ගබ්සාවකට හේතු මොනවද?

මින් පෙර ලිපියකදී ස්වභාවික ගබ්සාව පිළිබඳව දැනුවත් කළ ආකාරය ඔබට මතක ඇති. මෙම ලිපිය හරහාද අප බලා පොරොත්තු වන්නේ ස්වභාවිත ගබ්සා වීමට බලපෑ හැකි හේතු, ගබ්සා වර්ග මෙන්ම එවන් අවස්ථාවකදී ලබා දෙන සාත්තුව පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. එසේ ගත් කළ ගබ්සාවක් ඇති වීමට මවගේ මෙන්ම ඇතැම් විට කලලයේ යම් යම් තත්ත්වයන්ද හේතු විය හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව සඳහන් කරනවා.

ගබ්සාවකට මුල් විය හැකි මවගේ හේතූ

  • ගර්භණී මුල් සමයේදී ඇති වන උණ සහිත රෝග තත්ත්ව

උදා: මැලේරියාව, වෛරස් ආසාධන

  • මවට පවතින නිධන්ගත රෝග

උදා: දිගු කාලීනව පවතින වකුගඩු රෝග (Chronic Nephritis)

දියවැඩියාව

දිගු කාලීනව පවතින කැස්ස (Chromic cough)

  • පෝෂණ ඌණතා

උදා: නීරක්තිය – Anemia

  • ගර්භණී මුල් සමයේදී ගන්නා ඖෂධ

උදා: මැලේරියා ඖෂධ

  • අධික චිත්ත වේග
  • හෝමෝන අසාමාන්‍යතා
  • මවගේ රුධිර ඝණ නොගැලපීම
  • මවගේ ගර්භාෂය ආශ‍්‍රිත රෝග

උදා: ගර්භාෂයේ අසාමාන්‍ය පිහිටීම

  • සංසේචිත ඩිම්බය ගර්භාෂයේ පහළ ඛණ්ඩයේ රෝපණය වීම
  • හදිසි අනතුරු
  • ගැබ්ගෙල අසාමාන්‍යතා

 

ගබ්සාවකට මුල් විය හැකි දරුවාගේ හේතූ (40% පමණ බලපායි)

  • වර්ණදේහ අසාමාන්‍යතා
  • සංසේචිත ඩිම්බය රෝපණයේදී ඇතිවන අසාමාන්‍යතා
  • අපරාවට හානි වීම
  • භ‍්‍රෑණ අසාමන්‍යතා

උදා – විදලිත තල්ල (Cleft Palate), අන්නසෝත්‍රය වැනි නාලවල පටුවීම (atresia) 

  • අවයව පටලයකින් පමණක් වැසී පැවතීම (Exomphollus)

උදා: නාභිය අසලින් උදරයේ කොටස් ඉවතට පැමිණීම

  • Rh නොගැලපීම හා රුධිර ඝන නොගැලපීම 

 

ගබ්සාවන් ප‍්‍රධාන වශයෙන් ආකාර 2 කි.

  1. ස්වයං සිද්ධ ගබ්සාව (Spontaneous abortion)
  2. පේ‍්‍රරිත ගබ්සාව (Induced abortion)

ප්‍රේරිත ගබ්සාවන් ප‍්‍රතිකාරාත්මක හේතූ නිසා හෝ සාපරාධී ලෙස සිදු කරයි. මෙහිදී අප ස්වයං සිද්ධ ගබ්සාවන් ගැන කතා කරමු.

තර්ජිත ගබ්සාව (Threaten abortion)

සති 24 ට පෙර යෝනිය මගින් රක්තවහනය සිදු වේ. ගර්භාණීතාවය අවසන් කිරීමට තැත් කරයි.  මෙහි ලක්‍ෂණ ලෙස,

  • සුළු රක්තවහනය
  • වරින් වර ඇතිවන උදර වේදනාව

 

තර්ජිත ගබ්සා තත්ත්වයකදී ප‍්‍රතිකාර හා සාත්තුව

මේ තත්ත්වයේදී රෝහල් ගතකර ප‍්‍රතිකාර ලබාදීම කළ යුතුය. රෝහල් ප‍්‍රතිකාර අවසන්ව නිවසට ගිය පසු පහත ලෙස ආරක්‍ෂා විය යුතුය.

බහිස‍්‍රාවය පිළිබඳව සැලකිලිමත් වීම

  • මලබද්ධයෙන් වැළකීම
  • තැටමීම නොකිරීම
  • මල බද්ධය තිබුනද විරේචක ඖෂධ ලබ නොගැනීම

පෝෂණය

ප්‍රෝටීන අධික විටමින් හා යකඩ අධික ආහාර ලබාදිය යුතුය.

  • වැඩිකලක් ඇඳ විවේකය ගැනීම
  • බර ඉසිලීම, ව්‍යායාම නොකළ යුතුය
  • සංසර්ගයේ නොයෙදිය යුතුය
  • නියම කර ඇති ඖෂධ අඛණ්ඩව ලබා ගත යුතුය
  • පූර්ව ප‍්‍රසව සායනවලට සහභාගි විය යුතුය
  • සුළු රක්තපාතයක් වේ නම් රෝහල් ගත විය යුතුය

 

නොවැලක්විය හැකි ගබ්සාව (Inevitable abortions)

තර්ජිත ගබ්සාව ධාරණ සමය අවසන් වනතුරු රඳවාගත නොහැකි වුවහොත් මෙම තත්ත්වයට පත් වේ. මෙහිදී භ‍්‍රෑණයා හා පටල වෙන් වී සම්පූර්ණ හෝ අසම්පූර්ණ ගබ්සාවක් බවට පත් වේ. නොවැළැක්විය හැකි ගබ්සාවකදී,

  • දරු ගැබ සති 16 ට වඩා අඩු නම් සිහි නැති කර ගර්භාෂය තුළ ඇති කළල කොටස් ඉවත් කළ යුතුය. (ERPC)
  • දරු ගැබ සති 16 ට වඩා වැඩි නම් දරු ගැබ ඉබේ ඉවත් වනතුරු ඖෂධ දී ඉවත් නොවූ භ‍්‍රෑණ කොටස් පවතී නම් පමණක් සිහි නැති කර ඒවා ඉවත් කරන්න.
  • අවශ්‍ය නම් කලලය ඉවත් කිරීමට ඔක්සිටොසින් (සින්ටොසිනොන්) ඖෂධය සේලයින්වලට දමා ශිරාවක් හරහා ශරීරගත කරයි.
  • ගර්භාෂයෙන් ඉවත් කරන ලද කළල කොටස් පරීක්‍ෂණ සඳහා යැවිය යුතුය. ගබ්සාවට හේතු සෙවීමේදී මේ පටක පරීක්‍ෂා උපකාරී වේ.

 

අසම්පූර්ණ ගබ්සාවක් නම්

  • ලේ වහනය අඩු නම් හෝ දරු ගැබට සති 16 ට වඩා අඩු නම් ඇඟිලි මගින් ගැබ් ගෙල තුළින් එළියට නෙරා ඇති කළල කොටස් ඉවත් කළ හැක.
  • රුධිර වහනය වැඩි නම් හෝ දරු ගැබ සති 16 ට අඩු නම් සිහි නැති කර කළල කොටස් ඉවත් කිරීම ඉක්මණින් කළ යුතුය. නැතහොත් ලේ වහනය අඩු කිරීම සඳහා එර්ගොමෙටි‍්‍රන් නම් ඖෂධය ලබාදේ. (අන්තර් පේශීමය)
  • දරු ගැබ සති 16 ට වඩා වැඩි නම් සින්ටොසිනොන් සේලයින් සමග ශිරා ගත කරයි.
  • කළලය ඉවත් වූ පසු නැවත පරීක්‍ෂා කළ යුතු අතර ඉතිරි කළල කොටස් ඇත්නම් සිහි නැති කර ඉවත් කළ යුතුය.

 

සම්පූර්ණ ගබ්සාවක් නම්

  • සති 8 කට පෙර ඇති වන ගබ්සාව බොහෝ විට මෙය විය හැක. පටල නොකැඞී එක්වර පිටවේ. භ‍්‍රෑණයා පිට වූ පසු රක්තවහනය ක්‍රමක‍්‍රමයෙන්ද උදර වේදනාව එක්වරද නැති වේ. ගර්භාෂයේ  ප‍්‍රමාණය කුඩා වේ.
  • අධික රුධිර වහනයක් වේදැයි පරීක්‍ෂාවෙන් සිටිය යුතුය.

 

ගබ්සාවකින් පසු

  • ඉබේ සිදුවන ගබ්සාවන් ගර්භණී කාන්තාවන් අතර ඉතා සුලබය. හඳුනාගත් සියලුම ගැබ් ගැනීම්වලින් 15% (1/7 ක් පමණ) ඉබේම ගබ්සාවලට ලක් වේ. 
  • ගර්භාෂය ආසාධන වීම හෝ වෙනත් ගර්භාෂ අසාමාන්‍යතා පිහිටීම වැනි කලාතුරකින් ඇතිවන අවස්ථා හැර අනෙක් බොහෝ විට නැවත නිරෝගී දරුවෙකු ලැබීමේ හැකියාව සාමාන්‍ය වේ.
  • නැවත ගැබ් ගැනීමට පෙර, තම විශේෂයෙන්ම තම මනස නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වනතුරු සිටීම මීළඟ දරු ගැබ සාර්ථකව වැඬීමට උපකාරී වේ. ඔබේ මානසික තත්ත්වය යළි ගොඩ නඟා ගැනීමට කාලය අවශ්‍ය නම් නැවත ගැබ් ගැනීම පමා කිරීම සඳහා සුදුසු විශ්වාසදායී උපත් පාලන ක‍්‍රමයක් වහා ආරම්භ කළ යුතුය. 
  • ගබ්සාවෙන් දින 4 – 6 දක්වා කාලයක් සුළු රුධිර වහනයක් පැවතීම ගැටලුවක් නොවේ. වේදනාව පවතී නම් වේදනා නාශක ඖෂධ භාවිත කළ හැක.
  • ගර්භණීභාවයේදී ඇති වන ඔක්කාරය, වමනය, ශරීරයේ අප‍්‍රාණික බව දින 3 කින් පමණ නැති වී යයි. පියයුරුවල වේදනාව දින 7 – 10 දක්වා කාලයකින් අඩු වේ. පියයුරු වල තද ගතිය හා වේදනාවක් පවතී. අල්ලනවිට වේදනාව ඇති වේ. 
  • පියයුරුවලින් කිරි වැනි ස‍්‍රාවයක් පිට වේ. අයිස් පැක් තැබීමෙන් වේදනාවට සහනයක් ලබාගත හැක.
  • වෙව්ලා උණ (1000F) ඇති වේ නම්, අධික රුධිර වහනයක් පවතී නම් (පැයකදී සනීපාරක්‍ෂක තුවාය, අධික ලෙස තෙත් වේ නම්), උදර වේදනාව වේදනා නාශකවලට  සමනය නොවේ නම් වහා වෛද්‍ය උපදෙස් ගත යුතුය.

 

වෙනත් රෝගයක් නොමැති නම් ගබ්සාවෙන් පසු වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය නොවේ. එහෙත් සමහර විට ෆෝලික් අම්ලය වැනි අතිරේක විටමින් වර්ග දිගු කාලයක් ගැනීමට අවශ්‍ය විය හැක. නැවත ගැබ් ගැනීමක් සිදු වූ විගස වෛද්‍ය උපදෙස් ගත යුතුය. 

 

ගබ්සාවකින් පසු ඊළඟ ගැබ්ගැනීම පමා කිරීමට අවශ්‍ය කාන්තාවන්ට සුදුසු පවුල් සැලසුම් ක‍්‍රම

පහත දැක්වෙන යම් ක‍්‍රමයක් ගබ්සාවෙන් දින 7 ක් ඉක්මවීමට පෙර ඇරඹිය හැකිය.

  • කොන්ඩම්/රබර් කොපු

 ඕනෑම අයෙකුට  ඕනෑම අවස්ථාවක භාවිත කළ හැක.

  • හෝමෝන වර්ග

මේවාද ගබ්සාවෙන් දින 7 ක් තුළ ඇරඹිය හැක

  • උපත් පාලන – ගිලින පෙති 
  • DMPA වැනි එන්නත් (ඩිපොප්‍රොවේරා)
  • ගර්භාෂය තුළට දමන ලූප් (IUCD)

ඔබ නිසි සෞඛ්‍ය තත්ත්වයේ සිටී නම් වෙනත් අසනීපයක් නොමැති නම් ලූපය පැළදිය හැක. එනම් ගර්භාෂයේ ආසාධනයක් ඇත්නම් ලූප් දැමීමට පෙර එම තත්ත්වය සම්පූර්ණයෙන් සුවකර ගත යුතුය. එසේම නීරක්තිය ඇති (හිමොග්ලොබින් 7g/dl ට වඩා අඩු නම්) කාන්තාවන්ගේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩිවන තුරු ලූප් දැමීම ප‍්‍රමාද කළ යුතුය.

 

  • යම් අවස්ථාවක ලූප් දැමීම ප‍්‍රමාද වන්නේ නම් කොණ්ඩම් වැනි උපත් පාලන වර්ගයක් ලබාදෙන්න. 
  • ගබ්සාවෙන් පසුව ඉතා කෙටි කලකින් දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වේ නම් කොන්ඩම්,
    උපත් පාන පෙති, එන්නත් භාවිතය වඩාත් සුදුසුය.

 

කුරුණෑගල, පළාත් මහා රෝහලේ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද  ලිපියකි.

 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here