- Advertisement -

බබාට කෑම හදමු – ලිපි අංක 2

-

බබාට බත් කවමු… කොහොමද ඒක කරන්නේ…?

අපේ රටේ ප්‍රධාන ආහාරය බත් නේ. ඉතින් චූටි බබාට මුලින්ම කෑම පටන් ගන්නකොට දෙන්න කියන්නෙත් බත්. ඉතින් අද මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ මම කොහොමද මගේ පැටියට බත් ආරම්භ කරලා වයසත් එක්ක ටික ටික ඒ බත් තලපය බබාට ආස වෙන විදියට වෙනස් කර ගත්තේ කියල.

- Advertisement -

බත් අපි දෙන්නේ ප්‍රධාන ආහාර වේලක් විදියටනේ. බබාගේ වර්ධන සටහන් පොතේ බබාට බත් කන්න දෙන්න ඕන ප්‍රමාණ වයසත් එක්ක දාලා තියෙනවා පැහැදිලිව. ඔයාලට ඒක මතක් කරලා දෙන්නම් මම මෙතන සාරාංශයක් විදියට.

chart-01

chart-02

මම නැවතත් ඕගොල්ලොන්ට ආදරයෙන් මතක් කරනවා “බබාගේ වර්ධන සටහන් පොත” හොඳින් කියවන ලෙස. ඉහත වගුවේ ඉතා කෙටියෙන් දක්වා ඇති කරුණු ඔබට වඩා විස්තරාත්මකව එම පොතෙන් බලා ගන්න පුළුවන්.

හරි…. දැන් මම කියන්නම් මේ උපදෙස් අනුව මගේ බබාට මුල් අවුරුද්ද ඇතුළත බත් විවිධ ආකාරයෙන් සාදා ගත් අන්දම​. මෙහිදී බබාගේ වයස අනුව බත්වලට එකතු කර ගන්නා දේවල් තීරණය කර ගැනීමේ වගකීම පැවරෙන්නේ ඔබට. එම වයස් සීමාවන් ගැන හෝ වෙනත් මේ ලිපිය සම්බන්ධ ඕනෑම කරුණක් ගැන වැඩි දුරට දැන ගැනීමට අවශ්‍ය නම් මේ ලිපිය යටින් කමෙන්ට් කරන්න​.

මූලිකව අපි බබාට දෙන බෙරි බත් තලපය මම සාදා ගත් ආකාරය මගේ “බබාට කෑම හදමු” ෆේස්බුක් පිටුවේ පින්තූර සහිතව පැහැදිලි කර තියෙනවා. එම පෝස්ට් එකේ ලින්ක් එක මෙහි ඔබ සැමගේ පහසුවට මම සඳහන් කරන්නම්.

Link : බබාට කෑම හදමු

මම නම් බබාට දුන්නේ රතු කැකුළු සහල්. තවත් ඉතා ගුණවත් දේශීය සහල් වර්ග  තියෙනවා බබාලට දෙන්න සුදුසු සුවඳැල්, කහවනු, පච්ච පෙරුමාල්, කුරුලුතුඩ ඒවායින් සමහරක්.

දැන් අපි බලමු බබාට බත් විවිධ ආකාරයෙන් සකසා දිය හැකි ආකාර. මට පුළුවන් මගේ අත්දැකීම් අනුව මේවා ප්‍රධාන ක්‍රම 3 කට වෙන් කරලා පෙන්වන්න​.

ක්‍රමය 1 :- මේ මූලික බත් තලපයට එහි රසය වෙනස් වෙන්න තව එක ආහාර වර්ගයක් සමග මිශ්‍ර කරලා දෙන්න පුළුවන්.

මෙන්න උදාහරණ කීපයක් :-

  1. බත් සහ පොල්කිරි එකතුව සාදා ගත් කිරිබත්
  2. බත් සහ ඇපල් / පෙයාස් / කෙසෙල් වැනි පලතුරක් සමග​
  3. බත් සහ පරිප්පු / මුං ඇට​/ කව්පි /කඩල/ කුරක්කන් වැනි ධාන්‍ය වර්ගයක් සමග​
  4. බත් සහ කැරට් / වට්ටක්කා වැනි එක් එළවළු වර්ගයක් සමග​
  5. බත් සහ අර්තාපල් / බතල වැනි අල වර්ගයක් සමග​
  6. බත් සහ යෝගට් / මී කිරි / චීස් වැනි කිරි ආහාරයක් සමග​
  7. බත් සහ නිවිති වැනි පලා වර්ගයක් සමග​
  8. බත් සහ මාළු/මස් / හාල්මැස්සෝ කරවල​/ බිත්තර වැනි සත්වමය ආහාරයක් සමග​

බලන්න​, ඉහත ආකාර සියල්ලම සැලකුවාම විවිධ රසවලින් යුතු බත් සාදා ගන්න පුළුවන් නේද?

ක්‍රමය 2 :- බත් සමග ආහාර වර්ග දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හැකි පමණින් එකතු කිරීමෙන්

පෝෂණීය සමබර බත් වේලකට අඩංගු වෙන්න ඕනා ප්‍රධානම ආහාර කාණ්ඩ දැන් ඔබට පැහැදිලි ඇති. මම මූලිකවම හිතේ තබා ගත්තේ මේ ආකාරයටයි.

  1. සහල්
  2. එළවළු වර්ග 2 ක් (මෙහි මම එළවළු ගොඩටම අල වර්ගත් සලකා තියෙනවා)
  3. ධාන්‍ය වර්ගයක්
  4. සත්වමය ආහාරයක්
  5. පලා වර්ගයක්
  6. මේදය​

මේ මූලික දේවල් සියල්ලම නිසි වයසේදී ප්‍රධාන ආහාර වේලකට දෙන්න පුළුවන් නම් ඉතාම හොඳයි. නමුත් බබාලා ටික ටික ලොකු වෙන කොට කෑම ප්‍රතික්ශේප කරන අවස්ථා එනවනේ. ඒ වගේ වෙලාවල්වලට මේ ආහාර වර්ග ටික ටික​ එහා මෙහා කරමින්, බබා කැමති රස ඉස්මතු කරමින් බත් එක සාදා ගන්න උනන්දු වෙන්න​.

ඉහතින් සඳහන් කළ මූලික ආහාර වර්ග සඳහා උදාහරණ කිහිපයක් ද මම සඳහන් කරන්නම්, ඔබේ පහසුවට​.

  1. සහල් වර්ග – මම කිහිපයක් මෙම ලිපියේම කලින් සඳහන් කළා
  2. එළවළු වර්ග 2 – මෙහිදී මම එළවළු වර්ණ දෙකකින් තෝරා ගන්න උනන්දු වෙනවා. උදාහරණ ලෙස බීට් රූට් සහ දඹල , කැරට් සහ බෝන්චි, බතල සහ පතෝල යනාදී වශයෙන්. ඔබට කැමති ඕනැම එළවළුවක් බබාට හඳුන්වා දෙන්න පුළුවන්, එයට සීමාවක් නැහැ. කිසි දෙයක් තෝරන්න එපා. සියලුම එළවළු වර්ගවලට පොඩි කාලේ සිටන්ම පුරුදු වෙන බොහෝ දරුවන් ලොකු වුනාම ආහාර තෝරන්නේ නැහැ.
  3. ධාන්‍ය වර්ග – මුං ඇට​, පරිප්පු (විශේෂයෙන් තෝර පරිප්පු – වස විසවලින් අවම නිසා), රතු සහ සුදු කව්පි, කඩල​, කුරක්කන් වගේ ධාන්‍ය තමයි මම දුන්නේ. මේවා අපට ලේසියෙන් කල් තබා ගන්නා විදියට සකසා ගන්න පුළුවන්. මේවා හොඳින් සෝදලා, අව්වේ වේලලා, කබලේ බැදලා, කුඩු කර ගෙන බෝතල්වල අසුරලා තබා ගන්න පුළුවන්. මම නම් ශීතකරණයේ තබා ගත් නිසා මාස කීපයක්ම පාවිච්චි කළා. නමුත් තවත් සමහර අම්මලා නම් ශීත කිරීමකින් තොරවම එළියේ කාලයක් තබා ගෙන පාවිච්චි කළ බවත් මා සමග පවසා තිබෙනවා. මේ සියල්ල ඔබේ කැමැත්ත පරිදි සිදුකර ගන්න​.

මෙලෙස ධාන්‍ය ඇට ලෙසද​, පිටි ලෙස ද භාවිතයට අමතරව ධාන්‍ය පැල කර මුල් අද්දවා ආහාරයට එකතු කිරීමද කරන්න පුළුවන්. ධාන්‍ය ඔබට අවශ්‍ය ප්‍රමාණය හොඳින් සෝදා දවසක් වතුරේ පෙගෙන්න තිබ්බාම ඒවායෙහි මුල් ඇදීම සිදුවෙනවා. ඒවා බත් එකට එකතු කර කෙලින්ම උයා ගන්න පුළුවන්. වැඩිපුර සාදා ගත්තොත් ශීතකරණයේ තබා දින කීපයක් කල් තබා ගැනීම කර ගන්න පුළුවන්. මේ දිනවල සුපිරි වෙළඳ සැල්වල පැල කරන ලද මුං ඇට එහෙම ගන්න තියෙනවා. ඒත් මේවා ගෙදරම සාදා ගැනීම එච්චර දුෂ්කර කාර්‍යයක් නෙවෙයි.

  1. සත්වමය ආහාරයක් – මස්, සුදු මාළු, බිත්තර​, හාල්මැස්සෝ කරවල වගේ දේවල් තමයි.

මස් නම් කුකුළු මස් මුලින්ම හඳුන්වා දීම සුදුසුයි. අනෙක් මස් වර්ග දෙනවා නම් බොහොම කල්පනාවෙන් ටිකෙන් ටික හඳුන්වා දෙන්න​. මොකද ගොඩක් මස් වර්ගවලින් ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. මම දුන්නේ නම් කුකුළු මස් පමණයි. ඒත් සතියකට හෝ දෙකකට වේලක් හෝ දෙකක් පමණයි. අද කාලේ නැවුම්, වස විස නැති කුකුල් මස් සොයා ගැනීමට හරි අපහසු නිසා. කාබනික (organic) මස් ලැබෙයි නම් නිතරම වුවත් බබාගේ බත් එකට එකතු කළාට කමක් නැහැ.

මාළු විදියට තෝරා, පරා, මී වැටි, තලපත් වගේ සුදු මාළු දෙන්න පුළුවන්. බබා ලොකු වෙද්දී අවශ්‍ය නම් කෙලවල්ලා, ඉස්සා, දැල්ලා වගේ මාළු ටිකෙන් ටික හඳුන්වා දෙන්න පුළුවන්. එහෙම දීපු අම්මලා ඉන්නවා. නමුත් මම නම් තාම ඉස්සා, දැල්ලා නම් දීලා නැහැ. මොකද ඒවා ටිකක් ආසාත්මිකතා ඇති කරන මාළු වර්ග නිසා.

බිත්තර නම් මුලින්ම කහ මදයෙන් පටන් අරන් මාස 10 වගේ වෙද්දී සම්පූර්ණ බිත්තරයක්ම දෙන්න මම කටයුතු කළා.

හාල්මැස්සෝ කරවල – බඩවත් අයින් කර, ඔළුව සමග හාල්මැස්සෝ අරගෙන​, හොඳින් සෝදලා, අව්වේ වේලලා, කබලේ බැදලා හොඳට කුඩු කර ගත්තාම කෙලින්ම බත් එකට එකතු කරගන්න පුළුවන්. කටු නැතිවෙන්න හොඳින් කුඩු කරගන්න වග බලා ගන්න​. මේවත් හොඳින් බෝතලයක අසුරලා කල් තබා ගන්න පුළුවන්.

(පීකුදු දෙන්න නියම කර තියෙන කෑමක් වුනත් මම ඒවා දුන්නේ නැහැ. කුකුළු අක්මාවේ වස විස බොහෝ රැඳෙන්න ඉඩ තිබෙන නිසා)

  1. පලා වර්ගයක් – ගෙදරම පොඩියට වවා ගත්ත ගොටුකොළ සහ නිවිති තමයි ගොඩක්ම මම බබාට දුන්නේ. ඊට අමතරව මුකුණූවැන්න​, කංකුං දුන්නා. තවත් ඕන තරම් පලා වර්ග තියෙනවා. විශේෂයෙන් කංකුං දෙද්දී දලු හරියෙන් දෙන්න​. ලොකු දඬු දෙන්න එපා. ඒවා ඇතුළේ සත්තු ඉන්න පුළුවන් නිසා හොඳින් පිරිසිදු කිරීමට වග බලා ගන්න​.
  2. මේදය – බටර්, එළගි තෙල් (ගී), සූරියකාන්ත තෙල්, ඔල්ව් තෙල්, පිරිසිදු පොල් තෙල් බබාට දෙන්න සුදුසුයි.
ක්‍රමය 3 :- බත් මගින් සාදා ගත හැකි වෙනත් ආහාර​ 

  1. කුරක්කන් කැඳ (බත්, පොල්කිරි, කුරක්කන් පිටි)
  2. කිතුල් කැඳ (බත්, පොල්කිරි, කිතුල් පිටි )
  3. කොළ කැඳ (බත්, පොල්කිරි, කොළ වර්ගයක්)
  4. එළවළු සුප් බත් (සුප් සාදා වතුර බේරා ගත් පසු ඉතුරු වන එළවළු, බත් සමග මිශ්‍ර කර​)
  5. කොහිල කැඳ (බත්, පොල්කිරි, කොහිල අල​)
  6. කිරිබත් සහ කෙසෙල්
  7. හාල් පිටි ඉඳි ආප්ප​
  8. හාල් පිටි ආප්ප මදය​
  9. හාල් පිටි පිට්ටු සහ පොල් කිරි

බලන්න .. ඕගොල්ලොන්ට පේනවා ඇති බත් (හෝ සහල්) ආශ්‍රය කරගෙන විවිධ විදියේ රසවලින් යුත් කෑම වර්ග ගණනාවක් සාදා ගන්න පුළුවන් නේද කියලා. කාගෙන්වත් අහ අහා ඉන්න අවශ්‍ය නැහැ. නිර්මාණශීලීව සිතීම පමණයි කරන්න ඕන​. ඒකට අම්මලා දක්ෂ වෙන්න ඕන​.

මම අවසාන වශයෙන් ඔයාලාට, බබාලට බත් ආහාරය සකස් කිරීමේදී වැදගත් වන ඉඟි (TIPS) කිහිපයක් කියන්නම්. ඒවා හොඳින් හිතේ තියා ගෙන බබා ගේ බත් එක සකස් කර ගන්න​.

  • බත් උයනකොට බත් සමගම එළවළු, ධාන්‍ය ඇට​, මස්/මාළු මුල සිටම එකට දමා උයා ගන්නවා නම් හොඳයි.
  • ඔබ බත් එකට දමන්නේ කුඩු කල ධාන්‍ය නම් බත් එක ඉදීගෙන එනවිට ඒවා එකතු කරන්න​.
  • පළා වර්ග බත් එක බාන්න කිට්ටුව එකතු කර ගන්න​
  • බිත්තර නම් වෙනම තම්බා ගෙන බත් එක බබාට කවන කොට බත් එකට මිශ්‍ර කරගන්න​
  • මාළු/මස් බත් එකට එකතු කරන විට අමුවෙන්ම කටු ඉවත් කරගෙන මාංශ කොටස් පමණක් බත් එකට දමන්න​.
  • පොල්කිරි එකතු කිරීමේදී කිරිබත් උයන ආකාරයට බත් එක ඉදුනාම එකතු කර ගන්න පුළුවන්. නැත්නම් මුල සිටම දිය කිරි සහ මිටි කිරි දෙකම දමා කිරෙන්ම බත් එක උයා ගන්නත් පුළුවන්
  • බටර්, ගී, තෙල් වර්ග කෙලින්ම බත් එක ඉදුනාට පසු බතටම එකතු කර අනා ගන්න පුළුවන්, නැත්නම් බත මේවායින් තෙම්පරාදු කර ගන්නත් පුළුවන්.
  • සමහර විට ඔබේ කාර්‍යබහුලකම නිසා ඔබ බත් වේල් දෙකක් සඳහා එකටම උයා ගන්න තීරණය කරන්න ඉඩ තියෙනවා. එහිදී වේල් දෙකේම බත් එක, එකම වූවත් එහි රස මොන යම් හෝ ආකරයකින් වෙනස් කිරීමට ඔබ උත්සහ ගන්න​.

උදා :- තෙම්පරාදුවක් දැමීමෙන්, ඇපල්/පෙයාස්/මිදි/නාරන්/කෙසෙල් වැනි පලතුරක් එකතු කිරීමෙන්, තල/රුලන් වගේ දෙයක් බැදලා තෙම්පරාදුවක් දැමීමෙන්, යෝගට්/මීකිරි/චීස් වැනි දෙයක් එකතු කිරීමෙන්

  • පුළුවන් තරමින් බ්ලෙන්ඩ් කිරීමෙන් වලකින්න​. ඒ, බ්ලෙන්ඩ් කරන විට ඉතා සියුම් ක්‍රීම් එකක් බවට පත් වෙන නිසා බබා හපලා කන්න පුරුදු කර ගන්න අමාරු වෙන නිසයි. නමුත් සමහර ආහාර පොඩි කර ගැනීමට බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න සිදු වෙනවා. මස්/බෝන්චි/කොළ වර්ග වගේ දේවල්. මේ අවස්ථාවල බ්ලෙන්ඩ් කරද්දී අවශ්‍ය ලෙස වේගය පාලනය කර අවශ්‍ය ප්‍රමාණයට කැබලි කර ගන්න අම්මා දක්ෂ වෙන්න ඕන.
  • බත් එක උණුසුම් ව තියෙද්දී බබාට කවන්න
  • බත් කන්න අදි මදි කරන බබෙක් නම් ඔබ සකස් කරගන්නා බත් වේල හොඳින් භාජනයක දමා අසුරා ටිකෙන් ටික අරගෙන බබාට සැරින් සැරේ කවන්න​. පොඩි ආහාර ප්‍රමාණයක් වැඩි වේල් ගනණක් කැවීම සුදුසුයි.
  • බබා කන්න අදි මදි කරන විට කළ හැකි තවත් දෙයක් විදියට බබා පැය කීපයක් නිරාහාරව තබා හොඳින් බඩගිනි දැනෙන විට සැලකිය යුතු ප්‍රමාණයක් බත් කවා ගැනීම කළ හැකියි.
  • උණුකර නිවාගත් වතුර කවන වෙලාවට ලඟින් තබා ගන්න​. බබාට වැඩි ආහාර ප්‍රමාණයක් කැවුනොත් වතුර ටිකක් බොන්නට දී එය ගිල ගැනීම පහසු කර දෙන්න පුළුවන්.
  • කහ​, තුනපහ​, ගම්මිරිස්, අබ වගේ වෙනත් කුළු බඩු ඔබේ කැමත්ත පරිදි බත් එකට එකතු කර ගන්න පුළුවන්. මම නම් අවුරුද්දක් යනකම් කිසිම කුළු බඩුවක් එකතු කළේ නැහැ. නමුත් වෙන අම්මලා නම් එකතු කරලා තියෙනවා.
  • අවුරුද්දක් පහු වෙනකම් බතට ලුණු හෝ සීනි එකතු කරන්න එපා.

මගේ “බබාට කෑම හදමු – Lets make Baby Food” පිටුවට පිවිසිලා මම මගේ බබාට සාදා දුන් බත් වර්ග ගැන වැඩි විස්තර පින්තූර සහිතව බලා ගන්න ඔයාලට පුළුවන් (https://www.facebook.com/pg/umibabyfoodblog)

මම මේ ලිපියෙන් කිව යුතු සියල්ල හැකි පමණින් ආවරණය කරන්න උත්සාහ ගත්තත් සමහර කරුණු මග හැරී තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබට නැගෙන ගැටලු කමෙන්ට් කිරීමෙන් අපට දන්වන්න​. අපි  හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article