- Advertisement -

අඩි උස සපත්තුව මේච්චර ලොකු ප්‍රශ්න ඇති කරයි කියලා හිතුවේ නෑ නේද?

-

කාන්තා අපි අපේ සුන්දරත්වය ගැන බොහොම දුරට හිතනවා. ඒ වෙනුවෙන් නොයෙක් විලාසිතා තෝරා ගන්නවා. ගමනට බිමනට හැඩට වැඩට යන්න විශේෂයෙන්ම කාන්තාවන් බොහොම කැමතියි. ඒ නිසාම ලස්සනට ඉන්න වැයවෙන මුදල ගැන වුණත් ඒ තරම් දුරට හිතන්නේ නැති වෙන්නත් පුළුවන්. ඇත්ත තමයි. කාන්තාවක් කියන්නේ ඕනෙම තැනක බොහොම සුන්දරව සිටිය යුතු අයෙක්. අන්න ඒ නිසා කාන්තාවක් සුන්දරව ඉන්න ඕනේ කියන සිතුවිල්ලේ කිසිම වරදක් නම් නැහැ. ඒත් සුන්දරත්වය පසුපසින් ලෙඩ රෝග කරදර වේදනාත් එනවා නම් අපි ඒ ගැන දෙතුන් පාරක් හිතන්න ඕනේ. 

උස අඩි සපත්තු කියන්නේ කාන්තාවන් බොහොම ප්‍රියකරන දෙයක්. ඇත්තටම පැතලි පාවහන් දෙකකට වඩා උස අඩි පාවහන් යුවලක් පැලදුවම කාන්තාවකගේ සිරුරේ හැඩය වඩාත් හොඳින් ඉස්මතු වෙලා පෙනෙනවා. ගමන් විලාසයත් බොහොම සිත්ගන්නා සුලු වෙනවා. දකින හැමෝටම බොහොම ප්‍රිය දසුනක් කියලා කියන්නත් පුළුවන්. ඒත් මේ උස අඩි සපත්තුව කාන්තාවකගේ සිරුරට ගෙන එන සුන්දරත්වය හා සමානවම වේදනාවකුත් මතු දිනක ඇති කරන්න බැරි නැහැ. අපි ඒ ගැන කතා කරමු.

- Advertisement -

මොකද්ද මේ උස අඩි සපත්තුවේ තියෙන ප්‍රශ්නය

සාමාන්‍යයෙන් අපේ සිරුර සැකසිලා තියෙන්නේ පොළවට ඍජුව සිටින විදියට කියලා අපි කවුරුත් දන්නවා. අපේ සිරුරේ බර වැටෙන රේඛාවන් සාමාන්‍යයෙන් පවතින්නේ දණිස් මැදින් වලලුකර දෙසට උකුළු ඇටය ළගින්, උරහිස මැදින් කරට කියන ආකාරවලටයි. අපේ බර දරාගන්නා ආකාරය පවතින්නේ රේඛාවන් විදියට. සාමාන්‍යයෙන් අපේ බරෙන් 55%ක් විළුඹටත් ඉතිරි 45% කොටස පාදයේ ඇගිලිවලටත් විහිදෙනවා. පාදයේ ඇති වක්‍රය හේතුවෙන් මේ බර මාරු වෙමින් පවතිනවා. ඒ අප ස්වභාවිකවම පරිණාමය වී ඇති ආකරය වුවත් අපේ පාදයේ විළුඹ යම් ප්‍රමාණයකින් හෝ එසවීමක් සිදු වුවහොත් මේ ප්‍රතිශතයන් සියල්ල වෙනස් වී ස්වභාවිකව අප පරිණාමය වී ඇති ආකාරයේ වෙනසක් ඇති කරවනවා.

උදාහරණයක් ලෙස ගත්තොත් අපේ විළුඹ අඟලක පමණ ප්‍රමාණයකින් එසවුණහොත් විළුඹට යෙදෙන බර 45%ක් ලෙසත් පාදයේ ඇඟිලි වෙත යෙදෙන බර 55% ක් ලෙසත් වෙනස් විය හැකියි. ඒ වගේම අඟල් තුනක පමණ ප්‍රමාණයකින් විළුඹ එසවුණ විට මේ ප්‍රතිශත තවත් වෙනස් වෙනවා. එය විළුඹ වෙත 10%ක් සහ ඇගිලි වෙත 90%ක් ලෙස වෙනස් වෙනවා. 

මෙන්න මෙතැනදී අපේ සිරුර ස්වභාවිකව පරිණාමය වී ඇති ආකාරයෙන් වෙනස් වීමකට ලක් වුවත් අදාල පේශීන්ට ඒ වෙනස් වීමට ඔරොත්තු දීමට හැකියාවක් නැහැ. මේ තත්ත්වයේදී එම පේශී වෙහෙසට පත් වීමට පටන් ගන්නවා. ඒ හේතුවෙන් වේදනාත්මක අත්දැකීමක් පමණක්ම නොවෙයි අධික බර දරා ගැනීමට නොහැකි වීම මත බොහෝ ආබාධවලට ලක්වීමටත් ඉඩ කඩ තියෙනවා.

ඒ වගේම උස අඩි පාවාහන් පැලඳීම හේතුවෙන් ශරීරයේ ඇති වක්‍ර ප්‍රමාණය වැඩි වීම නිසාත් යම් යම් ආබාධ ඇති වෙනවා. උදාහරණයක් ලෙස ගත් විට විළුඹේ උස වෙනස් වීම නිසා කශේරුකාවේ ලම්බ වක්‍රය වැඩි වෙනවා. අඩි උස සපත්තු පැළඳීමේදී උදරය ඉදිරියටත් තට්ටම් පෙදෙස පිටපසටත් සැකසෙන ආකාරය ඔබ දැක ඇති. එය සිරුරට සුන්දරත්වයක් එක්කරත් සිරුරේ වක්‍රවල සාමාන්‍ය පැවැත්ම වෙනස් කරවන නිසා යම් යම් ආබාධ ඇති කරවනවා. තවද බත් කෙන්ඩ පේෂිය මෙම නව හැඩයට අනුව වර්ධනය වී ශක්තිමත් වීම හේතුවෙන් තවත් ආබාධවලට ඔබට මුහුණ දීමට සිදු වෙනවා. 

අඩි උස පාවහන් පැළඳීම හේතුවෙන් වක්‍රාකාරව ඇති විය හැකි ආබාධ තත්ත්ව

  • ඇඟිලිවල යම් යම් විකෘතිතා ඇති වීම

උදා : hallux valgus & lordosis වැනි මහපට ඇඟිල්ල සිරුර දෙසට නැමීම

  • කොන්ද හා ආශ්‍රිත යම් යම් ආබාධ
  • උකුළු ඇටේ හන්දිය ආශ්‍රිත ආබාධ
  • දණහිසේ ගැටලු

අඩි උස පාවහන් ඔබේ සිරුරට සුන්දරත්වයක් එක් කරන බව සැබෑවකි. එය එසේ වුවද ඒත් සමගම ඔබ වෙත එන වේදානාත්මක අත්දැකීම් සහිත ආබාධ තත්ත්වද රැසකි. ඔබගේ විලාසිතා, ශාරීරිකව ඔබව පීඩාවට පත් කරනවා වගේම ආබාධවලට මුල නම් ඒ වෙනුවෙන් ඔබ අද සිටම තීරණයක් ගැනීමට නුවණට හුරුය. ඔබේ රුව ඔප් නංවා ගැනීමට ඔබ යොදා ගන්නා මෙවන් දෑ එදිනෙදා භාවිතයට නුසුදුසු බව දැන් ඔබට වැටහෙනවා ඇති. එම නිසා සුවිශේෂී අවස්ථාවන්වලදී පමණක් අඩි උස පාවහන් පැලඳීමට ඔබට හැකියි. ඔබ කෙතරම් සුන්දර කාන්තාවක් ලෙස සමාජය ඉදිරියේ සිටියත් කාලයත් සමග ඇති වන ඉහත කී ආබාධ හේතුවෙන් විඳීමට සිදුවන පීඩාකාරී අත්දැකීම් සමග ඔබේ සාමාන්‍ය දිවි පෙවෙත පවා වෙනස් වීමට ඉඩ ඇති බව සිහි තබාගන්න. සැමවිටම ඔබේ ශාරීරික සෞඛ්‍යයට මුල් තැන දෙන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය ජාලිය උඩුවැල්ල

– භෞතචිකිත්සක අධිකාරී, රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ

 

 


 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article