දරුවා ආත්ම විශ්වසයෙන් යුතු පුරවැසියෙකු කරන්නට මේ උපදෙස් හිතට ගන්න

අපි ඇයට දිලිනි කියල කියමු. මට දිලිනි හම්බවුනේ 2014 අවුරුද්දේ. එතකොට එයාට වයස අවුරුදු 22යි. දිලිනි කියන්නෙ අසාමාන්‍ය දක්ෂතා තියෙන තරුණියක්  කිව්වොත් හරි. එයා A/L  ඒ තුනක්ම අරන් පාස් වෙලා හිටියෙ. රටේ පිලිගත්ත විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරන ගමන්  තමයි එයා හිටියෙ. ඒත් මට එයාව මුන ගැහෙන වෙලාවෙ ඒ හැම දෙයක්ම අතරමග නැවතිලා, මොකද ඒ වෙලාවෙ එයාට ජීවිතය එපා වෙලා වගෙයි තිබුණේ. එයාට තිබුන ලොකුම ප්‍රශ්නය තමයි විශ්ව විද්‍යාලය ඇතුළේ එයා විශේෂ දක්ෂයෙක් නොවුණු එක. අනිකුත් දක්ෂ ළමුන් අතරේ තවත් එක් සාමන්‍ය ශිෂ්‍යාවක් වීම එයාට දරා ගන්න බැරි උනා. ඉස්කෝලේ නම් දිලිනි හැමදාම පංතියේ පළවෙනිය විතරක් නෙවෙයි හැම විෂයකටම වැඩිම ලකුණු ගත්තෙත් එයා. පංති නායිකාව, ශිෂ්‍ය නායිකාව උනා විතරක් නෙවේ පාසලේ ක්‍රීඩා තරගවලදිත් එයා දක්ෂම ශිෂ්‍යාව උනා. එයාට ඕන උනා හැම පැත්තකින්ම දක්ෂයෙක් වෙන්න. හැමෝම දැනගෙන හිටිය දිලිනි ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන බව. ඒ නිසා එය විශ්ව විද්‍යාලයට තේරුනා කිව්වම කවුරුවත් පුදුම උනේ නැහැ.

විශ්ව විද්‍යාලය ඇතුළු උනාට පස්සේ දිලිනිට මුහුණ දෙන්න වුනේ වෙනමම තත්ත්වයකට. එතැනදී අනෙක්  සිසුන් තමන්ට වඩා දස්කම් පෙන්වන එක දිලිනි දැක්කෙ එයාගෙ පරාජයක් විදියට. ඒක එයාට කොච්චර බලපෑම් කලාද කියනවා නම්, ටික දවසකින් එයාට සාමාන්‍ය විදියට විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු පවා කරගන්න අපහසු තත්ත්වයක ඇති වුණා. මොකද, මොනදේ කලත් “මම පරාජිතයෙක්” තමයි කියල එයා හිතන්න පටන් ගත්තා. මේ නිසා අන්තිමට එයා ඇත්තටම විභාගයක් දෙකක් අසමත් උනා.

මොකද්ද දිලිනිට උණේ, මේ වගේ දක්ෂ දරුවෝ ආත්ම විශ්වාසය අඩු, පරාජය දරා ගත නොහැකි දරුවෝ බවට පත්වෙන්නේ කොහොමද කියලා වගේම ඔබේ දරුවාසතුටින් ජිවත් වෙන, නොසැලෙන මානසිකත්වයක් තියෙන දරුවෙක් කරන්නේ කොහොමද කියන එක ගැනත් දැනගන්න ලැබෙන එක අපේ දෙමාපියන්ට බොහොම වැදගත් වේවි. මේ වෙනුවෙන් දරුවෙකුගේ වටපිටාව කොයි ආකාරයෙන් වෙනස් විය යුතුද කියලා මේ ලිපියේ අවසානය වන විට ඔබට වැටහේවි.

දරුවාගේ ජය පැරදුම සම සිතින් විඳගන්න

දරුවාගේ දක්ෂතා අගයන්න. නමුත් ඔබ මව්පියන් විදියට ජයග්‍රහණයකදී අධික ලෙස උද්ධාමයටවත් පරාජයේදි ලෝකෙම කඩා වැ‍ටුනා වගේවත් හැසිරෙන්න එපා. තමන්ව ඇගයීමට නම් ”මම දිනන්නම ඕනේ ” සිතුවිල්ල දරුවෙකුගේ හිතට ඇතුළු වෙන්නේ එතකොට. පරාජය අත් උනොත් තමාගේ කිසිම අගයක් නැති බවක් දරුවාගේ හිතට ඇතුළු වෙනවා. ඊට පස්සෙ එයා තරග කරන්නෙ දිනන්න. ප්‍රතිපලයට වඩා දරුවෙක් ඒ වෙනුවෙන් දරපු උත්සාහය අගයන්න පුළුවන් නම් බොහොම වටිනවා.

උදා: “ඔයා තමයි ඉන්න දක්ෂම දරුවා” කියලා දරුවා හඳුන්වනවාට “උත්සාහවන්ත දැරුවෙක්” කියල ඔබ ඔබේ දරුවාව හඳුන්වන්න.

මෙයින් කියවෙන්නෙ ජයග්‍රහණය නොසලකා හරින්න කියන දේ නම් නෙවෙයි, ජයග්‍රහනයන් සමරන්න, ඒවා අගයකරන්න ඕනේ ඒත් ජය පරාජය දෙකේදිම එක වගේ ඔබේ ආදරය දරුවාට ලබාදිය යුතුයි. ඇත්තටම කිව්වොත් පරාජයේදි ආදරය හා ආරක්‍ෂාව දරුවෙකුට වැඩියෙන් අවශ්‍යයි. මේ දේ  හඳුන්වන්නේ කොන්දේසි විරහිත ආදරය (unconditional love) කියල. ඒ වගේ පරිසරයකදි හැදෙන දරුවෙක් තුළ තමා ගැන වගේම තමාගේ ආදරණීයයන් ගැනත් විශ්වාශයක් ඇති වෙනවා. ජය හෝ පරාජය හෝ හමුවේ වුවද තමා වටින පුද්ගලයෙක්ය යන හැගීම වගේම තමා ජීවත්වෙන වටපිටාව ආරක්ෂාකාරී බවත් දක්ෂතාවය මනින ප‍ටු මිනුම්වලින් තම හැකියාව මනින  වටපිටාවක් නොවන බවත් දරුවාගේ සිතට දැනෙනවා.

මේරි අයින්ස්වර්ත් කියන මනෝ විද්‍යාඥවරිය මේ අවස්ථාව හැඳින්වුයේ  Healthy Attachment  ලෙසයි. මෙය සෞඛ්‍යමත් සම්බන්ධතාවයක් ලෙස හැදින්විය හැකියි.  Healthy Attachment එකක් සහිතව වර්ධනය වුණු දරුවකුට වැඩිහිටියකු වූ පසු ජීවිතයේ පරාජයන්වලදී  දරා ගැනීමේ හැකියාව ඉහළ බව ඔප්පු වෙලා තියනවා. ඔවුන් පරාජයන් දකින්නේ තාවකාලික පසු බැසීම් විදියටයි. තමන්ගෙත් අනුන්ගෙත් අඩුපාඩුකම් හදා ගන්න පුළුවන් දේවල් විදියට, ලෝකය දෙස සුබවාදීව බලන්න ඔවුන් පුරුදු වෙනවා.

කැරොල් ඩ්වෙක් කියන ඇමරිකානු මහාචාර්යවරිය මේ තත්වය හඳුන්වන්නේ Growth Mindset ලෙසයි. Growth Mindset එකක් තියෙන පුද්ගලයෙක් “හැකියාව” දකින්නේ උත්සාහයෙන් වැඩි දියුණු කරගත හැකි දෙයක් විදියටයි. ඒ වගේම පරාජයන් ජීවිතයට ලැබෙන පාඩම් ලෙස ඔවුන් දකිනවා. ඔවුන් අභියෝගවලට වඩාත් සාර්ථකව මුහුන දෙනව කියල පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනව.

තම හැඟීම් ප්‍රකාශ කිරීමට දරුවා දිරි ගන්වන්න

අඩන්න එපා, කෑ ගහන්න එපා, බොරුවට තරහ ගන්න එපා වගේ ප්‍රකාශ දරුවෙකුට නොකර සිටිය හැකිනම් එය වඩාත් වැදගත් බව සිහිතබා ගන්න. හැගීම් ප්‍රකාශය වරදක් විදියට පෙන්වන්න එපා. එහෙම උනාම දරුවා දෙමව්පියන් හෝ වෙනයම් කෙනෙක් සමග හැගීම් බෙදා ගන්න බය වෙනවා. වැඩෙන දරුවා තමන්ගේ හැගීම් මොනාවද කියල තේරුම් ගැනීමට දෙමව්පියන් පරාවර්ථකයක් විදියට (sounding board) හාවිත කරන බව  හොයාගෙන තියෙනව. ඒ කියන්නෙ දරුවාට තමන් දුකෙන්ද, සතුටෙන්ද නැත්තම් තරහෙන්ද ඉන්නෙ කියල දැනගන්න දෙමව්පියන් එම හැගීමවලට දක්වන ප්‍රතිචාරය වැදගත්. ප්‍රතිචාර නොදක්වා ඉන්න දෙමව්පියෙක් හෝ හැගීම් ප්‍රකාශ කිරීම නුරුස්නා දෙමව්පියෙක් දරුවෙකුට මේ අවස්ථාඅව ලබා දෙන්නෙ නැහැ.  එහෙම දරුවෙක් වැඩිවියට පත් උනාම සමහරවිට තමන්ගෙ හැගීම් මොනවද කියල අදුනගන්න බැරුව, හැගීම් ප්‍රකාශ කරගන්න බැරුව ප්‍රශ්නවලට ලක් වෙනවා. උදාහරනයක් විදියට දුක හිතන්න ඕන තැනදි තරහ ගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ප්‍රශ්න කාටවත් නොකිය තනියම දුක් විදින්න පුරුදු වෙන්නත් පුළුවන්.

ප්‍රයෝගිකව මෙය යොදාගන්න පුළුවන් අවස්ථාවක් තමයි පහතින් දැක්වෙන්නේ.

උදා: දරුවට තරහ ගිය අවස්ථාවක්

හිතන්න, ඔබේ දරුවා තරහ ගිහිල්ල කෑ ගහනව, ගහනව වගේ දේවල් කරනව කියල. මේ වගේ වෙලාවකදි කරන්න ඕනේ තරහ තුළ හැංගිල තියෙන දුක තේරුම් ගන්න උත්සාහ කිරීම. දරුවෙක්ට තමන්ගේ බලාපොරොත්තු කඩවුනාම ඇති වන දුක බොහෝ වෙලාවට ඔවුන් ප්‍රකාශ කරන්නේ තරහක් විදියට. මේ වගේ වෙලාවක “තරහ ගන්න එපා” කියලා දරුවට ඔබ කියද්දි ඔවුන් තේරුම් ගන්නේ තමන්ගේ වේදනාව දෙමව්පියන් විසින් නොසලකා හැරිය විදියට. ඒ වගේම දරුවා හිතනවා අම්ම තාත්ත තමාව ප්‍රතික්ෂේප (invalidation) කළා නේද කියලත්. අන්න ඒ නිසාම මේ වගේ අවස්ථාවක කරන්න පුළුවන් සුදුසුම දේ තමයි ඉස්සෙල්ලම දරුවා වේදනාවෙන් ඉන්න බව ඔබට දැනෙන බව දරුවට ඇඟවීම. ඔබට පුළුවන් වේදනාව අඩුකරගන්න යම් විසඳුමක් දරුවට යෝජනා කරන්න. ඒත් තමා පෙන්වපු හැසිරීම අනුමත නොකරන බව දරුවාට දැනුම් දිය යුතුයි. දරුවෙකුට දඬුවම් කිරීම පිළිබඳව මා එකඟ නැතත් දරුවා කළේ දඬුවමක් නොදී බැරි වරදක් යැයි ඔබ සිතනවා නම් ශාරීරික දඬුවම කට වඩා  දරුවා ආස යමක් දරුවාගෙන් ඉවත් කිරීම වැනි දඬුවමක් ලබා දිය හැකියි.

උදා:  එදා හවස සෙල්ලම් කරන එක තහනම් කිරීම

මෙවැනි දඩුවමකදී පැහැදිලිව වැ‍රැද්ද හා දඩුවම අතර සම්බන්ධය දරුවට පැහැදිලි කරන්න. ඒ දඬුවම ඔයාට ලැබුනේ මේ වරද නිසා බව දරුවට පහදන්න.

දරුවෙක්හට දඬුවම් කිරීමේ අරමුණ වෙන්නේ දරුවාගේ අභ්‍යන්තරයෙන්ම ඇතිවන නීති පදධතියක් සහ හික්මීමක් (self direction) ඇති කිරීමයි. දැඩි දඩුවම්, විශේෂයෙන්ම ශාරීරික දඩුවම් මගින් මෙම අභ්‍යන්තර වෙනස ඇතිවෙනවාට වඩා දරුවා තුළ දඩුවම් දෙන්නා කෙරෙහි වෛරයක් හා තමා පිළිබඳවම පහත් හැගීමක් ඇතිවීම පමනයි.

ඔබ ඔබගේ සෞඛ්‍ය පිළිබඳව උනන්දු වන්න

මට හිතෙන විදියට දරුවෙකුට දිය හැකි ලොකුම තෑග්ගක් තමයි ඔබ පුද්ගලයෙක් වශයෙන් ලබන සංවර්ධනය. ඔබ, ඔබගේ ආහාර, ව්‍යායාම, නින්ද හා විනෝදාංශ ගැන උනන්දුවක් දක්වන්න. මොකද ඔබ, ඔබට ආදරය සහ කරුණාව දක්වන්නෙ  නැත්තම් තව කෙනෙකුට ආදරය ලබාදීම කරන්න අපහසු දෙයක්. ඔබ මනසින් හා සිරුරින් සෞඛ්‍යසම්පන්න කෙනෙක් උනොත් ඔබෙ දරුවා අසීරු අවස්ථාවක සිටින විට වඩා හොද විසඳුමක් ලබාදීමට හැකි වේවි.

ඔබටම කියා වෙන්වුනු වෙලාවක් ඉදහිට හෝ ලබා ගන්න. ඒක ඇත්තටම ආත්මාර්ථකාමී දෙයක් නෙවේ. ඒක ඇත්තටම බැටරි චාර්ජ් කරගන්නව වගේ එසේ නැත්නම් වාහනයක් සර්විස් කරනව වගේ දෙයක්. හිතන්න නිවාඩුවක් ගන්නෙ නැතුව රස්සාවක් කරොත් මොකද වෙන්නෙ කියල. ටික දවසකින් ඔබට රස්සව එපා වෙන්න ගන්නව, තරහ යන්න පටන් ගන්නව, වැඩට ආසාවක් නැතිවෙනව වගෙ දේවල් වෙන්න පුලුවන් නේද? දෙමව්පියෙක් වශයෙන් ඔබ කරන් වැඩ වලදිත්  නිවාඩුවක් නොගෙන කරන්න ගියොත් ඒ වගේම තත්වයක් ඇතිවෙන්න පුලුවන්.

තවත් වැදගත් දෙයක් තමයි ඔබ, ඔබට ඇතිවන සිතුවිලි ගැන හා හැගීම් ගැන අවධානයෙන් පසුවෙන්න ඕන කියන එක. ඔබ සිතන පතන විදිය, ප්‍රශ්නයකට මුහුන දෙන විදිය හා ලෝකය දකින විදිය ඔබ මීට කලින් උගත් දේවල්, ඔබගෙ පවුලේ ආභාසය හා ඔබගෙ අත්දැකීම් මත තමයි තීරනය වෙන්නෙ. ඉතින් ඔබ ලෝකය දකින විදිය  ගොඩක් වෙලාවට හරි වෙන්න පුලුවන්, ඒත් සමහරවිට වැරදි වෙන්නත් පුල්වන් බව මතක තබා ගන්න. දරුවා ඔබගේ උනාට ඔහු හෝ ඇය වෙනත් පෞර්ෂයක් හිමි වෙනත් පුද්ගලයෙක් බව මතක තබා ගන්න. ඔබගේ ක්‍රමය බලෙන්ම ඔවුනට පටවන්න යැම ඔවුන්ව අවතක්සේරුවට ලක් කිරීමක් විතරක් නෙවේ ආත්ම විශ්වාසය බිද දැමීමක්වෙන්නත් පුලුවන්.  ඒ නිසා හැමවිටම විවුර්ත මනසක් තබා ගැනීමට උත්සාහ කරන්න.

ඔබ අංග සම්පූර්න දෙමව්පියකු වීම අත්‍යවශ්‍යදෙයක් ලෙස හිතන්න එපා. ඔබ ඔබට විය හැකි හොදම මව/පියා  වෙන්න උත්සාහ කරන අතරේ තමන්ගෙ අඩුපාඩුකම් දෙසද අනුකම්පාවෙන් බලන්න පුරුදු වන්න. බාහිර ලෝකය  නූතන දෙමාපියන් දෙස විශේෂයෙන් තරුන දෙමාපියන් දෙස අනුකම්පාවෙන් බලන ආකාරයක් පෙනෙන්න නැහැ. ඔවුන්ට දරුවන් වෙනුවෙන් වෙලාවක් නැහැ, මුදල් සහ ‍රැකියාවන්ට මුල්තැන දීල වගේ දැඩි විවේචන නිතර අහන්න ලැබෙනව. ඔබගේ අඩුපාඩු හදා ගන්න අතරෙ මෙම විවේචන දිහා මධ්‍යස්ථ ඇහැකින් බලන්න. මේව පරම සත්‍යයන් ලෙස ගෙන කටයුතු කරොත් සමහරවිට ඔබ දරුවාගේ ජීවිතයට අනවශ්‍ය ආකාරයට මැදිහත් වෙන දෙමව්පියෙක් බවට පත් වෙන්න පුලුවන්. මේකට over parenting නැත්තම් Helicopter parenting කියල කියනව. මේ වගේ දෙමව්පියන් දරුවාගේ පොඩි පොඩි ලකුනු අඩුවීම් වලට හේතු අහන්න ගුරුවරු නිතර නිතර මුන ගැහීම, දරුවාගේ සෑම කුඩා  ප්‍රශ්නයකදිම ඉදිරිපත් වෙලා ඒව විසදන්න යාම විතරක් නෙවේ දරුවා ලොකු උනාම ඔ‍ෆිස්වල ප්‍රශ්න විසදල දෙන්නත් යනව. මේ වගෙ වටපිටාවක හැදෙන දරුවෙක් ප්‍රශ්න ගනනාවකට මුහුන දෙන්න පුලුවන් කියල හොයාගෙන තියෙනවා. එකක් තමයි දරුවාට තමන්ගේ වැඩක් තනියම කරන්න පුලුවන් කියන ආත්ම විශ්වාසය ගොඩ නැගෙන්නේ නැහැ . මොකද හැමදාම එයාගෙ වැඩ කලේ එයා තනියම නෙවෙයි නිසා. අනික තමයි ඔහු හිතන්න පටන් ගන්නව අනිත් මිනිස්සු ඉන්නෙ වැඩ කරල දෙන්න (sense of entitlement) කියල.  එහෙම උනේ නැති උනාම එයාට  ඒ ගැන තරහ යන්න පුලුවන්. තවදෙයක් තමයි මේ වගේ දරුවෝ ලොකු උනාම අනිත් අය සතු‍ටු කරන්න වැඩ කරනව වගේම  අනිත් අයගෙන් එයාලගෙ වැඩක් ප්‍රතික්ෂේප උනාම ඉක්මනට කඩාගෙන වැටෙන්න බලනව.  මේකට හේතුව තමයි යම්කිසි කටයුත්තක් කිරීමට අවශ්‍ය තමා තුලින් ඇතිවන වුවමනාව (internal motivation) ඔවුන් තුල වර්ධනය නොවීම. බාහිර ලෝකයෙන් ලැබෙන පැසසුම සහ අගයකිරීම වෙනුවෙන් තමයි ඔවුන් වැඩක් කරන්න පුරුදු වෙන්නෙ.

දරුවා ඉදිරියේ ඔහු/ඇය ගැන කතා කිරීම ප්‍රවේසමෙන්

මෙයා හරියට බොරු කියනව, කිසිම පරිස්සමක් නැහැ, කමකට නැහැ, හරිම ලැජ්ජයී, කිසිම දෙයක් මතක හිටින්නෙ නැහැ, හරිම නපුරුයි වගේ ඍනාත්මක නාමයන් දරුවාට ලබාදෙන්න එපා. දරුවාගේ වැරැද්දක් ගැන කියනවා නම් ඒක පෞරුශයේ වැරද්දක් විදියට (character flaw) ප්‍රකාශ කරන්න එපා. ඒක හදාගන්න පුලුවන් තාවකාලික දෙයක් විදියට ප්‍රකාශ කරන්න.

උදා: “ඔයා බොරු කියන දරුවෙක්” කියලා නෙවෙයි  “ඔයා අද බොරුවක් කිව්ව ඒක වැරදි වැඩක්” වගේ ප්‍රකාශක් තුළින් කළ දේ වැරදි බව මිසක් පුද්ගලයගේ වැරැද්ද්ක් නැහැ කියන දේ තේරුම් යනවා. ඒක පෞරුෂ වර්ධනයට හරිම වැදගත්. මොකද අපි හැමෝම, ගොඩක් වෙලාවට අපි කවුද කියල තේරුම් ගන්න, අපි ගැන අනිත් අය දරන මතය, සමාජ දර්පණයක් (social mirror) වශයෙන් භාවිත කරන. කාගෙ හරි පෞරුෂයේ ලොකු වැරැද්දක් තියෙනව කියල නැවත නැවත කියන එකෙන් වෙන්නෙ ඒ කියන කතාව ඔහු තදින් විශ්වාස කරන්න පටන් ගන්න එක (core belief).

අවසාන වශයෙන්, දරුවා තුළ ඔබට පේන ආකාරයට මොන අඩුපාඩු තිබුනත් ඔහු ඔබ දන්නා දක්ෂතම, කාරුණික සහ අවංකම පුද්ගලයා බව සිතෙහි තබාගෙන දරුවාට කතා කරන්න. එවිට දරුවා තමන් එවැනි පුද්ගලයෙක් බව (internalization) විශ්වාස කරන්න පටන් ගන්නවා. ඔහුගේ හෝ ඇයගේ එම විශ්වාසය දවසක ඔවුන් ඇත්තටම ඒවැනි පුද්ගලයන් බවට පත් කරාවි.

වෛද්‍ය වෙනුර පලිහවඩන (MBBS, MDPsych) මහතා සමග සකසන ලද ලිපියකි.
Dr. Venura Palihawadana (MBBS,MDPsych)
Senior Registrar
SPECTRUM Statewide Personality Disorder Service,
Victoria , Australia…
අප වෙබ් අඩවියට වරින් වර ලිපි සපයන බාහිර ලියුම්කරුවන්ගේ ලිපි සියල්ල මෙම පොදු profile එක හරහා පල කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here