ගැබිනි මවක් කොවීඩ් පොසිටිව් වුනොත් ?

අද වෙද්දී වයස, තරාතිරම නොසලකා කොවිඩ් අවධානම පැතිර යනවා. අපේ ගැබිනි මවක් කොවිඩ් පෙසිටිව් වුනොත් ඒ මොහොත කොයිතරම් මානසිකව අසීරු තත්ත්වයක් විදියට දැනෙයිද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මොකද මේ වෙද්දි කොවිඩ් රෝගය ගැන අපේ හිතේ තියෙන්නේ ලොකු බියක්. ඒත් අපි ජීවිතයේ සෑම අවස්ථාවකටම නොබියව මුහුණ දිය යුතු නිසාම මානිසකව හෝ ශාරීරිකව ඇද වැටෙන්න බැහැ. විශේෂයෙන්ම ගැබිනි මවක් තම කුසේ වැඩෙන දරු පැටියා වෙනුවෙන් එන ඕනෑම බාධාවකට ශක්තිමත්ව මුහුණ දිය යුතුමයි. 

කොවිඩ් කියන්නේ වෛරසයක් මඟින් බෝ වන රෝගයක් බවත් රෝගය පැතිරෙන්නේ මුඛයෙන්, නාසයෙන් පිටවන තරල මඟින් බවත් අපි දන්නවා. ඉතින් මුලින්ම අපි කරන්න ඕන මේක වළක්වා ගන්න උත්සහ කරන එක. එහෙම නම් අපි අපේ චර්යාවේ යම් වෙනස් කමක් ඇති කර ගන්න ඕන. ඒ කොහොමද කියනව නම් මේ වෛරස් අපේ අත්වල, ඇඳුම් වල හෝ අපි පරිහරණය කරන උපකරණ වෙත එන එක වළක්වා ගන්න උනන්දු වෙන එක. ඒ වෙනුවෙන්,

  • නිතර දෑත් පිරිසිදුව තබාගැනීම
  • හැකිතාක් නාසය, මුඛය හෝ මුහුණ ඇල්ලීමෙන් වැලකීම, 
  • සබන් සහ වතුර භාවිත කර තත්පර 20 ක කාලයක්වත් ගෙන දෑත් සේදීම නැතහොත් විෂබීජ නාශක දියරයක් භාවිත කර දෑත් පිරිසිදු කිරීම. 
  • ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම (විෂබීජය විසිරිය හැකි දුර ප්‍රමාණය මීටර් 1 ක් පමණ වන හෙයින් ඔබ අනෙකා අතර අවම වශයෙන් මීටර් 1 – 2 පරතරයක් තබාන්න)
  • ජනතාව එක් රැස් වන ස්ථාන මග හැරීම 
  • සෑම විටම කිවිසුමකදී හෝ කැස්සකදී ලේන්සුවකින් මුඛය හා නාසය ආවරණය කරගැනීම (ටිෂූ භාවිත කරන්නේ නම් පාවිච්චි කළ ටිෂූ වැසිය හැකි බඳුනකට දමන්න. පාවිච්චි කරන ලේන්සුද නිතර සෝදා පිරිසිදු කරගන්න) 
  • අමුත්තන් සමඟ මෙන්ම නිවැසියන් බැහැරවන සෑම අවස්ථාවකම මුව ආවරණයක් නිවැරදිව භාවිතා කිරීම
  • නිවසින් පිටට ගොස් පැමිණි විට නිවසට යාමට පෙර භාවිත කළ සියලු දෑ හා ගෙන ගිය/ගෙන ආ දෑ විෂබීජහරණයට යොමු කිරීම (ඇඳුම් පැළඳුම්, පාවහන් සියල්ල ගලවා සෝදා දමන්න/හොඳින් පිරිසිදු වීමෙන් පසු නිවස තුලට යන්න) යන පිළිවෙත් අනුගමනය කළ යුතුවේ.

කරුණු මෙසේ වුවද ගර්භනී මවකට මෙය වැළඳුණහොත් හෝ ගර්භනී මවකට කොවිඩ් රෝග ලක්‍ෂණ හෝ ශ්වසන රෝග ලක්‍ෂණ පහළ වුවහොත් එනම් කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව, උගුරේ ආසාදනය, උණ සමඟ ඇති වන තීව්‍ර ශ්වසන ආසාදන මතු වුවහොත් ඒ බව වහා තම වෛද්‍යවරයාට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමාට, ළඟම රෝහලට දැනුවත් කළ පසු පරීක්‍ෂණයට ලක් කර හඳුනාගත හොත් වහාම ප්‍රසව හා නාරිවේදීය විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින රෝහලක නේවාසිකව ප්‍රතිකාර සඳහා යොමු කිරීම කරනු ඇති. 

මෙහිදී මෙසේ ආසාදිත මව්වරුන් සඳහා වෙන් කරන ලද රෝහලක හෝ වාට්ටුවක තබා මවට යම් සංකූලතා ඇති වේදැයි පරික්‍ෂාවෙන් තබන අතරම මවට අවශ්‍ය පෝෂණය, රැකවරණය නිසියාකාරව එහිදී ලබාදෙයි. 

ගර්භනී මවකට හෝ සාමාන්‍ය පුද්ගලයෙකුට කොවිඩ් වැළඳුණ ද කිසිදු වෙනස් කමක් නොමැති අතර රෝගී පුද්ගලයා තුල පවතින වෙනත් ප්‍රතිශක්තිය අඩු කරන හේතු කාරක වේ නම් ඒ සඳහා ප්‍රතිකාර කිරීම අවශ්‍ය වන්නේ ඒවා බරපතල තත්ත්ව දක්වා යාමට ඉඩ කඩ ඇති හෙයිනි. කෙසේ වුවද මෙතෙක් කොවිඩ් වැළඳුණු ගර්භනී මව්වරුන්ගේ කුස තුල සිටින දරුවනට කොවිඩ් නිසා සංකූලතා ඇති වූ බවට සාක්‍ෂි නොමැත. මව්වරුනට ඔවුනට තිබූ යම් යම් රෝග තත්ත්ව නිසා ඇති වූ සංකූලතා හැරුණු විට වෙනත් සංකූලතා ඇති වූ බවට හෝ නිශ්චිත ලෙස සාක්ෂි නොමැත. 

මවට දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග තත්ත්ව, ඇඳුම හෝ අධික තරබාරු බව ආදිය රෝග තත්ත්ව ඇතොත් එම රෝගී තත්ත්ව කොවිඩ් නිසා නොසලකා හැරීමෙන් ඒවා උග්‍ර සංකූලතා තත්ත්වයට පත්විය හැකි හෙයින් ඒවා සඳහා වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය වේ. පැවති රෝග තත්ත්ව නිසා ඇති විය හැකි සංකූලතා වළක්වා ගැනීමේ සියළු පියවර ගැනීම තුලින් මවට වෙනත් ආබාධ තත්ත්ව ඇති වීම වළක්වා ගත හැකියි. 

මේ කාලය තුල මව තුල ඇති වන කලබලය, වික්‍ෂිප්තභාවය හා බලාපොරොත්තු රහිත ලෙස ඇති වුණු රෝගී තත්ත්වය හේතුවෙන් මවට ඇති වන මානසික ආතතිය පිළිබඳව සැලකිලිමත් වීම කළ යුතුමයි. එසේම මවගේ පවතින රෝග තත්ත්ව වලට ප්‍රතිකාර කිරීම තුලින් සංකූලතා වළක්වා ගත හැකි බවත් මවට ඒත්තු ගැන්විය යුතු සේම ඇයගේ සියළු රැකවරණයන් සඳහා අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බව ඇයට දැන්වීම මෙන්ම දැනෙන්නට සැලැස්වීම මානසික සහනයට හේතු වෙනවා. මවගේ මේ මානසික ආතතිය දරුවාගේ චිත්තවේග සඳහා බලපෑමක් ඇති නොවීමට නම් මේ පිළිබඳව මවට පැහැදිලි කරදීමත් ලැබෙන සංරක්‍ෂණය තුලින් නිවැරදි කළමණාකරණයක් සිදුවන බවටත් ඇයට දැනෙන්නට සැලසැවීමත් පැවසීමත් වැදගත්. 

එසේම මවගේ පෝෂණය පිළිබඳ හොඳ මැදිහත් වීමක් රෝහල තුලින්ම සිදු කරන හෙයින් ඇයට ප්‍රසූතිය සඳහා අවශ්‍ය සූදානම් වීම් පිළිබඳව දැනුවත් කිරීමත්, සාමාන්‍ය ලෙසින් සිත සැහැල්ලු වන සේ වැඩ කටයුතු කිරීමටත් පවුලෙන් සමාජයෙන් ලැබෙන සහය මෙන්ම මැදිහත් වීමද මවගේ මානසික තත්ත්වය යහපත් කිරීමට හේතුවක් වේ. 

රෝගී තත්ත්ව පහවූ පසුවත් මවට සුපුරුදු ලෙසින් සෞඛ්‍ය හුරු පුරුදු මැද නිවැසියන් සමඟ එක්ව කාලය කිරීමට ලැබීමත් ඒ කාලය තුලද ඇයට දැනෙන ලෙසින් සෙනෙහස කරුණාව දැක්වීමත් පහසු ප්‍රසවයක් කර මෙන්ම සැහැල්ලු පසු ප්‍රසව සමයක් කරා යාමට ඇයට අවශ්‍ය ශක්තිය දිරිය හිමි වීමට හේතුවක් වේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here