එක්තරා මිශ්‍ර පාසලක හතර වසරේ දරුවන් අතර සිදු වුන එක් සිදුවීමක් මේ. එදා පාසලේ උත්සවයක්. ගුරුතුමියන් සේරම ඒ වෙනුවෙන් යෙසවුන නිසා පංතියේ ඉතිරි වුනේ දරු දැරියන් විතරයි. මේ පංතියේ සිටිය ලස්සන දුවකට ඒ පංතියේම පුතෙක් පුංචි ලියුමක් දීලා. ඒ ලියුමේ තිබුනේ “මම ඔයට ආදරෙයි කියලා…”
ඉතින් මේ සිද්ධිය පංතියේ ගුරුතුමියටත් පෙරාතුව කොහොම හෝ අම්මලා අතරට ගියා. අපේ අම්මලාට ඔය ටික හොදටම ඇති. ඔන්න පටන් ගත්තා. “අර ළමයාගේ තියෙන නැහැදිච්චකම බලන්න… ඔය වයසේ ඉදන්ම ඔය විදිහට හැසිරෙන්න ගත්තාම ඉස්සරහ ගැන නම් අනේ හිතාගන්න බැහැ….” තවත් මේ පුතාගේ පවුල් ගහත් බදා ගත්තා. අනේ “ඔය පවුලේ හැදියාවක් නැහැ…” අත්තම්මාගේ පටන් ඉතිහාසය දැන් ඈදිලා. මේ පුතා පාසලට යන එන විටත් “අම්මලා ආන්න…. අර නැහැදිච්ච දරුවා…” ලේබල් අලවලා ඉවරයි.
ඒත් මේ දුවගේ අම්මලා මේ සිද්ධිය ගැන එතරම් කලබල වුනේ නැහැ. “අම්මේ මට පංතියේ අය විහිලු කරනවා..” දුව කිව්වාම අම්මයි තාත්තයි දූට මේ විදිහට කිව්වා.
“ඉතින් පුතේ ආදරෙයි කියන එක නරක දෙයක්යැ. දැන් අපි ඔයාට ආදරෙයි…. අයියා ඔයාට ආදරෙයි.. ආයේ… පුංචිලා… නැන්දලා…ඒ වගේ යාළුවත් ඔයාට ආදරෙයි කියන්න ඇති… බොහොම සරල විදිහට ඒ ප්‍රශ්නය ගැන දුවගේ අම්මලා කරුණු පැහැදිලි කළා.
ඇත්තටම පුංචි දරුවන්ගේ බොහොම වැරැදි සිද්ධ වෙන්නේ ඔවුන් නොදැණුවත්ම. මේවා වැරැදි කියල දන්නවා නම් කවදාවත් ඒ වගේ දේවල් ඔවුන් එළිපිට කරන්නේ නැහැ. ඒ නිසාම අපි දරුවන්ට විවෘතව කටයුතු කරන්න දුන්නොත් ඔවුන්ගේ මේ හැසිරීම් වලින් අපිට යම් යම් දේ ඔවුන් ගැනත් දැන ගන්න පුලුවනි.
දරුවන් ගැන නිරීක්ෂනයෙන් ඉන්න…
දරුවන්ගේ වැරැදි වෙනත් අය අතරට පත්වෙලා ඔවුන් ඒවා ඉතාම විනාශකාරී විදිහට බෙදන යුගයක් නිසා අපි දරුවන් ගැන සියුම් විදිහට නිරීක්ෂනය කිරීමත් ඉතාම වැදගත්. මේ නිරීක්ෂනයේදී අපිට ඔවුන් ගැන බොහෝ දේ දැනගන්න පුලුවනි. සමහර දරුවන් නිවසේ සිට යම් යම් දේවල් සොරෙන් රැගෙන එන්න පුලුවනි. එහෙම නැත්නම් පංතියේ මිතුරන්ගේ දේවල් හොරෙන් අරගෙන යන්න පුලුවනි. මේ අවස්ථාවලදී ඔවුන් “හොරු” කියල චෝදනා කළ යුතු නැහැ. ඉතාම සියුම් විදිහට මේ කරන වැරැද්දෙන් දරුවා මුදවා ගැනීම මිස මේ සොරකම් දිහා අපේ මට්ටමින් බැලීම එතරම් සුබ නැහැ. හැබැයි ම් සොරකම් වලින් දරුවා මුදවා ගන්නා තැනටත් කටයුතු කිරීම ඉතාමත් වැදගත්.
අපේ අම්මලාගේ සමාජයක් පාසලේ ගේට්ටුව ළග නිතරම හැදෙනවා. මේ සමාජයට සමහර විට අම්මලා විතරක් නොවෙයි, ආච්චිලාත් එකතු වෙනවා. ඉතින් මේ උදවියට දවස ගෙවන්න අතුරුපසකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේ වෙලාවට දරුවන්ගේ පුංචි පුංචි වැරැදි දිහා මහ පරිමාණයෙන් දකින්න පටන් ගන්නවා.
හැම දරුවෙක්ම වටිනවා..
දරුවන්ගේ හැසිරීම් බොහෝ අය දකින්නේ ඒ දරුවාගේ පවුල් පරිසරය පදනම් කර ගෙනයි. කිසිමි විදිහකින් අපිට ඒ තක්සේරුව ඇති කර ගන්න බැහැ. වැරැදීම සාමාන්‍ය දෙයක්. එයට පවුල්වාදය ගලපා ගන්න එපා. ප්‍රාථමික පංතියක දරුවෙකුගේ වතුර බෝතලයේ ඒ දරුවාගේ නමත් මුද්‍රණය කරල තිබුනා. ඒත් වෙන දරුවෙක් මේ බෝතලය සොරකම් කර ගත්තා. බෝතලයේ සැබෑ අයිතිකරු සාමාන්‍ය පවුලකයි. ඒත් සොරකම් කළ දරුවාගේ දෙමව්පියන් වෘත්තියෙන් ගුරුවරු. පංති භාර ගුරුතිමිය එක හෙලාම කිව්වේ… “මේ ළමයාගේ අම්මා. .තාත්තා දෙන්නාම ගුරුවරු…ඉතින් අපි ළමයා හොරක් කියල චෝදනා කරන්නේ කොහොමද..?” ඒ වුනත් බෝතලයේ නමත් කපා තිබියදීම අයිතිකරුට බෝතලේ අහිමි වුණා.
ඉතින් දරුවන්ගේ හැසිරීම් වලදී කිසිම විටෙක පවුල් පසුබිම බලපාන්නේ නැහැ. ඒවා දරුවන් කරන්නේ ළමා වියේ ඇති වෙන පුංචි පුංචි ආසාවන් නිසයි. ඒත් සොරකම නරක නිසා ඔවුන්ට ඉතාම සෙමෙන් ඒ වැරැදද් ගැන කියා දීම වැදගත්. එහෙම නැති වුනොත් ඔවුන්ගේ සොරකම පිලිබඳව තිබෙන යොමු වීම ඉතාම අසුබ විදිහට ඔවුන් සමගම වැඩිදියුණු වෙන්න පුලුවනි.
ඒ නිසා දරුවන්ගේ හැසිරීම් දෙස බැලිය යුත්තේ දරුවන්ගේ ලෝකයේ සිට මිසක අපේ ලෝකයේ සිට නොවේ. අපේ ළමා කාලයේ සමහර විට මේ තත්වයට වඩා නරක හැසිරීම් තිබෙන්න පුලුවනි. ඒත් කාලය සමග ඒවා නැති වී යෑම සිදු වී තිබෙන නිසා දරුවන්ගේ බොහෝ වැරැදි ඔවුන් දැනුම් තේරුම් ලබන විට නැති විය හැකියි. එතෙක්… අපි මේ දෙස දරුවන් නිවරැදි කිරීමට මිස ඔවුන් බාල අපරාධකරුවන් විදිහට සැලකිය යුතු නැහැ.
බාලඅපරාධකරුවන් වෙන්නත් පුලුවන්..
සමහර විට දරුවන්ට සමාජයට මුහුන දෙන්න බැරි විදිහට මේ හැසිරීම් තැන තැන විවේචනය වෙනවා. ඒ නිසාම ඔවුන් හුදෙකලා චරිත බවට වගේම මානසිකවත් සමාජයෙන් පලිගන්න තරම් දරුණු වෙනවා. විශේෂයෙන් නව යොවුන් කාලයේදී මෙය ඉතාම දරුණු විදිහට බලපාන්න පුලුවනි. තමාගේ ආදර සම්බන්ධතාවය ගැන තැන තැන වපුරන පුද්ගලයෙක් නිසා තමා මිතුරියට ඇති වුන අවමානය නිසා පිහියක් රැගෙන මේ පුද්ගලයා එන මග රැක සිටියා. හදිසියේවත් ඒ අවස්තාවේ ඔහු පැමිණියා නම් අනිවාර්යෙන්ම අනින තරම් දරුවා දරුණු සේ කෝපයට පත්ව සිටියත් බොහෝ දෙනාගේ මැදිහත් වීමෙන් එය බේරුනා. මේ වගේ සිදුවීම් නිසා එක් පැත්තකින් දරුණු අපරාධකරුවෙක්ද, අනිත් පැත්තෙන් ඔහුගේ මිතුරුයව සිටි දියණියටද විශාල ලැජ්ජාවක් ඇති වුණා. ඒ නිසා හැම සිදුවීමක් දෙසම මනෝවිද්‍යාත්මක ඇසකින් බලන්න පුලුවන් නම් වඩාත් උචිතයි නේද…?
දරුවාගේ විනාශයට වෙන වැරැදි නම් ඒ ගැන වගකිව යුතු අයට කිව්වාට කමක් නැහැ…
සමහර වෙලාවට දරුවන්ගේ ඇතැම් හැසිරීම් නිසා ඔවුන් නොමගට යන ප්‍රවනතාවයක් තිබෙනවා නම් ඒ ගැන වගකිව යුතු අයට කිව්වාට නම් කමක් නැහැ. එක් දරුවෙක් තමන්ගේ මිතුරා පාසලට මත්ද්‍රව්‍ය ගෙනෙන බව අම්මාට කිව්වා. මේ අම්මායි..මත් ද්‍රව්‍ය රැගෙන එන අම්මයි එකම කන්තෝරුවේ වැඩ කළ නිසා බොහොම වගකීමෙන් පුතුගේ වැරැදි හැසිරීම ගැන ඇය තම මිතුරියට කිව්වා. ඒ නිසා දරුවා මේ වැරැදි හැසිරීමෙන් බේරා ගන්න මුල් අවධියෙන්ම හැකියාව ඒ පවුලට ලැබුනා. දරවන්ට ආදරය කරනවා නම් ඔවුන් සුමගට යොමු කරන්න අවශ්‍ය නම් ඒ වැරදි හැසිරීම වගකිව යුතු විදිහට වගකීමෙන්ම කියනවා හැර දරුවන් දිහා වපර ඇසින් නම් බැලීම එතරම් හොඳ කටයුත්තක් නොවෙයි.