දරුවන් බරක් නොව සම්පතකි

happy_family

ඉස්සර කාලයේ අම්මාවරුන්ගේ නිතරම කටේ දිවේ තිබුනේ වැලේ ගෙඩි වැලට බර නැත යන්නයි. එහෙත් කාලයත් සමගම දෙමව්පියන්ගේ සංකල්පය වුනේ වැලේ ගෙඩි හරියට හදා ගන්නවා මිස දරන්න බැරි විදිහට පලදාව තිබුනත් ඒවා ඵල ප්‍රයෝජන නැත්නම් වැඩක් නැත යන අදහසයි. මේ නිසා ඔවුන් තමන්ගේ පවුල තුළ පුංචි පවුල රත්තරන් යන සංකල්පය ගොඩ නගා ගත්තා.

එහෙත් එදා පවුලක දරුවන්ගේ ගණන සංඛ්‍යාත්මකව ඉහල යෑමෙන් බොහෝ වාසි තිබුනා. පවුලේ වැඩිමහල් දරුවන් විසින් බාල දරුවන් ඉතාම හොඳින් රැක බලා ගත්තා. මේ නිසා වැඩිමහල් දරුවන්ට අනාගතයේදී පවුලක් ගෙනයන අන්දම, සහෝදර පිරිස සමග ගණුදෙණු කරන්නේ කොහොමද වැනි අන්තර් සම්බන්ධතාවයන් නොදැනීම ගොඩ නැගුනා.

අද දරුවන් තුල මේ ගති ලක්ෂණය දකින්න ලැබෙන්නේ නැහැ. එකා යකා කියල ඇහේ මුහුනේ තබා ගෙන හදනවා විතරක් නොවෙයි, අතට පයට හැම දේම කරල දෙනවා. ලොකු මහත් වුනාම මේ දරුවන්ගේ යට ඇඳුම් පවා අම්මා ලවා සෝදා ගන්නා තරමටම මේ තත්වය අද ඉතාම නරක අතට හැරිල තියෙන්නේද ඒ නිසයි. එකා යකා වුනාම අම්මලාට අනාගතයේදී ඇති වෙන විස්සෝපත් එතරම් සරල නැහැ. එකදරුවකුටවුනත් හයි හත්තිය නැති විට ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන පසුපෙල සහෝදර පරම්පරාවක් සිටිනවා. ඒත් අද දවසේ ඒ විදිහට උදව්වට වුනත් පැමිනෙන පරම්පරාවක් නැහැ.

එදා බාල දරුවන් රැක බලා ගැනීම අද වගේ ගැටලුවක් වුනේ නැහැ. අම්මා තාත්තා පූර්ණකාලීනව කැත්තේ උදැල්ලේ වැඩට යොමු වුනාම පවුලේ වැඩිමහල් දරුවන් මේ බාල උදවිය රැක බලා ගත්තා. එහෙම නැත්නම් පුංචි අම්මා, නැන්දා මේ වෙනුවෙන් අනිවාර්යෙන්ම සම්බන්ධ වුනා. අද රැකියාවන්හි නිරත වෙන මව්පියන් දරුවන් සීමා කරන එක් හේතුවක් වී ඇත්තේද මදරුවන් රැක බලා ගැනීමේ ගැටලුවයි. එදා වගේ තමා වෙනුවෙන් උදව්වට එන බාල සහෝදරියන් අද නැති නිසා විශ්වාසවන්තව පිහිටක් ලබා ගැනීමට කෙනෙක් ඇත්තේම නැහැ.

අද පවුල බොහොම සීමිත නිසා දරුවන් අතර හුදෙකලාව ඉතාම දරුනුයි. ඇලේ දොලේ පැන දුවන්න පනින්න අවස්ථාවක් නැතුවා පමණක් නොවෙයි තමන් සමග සෙල්ලමටවත් කිසිම කෙනෙක් නොමැති මානසික හුදෙකලාව ඉතාම දරුණු විදිහට ඔවුන්ට බලපානවා. දුක සැප බෙදා ගන්නවත් කෙනෙක් නැහැ.දරුවන්ගේ සමහර ගැටළු අම්මා තාත්තාට කියන්නත් බැහැ… ඒවා කියන්න තරම් හොඳ මිතුරන් පිරිසකුත් නැහැ. මේ මානසිකත්වය නිසා හැම දෙයක්ම හිතේ දරා ගෙන සිටින මානසිකත්වයෙන් ඔවුන් හෙම්බත් වෙනවා. අන්තිමේදී මේ හෙම්බත්වීම පිට පනින්නේ මානසික ආතතිය එහෙම නැත්නම් අවපීඩනය වගේ රෝග තත්වයක් සමගයි.

අද පවුල තුල දරුවන් සීමා වෙනවා විතරක් නොවෙයි, පවුලේ ඉන්න පිරිසත් ඉතාම සීමිතයි. අම්මා , තාත්තා, ආච්චි , සීයා , නැන්දා, මාමා වෙනුවට අද ඉන්නේ අම්මයි , තාත්තයි, දුවයි පුතයි පමණයි. මේ න්‍යෂ්ටික පවුල තුලත් තිබෙන්නේ බොහොම සීමිත අන්තර් සම්බන්ධතාවයන් පමනයි. ඒ නිසාම දරුවන්ට සමාජයේදී හැසිරෙන අන්දම තේරුම් ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවෙයි.

දරුවන් අම්මා තාත්තාගේ  සෙවනේ සිට සමාජගත වුනාම ඒ වෙනුවෙන් ඔවුන් ඔරොත්තු නොදෙන තත්වයකට පත් වෙන්නෙත් මේ නිසයි. තමා මෙතෙක් ජීවත් වුන සීමිත රාමුවෙන් එපිටට ඇති ලෝකය තේරුම් ගැනීමේ හැකියාව දරුවන්ට නැහැ. මේ ගැටුම නිසා ඔවුන් සමාජයේ අතරමං පිරිසක් බවට පත් වෙනවා. එදා දරුවන් සමාජය ඉගෙන ගත්තේ තමන්ගේ නිවස එහෙම නැත්නම් පවුල තුලින්මයි.

පුංචි පවුල රත්තරන් වුනත් අද මේ රත්තරන් දරුවන්ට ස්වාධීනව තීන්දු තීරණ ගැනීමේ හැකියාව නැහැ. තීරණ ගැනීමට ඔවුන් මහත් බියක් දක්වනවා. මෙහෙම වුනොත් ඉදිරි ප්‍රතිඵලය ගැන තේරුම් ගැනීමේ හැකියාව දරුවන්ට නැහැ. ඒ තරම් ඔවුන් මුහුකුරා නොගිය තැනක සිටින්නට හේතුවත් තමන් උපයා ගත් අත්දැකීම් නොමැති වීමයි.මේනිසා පුංචි පවුල රත්තරන් වුනත් එහි අසුබ පැත්තක් නැත්තේම නැහැ. 1970 දශකයේ චීනය වැනි රටවලින් ගොඩ නැගුන මෙම සංකල්පය අපි වැළඳ ගත්තත් දැන් චීනයත් දරු උපත් සීමාව ගැන තිබුන බාධක ඉවත් කරනවා. මේ නිසා ලාංකික අපටත් දැන් පවුලක දරුවන් බරක් නොව සම්පතක්ය යන පිලිගැනීමට එකඟ වීමට සිද්ධ වෙනවා.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here