- Advertisement -

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටස් සහ ඉන් ඉටුවන කාර්යන් ගැන ඔබ දැන සිටියාද?

-

ජීවීයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා තම වර්ගයා බෝ කළ යුතු වන අතරම එම ක්‍රියාවලිය හැඳින්වෙන්නේ  ප්‍රජනනය නමිනි. මිනිසාගේ ප්‍රජනන ක්‍රියාවලි ලිංගික ප්‍රජනන ක්‍රියාවලියක් එසේත් නැතිනම් පුරුෂ ප්‍රජනක සෛලයක් (ශුක්‍රාණුව) හා කාන්තා ප්‍රජනක සෛලයක් (ඩිම්බය) සමග සංසේචනය වීමෙන් නව ජීවියෙකු බිහිවේ. ශුක්‍රාණු හා ඩිම්බ නිපදවීම සඳහා පිරිමි හා කාන්තාවන් තුළ සුවිශේෂී වූ ප්‍රජනක පද්ධති පිහිටියත් මව්පියන් වෙන්නට සිහින දකින අපි, අපේ කුස තුළ දරුවෙකු ඇති වන්නට සහය වන ඉන්ද්‍රිය පද්ධති පිළිබඳ දැනුවත් නැහැ. අන්න ඒ නිසාම මේ ලිපය තුළින් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිළිබඳව දැනුවත් වීමට ඔබ සූදානම් වෙන්න.

කාන්තාවගේ ප්‍රජනක පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකි. 

- Advertisement -
  • බාහිර ප්‍රජනක අවයව
  • අභ්‍යන්තර ප්‍රජනක අවයව

බාහිර ප්‍රජනක අවයව

මෙහිදී බාහිර ලිංගික පද්ධතිය සමස්ථයක් ලෙස භගමනිය (Vulva) ලෙස හඳුන්වයි. මෙහි කොටස් කිහිපයකි.

  • රතිපීඨය (Mons veneris) – උපරියුනිකාස්ථය (fuprapudic bone) මත ආස්තරණය වී ඇති මේදමය පෑඩයකි.
  • බාහිර තොල් (Labia Majora) – භගමනිය දෙපස පිහිටා ඇති ඝනකම් සමෙහි නැවීම් දෙකකි. මෙය රති පීඨයේ සිට විටපය (perineum) දක්වා විහිදී ඇත. මෙහි සම, මේද පටක, තන්තු පටක, රුධිර වාහිනි ස්නායු අඩංගු වේ. මෙහි ඍජුවන පටක පිහිටයි. මෙය අඟල් 3 දිගුවේ. මෙහි ස්නේහ ශ්‍රාවි ග්‍රන්ථි (Sebaceous glands), ඇපෝක්‍රයින් (Apocrine) ග්‍රන්ථි අඩංගු වේ.
  1. අභ්‍යන්තර තොල් (Labia Minora) – බාහිර තොල් අතර පවතින සමෙන් ඇති වූ නැවීම් දෙකකි. මෙය අධික ලෙස වාහිනීමත් වේ. විශාල වශයෙන් ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි අඩංගුය. මෙමගින් වට වූ ත්‍රිකෝණාකාර ව්‍යූහය vestibule ලෙස හඳුන්වන අතර ඒ තුළ මුත්‍රා මාර්ගයේ හා යෝනියෙහි විවර දැකිය හැකිය. 
  2. මනිකය (Clitoris)

පිරිමින්ගේ ශිෂ්ණයට සමාන වූ ඍජු විය හැකි කුඩා ව්‍යූහයක් වන මෙය පූර්වයෙන් vestibule තුළ පිහිටයි. මෙහි ස්නායු බහුලව පිහිටයි. භගමනියේ වඩාත් සංවේදීම කොටසයි.

  1. කන්‍යා පටලය

යෝනි විවරය ආරක්ෂා වෙමින් පවතින තුනී පටලයකි. මෙහි මධ්‍යයේ පවතින සිදුර හරහා ඔසප්වීමේදී රුධිරය ඉවතට පැමිණේ.

මෙම බාහිර ලිංගික ප්‍රදේශයෙහි බාර්තෝලියන් ග්‍රන්ථි පිහිටන අතරම ඒවා කන්‍යාපටලය හා අභ්‍යන්තර තොල් අතරට විවෘත වේ. මෙමගින් අවර්ණය ශ්ලේෂ්මල ශ්‍රාවයන් පිටකරන අතරම ලිංගික සංසර්ගයේදී විශාල ලෙස ශ්‍රාවයන් නිකුත් වීම සිදු කෙරේ. මෙමගින් භගමනිය මත ලිහිසි ගතියක් ඇති කරයි. මීට අමතරව මෙම බාහිර ප්‍රදේශයේ ශ්ලේෂ්මල ශ්‍රාවය වන skene’s  ග්‍රන්ථි පිහිටයි. 

  1. විටපය

දරු ප්‍රසූතියේදී සැලකිය යුතු ඇදීමකට ලක්විය හැකි ගුදය හා යෝනිය අතර පවතින ත්‍රිකෝණාකාර කොටසයි. 

අභ්‍යන්තර ප්‍රජනක අවයව

  • යෝනිය 

ගර්භාෂයේ ගැබ්ගෙලෙන් පසුව ඇති කොටස යෝනියයි. යෝනියේ අපර බිත්තිය 7.5 cm –  8cm පමණ දිගුවන අතර පූර්ව බිත්තිය ඊට වඩා කෙටිය. ඊට හේතු වන්නේ  ඉහළ කෙලවරට ගැබ්ගෙල නෙරා තිබීමයි. අභ්‍යන්තර ජගන ධමනි හා ගර්භාෂයික ධමනි මගින් යෝනිය වෙත රුධිරය සපයන අතරම එයට අනුවේගී හා ප්‍රත්‍යානුවේගී ස්නායු සැපයුමක් ද පවතී. 

  • යෝනි මාර්ගය 

ගර්භාෂයේ සිට බාහිර ලිංගික අවයව දක්වා පිහිටා ඇති පේශීමය නාලයක් වන යෝනි මාර්ගය, යෝනි විවරයෙන් බාහිර පරිසරයට විවෘත වේ. සංසර්ගයේදී පිටවන ශුක්‍රාණු යෝනි මාර්ගය දිගේ පිහිනා ගොස් පැලෝපීය නාලයේදී ඩිම්බය හා සංසේචනය වේ. යෝනි මාර්ගය ගර්භාෂය වෙත ශ්‍රක්‍රාණු ගමන් කිරීමට ඉඩ සැලසීම මෙන්ම ප්‍රසූතියට අවශ්‍ය උපත් මග සකසා දීමද සිදු කරයි.

  • ගර්භාෂය 

ශ්‍රෝණි කුහරය තුළ පිහිටන පෙයාස් ගෙඩියක හැඩැති කුහර ව්‍යූහයක් වන ගර්භාෂය විශාල ඝනකම් පේශිමය බිත්තියකින් සමන්විතය. වැඩිහිටි කාන්තාවකගේ ගර්භාෂය දිගින් 7.5 cm පමණ ද පලල 5 cm පමණ ද ඝනකම 2.5 cm පමණ ද වේ. ගර්භාෂය බුද්නය (Fundus), දේහය (Body) හා ගැබ්ගෙල (Cervix) ලෙස කොටස් තුනකි.

පැලෝපීය නාල දෙක අතර පිහිටි ගර්භාෂයේ ඉහළ කොටස බුද්නය වන අතරම දේහය ගර්භාෂයේ විශාලම කොටසයි. එය ගැබ්ගෙල දක්වා විහිදේ. ගැබ්ගෙල ගර්භාෂයේ පහළ කොටසයි. 

ගර්භාෂ බිත්තියේ ප්‍රධාන ස්ථර තුනකි.

  • පරිචත්වාලය (Perimetrium) – ගර්භාෂ බිත්තියේ බාහිරින් පිහිටි ආස්තරයයි
  • වහිරුචත්වාලය (Myometrium) – මධ්‍යයේ පවතින සිනිඳු පේශී තන්තුවලින් සමන්විත පටලයයි.
  • අන්තෝචත්වාලය (Endometrium) – ගර්භාෂයේ අභ්‍යන්තර ආස්තරය වන මෙහි ඝනකම ඔසප් චක්‍රයේ අවස්ථා අනුව වෙනස් වේ.

ගර්භාෂය සාමාන්‍යයෙන් පුරෝවර්ති (ante version) එනම් ඉදිරියට ද සමහර කාන්තාවන්ගේ අපරවර්තිත (retroversion) එනම් පිටුපසට වන්නට තිබිය හැක. ගර්භාෂය, බන්ධනී යුගල් හතරකින් හා ශ්‍රෝණී පත්ලේ පේශී මගින් රැඳවී ඇත. ගර්භාෂික ධමනියෙන් රුධිරය සපයයි. අනුවේගී හා ප්‍රත්‍යානුවේගී රුධිර සැපයුමක් පවතී. 

ගර්භාෂයේ කාර්යයයන් ලෙස  සංසේචිත ඩිම්බ වෙනුවෙන් ගර්භාෂ අභ්‍යන්තරය පිළියෙල කිරීමත් වැඩෙන කලලය දරා සිටීම හා පෝෂණය සැපයීමත්  ගර්භණී සමය අවසන් වූ පසු පේශීමය බිත්ති සංකෝචනය කර භ්‍රෑණයා පිටතට යැවීමත් (සාමාන්‍ය ප්‍රසූතිය) දැක්විය හැකිය.

  • පැලෝපීය නාල

පැලෝපීය නාල දෙකකි. එම එක් එක් නාල සෙන්ටිමීටර 10 පමණ දිගු වේ. ඩිම්බ කෝෂයට ආසන්න කෙළවර පුනීලාකාර වන අතර ඒ වටා කඩරැලි (fimbriac) නම් ඇඟිලි වැනි නෙරීම් පවතී. ඒවා ඩිම්බය පැලෝපීය නාලය තුළට ඇතුළු කර ගැනීමට වැදගත් වේ. පැලෝපීය නාලය කොටස් හතරකි.

  • ගර්භාෂ බිත්තිය හරහා තිරස් අතට විහිදෙන පටු නාලය (Interstitial (intramural) part)
  • ගර්භාෂයෙන් විහිදෙන ඍජු පටු කොටස හෙවත් ඉස්මසය (Istmus)
  • නාලයේ තුනී හා පලල කොටස (Ampulla)
  • නාලයේ පරිතාන කුහරයට විවෘත වන පුනීලාකාර හැඩැති කොටස (The infundibulum) – මෙහි දිගු කඩ රැල්ල ඩිම්බ කෝෂය හා ස්පර්ෂව පිහිටන අතර එය Fimbria Ovarica ලෙස හඳුන්වයි.

පැලෝපීය නාල මගින් ඩිම්බ කෝෂයේ සිට ඩිම්බය ගර්භාෂය වෙත ගෙනයාම මෙන්ම නාලය තුළ සංසේචනයට ඉඩ සැලසීම සිදුකරයි.

  • ඩිම්බකෝෂ

දිග සෙන්ටිමීටර් 3.5 පමණ ද පළල සෙන්ටිමීටර් 2ක් පමණ ද සෙන්ටිමීටර් 1 ක් පමණ ඝනකමකින් යුක්ත වන කුඩා ව්‍යූහයන් දෙකකි. උදර කුහරය තුළ පිහිටා ඇති මෙම කෝෂ සුදු පැහැයෙන් යුක්ත අතරම අණ්ඩාකාර හැඩක් ගනී. මේවා තුළ සියුනිකා හෙවත් කූප පිහිටා ඇත. ඩිම්බ මේරීම සිදුවන්නේ මෙම කූප තුළයි. සෑම කූපයක් තුළම ඩිම්බයක් ඇති අතර ඩිම්බ වටා සෛල සමූහයක් ගොනු වී ඇත. ඒවා ඩිම්බ ආරක්ෂා කරමින් වැඩෙන ඩිම්බයට පෝෂණය සපයයි. ගැහැනු දරුවෙකු උපදින විට නොමේරූ ඩිම්බ මිලියන දෙකක් පමණ පවතින අතරම වැඩිවිය පත්වන විට එම ප්‍රමාණ ලක්ෂ තුනක් පමණ දක්වා වර්ධන වේ. ඒවා අතරින් පරිනත ඩිම්බ බවට මෝරන්නේ 500ක පමණ ප්‍රමාණයකි. ඩිම්බ වර්ධන වන විට එය තුළ තරල එක් රැස් වේ. ඉන්පසු එය ඩිම්බ කෝෂ බිත්තිය ආසන්නයට පැමිණ බිබිලක් සේ මතු වී අවසානයේ ඩිම්බය මුදා හරී. නොමේරූ ඩිම්බ මේරූ ඩිම්බ බවට පත් කිරීම මෙන්ම ඩිම්බ මුදා හැරීමත් ඩිම්බ කෝෂවල කාර්යයන් වේ. ඊස්ට්රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ශ්‍රාවය කිරීම (සුළු වශයෙන් androgen මෝනයද ශ්‍රාවය කරයි) එහි කාර්යක් වේ.

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

 


 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article