ත්‍රිවිලරේ තනියම මාව යවන්න අම්මාට බය හිතුනා නම්, අදටත් මම අම්මා ලග

going_to_school_by_tuktuk

දරුවෙක් කියන්නේ මව්පියන්ගේ මුළු ජීවිත කාලය පුරාම පැවරෙන මග අරින්නම බැරි විශාල වගකීමක්. ඒ වගකීමෙන් යම්තාක් දුරකට මව්පියන්ට සුළු නිදහසක් හෝ ලැඛෙන්නේ දරුවන්ට දැනුම් තේරුම් ඇති වයසකට එළැඹි පසුව පමණි. පුංචි අහිංසක දරු පැටව් ජීවිතය ගෙවන්නේ දෙමාපියන්ගේ මගපෙන්වීම යටතේ. එයාලට අවදානමක සේයාවක්වත් දැනෙන්න තරම් දැනුමක් අත්දැකීමක් නෑ. අන්න ඒ නිසාය අපි මුලදිත් කිව්වේ මව්පියන්ට දරුවන් ගැන තියෙන වගකීමෙන් මිදෙන්න ඔවුන්ට යමක් කමක් තේරෙන වයසට එනතාක් අපහසුයි කියලා. අපේ රටේ නීතියට අනුව දරුවෙකු වැඩිහිටියෙකු ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසුව වුවත් දැන් දැන් අසන දකින සිදුවෙන දේ හරහා මව්පියන් තම දරුවන්ට වගකීම් පවරන්නේ ඔවුන්ගේ පුංචිකම ගැනවත් නොසිතාය කියන දේ තමයි අපට වැටහෙන්නේ. අද සමාජය තුළ බොහෝ අවස්ථාවලදී අසන්නට දකින්නට ලැඛෙන යම් යම් සිදුවීම් අනුව මව්පියන් තම වගකීම අකුරටම ඉටුකරනවාද යන්නත් සැකයක්.

මව්පියන්ට දරුවෙකුගේ වගකීම කරුණු රාශියක් ඔස්සේ පැවරෙනවා. ඒ අතරින් දරුවෙකුට අවශ්‍ය ආරක්ෂාව  සැපයීම ද ප්‍රධානයි. අද වෙන කොට පුංචි දරුවන්ට එයාලගේ වගකීම එයාලටම බාරදීලා නිදහස් වෙන මව්පියන් නිසා දරුවන් අනාරක‍ෂිත වන අවස්ථා වැඩියි. ඒ හේතුවෙන් මහමගදී දරුවන් අනතුරට ලක්වන අවස්ථා බොහොමයක් තිඛෙනවා. ඒ අනාරක‍ෂිත වාහාන හේතුවෙන්. මෝටර් සයිකල්, පාපැදි වගේම ත්‍රී රෝද රථ අනාරක‍ෂිත වාහන වන අතරම අද ලිපිය හරහා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ වැඩිහිටියෙකුගේ සහයක් නොමැතිව ත්‍රිරෝද රථවල පිටුපස අසුනේ තනිව ගමන්ගන්නා දරුවන් ලක්විය හැකි අවදානම් අවස්ථා පිළිබඳවයි.

කතාවටත් කියන්නේ අපි කොයිතරම් කල්පනාකාරීව සුපරික‍ෂාකාරීව ගියත් වැඩක් නෑ, වෙන කෙනෙක්ගේ නොසැලකිලිමත්කම නිසා අපිටත් අනතුරු වෙන්න පුළුවන් කියන එක. ඇත්තම තමයි, නොසැලකිලිමත් එක් රියැදුරෙක් නිසා සැලකිල්ලෙන් රිය පදවන අනෙක් වාහනවලටත් අනතුරු සිදු වූ අවස්ථා ඕනෑ තරම් අපට වාර්තා වෙලා තියෙනවා. ඉතිං මෙබදු වටපිටාවක ඔබේ දරුවා අවදානමට ලක්කරන්නට මව්පියන් වන ඔබට පුළුවන්ද? සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථයක පිටුපස අසුනේ තනිව ගමන් කිරීමට නම් අවම වශයෙන් දරුවෙකුගේ වයස අවුරුදු දොළහක්වත් විය යුතුය.

හිතන්න,….

  • අසුනේ හොඳින් අසුන්ගත් පසු දරුවාගේ දෙපා රථයේ බිම නිසි ලෙස තබා ගත හැකි ආකාරයේ උසකින් යුක්තද?
  • අසුනේ හොඳින් අසුන්ගත් පසු දරුවාගේ දෑත් ඉදිරියේ ඇති ඇලූමිනියම් දණ්ඩ (බාර්) අල්ලා ගැනීමට තරම් දිගුද?
  • දරුවා මෙවැනි ගමනකදී කෙතරම් අනාරක‍ෂිත ද යන්න මෙන්ම මෙහි අවදානම මව්පියන් නොදකිනවා නම් හය හතර නොදත් දරුවෙකුට එය කෙසේ වටහාගත හැකි වෙයිද?
දැඩිව සිතට ගන්න

පාසැල හෝ අමතර පන්තිය අවසන් වී ත්‍රි රෝද රථයේ එන දරුවෙකු කුසගින්නෙන් මෙන්ම නිදිමතෙන් සිටින බව කවුරුත් දන්නා කරුණකි. එක් වරම යමෙක් පාර පැණීමකදී, අතුරු පාරකින් වාහනයක් පාරට දැමීමකදී හෝ වෙනත් හේතුවක් මත ක‍ෂණිකව තිරංග තද කිරීමට රියදුරාට අනිවාර්යෙන්ම සිදුවන අතර ඒ අවස්ථාවේදී ඉදිරියට විසි වී බාර් එකේ හිස වැදී තුවාල විය හැකියි. නැතිනම් දත් වැදී කැඩී යා හැකියි. එසේත් නැති නම් ඉවතට විසි වී මහපාරට ඇද වැටීමට වුවද ඉඩ ඇත. එසේ විසි වන දරුවෙකු කුමන ඉරණමකට බදුන් වේද යන්න කිව නොහැක. පිටුපසින් එන වාහනයක දරුවාගේ සිරුර මතින් ගමන් කිරීම හේතුවෙන් ආබාධිත තත්ත්වයට හෝ මිය යාමට හැක. ඉතා වේගයෙන් හිස පොලවේ වැදීම හේතුවෙන් දරුවා සදාකාලිකව අකර්මන්‍ය තත්ත්වයට පත් විය හැකිය. එසේ නැතිනම් හිස දැඩිව වැදීම හේතුවෙන් මිය යා හැකිය. මේ අපිට නිතර අසන්නට දකින්නට ලැඛෙන අවාසනාවන්ත සිදුවීම්ය. මෙවැනි සිදුවීමකදී ජීවිත හානියක් සිදු නොවුණද ඒ සිදුවීමේ අමිහිරි මතකය සදාකාලිකව දරුවාගේ ජීවිතයට බලපෑම් කළ හැකිය.

එසේම දරුවා අනතුරකට බඳුන් නොවී රැගෙන යාමේ වගකීම ත්‍රි රෝද රථයේ රියදුරුට පැවරිය නොහැක. ඔහු කෙතරම් විශ්වාසවන්ත අවංක අයෙකු වුවද ඊලඟ මොහොතේ සිදුවන්නේ කුමක්ද යන්න අප කිසිවෙකුටත් කිව නොහැක. මන්ද රිය පැදවීම යනු සම්පූර්ණ නිදහස් මගක තමා පමණක් තනිව නිදහසේ යාමක් නොවන නිසාය. ඉදිරියට එන හෝ පසු කර යන වාහන පදවන්නන් ඔහුට පාලනය කළ නොහැකි නිසාවෙනි. ත්‍රි රෝද රථ සඳහා ද ආසන පටි හඳුන්වා දුන්නද මෙතෙක් එවැනි ත්‍රිරෝද රථ දැකගත හැකි වූයේ ඉතා සුළු සංඛ්‍යාවක් පමණි. මෙවැනි අනතුරු ලංකරගන්නේ ඔබේ නොසැලකිලිමත් බව, අලස කම මෙන්ම වගකීම් විරහිත බව නිසා නොවේද? ඔබේ හය හතර නොදත් අහිංසක දරුවාගේ ආරක‍ෂාව පිළිබඳව නිසි අවදානය යොමුකරමින් දිනෙන් දින වාර්තා වන මෙවැනි අනතුරු වළක්වා ගැනීමට අද සිටම සැලකිලිමත් වීම මාපියන් වන ඔබේ වගකීමයි.

ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා සමග සකසන ලද ලිපියකි.

 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here