ඔබේ පුංචි පැටියා උස් මහත් වෙලා නව යොවුන් වයසට පැමිණියාම ඔවුන්ගේ හැසිරීමේ බොහෝ වෙනස්කම් ඇති වෙන්න පුලුවනි.ඉස්සර කාලයේ මව්පියන් මේවා අනේ ඉතින් වයසේ වැරුද්ද කියල ඔවුන්ගේ හැසිරීම් රටාව සාධාරන කලා. එක් පැත්තකින් ඔවුන්ගේ පිළිගැනීමත් සාධාරණයි. විද්‍යාත්මකව සලකා බලන විටත් මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය අනුව නව යොවුන් දරුවන්ගේ හැසිරීම තුළ මේ අන්දමින් විවිධ ගැටුම් , හැලහැප්පීම් ඇති වෙන්න පුළුවනි.
මොළයේ ජීව විද්‍යාත්මක සැකැස්ම
වයස අවුරුදු 10 – 19 ක් අතර කාලයේදී මිනිස් මොළයේ වර්ධනය සිදු වෙන අතර දරුවා ශාරිරික ලෙසින්ද වර්ධනය වෙනවා. මේ කාලයේදී දරුවාට දැණුම වගේම සමාජ අත්දැකීම් උපයා ගත හැකි කාලයක්. මොළයේ බිලියන ගණනින් ස්නායු වර්ධනය වෙන අතර පවතින ස්නායු ශක්තිමත් වීම වගේම ක්ෂය වීම්ද සිදු වෙනවා.ක්ෂය වෙන ස්නායු නිසා අලුත් ස්නායුවලට වැඩන්න ඉඩ පරිසරය ඇති වෙනවා.ඒ සමග ස්නායු උත්තේජනය වගේම මොළයේ වර්ධනය සිදු වෙන අතරවාරයේ දරුවන් තරුණ කාලයේදී ලබන දැණුම සහ අත්දැකීම් ඔවුන්ගේ ජීවිතයට බලපානවා.
මොළයේ පිටුපස කොටස
මොළයේ පිටුපස කොටස ඉව, ආවේග, චිත්තවේග හා ආක්‍රමණශීලී හැසිරීම සඳහා බලපාන අතර දරුවන්ගේ මෙම කොටස මුලින් වර්ධනය වෙනවා.
මොළයේ ඉදිරිපස කොටස
‘‘ලලාට කණ්ඩිකාව ‘‘හෙවත් මොළයේ ඉදිරිපස කොටස දියුණු කොටස ලෙසින් සැලකෙන අතර සන්සුන්බව,ප්‍රඥාව, තර්කානුකූලබව වෙනුවෙන් මෙම ලලාට කන්ඩිකාව සංවර්ධනය වීම බලපානවා. ඒ අවස්ථාවන්හිදී ප්‍රතිවිපාක ගැන සිතන්න, චිත්තවේග පාලනය,නැවත හිතා බලන්න වැනි ජීවිතයේ ගැටුම් සහ ගැටලු කළමනාකරනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා.මොළයේ මෙම කොටස දරුවෙකුගේ වයස අවුරුදු 24 පමණ වෙන විට වර්ධනය වීමක් සිදු වෙනවා.
දැන් බොහොම තැන්පත්..
සමහර විට අම්මා, තාත්තා වුනත් එදාට වඩා අද ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්න පුරුදු වී තිබෙන්නේ ඔබේ ලලාට කණ්ඩිකාව දැන් සම්පූර්ණ වී අවසානයි. ඒ නිසා ආපස්සට හැරී බලන විට එදා ඔබේ පැවැති ගති අද බොහොම සුමට වී ඇති අන්දම අදහා ගන්නත් අපහසු ඇති.සමහර විට ඔබේ දරුවා අද හැසිරෙන ආකාරය හෙට දවසේ එනම් ලලාට කණ්ඩිකාව වර්ධනය වුන දිනකදී වෙනස් වීමට පුලුවනි. ඒ නිසා දරුවන් අතර ඔබ මේ වගේ ගති පැවැතුම් සහ හැසිරීම් දකින්න පුළුවනි.
නින්ද පිලිබඳ වෙනස්කම්
අද බොහෝ දරුවන් අතර මේ හැසිරීම ඉතාම පොදුයි. ඒ චෝදනාව ඔබ විද්‍යුත් මෙවලම් වෙත එල්ල කරනවා. රාත්‍රි කාලයේ අවදිව සිට උදේ දහය පමණ වෙන තෙක් නිදා ගැනීම අද තරුණ දරුවන්ගේ සාමාන්‍ය රටාවක් බවට පත් වී තිබෙනවා.සුවදායක නින්දක් නොලැබීම නිසා දරුවන් වෙතින් මේ වගේ ගති පැවැතුම් ප්‍රදර්ශනය වීමටත් ඉඩ තිබෙනවා.
- නුරුස්නාබව
- ඉවසීමක් නැහැ
- හැකියාවන් අඩුයි
- ඉගෙණුමට උනන්දු නැහැ.
දෙමව්පියන් කරදරකාරයන් ලෙස සිතන්න පටන් ගන්නවා.
නව යොවුන් වයසට එන විට තමන්ගේ ආදරණීය දෙමව්පියන් පවා කරදරකාරයන් ලෙස සිතන්නට දරුවන් පෙළඹෙනවා. අම්මා , තාත්තා මහත් වූ ආදරයෙන් කරන දෙය පවා ඔවුන්ට හිරිහැරයක් විදිහට සිතනවා. දැන් අපි ස්වාධීන කණ්ඩායමක් නිසා දෙමව්පියන්ගේ අවධානය ඔවුන්ට හිරිහැරයක්. ඒ නිසා දරුවා වෙත මහත් සෙනහසින් ආදරයෙන් කරන හැම දෙයක්ම දරුවා දකින්නේ මහත් වූ වධයක් විදිහටයි. ඉතින් ඒකටත් හේතුවක් තිබෙනවා. තවමත් ඔවුන්ගේ ලලාට කණ්ඩිකා කොටස වර්ධනය වී නැති නිසා අනේ අම්මා..තාත්තා අපට මේ දේවල් කරන්නේ ආදරයෙන් කියන විශ්වාදය ගොඩ නගා ගැනීමට ඔවුන්ට හැකියාවක් නැති වී තිබෙනවා.
නීති කඩන්න…සමාජයේ ඉස්මතු වෙන්න කැමැතියි
නව යොවුන් දරුවන් සමාජයේ පවතින නීති රීති ගැන එතරම් තැකීමක් නොකරන අවස්ථා තිබෙනවා. හැම දරුවෙක්ම නොවුනත් ඔවුන්ගේ වයස නිසා නීතිවලට වෙනස් අන්දමින් කටයුතු කරන්න පෙළඹෙන්න පුළුවනි. කොටින්ම පෝලිමක වුනත් මැදින් පනින්න ඔවුන් කැමැතියි. එය අනිවාර්යෙන්ම කළ යුතු දෙයක් එහෙම නැත්නම් නව යොවුන් වයසේදී ලබා ගත යුතු අත්දැකීමක් විදිහට සිතනවා. එය ඔවුන්ගේ වරදක් නොවෙයි. තවමත් සමාජ හැසිරීම්වල ප්‍රතිවිපාක ගැන සිතන්න තරම් මොලයේ ඉදිරිපස කොටස වර්ධනය වෙලා නැහැ.
ඇබ්බැහි වීම් දරුනුයි.
අපේ ජීවිතයේ සතුටට හේතු වෙන දෙයක් කරන විට සතුටු හෝර්මෝනය හෙවත් ‘‘ ඩොෆමින් “ උත්තේජනය වෙනවා. නව යොවුන් දරුවන් තුළ මෙවැනි සතුටු හෝර්මෝනයන් උත්තේජනය වෙන විට ඔවුන් දිගින් දිගටම ඒ කටයුතු වෙනුවෙන් යොමු වෙනවා. ඒ නිසා මේ කුනාටු සමය බොහොම ප්‍රෙව්සමින් ගනු දෙණු කළ යුතුයි. යම් විදිහකින් මත් වතුර , මත් කුඩු හෝ වෙනත් සමාජ විරෝධී කටයුත්තකින් දරුවා සතුටක් ලබන්නට යොමු වුනොත් ඒ වෙනුවෙන් ඇබ්බැහි විමක් ගොඩ නගා ගැනීමට තිබෙන ඉඩ කඩ වැඩියි.
දරුවන්ට සතුටත් අවශ්‍යයි.
වැඩිහිටියන්ට වගේම දරුවන්ටත් සතුට අවශ්‍යයි. ඒ නිසා දරුවන් වැරදි කටයුතුවල යෙදී ඒවාට ඇබ්බැහි වීමට පෙරාතුව ඔවුන්ගෙ ජීවිතයේ සතුට වෙනුවෙන් අවශ්‍ය මාර්ගයක් සාදා දෙන්න. සමහර විට දරුවා සංගීතය, චිත්‍ර වැනි දෙයක් ප්‍රිය කරාවි. ඒ වගේම ව්‍යයාම වෙනුවෙන් දරුවන් උනන්දු කරන්න. ව්‍යායාම කිරීමේදී මොළයට යහමින් ඔක්සිජන් පරිවහනය වෙන නිසා දරුවාගේ මානසික නිරෝගිතාවය ගොඩ නගා ගැනීම ඉතාමත් ඉතා පහසුයි.
තමා ගැනම ශෝක වීම
නව යොවුන් දරුවන්ගේ මානසික ගැටුම් අප දකිනවාට වඩා ප්‍රබලයි.සමාජ ඇසුරේදී ඔවුන් නිතරම තමා ගැනම බොහෝ සේ දුක් වෙනවා. පංතියේ මිතුරෙක් අමනාප වුනොත්..ආදර සම්බන්ධතාවයක් බිඳ වැටුනොත්..පංතියේ ගුරුවරයා හෝ දෙමව්පියන් දඬුවම් කලොත් ඒවා ගැන විශාල ලෙසින් පසුතැවීමට පත් වෙනවා. සමහර විට සිය දිවි හානි කර ගැනීම, පංතිය පාසල එපා වීම වැනි දරුණු තීන්දු තීරණ ගැනීමට පවා යොමු වෙනවා. ඒ සියල්ලටම හේතුව නිවරැදි ලෙසින් තීරණ ගැනීමට තරම් ඔවුන්ගේ මොළය සංවර්ධනය වී නැහැ. ඒ නිසා දරුව්නගේ ඉක්මන් තීරණ ගැන අනේ…මේච්චර මෝඩ ළමයි කියල හිතුවත් ඔබ හිතන විදිහට සාධාරණ තීන්දු තීරණ ගැනීමට තරම් ඔවුන්ගේ මොළයේ ඉදිරිපස කොටස සංවර්ධනය වී නැහැ.ප්‍රතිවිපාක හදුනා ගැනීම, නිවරැදි තීරණ ගැනීමට තරම් ඔවුන්ගේ මොලයේ ලලාට කන්ඩිකාව වර්ධනය වී නැති නිසාම ඔවුන්ගේ ආවේග සහ තීන්දු තීරණ බොහොම දරුණු වෙන්න පුළුවනි. අතීතයේ පවා වැඩිහිටියන් තරුණ වයසේ දරුවන්ගේ හැසිරීම්වලදී ‘‘ වයසේ වැරැද්ද….වෙන්නැති ‘‘ කිව්වෙත් මේ නිසාම වෙන්නත් ඇති.
නමුත්…අපට දරුවන්ගේ මොළයේ සංවර්ධනය නිසා මේ විදිහට හැසිරෙනවා කියල නිහඩව ඉන්නත් බැහැ.දරුවන්ට වයස නිසා වරදින්න ඉඩ දිය යුතු නැහැ. නමුත් දරුවන්ගේ ඇතැම් හැසිරීම්වලදි ඔබ දරුවන් සමග ගැටෙනවා වෙනුවට ඔවුන්ගේ චිත්තවේග බෙදා හදා ගත හැකි චරිතයක් බවට පත් වෙන්න.එවිට දරුවාට තමන්ගේ චිත්තවේග සුරැකියාව වෙනුවෙන් ඇති ශක්තිය නිසා ඔබ සමග සමීපව ගැටුම් සහ ගැටලු කළමනාකරණය කර ගනිමින් ජීවිතයට මුහුණ දෙනු ඇති. අපට අවශ්‍ය වෙන්නේද එයයි.