- Advertisement -

මොකද්ද මේ Saturday Night palsy කියන්නේ?

-

සැටඬේ නියට් ෆෝල්සි (Saturday Night palsy) කිව්වම එක පාරටම ෆිල්ම් එකක නමක් වගේ දෙයක් මතකයට එන්නේ. එහෙම නේද? සැටඩේ නයිට් ෆෝල්සි කියන්නේ අසනීපයක නමක් කිව්වම ගොඩක් අයට  පුදුමත් හිතෙයි. ගොඩ දෙනෙක් නොදන්නවා උනාට  මේ නම පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. 

විවිධ රටවල  ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවන රටාවන් වෙනස් කියලා අපි හැමෝම දන්නවා. එක එක සංස්කෘතීන්  ඇතුලේ ජීවත් වෙනකොට මිනිසුන්ගේ පුරුදු හැසීරීම් වගේම ආකල්පත් එකිනෙකාට  වෙනස්. සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙක අපේ රටේ වගේම බොහෝ රටවලත්  නිවාඩු දිනයන් බව කව්රුත් දන්නවා. ලංකාව වගේ රටවල නම්  සෙනසුරාදා කියන්නේ බොහෝ දෙනෙක්ට  ගෙදර දොර අස්පස් කරලා රෙදි සෝදගෙන  විවේකයෙන් ගත කරන්න කැමති දවසක් උනාට බටහිර රටවල මිනිස්සුන්ට නම් මේ දින දෙක හොඳට කාලා බීලා විනෝද වෙන දින දෙකක්. විශේෂයෙන් සෙනසුරාදා රාත්‍රිය කියන්නේ ගැහැනු පිරිමි දෙපාර්ශවයටම  හොඳට මධුවිත පානය කරලා  විනෝද වෙන දවසක් . බොහෝ විට සෙනසුරාදා  රාත්‍රියේ විනෝද වීමට නිවෙස් වලින් එළියට යාම ඔවුන්ගේ  පුරුද්දක්. ඒකට හේතුව පසුදින ඉරිදා රාජකාරි කටයුතුවලට යාමට අවශ්‍ය නැති නිවාඩු දිනයක්  නිසා හොඳට නිදා ගැනීමට හැකි බව සිතන  නිසයි. ඒ නිසා හොදට මත් වී විනෝද වීමෙන් පසු  බොහෝ දෙනෙකු උන් හිටි තැන්වලම  නින්දට වැටෙනවා. බොහෝ දෙනෙකුගේ පුරුද්දක් ලෙස පුටුවේ ඇන්දට උඩින් අත්  දමාගෙන වාඩි වී සිටින අන්දමින්ම නින්දට වැටීම සුලබව දැක ගත හැකි දසුනක්. රාත්‍රියේදී නිවෙස්වලට පැමිණියත් පුටු උඩට වැටී මේ ආකාරයෙන් නිදා ගැනීම පුරුද්දක් වී තිබෙන්නේ මත් වී සිටින නිසා වෙන්නත් බැරි නැහැ. මෙවැනි ජීවන රටාවක් හිමි රටවල් අතර එංගලන්තය විශේෂයි. 

- Advertisement -

මෙන්න මේ විදියට පුටු උඩ වැරදි ඉරියව්වලින් නින්දට වැටීම නිසා තමයි මේ  සැටඩේ නියට් ෆෝල්සි කියන රෝගය නැතිනම් ආබාධය ඇති වෙන්නේ. මෙහිදී අතේ ඉහළ කොටසේ දිව යන රේඩියල් ස්නායුව (radial nerve) තෙරපීමකට ලක් වීමෙන් අතේ පේෂීන් කීපයක්ම අඝාතයට පත් වීම නිසා  මේ රෝගය ඇති වෙන බව පැවසෙනවා. 

මෙන්න මේ කියන  රේඩියල් ස්නායුව මගින් වැලමිට සන්ධිය ක්‍රියාකාරී වන නැතිනම් වැලමිට  දිග හැරීමට උපකාරී වන ත‍්‍රී ශීර්ෂ පේශියෙන් (Triceps) ට‍්‍රයිසෙප්ස් පේශිය වගේම මැණික් කටුව සන්ධිය ඇතුළු ඇගිලි දිග හැරීමට උදව් වෙන  පේශීන් වන එක්ස්ටෙන්සෝස් (Extensors) පාලනය කෙරෙනවා. මේ පුටු උඩ වැරදි ඉරියව්වලින් නින්දට වැටීම හෝ වෙනයම්  දෙයකින් මෙම ස්නායුව අනතුරට පත්වුවහොත් අර කලින් සදහන් කරපු  මාංශ පේශීන් පණ නැතිව යනවා. එවිට අත මැණික් කටුව සන්ධියෙන් නැවී පිහිටනවා. ඒ විතරක් නෙමෙයි,  අතේ පිටපැත්තේ සංවේදනය පවා නැතිව යන බව තමයි වෛද්‍යවරුන් පවසන්නේ. මේ රෝගය  බොහෝ විට  බටහිර රටවල සෙනසුරාදා රාත්‍රියේ  බීමත්ව වැරදි ඉරියව්වලින් නින්දට වැටෙන අයට වැලදෙන නිසා මෙම රෝගය “සැටඩේ නියට් ෆෝල්සි”  යනුවෙන්  හදුන්වලා තියෙනවා.

ඒත් මෙම රේඩියල් ස්නායුවට අනතුරු සිදුවන්නේ දැඩිව නින්ද ගිය විට ඇතිවන තෙරපුමකදී විතරක් නෙමෙයි. අතේ උඩ කොටසේ  ආසන්නයේ අස්ථි බිදවැටීමකදීත්, කිහිලිකරු  ආදිය වැරදියට භාවිත කිරීමක් වැනි  අවස්ථා වලදීද  එය සිදු වන්න පුලුවන්. මෙම ස්නායු තෙරපීම නිසා ස්නායුවට අනතුර සිදුවිය හැකි ආකාර 3 ක් ලෙස වෛද්‍ය විද්‍යාවේ සදහන් වෙනවා.

  • නියුරෝෆ්රුක්සියා (Neurophaxia) 
  • ඇක්සනෝට්මීසිස් (Axonotmesis)
  • නියුරොට්මීසිස් (Axonotmesis)

මේ අනතුරේ ස්වභාවය අනුව සුව වීමට ගතවන කාලය වෙනස් කියලා තමයි වෛද්‍යවරුන් නම් කියන්නේ. මෙම රෝගය ඇති වී ප්‍රතිකාර ගැනීමට ගිය විට වෛද්‍යවරු බොහෝ දුරට සිදුකරන්නේ මෙවැනි රෝගීන් භෞතචිකිත්සකවරු වෙතට යොමු කිරීමයි. එහිදී  භෞතචිකිත්සකවරු මෙම රෝගියා ඇගැයීමකට ලක්කර කළ  යුතු භෞතචිකිත්සක ප‍්‍රතිකාරය කුමක්ද යන්න  තීරණය කරනවා. 

භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රමය මගින් සිදු කරන්නේ 

විද්‍යුත් ධාරාවක් මගින් ආඝාතයට පත් වූ ස්නායුව උත්තේජනය කිරීමයි. Electrical Stimulation කියලා හදුන්වන්නේත් එයමයි. මෙහිදී ස්නායුවේ ස්වභාවිකව ආවේග ගෙන යන විද්‍යුත් ආවේගය කෘතිමව ස්නායුවට ලබා දීම සිදු වෙනවා. එවිට ස්නායුවේ ගමනාගමනය යථා තත්ත්වයට පත්වීම සිදුවෙනවා. භෞතික චිකිත්සක ලබාදිය යුතු විද්‍යුත් උත්තේජනය තීරණය කරන්නේ අනතුරේ ස්වභාවය අනුවයි. ඒවගේම විවිධ විද්‍යුත් උත්තේජන ක්‍රම මේ සදහා භාවිත කරනවා.

මේ  ස්නායු තෙරපුමට දෙන ප්‍රතිකාර ක්‍රමය සදහා මුලින්ම ලබාදෙනු ලබන්නේ ගැල්වනික් (Galvanic current)  නම් වූ චිකිස්සක ක්‍රමයයි. පසුව සුව වෙන විට  ලබා දෙන්නේ ෆැරඩික් (Faradic) current යන ක්‍රමයයි.  බොහෝ වෙලාවට  ස්නායු වෛද්‍ය විශේෂඥවරුන්  මෙම රෝගයට ලක්වූ රෝගීන් EMG (Electro Myography)පරීක්‍ෂණයට යොමු කරනවා. එමගින් ලබා ගන්නා  දත්ත අනුව ස්නායුවට වී ඇති හානියේ තරම දැනගැනීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව භෞතචිකිත්සක ප‍්‍රතිකාර  ක්‍රම වෙනස් වෙනවා.

මේ සැටඩේ නියට් ෆෝල්සි රෝගය සදහා  විවිධ  ප‍්‍රතිකාර ක්‍රම අනුගමනය කරන අතර  ව්‍යායාම (Therapeutic exercises) කරවීමද  විශේෂත්වයක් ගනු ලබනවා.  මෙම ව්‍යායාම මගින්  පේශී සිහින් නොවී පවත්වා ගැනීමටත් සන්ධි වල තද වීම වලක්වා එය පවත්වා ගැනීමටත් පේශී ශක්තිමත් කිරීමටත් උපකාරයක් සිදුවෙනවා. ඒ  වගේම අප හොදින් දන්න පතුරු ක‍්‍රම (splinting) මගින්ද, ටේපින් (Taping) ක්‍රම  මගින්ද මේ සදහා  ප‍්‍රතිකාර කරනු ලබනවා. එවැනි ක්‍රම මගින්  අත දිග හරින ඉරියව්වේම තබා ගැනීමට උපකාරී වෙනවා.

මේ අනුව බලන විට මේ අතේ  රේඩියල් ස්නායුව තෙරපීමකට ලක්වීමෙන්  අතේ පේෂී වලට සිදුවන හානිය සුළුකොට  සැලකිය යුතු දෙයක් නම්  නෙමෙයි. නිදා ගැනීමේදී  විවිධ ඉරියව්වල පිහිටීම ගැන  විතරක් නෙමෙයි අපගේ ඕනෑම ක්‍රියාවකදී නිවරදි ඉරියව්වල පිහිටීමේ වැදගත්කම ගැනත්  සිහියෙන් සිටීම වැදගත් වෙනවා. එමගින් මෙවැනි රෝගවලට ලක් නොවී සිටීමට හැකිවෙනවා. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජාලිය උඩුවැල්ල

භෞතචිකිත්ස අධිකාරී

රිජ්වේ ආර්යා ළමා රෝහල 

කොළඹ

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article