- Advertisement -

දරුවන් විද්‍යුත් තිරයට ඇබ්බැහි වීම ගැටලුවක්…

-

අද වෙද්දී විද්‍යුත් තිරය කියන්නේ පුංචි පැටියෙක්ට වුණත් අලුත් දෙයක් නෙවෙයි. මොකද එයින් ලැබෙන ප්‍රයෝජන බොහොමයක් තිබෙනවා. පුංචිම දරුවෙක් ගත්තත් එයා නිදකරවන්න සින්දු දාන්න, කෑම කවාගන්න, දඟ වැඩ නතර කරන්න අම්මලා විද්‍යුත් තිරය ප්‍රයෝජනයට ගන්නවා. වැඩිමහල් දරුවන් ගත්තොත් ඒ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දරුවාට විද්‍යුත් තිරය ලබා දීමට මව්පියන්ට සිදුව තිබෙනවා. මේ සියල්ල අපි කාට අත්‍යවශ්‍ය වුණත් මේ විදයුත් තිරය නිසා ඇතැම් දෙමාපියන් වගේම දරුවෝ ද අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ සීමා මායිම් ගැන නොදන්න නිසා විය හැකියි. එසේ මව්පියන්ට ඇති වුණු ගැටලු කිහිපයක් ගැන මේ ලිපියෙන් සාකච්ඡා කිරීමෙට බලා පොරොත්තු වන්නේ එය ඔබට අද වූවා සේම හෙට මටත් ඉන් ඉදිරියට තවත් අයෙකුටත් මුහුණ දිය හැකි තත්ත්වයක් බැවිනි. 

වෛද්‍යතුමනි, මගේ දරුවාට අවුරුදු පහක්. පෙර පාැසල් වයසේ පිරිමි දරුවෙක්. මට තේරෙන විදියට එයා  දුරකථනයට ඇබ්බැහි වී සිටිනවා. දුරකථනය නොදුන්නොත් කෑම පවා ප්‍රතික්ෂේන පරන තත්ත්වයකට දරුවා පත්ව සිටිනවා. අපි ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද?

- Advertisement -

මූලිකවම පැවසිය යුතු දේ තමයි මෙය මානසික ගැටලුවක් නොවන බව. මේ තත්ත්වය වසඳාගනෑමට හැකි තත්ත්වයක්.

ඔබ, ඔබේ දරුවා තුළින් මෙන්න මේ ලක්ෂණ දකිනවාද?

  • එක් කාර්යයක විනාඩි දහයක්වත් නොසි‍ට එය අඩක් අවසන් කර ඊළඟ කාර්යයට යොමු වීම 
  • අවදානම් ශීලි වැඩ කිරීම (පුටුවක නැගලා ඊළඟ පුටුවට උඩින් පැනීම වැනි)
  • චිත්‍රයක් පාට කිරීමේදී ඉරි ඇතුලේ පාට කිරීමට ඉවසීමක් නැති නිසා කුරුටු ගෑම, හදිසි ගතිය

මෙන්ම මේ විදියට ඔබේ දරුවාට ඉවසීම අඩු, අවධානය අඩු, ආවේගශීලී බව, හදිසිය ඇත්නම් එය අඩු අවධානය කියන තත්ත්වය නිසා විය හැකියි. මේ තත්ත්වය සියලුම දරුවන්ගෙන් 7%වගේම සියලුම පිරිමි දරුවන්ගෙන් 10.5% පමණ තිබෙනවා. එහෙම තත්ත්වයක් ඔබේ දරුවා පෙන්නුම් කරනවා නම් ඒ සඳහා විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රමයක් ලබාගැනීමට සිදු වෙනවා. එවිට ඒ හේතුව නිරාකරණය වීමේදී වෙනි කරුණු සියල්ල නිවැරදි කරගත හැකියි. 

එහෙමත් නැතිනම් දරුවාට නිවසේ පරිසරය හා සම්බන්ධ ගැටලුවක් තිබිය හැකියි. මව්පියන් රැකියාවට යන නිසා දහවල් කාලයේ දරුවාට ලැබෙන අවධානය, අධීක්ෂණය අවම වීම නිසා විය හැකියි. දරුවාට කාලය ගත කිරීමට කැම්මැලි කම නිසා දරුවා එයට විසදුමක් ලෙස විද්‍යුත් තිරයට යොමු විය හැකියි. ඒ නිසා දහවල් කාලය තුළ දරුවාට ඒ වෙනුවෙන් ලබාදිය හැකි ආදේශක ලබා දෙන්න. 

  • ගුරුතුමියක් වෙත යවා යමක් උගන්වන්න
  • පෙර පාසලේ/දිවා සුරැකුම් මධ්‍යස්ථානයේදී යම් යම් ක්‍රියාකාරකම් වෙත යොමු කරන්න
  • ක්ලේ වැනි දේවලින් යම් යම් දේ නිර්මාණය කිරීමට ඉඩ සලසන්න

දරුවාගේ වයස අනුව මේ තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් කළ හැකි තත්ත්වයක් නිසා අදාල ක්‍රියාකාරකම් ඉක්මනින් අරඹන්න. යම් හෙයකින් එය එසේ කළ නොහැකි බව මව්පියන් වන ඔබට සිතෙනවා නම් ළමා සහ යොවුන් මනස පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පතන්න.

වෛද්‍යතුමනි, අපි දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සියලු දේ ලබාදීලා අපේ වගකීම් හරියටම ඉටුකළත් අපේ දරුවෝ අපව වටහා නොගන්නවාද කියලත් හිතෙනවා. දරුවෝ අනවශ්‍ය ලෙස රූපවාහිනියට යොමු වෙලා.  වැඩිහිටි කතා බලනවා. ඇයි අපේ දරුවෝ මෙහෙම වෙන්නේ? 

ඔව්.. අපි කවුරු වුණත් ඕනෑම වයසකදී යම්කිසි තීරණයක් ගන්න කොට අපේ මොළයේ වැඩ කරන පද්ධති දෙකක් තියෙනවා. ඉන් එකක් පූර්ව මස්තිෂ්කය ආශ්‍රිත සිතුවිලි මොළය. අනිත් කොටස ලිම්බික් පද්ධතිය නැත්තං හැඟීම් පිළිබඳ මොළය. 

උදාහරණයක් විදියට හිතන්න,

කෙනෙක් ඔබත් එක්ක තරහා වෙලා ඔබට බනිනවා කියලා… එතකොට ඔබ කළ යුත්තේ කුමක්ද කියලා තීරණය කරන්නේ සිතුවිලි මොළය සහ හැඟීම් මොලය යන දෙකම එකතු වෙලා. ඔබේ හැඟීම් මොළය කළ යුතු දේ ඇති වුන තරහව ක්‍රෝධය මත තීරණය කරත්, නෑ බැනලා වැඩක් නෑ… ඔහොම කෙනෙක්ට එයාට සමාව දෙන්න ඕනේ කියලා ඔබේ සිතුවිලි මොළය තීරණය කරනවා. මේ සිතුවිලි මොළයෙන් ලැබෙන ඉවසීම සහ හැඟීම් මොළයෙන් ලැබෙන ආවේග අතර සමතුලිත බව මත අපි අපේ ජීවිතයට අදාල තීරණවලට පෙලඹෙනවා. ඒත් නව යොවුන් වියේදී හැඟීම් මොළය වඩා ප්‍රබලයි. සිතුවිලි මොළය තවම පරණත වී නැහැ. අන්න ඒ නිසා ඒ වයසේ දරුවන් හැඟීම් වැඩිපුර පෙන්වන දේවල් වලට ඉක්මනින් යොමු වෙනවා. අද වෙද්දී ලංකාවේ රූපවාහිනී නාලිකා වල රාත්‍රියට පෙන්වන බොහොමයක් නාට්‍යවල මේ හැඟීම් උද්දීපනය කිරීම වැඩියි. ඒ නිසා මේ හැඟීම් මොලේ ප්‍රබල නව යොවුන් වියේ දරුවෝ ඒවාට යොමු වීමට ඇති ප්‍රවණතාවය වැඩියි. 

සාමාන්‍යයෙන් දරුවෙක්ට ‍ඉගෙන ගන්න බොහෝ දේ මේ ලෝකයේ තියෙනවා. අපේ වගේම වෙනත් රටවල ඉතිහාසය, සත්තු, ගස්වැල් වැනි බොහෝ දේ ගැන දරුවන්ට දැනුවත් විය හැකියි. පොඩි කාලේ සිටම අපි දරුවන්ව ඒවාට හුරු නොකිරීම නිසා නව යොවුන් වියට එළැඹෙන අපේ දරුවෝ හැඟීම් වලට උද්ධීපනය වී ටෙලි නාට්‍ය වැනි දේ නැරඹීමට ඇබ්බැහි වීමට ඇති ප්‍රවණතාවය වැඩියි. එය එතරම් සුදුසු දෙයක් නොවන නිසා දෙමව්පියන් දරුවන් එවැනි දේ වෙත යොමු වීම සීමා කළ යුතුයි. දරුවා එම නාට්‍ය බලනවා නම් ඔබත් දරුවන් සමග වාඩි වී එහි පෙන්වන දෙයෙහි නොපෙනෙන පැත්ත, යාථාර්ථය දරුවා‍ට අවබෝධ කරවන්න. දරුවා එයින් ගලවා ගැනීමට අපහසුම නම් ඒ සඳහා නීති ක්‍රියාත්මක කිරීමත් දෙමාපියන් ලෙස ඔබට කළ හැකියි. දරුවන් තරහ වුණත් හැඬුවත් ඔබ එය කළ යුත් වන්නේ මෙවැනි දෙයට ඇබ්බැහි වීම වළක්වා නොගැනීම තුළින් ඔබට හිමිවන්නේ ආවේගශීලී මෙන්ම අපිළිවෙළ දරුවන් නිසයි. 

වෛද්‍යතුමනි, මගේ පුතාට අවුරුදු 16යි. එයා වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වෙලා. ගුරුවරුන් ලවා පවා උපදෙස් දුන්නා. දැන් ඔහු පාසැලට, පන්තියට පවා යන්න කම්මැලියි. දුරකථනය ගන්න හිතුවත් මට බියක් දැනෙනවා එයා මොනවගේ තීරණයක් ගනීද කියලා. මේක කොහොමද නිරාකරණය කරගන්නේ.

මේ තත්ත්වය දෙමාපියෙක් හැටියට ඔබට ඉතා අසීරු අවස්ථාවක්. මූලිකවම ඔබ පැවසුවා ඔබේ දරුවා කම්මැලි බව. නව යොවුන් විය පූර්ව යොවුන් විය, මැද යොවුන් විය සහ අග යොවුන් විය ලෙස කොටස් තුනකට බෙදෙනවා.  සාමාන්‍යයෙන් මේ විදියට කම්මැලි කම වැඩිපුර ඇති වෙන්නේ අඩු අවධානය (attention deficit disorder) ඇති දරුවන්ට. උදාහරණයක් විදියට නාන්න කිවුවම පස්සෙ නාන්නම්, කෑම කන්න කිවුවම පස්සෙ කන්නම්, තුවාය ගත්ත තැන තියන්න කිවවම මඟ දාලා යනවා වැනි දේවල් සිදු වෙන්නේ අඩු අවධානය ඇති දරුවන් අතින්. අපි පෙර ලිපි වල සඳහන් කළා අඩු අවධානය ඇති දරුවන් විද්‍යුත් තිරවලට ඇබ්බැහි වීමට ඇති ප්‍රවණතාවය වැඩි බව‍. මොකද ඔවුන්ට අවධානය පත්වා ගැනීමට හැකි කාලසීමාව අවමයි. 

ඔබේ දරුවාට,

  1. අඩු අවධාන තත්ත්වයට ප්‍රතිකාර කරන්න – අඩු අවධානය ඇති වෙන්නේ ජීව විද්‍යාත්මකව මොළයේ ඇති වන වෙනස්කම් නිසා බැවින් එය කතා කොට විසිදිය නොහැකි වන අතරම අදාළ ජීව විද්‍යාත්මක ප්‍රතිකාර දරුවාට ලබා දිය යුතුමයි. 
  2. විද්‍යුත් තිරය අයින් කරන්න – දරුවා යථා තත්ත්වයට පත් වූ පසු විද්‍යුත් තිරය ඉවත් කරන්න
  3. වීඩියෝ ක්‍රීඩා සම්පූර්ණයෙන්ම නතර කරන්න – දරුවා සමග සාකච්ඡා කොට ඒ සඳහා පියවර ගන්න.

වෛද්‍යතුමනි, මගේ මිනිපිරිය දුරකථනයෙන් කතන්දර බලන්න යොමු වෙලා තියෙනවා. දරුවට කෑම කවන්න එහෙම ළමා ගීත කතන්දර දාලා දෙනවා. ඒක සුදුසුද?

කිසිසේත්ම එය සුදුසු ක්‍රමයක් නොවේ. ඇතැම් අය හිතනවා දරුවන්ට ගැලපෙන ඒවා විද්‍යුත් තිර ඔස්සේ ඕනෑ තරම් නැඹීම සුදුසුයි කියලා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්‍. අපි පෙර ලිපියකදීත් කතා කළා ආහාර කැනීමේදී විද්‍යුත් තිරයට දරුවෙකු යොමු කළ විට ඇති විය හැකි අවදානම් තත්ත්ව පිළිබඳව. බලන දේ සුදුසු වුවත් යම් යම් වයස් සීමාවලදී දරුවෙකුට විද්‍යුත් තිරය ලබා දීමට සුදුසු කාල සීමාව ලෙස පවසා ඇති කාලයට වඩා වැඩි කාලයක් විද්‍යුත් තිරයට දරුවා නිරාවරණය වීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. එහි අර්ථය දරුවන් සඳහා නිපදවන ලද වැඩසටහනක් වුණත් අනවශ්‍ය ලෙස අධික කාලයක් නැරඹීමෙන් ආවේගශීලී බව, අඩු අවධානය අපිළිවෙළ කියන ලක්ෂණ දරුවෙකුගේ ජීවිතයට එක් විය හැකියි. ඒ වගේම සම්මා සතිය එනම් සිත වර්තමාන මොහොතේ පවත්වා ගැනීම දරුවෙකු හුරු කිරීම ඉතාම වැදගත් වෙනවා. 

වෛද්‍යතුමනි, අද වෙද්දි පාසැල් ආරම්භ කර සාමාන්‍ය දිවිපෙවෙතට අපි ප්‍රවිශ්ඨ වුවත් පසුගිය කාලසීමාවේදී කොවිඩ් අභියෝගයට ප්‍රචණ්ඩකාරී වටපිටාවට දරුවෝ මුහුණ දුන්නා. මෙතැනදී දෙමාපියන්ට ගුරුවරුන්ට දරුවන් හා සම්බන්ධව විශාල වගකිමක් පැවරෙනවා නේද? වගකීමක් තියෙනවා නේද?

අපේ දෙමව්පියෝ අහනවා පන්තියේ තියෙන වැදගත්ම පීරියඩ් එක ගණන් නේද කියලා. නැහැ. පාසැලේ වැදගත්ම කාල පරිච්ඡේදය වන්නේ දරැවන් එක්ව සෙල්ම් කරන කාලයය. ඒ කාලය තුළ කණ්ඩායම් හැඟීම, අනිත් අයට ගෞරව කිරීම, සහකම්පනය, තවත් අයෙක් හඳුනාගැනීම, එකතුවෙලා සාමකාමීව කරුණාවන්තව හැසිරීම වැනි දේ ඉගෙනීමට දරුවාට අවස්ථාව උදා වෙන්නේ. මේ අත්දැකීම් ඔන්ලයින් ක්‍රමයට දරුවන්ට ලබා දිය නොහැකියි. මොන බාධක මධ්‍යයේ වුවත් පාසල පැවැත්වීම වැදගත් වන්නේ ඒ නිසයි. ගමේ පාසලට බොහොමයක් දෙනාට පයින් හෝ ආ හැකි නම් පාසල නැවැත් විය යුතු නැහැ. නගරයේ පාසලට ගොඩක් දෙනා වාහන වල එන නිසා ගැටලු ඇති විය හැකියි. 

ඒ වගේම තමයි ගුරුවරු පාඩම් වැඩ ආරම්භ කිරීමට පෙර කාල පරිච්චේදයේ විනාඩි 40න් විනාඩි පහක්වත් දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් වෙන් කළ යුතුයි. ආහාර පාන නොමැතිව, දෙමාපියන්ගේ රැකියාවන් අහිමිව බොහෝ දුෂ්කරතා මැද හිතේ පීඩනයෙන් පාසැලට පැමිණෙන දරුවන්ට පළමු විනාඩියේ සිටම ඉගෙනීම ආරම්බ කිරීම නුසුදුසුයි. පළවෙනි විනාඩි පහ හෝ යොදාගෙන ඔවුන්ගේ සත් පීඩනයෙන් මුදවන්න ගුරුවරු උත්සාහ කිරීම මෙවැනි දුෂ්කර කාලයකදී ඉතාමත් වටින බව කිව යුතුමය. 

සමහර දරුවන්ට ආර්ථක ගැටලු තියෙනවා වගේම ඒ ගැටලු සඳහා උදව් කළ හැකි තවත් දරුවෙකු පන්තියේ සිටිය හැකියි. එවැනි තත්ත්ව යටතේ ඔවුන් සම්බන්ධ කොට අඩුපහසුකම් ඇති දරුවන්ට පහසුකම් ලබාදීමට ගුරුවරුන්ට කටයුතු කළ හැකියි. 

මේ වන විට දෙමාපියන් ලෙස ඔබත් බොහොමයක් ගැටලුවලට මුහුණ දී සිටිනවා වුවත් දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් දෛනිකව වෙන්කරන කාලසීමාව බාධාවකින් තොරව දරුවා වෙනුවෙන් වෙන්කිරීමට කටයුතු කළ යුතුමය. 

ඔබ තනිතනිව ඔබේ යුතුකම් ඉටුකරන අතරේ රටක් වශයෙන් එහි ප්‍රතිඵලය දිනක අපේ දරුවන්ට හිමිවන බව නිසැකය. එමගින් රටේ හිමිකරුවන් වන අපේ දරුවන්‍ගේ හෙට දිනය සුබ වනු නිසැකය.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 

වෛද්‍ය සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලදී.

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article