ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමේ අවධානම ඇත්තේ කාටද?

කාන්තාවක් මව්පදවිය වෙනුවෙන් ‍දකින සිහිනවල නම් නිමක් නැහැ. විවා‍හයෙන් පසු සෑම කාන්තාවක්ම දකින්නේ හව් පදවියේ සිහිනය යැයි කීවොත් එය නිවැරදියි. ඒත් ඇතැම් කන්තාවන්ට දරු පිළිසිඳ ගැනීමකදී නොහිතන ආකාරයේ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවිය හැකියි. ඒ සඳහා එක් උදාහරණයක් ලෙස අපිට නිතර අහන්න දකින්න ලැබෙන තත්ත්වයක් වන Ectopic Pregnancy (බහිෂ් කේතනික ධාරණය), එහෙමත් නැත්නම් ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමේ තත්ත්වය (Extra uterine pregnancy) දැක්විය හැකියි. 

Ectopic Pregnancy (බහිෂ් කේතනික ධාරණය), එහෙමත් නැත්නම් ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමකදී 90% ක්ම මෙම පිළිසිඳ ගැනීම් සිදුවන්නේ පැලෝපීය නාලය තුළ වන අතර කලාතුරකින් ගැබ් ගෙල (Cervix) ඩිම්බ කෝෂ (Ovary) උදර කුහරය (abdomen) තුළ ද පිහිටන අවස්ථාත් දැක ගත හැකියි. පැලෝපීය නාල සාමාන්‍ය තත්ත්වයේ නොමැති වීම එනම් සැත්කම්, තුවාල, ආසාධන ඇති වීම වැනි අවස්ථාවලදී පැලෝපීය නාලය තුළ සංසේචිත සෛලය  තැන්පත් වීමේ ඉඩකඩ ඉතා වැඩිය

කලලයක් වර්ධන වීමට අවශ්‍ය ඉඩකඩ හා සුදුසු පෝෂණය ලැබෙන්නේ ගර්භාෂ කුහරය තුළදී පමණි. ගර්භාෂයෙන් පිටත කිසිදු ස්ථානයක කලලයක් වර්ධන වීමට අවශ්‍ය හවැනි පරිසරයක්, ඉඩක් හෝ පෝෂණයක් ලබාගැනීමට අවස්ථාව නොමැත. කෙසේ වුවද පැලෝපීය නාලය තුළ තැන්පත් වූ කළලය එතුළ වැඩෙන විට, යම් අවස්ථාවක ඉඩකඩ මදිවීම නිසා නාලය පුපුරා යා හැකි අතරම සාමාන්‍යයෙන් මෙසේ සිදුවිය හැක්කේ අවසාන ඔසප් වීමෙන් සති 8 – 10 ක් අතර කාලය තුළදීය. එය යම්තාක් දුරට අවදානම් තත්ත්වයක් වන්නේ නාලය පිපිරූ ස්ථානයෙන් අධික රුධිර වහනයක් සිදුවිය හැකි නිසාය. එය  රෝගියාගේ ජීවිතය පවා අවදානමට  ලක්විය හැකි අවස්ථාවකි.  මේ අවස්ථාවේ සිදු විය හැකි අනෙක් භයානක ලක්ෂණය වන්නේ ගර්භාෂයෙන් පිටත දරු ගැබ පිහිටීම හා එය පුපුරා යෑමේදී පැහැදිලි රෝග ලක්ෂණ නොමැති වීම හෝ රෝග ලක්ෂණ ඉතා අඩු වශයෙන් පෙන්නුම් කිරීමයි. නිසා මෙම තත්ත්වය රෝග ලක්ෂණවලින් හඳුනා ගැනීම පහසු නොවේ. මෙම තත්ත්වයක් පිළිබඳව යම්තම් හෝ සැකයක් පවතී නම් පළපුරුදු වෛද්‍යවරයෙකු වහාම හමුවිය යුතුය. මෙය නාරිවේදීය ඉතා හදිසි (Gynaecological emergency) තත්ත්වයකි.

Ectopic Pregnancy තත්ත්වයට හේතූ

පැලෝපීය නාලයේ අවහිරතාවයක් නිසා සංසේචිත වූ ඩිම්බය ගර්භාෂය දක්වා පැමිණීමට නොහැකි වී පැලෝපීය නාලයේ හෝ වෙනත් ස්ථානයක රැදී එම ස්ථානයේ අධි රෝපණය (Implantation) වීම මේ තත්ත්වයට හේතුවයි.

Ectopic Pregnancy තත්ත්වයට පත්විය හැකි අවධානම් සාධක

  • වයස

ලිංගික වශයෙන් ක්‍රියාකාරී, ඩිම්බ මෝචනය සිදුවන කාන්තාවකට ඕනෑම වයසකදී ඇති විය හැකි නමුත් අධි අවධානමක් ඇත්තේ වයස අවුරුදු 35 – 44 කාන්තාවන් 

  • ඉතිහාසය 

Ectopic pregnancy තත්ත්වය සඳහා අධික අවධානමක් මීට පෙර පැවති කාන්තාවන් මෙන්ම පෙර Ectopic pregnancy තත්ත්වයට මුහුණ දුන් කාන්තාවන් 

  • පෙර  සිදුකරන ලද නාරීවේදීය ශල්‍යකර්ම

පැලෝපීය නාල ආශ්‍රිතව සිදු කරන ලද පැලෝපීය නාල හැඬ ගැසීම හෝ එසේ ගැට ගැසූ නාල යළි යථා තත්ත්වයට පත් කිරීම වැනි ශල්‍යකර්මවලින් පසුව නාලවල සිදුවිය හැකි ව්‍යූහමය වෙනස්කම් පැවතීම 

  • ආසාධන 

ශ්‍රෝනි කුහරය තුළ ඇති වන ආසාධන (Pelvic Inflammatory Disease – PID) තවත් අවධානම් සාධකයක් වන අතර ශ්‍රෝණී ආසාධනයක් සඳහා සාමාන්‍යයෙන් හේතූ වන්නේ ලිංගිකව සම්ප්‍රේෂණ ජීවීන් රෝග තත්ත්වයි. උදාහරණ ලෙස Chlamydia හෝ Nisseria gonorro දැක්විය හැකියි. මෙම ජීවීයා මඟින් ගොනෝරියා නම් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගය ඇති කරයි. මීට අමතරව ලිංගිකව සම්ප්‍රේෂණය නොවන බැක්ටීරියා මඟින්ද ශ්‍රෝණිය ආශ්‍රිත රෝග ඇති විය හැකි අතර Ectopic pregnancy ඇති වීමේ අවධානම වැඩි කරයි. මෙසේ ඇති වන ආසාධනයක් මඟින් පැලෝපීය නාලවලට අනතුරු හා අවහිරතා ඇති කරයි

තවද ලිංගික සහකරුවන් කිහිපදෙනෙකු සමග සම්බන්ධ වීමත් කාන්තාවට ශ්‍රෝණී ආසාධන තත්ත්ව ඇති වීමට ඇති අවධානම වැඩි කරවන අතරම Ectopic pregnancy ඇති වීමට ලිංගික සහකරුවන් කිහිප දෙනෙකු සිටීමද හේතු විය හැකිය. 

සාමාන්‍යයෙන් පැලෝපීය නාලයේ ඇතුළු ආස්තරණයේ කුඩා රෝම වැනි ව්‍යූහයන් රාශියක් පවතී. මේවා පක්ෂම (cilia) ලෙස හඳුන්වන අතරම ගර්භාෂය දෙසට චලනය වන මෙම පක්ෂම මගින් ඩිම්බය, ඩිම්බ කෝෂයේ සිට පැලෝපීය නාලය හරහා ගර්භාෂය දක්වා (තල්ලු කර හැරීම) ගමන් කරවීම සිදු කරයි. ආසාධන මඟින් මෙම පක්ෂමවලට හානි වුවහොත් ඩිම්බය ගමන් කරවීමට නොහැකි වේ. එවිට ඩිම්බය සංසේචනය වීමෙන් පසු එය ගර්භාෂයට ළඟා නොවී පැලෝපීය නාලය තුළ තැන්පත් වේ. එසේම මෙම ආසාධන නිසා ඇති වන කැළැල් පටක නිසා පැලෝපීය නාල අර්ධ ලෙස අවහිර වි හැකි අතරම එමඟින්ද සංසේචිත ඩිම්බය ගර්භාෂය තුළට යාම වළක්වයි

  • නාරිවේදීය තත්ත්වයන්

Endometriosis, ගර්භාෂය තුළ ෆයිබ්‍රොයිඩ් ඇති වීම හෝ කැළැල් පටක පැවතීම නිසා සංසේචිත ඩිම්බය ගර්භාෂය දක්වා ගමන් කරවීමට බාධා ඇති කරයි

  • අන්තර් ගර්භාෂයික උපත් පාලන උපකරණ (Intrauterine Contraceptive Devices – IUCD)

උපත් පාලන ක්‍රම ලෙස ගර්භාෂය තුළ තැන්පත් කරන ලූප නියමිත ස්ථානයේ නොමැති වීමෙන් ගැබ් ගැනීම් සිදුවන අතරම එවැනි ගැබ්ගැනීම් Ectopic pregnancy තත්ත්ව‍යේ විය හැකිය. 

  • ඍජුව හෝ වක්‍රව සිගරට් දුමට නිරාවරණ වීම

සමහර කාන්තාවන් පුරුද්දක් ලෙස දුම්පානය කරයි. ඇතැමුන් වක්‍රාකාරව සිගරට් දුමට නිරාවරණය විය හැකියි. මෙහි අවධානම ගන්නා සිගරට් ප්‍රමාණය මත රඳයි. මෙම දුම මඟින්ද පැලෝපීය නාලය තුළ ඇති පක්ෂම (Cilia) විනාශ කරයි. ඒ හේතුවෙන් ගර්භාෂය තුළට සංසේචිත ඩිම්බ රැගෙන යාමේ හැකියාව අවම විය හැක.

  • වඳ භාවය – Infertility

වඳභාවය පිළිබඳව ඉතිහාසයක් ඇත්නම් අවුරුදු දෙකක් හෝ ඊට වැඩි කලයක සිට දරුවන් නොමැති නම් එයද Ectopic pregnancy තත්ත්වයක් ඇති වීමේ අවධානම වැඩි කරයි.

  • සරුභාවය ඇති කිරීම සඳහා ගනු ලබන ඖෂධ (ඇතැම්) ලබාගන්නා කාන්තාවන් 
  • සාමාන්‍ය ක්‍රමයට පිළිසිඳ ගැනීමක් සිදු නොවන නිසා IVF ප්‍රතිකාර වෙත යොමු වූ කන්තාවන්

Ectopic pregnancy තත්ත්වයකදී පෙන්නුම් කරන ලක්ෂණ පිළිබඳව තවත් ලිපියකින් බලාපොරොත්තුවන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

 


 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here