- Advertisement -

අපි නොහිතන දේවල් වලින් දරුවන්ට අනතුරු වෙන්නේ මේ විදියට

-

ඇත්තටම ජීවිතේට තමන් ලබන අත්දැකීම් මෙන්ම තවත් කෙනෙකු ලබන අත්දැකීම් අපේ ජීවිත වලට වටිනවා. ඉතින් පුංචි පැටවු ගැන අම්මාලා අත්දකින විවිධ අනතුරු පිළිබඳ අත්දැකීම් එක ලිපියකට ගොනු කරන්න හිතුනා.

මට මතකයි මගේ ලොකු පුතා ඉපදුනු දවස් වල ගුඩුස් නොගියොත් බබාව  මුණින් හෝ පැත්තට නිදිකරවන්න කියල උපදෙස් දුන්නා. ඒත් මගේ චූටිම පැටිය 2017 ලැබුණට පස්සෙ වෛද්‍යවරයා කිව්වේ බබාව තනියම මුනින් අතට නිදි කරවන්න එපා කියලා. නවතම සොයා ගැනීම් වලට අනුව මුනින් හෝ පැත්තට නිදිකරවීමෙන් දරුවාට අනතුරක් සිදුවීමට ඇති හැකියාව වැඩි බවත් දරුවාව නිදිකරවීමට සුදුසුම ක්‍රමය උඩු අතට බවත්ය. මන්ද යත් ගුඩුස් නොගිය විට දරුවා මුනින් අතට තබා ඇති විටක බඩ තද වී වමනය ගියහොත් නාසය තුල සිරවී දරුවාගේ හුස්ම ගැනීම ගැනීම අවහිර විය හැකිය.

- Advertisement -

අනිත් කාරණය තමයි මේ පුංචි පැටවුන් නිදන ස්ථානයේ අපේ අම්මලා දරුවා උණුසුම් කරන්න හිතාගෙන තබන පුංචි කොට්ට, ලිහිල් ඇඳ ඇතිරිලි කිසිවක් නොතබා ඉන්නත් වග බලාගත යුතුයි.  පුංචි පැටියගේ අතට අහුවෙන දේවල් ඇදගෙන ඒවා එයාලගේ මුහුණේ දමාගන්න එයාලට ඒ හැටි වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඒත් ඒවා මුහුණට වැටුනම ඉවත් කර ගන්නට නොහැකි වීමෙන් පැටවුන් හුස්ම හිරවීමට ලක්වෙලා මේ පුංචි පැටවුන් අවාසනාවන්ත ලෙස ළදරු මරණයකට ගොදුරු වන්නට පුලුවන්. මේ ගැන විශේෂයෙන්ම සඳහන් කලේ මමත් මේ අත්දැකීම ලබපු නිසයි. පැටියට මාස දෙකක් විතර වෙද්දි ඔලුවෙන් ළදරු ඇදේ ඉහළට ගිහින් පැටියා එතන තිබුන එයාගේ පුංචි කොට්ටය මුහුණට දමා ගෙන තිබුනෙ මම එතැනින් පිට වුන පුංචි මොහොතකයි. මම එන්න පමා වුණා නම් අද මමත් අවාසනාවන්ත මවක්. අදටත් අහුවෙන හැම දේම මුණටම දාගන්නවා. පැටවු ගැන හැම මොහොතෙම විපරමින් සිටිය යුතුයි. එනිසා අම්මාලා වශයෙන් අපේ තත්පර කිහිපයක අවදානය ගිලිහීම අපිට ජීවිත කාලය පුරාවටම දුකක් පමණක්ම ඉතිරි කරන පුලුවන්.

ඒ කියන කොට මතක් වුණෙ වයස අවුරුද්දක් වයසැති පුංචි දෝණියක් සදහටම ජීවිතෙන් සමුගත්තේ දෙමාපියන්ගේ සුලු අත පසු වීමකින්. ඉහළ මහළක ජීවත් වූ ඔවුන්ගේ නිවසේ උඩු මහල වටා තාප්පයක් දමා තිබුණෙ නැහැ. වෝකරයේ හිටිය පුංචි සමනලී ගමන් ගත් වේගයට ඇය උඩු මහලින් වැටී එතැනම සදහටම දෙනෙත් පියා ගත්තා.  එනිසාවෙන් අනතුරක් සිදු විය හැකි තැන් හැකිතාක් අවම කරගන්න උත්සහ කල යුතුයි.

මගේ හොඳම යෙහෙලියකගේ පුතු පැටියට වයස අවුරුද්දයි මාස 6ක් විතර ඇති. දවසක් පැටියගේ කකුලේ ඇඟිල්ලක කෙස් ගහක් පටලැවිලා තිබුනලු. ඒක ඒ තරමට ගණන් නොගත්තත් දවස් දෙකකට පස්සේ අනේ පැටියගේ ඇඟිල්ල හොඳටම ඉදිමිලා තිබුණ නිසා අම්මා ඇඟිල්ල හොඳින් විපරම් කරද්දියි මතක් වෙලා තියෙන්නේ පුතු පැටියගේ අතේ පටලැවිලා තිබුණු කෙස් ගහ. ඉතින් ඉක්මණින්ම වෛද්‍යවරයකු පෙන්නුවම ඇඟිල්ල කපන්න වෙයි කියලා. කොහොම හරි චූටියව වෙනත් විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වලා ඇඟිල්ලේ එතිලා තිබුණ කෙස් ගහ ඇඟිල්ල ඉවත්  නොකර ඉවත් කරලා. ඒ වගේම අත් දැකීමක් මුහුණු පොතේ මව්වරුන්ගේ සමුහයකත් අම්මා කෙනෙකුත් ලියලා තිබුණා. කෙස් ගහ තදින් පටලුනු පසු ලේ ගමනා ගමනයට අවහිර වීම නිසා තමයි ඇඟිල්ල ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අපි නොහිතන පුංචි දෙයක් නිසාවෙන් පුංචි පැටවුන්ට නොහිතන තරමේ අනතුරු වලට මුහුණ පාන්න සිද්ධ වෙන නිසා බොහොමත්ම විමසිලිමත් වන්නට සිදු වෙනවා.

පැටවුන්ට සෙල්ලම් කරන්නට දෙන සෙල්ලම් බඩු පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕනී. දරුවො ඕනෑම දෙයක් කටේ දමා ගන්න රුසියෝ. ඉතින් කුඩා කෑලී ගැලවිලා උගුරෙ හිරවෙන්න පුලුවන්. එනිසා දරුවන්ට දෙන සෙල්ලම් බඩු වල ආරක්ෂාකාරී බව පිළිබඳව කීපවතාවක්ම හිතන්න. ආ… බැටරි කෑලී දරුවන්ව තවත් භයානක තත්ත්වයක් ඇති කරනවා. සමහර දරුවො මේවා කටේ දානවා. ඒවයේ තිබෙන උග්‍ර විෂ සහිත රසායනිකයන් දරුවන්ව මරණය පවා කැන්දන් එන අවස්ථා කොතෙකුත් තිබෙනවා. එනිසා දරුවන්ට අවශ්‍ය නැති එවැනි දෑ දරුවන්ගෙන් ඈත් කර තබන්න.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article