- Advertisement -

ඔබේ දෙමාපියනුත් දැන් මහලු වියේ නම් මේ ලිපිය මගහරින්න එපා

-

අපි පුංචි කාලේ ඇවිදින්න බැරි කාලේ කෑම ටික කන්න බැරි කාලේ අපිව ආදරයෙන් බලා ගත්තේ අම්මයි තාත්තයි. අපිව අසනීප වෙච්ච වෙලාවට අම්මයි තාත්තයි ගොඩක් කලබල වුණා. රටේ ඉන්න හොඳම වෛද්‍යවරු හොයාගෙන රැගෙන ගියා. හැබැයි ඒ අම්මයි තාත්තයි අසනීප වුණාම ඒ අය බලන්න යන්න අපිට වෙලාවක් නැහැ. මොකද අපි ඒ තරම් කාර්යබහුලයි. ඒ වගේම ඒ අම්මයි තාත්තයි එක්ක කතා කරන්න, එයාලා එක්ක කාලය ගත කරන්න වෙලාවක් නැහැ. මොකද අපිට තියෙනවා ලෝකයේ බොහෝ වැදගත් දේ සමග සාකච්ඡාවේ යෙදෙන්න, කාලය ගත කරන්න. ඒ වගේම තමයි ඒ අම්මයි තාත්තයි අද සුන්දර විදියට අදින්නේ පළඳින්නේ නැති නිසා සමහරක් වෙලාවට මදිකමක් ඇති ඔවුන්ව රැකියා ස්ථානයට ගෙනියන්න, යහළුවන්ට හඳුන්වලා දෙන්න. ඒත් මතක තියාගන්න අපි අද මෙතැන අපේ දෙමව්පියන් නිසා බව. 

සමහරක් වෙලාවට දරුවෝ හිතනවා මොනවද අපේ අම්මලා තාත්තලා අපට කළේ. අපි හැමදේම හොයාගත්තේ අපේ මහන්සියෙන්. අපිට කිසිදෙයක් කරේ නැහැ කියලා. ඒත් මතක තියාගන්න අද අපි මෙතැන ඉන්නේ අපි උපන් දවසේ ඔවුන් අපිව පාරට විසික් කරපු නැති නිසා. අතපය කඩන්නේ නැතුව හදපු නිසා. ඒ වගේම දුකක් නොදී ඔබට කන්න බොන්න දීලා ආරක්‍ෂා කරපු නිසා. ඒ නිසා මහාලොකු දේවල් කරන්න  ඕන නැහැ ඔවුන්. ඔවුන් දැනටමත් අපි වෙනුවෙන් මහාලොකු කර්තව්‍යයක් කර අවසන්. ඉතින් කවදාවත් ඒ යුතුකම අමතක කරන්න එපා. අපේ දෙමව්පියෝ මේ වෙනකොටත් ජීවත්ව ඉන්නව නම් තව ටික කාලයක් වෙන්න ඇති ඔවුන් ජීවත් වෙන්නේ, අදම ඔවුන් සමග කාලය ගත කරන්නට, ඔවුන්ට සුවිශේෂී බව දැනෙන්නට අවස්ථාවන් ලබා දෙන්න. ඔවුන් අපේ ජීවිතයේ වැදගත්ම සාමාජීකයන් බව ඔවුන්ට දැනෙන්නට අවස්ථාව උදා කර දෙන්න. මොකද ජීවිතයේ අවසාන භාගයේ ඔවුන්ට ලබන්න පුළුවන් ලොකුම සතුට එයයි.  

- Advertisement -

ඉතින් වියපත් දෙමව්පියන් රැකබලා ගන්නේ කොහොමද කියලා අද අපි කතා කරමු.

වයසට ගිය අම්මලා තාත්තලා රැකබලා ගන්න පුළුවන් හොඳම ක‍්‍රමය විදියට ගොඩක් වෙලාවට අපි හිතන්නේ අවශ්‍ය ආහාර, ඖෂධ ඒ හැමදේම ළඟට ගෙනත් දීලා, රැකබලා ගන්න පුළුවන් කෙනෙක්ව ළඟට ගෙනත් දීලා එහෙමත් නැත්නම් ඔවුන්ට ඉතාම හොඳ සුපෝඛභෝගීව ජීවත් වෙන්න පුළුවන් ස්ථානයකට ඇතුළත් කිරීම ඉතාම යෝග්‍ය විදියටයි. එතැනින් අපේ කර්තව්‍ය ඉෂ්ඨ කළා කියලා ඇතැම් විට අපිට හිතෙන්න බැරි නැහැ. 

අපිට අපේ ආදරණීය දෙමව්පියන් වෙනුවෙන් කළ හැක්කේ මොනවාද?

වියපත් වුනත් ඔවුන්ට කැමති දේවල් ඔවුන්ට රසවිඳින්නට අවස්ථාව සලසා දෙන්න ඔවුන් ඉතාමත් සතුටු වෙයි. සමහරක් වෙලාවට ඔවුන් කැමති ආහාර පිසින්න වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ක‍්‍රීඩාවක නියැලෙන්න වෙන්න පුළුවන්, ඒ වගේම ඇතැමෙක් කැමති වෙන්න පුළුවන් ධාර්මික කාරණා පිළිබඳ කතා බහ කරන්න ධර්ම සාකච්ඡා අහන්න, ඒ වගේම තව කෙනෙක් කැමති වෙන්න පුළුවන් තමන්ගේ මුණුපුරු මිණිබිරියන් සමග කාලය ගත කරන්න. ඉතින් මේ වගේ අම්මා තාත්තා කැමති දේවල් මොනවද කියලා ඔබට අඳුරගන්න පුළුවන් නම් අන්න ඒ කර්තව්‍යයන් වල නියලෙන්න ඔවුන්ව යොමු කරන්නට ඔබට අවකාශය තියෙනව නම් ඇත්තටම ඔවුන්ගේ ජීවිතය තුළ සතුට වර්ධනය කරන්න ඒක අනිවාර්‍යෙන් උපකාරයක් වෙනවා. ඒ වගේම පොත්පත් කියවන්න, පත්තර කියවන්න ආස දෙමව්පියෙක් ඉන්නව නම් ඔවුන්ට පොත් පත් ගෙනත් දීලා පත්තර කියවන්නට අවකාශය නිවස තුල සලසා දෙන්න පුළුවන් නම් ඔවුන් අනිවාර්යෙන් සතුටෙන් ඉන්නවා. මව්පියෝ වයසට ගියාට ඔවුන් කැමති සහ අකමැති දේවල් තියෙනවා. ඉතින් අපි සූක්‍ෂම වෙන්න ඕන ඔවුන්ගේ කැමැත්ත හඳුනාගෙන ඒ කැමැත්තට ගැලපෙන පරිදි නිවස ඇතුළු කර්තව්‍යයන් ටික සංවිධානය කරන්න. ඒ වගේම මෙහිදි ඔබට මතක් කරන්න  ඕන එක කාරණාවක් තියෙනවා.

ඔබේ දෙමව්පියෝ ඔබේ දරුවෝ රැකබලා ගන්න පුද්ගලයන් බවට පත් කරන්න එපා.

ගොඩක් පවුල් වල වයසට ගිය අම්මලා තාත්තලා ගොඩක් වෙලාවට කරන දේ තමයි උදේ ඉදන් හවස් වෙනතුරුම දරුවන්ගේ දරුවෝ රැකබලා ගන්න එක. හැබැයි ඔබ අමතක කරන්න එපා ඔබේ දෙමව්පියෝ අවුරුදු ගාණක් ඔබව රැකබලාගත්තා. ඔබට කන්න බොන්න දුන්නා. ඔබට ඉගැන්නුවා. ඊට පස්සේ ඔවුන් තවදුරටත් ඔබේ දරුවන් රැකබලා ගන්නවා නම් ඔවුන්ට නිදහසේ ඉන්න කාලයක් නැහැ. ඉතින් වගකීමක් තියෙන දෙමව්පියෝ විදියට ඔබේ වගකීම වෙන්නේ ඔබේ දරුවන් රැකබලා ගැනීමට වෙනත් සුදුසු ක්‍රමයකට යොමු වීම. නැතිව වියපත් වූ ඔබේ දෙමව්පියෝ අතට ඔබේ දරුවෝ පත් කිරීම නොවෙයි. එය වගකීම ඇතැම් විට ඔවුන් කැමැත්තෙන්ම බාර ගනිවී. නමුත් එය ඔවුන්ට ලොකු වගකීමක් සහ ඔවුන්ට දැරිය නොහැකි මට්ටමේ වගකීමක් සහ ඔවුන්ට පීඩනයක් ඇති කරන් පුළුවන් වගකීමක් බව ඔබ වටහා ගත යුතුයි. 

කෙසේ වුවත් ඔබේ දරුවන් එක්ක ඔවුන් සතුටින් නම් දරුවන්ට ආච්චිලා සීයලත් එක්ක ඉන්න කාලයක් වෙන්කරන්න ඔබට පුළුවන්. කිසිම වෙලාවක ආච්චිලත් සීයලත් එක්ක දරුවන්ට මුහු වෙන්න එපා කියලා දරුවන්ට නීති දාන්න යන්න එපා. මොකද දරුවන්ට ගොඩක් දේවල් ආච්චිලා සීයලගෙන් ඉගෙන ගන්න පුළුවන් වගේම දරුවොත් එක්ක ඉදිද්දී ඔවුන්ගේ මානසික සතුට බොහෝමයි. 

ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය

මීට අමතරව අපි මතක තබාගත යුතු වැදගත්ම කාරණාවක් තමයි ඔවුන් වයසින් මුහුකුරා යන්න යන්න සෞඛ්‍ය මට්ටමින් එන්න එන්න පහළ වැටෙනවා. ඒක නිසා වයසට ගිය දෙමව්පියන් පිළිබඳව ඔබ වඩාත් අවධානයෙන් සිටිය යුතුයි. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙනව නම් අනිවාර්යෙන්ම සෞඛ්‍ය සායන වෙත රැගෙන ගොස් සෞඛ්‍ය තත්ත්වය පිරික්සීමට ඒ වගේම ඔවුන් දීර්ඝකාලීනව වෛද්‍ය ප‍්‍රතිකාර ලබනවා නම් ඒ සඳහා අදාල සායන වෙත ගොස් අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර වෙත යොමු කිරීම අමතක නොකළ ‍යුතුයි. එය ඔබේ කළ යුතු වැඩ ලැයිස්තුවේ මුල්ම ස්ථානයක සටහන් විය යුතුයි. 

දෙමව්පියන්ගේ පෝෂණය

ඒවගේම ඔබේ දෙමව්පියන්ගේ පෝෂණය ගැන දෙමව්පියෝ ලබන ආහාර ගැන ආහාර රටා ගැන වැඩි අවධානයෙන් සිටීමත් ඔබ විසින් කළ යුතු තවත් කර්තව්‍යයක්. මොකද සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබීමෙන් ඔවුන්ට මහත් පිටුබලයක් ලැබෙනවා. 

ඔවුන්ට අවශ්‍ය ව්‍යායාම

ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ව්‍යායාමවල යෙදීමට අවස්ථාව සලසා දීමද ඔබට තවත් කළ හැකි කාර්යයක් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් ඔබව අද මේ ඉන්න තත්ත්වයට රැකබලා ගත්ත දෙමව්පියෝ ඔබට පුළුවන් නම් ඔවුන්ගේ ජීවිතයේ අවසනාය තෙක් රැකබලා ගන්නට ඔබ ඔබේ දෙමව්පියන් වෙනුවෙන් කළ හොඳම ත්‍යාගය ඔබ ඔබේ දෙමව්පියෝ වෙනුවෙන් කළ හැකි හොඳම කර්තව්‍යය එය වෙනවා. ඒ වගේම ඔබ ඔබේ දෙමව්පියන්ට සලකනවා දකින ඔබේ දරුවෝ අනිවාර්යෙන්ම හෙට දවසේ ඔබ වියපත් වුණහම ඔබව ආදරයෙන් රැකබලා ගනිවී. මෙය චක්‍රයක් වගේ. ඔබ හොඳ කරොත් ඔබේ දරුවෝ හොඳ කරනවා. ඔබේ දරුවෝ හොඳ කරොත් ඔබේ දරුවොන්ගේ දරුවෝ හොඳ කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මේ චක්‍රය වටා ධනාත්මකව ගමන් කිරීමට හැකිවන්නේ ඔබටයි. එහෙම නම් අදම පටන් ගන්න. ඔබව ආදරයෙන් රැකබලා ගත්ත ඔබේ ආදරණීය මව්පියන්ට ආදරය බෙදන්න, සෙනෙහස බෙදන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය නිමීර වීරරත්න මහතා 

භාෂා හා කථන ව්‍යාධිවේදී

පාත් ටු වොයිස් යූ ටියුබ් නාලිකාවේ නිර්මාතෘ 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article