- Advertisement -

ළදරුවාගේ ක්‍රියාකාරකම් පිිළිබදව ඔබත් කණස්සල්ලෙන්ද?

-

අලුත ඉපදුණු පුංචි පැටියා දවසින් දවස උස් මහත් වෙද්දී අම්මා තාත්තා ඒ දිහා බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. ඒත් ඇතැම් විට අහන දකින දේ නිසා හෝ පොත පතින් දැනුවත් වෙන කරුණු කාරනා නිසා හෝ දරුවන්ගේ පෙරලීම, මුනින් සිටින විට හිස එසවීම වැනි ක‍්‍රියාකාරකම් ගැන මවිපියන් වැඩි අවධානයක් යොමු කරනවා. තමන්ගේ දරුවාගේ යම් ගැටලුවක් ඇති ද යන්න පිළිබව කණස්සල්ලෙන් පසුවෙනවා. අන්න ඒ නිසාම ළදරුවන්ගේ ක්‍රියාකාරකම් සහ ඒවායේ ඇති විය හැකි අසාමාන්‍යතා ගැන දැනුවත් වීම බොහෝ සෙයින් වැදගත් වෙනවා.

හැම ළදරුවාම එකම වයසේදී මේ ක‍්‍රියාකාරකම් කරනවද?

- Advertisement -

නිරෝගී දරුවක් කියන්නේ ශාරීරික පෝෂණය වගේම මානසික පෝෂණයක්ද උපරිමව හිමි වූ දරුවකුයි. නිරෝගී බව බලාපොරොත්තු වන බොහෝ මව්වරුන් සිදු කරන්නේ කායික පෝෂණය ලබාදීමට වැඩි නැඹුරුතාවයක් දැක්වීම වුවත් දරුවා නිරෝගීමත් වීමට නම් මානසික සෞඛ්‍යය ද යහපත් විය යුතුයි. 

ළදරු කාලය යනු උපතේ සිට වසරක් දක්වා වූ කාල සීමාවයි. මේ කාල සීමාව තුලදී උපතේ සිටම දරුවකුගේ සංවර්ධනය ප‍්‍රධාන ක්‍ෂෙත‍්‍ර හතරක් යටතේ සංවර්ධනය වන අතර ඒවා පහත පරිදි වේ.

  • චාලක හැකියාවන් වර්ධනය
  • සියුම් චාලක හැකියාවන් වර්ධනය
  • කතාවේ සංවර්ධනය
  • සමාජ සන්නිවේදන සංවර්ධනය යන්නයි. 

ළදරුවාගේ මානසික සංවර්ධනය පිළිබඳ කතා කිරීමේදී වැදගත් වන්නේ මේ සමාජ සන්නිවේදන සංවර්ධනයයි. මෙම සංවර්ධනය ආරම්භ වන්නේ මව හඳුනාගැනීමත් මව සමග සිනාසීමත් සමගයි. 

උපතේදී දරුවාගේ දෘශ්‍ය හැකියාව අඩුයි. මාස දෙක එනම් සති අටක් පමණ වන විට පෙනීම සම්පූර්ණ වන හෙයින් මාස දෙකේදී දරුවා පෙනීම සඳහා ප‍්‍රතිචාර දක්වයි. එහෙත් මාස දෙකට පළමු සිට උත්තේජන ලබාදීම වැදගත් වේ. 

එමෙන්ම අළුත උපන් දරුවා මුනින් අතට තැබූ විට හිස එසවීමට උත්සහ දරයි. මේ උත්සාහයේදී ගෙල පෙදෙස ආශ‍්‍රිත කොඳු ඇට සඳහා ලැබෙන ව්‍යායාම හේතුවෙන් දරුවා ක‍්‍රමයෙන් හිස එසවීමට පුරුදු වේ. මෙසේ සිදුවන විට එම අස්ථි මගින් ලැබෙන ශක්තිය හේතු කොටගෙන හිස ඔසවා තබා ගත හැකි වෙනවා සේම එසේ මවගේ අධීක්‍ෂණය යටතේ නිතර තැබීමෙන් නිරන්තරවම ගෙල පෙදෙසට ශක්තිය ලැබේ. 

ව්‍යායාම නිසා හිස ඔසවා තබාගැනීමට දරුවා හැකියාව ලබයි. එසේම මුනින් සිටින දරුවා හිස එසවීමට හැකියාව මාස 3 දී පමණ අත්කර ගනී. එසේ හිස එසවීම මගින් වඩා විශාල ප‍්‍රදේශයක් දක්නට ලැබෙන අවස්ථාව මත දරුවා හිස හරවා බැලීමටද පුරුදු වේ. 

එමෙන්ම හිස එසවීමෙන් පමණක් නොනැවතී දෙඅත් මතට බර දෙමින් ක‍්‍රමයෙන් හිස හා පපුව එසවීමටත් හැකියාව ලබයි. මේ වන විට දරුවා මුනින් අතටත්, උඩු අතටත්, පැත්තටත් තැබීම සිදු කල විට උඩු අතට සිටින විටත් හිස එසවීමට උත්සහ දරයි. මාස 3 පසු කරන දරුවන් මෙසේ සිදු කරන හෙයින් දරුවා පෙරලීමටද හැකියාව ලබයි. මේ දරුවන් සඳහා උත්තේජන ලෙස අතේ දුරින් වර්ණවත් සෙල්ලම් උපකරණයක් තැබූ විට එය ලබාගැනීම සඳහා ඒ දෙසට යාමට උනන්දුවක් ඇති වේ. 

මෙසේ ආරම්භයේදී දරුවන් සඳහා ලබාදෙන උත්තේජන මගින් පෙරලීම, මුනින් සිටින විට හිස එසවීම වැනි ක‍්‍රියා සඳහා දරුවන් වේගයෙන් පෙළඹේ. සෑම දරුවෙකුගේම වර්ධන පියවරයන් එකම වුවද දරුවාගෙන් දරුවාට මෙම ක‍්‍රියාකාරකම් සඳහා වයස එකම නොවේ. එසේ වන්නේ දරුවාට උපතින් ලබන හැකියාව මෙන්ම උපතින් පසු ලැබෙන උත්තේජනද මතයි. මේ නිසා සෑම දරුවකුම එකම වයසේදී මේ ක‍්‍රියාකාරකම් සිදු නොකරයි. 

සෑම දරුවකුගේම වර්ධන පියවරයන් එකම වුවද යම් යම් රෝගී තත්ත්වයන් හෝ උපතේදී ලබන පරිසර සාධකයන් මෙන්ම නොමේරූ දරු උපතකදීද මෙම ක‍්‍රියාකාරකම් සඳහා බලපෑම් ඇති විය හැකියි. එමෙන්ම ජානමය බලපෑම් නිසා ඇති වන තත්ත්ව මතද දරුවාට ඇතිවන ආබාධ නිසා දරුවන්ගේ මේ ක‍්‍රියාකාරකම් පසුගාමී මෙන්ම ප‍්‍රමාද වීමට හැකියාවක් තිබේ. 

ළදරුවන්ගේ ක‍්‍රියාකාරකම් ප‍්‍රමාද වීමට හෝ සිදු නොකිරීමට හේතු 

  • පූර්ව ප‍්‍රසව අවධියේ මවට ජර්මන් සරම්ප වැළඳීම. 
  • ප‍්‍රසූතිය ප‍්‍රමාද වීම (ප‍්‍රසූතිය සඳහා ගත වන කාලය වැඩි වීම)
  • තයිරොක්සීන් වැනි හෝමෝන අසමතුලිතතා
  • මොළයට විෂබීජ යාම නිසා ඇතිවන තත්ත්ව
  • බිලි රූබින් වර්ණකය වැඩි වී මොළයට හානි සිදු වීම (කහ වීම නිසා)
  • ජානමය හේතූන්

මේ බොහෝ තත්ත්ව වලදී සිදුවන්නේ මොළයට සැපයෙන ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවීම නිසා මොළයට සිදුවන හානි හේතුවෙනි. මේවා වළක්වා ගැනීම සඳහා, 

  • පූර්ව ප‍්‍රසව සමයේ ඇති වන රෝග තත්ත්ව නිසි පරිදි වෛද්‍ය උපදෙස් මත කළමනාකරණය කරගැනීම. 
  • ගර්භනී වීමට මාස තුනකට පෙර ජර්මන් සරම්ප එන්නත ලබාගැනීම. 
  • ප‍්‍රසූතිය සඳහා පුහුණු කාර්ය මණ්ඩලය සහිත පහසුකම් සහිත රෝහලක් තෝරාගැනීම.
  • දරුවා කහපැහැ වීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් ලබාගැනීම. 
  • උපතේදී තයිරොක්සීන් පරීක්‍ෂාව සිදුකරවා ගැනීමද වැදගත් වේ. 

ක‍්‍රියාකාරකම් ප‍්‍රමාද දරුවකු හඳුනාගන්නේ කෙසේද?

ළදරුවෙකු පෙන්නුම් කරන පහත ලක්‍ෂණ වයසත් සමග සසඳා බැලීමෙන් හඳුනාගත හැකියි.

  • මාස 4 – 5 ඉක්ම වූ පසුත් දරුවාගේ හිස කෙලින් තබාගැනීමට නොහැකි වීම 
  • මාස 6 – 7 ඉක්මවා යාමේදීත් දරුවාට තනිව පෙරලීමට නොහැකි වීම 
  • මාස 9 – 12 ඉක්ම වූ පසුත් තනිව වාඩි වීමට නොහැකි වීම
  • වයස අවුරුදු 1 ½ න් පසුත් තනිව ඇවිදීමට නොහැකි වීම

මීට අමතරව මෙවන් දරුවන් තුල,

  • පේශීන් වඩා මෘදු බවින් යුක්ත වීම
  • අත් පා දරදඬු කරගෙන සිටීම
  • පාලනයකින් තොරව අත් පා චලනය වීම/අත් පා වෙව්ලීම
  • මුඛයෙන් කෙල ස‍්‍රාවය වීම
  • නිතර ඇඬීම
  • කතා කිරීමට ප‍්‍රමාද වීම
  • අන්ධභාවය
  • බිහිරි බාවය
  • මන්ද බුද්ධික බව වැනි ලක්‍ෂණද දැකිය හැකියි. 

මේ තත්ත්වයන් මවට හඳුනාගත හැකි වන අතරම ඒ සඳහා වඩාත්ම ආරක්‍ෂාකාරී හා හොඳම ක‍්‍රමවේදය වන්නේ දරුවා උපන් දිනයේ සිටම මේවා පිළිබඳ සැලකිලිමත් වීමයි. එසේම ළදරු වර්ධන සටහනේ මානසික සංවර්ධනය මැන බැලීම සඳහා ලබාදී ඇති පොදු අදහස් කියවා බැලීමත් ඒ අනුව දරුවාට අවශ්‍ය උත්තේජන සැපයීමත් මෙන්ම අපේක්‍ෂිත සංවර්ධනය පිළිබඳව පියවර අදාල තැන්හි ක‍්‍රියාකිරීමයි. මේ සඳහා පහසු වන අයුරින් වයසත් සමග සිදුවිය හැකි ක‍්‍රියාකාරකම් අදාල කොටු තුල සටහන් කිරීම තුලින් දුර්වලතාවය මතු වූ සැනින් හඳුනාගැනීමට අවස්ථාව ලැබෙනවා පමණක් නොව අවශ්‍ය පරිදි යොමු වීමටද අවස්ථාව උදාවේ. 

ඔබේ ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය සමග එක්ව මේ කාඩ්පතේ ඇති සංවර්ධන පියවරයන් පිළිබඳ සාකච්ඡා කිරීම හා සටහන් තැබීම තුලින් ඔබට වේලාසන දරුවාගේ ක‍්‍රියාකාරකම් වල දුර්වලතා හඳුනා ගැනීමටත් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීමටත් අවස්ථාව උදා වනවා සේම, ලබාදිය හැකි චිකිත්සක ප‍්‍රතිකාර මගින් නිවැරදි කරගැනීමටද අවස්ථාව එළඹෙනවා. 

ඇති වන තත්ත්වය අනුව ළමා රෝග විශේෂඥ වෛද්‍ය උපදෙස් ගෙන භෞතික චිකිත්සකවරුන්/වෘත්තික චිකිත්සකවරුන් හෝ භාෂා හා කථන චිකිත්සකවරුන්/විකලාංග චිකිත්සකවරුන්/විශේෂ පුහුණු ගුරුවරුන් ආදී ලෙසින් විශේෂඥ උපදෙස් මත ක‍්‍රියාත්මක වීම තුලින් දරුවා සඳහා ගුණාත්මක ප‍්‍රතිකාරයක් ලබාගත හැකිවීම තුලින් ඇති වූ දුර්වලතාවය ජය ගැනීමට හැකිවනු නිසැකයි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article