- Advertisement -

ජපනුන් වගේ දීර්ඝායුෂ විඳින ජනතාවක් වෙන්න ශ්‍රී ලාංකික අපිට බැරිද?

-

දවසින් දවස අපි යන්නෙත් වයසට… ඒ නිසා මේ ලිපිය කියවමු . අද පුංචි දරුවෝ ඉන්න අම්මල තාත්තලා වෙලා ඉන්න අපි දරුවන්ගේ දරුවන්ට ආච්චිලා සීයලා වෙන්නත් ලොකු කාලයක් යන එකක් නැහැ. ඒ තරමටම කාලය වේගවත්. අද අපේ දරුවන්ගේ ආච්චිලා සීයලා ඉන්න තත්ත්වයට හෙට අනිවාර්යෙන්ම අපිත් යනවා. ඉතින් අද ඔබට ඔබේ මහලු මව පියා බලාකියා ගන්නත් මේ කරුණු බොහොම වැදගත් වේවි. ඒ ඔස්සේ ඔබේ දරුවනුත් අත්දැකීම් ලබාගනිවී.

සාමාන්‍යයෙන් මහලු විය ලෙස වෛද්‍ය විද්‍යාවේදී සැලකෙන්නේ වයස  අවුරුදු 75ට ඉහළ වයස් කාණ්ඩයයි. ලෝකයේ සාමාන්‍යයෙන් ආයු අපේක්ෂිත කාලය පිරිමින් සඳහා අවුරුදු 69ක් සහ ස්ත‍්‍රීන් සඳහා අවුරුදු 75ක් ලෙස තමයි සැලකෙන්නේ. නමුත් සියලු දෙනා පිළිගන්නා කාලය වනුයේ මනුෂ්‍යාගේ පරම ආයුෂ අවුරුදු 120ක් බව තමයි.

- Advertisement -

දීර්ඝායුෂ විඳින ජනතාවක් සිටින රටක් ලෙස ජපානය හැඳින්විය හැකි වන්නේ එහි බොහෝ පිරිසක් වයස අවුරුදු 100 ඉක්මවා ජීවත් වන නිසාමය. සැබවින්ම ජපනුන් දීර්ඝායුෂ ලැබීමට හේතුව නම් ඔවුන් සියලු දෙනා වෙහෙස වී වැඩ කිරීමයි. ජපානයේ ජනතාව නිකරුණේ තේ බිබී කතා කරමින් සතුටු සාමීචියේ යෙදෙන්නේ නැත. ඔවුන්ගේ සතුට වැඩ කිරීමය. ඔවුහු දවස අවසානයේ වැඩ නිම කිරීමේ සතුට ලබති. අපේ ශරීරය හැඩගැසී ඇත්තේ වැඩ කිරීමටය. එවිට එම වැඩවලට ඔරොත්තු දෙන ලෙස පේශි ශක්තිමත් වීමද රුධිර ගමනාගමනය නිසියාකාරව සිද්ධ වීමද, බහිස්ස‍්‍රාවය නිසි පරිදි සිදු වීමද, මනස නිරෝගීව තිබීමද සිදු වේ. එම වැඩ කිරීමට ශරීරය අනුවර්තනය වේ. අප වැඩ නොකර සිටින විට පේශි සිහින් වේ. එකතැන සිටීම නිසා ශ්වසන ආබාධ ඇති වී, සෙම වැඩි වී නියුමෝනියා තත්ත්ව පවා ඇති විය හැක. එමෙන්ම දැන් තමා අවලංගු කාසියක් යැයි සිතා නිරතුරු මනස කඩා වැටේ. මානසික අසමතුලිතතාව ඇති වී තව තවත් රෝගී වේ.

දීර්ඝායුෂ හිමි වීමට තවත් ප‍්‍රධාන හේතුවක් වනුයේ නිරතුරු මනස තරුණව තබාගැනීමයි. නිරතුරු තමන්ට පුළුවන් යන හැඟීම ඇතිව සියලු දේ කළ යුතුය. එවිට මනස සැහැල්ලු වී ප‍්‍රබෝධමත් වී එදිනෙදා වැඩ පහසුවෙන් කළ හැකි වේ. සමාජයෙන්ද ”දැන් ඉතින් වයසයි නෙ….. ටිකක් තැන්පත් විදියට හිටියොත් තමා හොඳ” ලෙස පවසා හිතේ ඇති ප‍්‍රබෝධය අඩු කර දමයි. සමහර රෝහල් කාර්යමණ්ඩල පවා ඇතැම් විට වයස 80ක පමණ රෝගියෙකු ප‍්‍රතිකාරවලට පැමිණි පසු ”දැන් ඉතින් වයසයිනේ, ඔය ලෙඩවල හැටි ඔහොම තමයි. දැන් ඉතින් උපරිම හිටියනේ” ලෙස කියනවා ඔබ අසා ඇත. පරමායුෂ හා සංසන්දනය කරන විට වයස අවුරුදු 80ක පුද්ගලයෙක් ගෙවා දමා ඇත්තේ තම ආයු කාලයෙන් 2/3ක් පමණි. අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින්  ඔවුන්ට සහය වුවහොත් තම ආයු කාලයේ ඉතිරි 1/3කද ඔවුන්ට සම්පූර්ණ කළ හැකි විය හැක. මෙසේ සිතන කල දැනට වාර්තා වන පරිදි ශ‍්‍රී ලංකාවේ අවුරුදු 60න් ඉහළ ජනගහනය බෙහෙවින් වැඩි වී ඇති නිසාම අප රටට මහලු වියේ රෝග (Geriatrician) සඳහා විශේෂඥ වෛද්‍යවරුද අත්‍යවශ්‍යය.

අපේ සංස්කෘතියට නොගැලපුනද ජපානයේ දීර්ඝායුෂ විඳින මිනිසුන් ඔවුන්ගේ ආහාර වශයෙන් අලුත් අමු පලතුරු, එළවළු, කොළ වර්ග, මුහුදු ආහාර, අමු මාළු වැනි ස්වාභාවික ඒවා ලබා ගනී. මා ඔවුන් සමග ගත කළ කාලය තුළ ලැබූ අත්දැකීම් මත මා වටහා ගත්තේ පිසින ලද ආහාර ගුණයෙන් අඩු බව ඔවුන්ගේ අදහස බවයි. කෙසේ වෙතත් නොපිසූ ආහාර හේතුවෙන් නොයෙකුත් විෂබීජ ආසාදනවලට ලක්වීමට ඉඩ නැතිවා නොවෙයි.

ජපනුන්ට දීර්ඝායුෂ හිමි වීමට ප‍්‍රධාන හේතු ලෙස දියවැඩියාව සහ රුධිර පීඩනය නොමැති වීම, සියලු දෙනා තම ජීව ස්කන්ධ දර්ශකය (BMI Value) ගැන එනම් උසට ගැලපෙන බර සැලකිලිමත් වීම යන කරුණු දැක්විය හැකියි. ස්වභාව ධර්මයෙන් කෙනෙකුගේ ශරීරය අභ්‍යන්තරය සැකසී ඇත්තේ එම උසට සහ බරට සරිලන සේ කි‍්‍රයා කිරීමටය. තරබාරු අයට තමන්ගේ එම වැඩි බරත් සමග ඇවිදීමේදී ඉක්මනින් පීඩාවට පත් වේ. එවිට ඔවුන් බලන්නේ නිතර විවේකීව ඉඳගෙන සිටීමයි. මෙහිදී ශක්තිය වැය නොවන නිසා තව තවත් ශරීරය ස්ථුල වේ. එවිට රුධිර පීඩනය, දියවැඩියා තත්ත්ව පහසුවෙන් ඇති වේ. තවද ඔස්ටියෝ ආතරයිටිස් වැනි සන්ධි රෝග ඇති වේ. තවත් කාරණයක් නම් එක් ආකරයකට සිටීම නිසා පෙණහලුවල සෙම වැඩි වේ. නියුමෝනියා වැනි තත්ත්ව ඇති වී මරණය පවා සිදු විය හැක.

වැඩිමහලු පුද්ගලයෙකුට ව්‍යායාම කිරීමට අවස්ථාවක් ලැබුණොත්,

  • ඔවුන්ගේ මානසිකත්වය ඉහළ මට්ටමකට පත් වේ.
  • අක‍්‍රීයතාව මගහැරී කි‍්‍රයාශීලි භාවයක් ඇති වේ.
  • සිරුරේ සියලුම ඉන්ද්‍රීය කි‍්‍රයාකාරිත්වය ඉහළ යයි.
  • සමාජශීලි බව ඉහළ යයි.
  • ආත්මාභිමානය ඉහළ මට්මකට පත් වේ.
  • ශරීරයේ වේදනාවන්   හා  අනෙකුත්  රෝගීතාවන් අඩු වේ.
  • කේන්තියාමේ ප‍්‍රවණතාව අඩු වේ.
  • ශ්වසනය/රුධිර ධාවනය/මල මූත‍්‍ර පිටකිරීමේ පාලනය ඉහළ යයි.
  • සුහදශීලි බව වැඩි වේ.
  • සිරුරේ නම්‍යශිලි භාවය ඇති වේ.
  • ආහාර රුචිය වැඩි වේ.
  • ආයු කාලය වැඩි කර ගැනීමේ හැකියාව ලැබේ.

මහලු වියේ ඇතිවන රෝග

  • කැඩුම්-බිඳුම් සහ වෙනත් අනතුරු
  • රක්තවාත රෝග
  • ශ්වසන රෝග, හෘද රෝග, ස්නායු රෝග

කැඩුම්-බිඳුම් රෝග

කැඩුම්-බිඳුම් රෝග අතර,  Neck of Femur – ඌර්වස්ථියේ ගෙල ප‍්‍රදේශය භග්න වීම, Surgical Neek of Hummerus – භග්න වීම, මෘදු පටක, අනතුරු, කණ්ඩරා ආසාදන, උරහිසේ කැප්සියුලර් ප‍්‍රදාහය දක්නට ලැබේ. විකෘතිතා අතර Hallux valgus දක්නට පුළුවනි.

රක්තවාත රෝග

සන්ධි දිරාපත් වීමෙන්, ආසාදනය වීමෙන් සහ පරිවෘත්තීය කි‍්‍රයාවල අසමතුලිතතාව නිසා ගැටලු ඇති වේ. ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයද බහුලව ඇති වේ.

ශ්වසන රෝග

බ්‍රොන්කයිටිස්, ඇදුම සහ නියුමෝනියා තත්ත්ව නිතර ඇතිවන අතර ජීවිතය ගළපා ගැනීමට වෛද්‍ය ප‍්‍රතිකාරවලට අමතරව භෞතචිකිත්සක ප‍්‍රතිකාර අවශ්‍ය වේ.

හෘද රෝග

කොරිනරි ධමනි ආශ‍්‍රිත රෝග, කපාට සම්බන්ධ රෝග, එන්ඩොකාඩයටිස් වැනි තත්ත්ව ඇති විය හැකිය.

ස්නායු රෝග

අංශභාගය, පාකින්සන් රෝග බහුලව දකින්නට ඇත.

අප රටේද විශ‍්‍රාම ගිය පසුව රෝගි වී ඉක්මනින් මිය ගිය අයගේ වාර්තා බොහෝය. විශ‍්‍රාම යන වයස අවුරුදු 65ක් පමණ විය යුතු බව මගේ පෞද්ගලික අදහසයි. වරක් මා හමුවීමට පැමිණි ප‍්‍රවීණ රංගධර සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතා කියා සිටියේ ඔහු තම ජීවිතය පටන් ගත්තේ අවුරුදු 60න් බවය. එතුමා එය විග‍්‍රහ කළේ යමෙක් ජීවිතයට විවිධ අත්දැකීම් එකතු කරගෙන ජීවිතය කුමක් දැයි හරියටම අවබෝධ කොට ගනුයේ අවුරුදු 60න් බවයි. වයසින් මුහුකුරා ගියද සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් සමගින් නිරතුරු මනසින් තරුණ වන්න.

 

[වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකසන ලද ලිපියකි.]

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article