- Advertisement -

ප‍්‍රසූතියෙන් පසු මව්කිරි නිපදවීම වෙනුවෙන් පියයුරු වෙත ලබාදිය හැකි සම්භාහන ක‍්‍රම/උත්තේජන

-

මෙලොව එළිය දකිනා නවජ දරුවාගේ ජීවිතයට හොඳ ආරම්භයක් ලබාදීම අප සැමගේම වගකීම හා යුතුකමයි. අලුත උපන් දරුවකුගේ වර්ධන හැකියාවන් ප‍්‍රශස්ත කිරීමටත් ඔහු ජීවත් කරවීමටත් යන කරුණු දෙකම සඳහා ලබාදිය යුතු මූලිකම ඇරඹීම මව්කිරියි. මව්කිරි යනු මෙලොව පැවැත්වේ ප‍්‍රබලතම සාධකයයි. මෙම සාධකයට කොතරම් බලපෑමක් කළ හැකිද යන්න විමසා බැලීමේදී, මෙලොව උපදින ක්‍ෂීරපායී සියලු සත්වයකුගේම ආරම්භක මොහොතේ සිටම ජීවය පවත්වා ගැනීම සඳහා ප‍්‍රබල වූ මෙහෙයක් ඉටු කරනු ලබයි. මිනිස් පැටියකුගේ උපත් බර මාස පහකදී දෙගුණ කිරීමේ හැකියාව මව්කිරි වල ඇති මෙම ශක්තිය මොනවට සාක්‍ෂි දරයි. එසේම දරුවාගේ වර්ධනයට අවශ්‍ය සියලු පෝෂකාංගයන්ගෙන් සපිරුණු මව්කිරි තුල රෝග බෝවීමට එරෙහි ප‍්‍රතිශක්තියක්ද ගැබ්ව පවතී. එහෙත් මෙම මව්කිරි නිෂ්පාදනයට බලපෑ හැකි කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතු වන්නේ ලැබෙන අවධානය, උනන්දුව වැනි ප‍්‍රතිචාර මේ සඳහා ඇති කරන බලපෑම් හඳුනාගැනීමටයි. 

දරුවකු ඉපදී හැකි විගස දරුවා පියයුරු වෙත ගෙන ඒමෙන් මව්කිරි ආරම්භ කිරීම සිදු කරනු ලබන අතර මේ සඳහා ගත කරන කාලයද බලපෑමක් ඇති කරන හෙයින් විය යුත්තේ දරුවා ඉපදී විනාඩි  30ක් ඇතුලත හෝ අවම වශයෙන් පැයක් ඇතුලත වත් පළමු කිරි වේල ලබාදීමයි. මෙය මව්කිරි සඳහා පළමු උත්තේජනය වන අතරම ඒ සඳහා ගත වන කාලය වැඩි වීමෙන් කිරි නිෂ්පාදනයට බාධා එල්ල වේ. 

- Advertisement -

දරුවා කිරි ඉරිමේදී මොළයට ලැබෙන සංවේදන මගින් කිරි නිෂ්පාදනය උත්තේජනය වේ. මේ හෙයින් දරුවා කිරි ඉරීමත් ඒ සඳහා ගතවන කාලයත් අනුව කිරි නිෂ්පාදන ක‍්‍රියාවලිය සිදු වේ. පියයුරෙහි නිෂ්පාදනය වූ කිරි සියල්ල ගලා ඒමට අවශ්‍ය තරම් කාලයක් දරුවා නොඋරන්නේ නම් එයද කිරි නිෂ්පාදන ක‍්‍රියාවලිය අඩු වීමට හේතුව වේ. මේ නිසා එක දිගට එක පියයුරකින් විනාඩි  විස්සක කාලයක් කිරි උරා බීමට දරුවා හුරු කරගත යුතුයි. වරකට දරුවා කිරි උරා බොන ප‍්‍රමාණය අඩු වුවහොත් ඊලඟ වර එරෙන්නේ පියයුරෙහි හිස් වූ ප‍්‍රමාණයට වන බැවින් දරුවා වැඩෙත්ම දරුවාට අවශ්‍ය කිරි ප‍්‍රමාණය නොලැබී යා හැකියි. මේ නිසා මුලදී දරුවා උරන ප‍්‍රමාණය අඩු වුවහොත් පියයුරේ ඉතිරි ප‍්‍රමාණය දොවා හෝ හිස් කිරීම මගින් ඊලඟ වාරයට එරෙන කිරි ප‍්‍රමාණය වැඩි කරගත හැකියි. 

එසේම මව තුල ඇති වන ආදරණීය හැඟීම් පවා කිරි එරීමට හේතුවක් වේ. දරුවා අඬන විට මවට ඇතිවන ආදරණීය සිතුවිලි කිරි සඳහා උත්තේජනයක් වේ. 

  • මවගේ සමට දරුවාගේ සම ගැටීමට හැකි ලෙස දරුවා ඇකයේ තබාගැනීමෙන් ස්පර්ශය නිසාද උත්තේජනයක් ඇති විය හැකියි. 
  • මව මව්කිරි දීමට පෙර උණුසුම් පානයක්/උණු වතුර පානය කිරීමත්
  • පියයුර උණුසුම් කිරීම/උණු වතුරින් තැවීම/උණු වතුර නෑම මගින්ද
  • මෘදු ලෙස ඇඟිලි තුඩු වලින් පියයුරු තුඩුව රෝල් කිරීම/ඉදිරියට ඇදීම
  • මෘදු ලෙස පියයුර සම්භාහනය කිරීම. මේ සඳහා ඇඟිලි තුඩු/පනාවක් මගින් පියයුර සෙමෙන් පිරිමැදීම. 
  • අතමිට මොලවා ගෙන පියයුර දිගේ තන පුඩුව දෙසට තෙරපීම වැනි ක‍්‍රම මගින් පියයුරු සඳහා සම්භාහන ලබාදීම මගින් කිරි නිෂ්පාදනය වැඩි වීමට හේතුවක් විය හැකියි. 

කිරි දෙවීමට පෙර පියයුර උත්තේජනය කරන අන්දම

  1. තන පුඩුව මෘදුව ඉදිරියට අදින්න
  2. තන පුඩුව රෝල් කරන්න
  3. පියයුර මෘදුව පිරිමදින්න
  4. මිට මොලවා ගත් අතින් පියයුර මෘදුව තෙරපන්න
  5. ඇඟිලි තුඩින් පියයුර මෘදුව පිරිමදින්න. 

ඔක්සිටොසීන් ප‍්‍රතීකය උත්තේජනය කිරීම ස`දහා උදව්කාරියක් විසින් මවගේ පිට පිරිමැදීම

උදව්කාරියක් මගින් උදව් ලබාගෙන පිට පිරිමැද්ද වීමද කළ තවත් ක්‍රමයකි. මව උඩුකය නිරුවත් කර මේසයක් මත අත් තබා ඇයගේ හිස අත් මත තබා ගනියි. පියයුරු එල්ලා වැටීමට සලස්වයි. මෙවිට ආධාර කාරිය පිටේ කොඳු ඇටය දෙපස පහතට පිරිමදියි. මහපටඟිල්ල ඉදිරියට එන ලෙස අත මිට මොලවා ගෙන මහපටඟිල්ලෙන් වෘත්තාකාර ලෙස බෙල්ලේ සිට උරපතු ඇටය දක්වා පිට දෙපසටම, ඉහළ හා පහළට මිනිත්තු දෙකක් තුනක් මේ සම්බාහනය කළ යුතුයි. මේ මගින් කිරි එරීමේ යාන්ත‍්‍රණය උත්තේජනය වේ. 

මීට අමතරව මව්කිරි සඳහා දරුවා මව එකම කාමරයක සිටීම, කිරි දෙන විට මවගේ හා දරුවාගේ සමට සම සප්ර්ශ වීම, දරුවා කෙරෙහි ඇති වන මවගේ ආදරයද මව්කිරි සඳහා හොඳ උත්තේජනයකි. 

මවගේ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය ගර්භණී කාලයේ සිටම, මගේ දරුවාට මව්කිරි දෙන්න මට පුළුවනි යන සිතුවිල්ල සිතට කා වැද්දීමද මවගේ වේදනාව, මානසික අසහනය අඩු කරගැනීමට උදව් කිරීම, පවුලේ ආදරය හිමිවීම තුලින් ද මව්කිරි දීම හොඳින් පවත්වා ගැනීමට හොඳ පිටුවහලක් වේ. 

යටට ගිළුණු තන පුඩුවකට ප‍්‍රතිකාරයක් වශයෙන් භාවිතා කිරීමට සිරින්ජරයක් පිළියෙල කරගැනීම හා පාවිච්චි කිරීම

පියයුරේ පුඩුව පැතලි හෝ ගිළුණු විටක දරුවාට පියයුර අල්ලා ගැනීමට අපහසු නිසා තන පුඩුව සකස් කරගැනීම ප‍්‍රසූතියෙන් පසු කිරි දෙන විටම කරගත හැකිවේ. පුඩුවක් නොතිබීම කිරි දීමට බාධාවක් නොවේ. කිරි ගබඩා වී ඇත්තේ තනපුඩුව වටා ඇති ඇරියෝලා නම් කළු කොටසේයි. දරුවා මේ ප‍්‍රදේශය ඔහුගේ මුඛය තුලට ගෙන උරයි නම් කිරි නිදහස් වේ. එහෙත් මවගේ සහයට මෙවැනි ගිළුණු තනපුඩුව සකස් කරගැනීමට සිරින්ජරයක් එකක් භාවිත කිරීමට හැකියි. 

සිරින්ජරයක් ගෙන පහත රූපයේ පරිදි බැරලයේ කටුව සවිවන පැත්තෙන් කපන්න. ඊට පසු පිස්ටනය කැපූ පැත්තෙන් ඇතුල් කර අනිත් පැත්ත තන පුඩුව මත තබා ඇදීමෙන් තන පුඩුව සකස් කරගත හැකියි. මෙය දරුවා කිරි උරන විට පසුව හරියයි. 

සෑම විටම කිරිදීමේදී දරුවා සිරුරට සමාන්තර වන ලෙස අල්ලා ගැනීමත් නිකට පියයුර එකම මට්ටමක තබාගැනීමටත් හිස, කඳ එකම තලයක තබාගැනීමත් මවගේ හා දරුවාගේ නෙතට නෙත ගැටීමත් වැදගත් වේ. මෙම ඉරියව් හා ස්ථාපිත නිවැරදි වීම තුලින් දරුවා හොඳින් කිරි උරාබොන බැවින් හෝමෝන යාන්ත‍්‍රණයද හොඳන් ක‍්‍රියාත්මක වීම සිදුවන නිසා කිරි නිෂ්පාදන ක‍්‍රියාවලියත් උත්තේජනය වේ. 

දරුවෙකුගේ වර්ධනය මෙන්ම සංවර්ධනයද සොඛ්‍යමත් ලෙස ප‍්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට හැකි එකම විශ්මිත වූ නිපැයුම මව්කිරි වේ. එසේ හෙයින් මේ ලොව පවතින්නේ හිරුගේ රශ්මියෙන් හා මව් කිරි වලින්ය යන්න යථාර්තයක්ම වේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article