ශිෂ්‍යත්වය කියන්නේ ජීවිතය ‍නොවේ…

mother-console-sad-kid

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඇවිත්… මේ නිසා සතුටට පත් වෙන පිරිස ඉතා සීමිත වෙන අතර පුංචි කැකුළු හිත් නොදැනීම පීඩාවට පත් වෙනවා. ඒ විතරක් නොවෙයි, මව්පියන් හඬා වැටෙනවා. මේ පසුබිම තුළ දරුවා මානසිකව බිඳවැටෙනවා.

ඒත් ශිෂ්‍යත්වය කියන්නේ ජීවිතයේ එකම අවස්ථාව නොවේ. ශිෂ්‍යත්වය සමත් වූ පමණටම සුපිරි දරුවන් බිහි වෙන්නේ නැහැ. ශිෂ්‍යත්වය අසමත් වූ නිසා ඔවුන්ගේ අනාගතය ආපස්සට යන්නෙත් නැහැ. මෑතකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් සදහන් කළේ අද ශ්‍රි ලංකාවේ අධ්‍යාපනයෙන් යට පත් පුද්ගලයන්ගෙන් 72 % ක්ම ශිෂ්‍යත්වය අසමත් බවයි. අපි හිතන විදිහට ශිෂ්‍යත්වය සමර්ථයින් අනාගතයේ ඉහළම තලයට පත් වෙනවා නම් ඉහලම වෘත්තීන් හි නිරත පිරිසේ ප්‍රතිශතය ශිෂ්‍යත්වය සමතුන්ගෙන්ම බැබැලෙන්න ඕන නේද…? ඒත් ශිෂ්‍යත්වය සමත් කිරීමට නොව දරුවාගේ ඉගෙනුමට අවශ්‍ය සහයෝගය ලබා දීමට නම් දෙමව්පියන් මේ විදිහට කටයුතු කිරීම ඉතාම වැදගත්.

ඉගෙණුම් පරිසරයක් අවශ්‍යයි

දරුවන්ට බාලකාලයේ පටන්ම ඉ‍ගෙණුමට ගැලපෙන පරිසරයක් නිර්මානය කිරීම ඉතාම වැදගත්. ඒ ශිෂ්‍යත්වය ඉලක්ක කර ගෙන නොවේ. ඉගෙණුමට ඇවැසි පරිසර තත්වයක් බාල කාලයේ පටන්ම නොලැබුනොත් ඔවුන්ගේ අධ්‍යාපනයට තිබෙන උනන්දුව නොදැනීම ගිලිහෙනවා. ඒ විතරක් නොවෙයි. ප්‍රාථමික පංතියේදී අකුරු ලිවීම, කියවිම, සවන්දීම වැනි හැකියාවන් ගොඩ නගා නොගතහොත් අනාගතයේදී අධ්‍යාපනය වෙනුවෙන් වූ අත්තිවාරමක් නොමැති තත්වයකට දරුවා පත් වෙනවා. ඒ නිසා පුංචි කාලයේ පටන්ම ඉගෙනුම් පරිසරයක් නිවසේදීම ගොඩ නැගීම වැදගත්. එය පහ වසරේ ශිෂ්‍යත්වය වෙනුවෙන් වු සිඝ්‍රගාමි ව්‍යපෘතියක් නොව එදිනෙදා ජීවිතය් බොහොම හෙමින් සීරුවේ දරුවාටත් දෙමව්පියන්ටත් නොදැනෙන අන්දමේ සරල පසුබිමක් වීම වැදගත්. එක වසරේදී දරුවාගේ අසා ලිවිම, සවන්දීම වැනි කුසලතාවයන් දියුනු නොවුනොත් පහ වසරේදී මේ සියල්ල සමග ඉදිරියට යැම දරුවාට අපහසුයි.

දෙමව්පිය හමුවට යන්න

දරුවා කුස පිලිසිදගත් අවස්ථාවේ පටන් දෙමව්පියන්ගේ දෙවැනි ඉලක්කය දරුවා වෙනුවෙන් පාසලක් තීරණය කිරීමයි. කෙසේ හෝ ලියකියවිලි සූදානම් කර ගෙන ඉහල පරිපාලකයන්ගේ සහයෝගයෙන් දරුවා පාසලට ඇතුලත් කර ගත් තැන පටන් අම්මලා කියන්නේ යාන්තම් දැන් හුස්ම ගන්න පුලුවන් බවයි… ඔවුන්ගේ අවශ්‍යතාවය වෙන්නේ දරුවා සමාජයේ ඉහළ කීර්තිනාමයක් ලබා සිටින පාසලක ඉගෙනුම ලැබීමෙන් ඔවුන්ට ආලෝකයක් ලබා ගැනීමයි.

එතැන් පටන් නැවත පාසල පැත්ත පළාතට නොයන දෙමව්පියන් සිටිනවා. ඔබ දෙමව්පිය හමුවකට නොයනවා කියන්නේ ඔබ දරුවා ගැන කිසිම සැලකිල්ලක් නොදක්වනවාය කිව්වත් සාධාරණයි. ඔබ නිතරම හිතන්නේ “මගේ දරුවා දක්ෂයෙක් බවයි…” කූඹියාට උගේ මුත්‍රා ගංගාවක් සේ පෙනෙනවා වගේ ඔබේ සිතුවිල්ලත් සාධාරණයි. ඒත් තරඟකාරිත්වයේදී ඔබේ දරුවා අසාර්ථක චරිතයක් වීමට පුලුවන්. එවිටත් ඔබ හිතන්නේ මං හිතාගෙනම හි‍ටියේ “අපේ පුතා හොඳ ලකුණක් ගනී කියලා…” යන අපේක්ෂා භංගත්වයට පත් විය හැකියි. දෙමව්පිය හමුවේදී ඔබේ දරුවා පංතියේ සිටින තැන ගැනත් දැන ගන්න පුලුවනි. දරුවාගේ නොහැකියාවන් වගේම ඔවුන්ට උදව් අවශ්‍ය වෙන ආකාරය, ඒ උදව් වෙනුවෙන් කටයුතු කරන අන්දම ගැන ගුරුවරුන් සමග විවෘත සාකච්ඡාවකට මෙතැනදී අවස්ථාව ලැබෙනවා.

නිතරම පාසලට යවන්න

අද දෙමව්පියන් දරුවා පාසල් යැවීම ගැන තීන්දු තීරණ ගැනීමට හරිම දක්ෂයි. ඔවුන් නිවසේ සිටම ඒ වෙනුවෙන් නයාය පත්‍ර පිළියෙල කරනවා. අද ඉස්කොලේ යවල වැඩක් නැහැ… ශ්‍රමදාන තියේවි… එහෙම නැත්නම් අද අහවල් දේ වෙනුවෙන් ඉස්කෝලේ උත්සවයක් තියෙයි. ඒ වගේම තමන්ගේ පුද්ගලික කටයුතු තිබෙන විටත් ළමයි ගන්නයි මේ වැඩ කර ගන්නයි වෙලාවක් නැහැ. ඒ නිසා අද දරුවා ගෙදර නවත්වා ගන්නවා. මේ විදිහට ගන්නා තීරණ නිසා දරුවාට පාසල් යෑමට තිබෙන අවස්ථාවන් දෙමව්පියන් විසින්ම කප්පාදු කරනවා.

ඒත් දෙමව්පියන් විදිහට ඔබ නොදැන සිටියට පාසලේ අධ්‍යාපන කටයුතුවලට සමගාමීව බාහිර වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒවාට දරුවන්ගේ සම්බන්ධතාවය ඉතා වැදගත් වෙන්නේ මේ වැඩසටහන් මගින් දරුවා ප්‍රායෝගිකව බොහෝ දේ ඉගෙනගන්නා නිසාය. එය පොත පතින් ලබන දැණුමටත් වඩා වැදගත්. ඒ නිසා ශිෂ්‍යත්ව ඉලක්කය හඹා දුවනවා වෙනුවට දරුවා දිනපතා පාසල් යැවීමට කටයුතු කිරීම ඉතාම වැදගත්.

අවතක්සේරුව වගේම අධි තක්සේරුවත් එපා

අපේ දෙමව්පියන්ගෙන් බොහෝ දෙනෙක් මේ අන්තවාදී හැසිරීම අනුගමනය කරනවා. ඇතැම් දෙමව්පියන් නිරතම තම දරුවා ගැන හිතන්නේ අවතක්සේරුවකින්. “ඔයාට බැහැ…ඔයා අලසයි…” එක් කාණ්ඩයක් මේ විදිහට කියද්දී තවත් පිරිසක් තමාගේ දරුවා මුල් කර ගෙන අධිතක්සේරුවක් ගොඩ නගා ගෙන “මගේ දරුවා සැබෑ දක්ෂයා” යන සංකල්පය දරුවාගේ හිතටත් කාවද්දවනවා. මේ දෙපැත්තම එතරම් සුබවාදී නැහැ. එක් පැත්තකින් තමා අදක්ෂයි යන සිතුවිල්ලෙන් දරුවා මානසිකව බිඳ වැටෙන අතර අධි තක්සේරුවකින් දරුවා ඔසවා තබන විට ඔහු වෙහෙසවී කටයුතු කිරීමට උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ මධ්‍යස්ථ තැනක සිටින්න. දක්ෂතාවය අගය කරන්න. අදක්ෂතාවයට උදව් කරන්න. “ඔව්..ඔබට පුලුවන්” යන සිතුවිල්ලෙන් දරුවා දිරි ගන්වන්න.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here