- Advertisement -

පුංචි පැටියාගේ සමට සුදුසුම දේ තෝරාගන්නේ කොහොමද?

-

ආදරෙන් මේ ලෝකෙට කැන්දන් ආ තමන්ගේ පුංචි පැටියාගේ පුංචිම පුංචි දෙයක් වුණත් අම්මා තාත්තාට දැනෙන්නේ ගොඩක් ලොකු විදියට. දරුවෙක් සම්බන්ධයෙන් අම්මා තාත්තා උපරිමයෙන් කැපවෙනවා. ඒ දෙමාපියන්ට මේ ලෝකේ තියෙන ලොකුම වගකීම. ඔවුන් ඒ වගකීම පවරගන්නේ බොහොම ආදරෙන්. 

පුංචි පැටියාගේ පුංචිම දේ වෙනුවෙන් වුණත් වෙහෙසෙන ඔවුන් දරුවා වෙනුවෙන් දෙයක් තෝරා ගනිද්දී සිය දහස් වාරයකටත් වඩා කල්පනාකාරී වෙනවා. ඒ කල්පනාකාරී බවෙන් ඇත්තටම ආරක්ෂා වෙන්නේ හෙට දවසේ ලෝකය බාරගන්න ඉන්න අපේ පුංචි පැටවුන්. හාහාපුරා කියලා අම්මා තාත්තා වුණු යුවලකට තමන්ගේ දරු පැටියා වෙනුවෙන් තෝරා ගත යුතු දේවල් ගැන යම් යම් ගැටලු තියෙනවා. අන්න ඒ නිසාම ළදරු නිෂ්පාදන තෝරගනිද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ කරුණු ගැනද කියලත් එයට හේතුව මොකද්ද කියලත් අපි කතා කරමු. 

- Advertisement -

අලුත උපන් පුංචි දරුවෙක්ගේ සම මල් පෙත්තක් තරම් සුසිනිඳුයි. ඒ වගේම සංවේදීයි. මෙන්න මේ නිසාම පුංචි පැටියාගේ සම රැක ගැනීම දෙමාපියන්ට පැවරෙන ලොකු වගකීමක්. 

අම්මාගේ කුසේ වැඩුණු පුංචි පැටියා මේ ලෝකයට බිහි වෙද්දී එයාගේ සම රත් පැහැයට හුරු දම්පැහැයක් වගේම අතුල් පතුල් නිල් පැහැයකට හුරුයි කියලා අපි අහලා තියෙනවා. ඒ වගේම මේ පැටියාගේ සමේ ආරක්ෂාව වෙනුවෙන් සුදු පැහැති ඉටි වැනි යමක් සම මත තිබෙනවා. බාහිර ලෝකයට එක්වරම හුරුවෙන්න තියෙන නොහැකියාව නිසා පුංචි පැටියාගේ සම ආරක්ෂා කරන්න සොබාදහමෙන්ම ලබා දුන්න ආරක්ෂක පියවරක් තමයි ඒ. 

අපි කොයිතරම් පරිස්සම් කළත් පුංචි පැටියෙකුගේ සමට යම් යම් ගැටලුකාරි තත්ත්වයන් ඇති විය හැකි හේතු කිහිපයක්ම තිබෙනවා. ශරීර අභ්‍යන්තරයෙන් වගේම බාහිරිනුත් සමට ගැටලු ඇති විය හැකියි. ප්‍රතිශක්තිකරණ හැකියාව දුර්වල වීම නිසා සම මත  විවිධ ආසාදන, කැසීම්, අවපැහැ වීම, වියළි ස්වභාවය, සම ඉරිතැලීම් වැනි තත්ත්වයන් ඇතැම් විට දැකිය හැකියි. ආයුර්වේදයේ සඳහන් වෙන ආකාරයට නම් කුඩා දරුවන්ගේ සමේ රෝග ඇති වීමට ගැබිනි සමයේ හා කිරි දෙන සමයේ මව ලබාගන්නා ආහාර පාන වගේම ඇයගේ ඇවතුම් පැවතුම් පවා බලපානවා. ඒ අනුව මව උෂ්ණාධික ආහාර  ගැනීම නිසා බිහිවන දරුවාට සමේ රෝග තත්ත්ව ඇති වීමේ ප්‍රවණතාවය ඉහළ බව පැවසෙනවා. 

එසේම තවත් හේතුවක් ලෙස මවගේ මෙන්ම දරුවාගේ පිරිසිදුකම අවම වීමත් සමේ යම් යම් රෝග තත්ත්වවලට හේතු විය හැකියි. උදාහරණ විදියට මව, දරුවා, දරුවාගේ ඇඳුම් පැළඳුම් හා දරුවා තබන ස්ථානයේ අපිරිසිදු බව ද සම ආශ්‍රිත රෝග ඇතිවීම කෙරෙහි බලපාන තවත් ප්‍රබල සාධකයකි. 

තවත් ආකාරයකින් ගත් කළ ඇතැම් ජානමය හේතූ ද  විවිධ පාරසරික බලපෑම් මෙන්ම දේශගුණික සාධක ද ළදරුවන්ගේ සම ආශ්‍රිතව යම් යම් ගැටලු ඇති කිරීමට හේතු විය හැකි අතරම මේ සියල්ලම හැරුණු කොට විවිධ රසායනික ද්‍රව්‍ය හා විවිධ ළදරු නිෂ්පාදන වර්ග නිසාද ළදරුවන්ගේ සම මත නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය.පුංචි දරුවන්ට සබන් වර්ග, ක්‍රීම් වර්ග වගේම කොලෝන් වර්ග තෝරාගනිද්දී මව්පියන් බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතු වෙන්නේ ඒ නිසයි. මන්ද අපි බාහිරින් යොදා ගන්නා ආලේපනත් කුඩා දරුවන්ගේ සම ආශ්‍රිත යම් යම් සංකූලතා ඇති වීමට බලපෑ හැකියි. ඒ වගේම උෂ්ණාධික රටක් වන අපේ රටේ පවතින දේශගුණික ස්වභාවය අනුව නිසි තත්ත්වයේ නිෂ්පාදන තෝරා නොගැනීම ළදරු සම මත ගැටලු ඇති කිරීමට හේතු විය හැකියි. 

අතීතයේ දී බිළිඳුන් පිරිසිදු කිරීමට මව්වරුන් බහුලව යොදාගත්තේ කොහොඹ, කහ, රත්මල්, වදමල්, වෙනිවැල්ගැට වැනි ස්වභාවික ශාඛසාර මුසු කොට සෑඳූ ආලේපන හෝ ඒවා තම්බාගත් ජලයයි. මෙවැනි ස්වභාවික අමුද්‍රව්‍ය මගින් ළදරු සම මත විෂ බීජ විනාෂ වී සමේ රෝගවලින් ආරක්ෂා වෙනවා. 

පුංචි පැටියා වෙනුවෙන් සබන් තෝරාගැනීමේදී බිළිඳු සමට සුදුසු Ph අගයකින් යුතු මෘදු ඒ වගේම සමේ තෙතමනය සුරැකෙන සබන් වර්ගයක් තෝරා ගැනීමට මව්පියන් සැලකිලිමත් විය යුතුයි. 

ළදරු ආලේපන වර්ග තෝරාගැනීමේදීත් Ph අගය සම්බන්ධවත් සැර සුවඳ රහිත ආලේපන තෝරාගැනීමටත් සැලකිලිමත් විය යුතු අතරම විශේෂයෙන් බිළිඳු සමේ තෙතමනය ආරක්‍ෂා වන ද්‍රව්‍ය එහි අඩංගු ද යන්න සොයා බැලිය යුතුයි. මන්ද සම මතුපිට තෙල් තට්ටුව හා සම මත වෙසෙන හිතකර බැක්ටීරියා වර්ග ආරක්‍ෂා වීම සමේ නිරෝගී පැවැත්මට බොහෝ සෙයින් වැදගත් නිසයි. නැතිනම් ඒවා ඉවත් වීම නිසා ළදරු සම විවිධ ආසාදනයන්ට ඉක්මනින් ගොදුරු විය හැකිය. 

ඔබේ පුංචි පැටියා වෙනුවෙන් කොලෝන් වර්ග තෝරාගැනීමේදීත් ළදරුවන්ට සුදුසු මෘදු සුවඳින් යුතු කොලෝන් වර්ගයක් තෝරාගැනීමට දෙමාපියන් දැනුවත් විය යුතුය. සැමවිටම නිෂ්පාදයේ ඇති ලේබලය කියවා අන්තර්ගත ද්‍රව්‍ය සහ උපදෙස් කියවීම වැදගත් වේ. ඇතැම් මව්වරුන් දවසපුරා තම ළදරුවා සුවඳවත්ව නැවුම්ව තබා ගැනීමට කොලෝන් ගල්වනවා. නමුත් ළදරුවාගේ සංවේදී ස්ථානවල කොලොන් ගැල්විමේදී මව්පියන් වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඔබේ දරු පැටියා සුවඳවත් කිරීමට ඔබ වෙහෙසෙනවා නම් වඩාත් සුදුසු වන්නේ දරුවාගේ ඇඳුම් මත පමණක් කොලෝන් ගැල්වීමයි. රූපවාහිනී වෙළඳ දැන්වීම්වල පවා පෙන්වන්නේ මවගේ දෑතට කොලෝන් බිංදු කිහිපයක් දමා දෑත් මත පිරිමැද දරුවාගේ ඇඳුමේ තවරන ආකාරයයි. 

දරු පැටියා වෙනුවෙන් යම් නිෂ්පාදනයක් තෝරාගැනීමේදී සැම විටම වෙළඳනාමයේ විශ්වසනීය බව මෙන්ම නිෂ්පාදනයේ ප්‍රමිතිය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. ලේබලය හොඳින් කියවා ළදරුවාලේ මෘදු සමට ගැලෙපෙන නිෂ්පාදන පමණක් තෝරාගැනීමට දෙමාපියන් ලෙස ඔබ සැලකිලිමත් විය යුතුවේ. එය ඔබේ දරුවාගේ නිරෝගී දිවි පැවැත්ම වෙනුවෙන් ඔබ ගන්නා වටිනා පියවරක් බව අමතක නොකරන්න.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article