- Advertisement -

දරුවා උපතින් ගෙනෙන සෞන්දර්යාත්මක හැකියාවන් වැඩිහිටියන් නිසා විනාශ වෙනවා..

-

පැබ්ලෝ පිකාසෝ චිත්‍ර ශිල්පියා පවසන අන්දමට දරුවන් විසින් උපතින් රැගෙන එන සෞන්දර්යාත්මක හැකියාවන් කාලයත් සමග වැඩිහිටියන් විසින් විනාශ කරනු ලැබේ.ඔහු එසේ සඳහන් කරන්නේ තමාගේ බාලකාලයේ අත්දැකීම් පාදක කර ගෙනය.

පැබ්ලෝ පිකාසෝ බාල කාලයේදී බිත්තියේ චිත්‍ර අඳිනු දැක මව කේන්තියෙන්  කෑ ගැසුවාය.  

- Advertisement -
  • ඔහේට පේන්නේ නැද්ද මේ ළමයා ගෙදර බිත්ති විනාස කරනවා…කීවාය.
  • තරහ ගන්න එපා දරුවා ඔහෙ ඇඳපුදෙන්….

පියා උදහස් වූයේ නැත. තම දරුවාගේ උපන් හැකියාව දුටු පියා ඔහු ” ලලොතරා” ඇකඩමියට ඇතුලත් කරන ලද්දේ මෙම හැකියාව ප්‍රගුණ කිරීමටය. එතැනින් තම හැකියාව වෙනුවෙන් අත්පොත් තබන ලද පුතු තව දුරටත් චිත්‍ර කලාවේ අධ්‍යාපනය සඳහා ” බාසිලෝනා ” වෙත යවන ලදී. ඔහුගේප්‍රථම ජනප්‍රිය චිත්‍රය වූයේ ” මහලු මිනිසා ” චිත්‍රයයි.එදා පිකාසෝට තහංචි දැම්මා නම්..

අද දවසේ එවැනි චිත්‍ර හිල්පියෙක් ලෝකයට දායාද නොවන්නට ඉඩ තිබුණි.ඔහු සඳහන් කරන අන්දමට දරුවන් උපත ලබන්නේ චිත්‍ර,නැටුම්,සංගීතය වගේම වෙනත් විවිධ කලා හැකියාවන්ද අතින් මිටි කරගෙන වුනත් ඒවා උද්දීපනය කිරීමට වැඩිහිටියන්ගේ පාර්ශවයෙන් දායකත්වයක් නොලැබෙන නිසාම එම හැකියාවන් උපන්ගෙයි මියැදෙනු ඇත.

සෞන්දර්ය හැකියාවන් ජීවිතයට ආලෝකයක්…

සෞන්දර්ය හැකියාවන් මගින් දරුවාගේ ජීවිතයට විශාල ආලෝකයක් ලැබෙනු ඇත. ගණිතය, විද්‍යාව වැනි හර විෂයන් මගින් දරුවා දැණුම ලබන බැව් ඇත්ත. මේ විෂයන් සමග දරුවාගේ ජීවිතයට යම් මානසික සැහැල්ලුවක්ද අවශ්‍ය වේ.ඒ සැහැල්ලුව ලබා ගැනීමට නම් යම් කිසි ආකාරයක සෞන්දර්යාත්මක රස වින්දනයක් වෙනුවෙන් අවස්ථාව ලබා ගැනීම ඉතා වැදගත් වේ.

මේ සතුට නිසාම අවිවේකිබව, දරා ගත නොහැකි විෂය නිර්දේශ, විභාග ඉලක්කගත අධ්‍යාපනය මගින් ලබන මානසික පීඩාවට ඉතාම සාර්ථක විසදුමක් ලැබෙන බවත් අමතක කරන්න එපා. මේ මානසික සැහැල්ලුව නිසාම දරුවාගේ මානසික සෞඛ්‍යත් නොදැනීම ගොඩ නැගෙනවා. දරුවා සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ බොහොම සතුටින්. සැහැල්ලුවෙන්. ඒ නිසාම වෙහෙසකර හෝර්මෝනය වෙනුවට සතුටු හෝර්මෝන උත්තේජනය නිසා දරුවා මානසිකව තෙහෙට්ටුවකට පත් වන්නේත් නැහැ.ඒ නිසාම ඔහු ජීවිතයට ඉතාම සතුටින් මුහුණ දීමේ හැකියාව ලැබෙනවා.ආතතියෙන් දුරස් වෙනවා.

සංවේදියි

දරුවෙකු විෂය දැණුමෙන් පරිපුර්ණ වුනත් ඔහුගේ සංවේදනාත්මක ගති පැවැතුම් නොමැති නම් හෙතෙම බෙහෙවින් ඕලාරික හෙවත් රළු පුද්ගලයෙකු බවට පත් වේ.නමුත් සාමාන්‍ය කථා බහේදී වුනත් කලාකාමී හදවත් බොහොම සංවේදී බැව් අපි සදහන් කරනවා. කලාව සමග සියුම් රසභාවයන් අවදි වෙන අතර ඒ සමගම සංවේදි සිත් ඇතිවීම සාමාන්‍ය තත්වයක්. ඒ නිසා ඔබේ දරුවාගේ සෞන්දර්ය සිතුවිලි වගා වීමට ඇවැසි මෘදු කුසලතාවයන් ගොඩ නගන තෝතැන්න ඔබ විසින් විනාශ කරන්න එපා.

සංජානන කුසලතාවයන් ඇති වෙනවා

සෞන්දර්යාත්මක ක්‍රියාවල නිරත වෙන දරුවන් පරිසරය සංජානනය කිරීමට බොහොම දක්ෂයි. චිත්‍රයක් අදින විට ගහ,කොළ ,මල් පළතුරු ගැන පරිසරයෙන් ලබන දැනුම නැවත ප්‍රතිනිර්මානය කරනවා.තථාන්දරයක් ගොතන දරුවා ඒ වෙනුවෙන් බොහෝ අමුද්‍රව්‍ය පරිසරයෙන් ලබා ගන්නවා. මේ සෑම දෙයක් වෙනුවෙන්ම අවශ්‍ය අත්දැකීම් පරිසරය සමග ගොඩ නගා ගන්නා සංජානනයෙන් උපයා ගැනීමට ඔවුන් දක්ෂතාවයක් දක්වනු ලබනවා.

සහකම්පනය ඇති වෙනවා.

ඔබේ දරුවා සම්පුර්ණ පුද්ගලයෙකු ලෙසින් අනාගතයේදී සමාජයේ ස්ථාපිත වීමට නම් ඔවුන් තුළ සහකම්පනය වගා වීම වැදගත්.එහෙත්…අද බොහෝ දෙනා තුළ නොමැත්තේද එයයි.සමාජයේ ජීවත්වෙන විට තවත් අයෙකුගේ දුක, වේදනාව ඉදිරියේ දරුවාගේ හිතේ යම් සංවේදී බවක් ගොඩ නැගීම ඉතා වැදගත්. සෞන්දර්ය සිතුවිලි, ක්‍රියාකාරකම් සමග සම්බන්ධ වෙන දරුවා තුළ මෙවැනි සියුම් සංවේදී සිතුවිලි නොදැනීම අවදි වෙන බැව් දෙමව්පියන් තවමත් තේරුම් ගෙන නැත.

අහිංසක විනෝදාංශයක්

ඔබේ දරුවා සෞන්දර්යාත්මක කටයුත්තක යෙදෙනවා නම් එය සැබැවින්ම අහිංසක විනෝදාංශයක් කිව්වොත් වරදක් නැහැ. චිතයක් අදින්න…ගීතයක් ගයන්න..නැටුමක් නටන්න..එහෙමත් නැත්නම් ආහාරයක් අලුත් විදිහට සකස් කරන්න..මැහුමක් ගෙතුමක් හෝ කුමන ආකාරයක අත්වැඩක යෙදීම නිසා දරුවා අහිංසක සතුටක් ලබනවා. එයින් කිසිවෙකුටත් හානියක් නැහැ.තවත් පැත්තකින් දරුවා නිවසේ කටයුතු වෙනුවෙනුත්යම් දායකත්වයක් වගේම පෙරහුරුවක් ලබනවා. නිවස ලස්සනට තබා ගැනීමටත් ඔවුන් නිහඩව උදව් වෙනවා.පිස්තෝලයක් ගෙන වෙඩි පිට වෙඩි තබන දරුවෙකුට වඩා ලස්සන සිතුවමක් නිර්මානයෙන් දරුවා ලබන අහිංසක සතුට වඩාත් වටිනවා නොවේද…?

නිර්මානශිලිත්වය අවදි වෙනවා..

පැබ්ලෝ පිකාසෝ සදහන් කරන අන්දමට දරුවා තුළ නිදන්ගතව තිබෙන සෞන්දර්යාත්මක බව අපි අවදි කළ යුතුයි. එය උපන්ගෙයිම මරා දැමීමටත් වැඩිහිටියන්ට දායක වෙන්න පුලුවනි. මෙතැනදී බොහොම පරිස්සමින් ඒ ගණුදෙණුව සිදු විය යුතුයි. ඒ නිසා දරුවාගේ සෞන්දර්යාත්මක කටයුතු වෙනුවෙන් කිසිම දිනක ඔබ බාධාකාරී ලෙසින් මැදිහත් වෙන්න එපා. නිවසේ රෙදි කැබැල්ලකින් බෝනික්කාට ඇදුමක් මැසුවොත් ඒ ගැන ආවේශ වෙන්න එපා. මේ කටයුත්ත තුළ අනාගතයේදී දක්ෂ ඇඳුම් නිර්මාන ශිල්පිණියක් සැඟව සිටින්න පුලුවනි.ඒ නිසා දරුවාගේ සෞන්දර්යාත්මක කටයුතු නිදහසේ කර ගෙන යෑමට ඔවුන්ට නිදහස දෙන්න.

දරුවා ප්‍රබෝධමත් වීම

සෞන්දර්යාත්මක කටයුත්තක යෙදීම සමග එයින් ලැබෙන පසුපෝෂණය දරුවාගේ ප්‍රබෝධයට හේතු වෙනවා. ගීතයක් ගැයූ කළ ලැබෙන අත්පොළසන් නාදය….චිත්‍රයක් අවසානයේ ලැබෙන ෂා..ලස්සනයි…කියන ඇගයීම…වැනි යම් නිර්මානයක් අවසානයේදී ලැබෙන සරල පසුපෝෂණය නිසා දරුවාගේ සිත ප්‍රබෝධමත්බවකින් පිරීම ඔවුන්ගේ මානසික සංවර්ධනයට වඩාත් බලපානවා.

චිත්තවේග සුරැකියාව

සෞන්දර්යාත්මක කටයුතු සමග සිදු වෙන ගනුදෙණුව නිසාම දරුවාගේ චිත්තවේග සුරැකියාව නොදැනීම ගොඩ නැගෙනවා. දරුවා ඉවසීමෙන් කටයුතු කිරීමට පටන් ගන්නවා.උදාහරණයක් ලෙස චිත්‍රයක් අදින දරුවෙකුට ඉවසීමක් නොමැතිව එය කරන්න බැහැ.ඒ වගේම යම් කාර්යක නිරත වීමේ හැකියාවත් ඒ සමගින්ම ලබා ගන්නවා. ඒ නිසාම ඔවුන්ගේ ආවේග පිළිබඳව පැමිණිලි බොහොම අඩුයි.තමන්ගේ නිර්මානයේ සුන්දරත්වය තවත් අය සමග බෙදා හදා ගැනීම නිසා සහයෝගිතාවයක් වගේම අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් පවත්වා ගැනීමේදී වඩාත් වැදගත් වන ස්වයං විනයක් ගොඩ නගා ගැනීමටත් සුදුසු වාතාවරණයක් ගොඩ නැගෙනවා. 

කාලය ප්‍රයෝජනයට ගැනීම

අනවශ්‍ය විවේකය කාටත් එතරම් සුදුසු නැහැ. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම වගේම නිකරුනේ කාලය ගෙවීමට වඩා යම් කාර්යක නිරත වීම ඉතාම වැදගත්.ඒ නිසා දරුවාගේ විවේකය චිත්‍රයක් අදින්න..කවියක් තතාන්දරයක් ලියන්න..මැහුමක් ගෙතුමක් වැනි කටයුතු වෙනුවෙන් යෙදීමෙන් කාලය ඵලදායි අන්දමින් ප්‍රයෝජනයට ගැනීමේ අවස්ථාව ලැබෙනවා.

එහෙමනම්…කුරුටු බලි අදින ඔබේ පොඩිත්තාට…කටට එන වචන ගලපමින් කවි ගොතන පැටියාට…එහෙත් නැත්නම් කාඩ්බෝඩ්වලින් විවිධ නිර්මාන කරන පුංචි පැටවුන්ට දොස් නැගීම මොනතරම් වැරැදිද බැව් දැන් තේරෙනවා නේද..

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article