දුවලා ඉන්න අම්මලාට…

mother-and-daughter

විශ්වවිද්‍යාල ජීවිතය ආරම්භයත් එක්කම ගිය ආත්මයේ හෝ ඊට පෙර මගේ සහෝදරියන්ව සිටින්නට ඇතැයි විශ්වාස කළ හැකි තරමේ සොයුරියන් හය දෙනෙක් මට හමු වුණා. එකම බෝඩිමේ බොහොම සුහදව, ආදරයෙන් අපි කාලය ගත කළා. ඇත්තටම අපි අපිටම නොදැනුවත්ව හෝ අපේ ආරක්ෂකයෝත් උණා. අද වෙනකොට අපි හැමෝම විවාහ වෙලා. දරුවෝ ලබලා. ජිවිතයට මුහුණ දෙනවා. ඉතිං මේ අතරින් එක සොයුරියකගේ නව කතාවක සෝදුපත් පරික්ෂා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ කතාවේ මගේ හිතට තදින්ම කා වැදුණේ කතා නායක යුවළගේ මදුසමයේ ඇරඹුමක් ලෙස බොහොම සුන්දරව රසවත්ව සටහන් කළ කොටසයි. මම ඇයට ඇමතුමක් දීලා, “ඒ ටික හරිම ලස්සනයි.. ඇයි අක්කේ එතනින් නැවැත්තුවේ…?” කියලා ඇහුවත් ඒ නතර වීම ඔබ, ඔබේ මංගල රාත්‍රිය දක්වා ආපස්සට රැගෙන යන්න  සමත් වෙන්නේ ඒ හේතුව නිසාම බව මට හිතිලා තිබුණා.

මේ සියල්ල සිදුවෙමින් පවතිද්දී මගේ තවත් යෙහෙලියක් නිවසට ආවා. මේ කියවීමත් සමගම අතීත මතකයන් එක්ක අමුතු හැඟීමක් හිතට දැනුණු නිසාමදෝ ඒ රසවත් බව අය සමග බෙදා ගන්න හිතාගෙන මම මේ පොත පිළිබඳවත් එය කාගේද යන්න පිළිබඳවත් මගේ හිතට කා වැදුණු මේ කොටස පිළිබඳවත් පැවසූවා.

ඒ කොටස කියවූ ඇය, “ඔව්… කෙල්ලෙකුගේ ජිවිතේ කොච්චර ලස්සන දවසක්ද? ඒත් මට නම් මගේ හනිමුන් එකේ මතක් කරන්න දෙයක් නැ.” කියලා පොත ආයේ මගේ අතට දුන්නා.

“ඇයි එහෙම කියන්නේ…,”

පොඩ්ඩක් ලජ්ජාවෙන් උනත් ඇය ඇගේ කතාව කියන්න පටන් ගත්තේ මේ විදියට…

“ඔයාටත් ඉන්නේ දුවලා දෙන්නෙක්. අනික ඔයා අම්මලා දැනුවත් කරන්න ගොඩක් ලිපි ලියන කෙනෙක්. මේ කතාව දුවලා ඉන්න හැම අම්මා කෙනෙක්ටම කොයි විදියකින් හරි වැදගත් වේවි. ඒකයි මම මේක මේ වෙලේ මෙහෙම කියන්නේ… අනේ වැරදියට හිතන්න එපා.”

“අපි දෙන්නටම අපේ මංගල රාත්‍රියේ කිසිම සුන්දරත්වයක් තිබුනේ නෑ. මොකද ඒ වෙනකොට ඒ දේවල් අපිට අලුත් දේවල් වුනේ නෑ. ඔය කියන විදියට ඇස් දිහා ආදරෙන් බලන්න අපිට හිතුණේ නැ. තරුණ වයසේදී අපි හිතට හිතෙන දේ කරනවනේ.. ඒ දේවල් 100%ක් වැරදියි කියන්නත් බැ.  ඒ කොහොම වුනත් අපි අපිට අවංකව ආදරය කළ නිසා ගැටලුවක් උනේ නැ. වාසනාව වුණේ ඒකයි. ඒත් බොහොම සුන්දරව ගෙවන්න පුළුවන්කම තිබුණු මංගල රාත්‍රිය නම් අපිට නැති උණා. අපි දෙන්නම එදා පසුතැවුනා.”

ඒකේ ප්‍රථිපලයක් විදියට තමයි, අද අපේ දුව අනවශ්‍ය විදියට අපේ ආරක්ෂාවට නතු කරගෙන ඉන්නේ. ඒක දුවට නොදැනෙන්න අපි කළත් එයා ගැන අපිට දුකයි. අපි දෙන්නම අද අපේ දුව ගැන හරිම බයකින් ජිවත් වෙන්නේ. මට මගේ පෙම්වතා ගැන 100%ක විශ්වාසයක් තිබුණා. අපි අපේ සම්බන්ධය ආදරයත් එක්කම විවාහය දක්වාම අරන් අවා. ඒත් අද කාලේ ඒ විදියටම වෙයි කියන විශ්වාසය අපිට නැහැ. මගේ දුව කවදා හරි තෝරගන්න පෙම්වතා ඒ විදියට විශ්වාස කරන්න පුළුවන් වෙයිද? මගේ දුව එයාගේ පෙම්වතා එක්ක හෝටල් කාමරයකට ගියොත් කියලා හිතද්දී මගේ ඇඟ කීරි ගැහෙනවා. මම එයා එක්කම ඉන්නේ ඒ බය මගේ හිතේ තියෙන නිසා. අපි දෙන්නාගෙන් කෙනෙක් නැතිව එයාව කොහෙවත් යවන්නේ නැ. යාලුවෝ එක්ක ගමනක් ගියත් අපි දෙන්නගෙන් එක්කෙනෙක් යනවාමයි. වෙලාවකට ”අනේ අම්මා කාගෙවත් අම්මල එන්නේ නැ.. ඇයි ඉතිං අම්මලා එන්නේ…” කියල අහන වෙලාවල් තියෙනවා. එතකොට එයාට අපිව කරදරයක් කියලා හිතෙනවත් ඇති. මම ආස මගේ දුව ලස්සන මනමාලියක් වෙලා අලුතෙන්ම එයාගේ යුග දිවිය පටන් ගන්නවට. එයා ජිවිතේ දුකක් ඇති වෙන්න යමක් කරගන්නවාට අපි දෙන්නම අකමැතියි.

“ඉතිං අම්මලා බැලුවේ නැද්ද ඔයා යන එන තැන්…?”

අම්මලාගේ මේ සම්බන්ධයට විරුද්ධත්වයක් තිබුනේ නැ. ඉතිං මම එයා එක්ක යනව නම් තමයි කොහේ උනත් යැව්වේ. මොකද අම්මටයි තාත්තටයි මම යන යන හැම තැනම එක්ක යන එක කරදරයිනෙ. ඉතිං මම හැම තැනම ගියේ එය එක්ක තමයි. ඒ නිදහස අපි දෙන්නම අයුතු විදියට ප්‍රයෝජනයට ගත්තා කියලා මේ ඔයා පෙන්නපු කාතාවේ ඒ කොටස දැක්කම මට පොඩි පසු තැවීමක් ඇති උණා.

ඒත් ඔය දෙන්නටත් ඒ විදියට හරි අලුත් දවසක් තියෙන්න ඇතිනේ, ඒක නේද ඔයාලගේ පලවෙනි දවස?

ඒ අත්දැකීම එහෙම විස්තර කරන්න බැ… කාට හරි පෙනෙයි, කරදරයක් වෙයිද? මේ කරන වැඩේ හරිද? කියන වරදකාරී හැඟීම් ගොඩක් එක්ක අම්මා තාත්තාගේ මුහුණු මතක් වෙද්දී ඒ අවස්ථාවේ අපි විඳපු සුන්දරත්වයක් නැ කියලා මට දැන් හිතෙනවා. ලස්සන මනාලියක් වෙලා හැමෝගෙම ආශීර්වාදය මැද්දේ සැමියා එක්ක අරඹන ජීවිතය සිය දහවරක් ලස්සන ඇති කියලා තමයි මට හිතෙන්නේ.

ඉතිං හිතන්න, මේ කතාව ඇතුලේ වැරදිකාරයන් කීදෙනෙක් ඔබට මුණ ගැහෙනවද? තාරුණ්‍යයේ සිතුවිලි “වැරදි” කියන වචනයට සමාන කරන්න පුලුවන්ද? දියණියන් ඉන්න ඔබත් හිතන්න,

තරුණයෙක් සහ තරුණියක්, ඔවුන්ගේ ආදරය ඔස්සේ ආසාවන් සොයා යනවා. යෞවන යෞවනියන්ට නිදහස උපරිමයෙන් ලැබෙන විට ඔවුන්ගේ සිතුවිලි ඔස්සේ ගලායාමට ඉඩ හැරීම වරදක්ද?

වරදට පෙළඹිය හැකි තරුණ වියේ සිටින දියණියකගේ ආරක්ෂකයා ලෙස සම වයසේ තරුණයෙක් යෙදවූ දෙමාපියන් නිවැරදිද?

තාමාගේ අනාගතය පිළිබඳව මේ තරම් අවදානමක් ගත් තම දෙමාපියන්ගේ විශ්වාසය බිඳ දැමූ දියණිය නිවැරදිද?

තමා විශ්වාස කර ඔවුන්ගේ දියණියගේ වගකීම පැවරු කළ, ඒ වැඩිහිටි යුවළගේ විශ්වාසය බිඳ දැමූ තරුණයා වැරදිද?

තම පෙම්වතිය හෝටල් කාමර වෙත රැගෙන ගිය පෙම්වතා නිවැරදිද? එය ප්‍රතික්ෂේප නොකළ ඇය වැරදිද?

මේ සියල්ල හමුවේ, තම තරුණ විය දෙමාපියන්ගේ අනවශ්‍ය අවධානයට ලක් වූ දියණියට ඉටු වන්නේ සාධාරණයක්ද?

හිතන්න ගොඩක් දේවල් එකතු වුණා නේද?

ඔබට හිතෙන දේ අපිට කියන්න. දියණියන්ගේ රැකවරණය වෙනුවෙන් ඔබේ අදහස් සියල්ල හැම මවකටම වැදගත් වනු ඇත.

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here