- Advertisement -

මන්ද පෝෂණය වළක්වා දරුවන් නිරෝගී කිරීමට ඔබත් මේ ගැන දැනුවත් වෙන්න

-

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රතිකාර හා නිවාරණ යන දෙඅංශයෙන් යුක්තයි. මින් ප්‍රතිකාර අංශය මඟින් රෝගී වූවන් සඳහා සත්කාර සේවාව, රැකබලා ගැනීම, ප්‍රතිකාර කිරීම ද නිවාරණ අංශය වූ කලී නිරෝගී ප්‍රජාව රෝග වලින් වළක්වාලීමට අවශ්‍ය පසුබිම සකසමින් සෞඛ්‍ය පද්ධතිය නංවාලීමට අවශ්‍ය පියවර ගනී. මින් ප්‍රතිකාර සේවය ආරෝග්‍යශාලා හා බෙහෙත් ශාලා ආදියෙන් ද නිවාරණ සේවය රැඳී පවතිනුයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සිදු කෙරෙන කාර්යයන් මතයි. තිඹිරි ගෙයින් පටන් ගෙන ජීවිතයේ සියළු අවධීන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් වයසට සරිලන සේ ගුණාත්මකව ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනු ලබන්නේ එතැනිනි. 

අළුත උපන් දරුවාගේ උපත් බර, උපත් බරට අනුව වැඩිවීම සම්බන්ධව සොයා බැලීමත්, පළමු මාස 6 මව්කිරි පමණක් ලබාදී ප්‍රශස්ත වර්ධනය ලබාගැනීමටත් මාස 6 න් පසු අමතර ආහාර, නියමිත හා සුදුසු පරිදි ගුණාත්මක ආහාර වේලක් ලබාදීම සඳහා මව්වරු දැනුවත් කිරීම, ප්‍රායෝගික සැසි පැවැත්වීම මෙන්ම නිවසේදී මව විසින් පෝෂණය සම්බන්ධව දක්වන උනන්දුව සොයා බැලීමටත් අඩුපාඩු නිවැරදි කරගැනීමටත් උදව් කිරීම තුලින් දරුවාගේ මනා පෝෂණය පවත්වා ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩය මගින් සහය වනු ඇත.  

- Advertisement -

වර්ධනයට බලපෑම් එල්ල කරන බෝවන රෝග වලින් ආරක්‍ෂාව සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමටත් මව්වරු දැනුවත් කර සායන වෙතට ගෙන්වා ගන්නේ පෝෂණය නිසි පරිදි පවත්වා දරුවාගේ වර්ධනය මෙන්ම සංවර්ධනයද ඇති කිරීමටයි. 

දරුවාගේ වයසත් සමඟ ලබාදිය හැකි ආහාර ලබාදිය යුතු ප්‍රමාණය, ආහාර වේල් ගණන, ආහාරයේ ගුණාත්මකබව මෙන්ම ප්‍රතිචාරාත්මකව ආහාර ලබාදීමේ වැදගත්කම පිළිබඳව මාපිය සැසි මඟින් ප්‍රායෝගික සැසි මෙන්ම ප්‍රදර්ශනාත්මකව සිදු කරන ක්‍රියාකාරකම් මඟින්ද දෙමාපියනට ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබනවා. 

ළදරුවෙකු පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියක සිදු කරන සෑම ගෘහ පිවිසීමකදීම දරුවාගේ පෝෂණය පිළිබඳ මූලිකව විමසීම් සිදු කරන හෙයින් මව්වරුනට තම නිවසේදීම පෝෂණය පිළිබඳව දැනුම ලබාගැනීමට අවස්ථාව සැලසේ. උපතේ පටන් මුල් අවුරුදු පහ සපිරෙන තෙක් දරුවකුගේ සංවර්ධන ක්‍රියාවලි විමසිලිමත් ලෙසින් තක්සේරු කිරීම සඳහා මුල් වසර දෙක සපිරෙන තෙක් මාසයකට වතාවක් බර කිරා බැලීමටත් මාස 4, 9, 12, 18 දී දරුවාගේ දිග බැලිමටත් දිගට සරිලන උස පිළිබඳව සොයා බැලීම මඟින් පෝෂණය පිළිබඳව තක්සේරු කිරීමට හැකි වෙනවා. අවුරුදු 2 න් පසු වර්ධනය දුර්වලාතවයක් හෝ අඩාල වීමක් දක්වන හෝ අඩු බර, අඩු බරට අවධානමක් ඇති දරුවන් මසකට වරක් බරකිරා බැලීම මඟින් මන්ද පෝෂණයට ගොදුරු වීමට ඇති ඉඩකඩ අහුරා තැබීමට උත්සහ කරනවා. එසේ බර වැඩිවීම සාමාන්‍ය පරිදි සිදුවන දරුව් පවා මුල් වසර 2 න් පසුව මාස 3 කට වරක් බර කිරා ඔවුන්ගේ වර්ධන රේඛාව ගමන් ගන්නා අන්දම අනුව පෝෂණය පිළිබඳව තක්සේරු කිරීමක් කරනු ලබනවා. වර්ධනයේ දුර්වලතා දක්වන අය සඳහා ඔවුනගේ දිනයක එනම් (පසුගිය පැය 24) තුල දරුවාගේ ආහාර වේල් පිළිබඳ සොයා බැලීම තුලින් වර්ධනයට අහිතකර බලපෑම් එල්ල වන අවස්ථා හෝ අන්දම සොයා බැලීමට මහන්සි ගන්නවා. ඒ මඟින් ලැබෙන ආහාර වේල් ගණන, වේලකදී ලබන ආහාර ප්‍රමාණය, ආහාරයේ ගුණතේමකභාවය, ආහාර වේල් අතර පරතරය ආදී ලෙසින් විමසා පෝෂණයට බලපෑම් එල්ලවන අයුරු තේරුම් ගැනීමට උත්සහ ගැනීම තුලින් ඒවාට මැදිහත් වීම් සිදු කිරීමටත් එම මැදිහත් වීම් අසාර්ථක නම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමාට (පෝෂණ සායනයට) යොමු කිරීමටත් එම පෝෂණ උපදෙස් හා වෙනත් ගැටළුවක් ඇතැයි සිතෙන සෑම අවස්ථාවකම ළමා රෝග විශේෂඥවරයෙකු වෙත යොමු කිරීමටත් පියවර ගන්නවා. 

ඉන්පසු විශේෂඥ උපදෙස් අනුව දරුවා පිළිබඳ පසු විපරම් කිරීමටත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලීය ක්‍ෂෙත්‍ර කාර්ය මණ්ඩලය මඟින් සිදු කරනු ලබනවා. 

ආහාර පමණක් නොවී මන්ද පෝෂණයට බලපෑම් කල හැකි සමාජ වටපිටාවක නිවසේ වටපිටාව පිළිබඳව හෝ සංස්කෘතික බලපෑම් පවා විමසා බැලීමටත් ඒ අනුව පෝෂණය වැඩි දියුණු කිරීමට කල හැකි මැදිහත් වීම් සිදු කිරීමටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටිනවා. 

පෙර පාසල් සමයේදී පෙර පාසල් ගුරුවරියන් දෙමාපියන් දැනුවත් කිරීම් හා පෝෂණ වැඩසටහන් මඟින් දරුවන්ගේ පෝෂණ තත්ත්වය නඟා සිටුවීමට කටයුතු කරනු ලබනවා. 

වයස අවුරුදු 5 සපිරුණු පසු පාසලට ඇතුලත් වූ දරුවන් පිළිබඳව පාසල් සෞඛ්‍ය වැඩ සටහන් වලට සමගාමීව සොය බැලීමත් ඔවුන්ගේ පෝෂණ තත්ත්වය සඳහා උස බර, උසට සරිලන බර බැලීමත් අවශ්‍ය පරිදි වෛද්‍ය පරීක්‍ෂණයන්ට ලක් කිරීමටත් දරුවන්ගේ රෝගී ත්ත්තව හඳුනා ප්‍රතිකාර ලබාදීම හෝ විශේෂඥ වෛද්‍ය උපදෙස් සඳහා යොමු කිරීමටත් එම වෛද්‍ය උපදෙස් වලින් පසු පසු විපරම් කිරීමත් කරනු ලබනවා. 

යොවුන් දරුවන් සඳහාද යෞවන සමාජ, ළමා සමාජ හෝ මව් හවුල් හරහා වැජසටහන් ක්‍රියාත්මක කරන අතරම එම වැඩසටහන් මඟින් දරුවන්ගේ ජීවන නිපුණතා ශක්තිමත් කිරීමටත් ඒ හරහා ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳව තක්සේරු කිරීමටත් අවස්ථාව උදා කරගනු ලබනවා. 

තරුණවිය ස`මග යුග දිවියට එළඹෙන පවුල් හඳුනා ගැනීමත් ඔවුන් සඳහා ලබාදෙන නව දිවි සුව සත්කාර සේවාව මඟින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කිරීමටත් ඔවුන්ගේ දරුවන් සඳහා ජානගත හෝ පෝෂණ ඌනතා/වැරදි ආහාර රටා හෝ ඩ්වන පුරුදු හෝ මඟින් සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කිරීමටත් ඒ මඟින් ශරීරයේ පවත්වා ගත යුතු උසට සරිලන බර, ලේ වල හිමොග්ලොබින් ප්‍රමාණය, ලේ වර්ගය, රුධි පීඩනය, හෘදය/ශ්වසන සම්බන්ධ රෝග තත්ත්ව ආදී ලෙසින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමටත් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමටත් හඳුනාගන්නා සෞඛ්‍ය ගැටළු නිරාකරණය කරගෙන දරුවකු ලැබීමට අවශ්‍ය සැලැස්මක් සකස් කරගැනීමට මඟපෙන්වීම සිදු කරනු ලබනවා. 

එසේම ගර්භනී වූ සෑම කාන්තාවක්ම ගර්භනී බව දැනගත් විගස ලියාපංදිංචිය සිදුකර ගර්භනී වන විට ඇති සෞඛ්‍ය තත්ත්වයන් ගර්භනීභාවය පවත්වා ගෙන යාමේදී ඇතිවන සෞඛ්‍ය ගැටළු අවම කිරීමට උපදෙස් ලබාදෙමින් හොඳ බරක් සහිත දරුවකුට උපත ලබාදීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් සිදු කරනු ලබනවා. පූර්ව ප්‍රසව සායනය මඟින් වෛද්‍ය පරීක්‍ෂණය සිදු කරනු ලබන අතරම මාපිය සම්මන්ත්‍රණ, පූර්ව ප්‍රසව සැසි මෙන්ම සායන වලදී ලබාදෙන සෞඛ්‍ය අධ්‍යාපනය මඟින් නියමිත බරක් සහිතව නිරෝගී දරුවකු ලබාගැනීමට මව්වරුනට මඟපෙන්වනවා. හඳුනාගන්නා සෑම සෞඛ්‍ය ගැටළුවකටම මැදිහත් වීම් සිදු කරමින් විශේෂඥ වෛද්‍ය උපදෙස් සඳහා යොමු කරමින් මේ සියළු කටයුතු සිදු කරනු ලබන අතර හැකි සෑම අවස්ථාවකදීම මව්වරුන් සඳහා පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද සිදු කරනු ලබනවා. එයින් නොනැවතී නිවසට ගොස් නිවසේදීද පරීක්‍ෂා කරමින් අවශ්‍ය උපදෙස් ලබාදෙමින් මවගේ පෝෂණයත් දරුවාගේ පෝෂණයත් සම්බන්ධව අවශ්‍ය මැදිහත් වීම් සිදු කරනු ලබනවා. 

ප්‍රසුතිය සඳහා මව සූදානම් කිරීමත් ප්‍රසූතියෙන් පසු මවගේ පෝෂණය හා අළුත උපන් දරුවාගේ පෝෂණය පිළිබඳවත් සොයා බලනවා. මේ මඟින් මවගෙන් දරුවාටත් එම දරුවා ගැහැණු දරුවකු නම් නැවත මවක වන දිනයේ ඇයගේ දරුවාටත් යා හැකි මන්ද පෝෂණය වළක්වා ගැනීමට හැකි වන සේ මෙය චක්‍රයක් ලෙසින් සලකා සෑම විටම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. 

එමෙන්ම මීට අමතරව ආහාර සෞඛ්‍ය පිළිබඳව විශේෂ මැදිහත් වීම් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සිදු කරනු ලබන අතර ආහාර දූෂණය වීම්, ප්‍රමිතිය ආදී ලෙසින් වූ ආහාර සෞඛ්‍ය පිළිබඳ වගකීමද සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත පැවරී තිබෙනවා. එමෙන්ම ආහාර හෝ ජලය පිළිබඳව මෙන්ම සනීපාරක්‍ෂාව පිළිබඳව වූත් පරිසර සෞඛ්‍යයත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකරුවන්ගේ අධීක්‍ෂණයට ලක්වෙනවා. මේ මඟින් ආහාර හෝ ජලය මඟින් බෝවෙන රෝග පාලනයට මෙන්ම රෝගී වීමට හේතු විය හැකි සෑම බෝවන රෝගයක්ම පාලනය පිළිබඳව වගකීම ඔවුන් දරණ අතරම ඒ පිළිබඳ අණ පනත් වලට අනුව කටයුතු කරමින් පරීක්‍ෂා කිරීම්, උපදෙස් දීම්, තහනම් කිරීම් මෙන්ම නඩු පැවරීම් වැනි ක්‍රියාමාර්ග මඟින් ප්‍රජාවේ සෞඛ්‍ය නංවාලීමට ඔවුන් විසින් කටයුතු කරනු ලබනවා. 

පාසැල් දන්ත චිකිත්සක මහත්මීන් විසින්ද පෙර පාසල් දරුවාගේ සිට පාසැල් යන දරුවන් සඳහාද දන්ත සෞඛ්‍ය, දන්ත සෞඛඨ පෝෂණයට දක්වන දායකත්වය පිළිබඳව දැනුවත් කිරීම් සිදු කරන අතරම දරුවන්ගේ දත් පරීක්‍ෂා කිරීම්, අවශ්‍ය පරිදි දත් කුහර වේ නම් ඒවා පිරවීම හෝ අවශ්‍ය නම් ගලවා ඉවත් කිරීම මඟින් ආහාර ගැනීමට ඇති හැකියාව ඇති කිරීමටත් ආහාර විකීම මඟින් ජීර්ණය පහසු කිරීමට ඇති හැකියාව ඇති කිරීමටත් උදව් කරනු ලබනවා. 

මෙසේ හෙයින් අළුත උපන් දරුවා ගෙන් ටන් ගෙන ජීවන චක්‍රයේ සියළු අවස්ථා වල සෞඛ්‍ය ප්‍රශස්ත නංවාලමින් මන්ද පෝෂණය වළක්වා නිරෝගී ජාතියක් බිහි කිරීමට හැකි උපරිම ලෙසින් දායක වීම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලීය කාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ලබනවා. මෙසේ සෞඛ්‍ය යහපත් මට්ටමකට ලඟා කරගැනීමට මෙම මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඉටු කරන සේවා මෙතෙකැයි කිව නොහැකියි. ඔවුන්ගේ එම සේවාව නිසා අද අපි දියුණු, සෞඛ්‍ය දර්ශක කරා ලඟා වී එනම් මාතෘ මරණ අනුපාතය අඩු, ළදරු මරණ අනුපාතය අඩු, ළමා මරණ අනුපාතය අඩු හා ආයු අපේක්‍ෂාව වැඩි ජනතාවක් බවට පත් වී ඇති බව කිව මනායි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article