ස්ක්‍රීන් ටයිම් වැඩි දරුවන් වර්චුවල් ඕටිසම් තත්ත්වයට පත්වෙන්නත් බැරි නැහැ

අද කාලේ දෙමාපියන් බොහොම කාර්ය බහුලයි. ආර්ථික සටනත් එක්ක හරිහරියට තරග වදින්න තාත්තට විතරක් බැහැ. ඉතිං අම්මලත් ඒ වෙනුවෙන් වෙහෙස වෙනවා. මේ කාර්ය බහුල බවත් එක්ක අපේ දරුවෝ ස්මාර්ට් දුරකතනයට, පරිගණකට එහෙමත් නැත්නම් ටීවී එකට වැඩිපුර ආදරය කරන්න පටන් අරගෙන. ඒ වගේම තමයි දරුවන්ට කාටූන් එකක් දාලා දීලා වැඩ ටික ඉවර කරගන්න සමහර අම්මලත් පුරුදු වෙලා. නොදැනුවත්ව උනත් වැඩිහිටි අපි අතින් මේ සිද්ධ වෙන්නේ කොයි තරම් නම් ලොකු වරදක්ද කියලා මේ ලිපිය කියවගෙන යද්දී වැටහේවී. 

ස්ක්‍රීන් ටයිම් ඒ‍ කියන්නේ ටීවී, පරිගණක, දුරකතන තිරයේ සිටින කාලය වැඩි වීම වර්චුවල් ඕටිසම් ((Virtual Autism)) තත්ත්වයට හේතු විය හැකියි. මේ හරහා දරුවන්ගේ සන්නිවේදයේ භාෂාවේ හැසිරීමේ ගැටලු ඇති විය හැකියි. පැය තුනකට වැඩි කාලයක් තිරයේ ගත කරන දරුවෙකුට බොහොමයක් සංකූලතාවලට මිහුණ දීමට සිදුවි හැකියි.

මේ සංකූලතා‍ හේතුවෙන් සුව නින්දක් සඳහා අවශ්‍ය මෙලටනීන් හෝමෝනය වගේම සතුට සඳහා අවශ්‍ය  ඩොපමීන් හෝමෝනය ශ්‍රාවය වන ප්‍රමණයේ අඩු වැඩි වීම් සිදු වනවා වගේම ස්නායු ආවේග සම්ප්‍රේෂණයට අවශ්‍ය ඇසිටයිල් කෝලීන් හෝමෝන‍ය ශ්‍රාවයේත් යම් යම් වෙනස් වීම් ඇති විය හැකියි. 

මේ හෝමෝන ශ්‍රාවයන්ගේ සිදුවන වෙනස්කම් හේතුවෙන් අපේ දරුවන් තුළ …

  • ආවේගශීලී හැසිරීම් රටා 
  • යමක් විමසූ විට එය වටහා ගෙන නිවැරදි ප්‍රතිචාරය දැක්වීමේ නොහැකියාව
  • යමක් විමසූ විට ප්‍රතිචාර දැක්වීමට යන කාලය වෙනස් වීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය.

‍මෙවැනි දරුවන් කොටස් කිහිපයකම ගැටලුකාරී තත්ත්වයන් පෙන්නුම් කරයි.

කතාව භාෂාව හා සන්නිවේදනයේ ගැටලු

යමෙක් සමග ඇසට ඇස බලා කතා කිරීමේ (eye contact) නොහැකියාව වගේම වාචික හෝ අවාචික සන්නිවේදනය අවම (තමාගේ අවශ්‍යතාවයන් අන් අය ලවා ඉටුකරගැනීමට උත්සාහ කළත් එය වාචිකව/අවාචිකව පැවසීමට උත්සාහ නොකරයි) තත්ත්ව‍යේ පැවතීම යන සන්නිවේදනයේ ගැටලුකාරී තත්ත්ව නිසා මෙවැනි දරුවන්ගේ හැසිරීම් රටාවේ ගැටලු බොහොමයක් ඇති විය හැකියි. සමස්ථයක් ලෙස ගත් කළ භාෂාව වටහා ගැනීමේ නොහැකියාව සහ තැනට ගැලපෙන අයුරින් භාවිතයට ඇති නොහැකියාවයි. උදාහරණක් ලෙස ඇතැම් දරුවන්ගෙන් යමක් විමසූ විට එයට පිළිතුරු දෙනවා වෙනුවට ඒ ප්‍රශ්නයම නැවත නැවත පවසනවා. ඒ ඔහුට/ඇයට විමසන දේ වටහා ගැනීමට නොහැකි නිසායි.

සමාජ කුසලතා/අන්තර්සම්බන්ධතා හා සම්බන්ධ ගැටලු

වර්චුවල් ඕටිසම් තත්ත්වයේ සිටින දරුවෙක් වැඩි කැමැත්තක් දක්වන්නේ පාඩුවේ තනිව තමාගේ ලෝකයේ වෙන්වෙලා කාලය ගත කිරීමටයි. ඒ සමාජ සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට ඔවුන් කැමැත්තක් නොදක්වන නිසයි. උදාහරණයක් විදියට මෙවැනි දරුවන් තමගේ සෙල්ලම් බඩුවක් ගෙන ඒ හරහා තනිව විනෝද වීමට ප්‍රියතාවයක් දක්වයි. පිරිසක් හමුවේ වුවත් මෙවැනි දරුවන් කැමැත්තක් දක්වන්නේ අන්‍යයන්ගෙන් වෙන්ව තනිව කාල ගත කිරීමටයි. මොවුන් තුළ සමාජශීලී බව අඩුයි. ඔවුන්ට යමෙක් කතා කළත් සිනාසී ප්‍රතිචාර දක්වන්න ඔවුන් තුළ රුචියක් නැහැ. එසේම මොවුන් යමක් තවත් අයෙකු සමග බෙදා හදා ගන්න, යහළු යෙහෙළියන් ඇති කරගන්න කැමැත්තක් දක්වන්නේ නැත. මේ තත්ත්වය මත පෙර පාසැලකදී එහෙමත් නැත්නම් පාසැලකදී වුණත් මෙවැනි දරුවන් කිසිවෙකු සමග සම්බන්ධ නොවනවා සේම මෙවැනි දරුවන් යහළුවන් ලෙස තෝරා ගැනීමට අනෙක් දරුවනුත් කැමැත්තක් දන්වන්නේ නැහැ. ඒ නිසා මෙවැනි දරුවන්ට යහළු යෙහෙළියන් ඇති වන්නේ නැහැ.

 හැසිරීමේ ගැටලු පෙන්නුම් කරනවා. 

මෙවැනි දරුවන් සෙල්ලම් කිරීමේදී එකම දේ එක දිගටම කිරීම ‍විශේෂයෙන් දැකිය හැකියි. උදාහරණයක් ලෙස සෙල්ලම් වාහනයක් මෙවැනි දරුවෙක් අත ඇති විට ඒ සමග එකම ආකාරයකට සෙල්ලම් කරයි. උදාහරණක් විදියට රෝද කරකැවීම වැනි දෙයක්. ඒත් සාමාන්‍ය දරුවෙක් එම භාණ්ඩයම තෝරා ගත හොත් එ නිර්මාණාත්මකව ‍‍යොදාගන්නා ආකාරය දැක ගත හැකියි. නමුත් වර්චුවල් ඕටිසම් තත්ත්වයේ සිටින දරුවෙක්ගේ හැකියාවන් සීමාසහිත නිසා ඔවුන් සැමවිටම එකම ක්‍රියාව දිගින් දිගටම සිදුකරනවා. 

  • හැසිරීම සහ සිතුවිලි සම්බන්ධ ගැටලු

කතාව භාෂාව හා සන්නිවේදනයේ ගැටලු නිසාත් සමාජ කුසලතා/අන්තර්සම්බන්ධතා හා සම්බන්ධ ගැටලු නිසාත් මේ තත්ත්වයේ සිටින දරුවෙකුගේ හැසිරීමේ මෙන්ම සිතුවිලි සම්බන්ධ වෙනස්කම් පැන නැගිය හැකියි. එසේම මෙවැනි දරුවන් පෙර සඳහන් කළ පරිදිම ආවේගශීලී හැසිරීම් රටා පෙන්නුම් කරන අවස්ථාවන් දැකගත හැකියි. උදාහරණයක් ලෙස කුඩා ශබ්දයකට විශාල ලෙස ප්‍රතිචාර දැක්වීම එනම් එවැනි අවස්ථාවකදී කලහාකාරී හැසිරීම් රටා පෙන්වීම දැකිය හැකියි. ඒ වගේම මෙවැනි ඇතැම් දරුවන් මුදු පිරිමැදීම් රුචි කරන අතරම ඇතැම් දරුවන් දැඩි පිරිමැදීම් ප්‍රියකරනවා. ඇතැම් දරුවන් සුවඳ සම්බන්ධවත් වෙනස් ගති පැවතුම් පෙන්නුම් කරන අවස්ථා දැක ගත හැකියි. එය සරලවම පැවසුවහොත් මොවුන් දෙයකට ඇලුම් කරන්නේ ප්‍රියකරන්නේ එක් අන්තයක සිට පමණක් බවයි.  මේ මගින් ද හැසිරීමේ ගැටලු ඇති වේ. 

ඔබේ දරුවාත් මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

ඔබ කළ යුත්තේ බියට පත්වීම හෝ ‍කණගාටුවට පත්වීම නොවන බව තර‍යේ සිතට ගන්න. පළමුවෙන්ම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී දරුවාගේ තත්ත්වය පවසා ඔහු/ඇය පත්ව සිටින තත්ත්වය පිළිබදව සැක හැර දැනගන්න. ඉන්පස්ව ඔබ කළ යුතු දේ පිළිබඳව නිසා මාර්ගෝපදේශනය ලැබෙන නිසා එතැන් සිට ඒ අනුව ක්‍රියාත්මක වන්න. දරුවා පත්ව සිටින තත්ත්වයට අනුව කතාව හා සම්බන්ධ ගැටලුවක් නම් කතන හා භාෂා ව්‍යාධිවේදීවරයෙක් වෙත ද සංවේදී බව ආශ්‍රිත ගැටලුවක් නම් වෘත්තීය චිකිත්සකවරයෙකු වෙතද හැසිරීමේ ගැටලු නම් චර්යා චිකිත්සකවරයෙකු වෙතටද වශයෙන් නියමිත අංශ වෙත ඔබට ‍යොමු කෙරෙනු ඇත. එහිදී ලබා දෙන උපදෙස් අනුව යමින් කටයුතු කිරීම වඩාත් වැදගත් වේ.

මෙවැනි තත්ත්වයකදී ‍වගකීම් සහගත දෙමාපියන් ලෙස ඔබ 

  • ඔබේ දරුවා තිරය ඉදිරියෙන් ඉවත් කරන්න
  • හැකි උපරිම වේලාවක් දරුවා සමග කාලය ගත කිරීමට වෙන්කරගන්න
  • දරුවා සමග සෙල්ලම් කරන්න (බිල්ඩින් බ්ලොක්ස්වලින් දරුවාගේ මට්ටමට යමින් එක්ව සෙල්ලම් කරන්න)
  • ගීත ගායනය, කතාන්දර කීම, පින්තූර පොත් හරහා වචන හඳුන්වා දීම

අද වන විට අපි කවුරුත් ගත කරන්නේ කාර්ය බහුල ජීවිතයක් නිසා බාහිරින් අප වෙත උදව් උපකාර ලබාගැනීමේ හැකියාව අවමයි. ඒ කෙසේ වුවත් ඔබේ දරුවාගේ යහපත වෙනුවෙන් තාක්ෂණික මෙවලම් ඔවුන්ගෙන් ඈත් කළ යුතුම දෙයක් බවත් එය දෙමාපියන් වන ඔබට පැවරෙන විශාල වගකීමක් බවත් සිත්හි තබාගන්න. 

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

කථන සහ භාෂා ව්‍යාදිවේදී ආචාර්ය නිමීර වීරරත්න මහතා

 

 

 


 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here