සෙල්ෆි ඡායාරූපයේ අවදානම ගැනත් දරුවන්ට කියා දෙන්න

kids_taking_selfie_photos

සෙල්‍ෆි හෙවත් තමන්ගේ ඡායාරූපය තමන් විසින්ම ලබා ගැනීමට ඇති හැකියාව මෑතක පටන් දුරකථන තාක්ෂණය සමග අපට ලැබුන තවත් පහසුකමක්.සෙල්ෆි සංකල්පයට මූලික අත්තිවාරම  ඇති වුනේ 1839 වසරේදී බව ඔබ දන්නවාද…? දිනක් ඇමරිකානු ජාතික ඡායාරූප ශිල්පි “රොබට් කොර්නේලියස්”පිලඩෙල්පියාවේ සාප්පු සවාරියේ යෙදෙන විට තමාගේම ඡායාරූපයක් ගත්තා. කොඩැක් කැමරාව වෙළඳ පොලට හදුන්වා දීම සමග මේ තාක්ෂනය තව දුරටත් සංවර්ධනය වුණා. තරුණ වයසේ අයෙකු විසින් ලබා ගත් සෙල්‍ෆිය ලෙසින් සැලකෙන්නේ 1914 වසරේදී රුසියාවේ ඇනස්ටාසියා නිකොලියාවිනා ආදිපාදවරිය විසින් වීදුරුවක් ඉදිරිපිටදී තමාගේ ඡායාරූපය ලබා ගත් අවස්ථාවයි. ඇය තමාගේ මිතුරියට මෙම ඡායාරූපය යවනු ලැබුවේ මේ සටහන සමගයි.  “මේ ඡායාරූපය මම වීදුරුවක් ඉදිරිපිටදී ගත්තා…එතකොට අත වේවලන හින්දා ටිකක් අමාරු වැඩක්..”ලෝකයේ ජනප්‍රිය චරිත ලෙස සැලකෙන ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන්  සෙල්ෆි ඡායාරූප වෙනුවෙන් උනන්දුවක් දක්වා සිටි පුද්ගලයන් අතරට එක් වෙනවා.

කැලිෆෝනියාව් පර්යේෂකයන් විසින් පවත්වන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ  සෙල්ෆි ඡායාරූප ගැනීමේදී අපේ සතුට වෙනුවෙන් වූ මොලයේ කලාපය උත්තේජනය වෙන බවයි. පුද්ගලයන් දෙපිරසක් තෝරා ගෙන සාමාන්‍ය ඡායාරූප සහ සෙල්‍ෆි ඡායාරූප ගැනීමේදි ඔවුන්ගේ මොලයේ ප්‍රතිචාර පිලිබඳව ලබා ගත් ස්කෑන් ඡායාරූප අධ්‍යනය කරනු ලැබුවා. එහිදී පෙනී ගියේ සෙල්‍ෆි ඡායාරූප ගන්නා අයගේ මොළයේ සතුට කලාපය සෙසු ඡායාරූප ගත් පිරිසට වඩා උත්තේජනය වී තිබුන බවයි.

අපිට සෙල්‍ෆි මරණ ගැනත් ඒ සමගම කතා බහ කරන්න සිදු වී තිබෙනවා. මේ තත්වය නිසා අපේ මානසිකත්වය තුළ ඇති වෙන යොමු වීම මොනතරම් ප්‍රබලද කියනවා නම් ඒ වෙනුවෙන්ම ඇති වෙන ඇබ්බැහි වීම නිසා ජීවිතය පවා අවදානම් තත්වයට පත් වන තෙක් අපිට තේරුම් ගැනීම අපහසුයි. ඒ නිසාම මෙම ඇබ්බැහි වීම යනුවෙන් හැදින්වීමට පවා සිදු වී ඇතැයි මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් සඳහන් කරනවා. ඒ නිසාම අද සෙල්ෆි මරණ පාලනය සඳහා ඒ ගැන දැණුවත් කිරීම අවශ්‍ය බව බොහෝ දෙනා අවිවාදයෙන්ම පිලිගන්නවා.නෙල්සන් මැන්ඩෙලා ජනනායකයාගේ අවමංගල්‍ය පෙරහැරේ යන අතරදි සෙල්‍ෆි ගැනමට උනන්දු වුන බොහෝ රාජ්‍ය නායකයන් සමාජයේ දෝෂ දර්ශනයට පත් වුනේ ආචාර ධර්ම ගැන නොසිතා කටයුතු කළ නිසයි.

ඒත් ඉවක් බවක් නැතුව සෙල්‍ෆි ලබා ගැනීම නිසා  රෝගාබාධයන්ට ගොදුරු වීමට අති අවදානම ගැන ඇමරිකාවේ නිව්යෝක් විශ්ව විද්‍යාලයේ ලැන්ගන් මධ්‍යස්ථානයේ  පේශි හා කොඳුඇට පෙල රෝග පුනරුත්තාපන වෛද්‍ය චාල්ස් කිම් සඳහන් කරනවා. ඔහු විසින් සිදු කරන ලද අධ්‍යනයකට අනුව ස්මාර්ට් දුරකථන සමග වඩාත් ක්‍රියාකාරීව මෙම ඡායාරූප ගැනීම නිසා වැලමිට ආශ්‍රිත මාංශපේශි ආසාදනයට පත් වෙනවා. කාලයක් පුරා මේ තත්වය සිදු වීම නිසා වැලමිට ආශ්‍රිතව ඇති වෙන බරපතල වේදනාවට ඔවුන් නොදැනම මුහුණ දෙනවා. ජංගම දුරකථන මගින් කෙටි පණිවිඩ යැවීම, ක්‍රිඩාවන් වගේම ට්විට් කිරීමත් මේ තත්වයට හේතු වෙන බව වෛද්‍ය කිම් සඳහන් කරනවා.ඔහු මෙම රෝග තත්වය හඳුන්වන්නේ “සෙල්ෆි එල්බෝ”  නමින්. මේ රෝග තත්වයෙන් මිදීමට ඇති විකල්පය ගැනත් සඳහන් කිරීමට ඔහු අමතක කළේ නැහැ. සෙල්ෆි ගැනීමේදී යෂ්ටියක් සහිත කැමරාවක් භාවිතා කලොත් මේ අපහසුතාවයෙන් මිදෙන්නත් හැකි බව ඔහු පෙන්වා දෙනවා.

ඒ වගේම සෙල්ෆි මගින් ඇති වුන අනතුරු ගැනත් ලෝකයේ පුරාම වාර්තා වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කරන ලද අධ්‍යනයකට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ රියදුරන්ගෙන් 4 % ක් පමණ අනතුරට පත් වෙන්නේ රිය පදවන අතරවාරයේ සෙල්ෆි ඡායාරූප ගැනීමෙන් බව වාර්තා වෙනවා.ඉන්දියාවේ 2016 වසරේ ජනවාරි මාසයේ පමණක් සෙල්ෆි මරණ 27 ක් වාර්තා වී තිබෙනවා. මේ නිසාම ඉන්දියාව විසින් කුම්භමේලා උත්සවයේදී සෙල්‍ෆි ඡායාරූප ගැනීම තහනම් කරනු ලැබුවා.යෝධ වොල්රසෙකු සමග ලබා ගත් සෙල්‍ෆි ඡායාරූපයක් තම මුහුණුපොතේ ජනප්‍රියත්වයට පත් වුන නිසා චීනයේ “ජියා ලී චුන්” ගේ දෙවැනි අපේක්ෂාව වුනේ ලියෝනි ප්‍රාන්තයේ සත්තු වත්තේ මෙවැනිම ඡායාරූපයක් වොල්රසා සිප ගැනීම සමග ලබා ගැනීමටයි. එහෙත් සැනින් ඔහුගේ ආශාව අවසාන විය.වොල්රසාගේ ගොදුරක් බවට පත් ජියා ලී ගේ ජීවිතය ඔහුට අහිමි විය.

ඉන්දියාවේ හමුදා සෙබලුන් දෙදෙනෙකුට අවශ්‍ය වුනේ සක්‍රිය ග්‍රෙනේඩ් බෝම්බයක් සමග ඡායාරූපයක් ලබා ගැනීමටයි. බෝම්බයට අනුකම්පාවක් නැත. අනපේක්ෂිත ලෙස බෝම්බය පිපිරී ගොස් දෙදෙනාම මරණයට පත් විය.මුහුණුපොත් වෙනුවෙන් ඉතා ආකර්ශණීය සෙල්ෆියක් එක් කරන අරමුනෙන් රුමේනියානු තරුණියක් වහලයක් මතට නැග ඡායාරූපය ගැනීමට තැත් කළේ ඉහලින් ඇදුන අධිවෝල්ටියතාවයේ විදුලි රැහැන ගැන නොදැනය.

ඉන්දියාවේ විසූ රමන්දීප් සිංගේ වයස අවුරුදු 15 කි. ඔහු පිස්තෝලයක් අතැතිව තම පියා සමග සෙල්‍ෆි  ඡායාරූපයක් ගැනීමට සූදානම් වූයේය. වරදින්න වෙලාවක් අවශ්‍ය නැත රමන්දීප් කැමරාව වෙනුවට ක්‍රියාත්මක කරනු ලැබුවේ පිස්තෝලයයි. අවාසනාවන්ත ලෙස ඔහු ජීවිතයට සමු දුන්නේය.

ජපන් ජාතික හිදෙකෝ මිද්ට අවශ්‍ය වුනේ ඉන්දියාවේ ටජ් මහල ඉදිරියේ සිට සෙල්‍ෆි ඡායාරූපයක් ගැනීමටය. රුසියානු  ඡායාරූප ශිල්පිනයක වූ ඇය ශාන්ත පිට්ස්බර්ග් පාලමේ සිට සෙල්‍ෆි ඡායාරූපයක් ගැනීමට ගත් උත්සාහය නොදැනම අසාර්ථක විය. සමබරතාවය ලිහිල්ව ගිය ඇය ඊලඟට අල්ලා ගත්තේ අධි වෝල්ටීයතාවයේ විදුලි රැහැනකි.සෙල්ෆි ඡයාරූප වෙනුවෙන් අද ඇති ආකර්ශණය සමග අනතුරු පිලිබඳ වාර්තාවන්ද ඉහල යමින් පවතී. මේ නිසා ඔබේ තරුණ දරුවන් තුල මේ වෙනුවෙන් තිබෙන උනන්දුව සමග එහි අවදානම ගැනත් සඳහන් කිරීම ඉතා වැදගත් වේ.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here