ඔයා ගෙනත් දුන්නේ සුරංගනාවක්..නංගී අහුලාගත්තේ කුණු කාණුවෙන්

එකම අම්මාගේ දරුවන් වෙනුවෙන් අම්මලාගේ ආදරයේ වෙනසක් නැහැ. වැලේ ගෙඩි වැලට බර නැහැ කියන්නා සේම හැම දරුවෙක්ම දෙමව්පියන්ට වටිනවා.ඒ අතරේ සමහර වේලාවදී ඔයා ගෙනත් දුන්නේ සුරංගනාවක්..නංගී අහුලාගත්තේ කුණු කාණුවෙන් වගේ ඔබ දරුවන්ට කියනවා ඇති.

ඒ කියන්නේ බොරුවට…

ඔව් ඇත්ත…දරුවන් කියන්නේ අපේ සම්පත්.කුණු කාණුවලින් අහුලාගන්න දරුවන් ඉන්නවායැ. අපේ පණ වගේ දරුවන් රකිද්දී මේ වගේ පුංචි බොරුවක් අපිත් කියනවා..

ඒ බොරුව දරුවාට බලපාන්නේ කොහොමද..?

දරුවන් ලං කර ගෙන ඔබ එක් එක් දරුවා වෙනුවෙන් මේ විදිහට වෙන වෙනම තක්සේරු කරද්දී දරුවන්ගේ හිතේ ඔවුන් ගැන ඇති වෙන්නේ කිසියම් හීනමානයක්. ඇත්තටද අම්මා මෙහෙම කියන්නේ දරුවා තමන්ගෙන්ම ප්‍රශ්න කරනවා.

ඇත්තම ඇත්ත වෙන්නැති..ඒකයිනේ අම්මා,තාත්තා මට හැමවේලාවේම බනින්නේ..සැරකරන්නේ..අයියට අක්කාට අම්මා ,තාත්තා හරිම ආදරෙයි.මට ඒ විදිහට ආදරේ කරන්නේ නැහැ..

ඔයා ඉතින් කුණු කානුවේ ළමයානේ..ඒකයි කියන දේ අහන්නේ නැත්තේ..

මේ විදිහට ඔබ දරුවන්ට ලේබල් ඇලෙව්වාම ඔවුන්ගේ හිතේ ඇති වෙන මානසික ගැටුම නිසා දරුවාගේ හැසිරීම වෙනස් වෙන්න පටන් ගන්නවා.ඔවුන් නිතරම ගැටුම්වලට මුල පුරනවා. අයියා,අක්කාට ඊර්ශ්‍යා කරනවා.දරුවාගේ හැසිරීම වෙනස් වුනාමත් දෙමව්පියන් ඔවුන්ට පහර දෙන්නේ කුණු කාණුවේ කථාන්දරයෙන්.

මං මොකටද අම්මාට,තාත්තාට ආදරේ කරන්නේ..

දැන් දරුවාගේ හිතේ තමා ගැන ඇති වෙන ආත්මීය ශෝකය නිසා ඔහුගේ හිතේ යම් සංකුලතාවයක් පෙරලි කරන්න පටන් ගන්නවා. මේ මගේ අම්මා,තාත්තා නොවෙයි නම් මම මොකටද මෙයාලට ආදරේ කරන්නේ..ඔන්න දැන දරුවාගේ හිතේ ගැටුමක්..

ගැටුම ලේසියෙන් අවසාන වෙන්නෙත් නැහැ.

මේ අන්දමේ මානසික ගැටුමක් දරුවෙකුගේ හිතේ ගොඩ නැගුනොත් එය දවසකින් දෙකකින් දුරස් වෙන්නේ නැහැ.ඒ සිතුවිල්ල දරුවා සමග වැඩෙනවා.දරුවා තමන්ගේ දෙමව්පියන් ගැන නිතරම සිතන්නේ සැකයෙන්. මේ මගේ අම්මා..තාත්තා නොවෙයි කියන සංකල්පය නිසා ”සැබෑ මව්පිය සෙනහස” පිලිබද ඌනතාවයක් සමග දරුවාගේ හිත පීඩා විදිනවා.

මගේ අම්මා කවුද..මං එයාලව හොයන්න ඕන..

සමහර අවස්ථාවන්හිදී දරුවන් වැඩිහිටි වෙද්දීත් මේ මානසික ගැටුම සමග ජීවත් වෙනවා. විටෙක ඔවුන් තමාගේ සැබෑ මව්පියන් සොයන තරමටම ප්‍රශ්නය දුර අරගෙන යනවා.

ඔයාට පිස්සුද..? ඔයා අපේ..

දැන් ඔන්න දෙමව්පියන්ටත් ඇස් ඇරෙනවා. දරුවා වයස සමග ජීවිතය තේරුම් ගනිද්දී පුංචි කාලයේ අම්මා,තාත්තා දරුවා ගැන කියන ලද දේ හිතේ හොල්මන් කරනවා. 

මට පුංචිකාලයේ ඉදලම ඔයගොල්ලන් වෙනස්කම් කලේ මං ඔයාලගේ නොවන නිසානේ..

අයියට, අක්කට ඔයාලා ආදරේ වුනාම මට කවදාවත් ආදරේ කළේ නැහැ..

ඔයා පුංචි කාලයේ හරිම දඟයි…ඒකයි අපි එහෙම කිව්වේ..

ඔබ දරුවා ඒ විදිහට වෙනස් කරමින් විශේෂණ ලබා දුන්නේ ඔවුන් මෙල්ල කිරීමට බව ඇත්ත.එහෙත් එය දරුවන් හැඩගැස්වීමේදී සාර්ථක උපායක් නම් නොවෙයි.මේ විදිහට දරුවන් ගැන විවිධ සංකල්ප ගොඩ නැගීමෙන් සිදු වෙන්නේ අනාගත පවුල් ගැටුමක් වෙනුවෙන් මුල පිරීමක්..

දරුවාගේ වැරැද්දට කථා කරන්න

ඔබේ දරුවා වරදක් කරනවා නම් ඒ වැරැද්ද ගැන පමණක් ආමන්ත්‍රනය කරන්න.දරුවා වැරදි කරන්නේ ඔවුන් කැලෙන්, කාණුවෙන් අහුලා ගත් නිසා නොවන බැව් ඔබ හොදින්ම දන්නා නිසා එවැනි චෝදනාවන් දරුවන්ට නැගීම කිසිසේත්ම වටින්නේ නැහැ.වැරැද්දක් කළ තැනදී වරදට දඬුවම මිසක අයියා…අක්කා..ට දරුවා සමාන කරන්න එපා. සහෝදරයන් අතරත් ගති පැවැතුම් වෙනස්කම් තිබෙන නිසා ඔබේ දරුවා පවුලේ සෙසු දරුවන්ට සමාන ආකෘතියක් වෙන්නේ නැහැ. ඒ නිසා දරුවෙකුට චෝදනා කරන විට ඒ වරදට මිසක තවත් අය සමග සංසන්දනාත්මකව කිරා මැන බැලීමක් නොකරන්න. එවිට දරුවා කිසිම දිනක වරද නිවරැදි කර ගැනීමට වඩා ඔබ අගය කළ සහෝදරයන්ට ඊර්ශයා කිරීමට යොමු වෙනු ඇත.

ඊර්ශ්‍යාවේ විෂබීජය දුන්නෙත් ඔබ

බාලකාලයේ දරුවන් අතර මේ අන්දමින් දෙමව්පියන් විසින්ම විෂබීජ වගා කිරීම නිසා අනාගතයේදී ඔවුනොවුන් අතරත් විවිධ විරසකකම් ගොඩ නැගෙනවා.

මං කොහොමද..? ඔයාගේ නංගියෙක් වුනේ..

මගේ දේවල්වලට ඇගිලි ගහන්න ඔයාලට අයිතියක් නැහැ..

පවුලක සතුට ගොඩ නගා ගැනීමට දරුවන් අතර සහයෝගය  ඉතාම වැදගත්.ඒ වුනත් මේ විදිහට විසංවාදී අදහස් ඇති නිවසක කිසිම සහජීවනයක් ගොඩ නැගෙන්නේ නැහැ.

වචන පරිස්සමින් පාවිච්චි කරන්න…

දරුවන්ගේ පුංචි කාලයේදී ඔවුන්ට හය හතර නොතේරෙන නිසා ඔබ මේ විදිහට පුංචි පුංචි අපහාස කරන්නට ඇති.ඒවා දරුවා සමග වැඩෙන බැව් ඔබ සිහිනෙන් හෝ නොසිතුවා විය හැකියි.ඒත් අපි හිතනයාට වඩා දරුවන් අපේ වචන ග්‍රහණය කර ගැනීමට බොහොම සමර්ථයි.ඔවුන් ඒ වචන හිතේ තබා ගෙන අවශ්‍ය වේලාවට ආයුධ සේ පාවිච්චි කිරීමට තරමටම දරුණුයි.

දෙමව්පියන් විදිහට ඔබ දරුවන් ඉදිරියේ වචන පාවිච්චි කිරීමේදී ප්‍රවේසම් වෙන්න.

  • කිසිම දවසක දරුවන්ගේ ශාරිරික අඩුපාඩු වලට අපහාස කරන්න එපා.
  • දරුවන්ගේ දුබලතාවයන් විවේචනය කරන්න එපා.
  • දරුවන් ගැන තවත් අයට සාපේක්ෂ කරමින් අවමන් කිරීමත් ඉතා දරුණුයි.

දරුවා කියන්නේ වෙනම ආකෘතියක්..

ඔබට දරුවන් කීපදෙනෙකු සිටින මවක් විය හැකියි. ඔබේම වුනත් මේ සෑම දරුවෙකුම ඔවුන්ට අනුව ඒකීයයි. කිසිම දිනක වැඩිමහල්දරුවන්ට හෝ සහෝදරයාගේ,මිතුරියගේ, අල්ලපු ගෙදර දරුවාට ඔබේ දරුවා සමාන වෙන්නේ නැහැ. මෙම සිද්ධාන්තය හොඳින් වටහා ගත් දිනකදී දරුවන් යනු දෙවියන් විසින් දුන් තිලිනයන් බැව් ඔබ තේරුම් ගනු ඇත.

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here