- Advertisement -

ප්‍රසූතියෙන් පසු අම්මයි බබයි ගැන තාත්තාගේ වගකීම් මොනවාද?

-

මාතෘත්වයේ කිරුළ දරා ඔබේ බිරිඳ නිවසට කැඳවාගෙන එන ඔබ ද දැන් පිය පදවිය ලබලා. අම්මට වගේම වෙනදට වඩා සතුට, ප්‍රීතිය, වගකීම් සමුදායක් ඔබටත් දැනෙනවා ඇති.  දසමසක් ඔබේ පැටියා කුස දරා සිටි ඔබේ බිරිඳ දුක් වේදනා මැද ඔබේ ශක්තිය මතින් දරු ප්‍රසූතියට මුහුණ දෙමින් ඔබට, ඔබගේ ලෝකයට අරුතක් ගෙන දෙමින් ඔබව පිය පදවියේ කිරුළු පැළඳුවා සේම එතැන් පටන් ඔබ වෙත පැවරෙන වගකීම් ද සුළුපටු නොවේ. අද ඔබ තාත්තා කෙනෙක්. ඔබගේ කැදැල්ල සම්පූර්ණ කරමින් නිවසට පැමිණි පැටියාගේ සුවඳින් මුළු නිවසම සුවඳවත් වෙලා. මේ සූදානම‍ දරුවාගෙන් සුරක්ෂිත වූ උණුසුම් ආදරයක් හිමි කරන්නට ඔබ දරන වෑයමට අත්වැලක් සපයන්නටයි. 

ඔබේ බිරිඳ දරුවා දස මසක් කුස දරා සිටියා සේම ප්‍රසූත වේදනාව දරා මහත් වෙහෙසට පත්ව ඉන්න මේ වෙලාවේ ඔබේ උණුසුම, ආදරය, රැකවරණය ඇගේ මහන්සියට වේදනාවට හොඳම ඔසුවයි. එසේ හෙයින් මෙතැන් පටන් ඇගේ අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බලන්නට වෙනදාට වඩා ඔබට සිදුවේ. ඒ ඇය වේදනා, අපහසුතා මැද ප්‍රසූතියට මුහුණ දී ලද මහන්සිය ඇයට මහන්සියක් ම නො වන්නට ඔබේ උදව් අවැසි මොහොතයි. මේ වේදනාවන් සමගින් ඇයට ඔබේ දරුවා මව්කිරි දී පෝෂණය කරන්නට සිදුවේවි. එහිදී ඇයට උදවු කරන්නට ඔබ අනිවාර්යෙන්ම ඇපකැප විය යුතුමය.

- Advertisement -

ඇය දරුවාට මව්කිරි දීමේදී,

  • දරුවා මව්කිරි දීම සඳහා අල්ලා ගන්න
  • ඇයට පහසු ඉරියව්වක සිට කිරි දීමට අවැසි පහසුකම් සපයා දෙන්න
  • කිරි දෙන අතරතුර ලඟින් සිට මවට සහනයක් සලසන්න
  • කිරි බී අවසන් වූ සිඟිත්තා ඔබේ උණුසුමේ හොවා ගුඩුස් යවා පහසු කරන්න

ගර්භනී කාලය පුරා දරුවා ලැබී මුල් වසරක කාලසීමාව පුරා ඔබේ බිරිඳගේ චිත්තවේග පුළුල් පරාසයක විහිදී තිබෙනවා. ඒ ඇය අලුත ලැබූ පදවිය ඒ හා සමග ඇයගේ සිතුම් පැතුම් වෙනස්කම් වගේම ඉන්පසු ඇයට ලැබුණු වගකීම් සම්භාරය අතර ඇයගේ චිත්තවේග ගමන් කරනවා. මෙසේ හෙයින් ඇයගේ සිතට දැනෙන බර ගතිය වගකීම් සම්භාරය අධික වැඩ ප්‍රමාණය සමග පාලුවක් කාසියක් තනිකමක් වගේම චිත්ත වික්ෂිප්තභාවය, දරා ගැනීමේ සීමාව තුළ රඳවා ගැනීමට ඇයට ආදරය සෙනෙහස රැකවරණය වගේම ප්‍රශංසා අත්‍යවශ්‍යයි‍. මේ ඒ සඳහාම සැමියා ලෙස ඔබ වැය කළ යුතු කාලයයි. එසේ හෙයින් වෙනදා මෙන්ම,

ඇයට දැනෙන ලෙස ආදරය කරන්න

ඇය හා එක්ව දරුවාගේ සියලු කටයුතු කරන්න

ගෙදර දොර වැඩ වලදීත් පෙරදාට වඩා ඇයට උදව් කරන්න

ඇයට ඕනෑම මොහොතක ඔබගේ සහයෝගය ලබන බවට වග බලා ගන්න

ඇය සතුටින් සිටින බව එවිට ඔබට දැනෙයි. ඇගේ චිත්ත ශක්තිය දුර්වලව ඇත්නම් එයද ඔබට වැටහේවි. වෙනදා මෙන් ඇය ගැන ඔබ ගැන හෝ ඔබේ දරුවා කෙරෙහි දක්වන ඇල්ම ආදරය සැලකිල්ල ඇගන් ගිලිහී ඇති බව ඔබට වහා අවබෝද කරගත හැකි වන අතරම එය වහා නිවැරදි කර ගැනීමට අවශ්‍ය බව ඔබට පසක් වේවි. එසේ හෙයින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ හෝ පවුල් වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීමට ඇවැසි නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම තුළින් ඔබට ඇයට දරුවාට මෙන්ම පවුලටම එය සහනයක් වනු නිසැකය.

ඔබ මෙසේ ඇය ගැන සිදුකරන සමීප විපරම ඔබ පවුල් සෞඛ්‍යයට ද පහසුවක් සලසන අතරම මවගේ ද සතුට වැඩි වන අතරම එය ඔබගේ දරුවාගේ වර්ධනයට මෙන්ම සංවර්ධනයට ද මහත් පිටිවහලකි. දරුවාගේ පෝෂණය මෙන්ම මවගේ පෝෂණය පවිත්‍රතාවය ගෙදරදොර කටයුතුවලදී ඔබ දක්වන දායකත්වය ඔබ පවුලේ සමගිය සමාදානය මෙන්ම සන්තෘෂ්ටිය ද වඩ වඩා වැඩි කරයි. 

ප්‍රසූතියෙන් පසු බිරිඳට ඇතිවිය හැකි කායික මෙන්ම මානසික සෞඛ්‍ය තත්ත්ව ගැනද ඔබ සැමියෙකු ලෙස දැනුවත් විය යුතුය. ඒ අතරින් අධික රුධිර වහනය, කෙණ්ඩා වේදනාව, මලබද්ධය, මුත්‍ර ආසාදන වැනි තත්ත්ව ගැන විමසින්ලෙස් සිටීමද ඉතා වැදගත් වේ. 

පියෙකු ලෙස ඔබට මගහැරිය නොහැකි තවත් වගකීම්

  • ගැබිනි සමයේ බිරිඳ විසින් ලබාගත විටමින් වර්ග නිසි කලට වේලාවට ලබාදිම
  • අවශ්‍ය තරම් ජලය පානයට සැලැස්වීම
  • ගුණාත්මක ආහාර ලබා දීම  
  • සනීපාරක්ෂක කටයුතු සම්බන්ධව සොයා බැලීම
  • දරුවා හා මව අතර සම්බන්ධතාවයට සහය දැක්වීම 
  • නින්ද හා විවේකය ලබාගැනීමට මවට ඉඩ සැලසීම 
  • දරුවා තබන ස්ථානය පිරිසිදු හා ආරක්ෂිත බවට පත්කිරීම‍
  • දරුවාගේ සංවර්ධනයට අවශ්‍ය උත්තේජන ලබා දීම 
  • බිරිඳ රැකියාවක යෙදුනා නම් සේවා ස්ථානයට අදාල වෛද්‍ය සහතික සමග ප්‍රසූතිය පිළිබඳව දැනුම් දීම 
  • දරුවාට නම තැබීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම
  • දරුවාගේ උපත ලියාපදිංචි කර උප්පැන්න සහතිකය ලබා ගැනීම
  • අවශ්‍ය කාල සීමාවන්වලදි දරුවාගේ වර්ධනය පරික්ෂා කිරීමට මව සමග සායනයට රැගෙන යාම
  • ප්‍රතිශක්තීකරණ එන්නත් නියමිත දිනවලදී ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම
  • දරුවාගේ වැඩීමත් සමග සිදුවන සංවර්ධන පියවරයන් බිරිඳ සමග එක්ව සොයා බැලීම
  • නියමිත කාල සීමාවන්වලදි වර්ධන පියවරයන් වල අඩුවක් දුටුවහාම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සමග එක්ව එය තහවුරු කරගෙන වෛද්‍ය උපදෙස් සඳහා යොමුවීම
  • ශාරීරිකවත් මානසිකවත් පිරිපුන් දරුවෙකු ගොඩනැගීමට අවැසි පරිසරය නිවස තුළ ඇති කිරීම
  • මත්පැන් මත්ද්‍රව්‍ය නිසා හෝ වෙනත් හේතු මත ප්‍රචණ්ඩකාරී වටාපිටාවන් නිවස තුළ ඇති කිරීම වැළැක්වීම

තම දරුවාගේ උපතේ සිට සියලු කටයුතු සොයා බැලීමෙන් මවට උදව්කරමින් දරුවාගේ කටයුතු නිවසේ කටයුතු සිදුකිරීම තුලින් ඔබට පිය පදවියේ නියම අර්ථ වටහා ගත හැකි වනු ඇත. ඔබ දෙපළගේ සුරතලය, ආදරය මැද වැඩෙන දරුවාගේ අනාගතය ඔබ බලාපොරොත්තු වන අන්දමටම සාක්ෂාත් කරගැනීමට ඔබගේ මේ කැපවීම මහත් පිටිවහලක් වනු ඇත.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article