කොරෝනා, වළක්වා ගත නොහැකි මාරාන්තික වෛරසයක්ද?

ලොවටම තර්ජනයක් බවට පත්ව ඇති නව කොරෝනා වෛරසය ගැන මේ වෙද්දී
අපි කවුරුත් බොහොම සෙවිල්ලෙන් ඉන්නේ. ඉතිං තව තවත් තොරතුරු
දැනගන්න තමන්ට තියෙන ගැටලු නිරාකරණය වෙන්න වගේම මේ තත්ත්වයට
ගොදුරු නොවී වැළකෙන්නත් රෝගය පතුරවන්නෙක් නොවන්නත් දැනුවත් බව
බොහොම වැදගත් වෙනවා.

නව කොරෝනා වෛරසය විශාල වෛරස් පවුලකට අයත්. සතුන්ට සහ මිනිසුන්ට
රෝග සාදනවා. මෙම කොරෝනා වෛරස කිහිපයක් මගින් ස්වසන පද්ධතියේ
ආසාධන ඇති කරනවා. සෙම්ප‍්‍රතිශ්‍යාවේ සිට තීව‍්‍ර ආසාධන තත්ත්ව වන MERS
(Middle East Respiratory Syndrome) SARS (Severe Acade Respiratory Syndrome) වැනි
තත්ත්ව ඇති කරනවා.

මෑතකදී සොයාගත් කොරෝනා රෝගය තමයි මේ වෙද්දී
මුළු ලෝකයම බියට පත් වීමට හේතුව වන COVID – 19.
වෛද්‍ය මතයට අනුව කොරෝනා වෛරසය මාරාන්තික වෛරසයක් නොවේ. මෙම
වෛරසය අනතුරක් හෝ අවදානමක් නැති බව මින් අදහස් නොවේ. කොරෝන්
වෛරසයද ඉන්ෆ්ලූවෙන්සා වෛරසය මෙන්ම ස්වසන පද්ධතියට හානි කරවන
RNA වර්ගයට අයත් වෛරසයකි. මෙම වෛරසය මර්දනය සඳහා මෙතෙක්
සාර්ථක ප‍්‍රතිකාර සොයා නොගැනීම මෙම තත්ත්වය ව්‍යාකූල වීමට හේතුවක් වී
ඇත.

නව කොරෝනා වෛරසය ආසාදිත පුදුගලයෙකු පෙන්නුම් කරන රෝග ලක්‍ෂණ
 මූලික රෝග ලක්‍ෂණ ස්වසන පද්ධතිය ආශ‍්‍රිතව පැතිරේ.
 උණ
 කැස්ස
 හුස්ම ගැනීමේ අපහසුව/හතිය
 නාසයෙන් සොටු දියර ගැලීම
 නාසය සිරවීම
 උගුර වණවීම
 උගුරේ වේදනාව
 හිසරදය
 මස් පිඬුවල හා ඇඟපතේ වේදනාව
 පාචනය වැනි ආහාර ජීර්ණ පද්ධතිය ආශ‍්‍රිත රෝග ලක්‍ෂණ

රෝගය පැතිරීම
මෙය වෛරසයක් බැවින් අන් අයට පැතිරෙන්නේ බිඳිති ආසාධනයකිනි. නාසය
හෝ මුඛය හරහා පිටතට පැමිණෙන බිඳිති (සෙම, සොටු, කෙළ) උපකරණ
මතුපිට තැවරේ. අජීවී පෘෂ්ඨවල මෙම ජීවීයා සජීවී පෘෂ්ඨවලට වඩා වැඩි කලක් ජීවත් වේ.

නිරෝගී පුද්ගලයෙකු මෙම පෘෂ්ඨ ස්පර්ශ කර ඒ අතින් නාසය, ඇස,
මුඛය ඇල්ලීමෙන් රෝගය වැළෙඳේ.

අජීවී පෘෂ්ඨවල මෙම වෛරසය පැය 12 කට
ආසන්න කාලයක් සජීවීව පවතී.

සාමන්‍යයෙන් පරිසර උෂ්ණත්වය 20 0 C – 30 0 C අතර
ජීවීව වාසය කරයි.

සීතල අධික පරිසර වෛරසය වර්ධනයට කදිම තෝතැන්නකි.

ලොව පුරා මෙම Covid- 19 රෝගය ආසාධනය වූ බහුතරය සම්පූර්ණයෙන් සුවය
ලබා ඇත.

සාමාන්‍ය සෙම්ප‍්‍රතිශ්‍යාවේ සිට නියුමෝනියා තත්ත්වය දක්වා වර්ධනය
විය හැක.

ඇතැම් විට ප‍්‍රතිශක්තිය දුර්වල වූ රෝගීන් ඉතා අඩු පිරිසකට මෙම
රෝගය මාරාන්තික වන්නේ නියුමෝනියාව වැනි සංකූලතා ඇතිවීමෙනි. මොළය,
වකුගඩු වැනි ශරීරයේ ප‍්‍රධාන ඉන්ද්‍රියන්ද ආසාධනය විය හැක.

නව කොරෝනා වෛරසය අවදානම් විය හැකි කාණ්ඩ

දියවැඩියාව, පිළිකා වැනි ප‍්‍රතිශක්තිය හීන කරවන රෝගවලින් පෙළෙන්නන්
 වයස්ගත වූ වැඩිහිටියන්
 අධික රුධිර පීඩනය හා හෘද රෝගවලින් හෝ වෙනත් වෛද්‍යමය රෝග
තත්ත්වවලින් පෙළෙන්නන්
 ප‍්‍රතිශක්තිය අඩු විය හැකි ඖෂධ භාවිත කරන රෝගීන්
උදා: අවයව බද්ධ කළ රෝගීන්
 දැනටමත් ස්වසන පද්ධතිය ආශ‍්‍රිත රෝගවලින් පෙළෙන්නන්
 ගැබිනි මව්වරුන්

හැකි ඉක්මණින් වෛද්‍ය උපදෙස් ගත යුතු තත්ත්ව

 තද උණ සමග ස්වසන මාර්ගයේ රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි නම්
 හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙයි නම්
 පසුගිය සති දෙකක කාලය තුළ මෙම රෝගීන් වාර්තා වූ පෙදෙසක සිටියේ
නම් හෝ එම රෝගීන් සමග ඇසුරක් පැවැත්වූයේ නම් හෝ රෝගය තිබුණු
විදේශ රටක සංචාරයක හෝ පදිංචි සිටියේ නම්
එවන් පුද්ගලයින් වහා පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් වී රෝගය වැළඳී ඇත්දැයි
සැකහැර දැනගත යුතුය.

අද ලොවම මෙම වසංගත තත්ත්වය නිසා හදිසි තත්ත්වයක් නිවේදනය කර
තිබියදී අප එයට සූදානම් විය යුතුය. ඒ නිසා සැවොම ස්වයං නිරෝධායන මාර්ග
ගැන අවධානය යොමු කළ යුතුය. ඔබ රෝගය පවතින රටක සිට පැමිණියහොත්
තමා ආදරය කරන්නන් මේ තත්ත්වයට ගොදුරු වීම වළක්වා ගැනීමට
නිරෝධායනයට ලක්වී තමාට රෝගව වැළදී ඇත්ද නැද්ද යන්න තහවුරු කරගත
යුතුයි.

නිරෝධායනය යනුවෙන් අදහස් කරන්නේ රෝග ලක්‍ෂණ මතුවන තෙක් තවත්
කෙනෙකුට බෝ නොවන ලෙස වෙන් කොට තැබීමය. මේ සඳහා සති දෙකක කාලයක් තබාගැනීම ප‍්‍රමාණවත් වුවද එය දින 20 ක් පමණද විය හැකි බවට
වෛද්‍ය මත පලවී ඇත. මෙසේ කරන්නේ විදේශ ගතව සිට නිවසට යාමෙන්
නිවසේ අයත් සාමාජයත් මෙම රෝගයට ගොදුරු වීමේ අවදානම වළක්වා
ගැනීමටය.

රෝගීන් අනුගමනය කළ යුතු කරුණු
 හැකි පමණ දියර වර්ග පානය කිරීම
 උණ සහිත නම් පැරසිටමෝල් පමණක් ගැනීම
 හොඳින් විවේක ගැනීම

කොරෝනා වෛරස රෝගයෙන් ආරක්‍ෂා වීමට ගත යුතු ක‍්‍රියාමාර්ග

කොරෝනා වෛරස ආසාදනය වාතයෙන් සම්ප්‍රේෂණය නිසා කෙනෙකු නිරෝගී
පුද්ගලයෙකු රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීමට අප සැමගේ කැපවීම,
දැනුවත් බව මෙන්න සැලකිලිමත් බවත් අවධානයත් ඉතා වැදගත් වේ.

1) ක‍්‍රමානුකූලව හොඳින්න් අත් සේදීම
සබන් හෝ Alcohol hand rub භාවිත කළ හැක. මෙමගින් අතේ සිටින වෛරස
විනාශ වේ.
අත් සේදීම පහත අවස්ථා වලදී වැදගත් වේ.
 මුහුණ ස්පර්ශ කිරීමට පෙර/පසු
 කැස්ස, කිවිසීමෙන් පසු
 ආහාර පිළියෙල කිරීමට පෙර හා පසු
 ආහාර අනුභවයට පෙර/පසු
 රෝගියෙකුට සත්කාර කළ පසු
 බහුලව මිනිසුන් ගැවසෙන ස්ථානවලට ගොස් පැමිණි පසු
 සතුන් ඇල්ලීමෙන් පසු

2) කැස්ස, කිවිසීම සහිත පුද්ගලයෙකුට අඩු තරමින් මීටරයකට වඩා දුරින් සිටීම.
මීට හේතුව වන්නේ කැස්ස, කිවිසීම මගින් දියර සහිත කුඩා බිඳිති ඔවුන්ගේ
නාසය හා මුඛය හරහා පිටවී ඒවා ස්පර්ශ වීම මගින් රෝගය නිරෝගී
පුද්ගලයෙකුට බෝ විය හැකි නිසයි.

3) කැස්සකදී හෝ කිවිසීමකදී ඉවත දැමිය හැකි අත් පිස්නාවක් භාවිත කිරීම හා
එය ඉක්මණින් ඉවත් කිරීම.

4) ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් නැත්නම් ඔබේ වැලමිට නවා මුහුණ
ආවරණය කිරීම

5) අත්‍යවශ්‍ය කරුණකට හැර රෝහල් වැනි පොදු ස්ථානවල ගැවසීමෙන්
වැළැක්වීම. එනම් මහජනතාව වඩාත් ගැවසෙන ස්ථාන, සාප්පු සවාරි, ක‍්‍රීඩා
තරග, ප‍්‍රිය සම්භාෂණ, වන්දනා ගමන්, සමිති සමාගම් ආදියට සහභාගී
නොවීම
6) අත්‍යාවශ්‍යතාවයකට හැර විදෙස් ගමන්වලින් වැළකීම

7) තමන් භාවිතා කළ ඇඳුම් පවා හැකි විගස සෝදා පිරිසිදු කිරීම. දිනපතා ඇදුම්
සේදීමෙන් පසු නිවස තුළට ගැනීම

8) අතට අත දීම, සිප වැළඳ ගැනීම වෙනුවට ආයුබෝවන් කියා ආචාර දක්වන්න.

කුරුණෑගල, පළාත් මහා රෝහලේ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා
කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here