- Advertisement -

හරි හරියට විසේ කරන පුංචි දරුවෝ ඉද්දි අම්මලා මේ දේවල් ගැනත් දැනන් හිටියොත් වටිනවා නේද?

-

දරුවන් විතරක්ම නෙවෙයි එදිනෙදා වැඩකටයුතුවලදී පුංචි අත්වැරදීමකින් හෝ අනතුරු කියන දේවල් අපිට ලග වෙන්නේ නොහිතපු විදියට. පරිස්සම් කරනවා කියලා පොඩි දරුවෝ එකම තැන තියාගන්නවත් වැඩිහිටි අපිට අපේ එදිනෙදා වැඩ කටයුතු නතර කරන්නවත් බැහැනේ. නිවසේදී හෝ රැකියාවේදී හෝ එහෙමත් නැතිනම් ඇද වැටීමකින්හෝ දරුවන්  ක්‍රීඩාවක නියැලීමේදී වගේ එක් එක් අවස්ථාවන්වලදී අපිට මුහුණ දෙන්න සිදු වෙන ශරීරයේ යම් පටකයක් ඇදීමක්, ඉරීමක්, තැලීමක් හෝ අස්ථි භග්න වීමක් හෝ සන්ධි විසන්ධි වීමක් යන තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙන්න බැරි නැහැ. මේ ගැන අපි කතා කරන්න හිතුවේ අනිවාර්යයෙන් වෙනවා කියනවාට වඩා වුණොත් මොකද කරන්නේ කියලා කවුරු කවුරුත් දැනුවත් කරන අදහසින්. යම් යම් අවස්ථා අනුව ඔබට ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන දැනුවත් වෙමු.

රයිස් (RICE)  ප‍්‍රතිකාරය

- Advertisement -

ශරීරයේ යම් පටකයක් ඇදීමක්, ඉරීමක්, තැලීමක් හෝ අස්ථි භග්න වීමක් හෝ සන්ධි විසන්ධි වීමක් යන තත්ත්වයකට පත්වන රෝගියෙකුට පහසුවෙන් කළ හැකි ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස රයිස් (RICE)  ප‍්‍රතිකාරය හඳුන්වා දිය හැකියි. මෙය මතක තබාගැනීමේ පහසුව පිණිස මෙලෙස දක්වමු.

R – Rest – විවේකය

I – Ice අයිස්

C – Compression – සම්පීඩනය

E – Elevation – ඔසවා තැබීම

ප‍්‍රථමයෙන් රෝගියාගේ අනතුරට ලක්වූ ප‍්‍රදේශයට විවේකය ලබාදිය යුතුය. එනම් මෙම ප‍්‍රදේශය නොසොල්වා තැබිය යුතුය. දෙවනුව අයිස් කැබලි කීපයක් ගෙන රෙදි කැබැල්ලක ඔතා වරින් වර අනතුරට ලක් වූ පටකය තැවීම කළ යුතුය. මෙවිට රෝගියාගේ බාහිරව හෝ අභ්‍යන්තරව රුධිරය වහනය වීමක් වන්නේ නම් එය නතර වේ.

අපගේ ශරීරයේ ස්වභාවය නම් ශීතලට රුධිරවාහිනි සංකෝචනය වීමයි. එවිට රුධිරය ගැලීම නතර වේ. බොහෝ දෙනා ශරීරයේ තැලීමක් සිදු වූ විට උණු වතුරෙන් තැවීම සිදු කරයි. මෙය වැරදිය. මෙහිදී රුධිරවාහිනී විස්ථාරණය වී පටකය තුළට තවත් රුධිරය ගලා ලේ කැටිය විශාල වේ. නමුත් අනතුර සිදු වී දින 3ට පසුව උණු වතුරෙන් තැවීම සිදු කළ හැක. එහදී අනතුරේ දී වහනය වූ කැටි වී ඇති රුධිරය පටක තුළ තැන්පත් වී ඇත්නම් එය නැවත රුධිරවාහිනීවලට උරාගැනීමට උදව් දේ.

අනතුර සිදු වූ වහාම අයිස්වලින් තැවූ පසූ අදාළ පටකය වෙත යම් පීඩනයක් ඇති කළ යුතුය. එනම් අදාළ ප‍්‍රදේශය කේ‍්‍රප් බැන්ඩේජයකින් හෝ රෙදි පටිවලින් බැඳීම කළ යුතුයි. එවිට අදාළ අවයවය ඉදිමුමට ලක්නොවේ. පටක තරලය එක් රැස් නොවේ. කේ‍්‍රප් බැන්ඩේජය මගින් එල්ල කරන සම්පීඩනය යම් පමණකට දිය යුතුය. ලබාදෙන තෙරපුම වැඩි වුවොත් රුධිර ගමනාගමනයට බාධා ඇති විය හැක.

ඉන් පසු අදාළ ස්ථානය හැකි නම් රෝගියාගේ හෘදයට වඩා ඉහළන් තබාගත යුතුය. ගුරුත්වාකර්ෂණය නිසා එවිට අනතුරට ලක්වූ පටකය දෙසට රුධිරය ගැලීම අඩු වේ. ශිරා රුධිරය එම ස්ථානයෙන් පිට වේ. රුධිර වහනයක් වේ නම් එයද අඩු වේ.

අස්ථි බිඳුමක් ඇතැයි සැක නම් එම ස්ථානය නොසෙල්වන ලෙස පතුරක් බැඳ හැකි ඉක්මනින් රෝගියා වෛද්‍යවරයකු හමුවට ගෙන යන්න. යම් ආකාරයකින් බිඳුණු අස්ථි කැබලි 2න් රුධිරවාහිනිය සහ ස්නායු කැපී ගියහොත් රෝගියාගේ තත්ත්වය සංකිර්ණ වනු ඇත. එසේ වූවොත් සෛල මිය ගොස් එම ප‍්‍රදේශයේ සංවේදනද නොමැති වී යයි. තවද කිසිම විටක කැඩුණු ඇට හෝ විසන්ධි වූ සන්ධි ගෙදරදී නිවැරදි කිරීමට නොයන්න. එමෙන්ම කොඳු ඇට පෙළ අතර අස්ථිවල කැඩිමක් ඇති බවට සැක සහිත නම් එම රෝගියා ලෑල්ලක් මත තබා රෝහලට රැගෙන යන්න. එවැනි රෝගීන්ට ඉඳගැනීමට සැලැස්වීමෙන් වළකින්න. මෙවැනි රෝගීන් හැසිරවීමේදී පුද්ගලයන් සතර දෙනෙකුගේ සහය ලබාගන්න.

අස්ථි භග්නය සුව වීමට වෛද්‍යවරයා විසින් දමන ලද ප්ලාස්ටරය ඉවත් කළ පසු රෝගියා නොසොල්වා සිටි සන්ධියේ චලනය සීමා වී තිබිය හැක. එමෙන්ම එය අවට පේශි සිහින් වීමද දක්නට ලැබේ. මෙය වළක්වා ගැනීමට රෝගියා ප්ලාස්ටරය දමාගෙන සිටින විටද භෞතචිකිත්සක උපදෙස් අනුව කි‍්‍රයා කළ යුතුය. එහිදී රෝගියාගේ අස්ථි භග්නයට හානි නොවන සේ අස්ථි නොසෙල් වන සේ පේශි පමණක් සංකෝචනය කරන ස්ථීති ව්‍යායාම  (Static exercises) කළ යුතුය. එසේම ප්ලාස්ටරය ඉවත් කළ පසුත් පේශි සිහින් වී ඇත්නම් පේශී ශක්තිමත් කරන ව්‍යායාම (Strengthening exercise) කළ යුතුය. තවද  සන්ධිය වලනය වන පරාසය සීමා වී ඇත්නම් භෞතචිකිත්සාවේ යෙදෙන සස්පෙන්ෂන් තෙරපි ලෙස හැඳින්වෙන ගුරුත්වය නොදැනෙන ලෙස ඉරියව් ගත කර කරන ප‍්‍රතිකාරය කළ යුතුය. ව්‍යායාම කළ යුතුය. සන්ධිය ඉතා තද වී ඇත්නම් ඊට පෙර තාප ප‍්‍රතිකාරද ලබාදිය යුතුය.

[වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකසන ලද ලිපියකි.]

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article