- Advertisement -

අම්මා කෙනෙක් විදිහට ශක්තිමත්ව නැගිටින්න!

-

“තරුන්දි ”

“හ්ම්…”

- Advertisement -

“මහන්සිද ?”

“ඔව් අහස් මට හුඟක් මහන්සියි, ඔයා නැතිව අවුරුදු පහළොවක්ම මම දුවත් එක්ක ජීවත් වුණා. ජීවිතේ හැම අභියෝගයකමට තනියම මූණ දුන්නා. ලංකාව වගේ රටක තනි ගෑනියෙක් විදිහට ජීවත් වෙන එක හරිම අමාරුයි කියලා ඔයා හොඳටම දන්නවනේ. මිනිස්සුගෙ ඔලු ගෙඩි හරිම පටු ආකල්ප වලින් පිරිලා තියෙන්නෙ. තනි ගෑනියෙක් දැක්කම පිරිමි හිතන්නෙ උන්ට ඕනී විදිහට නටන්න ලෑස්තියි කියලයි. තවත් අය හිතන්නෙ තනි වෙච්ච ගෑණූයි දරුවෝයි මූසලයි කියලා.”

“මම ඔයයි දුවයි එක්කනේ හිටියේ, ඔයාලට කරදරයක් වෙන හැම තැනකදිම මම හිටියා”

“මමත් එහෙම හිතුවා”

“අද ඔයාට හුඟක් සතුටුයි නේද ?”

“ඔව් හුඟක් සතුටුයි ඔයා දැක්කද අපේ දුවගෙ ලස්සන, දැන් මගේ හිතට බයක් නෑ , කෙමිත් පුතා හොඳ දරුවෙක් හරිම ගුණයහපත් දුවට පණ වගේ ආදරෙයි. ”

“ඔව් දුවට කෙමිත් මුණ ගැහුණු දවසෙ ඉඳලා මම අවධානෙන් හිටියේ. මම කැමතියි ඔයා ඉස්සරහටත් දුව ළඟ ඉන්නව නම්.”

“දුව ළඟට යන්න මට බෑ. එයාලට ජීවිතේ තනියම විඳින්න ඉඩ දෙන්න ඕනී. ඔයාට මතකද අපි බඳින්න කලින්ම දෙමාපියන්ගෙන් වෙන් වෙලා ඉන්න තීරණය කළා, අපිට ඕනී වුණේ අපේ ලෝකයක් , ඉතින් අපේ දරුවොත් එහෙම හිතනවා ඇති. මට තනියක් නෑ අනික බෝඩිමේ ඉන්න ගෑණු ළමයි මට අපේ දුව වගේමයි. දවල් කාලෙටත් ගෙදර වැඩයි මගේ මැහුම් ගෙතුම් වැඩ එක්කයි දවස ගත වෙලා යන එක තේරෙන්නෙ එකක් නෑ.”

“ඔයාගේ කැමැත්තක්, මාත් ඔයත් එක්ක ඉන්නවනේ.”

“මාත් එක්ක ඉන්නවා, අනේ අහස් මාව කේන්ති කරන්නෙ නැතිව ඉන්න හැමදේම සිද්ධ වුණේ ඔයාගේ නොසැලිකිමත්කම නිසා ”

“එහෙම කියන්න එපා තරූ, ඔයාවයි දුවවයි දාලා මම කැමැත්තෙන් නෙමේ ඒ ගමන ගියේ”

“ඒත් ඔයාට හිතන්න තිබුණා අහස්, ඔයා අපි ගැන හෙව්ව නම් දන්නවනේ මම ජීවතේ වින්ද දුක් කන්දරාව. අවුරුදු දහයේ පුංචි කෙල්ලෙක් එක්ක රස්සාවක්වත් නොකරපු මම තනි වුණාම මම කොයි තරම් අසරණ වුණාද? වෙලාවකට මටයි  දරුවටයි මිනිස්සුන්ගෙ අනුකම්පාව මහා වදයක් වුණා. මගුලකට ගියත් මරණෙකට ගියත් තාත්තා නැති දරුවානේද? පව් අනේ ඔයා වුණත් තාම තරුණයිනේ තරුන්දි  කොහොමද මේවා දරාගන්නේ කියලා කියද්දි මට නොදැනෙන අසරණකමක් වටේ මිනිස්සු මගේ ඔලුවට දානවා. ඒ මදිවට මගේ හිත හදන්න කියලා විකාර කියවද්දි අම්මපා මට කියවන අයගේ කටට කොහොලෑ අලවන්න හිතුනා. ඇත්තටම අපි අපේ දුක කාටත් කියන්නේ නැත්නම් අපි ගැන දුක් වෙනවා වගේ මිනිස්සු නිසා ඇත්තටම අපි මානසිකව වැටෙනවා.”

“මං දන්නවා තරුන්දි. මිනිස්සු ඔහොම තමයි.”

“එහෙමයි කියලා උන්ට වටිනවද අනුන්ගෙ ජීවිත වලට ඇඟිලි ගහන්න. අපිව දාල ගිය ඔයා මායීම් නොකර ජීවත් වෙන්න හදන හැමවතාවකම මිනිස්සු කළේ ඔයා ගැන කිය  කිය මට වද දීපූ එක. නැගිටින්න නැගිටන්න වට්ටනවා.”

“ඒත් ඔයා සැලුනේ නැහැනේ”

“ඔව් මම අම්මා කෙනෙක් විදිහට ජීවිතේ කඩා වැටෙන තරමට වඩා වැඩි වේගයෙන් නැගිට්ටා. අම්මා තාත්තා කියන චරිත දෙකටම පණ පොවන්න වෙච්ච නිළියෙක් වගේ මම ජීවිත රඟමඩලේ රඟපෑවේ හිතේ හයියට. ලෝකෙටම පේන්න හිනා වුණ මම දු පැටියවත් නිදි කරවලා නානා කාමරේ ජලකාරාමය යටට වෙලා අඬපු තරම්”

තරුන්දි ඈත හිස් අහස දිහා බලාගෙන කිව්වා.

“මං දන්නවා තරුන්දි ඒත් මට කරන්න දෙයක් තිබ්බේ නෑ, මම මට පුලුවන් උපරිමයෙන් ඔයාලගෙ ජීවිත ගෙනියන්න අත්වැලක් වුණා.”

“ඔයා දන්නවද අහස් ඔයාගෙම යාලුවෝ , මගේ යාලුවෝ, නෑදෑයෝ පවා මට අයුතු යෝජනා ගෙනාවා. උං බයක් සැකක් නැතිව රෑට රෑ වෙලා අපේ ගෙදර එනවා. කෝල් කරලා කැත කතා කියනවා. අර කවිෂ්ක අපිට කොයිතරම් හිතවත්ව හිටියද ? සෑහෙන්න උදව් කලානේ. ඒත් දවසක් රෑ ඇවිත් මට කිව්වා මට ඔයා ගැන දුකයි තරුන්දි අචිනි හිටියට ඔයා මට වැඩි නෑ කෙල්ලෙ කියලා මාව බදා ගන්න හැදුවා”

“එතකොටම ඒකගෙ ඔලුවට රැක් එකේ තිබුණු මල් පෝච්චිය පත බෑවුණා. ඒත් එක්කම ඔයා උගේ රහස් පැත්තට දණ හිසෙන් හොඳ පාරක් ගැහැව්වා. ඔයාගේ වෙලාවටම චූටී මල්ලිත් ඒ වෙලාවෙම ගෙදර ආවා. ”

අහස් කිව්වෙ අමුතු තාලෙකට.”

“ඔව් ඔව් ඒත් මට හිතා ගන්න බැහැ අදටත් එච්චර දුර තිබුණු මල් පෝච්චිය ඒකගේ ඔලුවට වැටුණේ කොහොමද කියලා. අනික මම ගහපු පාර, ඒ වෙලාවෙම චූටී මල්ලි ආපු එක”

 

පුදුමයෙන් ඇස් නළලට අරගෙන තරුන්දි අහස්ගෙ නොසෙල්වෙන ඇස් දිහා බලගෙනම කිව්වා.

“මම කිව්වනේ මම ඔයාල ගැන අවධානයෙන් හිටියේ කියලා.”

“ඔයා දන්නවද අහස් අම්මා තාත්තාට සහෝදර සහෝදරියන්ට වුණත් කාලයක් ගියාම අපිව කරදරයක් වෙනවා. මම අපේ ගේ වහලා දාලා අම්මලාගේ ගෙදර ගියේ කවිෂ්කගෙ කරදරයෙන් පස්සෙ. ඒකත් චූටී මල්ලිගෙ කරදරේට. ඒත් ටික දවසක් යද්දි අම්මා කියන්න ගත්තා චූටී මල්ලි බැඳලා ආවම ඉඩ මදි කියලා—ලොකු අක්කා නිතරම කිව්වෙ තව කසාදයක් කරගත්ත නම් කරදර ඉවරයි එයාලටත සැනසීමක් කියලා. මම තීරණය කලා ආත්මාරක්ෂක සටන් ඉගෙන ගන්න. ඒ අතර මම ඇඳුම් මහන්නත් ඉගෙන ගත්තා. මම දැන ගත්තා මට අම්මා කෙනෙක් විදිහට ශක්තිමත්ව නැගිටින්න වෙන බව. සබන් කෑල්ලක්වත් ගන්න කඩේකට නොගිය තරුන්දි කඩවල් ගානේ ගිහින් ඇඳුම් ඕඩර් ගත්තා. මාස හයක් අම්මලලේ පල නොකියා පලා බෙදීම ඉවසගෙන මම හිටියේ තනියෙන් නැගිටින්න ශක්තිමත් වෙනකල්. අවසානේ මම ගෙදර ගියේ මටම කියලා ආදායමක් තනියෙන් උපයන්න පුලුවන් විදිහට. මම සම්පූර්ණයෙන්ම සමාජය ඉස්සරහා නපුරු චරිතයක් රඟපෑවා. අපි දුර්වල බව දැක්කොත් තමයි මිනිස්සු අපිව පාගන්න එන්නෙ.”

“ඔයා හරි තරුන්දි”

“අනේ මන්දා අහස් ඔයා අපෙන් ඈත් වුණ දා ඉඳලා අපි හිතන හැමදේම අඩුපාඩුවක් නැතිව ලැබුණා. ඔයා නැති අඩුව විතරයි තිබුණේ. දවසක් දුව මට කිව්වා අම්මේ මට කොන්ඩෙ දිග රෝස පාට බෝනික්කෙක් අරන් දෙන්න පුලුවන්ද කියලා. ඇත්තටම එදා මගේ ළඟ සල්ලි තිබුණෙ නෑ. අරව මේවා ඉල්ලලා කරදර කරන දරුවෙක් නෙමේනේ අපේ දූව. ඉතින් මම දහ අතේ කල්පනා කරලා මාලෙ උගස් කරලා හරි අරන් දෙන්න යනකොටම ඔයාලගෙ නංගි ආවා. නිකම්ම නෙමේ අර දුව ඉල්ලපු ජාතියේ බෝනික්කෙකුත් අරන්. මට පුදුම හිතුනා.ඇයි ඔයා ඔහොම බලාගෙන ඉන්නෙ?”

“ මම කිව්වනේ මම ඔයාලත් එක්කයි හිටියේ කියලා.”

“ඒ කියන්නෙ…. ”

“තරුන්දි ඉඳගෙන හිටි තැනින් නැගිටලා අහස්ගෙ සීතල අත අල්ල ගත්තා.

“ඔව් ඔයා හිතන එක හරි, ඒත් මට ඉස්සරහට එහෙම කරන්න බැරි වෙයි”

“ඇයි ?”

“මං දැන් යන්න ඕනී තරුන්දි මම දැන් යන්නම යන්න ඕනී, ආයේ මට ඔයාව මුණ නොගැහේවී”

“අනේ අහස්”

තරුන්දිට අහස්ගෙ පපුවට හිස තියාගෙන ඒ සෙනෙහස විඳින්න ඕනී වුණා. ඇය අහස්ට ලංවෙද්දි අහස් පස්සට ගියා. තරුන්දි ආයෙත් ඉදිරියට… අහස් පස්සට… අයෙත් තරුන්දි,  ඒ වතාවේ අහස්ගෙ දෑස් රතු පැහැයට හැරුණා. සුදු මැලි ඒ මුහුණ බලන්නට බැරි බවක් ඇයට දැනුණා. අහස්  හැරුණා වේගයෙන් තරුන්දිගෙන් ඈතට ගියා.

තරුන්දි එතනම බංකුවේ වාඩි වූණා. සිහින් ඉකිබිඳුමත් සමඟ ඇය දුක දිය කරන්න පටන් ගත්තා. 

“නැන්දා මොනවද මේ මිදුලේ කරන්නෙ යමු ඇතුලට තරුන්දිගෙ තනියට හිටි ඇගේ සහෝදරයාගේ දියණිය ඇයව වත්තන් කරගෙන කාමරයට ආවා. තරුන්දිව ඇඳේ ඉන්ද  වූ ඇය තරුන්දිගේ දෙපාමුල ඉඳගත්තා.”

“නැන්දා අපේ ජීවිත වල යාම් ඒම් සුලු නතර වීම් හැරෙන්න සදාකාලික නතරවීම් නෑ. අහස් මාමා නැතිව හිත හදා ගත්ත නැන්දා මේ පොඩි දේකට අඬනවා.”

“නෑ දුවේ අහස් මාමා නැතිව මම හිත හදාගත්තෙ නෑ.අදටත මට එයා නැතිව බෑ. මට මහන්සිය දෝනියෝ ”

හරි නැන්දා නිදා ගන්න”

තරුන්දිගෙ නින්ද ඈතට ගිහින්. මීට අවුරුදු පහළොවකට කළින් අහස් සදහටම මේ ලෝකෙන් ගියේ කන්ටේනර් රථයක කාර් එකේ වැදිලා සිදු වුණ අනතුරින්ය.  එසේ ජීවිතෙන් සමු ගත් තම ආදරණීය සැමියා තමා සමඟ සිටි බව කවුරුන් නම් විශ්වාස කරයි ද? 

 

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article