඳහා තෝරා ගන්න
  • බීජ අංකුර ඇදෙන තෙක් පියලි පැය 48 ක් පමණ වතුරේ පොඟවා තබන්න
  • ඉන්පසු මෙම පියලි අව්වේ වියළා මදගින්නේ තරමක් බැදගන්න
  • වියළාගත් පියලි වංගෙඩියකින් හෝ විදුලි අඹරණයකින් කුඩු කර ගන්න
  • කට පළල් ඉස්කුරුප්පු මූඩිය සහිත බෝතලයක මෙම සාදාගත් මිශ්‍රණය සුරැකිව ගබඩා කරන්න
  • ආහාර පිළියෙල කරන විට මෙම මිශ්‍රණයෙන් තේ හැන්දක් අමතර ආහාරයට එකතු කරන්න
– ශ්‍රී ලාංකිකයන් සඳහා ආහාර පිළිබඳ උපදෙස් කෘතිය ඇසුරෙනි –
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අවසරය සහිතව පල කරන ලදී.

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article