- Advertisement -

වැලන්ටයින්ගේ විපාක තේරෙන්නේ ඔහු ගියාට පසුවයි…

-

වැලන්ටයින් දිනය එද්දී තරුණ දූ දරුවන්ට අමුතු උණක් හැදෙනවා. ඒත් ඔවුන් දන්නේ නෑ මේ හැදෙන උණ අන්තිමට සන්නිපාත තත්වයට පත් වෙලා ඔවුන්ගේ ජීවිතය පවා නැති වෙන තරම් දරුණුයි. ආදරය කියන්නේ නව යොවුන් වයසත් සමග ඇති වෙන සාමාන්‍ය හැඟීමක්. අනාදිමත් කාලයක පටන් ආදරය වගේ සියුම් හැඟීම් රහසේ තබා ගැනීමට බැරි වුණා. නෑනා මස්සිනා ආදර අන්දරයට වුනත් අද සෞඛ්‍ය හේතූන් මත තහංචි දැම්මත් ඔවුන් අතර මේ ආදරය, ප්‍රේමය වැනි හැඟීම් පැවැතුනා. ඒ සියල්ල තුළ විනයක් තිබුණා. වැලන්ටයින්ලා නොසිටියත් ඔවුන් තමන්ගේ ආදරයෙන් හදවත් අතර වූ ප්‍රබල බන්ධනයකින් ජීවිතය ශක්තිමත් කර ගත්තා. ඒත් අද තරුණ දූ දරුවන් විනාශයට පත් කරන වැලන්ටයින්ගෙන් දරුවන් ආරක්ෂා කර ගත යුතු වගේම සීමාවන් පනවා ගත යුතු කාලය ඇවිත්…

කෙල්ලනේ වරෙල්ලා…කොල්ලනේ වරෙල්ලා… සදාචාරයක් නැති මාධ්‍ය ඔස්සේ වැලන්ටයින් වෙනුවෙන් පානා අඩහැරය එසේය. ඒ සමගම හානා හීය ඊටත් වඩා දරුණුය. මෙම අවස්ථාවට පෙම්වතෙක් සමග යෑම අනිවාර්යය. මේ නිසා එම සුදුසුකම සපුරා ගෙන යනෙන ගමනේ ඇති අනෙක් පැත්ත අපට පෙනෙන්නේ නැත. මේ සියල්ල තුළ ඇත්තේ වාණිජකරණීය වූ රටාවක් පමණි. රෝසමල්, චොකලට් වැනි විවිධතෑගි බෝග වෙනුවෙන් වූ ඉල්ලුම අනේකය. ඒ සියල්ල තුළ ඇත්තේ වාණිජ පරමාර්ථ පමණි.

- Advertisement -

වැලන්ටයින් දිනය ඉරිදාවක යෙදුනොත් එදාට දහම් පාසල හිස්ය. අතිරේක පංතිවල ඩෙස් බංකුවල ඉඩ කඩ ඕනෑතරම් ඇත. ඒ තරමටම මේ හරසුන් කටයුත්ත අද සමාජගතව ඇත. මාධ්‍ය මගින් සමාජය යහපවැත්මට යොමු කිරීමේ පවතින ප්‍රවනතාවය ඉතා ප්‍රබලය. අතීතයේදී පවා ඔවුන්ට පන්නරය ලබා දුන්නේ පන්හිඳයි. ඒ අද වගේ වෛවාරණ විද්‍යුත් මාධ්‍ය නොමැති වූ නිසාය. අද එසේ නොවේ. හිතට ඉතාම තදින් මෙම අදහස් ඇතුළු කිරීමට ඉඩකඩ තිබේ. විලිබිය ගැන ගුණගායනාවන් මගින් දරුවන් සුමගට යැවීමට මේ මාධ්‍යයන්ට ඕනෑ තරම් ඉඩකඩ ඇත. එහෙත් අද සිද්ධ වෙන්නේ යහගුණ පිරුණ සමාජය ප්‍රසිද්ධියේ නිරුවත් කිරීම පමණි.

එක්තරා ආකාරයකින් අපි මාධ්‍යටම දොස් පැවැරිය යුතු නැත. අම්මා තත්තාටත් මේ වැලැන්ටයින් පිටුපසින් වූ ශෝකාන්තය දරුවන්ට කියා දීමට අවසරය ඇත. නියම ආදරය යනු ප්‍රසිද්ධියේ තෑගි බෝග හුවමාරු කර ගැනීමවත්, පෙම්වතුන් සමග ලැගුම්හලක හුදෙකලා වීමවත් නොවේ. නව යොවුන් දරුවන් අතර බොහෝ දෙනෙක් සිතන්නේ ජිවිතය යනු වින්දනය කරන දෙයක් බවයි. එය ඇත්තකි. ඒත් මේ වින්දනය පසුකාලයකදී විඳවීමක් බවට පත් කර ගැනීමට අවශ්‍ය නැත.ඔබේ දුවට ,පුතාට පෙම්වතෙක් හෝ පෙම්වතියක් සිටිය හැක. එය අමුත්තක් නොවේ. එහෙත් මේ ආදරය සැමරීම වෙනුවෙන් තමන්ගේ චරිතය විනාශ කර ගත යුතු නැත.හැම වසරකදීම වැලැන්ටයින් දිනයෙන් පසුව ඇති වෙන ශෝකාන්ත ගැන ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නැත. තරුණ දූවරුන් තමන්ගේ පිරිසිදුකම විනාශ කර ගත් අවස්ථාවන් ගැන වාර්තාවන් තිබුනත් එය බොහෝ විට එක් වාර්තාවක් පමණක් වෙන තරම් සාමාන්‍ය වී ඇත. එයද ඇත්තකි. මෙයින් වන්දි ගෙවන්නේ එම දියනිය පමණි. සෙස්සන්ට එය කථා මාතෘකාවක් පමණි.

ඔබේ දියණිය මේ තැනට පත්වීමට ඉඩ නැතුවා නොවේ. ඔබේ පුතාගෙන් තවත් දියණියක් මේ තත්වයට පත් කිරීමට ගෙවෙන්නේ ඇසිල්ලක අවස්ථාවක් පමනි. හොඳ නරක කියා දීමට කෙනෙක් නැත. මේ දෙයින් මේ දෙය වෙනවාය යන්න ගැන ප්‍රබල සංකල්පනාවන් දරුවන්ට නැත. එහෙත් මව් දෙමව්පියන් විදිහට ඔබට මේ ගැන කරුණු කාරණාවන් ඔවුන්ගේ හදවතට දැනෙන සේ කියා දීමට ඉඩකඩ ඇත.

ආදරය යනු තැන තැන ගොස් ලෝකයට පෙනෙන සේ රඟපෑමේ යෙදීමක් නොව හදවතෙන්ව උපදිනා බන්ධනයකි. ජීවිතය වෙනුවෙන් වූ “ෆන්” ගැනීම මුල් කර ගෙන තරුණ ජීවිත නිකරුනේ කඩා වැටීමට ඉඩ දිය යුතු නැත. මේ නිසරු කටයුතු ගැන දරුවන්ට යා යුතු මග නොමග ගලපා ගැනීමට තරම් ඔවුන් පරිණත නොවන නිසා දෙමව්පියන් වශයෙන් ඔබට ඒ වෙනුවෙන් විශාල වගකීමක් ඇත. ඔබ විසින් ඒ වගකීම ඉටු කරන්නේ නම් දරුවන් අනවශ්‍ය ලෙසින් වූ රැල්ලට හසුවීම බොහෝ දුරට මග හැරෙනු ඇත.මේ නිසා වැලන්ටයින් එනවාට වඩා වැලන්ටයින්ගේ නික්ම යෑමෙන් පසුව ඇති වෙන තත්වය ඉතාම දරුණුය. නපුරුය. එහි වූ ආදීනව නිසා හඩා වැටෙන දරුවන්ගේ කදුළු පිසින්නට වැලන්ටයින් එන්නේ නැත. තවත් අවුරුද්දක් ගෙවුන තැන වැලන්ටයින් එන්නේ නැවත ප්‍රේමවන්තයින්ගේ දිනයක් සැමරීම පිණිසය. එහෙත් එදා මෙදා තුර දියණිවරුන්ගේ ජීවිතයට ඇති වුන කිලිටු කුණු මකා දැමීම පහසු නැත. ඒ නිසා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලෙසින් ඔබ දරුවන්ට මේ යන රැල්ලට මුලා නොවන ලෙසට මානසිකත්වය ගොඩ නගන්න. කොල්ලෙක් වුනොත් පය සෝදා ගෙට ගත හැකියි…යන සංකල්පයෙන් ඔබ්බට ඔබ දරුවන් ගැන සිතන්නනට කාලය එළැඹ ඇත.

ඔබේ දරුවා පිරිමි දරුවෙක් වුනත් ඔහුගෙන් අනාථ වන්නේ තවත් තැනක ආදර අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ දියණියකි. ඒ බව තරයේ සිත තබා ගෙන ආදරය තුළත් විනයක් අවශ්‍ය බව කියා දෙන්න. ආදරයට ආදරය කරන්නේ නම් කිසිදු දිනක එය ප්‍රදර්ශනය අවශ්‍ය නැත. එය ඇත්තේ හදවතේමය. “නැත ලොවේ අන් රසදුනා…ආදරය සේ සුවදෙනා” කියන්නා සේ මේ මිහිරි වූ ආදරයේ තවත් පැත්තකින් දිවෙන වාණිජ ප්‍රෝඩාවෙන් මිදෙන්නනට කාලය එළැඹ ඇත. ඒ නිසා මවාපාන්නා වූ රැල්ලට ගොදුරක් නොවන්න. ඒ පසුපස හමා යන මානසිකත්වයෙන් මිදෙන සේ දරුවන්ගේ මානසිකත්වය ගොඩ නැගීම අද යුගයේ අවශ්‍යතාවයක්ව ඇත.

වාණිජ මට්ටමින් ඔවුන්ගේ වෙළඳලෝකයේ ප්‍රවර්ධනයන් වෙනුවෙන් තහංචි පැනවීමට  අපිට නොහැකි වුනත් විනය, ශික්ෂනය තුළ හැසිරෙන රටාව දරුවාට කියා දීම ඔබට අපහසුවක් නැත.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article