මවක් වීම කාන්තාවකට සැබෑම ආශිර්වාදයක්. දරුවෙකු පිලිසිඳගත් නිමිත්ත දැන ගත් මොහොතේ පටන් පවුලේ සෑම දෙනාගේම අවදානය යොමු වෙන්නේ අම්මා වගේම දරුවාගේ ජීවිතය ගැන සුරක්ෂිතතාවය ගොඩ නැගීමයි.නමුත්…දරුවෙකු ගැබ් ගැනීමත් සමග ඇති අවදානම් සාධක ගැනත් දැනගෙන සිටීම ඉතාම වැදගත්.
ගැබ් ගැනීමේ වයස
ප්‍රථම මල්වර වීමේ පටන් දැරියක් ගැබ් ගැනීමට ජීව විද්‍යාත්මකව සුදුසුකම් ලැබුවත් අඩු වයසේ දැරියන් දරු ප්‍රසුතිය සඳහා කායිකව සුදුසුකම් ලැබුවත් දරුවෙක් හදා වඩා ගැනීම වෙනුවෙන් වූ මානසික හැකියාව තුළ යම් පසුගාමිත්වයක් තිබේ. සම වයස් දැරියන් තවමත් විනෝදයෙන් සිටීම, සමාජයෙන් ඇති වෙන පීඩනය සහ අත්දැකිම් නොමැති කම නිසා බාල වයසේ මවක් වීම අනුමත කරන සිදු වීමක් නොවේ. බාල වයසේ මව්වරුන් දරු ප්‍රසුතියේදී විවිධ අවදානම් වලට ලක් වේ.
බාල වයසේ මව්වරු- Teenage pregnancy outcomes
- අඩු බර සහිත දරු උපත්
- ගර්භණීත්වයට අදාල සති ගණන සම්පූර්ණ වීමට පෙරාතුව සිදු වෙන දරු උපත් preterm delivery ලෙසින් සැලකේ.
- රක්ත හීනතාවය
- අධි රුධිර පීඩනය Gastational hypertension ඇති වේ.
- අධි රුධිර පීඩනය සමග මුත්රා සමග ප්රෝටීන පිටවීමේ eclampsia සංකුලතාවයන්
වයස අවුරුදු 40 ඉක්ම වූ කාන්තාවක් ගැබ් ගැනීමේදී ඇති වෙන සංකුලතාවයන් . Advanced maternal age
ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය කාන්තාවකගේ වෙනස්වීම් සිදු වෙන ලෙසින්ම වයස අවුරුදු 40 ක් පසුව කාන්තාවකගේ ඩිම්බවල සාරවත්බව ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගනී. මදසරුභාවය සහ වර්ණදේහ විකෘතිතා සහිත දරුවන් උදාහරණ ලෙස Down”s syndrome බිහි වීමේ අවදානමක් ඇත. ඒ වගේම අඩු බර දරු උපත් ගබ්සා විම්, පසු ප්‍රසව රුධිරවහනය , මාතෘ මරණ වගේම දරුවා වැඩිහිටි වීමට පෙරාතුව මවගේ ස්වභාවික මරණය ( වයස්ගත වීම ) සිදු වීම.
ගර්භණී අධි රුධිර පීඩනය- Gestational hypertension
ගර්භණීත්වයෙන් සති 20 කට පමණ පසුව අධි රුධිර පීඩනය ඇති වෙනවා. ගර්භණී අවස්ථාවේදී රුධිර පීඩනය ඇති වීම සාමාන්‍ය දෙයක් වුනත් එයින් කලලයට ඇති වෙන බලපෑම ගැනත් අවධානයෙන් සිටීම වැදගත්. නිදන්ගත අධි රුධිර පීඩනය ගර්භණීත්වයට පෙර හා පසුව තිබෙන තත්වයක් වුනත් අධි රුධිර පීඩනය නිසා ගර්භණී මව විවිධ සංකුලතාවයන්ට පත් වෙන්න පුලුවනි.
- දරුවාගේ වර්ධනය අඩාල වීම. ( IUGR ) (Intrauterine growth restriction සහ සති ගණන සම්පූර්ණ වීමට පෙරාතුව දරුවන් බිහි කිරීමට සිදු වීම. (preterm delivery)
- වැදෑමහ ගැලවී යෑම (placental abruption)
- caesarean සැත්කම් මගින් දරුවා බිහි කිරීමට සිදු වීම.
- මල දරු උපත්
- මාතෘ මරණ
රෝග ලක්ෂණ
- රුධිර පීඩනය වැඩි වීම
- ඉදිමුම
- ශරීර බර ඉතා ඉක්මනින් වැඩි වීම.
- ඔක්කාරය සහ වමනය
- දිගටම පවතින හිසරදය
අධි රුධිර පීඩනය නිසා අවදානම වැඩි වීමට බලපාන හේතු
- අවුරුදු 20 ට අඩු සහ වයස අවුරුදු 40 ට වැඩි මව්වවරු
- වකුගඩු රෝග
- නිදන්ගත අධිරුධිර පීඩනය
- ත්රොම්බොෆීලියා තත්වය ( Thrombophilia )
- නිවුන් දරු පිළිසිඳ ගැනීම
- වැදෑ මහ විකෘතිතා
- mවුලේ රෝග ඉතිහාසය
රෝග විනිශ්චය කර ගන්නේ කෙසේද…?
- අවස්ථා දෙකකදී රුධිර පීඩනයේ අගය 140/90 mmHg අගයට වඩා වැඩි වීම.
- මීට අමතරව මුත්රා සමග ප්රෝටීන පිටවීම– මෙය pre eclampsia රෝග තත්වය ලෙසින් සැලකෙනවා.
HELLP syndrome – (hemolysis, elevated liver enzymes, and low platelets)
අක්මා එන්සයිම වැඩි වීම. රුධිර පට්ටිකා අඩු වීම. රතු සෛල කැඩී ඇති වෙන රක්ත හීනතාවය යන ලක්ෂණ සියල්ල එකට ගත් විට HELLP syndrome ලෙස හැදින්වෙනවා . මෙය අවදානම් සහිත තත්වයක්.
අධි රුධිර පීඩනය නිසා නිසා මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සමග fit හෙවත් වලිප්පුව රෝග තත්වය eclampsia ඇති වෙන්න පුලුවනි. මෙයද අධි අවදානම් තත්වයක්.
ප්‍රතිකාර
- කලලයට හානි නොවන අන්දමේ රුධිර පීඩනය අඩු කරන ඖෂධ ලබා දීම.
- දරුවාට අවදානමක් ඇති අවස්ථාවලදී දරු ප්රසුතියට පෙරාතුව සිසේරියන් සැතaකමකින් ( caesarean ) දරුවා ලබා ගැනීම.
රුධිරගත සීනි මටට්ම ඉහළ යෑම
කාන්තාවක් ගර්භණීත්වයට පත් වීමෙන් පසුව ඒ කාලසීමාව තුළ රුධිරයේ අඩංගු ග්ලුකෙසේ මට්ටම තාවකාලික ලෙසින් ඉහළ යෑම (Gestational Diabetes Mellitus) ලෙසින් හැඳින්වෙනවා.මේ තත්වය වැඩිහිටි වයසේ වැලඳෙන දියවැඩියාවට වඩා වෙනස්. ඊට හේතුව වන්නේ මේ දියවැඩියා රෝග තත්වය දරු ප්‍රසුතියෙන් පසුව නැවතත් සාමාන්‍ය තත්වයටප පත් වීමට ඉඩ තිබෙනවා. මෙය ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවය හෝ ඉන්සියුලින් ස්‍රාවය අඩු වීම නිසා ඇති විය හැක.
ගර්භණි සමයේ දියවැඩියාව ඇති වීමට අවදානම් මව්වරු
- ගර්භණී මවගේ ස්ථුලතාවය හෙවත් ශරීරයේ බර වැඩි වීම.
- පෙර ගර්භණීත්වයේදී දියවැඩියා තත්වයට පත් වීම.
- ජාන සම්බන්ධතාවය
- පොලිසිස්ටික් ඩිම්බකෝෂ –PCOS
රෝගය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ
ඔබ දියවැඩියා තත්වයට පත්ව සිටිනවාදැයි තහවුරු කර ගැනීමට සිදු කරන වෛද්‍ය පරීක්ෂණ කීපයක් තිබෙනවා.
- සති 24 සිට 28 අතර කාලයේදී සිදු කරන oral Glucose tolerant test (OGTT) පරීක්ෂණය. මේ සඳහා මව පැය දහයක කාලයක් නිරාහාරව සිට Fasting blood sugar අගය ලබා ගනී. ඉන්පසු ජලය මිලිලීටර් 300 ක දියකර ගත් ග්ලූකෝස් ග්‍රෑම් 180 ක් පානයට ලබා දී පැයකින් සහ පැය බාගයකින් පසුව නැවතත් රුධිර පරීක්ෂාවකින් රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය මැන බැලීම සිදු වේ. එහිදි ලැබිය යුතු අගයන් මෙසේය.
මෙම පරීක්ෂනයේ සාමාන්‍ය අගයන්
- නිරාහාර රුධිර පරීක්ෂාව (Fasting blood sugar ) 100 ට අඩු <100 mg/dL
- පළමු පැය -170 ට අඩු <100 mg/dL
- පළමු පැය -140 ට අඩු <100 mg/dL
ගැබි ගෙන සති 12 කින් පසුව සිදු කරන PPBS රුධිර පරීක්ෂණය.ප්‍රධාන ආහාර වේලකින් පැය දෙකකට පමණ පසුව සිදු කරන පරීක්ෂනය
Gestational Diabetes ප්‍රතිකාර
මෙය ග්ලුකෝස් මට්ටම අනුව තීරණය වේ. ග්ලුකෝස් මටට්ම යන්තමින් වැඩි වී ඇති අයට සරල ව්‍යයාම සහ ආාහර පාලනය මගින් රෝගය පාලනය කෙරේ.ඉහත ක්‍රම මගින් පාලනය කළ නොහැකි මව්වරුන්ට ඖෂධ භාවිතා කෙරේ.මෙහිදී ‘‘ මෙට්ෆෝමින් ‘‘ ඖෂධය භාවිතා කෙරේ. පෙති මගිනුත් පාලනය කළ නොහැකි මට්ටමේ මව්වරු සඳහා ඉන්සියුලින් නික්ෂේපනය භාවිතා කෙරේ. රෝගය පාලනය වී ඇත්දැයි මසකට හෝ ඇතැම් විට සති දෙකකට වරක් ආහාරයට පැය දෙකට පසු රුධිර පරීක්ෂා ( blood sugar series ) වක් මගින් තහවරු කර ගත හැක.
ප්‍රසුතියෙන් සති හයකට පසුද blood sugar series කළ යුතුය.
ගර්භණීත්වය සමග ඇති වෙන දියවැඩියාව නිසා ඇති වෙන සංකුලතාවයන්
ගර්භණී කාලයේදී දියවැඩියාව ඇති සෑම මවක්ම සංකුලතාවයන්ට මුහුණ දෙන්නේ නැත. නිසි උපදෙස් අනුව කටයුතු කිරීමෙන් ඉතා නිරෝගි දරුවන් බිහි කරන දියවැඩියා රෝග තත්වයට පත් මව්වරුන් සිටිති.නමුත් ඇති විය හැකි අවදානම් අවස්ථා කීපයක්ද තිබෙනවා.
- දරුවාගේ බර වැඩිවීම නිසා සිසේරියන් සැත්කමක් හෝ අඬු භාවිතය.
- නියමිත කාලයට පෙරාතුව බිහිවීම. .(preterm delivery )
- මල දරු උපත් ඇති වීමේ අවදානම
- නව ජන්ම ශ්වසන අපහසුතාවය (respiratory distress syndrome)
- නව ජන්මයාගේ රුධිර ග්ලුකෝස් මටට්ම ඉතා පහළට යෑම (hypoglycaemia )
- මවට නිදන්ගත දියවැඩියාව ඇති වීමේ හැකියාව ( type 2 diabetes )
- විකෘති දරු උපත් (birth defects )
කල් ඉක්මවූ දරු උපත් සිදු වීම.
ගර්භණිත්වය ඔබේ අවසාන ඔසප් වූ දිනයේ පටන් දින 280 ක කාලයකදී සිදු විය යුතුය. අදාල දිනට වඩා වැඩි කාලයකදී දරු උපත සිදු නොවුනේ නම් එය කල් ඉක්ම වූ දරු උපතක් ලෙස සැලකේ. මෙහිදී දරුවාගේ චලනය වීමේ ක්‍රියාවලිය සහ හෘද ස්පන්ධනය පිලිබඳව නිරතුරුව පරීක්ෂා කිරිම සිදු වේ.
දරුවා තට්ටමෙන් සිටීම
ගර්භණී සමය අවසාන වෙන විට දරුවා සිටින්නේ පාද ප්‍රමුඛව තම සිරුර පහලට සිටින සේ නම් එය තට්ටමෙන් පිහිටීම breech position ලෙස හැඳින්වේ. මෙහිදී වෛද්‍යවරුන් විසින් දරුවාගේ හිස පහලට සිටින සේ (External cephalic version-ECV) සුදානම් කිරීම සිදු වේ.මේ ක්‍රියාවලිය නිසා සාමාන්‍ය දරු උපතක් වෙනුවෙන් සූදානම් කිරීමට හැකි වුනත් එය සාර්ථක නොවුනහොත් වෛද්‍යවරයා විසින් Vaginal breech birth හෝ සිසේරියන් සැත්කම වෙනුවෙන් තීරණයක් ගනු ලැබේ.
මේ අනුව බලන විට මවක් වීම කාන්තාවකට ආශිර්වාදයක් වුනත් දරුවෙකු පිලිසිඳ ගැනීමේ නිමිත්තේ පටන් දරුවා මොලොව එළිය දකින තෙක් ඇය ගෙවන්නා වූ අවදානම් සහිත කාලපරිච්චේදයේ සංකුලතාවයන් ගැනත් දැණුවත්ව සිටීම අනාගතයේ මවක් වීමට පෙරුම් පුරන සෑම කාන්තාවකට ඉතා වැදගත් වෙනවා.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිළධාරී තරංග හේරත්
(ප්‍රසව හා නාරි )
කෑගල්ල මහ රෝහල